2026/11/04

🎼එදා රෑ... ගුවන් තොටුපළෙන් රටකින් එහා ඉගිලී යන්න හිතට ඔබට..

 

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාවේ කොටසක් සමඟ, එදා වගේම අදත් අපේ හිත බැඳී තියෙන අපූරු ගීත ගණනාවක් සජීවී ප්‍රසංගයකදී මෙන් රසවිඳින්නට, දුරු ඈත සීතල රටක ඉන්න අපටත් පසුගිය දවසක අවස්ථාවක් ලැබුණා.

ඒ අත්දැකීමෙන් පස්සේ, ඒ ගීත හැම තිස්සේම හිතට එන එක නවත්තගන්න බැරි නිසාදෝ මන්දා, මේ ලිපියේ මාතෘකාවටත් මිල්ටන් මහත්තයයි, ප්‍රියා සූරියසේන මහත්මයයි දෙන්නම එකතු කරලා මාතෘකාවක් හදාගත්තා. දැන් පුළුවන් නම්, මාතෘකාවේ තියෙන ගීත දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා බලන්නත් කැමතියි.

මාතෘකාව ගැන ටිකක් හිතුව නම්, මේ ලිපිය තුළ කතා කරන්නේ රට යන එක ගැන වෙන්න ඇති කියලා ඔබට තේරේවි. 

ඔව්, අද ලිපියෙන් කතා කරන්න හිතුවේ තවත් රටකට සංක්‍රමණය වෙන්න, සංචාරයකට වඩා වැඩි කාලයක් එහි රැඳී ඉන්න, රැකියාවක් කරන්න, ඊටත් වඩා ඒ අලුත් රට තුළ පුරවැසියෙක් වෙන්න හිතන, සමහර විට ඒ වෙනුවෙන් සැලසුම් කරන අපේ මිත්‍රයන් වෙනුවෙන් , ඒ අරමුණ වෙනුවෙන් "සාර්ථක කරගත හැකි" සැලසුමක් හදාගන්න හැටි.

ලිපිය ලියන්න මට උත්තේජනයක් වුණේ පහුගිය දවසක මා එකතු කළ ලිපියකට පස්සේ ලැබුණු විමසීම් ගොන්නමයි. ඒ විමසීම්වලට පුළුවන් තරමට උත්තර දුන්නත්, තවත් සෑහෙන පිරිසකට පිළිතුරු ලියන්න තවමත් වෙලාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට මට හිතුණා, ඒ විමසීම් ගණනාවකට පොදු පිළිතුරක්  සූදානම් කරන්නට. මේ අන්න ඒ උත්තරය.

මේ උත්තරය තුල, තවත් රටකට සංක්‍රමණය වෙන්න හිතන, ඒ වෙනුවෙන් සැලසුම් කරන, හෝ ඒ ගැන හිතන්නට පවා දෙගිඩියාවෙන් ඉන්න ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස, ඒ කියන්නේ රට යන්නට ඇති අවශ්‍යතාවය සහ ඒ වෙනුවෙන් තමන් සතු සූදානම (readiness) පිළිබඳව ස්වයං ඇගයීමක් (self-assessment) කරගන්නට අවස්ථාවක් ලබා දීමටයි උත්සාහ කරන්නේ.

ඒ ඔස්සේ තමන්ගේ හිතුවිල්ල, සොයා බැලීම, උත්සාහය හෝ සැලසුම තුල  අඩුපාඩු තිබෙනවා නම් ඒවා හඳුනාගෙන, නිවැරදි කරගෙන, වඩාත් සාර්ථක සැලසුමක් (migration plan) ඔස්සේ තවත් රටකට සංක්‍රමණය වන්නට අවශ්‍ය මාර්ගය තමන්ටම හඳුනාගන්නට පුංචි හෝ උදව්වක් වේවි කියල මං හිතනවා.

මේ ගැන විවිධ අවස්ථා සහ අත්දැකීම් පිළිබඳ ලිපි ගණනාවක් මගේ පෞද්ගලික ප්‍රොෆයිලය තුළ වගේම අපේ SLtoCanada - කැනඩාවට එන්නට මඟ Facebook group එක තුළත් මා ලියා තිබෙනවා. නමුත් ඒ දිග ලිපි වෙනුවට, ඒ සියලු අදහස් වගේම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් කිහිපයකුත් එකතු කරලා පුංචි web app එකක් හැදුවා.

එහි නම MiPath360. එහි සම්පූර්ණ නම ලෙස Migration Readiness Assessment හඳුන්වන්නත් පුළුවන්.

මෙහිදී මුලින්ම සිදුවන්නේ, යම් අයෙක් තමන් දැනට ජීවත් වන රටෙන් තවත් රටකට සංක්‍රමණය වී, ඒ අලුත් රට තුළ සාර්ථකව ස්ථාවර වීමට අවශ්‍ය කරන, ප්‍රධාන අංශ 12ක් ඔස්සේ සැලසුම් කළ ප්‍රශ්න සියයකින් විමසීමක් කිරීම. 

ඒ පිළිතුරු මත පදනම්ව තමන්ගේ සංක්‍රමණ සූදානම(migration readiness) පිළිබඳ වඩාත් සාර්ථක සහ පැහැදිලි වාර්තාවක් (assessment report) ලබාගන්නට පුළුවන්. එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමටත් අවස්ථාව තිබෙනවා.

ඒ වාර්තාව වගේම සමහර විට ඊටත් වඩා මෙහි ඇති වැදගත්ම දේ තමයි, ඒ සූදානම පිළිබඳ වාර්තාව තුළ ඔබේ සාර්ථක වීමේ හැකියාවන් (strengths and opportunities) වගේම, ඇතිවිය හැකි අවදානම් (potential risks) සහ ඒවාට සූදානම් විය යුතු ආකාරය පිළිබඳවත් ඔබටම විමසා බලන්නට අවස්ථාව ලැබීම.

ඊට පස්සේ, ඔබ කැමති නම් තමන්ගේ අරමුණ සාර්ථක කරගන්නට ගැළපෙන වඩාත් ප්‍රායෝගික සහ සාර්ථක ක්‍රියාකාරී සැලැස්මක් (action plan) සකස් කරගන්නත් මේ MiPath360 ඔබට මඟ පෙන්වනවා.

ඒ විතරක්ද? මේ සියල්ලට අමතරව, ප්‍රධාන රටවල් ගණනාවකට අදාළව සංක්‍රමණයට සූදානම් වන කෙනෙකුට වැදගත් වන පිළිගත් තොරතුරු (verified and relevant information) එකතුවකුත් මේ තුළම ඇතුළත් කර තිබෙනවා.

දැන් ඉතින්, App එකට ගිය ගමන් ඉංග්‍රීසියෙන්ම ආරම්භයක් තිබුණාට බය වෙන්න එපා. Assessment එකට, ඒ කියන්නේ ඔබේ සූදානම පිළිබඳව විමසන ප්‍රශ්න පත්‍රයට (Questionnaire) ගියාම, සිංහලෙන් කියවලා පිළිතුරු තෝරාගන්නත් අවස්ථාව තිබෙනවා.(කොහොම වුණත්, සංක්‍රමණය වීම ගැන හිතන කෙනෙකුට යම් තරමක හෝ ජාත්‍යන්තර භාෂා දැනුමක් තිබීම වැදගත් නේ. )

පුද්ගලිකව මට හිතෙනවා , අපේ රටේ උගත් ඕනෑම කෙනෙකුට, පාසල් දරුවෙකුට වුණත්, පියවරෙන් පියවර ඉදිරියට ගිහින් තමන්ගේ සංක්‍රමණ සිහිනය  වෙනුවෙන් සාර්ථක සැලසුමක් හදාගන්නට මේ ඔස්සේ පුළුවන් වේවි කියල.

වැදගත්ම දේ තමයි, මේ කිසිම දෙයක් වෙනුවෙන්, ඒ කියන්නේ assessments, evaluations, action plans හෝ reports ලබාගැනීම වෙනුවෙන් ඔබට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. මේ App එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට ලබාදෙන තිළිණයක් විතරයි. තවත් විදියකට කිව්වොත්, මේ ගමන ඔස්සේ ජීවිතයේ යම් ජයක් ලැබූ මගේ හිතේ සතුටට, ඔබට ලබාදෙන තෑග්ගක්.

එකම දේ, අර කිව්ව ප්‍රශ්නවලට හොඳින් කල්පනා කරලා පිළිතුරු දෙන්න සමහර විට පැයක් දෙකක් විතර ගතවෙන්න පුළුවන්. හැබැයි ඒ පැය දෙක නාස්තියක් නොවන බව නම් 100%ක් ස්ථිරයි.

මොකද, ඒ සියල්ල අවසානයේ ඔබේ අනාගත සංක්‍රමණ සැලසුම වඩාත් සාර්ථක ලෙස සකස් කරගැනීම ආරම්භ කරන්නට ඔබට අවස්ථාව ලැබෙන නිසා.

එහෙම නම්,

🍿ආ... මුලින්ම කිව්ව “එදා රෑ” චිත්‍රපටය ගැන මට දැනුණු දේ ලියූ ලිපිය මෙතැනින් කියවන්න පුළුවන්.

(ලස්සන වගේම, මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ගීතවලට ආදරය කරන කෙනෙක් නම්, ඇත්තටම දැනෙන්න ඒ ගී රස විඳින්න පුළුවන් නිර්මාණයක්.)

https://www.recmike.ca/#chronicles?article=eda_raa_movie

♥️අපේ සංක්‍රමණ ගමන ගැන, ඒ ඔස්සේ ලැබූ ජය පරාජයන් ගැන ලියූ ලිපියට මෙතැනින් යන්න පුළුවන්.

(මේ අනුන්ගේ කතා නොවෙයි. අප ලැබූ ඇත්තම අත්දැකීම්වල එකතුවක්.)

https://www.recmike.ca/#archive?article=15_Years_in_Canada

📱ඔන්න, දැන් App එකට Link එක:

https://mipath360.recmike.ca/

එච්චරයි අදට.