2023/04/28

මතක මීදුම සහ ඩිමෙන්ෂියාව

"අනේ මන්දා, මට දැන් එකපාරට අමතක වෙනවා. සමහර වෙලාවට නිකං confuse වෙලා වගේ මට දැනගත්තත් කියන්න ඕන දේ හිතාගන්න බැරිව හිරවෙනවා. කල්පනාවත් අඩුද මන්දා... මේ දැන් මෙතැනට එන්න ආපු ගමනේ මට අමතක වෙලා හරවන්නේ නැතිව ඉස්සරහටම ගියානේ. ඉස්කෝලේ ගාවදි මතක් වුනේ යන්නේ කොහෙද කියලා. ටික වෙලාවකින් ආයෙ සාමාන්‍ය විදියට වැඩ කරගන්න පුළුවන්."
ඇය, ඇස අග තිබුණු කඳුළු බිංදුවක් ඇඟිල්ලෙන් පිසදාන ගමන් කීවාය.

"මෙහෙම වෙනසක් දැනෙන්නේ අලුතින්ද? නැත්නම් කාලයක් තිස්සේ මෙහෙම වුණාද?" මා ඇසුවෙමි.

"නෑ අනේ, මම හැමදේම හරියට පිළිවෙලට, වෙලාවට කරන්න පුරුදු වෙලා හිටියේ. අනෙක මෙයා ලෙඩ වුණාට පස්සේ ඒ වගකීම තවත් වැඩිවුණා. මේ වෙනකම් මට මෙහෙම වෙනසක් දැනිලා නෑ. ඒත්... දැන් දැන් මටත් ඩිමෙන්ෂියාව එනවාද කියලා මට බයයි. මම ඩිමෙන්ෂියාවට බය නෑ, ඒත් මට එහෙම වුණොත් මෙයාව බලාගන්නේ කවුද?"

බොහොම ශක්තිමත් කාන්තාවක් ලෙස අප අතරේ හඳුනාගෙන සිටි ඇයට මෙසේ හැඬුමක් මතු වූයේ, තමන් තුළ සිරකරගෙන සිටි වේදනාව සහ මානසික බරෙහි තරම නිසාවෙනි. තම සැමියාගේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සමඟ ඇය මුහුණ දුන් අධික පීඩනය (Caregiver Stress / Burnout) සහ ඒ හේතුවෙන් මතුවූ විශාද ලක්ෂණ මීට බලපා තිබුණි.



මොකක්ද මේ "මතක මීදුම" (Brain Fog)?

සාමාන්‍ය කටයුතු කරගනිමින්, සාමාන්‍ය මතකය හා තීරණ ගැනීමේ හැකියාව සහිතව සිටින අතරතුර, ක්ෂණිකව හෝ කෙටි කාලයකට ඇතිවන:

  • ක්ෂණික අමතක වීමක්
  • හේතුවක් නැතිවම ගතයුතු තීරණයක් ගත නොහැකිව හිර වූ බවක් (Mental confusion)
  • මතකයේ බොඳවීමක් හෝ මනසේ පැහැදිලිකම නැතිවීමක්

පොදු ව්‍යවහාරයේ Brain Fog (මතක මීදුම) ලෙස හැඳින්වේ.



"Brain Fog කියන්නේ මට ඩිමෙන්ෂියාව හැදීගෙන එන එකද?"

වෛද්‍ය පර්යේෂණ සහ සායනික දැනුම අනුව: Brain Fog යනු කිසිසේත්ම 100%ක්ම ඩිමෙන්ෂියාවේ පූර්ව ලක්ෂණයක් නොවේ.

සමහර ඩිමෙන්ෂියා තත්ත්වවලදීද Brain Fog ඇතිවිය හැකි නමුත්, එවැනි අවස්ථාවකදී ඩිමෙන්ෂියාවට ආවේණික වූ තවත් ප්‍රධාන සංජානන හා චර්යාත්මක ලක්ෂණ රැසක් හඳුනාගත හැක.

එබැවින් වෙනත් කිසිදු ඩිමෙන්ෂියා රෝග ලක්ෂණයක් නොමැතිව Brain Fog එකක් ඇතිවූ පමණින් කලබල විය යුතු නැත. කෙසේ වෙතත්, මෙය සිදුවන වාර ගණන සහ ස්වභාවය සටහන් කරගෙන ඔබේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම වැදගත්ය.



විවිධ වර්ගයේ "මීදුම්" (Types of Brain Fog)

Brain Fog ඇතිවීමට විවිධාකාර කායික හා මානසික හේතු බලපායි:

  1. සාමාන්‍ය Brain Fog: අධික මානසික ආතතිය (Stress), නිදන්ගත කාංසාව (Chronic Anxiety), විශාදය (Depression), නොසන්සුන් බව, ප්‍රමාණවත් සුව නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි නිදන්ගත රෝග හෝ ඖෂධවල අතුරු ආබාධ.
  2. Fibro Fog: මාංශපේශී සහ සන්ධි වේදනාවන් සහිත Fibromyalgia රෝග තත්ත්වයේ එක් ලක්ෂණයක් ලෙස මතුවන මතක මීදුම.
  3. Chemo Fog (Chemo Brain): පිළිකා රෝගීන් සඳහා ලබාදෙන පිළිකානාශක ඖෂධ (Chemotherapy) ප්‍රතිකාර අතරතුර සහ ඉන් පසුව මතුවන තාවකාලික මතක අපහසුතා.
  4. COVID Fog (Long COVID): කොවිඩ් ආසාදනයෙන් පසු දිගුකාලීනව පවතින තෙහෙට්ටුව, පේශි වේදනා සමඟ මොළයේ සෛලවල හටගන්නා සංජානන මන්දගාමීත්වය.

Brain Fog සහ Dementia අතර ඇති ප්‍රධාන වෙනස්කම්

| ලක්ෂණය | Brain Fog (මතක මීදුම) | Dementia (ඩිමෙන්ෂියාව) |
| :--- | :--- | :--- |
| සුවවීම / ආපසු හැරවීම (Reversibility) | ආතතිය, නින්ද, හෝ ඖෂධ වැනි මූලික හේතුවට ප්‍රතිකාර කළ විට සම්පූර්ණයෙන්ම සුවවේ. | ස්නායු සෛල හානිවීම නිසා ඇතිවන බැවින් ආපසු හැරවීම හෝ පූර්ණ සුවය ලැබීම අපහසුය. |
| කාල පරාසය (Duration) | කෙටි කාලීනයි, වරින් වර මතුවී නැතිවී යයි (Fluctuating / Temporary). | ක්‍රමානුකූලව දිගුකාලීනව වර්ධනය වන (Progressive) තත්ත්වයකි. |
| දෛනික ක්‍රියාකාරීත්වය (Daily Functioning) | දවසේ සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යාමේ හැකියාව ස්වාධීනව පවතී. | කාලයත් සමඟ ස්වාධීනව වැඩකටයුතු කරගැනීමේ හැකියාව දැඩි ලෙස බිඳවැටේ. |



ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට මෙවැනි "මතක මීදුමක්" දැනේ නම්, එය ඩිමෙන්ෂියාවකැයි බිය නොවී, ඔබේ ජීවන රටාව, නින්ද, මානසික ආතතිය සහ කායික රෝග තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත්ම සුදුසු පියවරයි.

2023/04/21

කලා නිර්මාණ සහ ඩිමෙන්ෂියාව

රටක කලා නිර්මාණ තුළ, ප්‍රජාව තුළ තවමත් ප්‍රමාණවත් නිවැරදි හඳුනාගැනීමක් නොමැති ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත තත්ත්වයන් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම තුළ වාසි මෙන්ම යම් අවාසි සහ අවදානම්ද මතුවිය හැක. විශේෂයෙන්ම ඊට දායක වන කලාකරුවන්, නිර්මාණකරුවන් සහ සම්පත්දායකයින් අදාළ තත්ත්වය පිළිබඳ ලබාගන්නා සහ බෙදාගන්නා දැනුම, අත්දැකීම් සහ නිරූපණ ක්‍රමවේදය අනුව මෙහි බලපෑම තීරණය වේ.



ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව නිරූපණය කළ ප්‍රකට නිර්මාණ

ලෝක සිනමා නිර්මාණ (International Films):

  • Still Alice (2014 / 2015) — Early-Onset Alzheimer's රෝගය පිළිබඳ විශිෂ්ට අධ්‍යයනයක්
  • The Father (2020) — ඩිමෙන්ෂියා රෝගියෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය පෙනෙන අයුරු පෙන්වූ සිනමා පටයක්
  • Away From Her (2006 / 2007)
  • The Notebook (2004)
  • The Savages (2007)
  • The Leisure Seeker (2017)
  • What They Had (2018)
  • Remember (2015)
  • Iris: A Memoir of Iris Murdoch (2001)
  • Elizabeth is Missing (2019)
  • Aurora Borealis (2005)
  • A Song For Martin (2001)
  • Firefly Dreams (2001)
  • Age-Old Friends (1989)

රූපවාහිනී සහ ටෙලි නිර්මාණ:

The Andy Griffith Show, Bonanza* ඇතුළු බටහිර කතාමාලා.
  • ශ්‍රී ලාංකේය නිර්මාණ:
  • "කොඩි ගහ යට" ටෙලිනාට්‍යයේ "කළු"ගේ මවගේ චරිතය (අධ්‍යක්ෂණය: ජගත් මනුවර්ණ).
  • "සහෝදරයා" ටෙලිනාට්‍යයේ "රජීව්"ගේ මවගේ චරිතය (අධ්‍යක්ෂණය: නාමල් ජයසිංහ).
  • "ගරිල්ලා මාකටිං" චිත්‍රපටයේ Schizophrenia (භින්නෝන්මාදය) හා ආශ්‍රිත තත්ත්ව නිරූපණය.

(කලාත්මක රූපරාමුවකින් පමණක් නිශ්චිත සායනික විනිශ්චයක් කළ නොහැකි වුවත්, මෙම දේශීය නිර්මාණකරුවන් ගත් ප්‍රශංසනීය උත්සාහය බෙහෙවින් අගය කළ යුතුය.)



කලා නිර්මාණ හරහා රෝග තත්ත්ව නිරූපණය කිරීමේ වාසි

  1. ප්‍රජා දැනුවත්භාවය හා විමසීමට පෙළඹවීම: සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති සෞඛ්‍ය තත්ත්වයක් ගැන චිත්‍රපට, ටෙලිනාට්‍ය හෝ නවකතා ඔස්සේ කතාබහක් නිර්මාණය වීමෙන් මිනිසුන් තවදුරටත් ඒ ගැන සොයා බැලීමට පෙළඹේ.
  2. සමාජ අපවාද හා කැළැල් (Stigma) අවම වීම: නොදැනුවත්කම නිසා රෝගීන්ට එල්ල වන සමාජ කොන්කිරීම් සහ වැරදි මත දුරුවීමට යථාර්ථවාදී නිරූපණ උපකාරී වේ.
  3. සංවේදීතාව සහ සහකම්පනය (Empathy) වර්ධනය වීම: සාත්තු සත්කාරයේදී පවුලේ අය සහ සමාජය මුහුණ දෙන අභියෝග පිළිබඳව පුළුල් ප්‍රජාව සංවේදී වේ.
  4. රාජ්‍ය ප්‍රතිපත්ති (Policy Impact): පොදු සමාජ අවධානය ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ සුබසාධන පහසුකම් පුළුල් වීමට පෙළඹවීමක් ඇති විය හැක.

සිදුවිය හැකි අවාසි සහ අවදානම්

  • වැරදි හෝ විකෘති ඉදිරිපත් කිරීම් (Misrepresentation): නිසි සෞඛ්‍ය වෘත්තික උපදෙස් නොමැතිව නිර්මාණකරුගේ හුදු පෞද්ගලික විශ්වාසයන් මත පමණක් රෝග ලක්ෂණ ගොඩනැඟීමෙන් සමාජගත වන්නේ වැරදි පණිවිඩයකි.
  • අතාත්වික මවාපෑම් සහ සාමාන්‍යකරණය (Romanticizing / Oversimplification): රෝග තත්ත්වය අතිශය සරල දෙයක් ලෙස හෝ අනවශ්‍ය ලෙස අද්භූත දෙයක් ලෙස පෙන්වීමෙන් සැබෑ රෝගීන් මුහුණදෙන ගැටළු අවතක්සේරු විය හැක.
  • අතිසංවේදීකරණය සහ බිය ඇති කිරීම (Sensationalism / Fear Mongering): අනවශ්‍ය ලෙස බියකරු හෝ දරුණු අන්දමින් අතිශයෝක්තියෙන් නිරූපණය කිරීම තුළින් ප්‍රජාව තුළ අනියත බියක් හා කලකිරීමක් ඇති විය හැක.

කලා නිර්මාණයක් යනු හුදු සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් නොවුණද, ඩිමෙන්ෂියාව වැනි සංවේදී සෞඛ්‍ය තත්ත්වයන් සමාජගත කිරීමේදී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ මඟපෙන්වීම් සහ නිරවද්‍ය දැනුම එක්කර ගැනීම නිර්මාණයේ ප්‍රමිතියට මෙන්ම සමාජ මෙහෙවරටද අතිශය වැදගත් වේ.

2023/04/14

ඩිමෙන්ෂියාව සහ ගෙදර වැඩ

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන තමන්ගේ අම්මා, තාත්තා එහෙම නැත්නම් පවුලේ සාමාජිකයා නිවසේ වැඩකටයුතු වලට උදව් කරගැනීම හොඳද නරකද? මේ ප්‍රශ්නය රෝග තත්ත්වය විනිශ්චය වූ මුල් මාස කිහිපයේ අප හමුවන බොහෝ පවුල්වල සාමාජිකයන් විමසන පොදු ගැටළුවකි.

"දැන් එයාට විවේකයෙන් ඉන්න දෙන්න ඕන නේද?"
"එයාගේ කල්පනාව වෙනස් වන නිසා තවත් අවදානමක් වේවිද?"
"ගෙදර වැඩ තියා අපි නිකං කතා කළත් එයාට තරහ යනවානේ?"
"අනේ එයාට තවත් කරදර කරන්නට බෑ, එයා අපි නිසා මෙතෙක් දුක්වින්දා, දැන් එයාව පරිස්සමෙන් බලාගෙන ඉන්න ටිකේ සැපට තියන්නයි මට ඕනේ."

ඇත්තටම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයා නිවසේ වැඩකටයුතු වලට එකතු කරගැනීම සුදුසුද?

මෙම ප්‍රශ්නයට තනි පොදු පිළිතුරක් ලබා දිය නොහැක්කේ ඩිමෙන්ෂියා වර්ගය, රෝග අවධිය, පුද්ගලයාගේ වයස සහ චර්යාවන් අනුව තත්ත්වය වෙනස් වන බැවිනි. කෙසේ වෙතත්, නිසි ඇගයීමක් සහ ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ නිවසේ වැඩකටයුතු වලට උදව් කරගැනීමෙන් අතිමහත් වාසි රැසක් ඔවුන්ට ලබා දිය හැක.



ගෙදර වැඩ පැවරීමට පෙර සොයා බැලිය යුතු කරුණු 9ක්

  1. හැකියාවේ තරම මනින්න (Assess Ability): පුද්ගලයාට කළ හැකි කායික හා මානසික සීමාවන් හඳුනාගන්න. කොපමණ වෙලාවක් එක දිගට වැඩක රැඳී සිටිය හැකිද? එකවර උපදෙස් කීයක් අනුගමනය කළ හැකිද? ශබ්ද සහ බාධා මැද අවධානය රඳවාගත හැකිද? මෙවැනි දේ නිරීක්ෂණය කර සීමාවන් තුළ කළ හැකි දේ තෝරන්න.
  2. ඔබ ඉවසිලිවන්ත වන්න: වැඩේ පෙර මෙන් වේගවත්ව හෝ පරිපූර්ණව සිදු නොවීමට ඉඩ ඇත (උදා: පොල් මිරිකීම හෝ රෙදි නැමීම). කිසිවිටෙකත් දොස් නොනඟා, ඔවුන් කළ සුළු හෝ උදව්ව අවංකව හා උණුසුම්ව අගය කරන්න. තමන් කළ දෙයින් පවුලට උපකාරයක් වූ බව ඔවුන්ට දැනෙන්නට හරින්න.
  3. කාර්යය සරල කරන්න (Simplify Tasks): පියවර ගණනාවක සංකීර්ණ වැඩක් වෙනුවට එක් පියවරක සරල කාර්යයක් පවරන්න:
  • වේලුණු රෙදි වලින් මේස් කූට්ටම් වෙන් කිරීම.
  • සෝදා දුන් බෝංචි හෝ පළා කොළ කඩා වෙන් කිරීම.
  • පිඟන්/හැඳි පිසදමා පිළිවෙලට තැබීම.
  1. ස්ථාවර රටාවකට හුරු කරන්න (Establish a Routine): දිනපතා කරන කාර්යයක් නම් එකම රටාවක්, එකම වේලාවක් සහ එකම ස්ථානයක් පුරුදු කරන්න (උදා: කොස්ස තබන තැන, අතුගාන වේලාව, රෙදි නවන මේසය). ස්ථාවර රටාව මඟින් මානසික පීඩනය සහ ව්‍යාකූලතාවය බෙහෙවින් අඩු කරයි.
  2. අවදානම් ගැන පෙර සූදානම් වන්න (Safety First): පිහි, කැපුම්/සීරීම් උපකරණ, උණුසුම් ලිප්, ගිනිදැල් සහ වැරදීමකින් බීමට ඉඩ ඇති විෂබීජ නාශක/සේදුම්කාරක දියර බෝතල් වැනි අනතුරුදායක දෑවලින් ආරක්ෂා වන පරිදි කාර්යය සැලසුම් කරන්න.
  3. තෝරා ගැනීම් ලබා දෙන්න (Offer Limited Choices): "අම්මා, මට බෝංචි ටික කඩලා දෙනවද, නැත්නම් පොල් ටික මිරිකලා දෙනවද? මොකටද කැමති?" — මෙසේ සීමිත තේරීම් දෙකක් ලබා දීමෙන් ඔවුන්ට තීරණ ගැනීමේ ගෞරවය සහ මානසික උත්තේජනයක් ලැබේ. (තේරීම් ගොඩක් ලබා නොදෙන්න).
  4. නම්‍යශීලී වන්න (Be Flexible): පුද්ගලයාගේ මනෝභාවය සහ හැකියාව දවසින් දවස වෙනස් විය හැක. ඊයේ හොඳින් කළ වැඩේ අද අඩක් කර නතර කළත් කමක් නැත; කළ ප්‍රමාණය අගය කර ඉතිරිය ඔබ සතුටින් බාරගන්න.
  5. බාධාවලින් තොර සුදුසු පරිසරයක් සකසන්න: අනවශ්‍ය බඩුබාහිරාදිය ඉවත් කර වැඩට අදාළ දේ පමණක් මේසය මත තබන්න (උදා: පාන් පෙත්තක ජෑම් ගෑම සඳහා පාන්, ජෑම් සහ හැන්ද පමණක් තැබීම; වටපිටාවේ අනවශ්‍ය බෝතල් ඉවත් කිරීම).
  6. ප්‍රමාණවත් විවේකය ලබා දෙන්න: ඉක්මනින් විඩාවට පත්වන බැවින් අවශ්‍ය මොහොතේ විවේක ගැනීමට ඉඩ සලසන්න.

ගෙදර වැඩකටයුතුවලට එක්වීමෙන් ලැබෙන ප්‍රධාන වාසි 5ක්

  • තමන්ගේ වටිනාකම දැනීම (Sense of Purpose & Self-Worth): ඩිමෙන්ෂියාව නිසා තමන් කිසිදු වැඩකට නැති අයෙකු බවට හැඟී මානසිකව බිඳවැටීම වෙනුවට, තවමත් තමන් පවුලට වැදගත්, අවශ්‍ය පුද්ගලයෙකු බව දැනීමෙන් ලැබෙන මානසික සුවය මිල කළ නොහැක.
  • මනස සක්‍රිය වීම (Cognitive Stimulation): පියවර මතක තබා ගැනීම සහ අවධානය යොමු කිරීම මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සහ තවදුරටත් දුර්වල වීම පාලනයට උපකාරී වේ.
  • කායික ක්‍රියාකාරීත්වය හා ව්‍යායාමය (Physical Activity): ඇඟපත වෙහෙසවීම මඟින් රුධිර සංසරණය සහ පේශි ක්‍රියාකාරීත්වය යහපත්ව පවතී.
  • සංවේදන උත්තේජනය වීම (Sensory Stimulation): එළවළු කැඩීමේදී දැනෙන ස්පර්ශය, සිසිලස, ශබ්දය සහ කුස්සියේ උයන පිහින සුවඳ විඳීම මඟින් මොළයේ සංවේදන මධ්‍යස්ථාන උත්තේජනය වේ.
  • වේදනා සහ චර්යාත්මක ගැටළු අමතක වීම (Distraction from Symptoms): වැඩක නිරතව සිටින විට ශාරීරික වේදනා කෙඳිරිගෑම් මෙන්ම, සවස් කාලයේ තේරුමක් නැතිව නිවසින් පිටතට ඇවිද යාම (Wandering / Sundowning) වැනි චර්යාවන් ස්වභාවිකවම පාලනය වේ.

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ඔබේ ආදරණීයයා "රෝගියෙකු" ලෙස හුදෙකලා කර තබනවාට වඩා, ඔවුන්ගේ හැකියාවන්ට ගැළපෙන ආරක්ෂිත ගෙදරදොර වැඩකටයුත්තකට සහභාගී කරවා ගැනීම උසස් මානසික සුවයක් ගෙන දෙන විශිෂ්ට චිකිත්සීය ප්‍රවේශයකි.

2023/04/07

ඩිමෙන්ෂියාවේදී කතාව වෙනස් වන්නේ ඇයි?

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකු තුළ සිදුවන වෙනස්වීම් අතරින් පවුලේ අය, ආසන්නතම මිතුරන් මුලින්ම හඳුනාගන්නා ප්‍රධාන ලක්ෂණයක් වන්නේ "කථනය වෙනස්වීම"යි. මෙම ලිපිය තුළින් කථනය වෙනස්වීම සඳහා හේතුවිය හැකි සාධක සහ ඒ සඳහා ප්‍රායෝගිකව භාවිත කළ හැකි සාත්තු උපක්‍රම සාකච්ඡා කෙරේ.



කතාබහ වෙනස්වීමේ ප්‍රධාන අවස්ථා සහ ප්‍රායෝගික උපක්‍රම

1. වචන අමතක වීම (Anomia / Anomic Aphasia)

වෙනදා සාමාන්‍ය විදියට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි අදහස් ප්‍රකාශ කළ පුද්ගලයා, දැන් එම අදහසම ප්‍රකාශ කරන්නට ලොකු උත්සාහයක් දරයි. ගැලපෙන වචනය මතක් කරගත නොහැකි නිසා ඒ හිස්තැන් වෙනත් වචන හෝ ඉඟි වලින් පිරවීමට උත්සාහ කරයි. උදාහරණයක් ලෙස: "මගේ හැරමිටිය ගෙනත් දෙන්න" කියනවා වෙනුවට "අර මං ඇවිදින්න ගන්නේ... මෙන්න මෙහෙම තියන්නේ... අන්න ඒක ගෙනත් දෙන්නකෝ"* ආදී වශයෙන් කීම.
  • කළ හැකි දේ:
  • මුල් අදියරේදී සුදුසුකම්ලත් භාෂණ චිකිත්සාවකට (Speech Therapy) යොමුවීම.
  • පුද්ගලයාට කලබල නොකර හෝ පීඩනයට පත් නොකර, වචනය මතක් කරගැනීමට අවශ්‍ය කාලය සහ ඉවසීම ලබා දීම.
  • වචනය මතක් කරගැනීමට උපකාරී වන ඉඟි (cues) ලබා දීම හෝ අදහස වටහාගෙන සන්සුන්ව අදාළ වචනය තහවුරු කරගැනීම.

2. එකම දේ නැවත නැවත කීම සහ විමසීම (Repetitive Questioning)

පිළිතුරු ලැබුණද සුළු කාල පරාසයක් තුළ එකම ප්‍රශ්නය නැවත නැවත ඇසීම, හෝ එකම වචනය හේතුවක් නොමැතිව පුනරුච්චාරණය කිරීම. උදාහරණයක් ලෙස:* "අද දවල්ට අපි කන්නේ මොනවාද?" යැයි පිළිතුරු ලබාදුන් පසුත් සුළු මොහොතකින් නැවත නැවත විමසීම.
  • කළ හැකි දේ:
  • කෝපයට හෝ නොඉවසිලිමත්භාවයට පත් නොවී (ඔබේ කෝපය ඔවුන් තුළ තවත් බිය හා ව්‍යාකූලතාව ඇති කරයි), වරක් හෝ දෙවරක් සන්සුන්ව පිළිතුරු දී වෙනතකට යොමු කිරීම (Redirection) — උදාහරණයක් ලෙස බෝංචි කැඩීම, එළවළු තේරීම වැනි අවදානමක් නැති සරල ගෙදරදොර කාර්යයකට සම්බන්ධ කරගැනීම.
  • සැඟවුණු අවශ්‍යතා සෙවීම: නැවත නැවත එකම දේ ඇසීම පිටුපස කුසගින්න, වේදනාව, මුත්‍රා/මළපහ කිරීමේ අපහසුතාව වැනි වෙනත් කායික අවශ්‍යතාවක් තිබේදැයි විමසිලිමත් වීම.

3. භාවිත කළ හැකි වචන ප්‍රමාණය අඩුවීම

මොළයේ සෛල හානිවීම් හෝ ඖෂධවල බලපෑම නිසා වචන මාලාව සීමා වීම සහ එකම වචන කට්ටලයක් පමණක් නැවත නැවත භාවිත කිරීම.
  • කළ හැකි දේ:
  • සරල, කෙටි වාක්‍ය භාවිතයෙන් අදහස් හුවමාරු කරගැනීම.
  • අදාළ පුද්ගලයාගේ ඇස් මට්ටමේ සිට (Eye Level) සන්නිවේදනය කිරීම.
  • අභිනයන්, මුහුණේ ඉරියව් සහ අත් සංඥා (Non-verbal cues) එකතු කරගැනීම.
  • කැමති සංගීතයකට, ගුවන්විදුලි වැඩසටහනකට සවන් දීමට අවස්ථාව දීම.

4. අදහස ගැලපීමේ අපහසුතාව (Word Salad / Disjointed Speech)

වාක්‍යයක් අතරමඟ නවත්වා දැමීම, වාක්‍ය දෙකක් අතර කිසිදු සම්බන්ධයක් නොවීම, කිසිදු හේතුවක් නැතිව නොගැලපෙන මාතෘකා වලට පැනීම හෝ තේරුමක් නැති වචන ගොන්නක් එකතු කිරීම.
  • කළ හැකි දේ:
  • ප්‍රකාශ කරන්නට උත්සාහ කරන අදහස ඔබට වැටහේ නම්, එය සරලව හා කෙටියෙන් නැවත පවසමින් තහවුරු කරගැනීම.
  • ඉවසිලිවන්තව කාලය ලබා දීම.

5. කතා කිරීමේ හැකියාව සහ උනන්දුව අඩුවීම

චිත්තවේගීය වෙනස්වීම්, වෙහෙසකර බව සහ තමන් කතා කරන දේ අන් අයට නොවැටහෙන බව දැනීම නිසා කතාබහෙන් ඈත්වීම. කතා කරන එක් වාක්‍යයක් හෝ වෙනුවෙන් ඔවුන් විශාල ශක්තියක් වැය කරන බව සහකම්පනයෙන් තේරුම් ගැනීම වැදගත්ය.

6. හඬ සහ කතා කරන වේගයේ නොගැලපීම

හදිසියේ වේගයෙන් හෝ ආවේගශීලීව කතා කිරීම, ක්ෂණිකව හඬේ උස් පහත් වීම් සිදුවීම. මෙහිදී හඬේ සැරට වඩා ඔවුන් කියන්නට උත්සාහ කරන අදහස තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

7. ඇහෙන දේ ඒ අයුරින්ම නැවත කීම (Echolalia)

අන් අය පවසන වචනයක් කිසිදු වෙනසක් නැතිව නැවත නැවතත් පුනරුච්චාරණය කිරීම.

8. සම්පූර්ණයෙන්ම කතාව නැවැත්වීම

ඩිමෙන්ෂියාවේ පසු අවධිවලදී සම්පූර්ණයෙන්ම කතාබහ නවත්වා නිහඬ විය හැක. මෙහිදී පින්තූර කාඩ්පත් (Communication Cards), අභිනයන් සහ අවශ්‍යතා පෙන්වන මෙවලම් භාවිතයෙන් සන්නිවේදනය පවත්වා ගත හැක.

භාෂණ වෙනස්කම් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක

  1. Cognitive Decline: මොළයේ සෛල හා පටක වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම.
  2. Memory Impairment: මතකයේ තොරතුරු රඳවා ගැනීමේ හා අවශ්‍ය මොහොතේ මතු කරගැනීමේ අපහසුතා.
  3. Aphasia: අදහස් ප්‍රකාශ කිරීමට අදාළ ස්නායු මධ්‍යස්ථාන දුර්වල වීම.
  4. Executive Function Impairment: සංකීර්ණ සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ අදහස් පෙළගැස්වීමේ හැකියාව බිඳවැටීම.
  5. Emotional Factors & Depression: පීඩාව, කාංසාව, මානසික අවපීඩනය සහ පවුලේ අයගේ අකමැත්තෙන් හෝ කෝපයෙන් සිදුවන ප්‍රතිචාර නිසා කතාබහෙන් ඉවත්වීම.
  6. Anxiety: තමන්ට සිදුවන වෙනස්කම් තේරුම් ගැනීම නිසා ඇතිවන මානසික පීඩනය.
  7. Social Isolation: සමාජ ඇසුර අඩුවීම නිසා කතාබහට ඇති අවස්ථා සීමාවීම.
  8. Medication Side Effects: භාවිත කරන ඖෂධවල බලපෑම නිසා ඇතිවන නිදිමත හා කථන අපහසුතා.
  9. Physical Changes: දිව, තොල් සහ මුහුණේ මාංශපේශී පාලනය දුර්වල වීම.

(මෙය සායනික පරීක්ෂණයක් වෙනුවට ප්‍රායෝගික සාත්තු සත්කාර අත්දැකීම් ඇසුරෙන් සැකසූ මඟපෙන්වීමකි. ඔබේ ආදරණීයයාගේ කථන වෙනස්කම් වලදී ඉවසීම, ආදරය සහ සහකම්පනය පිරුණු ප්‍රවේශයක් අනුගමනය කරන්න.)