2011/07/27

38) දැන ගන්නම ඕන චක්කරේ - menstruation

තත් තත් තත් තාර පැටියා ...පුතා මගේ තාර පැටිය ....
ලොකූ , පුතේ ඉක්මණට මේ ඇඳ හදල  මේ අළුත් රෙද්ද දාන්න , ඔය තියෙන ෂීට් ටික දාන්න සෝදන්න  ,... “ කඩේට ගිය මා ගෙදරට එනකොටම ගේ ඇතුලේ ටිකක් ලොකු කළබලයක් වගේ , ඉක්මණට බලන්න ඕන , බයික් එක පහලින් නවත්වල ඉක්මණට ගේට්ටුව ඇරියා , ...කවුරු හරි ඇවිත් ..වෙන සපත්තු වගයක් ..පුංචි සපත්තු දෙකක් ...ලොකු සද්දයක් .. හරි මට මතක් වුනා ..අද මගේ බිරිඳගේ නංගි එනවා කීවා , මේ එහෙනම් එයාල වෙන්න ඕන ...


“ආ මහේෂ් අය්යේ , කඩේ ගියාළු නේද ? ....අපි ආව අනේ අද ඩොක්ටර්ට පෙන්න ගන්න කියල , මාසෙකින් එන්න කිව්වනේ ..., “ ගෙට ගොඩ වෙන්නත් ඉස්සර නංගි කියාගෙන ගියා ..“ආ මහේෂ් අයිය , කොහොමද ? “ නංගිගේ මහත්තය පත්තරයක් බලන ගමන්ම මගේ දිහා බැලුව ..
ඇඳ ගසලා හදලා දෙන්නම් ........

“තාත්තේ , මේ බලන්න අපි ලස්සනට ඇඳ හැදුවා නංගිට ...“ හැමදාම සුන්දර කේලමක් කියාගෙන මගේ ගාවට එන පොඩ්ඩි අදත් පුරුද්ද අත්හැරියෙ නැහැ , “ෂා ලස්සනට ඇඳ හදල තියෙන්නේ , ලස්සන ෂීට් එකක් දාල ...වටේටම කොට්ට තියල ...“ මම එහෙම කියන කොට පොඩ්ඩිට හරි ආඩම්බරයි ...

කොහොම හරි මේ කෙළි පැටික්කි අපි ගාව තියල නංගියි මහත්තයයි කරාපිටියේ තියෙන පෞද්ගලික රෝහලකට ගියා , විශේෂඥ වෛද්‍යවරයෙක්ව හමුවන්නට , ඇයගේ සෞඛ්‍ය ගැටළුවකට ප්‍රතිකාර ගන්න ,

නංගි පැටික්කිට හරිම “ජොලි“ , අක්කල දෙන්න වට කරගෙන නටනවා , සිංදු කියනවා වැඩ ගොඩයි , අර පිළීවෙලට හඳපු ඇඳ , ඇඳ රෙදි කැලේ ..පුංචි එවුන්ගේ ලෝකෙනේ ...

මේ ඇඳ රෙද්ද එක්ක මට මතක් වුනා ඊළඟ post එකට ලියන්න මාතෘකාවක් , “ආර්තවය හෙවත් menstruation “ ගැන ලියන්න ඕන , මොකද මේ තත්ත්වයේ විවිධ ගැටළු , ප්‍රශ්න ඒ විතරක් නොවෙයි සමහර සාමාන්‍ය සිදුවීම් පවා මහා රෝග තත්ත්ව කියල කාන්තාවන් හුඟ දෙනෙක් බිය වෙලා ඉන්න බව මට ලැබෙන අදහස් වලින් මට දැනෙනවා , මෙම සටහන කියවන එක්තරා දියණියක් ( හෝ කාන්තාවක් ) මට කතා කරල කළ ඉල්ලීමත් මෙම මාතෘකාවට යන්නට හේතුවක් වුනා ,

මොකක්ද මේ menstruation කියන්නේ ? අදත් වෙනද වගේම ජීව විද්‍යාව පන්තියක් දාන්න වෙනවා , එනව නේද ඒ පාඩමට ? .....

කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය හැදිල තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ලෝකෙට දරු පැටියෙක් ලබා දෙන්න කීවොත් හරි කියලයි මට හිතෙන්නේ , මොකද වෙන මොන කාර්යය කළත් ( ඒ කිව්වේ හෝමෝන නිශ්පාදනය , සංසර්ගික ක්‍රියා intercourse )  පැටියෙක් හදා ගන්න , ඒ පැටියව රඳව ගන්න , එයාව පෝෂණය කරල ලෝකයට බිහි කරන්න මේ ප්‍රජනක පද්ධතියේ අවයව වෙන මහන්සිය ගැන හිතුවම හරිම පුදුමයි ,

දැන් අපි ටිකක් හොයල බලමු මේ අවයව සහ ඒවායේ කාර්යයන් මොනවන කියල , මොකද හැමදාමත් කියනවා වගේ “ලෙඩේ හොයා ගන්න නම් වැඩේ දැන ගෙන ඉන්න“ එපායැ නේද ?  
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය 
මේ පද්ධතිය ප්‍රධාන කොටස් හතරකින් හැදිලා තියෙනවා කියන්න පුළුවන් , ඒ තමයි පැටියෙක් හදන්න ඕන ස්ත්‍රී බීජය (ඩිම්බය - ovum) නිශ්පාදනය කරන , ඕන දවස වෙනකම් පරිස්සම් කරල තියා ගන්න ඩිම්බ කෝෂ Ovaries , කෙල්ලට අවුරුදු 12-14කි විතර වෙන කොට මාසෙකට සැරයක් , ඩිම්බ කෝෂ දෙක මාරුවෙන් මාරුවට , මේ ඩිම්බ  සෛල අර “ඇඳ“ දිහාවට ඒ කිව්වේ ගර්භාෂය වෙතට මුදා හැරීමත් ඇරඹෙනවා ,  අනෙක් මෙයාල හෝමෝන නිශ්පාදනයට (ස්ත්‍රී ලක්ෂණ , තත්ත්ව සහ තවත් ජීව ක්‍රියා සදහා දායක වන රසායනිකයක් ) දායක වෙනවා , 

අනෙක් එක්කෙනා තමයි අර ඩිම්බ කෝෂ ෆැක්ටරියෙ හැදෙන ඩිම්බ සෛලය පරිස්සමින්  අරගෙන යන්න තියෙන පාළම , අපි ඒකට කියනවා Fallopian tube ෆැලෝපියන් නාල කියල , 

ලෝකයේ වටිනාම සම්පත ...සතුට .....
ඊළඟට  , මේ පද්ධතියේ වැඩිම කාර්ය බහුල , ලොකු වගකීම් ගනනාවක් දරන කෙනා , ඒ තමයි  Uterus හෙවත් ගර්භාෂය , මේ තමයි අර ඩිම්බ සෛලයයි , පිරිමි කෙනෙකුගෙන් ලැබෙන ශ්‍රක්‍රාණුව Sperm දෙන්න හාද වුනාට පස්සේ ඇති වන පුංචිම පුංචි පැටියව පරිස්සමින් නිදි කරල , කවල පොවල ටිකක් ලොකු මහත් කරල දෙන තැන , බොහොම සුව පහසු ඇඳක් වගේ මේ චූටි පැටියට , මේ අවයවය හුඟක් මහන්සි වෙන්නෙ ලෝකයේ ගොඩාක්ම වටින අර චූටිම චූටි පැටිය , හෙවත් කළලය Fetus පුළුවන් තරම් හොඳින් රැක බලාගන්න , එයාට හොඳ පෝෂණයක් දෙන්න , සනීපෙට මෘදු ඇතිරිලි දාල තියා ගන්න , උණුසම ලබා දෙන්න . ඔය හුඟක් වැඩ වලට ගර්භාෂයේ තියෙන බිත්තියේ තට්ටු තුනෙන් , ඇතුළෙම ඉන්න endometrium කියන ස්ථරය හරියට මහන්සි වෙනවා , වැඩියෙන්ම මේ පැටියා ගැන හිතන්නේ endometrium කිව්වත් වරදක් නැහැ .

අන්තිමයා Vagina , එයාගේ වැඩත් නරකම නැහැ , මොකද මෙයා තමයි අර මුලින් කී පුරුෂ සෛල මිලියන ගණනක පිහිනුම් තරඟයට අනුග්‍රාහකත්වය දක්වන්නේ , (ඔය ජීවිතයේ සුන්දරම පිහිණුම් තරඟය ගැන දැන ගන්න මෙතැනින් ගිහින් බලන්න ) , ඊට අමතරව ලිංගිකව එක්වීමේ ක්‍රියාවෙදිත් ප්‍රධාන අනුග්‍රාහකයා මෙයාමයි , අනෙක  පැටිය පරිස්සමින් ලෝකෙට බිහි කරන මාර්ගයත් මේකමයි ,

ඔන්න දැං ඉතිං අපි ඒ පද්ධතිය ගැන අපිට දැනට ඕන ටික කතා කළා , අපි දැන් jump එකක් දාමු අපේ ප්‍රධාන මාතෘකාවටම ...ඔන්න අල්ල ගන්න ..පැන්නා.......

දැන් ආයෙත් අහමුකෝ මොකක්ද මේ menstruation කියලා ?...... අපි දැන් කිව්වනේද අර ගර්භාෂයේ ඇතුළෙ බිත්තියක් ගැන , පැටියට ගොඩාක්ම ආදරේ කරන , රැක බලාගන්න එක්කෙනා ,...අපේ ගැහැණු දරුවෙක්ගේ උපතේ ඉදළම මේ පටකය තියෙනවා , ඒත් අපේ දරුවා අවුරුදු 12 විතර වෙත්දි මේ පටකය වඩාත් සක්‍රිය වෙනවා , ඒ එක්කම ස්ත්‍රී ජන්මාණු සෛලය වන ඩිම්බ Ovum නිශ්පාදනය වෙලා ගර්භාෂයට මුදා හැරීමේ ක්‍රියාවත් ඇරඹෙනවා , මේ සඳහා  බලපාන ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන ගණනාවක් එක්කම තවත් සාධක ගනනාවක් එක් වෙනවා ,

ඔව් ..අද තරඟයෙන් දිනන්නේ ..     
හරි කොහොම හරි මේ කෙල්ලට අවුරුදු 12 මෙයා සක්‍රිය වෙනව කිව්වනේ ....මම ඔය සක්‍රිය වෙනවා කිව්වේ දැන් එයා බලාගෙන ඉන්නේ එයාගේ ප්‍රධාන වගකීම ඉටු කරන්නේ කවදාද කියලා , ඒ කියන්නේ පැටියෙක් නිර්මාණය කිරීමේ කටයුත්ත,  ඔන්න දැං ගර්භාෂ ඇතුළු බිත්තිය හොඳට හඳාගෙන , ඩිම්බ කෝෂ දීපු ඩිම්බ සෛලයත් පරිස්සමට තියාගෙන බලාගෙන ඉන්නවා sperm කෙනෙක් පීනගෙන ඇවිත් පැටියෙක් හදයි කියළ ,


කොයි තරම් ආසාවෙන් බලාගෙන ඉන්නවද කිව්වොත් එයා මාසයක් පුරාවට ගර්භාෂයට වෙලා බලාගෙන ඉන්නව “අනේ පැටියෙක් , අනේ පැටියෙක් “ කිය කියා ඒත් අර ඩිම්බ සෛලය නම් එහෙම බලාගෙන ඉන්න පුළුවන් දවස් දෙකක් විතරයි , ඊට පස්සේ අනේ එයා මැරිල යනවා  , එත් endometrium එකනම් මාසෙ පුරාවටම මග බලාගෙන ඉන්නවා , බලාගෙන ඉඳලා මාසේ අවසානේ පැටියෙක් හැදුනේ නැත්නම් මොකද කරන්නේ , හරියට අපේ ගෙදර ආපු අර “නංගි බබාට“ අළුත් ෂීට් දාල ඇඳ හදල දුන්න වගේ , ගර්භාෂයත් කරන්නේ එයාගේ පරණ endometrium පටකය (ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය) ගලවල අයින් කරල (අර පරණ ෂිට් අයින් කළා වගේ ) , අළුත් පටක ස්ථරයක් හදා ගන්න එක , ඒ එක්කම ඔය ඇඳ හොඳට හදලා ඉවර වුනාට පස්සේ ඩිම්බ කෝෂයත් ආයෙත් ඩිම්බ සෛලයක් මුදා හරිනවා , එහෙම සූදානම් වන ඩිම්බ සෛලයත් ගර්භාෂයත්  බලාගෙන ඉන්නව පැටියෙක් බලා හදා ගන්න , අපි හිතමු ඔන්න  ශුක්‍රාණුවක් තරඟෙන් දිනල ovum එක්ක එකතුවෙලා අර චූටිම චූටි පැටියෙක් හැදුනා කියල , ඔන්න දැන් ඉතිං හරි ආඩම්බරයි endometrium ට එයා බොහොම පරිස්සමෙන් එයාගේ සුව පහසු ඇඳේ පරිස්සමින් පැටිය නිදි කරගන්නවා , ආයෙත් ඇඳ රෙදි ගලවන්න , අස්කරන්න යන්නේ නැහැ , බොහොම පරිස්සමින් , පිරිසිදුවට , උණුසුම , ආරක්ෂෘව දෙමින් මේ පැටියව මාස 9ක් විතර රැක බලා ගන්නේ මේ ආදරණීය endometrium ස්ථරය ...

ගර්භාෂයේ මාසෙකට වෙන දේවල්
කෝ ඉතිං ඒත් කිව්වේ නැහැනේ ආර්තවය කියන්නේ මොකක්ද කියල ....ඔව් ආර්තවය කියන්නේ අර විදියට දවස් 28ක් විතර බලාගෙන හිටපු ගර්භාෂ ඇතුළු බිත්තිය Endometrium , ඇඳ රෙදි අයින් කළා වගේ ගැලවිලා කැඩිලා දේහයෙන් ඉවත් වීමේ ක්‍රියාව , ඕකට සුද්ධ වීම කියල කියන්නේ ඔය නිසාද මන්ද , කොහොම වුනත් මේ පටක ස්ථරය කැඩිලා , රැධිරය සමඟ යෝනි මාර්ගයෙන් බැහැර වීම තමයි menstruation නැත්නම් ආර්තවය කියන්නේ , ඔය විදියට පරණ එක අයින් වුනාට පස්සේ ඉස්සෙල්ල කිවුව වගේ ආයෙත් අළුත් ස්ථරයක් හැදෙනවා , එයත් දින 28ක් විතර බලාගෙන ඉඳළා වැඩේ හරි ගියෙ නැත්නම් ගැලවිලා එළියට යනවා , ආර්තවය සිදුවෙනවා . අපි ඔහොම කිව්වට මේ වැඩේ හරිම සංකීර්ණ , එකකට එකක් බැදිච්ච වැලක් වගේ ක්‍රියාවලියක් , හොමෝන ගණනාවක් එක් වෙලා කරන සංකීර්ණ වැඩක් ,

ඔව් ඔයා දැන් ලොකු ළමයෙක් ......
එතකොට මොකක්ද වැඩිවිය පත් වුනා Puberty කියන්නේ ? අපි කිව්වනේ ගැහැණු දරුවෙක් අවුරුදු 12 විතර වෙනකොට මේ ගර්භාෂ අභ්‍යන්තර ස්ථරය එයාගේ මූලික කටයුත්තට ප්‍රමාණවත් තරමට සූදානම් වෙනවා , සක්‍රිය වෙනවා කියලා , ඔන්න ඔය විදියට සක්‍රිය වෙච්ච පටකය මාසයක් තිස්සේ බලන් ඉඳළ , වැඩෙක් වුනේ නැති තැන කැඩිළ දේහයෙන් පිටවන පළමු අවස්ථාව තමයි ඔය වැඩිවිය පත් වුනා කියන්නේ , menache, සාමාන්‍යෙයන් අවුරුදු 12 විතර මේ ක්‍රියාව ආරම්භ වෙන්න ඕන වුනත් සමහර අවස්ථාවල අවුරුදු 9-10 වගේ වයස් වලදිත් වෙන්නට ඉඩක් තිබෙනවා , එතැනදි දරුවගේ වර්ධනය ගැන සැලකිල්ලෙන් ඉන්න , ඒ වගේම අවුරුදු 16ක් විතර යනකම්ම “වැඩිවිය පැමිණුනේ නැත්නම්“ Primary amenorrhoea  මේ තත්ත්වය ගැන ප්‍රමාද කරන්නේ නැතිව නිසි වෛද්‍ය උපදෙසක් ගන්න , හුඟක් වෙලාවට දරුවාගේ හෝමෝන මට්ටම් පිළිබඳ පරීක්ෂණ කිහිපයක් කරාවි මෙයට හේතුව හඳුනාගැනීමේදි .

අළුත් කෙල්ලට යමක් කියල දෙන්න 
ඒ කියන්නේ “ලිංගිකව පරිනත වූ “ මේ කෙල්ල , අම්ම කෙනෙක් වෙන්න මූලික හැකියාව තියෙන කෙනෙක් , ඒ කියන්නේ යම් හේතුවක් නිසා මේ දැරිවිගේ ගර්භාෂයට sperm  කෙනෙක් පීනල ආවොත් ගර්භාෂය සූදානම් අවස්ථාවක , ඩිම්බ සෛලයක් බලාගෙන ඉන්න විටෙක , එයාට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් , ඒත් මේ වයස අම්ම කෙනෙක් වෙන්න තරම් සුදුසු නැහැ  කියන එකයි වෛද්‍ය මතය , මොකද අවුරුදු 12 කියන්නේ ගෙදර පොඩි කෙළීනේ , තාම පැටික්කී ....(මේ වයසේදී ගර්භණී විමේ අනතුර ගැන කියවන්න ) කොහාම වුනත් මේ අවස්ථාව හොදම වයස මේ දුවණියට මේ තත්ත්වය ගැන යම් තරමක දැනුමක් ලබා දෙන්න , විය හැකි අනතුරු , ආරක්ෂාවන විදිය , වෙනස්කමක් ගැන කතා කළ යුතු අය ගැන , මොකද මේ වයස හරිම කුතුහලකාරී , පෙරළිකාරී වයසක් ඒ වගේම කල්ලි හැදෙන වයසක් , වැරදිලාවත් වැරැද්දකට යොමු වුනොත් අවාසනාවන්ත ඉරණමකට යොමු වෙන්නත් බැරි නැහැ , ඒ නිසා විශේයෙන්ම මව මේ දැනුවත් කිරීම කරනවානම් හරිම වැදගත් , පාසලක ගුරුතුමියකටත් බොහොම දැනුවත් සහ වැදගත් විදියට නිවාඩුවේ ඉඳළ එන මේ “අළුත් කෙල්ලට “ යමක් කියල දෙන්න පුළුවන් නේද ?

චූටි පැටික්කිගේ ආදරේ ....
දන්නවද මගේ මිත්‍රයෙක්ගේ බිරිඳක් මට පහුගිය දවසක කියනවා “අනේ අපේ දුවට තාම දවස් අටයි , ඒවුනාට එයා puberty වුනානේ , දැන් මොකද කරන්නේ කියලා , මොකද වෙලා තියෙන්නේ , මේ කෙළි පැටික්කි හමුබවෙලා දවස් 2-3 අතරෙදි vagina තුලින් රැධිරය ස්වල්පයක් බැහැරය ඇවිත් , මේක දැකපු නැන්දම්මා හොඳටම කළබල වෙලා , මහ කළබලයක් , ඉතින් මට සිද්ධ වුනා ඇයට මේ තත්ත්වය ගැන ටිකක් කියල දෙන්න , ඇත්තටම මොකක්ද මේ තත්ත්වය , අපි මේකට කියන්නේ Pseudo menstruation කියලා මෙතැනදි සිද්ධ වෙන්නේ මේකයි , එය කෙළි පැටික්කි අම්මගේ ගර්භාෂයේ ඉන්න කම් , අම්මගේ හෝමෝන වල යම් බලපෑමක් චූටි පැටියටත් තියෙනවා , ඉතින් පැටියා බිහිවෙලා අම්මගේ ඇඟෙන් අයින් කළ ගමන් අර හෝමෝන ප්‍රමාණයන් ඉක්මණින් වෙනස් වෙනවා , ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි මේ විදියට ලේ චුට්ටක් සමහරවිට mucus චුට්ටක් පිටවෙන්න පුළුවන් වෙනනේ , කළබල වෙන්න එපා දරුවව පිරිසිදු කරල ආදරෙන් උණුහුමින් තුරුළු කරගෙන ඉන්න , වෙන මුකුත් කරන් යන්න එපා , පැටික්කිට අවුරුදු 12ක් විතර වෙත්දි සාමාන්‍ය විදියටම වැඩිවිය පත් වේවි , එදාට ඔය කරන උත්සවයක් , මඟුලක් හරි මොකක් හරි කර ගන්න ,

මේ ආර්තව ක්‍රියාවලියේ සාමාන්‍ය තත්ත්වය දින 28කට වරක් මේ පටක බිඳ වැටීම  , රැධීරයට පිටවීම  දින 5ක් විතර තියේවි , හැබැයි ඉතින් ආර්තවය ආරම්භවෙලා මුල් අවධියෙදි සමහර දරුවන්ගේ මේ ක්‍රියාව පිළිවෙලක් නැහැ වගේ දැනෙනවා , එක මාසෙකට දින 28කින් , ඔන්න ඊළඟ මාසේ දින 20න් ,ඊළඟට ආයෙත් දින 29න් , කළබල වෙන්න එපා , තාම මේ කෙළීගේ හෝමෝන හරියටම පිළිවෙලකට ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන නැහැ , ටික ටික හරියාවි , හැබැයි අවුරුදු 20-22 වෙලත් තාම අක්‍රමවත් නම් වඩාත් හොඳයි වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක , බය වෙන්න එපා , බොහෝවිට නිවැරදි වේවි , එත් සමහර රෝග තත්ත්ව සහ හෝමෝන ගැටළු වලදිත් මේ විදියට ආර්තවය අක්‍රමවත් වෙන්න පුළුවන් , ඔය විදියටම ආර්තවය නිමාවෙන්න ඒ කිව්වේ ආර්තවහරණය menopause කිට්ටු වුනාමත් මේ වගේ අක්‍රමවත් වීම් සිදුවීම ස්වභාවිකයි.

දැන් ඉතිං ප්‍රමාද වෙන්න එපා ..
අපි දැන් කතා කරමු , මේ ආශ්‍රිතව තියෙන ප්‍රධාන ගැටළු කිහිපයක් ගැන , මුලින්ම අපි කතා කරමු ආර්තවය සිදු නොවීම ගැන Amenorrhea කියලයි වෛද්‍යවිද්‍යාත්මකව මේ තත්ත්වය හඳුන්වන්නේ , මෙහි ආකාර දෙකක් තියෙනවා , ඔබ දැනටමත් එකක් ගැන දන්නවා , මොකක්ද ඒ ,.........බලන්නකො මේ ලිපියේ මීට ඉස්සර වෙලා මේ වචනේ තිබුනද කියලා , ඔව් ...Primary amenorrhea , ඒ කිව්වේ ගැහැණු දරුවෙක් වයස අවුරුදු 16  වන තුරුත් වැඩිවියට පත් නොවීම , menache නොවීම , මේතත්වය ගැන කතා කළ නිසා දැන් එන්නම් secondary amenorrhea ගැන , මෙතැනදි වෙන්නෙ සාමාන්‍යෙයන් ආර්තවය සිදුවෙමින් තිබූ කාන්තාවකගේ එම ක්‍රියාව වාර තුනක් හෝ වැඩි ගනනක් සිදු නොවීම , සාමාන්‍යයෙන් ගර්භණීත්වයේදි මෙය සාමාන්‍ය දෙයක් , ඒත් ගර්භණී නොවුනු කාන්තාවකට මෙම තත්ත්වය ඇති  වෙනවා නම් අනිවාර්යයෙන්ම ඖෂධීය ප්‍රතිකාරයකට යන්න වේවි , ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ , හැකිනම් නාරිවෙද විශේෂඥ වෛද්‍යවරයෙක් Gynecologist මුන ගැහෙන්න  , ප්‍රමාද නොකරනවා නම් හොඳයි , මොකද මේ ක්‍රියාවලිය සහ දරු පිළිසිඳ ගැනීම අතර ලොකු සබඳතාවක් තියෙන නිසා සෙල්ලං කර කර ඉන්න එපා , ! මේතත්ත්වය තිබෙන අයට දැනේවි කොන්ඩෙ ගැලවිලා යනවා වැඩියි වගේ , ඇස්වල ඔළුවේ කැක්කුමක් දිගමට තියෙන්නත් පුළුවන් , ටිකක් බලන්න පියයුරු වල නිපල දිහාව , සමහර විට කිරිපාටට දියරයක් පිටවෙන්නත් ඉඩ තියෙනවා ,

හැබැයි ඔබ උපත් පාලන පෙති , O.C.P , මානසික ප්‍රතිකාර ඖෂධ හෝ සමහර අධිරැධිර පීඩනයට දෙන ඖෂධ වලටත් මේ තත්ත්වය තාවකාළිකව මතු වෙන්න පුළුවන් , ඒ වගේම ඔබ හුඟක් තරබාරු නම් P.C.O.S වගේ රෝගයකින් පෙළෙනවානම් (මේ ගැන දැන ගන්න එන්න )  මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා , ඒ වගේම හැම ලෙඩේටම එන පවුල් සම්බන්දෙ මෙතැනදිත් එනවා , ඒ කියන්නේ මවට හරි සහෝදරියකට හරි මේ තත්ත්වය තිබුණා නම් ඔබටත් පොඩි අවදානමක් තිබෙනවා , ඒ වගේම ඔබ ඉතා තදින් ක්‍රිඩා පුහුණු වීම් වල යෙදෙනවානම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් , ඔන්න දැන් මං කිව්වද සෙල්ලං කරන්න එපා කියලා , නැහැ , සෙල්ලං කරන්න , මේ වගේ ප්‍රශ්නයක් ආවොත් දොස්තර මහත්තය හම්බවෙන්න , බෙහෙතක් ගන්න , එච්චරයි , හැබැයි නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් දරුවෙක් ලැබීමේ වටිනා අවස්ථාව , සම්පත ඔබට නැති වෙන්නත් ඉඩ තියෙනවා , ඒ නිසා ප්‍රමාද කරන්න  ලැජ්ජවෙවී ඉන්න එපා , ලෙඩේ ගැන ඔබේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න ,
වේද .....නාව ...නාව නං හොඳයි 

මේ වගේම තවත් තත්ත්වයක් තමයි dysmenorrhea කියන්නේ , මේක ගැන කතා කරන කොටත් සමහර කාන්තාවන්ට රිදේවි , මොකද මේ තත්ත්වය අතශ්‍ය වේදනාකාරිය , mensuration තියෙන දවස් ටිකේ පුදුම දුකක් විඳින්නේ , මුලිකව අපි මුලින් කී ආර්තව ක්‍රියාවේ ලොකු වැඩේ ඇතුළේ සිදුවන යම් රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් බලපෑම නිසයි මේක වෙන්නේ , හරිම වේදනාකාරී muscle cramps ඇති වෙනවා , විශේෂයෙන් වැඩිවිය පත්වෙලා මුල් මාස හය හත අතරේ ඇතිවීමේ අවදානම වැඩියි , ජීවිතේට ලොකු කරදරයක් නොකරතත් වේදනාව හුඟක් වැඩිනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවුනාම ඔහු ඔබට සුදුසු යම් වේදනා නාශක වර්ගයක් ඔබට ලබා දේවි ,  එයින් ප්‍රශ්නේ මඟ හැරගන්න පුළුවන් , ඒත් ඔබ ටිකක් වියපත් නම් , මේ තද කැක්කුමත් එක්කම ආර්තව රැධිර වහනය ඉත වැඩි නම් , දින ගනන වැඩිනම් සමහර විට ඔබට Endometriosis කියල ගර්භාෂ ඇතුළු බිත්තිය අසාමාන්‍ය විදියට ඝණවීමේ තත්ත්වයක් වෙන්න පුළුවන් , ඒතැනදිත් මේ අධික වේදනාව ඇති වෙනවා , මේ අවස්ථාව අනිවාර්යයෙන්ම නිසි ප්‍රතිකාරයක් ලබන්නටම ඕන කරන වෙලාවක් , ඒවගේම ඔබට ගර්භාෂය ආශ්‍රිත වෙනත් රෝගයක් තිබේද කියල හොයන්න හොඳ ලක්ෂණයක් තමයි මේ අධික වේදනාව .

අනෙක් තත්ත්වය තමයි Menorrhagia කියන්නේ  , මේක නම් අනතුරුදායක තත්ත්යක් , මෙතැනදි වෙන්නේ ආර්තව චක්‍රය දින ගණනින් නිවැරදි වුනත් හුඟක් ලේ යන එක ,  සමහර අවස්ථාවල රැධිර වහනය වන දින ගණනත් දින හතක් දහයක් විතර වෙන්න පුළුවන් , අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට වැඩි අවස්ථාවක් තියෙන මේ තත්ත්වයේදීත් නිවැරදි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්නම ඕන , නැත්නම් ඔබේ ඇඟේ ලේ අඩුවෙලා නිරක්තිය Anaemea  වගේ තත්ත්වයක් වුනත් ඇති වන්නට පුළුවන් ,

දැන් නං ඇති කියල හිතෙනවා , අනෙක මේක එච්චර කතා කරන්න ආස කරන තත්ත්වෙකුත් නොවෙයිනේ ,

අවසානයේ මේ තත්තවය ගැන කියන්න ඕන පොදු කරුණූ කිහිපයක් තියෙනවා , මුලින්ම කාන්තාවක් විදියට මේ තත්ත්වයට මුහුණ දිය යුතු බව වටහා ගන්න , හැම menstruation එකකටම  පෙර එන පූර්ව ලක්ෂණ සමූහය  pre menstrual syndrome තත්ත්වයේ ගැටළු හඳුනගන්න , ටිකක් තරහ යන ගතිය , නොසන්සුන් ස්වභාවය , mood ගහගෙන ඉන්න එක , ඇඟපත රිදෙන එක ,කකුල් වල , බඩේ , පියයුරු වල පොඩි වේදනාවක් එන එක වගේ ලක්ෂණ ගණනාවක් මේ pre menstrual syndrome එක්ක තියෙනවා , ඉතින් ඒ තත්ත්වය තේරුම් ගන්න ,

වෙනදටත් වඩා ආදරය දෙන්න ....
විශේෂයෙන්ම අපේ පිරිමි පාර්ශවයත් (විවාහක හෝ පෙම්වතුන් ) , ඔය දවස් වල ඇයට පොඩ්ඩක් තරහ ගියොත් , අනේ කළබල කරන්න එපා , ඇය ඉන්නේ හරිම වේදනාකාරී අතදැකීමක , උදව් කරන්න ඇයට , දෙන්න ආදරය ඇයට ,හිත රිද්දන්න එපා , මේ වෙලාවට හුඟක් දුක හිතෙනවා හේතුව මේ තත්ත්වයේ එක් ලක්ෂණයක් තමයි තාවකාළික අවපීඩන තත්ත්වයක් ඇතිවීම .

ඒවගේම මෙවැනි රෝග තත්ත්වයක් හරි සාමාන්‍ය කටයුතු කරගන්න බැරි තරමටම ගැටළුකාරී ස්වභාවයක් හරි තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමු වන්න , කියන්න ඔබේ ගැටළුව , හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ වගේ ප්‍රශ්න  “ලැජ්ජාවත් එක්ක  කතා කරන්න බැරි නිසා (ඔවුන් කියන විදියට)  “  නිසි වෛද්‍ය උපදෙසකට යොමු නොවීම නිසා ලොකු අනතුරු වලට පත් වීම ,  මේක ලැජ්ජ වෙන්න දෙයක් නෙවි , මෙයත් උණ හෙම්බිරිසාව කැස්ස වගේම කියන්න පුළුවන් ගැටළුවක් , නිවැරදිව ප්‍රතිකාරයක් නොගත්තොත් නම් ලැජ්ජ වෙන්නත් පුළුවන් ....


එහෙම නම් අදට නවතිනවා , අද මගේ sleeping day එක , ඒ කියන්නේ ඊයේ රාත්‍රී සේවා මුරය කළ නිසා අද විවේකයක් තියෙනවා , එහෙනම් මම දැන් යනවා ටිකක් නිදා ගන්න , ....ඒත් සැපට නිදා ගන්න බැරිවෙයි වගේ ලොකු දුව Barbie cartoon එකක බැහැල රස විඳිනවා , මොකද එයාගේ වාර විභාගේ ඉවරයි  ...