හැම ජීවියෙක්ටම පොදු ජීව ලක්ෂණයක් අප ඉගෙන ගත්තා හයේ හතේ පන්ති වලදි , ඔබට මතකද මන්දා? (අපට ඉගැන්නුවේ අරුණලතා ගුරුතුමිය, ඔබට මතකද ඔබේ ගුරුවරයා කවුද කියල?) ඒ , සංවේදීතාව එහෙම නැත්නම් උත්තේජයකට ප්රතිචාර දැක්වීමේ හැකියාව. එය ජීවියා සංකීර්ණ වන්නට, එහෙම නැත්නම් ජීවියාගේ ස්නායු පද්ධියේ සංකීර්ණත්වය වැඩි වෙත්දි, වේදනාවට/හානිකර බවට සංවේදීකම (nociception) සිට, " සවිඥානක වේදනාව" conscious pain නමින් වෙන්කර හදුන්වන සංකීර්ණ අවස්ථාව දක්වා එනවා. දැන් ඉතින් මිනිස්සු, අපි බොහාම සංකීර්ණ ස්නායු පද්ධිතයක් හිමි අයනේ. (සමහර වෙලාවට ඕක හරියට පාවිච්චි නොකළත් 😉) ඒ නිසා, මිනිස්සු වන අපට ඔය සවිඥානක වේදනාව තවත් කොටස් කරල , චිත්තවේගීය වේදනාව එහෙම නැත්නම් කායික වේදනාව වගේ එක එක හැඩයෙන් තේරුම් ගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, එහෙම හදුනාගත්ත වේදනා වර්ග ටික, මොළයේ හෝටල් කාමර (මොළ හෝටලේ) වල දාල පරිස්සං කරල තියා ගන්නත් හැකියාවක් අපට තියෙනවා.
2025/09/28
256) බිඳුනු වැඩිහිටියෙක් තනන, ගුරු-දෙගුරු සුළු වැරදි
මුලින්ම කියන්න ඕන කරුණූ දෙකක් තිබෙනවා. එකක්,මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් "අනේ අම්ම, තාත්තට ගුරුවරුන්ට මෙහෙම කියනවද" කියල හදවතට දැනෙන කම්පණයෙන් දුක හිතෙන අයත් මේ කියවන ඔබ අතර ඉන්න පුළුවන්. නමුත්, මේ ලියවෙන කරුණ ගැන සමබරව හිතාබලමින් , නැවත මාතෘකාවට හැරි බලන්නැයි ඒ අයට ආරාධනා කරනවා.
255) බිරිඳ අගය කිරීමේ දිනය
අද,
බිරිඳ අගය කිරීමේ දිනය
ඔව්, අද දවස එහෙම නැත්නම් සැප්තැම්බරයේ තුන්වන ඉරිදාව Wife Appreciation Day ලෙසයි නම් කෙරෙන්නේ. දැන් මේක කියවපු ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
"ඕකට මක්කටෙයි වෙනම දවසක්"
"අපි ඉතින් හැමදාම අගය කොරනවනේ"
එහෙමත් නැත්නම්,
254) ඔයාට ජෙලස්ද? එයාට ජෙලස්ද?
මේ ප්රශ්න දෙකෙන් එකක් හරි ඔබට අහන්න ලැබිල ඇති නේ? බොහෝ විට අහන්න ලැබිල ඇති. දැන් මේ පෝස්ට් එක ඇතුලේ ජෙලසි කියන්නේ මොකක්ද කියල ලොකු පැහැදිලි කිරීමකට යන්නේ නැහැ.
නමුත්, අපි නිකංම ජෙලසි කියන එක ඇතුලේ, එය සාමාන්ය හැඟීමක සිට, ප්රතිකාර ගත යුතු අවස්ථාවක් දක්වා යාහැකි සීමාවක් පවතින බව දැන සිටීම වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ කතාව විතරක් මෙතැනට එකතු කරන්නම්.
ඔය පොඩි ඉරිසියාකාර හැඟීමක් ඇති වෙලා ටික වෙලාවකට පස්සේ නැති වෙලා යන එක සාමාන්ය දෙයක්. ඔබේ ආදරවන්තයා වෙන ලස්සන ගෑනු ළමයක් දිහා බැලුවම හරි, අල්ලපු ගෙදරට ලොකු අල්මාරියක් ගේනව දැක්කම හරි වෙන්න පුළුවන්. නමුත්, මේ ඊර්ෂ්යාකාර හැඟීම, ඔබේ දවසේ සාමාන්ය කටයුතු වලට බාධාවන තරමට, ඔබටම පීඩාවක් වන තරමට, නැවත නැවත ඇති වෙමින්, ඒ ඔස්සේ සැකය, ආවේගය වැනි තවත් හැඟීම් පීඩාකාරී ලෙස එක්වන ස්වභාවයක් ඇත්නම් එය හොඳ තත්ත්වයක් නොවේ. අන්න ඒ අවස්ථාවෙදි, මානසික සෞඛ්යය ප්රතිකාර ලබා දෙන වෘත්තිකයෙක්ගේ සහයෝගය ලබා ගැනීම අනාගතයේ විය හැකි අවදානම් මෙන්ම වර්තමානය තුල පීඩාවන්ද වලක්වා ගන්නට හේතු වේවි.
253) සමාජ මාධ්යය සහ ඔබේ මානසික සෞඛ්යය.
අද සමාජය තුල පුද්ගලයෙක්ගේ මානසික සෞඛ්යය කෙරේ, සෘජු නමුත් නොදැනෙන දැඩිම බලපැමක් කිරීමට සමාජ මාධ්යයන් සහ ප්රධාන මාධ්ය හේතු වෙනවා. එම නිසා, තම මානසික සෞඛ්යයට යහපත්, මධ්යය භාවිතයකට හුුරු වීම "තම ජීවිතය" වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වේවි.
252) සුව දෙන සිරික්කිය - සිනා තෙරපිය.
"හිනා හිනා හිනා හිනා වෙන්න හිනා... කරදර ඉවත දමා ...පොඩ්ඩක් වෙන්න හිනා" මතක විදියට ජිප්සිස් කණ්ඩායම මෙහෙම කියත්දි සමහරු කිව්වේ "හිනා වී තරවෙන්න" කියලා. ඔය අතරේ "සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලත් කිව්වලු. ඔය මොන මොන කතා අතරෙත් හිනාව මිනිස් සංස්කෘතිය තුල හැඟීම් ප්රකාශ කිරීමට වගේම සන්නිවේදන ක්රමයක් ලෙසත් පැවතෙමින් තිබෙනවා.ඔය හිනා කතා අතරේ, අද මටත් හිතුනා, හිනාව ගැන කතාබහක් එකතු කරන්නට. ඒ හිනා තෙරපිය ගැන. එහෙම නැත්නම් Laughter therapy ගැන. ඔව් ප්රතිකාරයක් විදියට අද වෙත්දි මේ රටවල භාවිත කරන, විශේෂයෙන්ම Recreation Therapy කියන මගේ වෘත්තීය පරිසරය තුල ප්රායෝගිකව භාවිත වන නිර්-ඖෂධිය ප්රතිකාර ක්රමයක්.
ලෙඩ හොඳ කරන්න හිනාව බෙහෙතක් කරලද ?
251) ජීවිතේ සරු කරන නිදහස් ජීවිතය.
අපි කාගෙත් "ජීවිතය තුල" තවත් "ජීවිත කිහිපයක්" තිබෙනවා.
"මේ මොන හතර බීරි කතාවක්ද? එකක් ඇතුලේ තව කීපයක් තියෙනවා? "
"ඔව්, අපේ ජීවිතය තුල තවත් කොයිතරම් අනු ජීවිත තියෙනවද? පාසල් ජීවිතේ, තනිකඩ ජීවිතේ, යුග ජීවිතේ, සමාජ ජීවිතේ, රැකියා ජීවිතේ ... තව මොනවද? ගිහි ජීවිතේ ... "
අපේ ජීවිත කාළය තුල අප මුහුණදෙන අත්දැකීම්, සමාජීය ක්රියාකාරකම්, භෞතික, චිත්තවේගීය හැසිරීම ඔස්සේ අප ලබන අත්දැකීම් වලට පොඩි සීමාවක් දාල අපට කියන්න පුළුවන්නේ ....ජීවිතේ කියල නේද? දැන් මේ විදියට කියාගෙන යන , අත්දැකීම් ලබන ජීවිත අතරේ ඔබට තිබුණාද "නිදහස් ජීවිතය" එහෙම නැත්නම් Leisure Life කියල දෙයක්?
250) දැවෙන තැවෙන අප්පුහාමිගේ කතා වස්තුව.
ලැබුණූ විවේකයේ මානසික සෞඛ්යය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් හිතන්නට ඕන, නමුත් සමහර වෙලාවට අපට හිතන්නට නොදැනෙන මාතෘකාවක් ගැන කෙටියෙන් සාකච්ඡා කරන්නට හිතුවා. ඒ Burnout ගැන. සිංහල පරිවර්තනය නම් එන්නේ "දැවීම" කියලා. ඔව් එක්තරා විදියක දැවීමක්. මේ කියන්නට හදන පියවර ඔස්සේ ඔබ කායිකව, මානසිකව එක්තරා දැවීමකට , බිඳීමක පත් වෙනවා. එය සමහර අවස්ථා වල Burnout Syndrom කියන නමින් හඳුන්වන්නට තරම් සංකීරණ, ගැටළු මිශ්රණයක්. ඇයි දැන් මේක ගැනම අද කතා කරන්නේ? එකක් වෘත්තිය වශයෙන් මම මැදිහත් වන සේවා ලබා දීම් වලින් සියයට හැටක් හැත්තෑවක් විතර මේ Burnout තත්ත්වය නිසා සිදුවන ගැටළු වෙනුවෙන්. ඉතින් මේ මාතෘකාව එක දවසක් තුල වාර ගණනක් කතා කරන, මතක් කරන දෙයක්. ඉතින් ඒක අර ගලේ කෙටුව වගේ ඔළුවේ රැදිලා තියෙන නිසා මේ වෙලාවේ "වෙනම මහන්සියක් වෙලා ලියන්න ඕන නැහැ". දෙක, මේ ගැටළුව ලංකාව තුල ඒතරම්ම සාකච්ඡාවට භාජනය වෙනවාදැයි සැකයක් මගේ අත්දැකීම් තුල තිබෙනවා. ලංකාව තුල සෞඛ්යය සේවය තුලවත්, අනෙක් වෘත්තික සාමාජිකයා burnout තත්ත්වට පත්වේද කියල හොයල බලන්නවත් දැනුවත් කරන්නවත් කටයුතු කරනවා නම් එය සතුටක්.
අප්පුහාමිගේ කතා වස්තුව ආරම්භය
249) පොප් කෑන් එකේ කතාව.
දහවල් ආහාරය සඳහා විවේකය නිමාවෙන්න විනාඩි කිහිපයක් තිබිය දී, දේශකවරිය , වැඩසටහන් කාමරයට ආව. ඒ , පොප් කෑන් එකක්, එහෙම නැත්නම් සිසිල් බීම කෑන් එකකුත් අරගෙන.
කතා බහක් නැතිව, ඊළඟ වැඩසටහනට අදාල ස්ලයිඩ් එක තිරය මත පතිත කළ ඇය,
"හරි දැන් ඊළඟ දේශනයට යන්න ඉස්සර වෙලා මට ඔයාලගෙන් උදව්වක් ඕන. මොකක්ද දන්නවද? පහුගිය පැය විසි හතර තුල ඔයා මුහුණ දුන් stressful event එකක් ගැන කියන්න. කියන්න අකමැති නම් තමන්ගේ අවස්ථාව අනෙක් කෙනාට දෙන්න.ඔයාලට මුහුණ දෙන්න වුනු stressful event එකක් කියූ සැණින් මම මේ පොප් කෑන් එක මෙන්න මේ විදියට හොලවනවා"
2025/09/27
Fibromyalgia - Intro 4
4. "සුව" නැති නින්ද Non-restorative sleep
"සුව" නැති නින්ද කියන්නේ මොකක්ද?
ෆයිබ්රොමයැල්ජියාවේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ "සුව" නැති නින්ද. තවත් විදියකින් කෙටියෙන් කිව්වොත් නිදාගත්තත්, එහි ලැබිය යුතු "සුවදායීබව" නොලැබීම. දැන් මේකෙන් කියන්නේ, ෆයිබ්රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙකුට නිදාගන්න බැහැ කියන එකනම් නොවෙයි. මේ අයට දවස පුරාම වුනත් නිදාගන්න පුළුවන්. නමුත්, කොයිතරම් වෙලාවක් නිදාගත්තත්, අවදි වෙත්දි නිදා නොගත්තා වැනි හැඟීමක් හෝ නින්දේ ලැබිය යුතු සැහැල්ලුව නොලැබීමයි ප්රධාන ලක්ෂණය වන්නේ.
අද ලිපිය තුල කෙටියෙන් කතා කරන්නේ අන්න ඒ, "සුව නැති නින්ද" ගැනයි. එහි හදුනාගත හැකි ප්රධාන ලක්ෂණ කිහිපයක් මේ,
1) ප්රමාණවත් නින්දක් ලැබුණත් ප්රබෝධමත් බවක් නොලැබීම
- ප්රමාණවත් පැය ගණනක් "නිදාගත්තත්" , නින්දෙන් අවදිවන විය ලැබිය යුතු ප්රබෝධමත් බව නැතිවීම
2) නින්දෙන් වැඩි වාර ගණනක් අවදිවීම
- නිදාගන්නා කාළය තුල වැඩි වාර ගණනක් නින්දෙන් අවදිවීම සිදුවිම
3) ගැඹුරු නින්දට වඩා නිදි-අවදි තත්ත්වයක සිටීම
- නින්ද තුල ලැබිය යුතු "ගැඹූරු නින්ද"ට වඩා, නිදි-අවදි ස්වභාවියේ තත්ත්වයක වැඩි වෙලාවක් ගත වීම
4) නින්දට ඇතුළු වීමට වැඩි කාලයක් ගත වීම
- ඇඳට ගියත්, නින්දට ඇතුළු වීමට වැඩි වෙලාවක් ගත වීම
5) අවදි වූ පසුත් දවස පුරා වෙහෙස දැනීම
- කොයිතරම් වෙලාවක් "නිදාගත්තද" , අවදි වූ පසු දවසපුරා වෙහෙසකර බවක් දැනීම
6) Restless legs නිසා නින්දට බාධා වීම
- නින්දේදී සිදුවන Restless legs (පාළනයකින් තොරව , වරින්වර පාදය ගැස්සීමට ලක්වීම ) නිසා නින්දට පත්වීම මෙන්ම, නින්දේ රැදී සිටීමට අපහසුවීම
මෙම ලක්ෂණ නොසලකා හරින්න එපා
මේ ලියාගෙන ගියේ, ෆයිබ්රො තත්ත්වයේදී ඇතිවන සුව නැති නින්දේ ලක්ෂණ කිහිපයක්. මේ වගේ නිදි ලක්ෂණ එක්ක, කාළීනව පවත්නා වේදනාව වැනි ලක්ෂණ කෙනෙක්ට ඇත්නම් එම තත්ත්වය විවිධ හේතු හිතමින් නොසලකා නොහැර , සුදුසුකම්ලත් වෛද්යවරයෙක්ගේ උපදෙස් සහ ප්රතිකාර ලබා ගැනීම හරිම වැදගත්. මේ ලක්ෂණ තිබූ පමණින්ම එය Fibromyalgia යැයි ස්ථීරව තහවුරු නොකළ හැකි වුවත්, මෙම තත්ත්වය ගැනද දැනුවත්ව ප්රතිකාර වෙත යොමු වීම ඔබට වාසියක් සහ සුවයක් එක් කරාවි.
තවත් ලිපියකින් නැවත හමුවෙමු.
Fibromyalgia - Intro 1
1. Fibromyalgia ගැන කෙටි හදුන්වාදීමක්.
මෙතැන් සිට FM (Fibromyalgia) හෝ FMS(Fibromyalgia Syndrome) ලෙස හදුන්වා දෙන, මෙම කාළීන සෞඛ්යය ගැටළුව වෛද්ය විද්යාව ඉහළ දියුණුවක පවතින අද දවසේත් අභියෝග ගණනාවක් මතු කරන තත්ත්වයකි. එය හුදෙක් , වේදනාව පමණක් නොව, මෙම ලක්ෂණ වෙනස්වන ස්වභාවය, තවත් සෞඛ්යය ගැටළු වලදී මතුවන ලක්ෂණ මතුවීම, ඊටත් වඩා මෙම තත්ත්වය යැයි 100%ක් තහවුරු කළ හැකි රෝග නිර්ණය පරික්ෂණයක් නොමැතිවීම වැනි කරුණූ නිසා, විටෙක "බොරු ලෙඩක්" එසේත් නැත්නම්, "හිතේ ලෙඩක්" හෝ තවත් අවස්ථාවක වෙනත් රෝගයක් යැයි සමාජය මෙන්ම සෞඛ්යය වෘත්තිකයන්ද හඳුනාගන්නා තත්ත්වයක් වීම ඊට ප්රධානම හේතුවේ.
එම ගැටළු මෙන්ම රෝග ලක්ෂණ සහ ඒ සමඟ පුද්ගලයා මුහුණදෙන අනෙක් අභියෝග ගැනත් පසුව වැඩි විස්තර සහිතව කතා කරන්නට තබා, දැනට මේ රෝග තත්ත්වයේ පොදු ලක්ෂණ කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ, තනිව රෝග විනිශ්චය කරගැනීමට උනන්දු කිරීමට නොව, මෙම ලක්ෂණ ඇත්නම්, එය වෙනත් හේතුවක් මත සඟවා දමා විඳවන්නේ නැතිව, සුදුසුකම් සහිත සෞඛ්යය වෘත්තිකයෙක් හමුවී, තමන්ට ඇත්තේ FMS තත්ත්වයද , එසේ නොවේද යන්න තහවුරු කරගෙන නිසි ප්රතිකාර සහ චිකිත්සාවන් ඔස්සේ වඩාත් සුවදායී ජීවිතයක් ලබා ගැනීමට පෙළඹවීමටයි.
මේ තමයි FM වල පොදු රෝග ලක්ෂණ
- වේදනාව - දේහය පුරා පැතිර පවතින , කාළයක් තිස්සේ (මාස තුනකට වඩා) පවතී
- වෙහෙස- විවේක ගැනීමකින් පවා අඩු නොවන වෙහෙසටපත් බව
- නිදි ගැටළු - නින්දට යාම පමාවීම, සුවදායී නින්දක් නොලැබීම, වරින්වර නින්දෙන් අවදිවීම
- මතකයේ ගැටළු - අවධානය පවත්වා ගැනීමේ අපහසුව, මතකයේ හිදැස් (brain fog) ඇති වීම
- මනෝභාවයන් අසාමාන්ය ලෙස වෙනස්වීම - දුක්බර, කළබලකාරී හෝ ආතතියෙන් සිටීම
- හිසේ වේදනාවන් - මයිග්රේන් හෝ තද හිසේ කැක්කුම් වලට ලක්වීම
- උදරය ආශ්රිත ගැටළු - බඩේ වේදනාව, පුරවාදැමූ ස්වභාවය, වරින්වර බඩ බුරුලින් යාම හෝ මළබද්ධයේ ලක්ෂණ දැනීම
- කම්මුලේ කැක්කුම - හකු ආශ්රිත වේදනාව
- අත්-පා ඇඟිලි වල ඇතිවන වේදනාව , හිරි වැටුනු ස්වභාවය
- වේදනාව වැඩිවීම - ස්පර්ශය හෝ තද කිරීම තුල දැනෙන වේදනාව ඉහළ යාම
- කාන්තාවකට ආර්තවය ආශ්රිත ගැටළු
- ලිංගික එක්වීම තුල අධික වේදනාවට ලක්වීම
මේ ලක්ෂණ ඇත්නම්, ඔබේ පවුලේ වෛද්යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර, තත්ත්වය Fibromyalgia ද නොවේද යන්න තහවුරු කරගන්න උත්සාහ කරන්න. මෙය ප්රතිකාර මත ඉතාමත් හොඳින් පාළනය කර , ආසන්න ලෙස සාමාන්ය ජීවන රටාවට පත් විය හැකි , නමුත් නොසලකාහැරීම තුල වැඩි අවදානම් අවස්ථා වලට පත්විය හැකි තත්ත්වයකි.
Fibromyalgia - Intro 2
2. ෆයිබ්රො වේදනාව
තමන්ට හෝ තමන්ගේ ආදරණීය කෙනෙකුට යම් සෞඛ්ය ගැටලුවක් ඇති වූ විට පමණක්, සෞඛ්යය පිළිබඳව වැඩිදුර දැනුවත් වීමට උනන්දු වන සමාජයක අපි ජීවත් වෙනවා. ඒ නිසාම තවමත් ලංකාවේ එතරම් ප්රචලිත නොවූ, හඳුනා නොගත් නිසා ඇතැම් අය දිගු කාලයක් විඳවන ෆයිබ්රොමයැල්ජියා (Fibromyalgia) ගැන කතා කිරීම වැදගත්.
පසුගිය ලිපියෙන් අපි ෆයිබ්රොමයැල්ජියා තත්ත්වය සහ එහි පොදු ලක්ෂණ ගැන කෙටි හැඳින්වීමක් කළා. අද අපි ටිකක් ගැඹුරට යන්නේ එහි ප්රධානතම සහ බොහෝ දෙනෙකුට වඩාත් අපහසුකාරී ලක්ෂණය වන වේදනාව ගැනයි.
ෆයිබ්රොමයැල්ජියා වේදනාව
බොහෝ සෞඛ්ය ගැටලු සහ රෝග තත්ත්ව සමඟ වේදනාවක් අත්විඳීමට සිදුවෙනවා. සමහර විට එය දණහිසක, උරහිසක, හිසේ හෝ උදරයේ වැනි පැහැදිලි ස්ථානයකට සීමා වූ වේදනාවක් වෙන්න පුළුවන්.
නමුත් ෆයිබ්රොමයැල්ජියා සමඟ ඇතිවන වේදනාව ඊට වඩා වෙනස්. එය ශරීරයේ දෙපසටම, ඉහළ සහ පහළ කොටස්වලට මෙන්ම කොඳු ඇට පෙළ ආශ්රිතවද පැතිර යා හැකියි. වේදනාව නිරන්තරයෙන් එකම මට්ටමක නොතිබෙන්න පුළුවන්. සමහර දිනවල අඩු වුණත්, තවත් දිනකදී හදිසියේම වැඩි විය හැකියි. වේදනාව ඇති ස්ථානද කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්.
තවත් අපහසුකාරී කරුණක් වන්නේ, සාමාන්යයෙන් වේදනාවක් ඇති නොකරන සුළු ස්පර්ශයක් පවා මෙහිදී දැඩි වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන් වීමයි. ඇතැම් අවස්ථාවල ඇඳුමක් ශරීරයට ස්පර්ශ වීම පවා අපහසු අත්දැකීමක් වෙන්න පුළුවන්.
මෙවැනි පුළුල් වේදනාවක් මාස ගණනාවක්, ඇතැම් විට වසර ගණනාවක් පවතින්නට පුළුවන්. ෆයිබ්රොමයැල්ජියා හඳුනාගැනීමේදී මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පවතින පුළුල් වේදනාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා.
මෙම වේදනාව හැමවිටම එකම ආකාරයට දැනෙන්නේ නැහැ. සමහර විට ශරීරය ඇතුළටම දැනෙන ගැඹුරු, නිරන්තර වේදනාවක් විය හැකියි. තවත් අවස්ථාවක තියුණු වේදනාවක්, පේශියකට උල් ආයුධයකින් අනිනවා වැනි හැඟීමක්, හෝ උණ හෙම්බිරිස්සාවක් ඇති වූ විට දැනෙන ඇඟපත රුදාවක් වැනි වේදනාවක් ලෙසත් දැනෙන්න පුළුවන්.
තවත් විශේෂ කරුණක් වන්නේ මෙම වේදනාවට බලපාන සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමයි. සුළු ශාරීරික වෙහෙසක්, මානසික ආතතිය, හිතේ ඇතිවන කලබලකාරී තත්ත්වයක්, නින්දේ ගැටලු සහ සමහර අවස්ථාවල කාලගුණයේ වෙනස්වීම් පවා වේදනාව වැඩි කිරීමට හේතුවක් විය හැකියි.
ෆයිබ්රොමයැල්ජියා සමඟ ඇතිවිය හැකි වේදනාවේ ස්වභාවයන් කිහිපයක් අපි දැන් බලමු.
🌿 දේහය පුරා පැතිරෙන පේශි වේදනාව
ශරීරය පුරාම ගැඹුරු, තද සහ රිදුම් දෙන වේදනාවක් ඇති වීම මෙහිදී බහුලව දකින්න පුළුවන්. එය පේශිවලට පමණක් සීමා නොවී, පේශි හා සම්බන්ධ අනෙකුත් පටක ආශ්රිතවද දැනෙන්න පුළුවන්.
කෙනෙකුට මුළු දවසම ඇඟපත රිදෙනවා වගේ දැනෙන්න පුළුවන්. තවත් කෙනෙකුට එක් දිනක උරහිස් සහ බෙල්ල ආශ්රිතව වැඩි වේදනාවක් තිබුණත්, ඊළඟ දවසේදී කකුල් හෝ පිටුපස ප්රදේශය වැඩිපුර රිදෙන්න පුළුවන්.
🌿 සන්ධි ආශ්රිත වේදනාව
විශේෂයෙන් උදෑසන අවදි වූ විට හෝ දිගු වේලාවක් විවේකයෙන් සිටීමෙන් පසු සන්ධි ආශ්රිත වේදනාවක් සහ තද ගතියක් දැනෙන්න පුළුවන්.
මෙහිදී වේදනාව තිබුණත්, සන්ධියට සැබෑ තුවාලයක් හෝ පටක හානියක් ඇති බවක් අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැහැ. ඒ නිසා සන්ධි වේදනාවක් තිබුණා කියලා එය සන්ධියේම රෝගයක් ලෙස තනිවම හඳුනාගැනීම සුදුසු නැහැ.
🌿 ඇලෝඩීනියා (Allodynia)
මේක ෆයිබ්රොමයැල්ජියා වේදනාවේ ඉතාමත් අපහසුකාරී ස්වභාවයක්.
සාමාන්යයෙන් වේදනාවක් ඇති නොකරන ස්පර්ශයක්, ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන කෙනෙකුට වේදනාවක් බවට පත්වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට, වෙනදා කිසිම ගැටලුවක් නැතිව ඇඳුමක් අඳින කෙනෙකුට, පසුව එම ඇඳුම ශරීරයේ ස්පර්ශ වීම පවා වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. කෙනෙකුගේ අතක් සැහැල්ලුවෙන් ශරීරයේ තැබීම පවා දැඩි වේදනාවක් ඇති කරන්න පුළුවන්.
🌿 හයිපර්ඇල්ජීසියා (Hyperalgesia)
මෙහිදී සිදුවන්නේ සාමාන්යයෙන් වේදනාවක් ඇති කරන සිදුවීමක්, සාමාන්ය මට්ටමට වඩා බොහෝ වැඩි වේදනාවක් ලෙස දැනීමයි.
උදාහරණයක් ලෙස, සාමාන්ය තත්ත්වයකදී මේසයකට අත වැදීම සුළු වේදනාවක් පමණක් විය හැකියි. නමුත් ෆයිබ්රොමයැල්ජියා සමඟ එම සුළු සිදුවීමම ඉතා තද වේදනාවක් ලෙස දැනෙන්න පුළුවන්.
ඒ නිසා පිටතින් බලන කෙනෙකුට "ඒක පොඩි දෙයක්නේ" කියලා පෙනුණත්, වේදනාව අත්විඳින පුද්ගලයාට එය සැබෑවටම දැඩි වේදනාවක් වෙන්න පුළුවන්.
🌿 ස්නායුමය ආකාරයේ වේදනාව
සමහර පුද්ගලයන්ට ඉදිකටු තුඩකින් අනිනවා වැනි, පිළිස්සෙනවා වැනි හෝ හිරිවැටෙනවා වැනි හැඟීම් සමඟ වේදනාව ඇති විය හැකියි.
මෙවැනි සංවේදන විශේෂයෙන් අත් සහ පාද ආශ්රිතව දැනෙන්න පුළුවන්. නමුත් මෙවැනි ලක්ෂණ තවත් සෞඛ්ය තත්ත්ව ගණනාවක් සමඟත් ඇති විය හැකි නිසා, ඒවා තිබුණා කියලා පමණක් ෆයිබ්රොමයැල්ජියා යැයි තීරණය කිරීම සුදුසු නැහැ.
🌿 ශරීරයේ රිදුම් දෙන ස්ථාන
ශරීරයේ ඇතැම් ස්ථාන සාමාන්යයට වඩා සංවේදී වී, සුළු තෙරපීමකින් පවා වේදනාවක් ඇති විය හැකියි.
වැළමිට, දණහිස, බෙල්ල, හිසේ පිටුපස වැනි ප්රදේශ මේ ආකාරයෙන් සංවේදී විය හැකියි. එම නිසා ශරීරය පරීක්ෂා කිරීමේදී හෝ වෙනත් කෙනෙකු ස්පර්ශ කිරීමේදී පවා අපහසුතාවයක් ඇතිවිය හැකියි.
🌿 හිසරදය සහ මයිග්රේන්
ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන සමහර පුද්ගලයන්ට නිතර නිතර හිසරදය හෝ මයිග්රේන් වැනි තත්ත්වයන් ද ඇති විය හැකියි.
එවැනි තද හිසරදයක් ඇති වූ විට එය වේදනාවට පමණක් සීමා නොවී, පුද්ගලයාගේ මනෝභාවයට, අවධානයට සහ දෛනික ක්රියාකාරකම්වලට පවා බලපෑම් ඇති කරන්න පුළුවන්.
🌿 හකු සහ මුහුණ ආශ්රිත වේදනාව
සමහර පුද්ගලයන්ට හකු ආශ්රිතව, විශේෂයෙන්ම කට විවෘත කරන විට හෝ යමක් හපන විට වේදනාවක් ඇති විය හැකියි.
කණ ආසන්නයේ වේදනාව, හකු සන්ධියෙන් ශබ්දයක් ඇසීම හෝ සන්ධිය "පනිනවා" වැනි හැඟීමක්ද ඇතැම් අවස්ථාවල දැනෙන්න පුළුවන්. මේ ආකාරයේ වේදනාව TMJ ආශ්රිත වේදනාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
🌿 උදරයේ වේදනාව සහ අපහසුතා
ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ට උදරය ආශ්රිත අපහසුතාද ඇති විය හැකියි.
බඩ පුරවා දැමීම, අජීර්ණය, උදරයේ වේදනාව, මළබද්ධය හෝ බඩ බුරුලෙන් යාම වැනි තත්ත්වයන් වරින්වර මතුවිය හැකියි.
මේ නිසා ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන කෙනෙකුගේ අපහසුතාවය "ඇඟපතේ වේදනාව"කට පමණක් සීමා නොවන බව තේරුම් ගැනීම වැදගත්.
🌿 වේදනාවට සහ සංවේදනවලට වැඩි සංවේදී බව
තවත් සමහර පුද්ගලයන්ට සාමාන්යයෙන් අනෙක් අයට එතරම් බලපෑමක් නොකරන ශබ්ද, දීප්තිමත් ආලෝකය, උණුසුම හෝ ඇතැම් ගඳ සුවඳ පවා දැඩි අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.
ඒ නිසා ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන කෙනෙකුගේ අත්දැකීම, "ඇඟ රිදෙනවා" කියන වචන කිහිපයකින් පමණක් විස්තර කරන්න බැහැ. වේදනාව, සංවේදී බව සහ එදිනෙදා ජීවිතයේ ඇතිවන අනෙකුත් අපහසුතා එකිනෙකට සම්බන්ධ වෙලා ජීවිතයට බලපෑම් කරන්න පුළුවන්.
🌿 අවසානයට
අද අපි කතා කළේ ෆයිබ්රොමයැල්ජියා සමඟ ඇතිවිය හැකි වේදනාවේ විවිධ ස්වභාවයන් කිහිපයක් ගැනයි.
එකම රෝග තත්ත්වයක් තිබුණත්, එය අත්විඳින පුද්ගලයන් දෙදෙනෙකුට වේදනාව දැනෙන ආකාරය සම්පූර්ණයෙන්ම එක සමාන නොවෙන්න පුළුවන්. කෙනෙකුට ගැඹුරු පේශි වේදනාව ප්රධාන ගැටලුව විය හැකි අතර, තවත් කෙනෙකුට සුළු ස්පර්ශයකින් පවා වේදනාව ඇතිවීම, හිසරදය හෝ අත්පා ආශ්රිත සංවේදන වඩාත් අපහසුකාරී විය හැකියි.
ඒ නිසා ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන කෙනෙකුගේ වේදනාව පිටතින් පෙනෙන දෙයක් සමඟ පමණක් මැනීමට බැහැ. "පොඩි දෙයක්නේ" කියලා පෙනෙන සිදුවීමක් පවා එම පුද්ගලයාට සැබෑවටම විශාල වේදනාවක් විය හැකියි.
මේ ලිපියෙන් ඔබට ෆයිබ්රොමයැල්ජියා වේදනාව ගැන තවත් පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.
ඉදිරි ලිපියකදී, ෆයිබ්රොමයැල්ජියා සමඟ ජීවත් වන පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයට බලපාන තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් ගැන කතා කරමු.
Fibromyalgia - Intro 7
7. ෆයිබ්රො හිසරදය
ෆයිබ්රො තත්ත්වය සමඟ ජීවත්වන අයෙක් මුහුණදෙන ඊළඟ අපහසුකාරී අත්දැකීම තමයි ඉරුවාරදය, එහෙම නැත්නම් හිසරදය. සාමාන්යයෙන් මයිග්රේන් කියල කියන තත්ත්වයේ තද හිසේ කැක්කුමක් තමයි මෙහෙදි ඇතිවන්නේ. එක දිගට, එකම මට්ටමේ වේදනාවකට වඩා, රිද්මයානුකූල, අඩුවැඩිවීමක් සමඟ එන මේ හිසේ වේදනාව තද, තියුණූ සහ ගැඹුරින් එන පීඩාකාරී හිසේරුදාවක් ලෙස මතුවීමටත්, එය වරින්වර මතුවීමත් තමයි හදුනාගන්න ලැබෙන්නේ. මේ වේදනාවේ මට්ටම, දරාගත හැකි දැනෙන වේදනාවක සිට, දරා ගැනීමට අපහසු, වෙනත් සුළු උත්තේජනයකින් (ශබ්දයකින්, එළියකින්) පවා දරා ගත නොහැකි තරමට උග්රවන මට්ටමේ වේදනාවක් ලෙසද මතුවීමට ඉඩ තිබෙනවා.
වේදනාව සමඟ මතුවන අනෙක් ලක්ෂණ
බොහෝ විට, හිසේ එක පැත්තකින්, ඇහේ කැක්කුමක් සමඟම එන මේ හිසේ වේදනාව ඇහේ පෙනීමට පවා යම් අපහසුතා ඇති කරන්න පුළුවන් වගේම, මේ නිසා සමහර අවස්ථාවකදි කරමින් ඉන්න වැඩකටයුතු කරගන්න බැරි තරමට, එහෙමත් නැත්නම් කල්පනාව "නැතිවන තරම" පීඩාකාරී වන අවස්ථාත් ඇති වෙන්න පුළුවන්. ඒ එක්කම, වේදනාවේ උග්රබව නිසා ඔක්කාරය, වමනය වගේම උදරයේ අපහසුතාත් මේ තද, වේදනාකාරී හිසරදය සමඟ මතුවන්නට පුළුවන් අනෙක් ලක්ෂණ අතරේ තිබෙනවා.
ෆයිබ්රො වේදනාව සහ හිසරදය අතර බැඳීම
මෙම හිසරදය තත්ත්වයට පත්වන අවස්ථාවේ ඒ පුද්ගලයාග් බෙල්ල, උරහිස වගේ ප්රදේශ වල තද පේෂිමය වේදනාවක් මතුවීමත් බහුලව දකින්නට පුළුවන් නිසා, මෙම ෆයිබ්රො වේදනාවන් සහ ෆයිබ්රො හිසරදය එකිනෙකාට උදව් කරගනිමින්, අදාල පුද්ගලයාට පීඩා ඇති කරන බැඳීමක් ලෙසත් හදුනාගන්නවා.
හිසරදය ඇති වූ විට සහනයක් ලබා ගැනීම
මේවගේ පීඩාකාරී හිසේරුදාවකට පත් වුනොත්, බොහෝ විට එය පාලනය කරගැනීම සඳහා ද්යෛවරයා විසින් නියම කරන වේදනානාශක ලබා ගැනීමට අවශ්ය වුවත්, කළබලකාරීබව, අධික ශබ්දයන්, බාධා කිරීම නැති කාමරයක, (තරමක් අඳුරු නම් වඩාත් පහසුවක් වේවි) විවේක ගැනීමත්, සීතල වතුරින් තෙත් කළ රෙදි කඩක් හෝ cold පැක් එකක් නළලට, බෙල්ලේ පිටුපසට තබා ගැනීමත්, මේ වේදනාව අඩු කරගැනීමට යම් උපකාරයක් වේවි.( හිසේරුදාවේ තත්ත්වය අනුව සමහර අවස්ථා වලදී, මෙලෙස සීතල තබනවා වෙනුවට heat pack එකක් උදව් කරගන්නත් පුළුවන්.)
විවේකය සහ සජලන බව
මේ විදියට සීතල හෝ උණුසුම් සහනයක් නළලට, බෙල්ලට ලබා දෙන අතරේ, මේ අඳුරු (හෝ තද ආලෝකය අඩු) කාමරය තුල ඇඳක හෝ සුව පහසු ආකරයකින් වැතිරී, ඇස් පියාගෙන් විනාඩි දහයක්, විස්සක් විවේක ගන්න පුළුවන් නම්, එයම ලොකු සහනයක් ගේනවා. හොඳින් මතක තබා ගත යුතුම දේ, දේහයේ සජලන බව, ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන වතුර ප්රමාණය අඩු වෙලා, යම් විජලන තත්ත්වයක් පවතී නම් මේ වේදනාව වැඩි කාළයක් පවතින්න පුළුවන්. ඒ නිසා, මේ විවේකය ගන්න ඉස්සර වෙලා යම් පානයක්, (මධ්යසාර නොවේ) ගෙනම විවේකයට ගියානම් තමයි වඩාත් සුවදායී වෙන්නේ.
වේදනාව දිගටම පවතින විට
කෙසේ වෙතත්, මේ උත්සාහයන් මගින්ම පමණක් වේදනාව අඩු නොවනවා නම් වෛද්ය නියමය අනුව ගැලපෙන වේදනානාශකයක් ලබා ගැනීම පවතින පීඩාව වගේම, ඒ පීඩාව නිසා මානසිකව ඇති වන බලපෑමත් අඩු කරගන්නට පුළුවන්.
තවත් ලිපියකින් නැවත හමුවෙමු.
Fibromyalgia - Intro 3
3. වෙනස් වෙහෙස. Fibro Fatigue
ෆයිබ්රොමයැල්ජියාවේදී , අදාල පුද්ගලයා මුහුණදෙන ප්රධානම ගැටළුවක් වන "වේදනාව" ගැන අප මේ වෙත්දි කතා කර අවසන්. මාස තුනකට වඩා පවතින මේ "අසාමාන්ය සහ හේතුවක් හදුනාගත නොහැකි" හොල්මන් වේදනාවට පසු, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාට විඳින්නට සිදුවන වඩාත් අපහසුකාරී තත්ත්වය වන්නේ මේ "වෙහෙසයි fibro fatigue".
සාමාන්ය වෙහෙසට වඩා වෙනස් වෙහෙසක්
"වෙහෙස" ගැන කියන්නත් තරම් දෙයක්දැයි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් වුනත්, මෙම තත්ත්වයේදී එන වෙහෙස, නිරෝගී හෝ වෙනත් සෞඛ්යය තත්ත්වයක් මත සිටින්නෙකුට දවසේ දැනෙන වෙහෙසට වඩා වෙනස්කම් කිහිපයක් තිබෙනවා. උදාහරණයක් අපි ඕනම කෙනෙක්ට යම් වැඩක් කළාම වෙහෙසක් දැනෙනවා. නමුත්, ඒ වැඩ කටයුතු නවත්වා , "විවේක" ගත්තාම ආයෙත් සාමාන්ය ශාරීරික ශක්තිය, හැකියාව එන මට්ටමට හෝ ආසන්න තත්ත්වයක වෙහෙස නිවීමක් වෙනවා. ඒ නිසානේ අප ඕනම වැඩක් කරත්දි වරින්වර "විවේක ගන්නේ". නමුත් ෆයිබ්රො වලදි මතුවන වෙහෙස පහසුවෙන් අඩු නොවන, ඒ වගේම කායිකව විතරක් නොවේ, මනසට පවා බලපාන වෙහෙසක්.
කරන වැඩේ ප්රමාණයට නොගැලපෙන වෙහෙස
අනෙක් වෙනස තමයි , සාමාන්ය "නිරෝගී වෙහෙස" , අප කරන කටයුත්තේ බරට අනුලෝමය සමානුපාතයිනේ. උදාහරණයක් විදියට, ලොකු බරක් ඉස්සුවොත් වැඩි මහන්සියක් දැනේවි, නැත්නම් දිගු වෙලාවක් වැඩ කළොත් තමයි වැඩි මහන්සියක් දැනෙන්න පටන් ගන්නේ. නමුත්, ෆයිබ්රො වලදි එහෙම කරන වැඩේ දිග පළල, බර වගේ සාධක සෘජුව අදාල වෙන්නේ නෑ. පොඩි වැඩක් කළත් ලොකු වෙහෙසක් ඇති වෙන්න පුළුවන්.
මොන වෙලාවෙ ඇති වේදැයි විශ්වාස කළ නොහැකි වෙහෙස
තව අසාමාන්ය වෙනසක් මේ ඒ තමයි මොන වෙලාවෙ ඇති වේදැයි විශ්වාස කළ නොහැකි බව. උදාහරණයක්, සාමාන්ය තත්ත්වයේ ඉන්න අප දන්නවා, අපට වෙහෙසක් ඇති විය හැකි අවස්ථා. ගේ දොර අස්පස් කරපු වෙලාවට, රැකියාවේ ලොකු වගකීමක් සහිත ව්යාපෘතියක කටයුතු කරත්දි, ටිකක් වේගෙන් ඇවිදගෙන යත්දි ...ඔය විදියට අපට මහන්සිය දැනෙන හෝ දැනිය හැකි අවස්ථාව ගැන අපට පෙර අදහසක් තියා ගන්න පුළුවන්නේ. නමුත් fibro fatigue වලදි ඒ කියන්නේ ෆයිබ්රොමයැල්ජියාවේදි එන වෙහෙස එහෙම පෙර හදුනාගැනීමක් කරන්න, අනාවැකි කියන්න අපහසුයි, මොන වෙලාවෙ ඇතිවේද කියල හිතා ගන්න බැරි, හුඟක් වෙලාවට ඒ වෙහෙස ඇතිවීමට හේතුවක් පවා වටහා ගන්නට බැරි විශේෂ වෙහෙසක්.
සාමාන්ය වෙහෙස සහ ෆයිබ්රො වෙහෙස
දිග ලිපියක් විදියට ලියනවාට වඩා මේ කියන කරුණූ ටික කෙටියෙන් මෙන්න මේ විදියට එකතු කරන්නම්. මොකද දැන් අදහසක් තියෙනවානේ fibro fatigue වලදි ඇතිවන වෙහෙස, අපේ සාමාන්ය වෙහෙසට වඩා "අසාමාන්යයි" කියල.
මෙන්න ඒ සාරාංශය,
1) හේතුව
සාමාන්ය වෙහෙස : කායික හෝ මානසික ක්රියාකාරකම්, මානසික ආතතිය හෝ සුව නින්දක් නොලැබීම නිසා
ෆයිබ්රො වෙහෙස : මධ්ය ස්නායු පද්ධතියේ සිදුවන අක්රමවත් ස්නායු ක්රියාකාරීත්වයක් නිසා
2) ආරම්භය
සාමාන්ය වෙහෙස : පෙර හඳුනාගත හැක ( ඒ කියන්නේ මහන්සිය ඇතිවන බව ඊට පෙර තේරුම් ගන්න පුළුවන්)
ෆයිබ්රො වෙහෙස : පෙර හඳුනාගත නොහැකි වීමට වැඩි ඉඩක් ඇත
3) විවේකයෙන් සහනයක් ලැබීම
සාමාන්ය වෙහෙස : විවේක ගැනීමෙන් හෝ නින්දෙන් සහනයක් ලැබේ (වෙහෙස අඩුවේ)
ෆයිබ්රො වෙහෙස : විවේක ගැනීම හෝ නින්දෙන් පෙර අවස්ථාවේ මෙන් අඩු නොවන අවස්ථාව වැඩිය.
4) වෙහෙසේ හේතුවට ඇති බැඳීම
සාමාන්ය වෙහෙස : කරන කටයුත්තේ ප්රමාණයට සාපේක්ෂය (වැඩි බරකදී, වැඩි වෙහෙසක් දැනේ)
ෆයිබ්රො වෙහෙස : එසේ නොවේ. (disproportionate to effort)
5) වෙහෙස පවතින කාළ සීමාව
සාමාන්ය වෙහෙස : තාවකාලිකයි, පැය කිහිපයක සිට දිනක් හෝ දෙකක් දක්වා විය හැක
ෆයිබ්රො වෙහෙස : දිගු කාළීනයි, සති කිහිපයක සිට, මාස ගණනාවක් දක්වා පැවතිය හැක.
6) මනසට බලපෑම
සාමාන්ය වෙහෙස : සමහර විට තීරණ ගැනීම තරමක් අපහසුවිය හැකි අවස්ථා මතුවිය හැක.
ෆයිබ්රො වෙහෙස : බෙහෝ විට fibro fog ලෙස නම් කරන, කෙටි අමතකවීම්, තීරණ ගැනීමට නොහැකිවීම් ඇතිවේ.
මේ තරම් අවබෝධයක් ප්රමාණවත්ද?
තවත් කරුණූ කාරණා ගණනාවක් එකතු කරන්නට තිබුණත්, මෙම තත්ත්වය ගැන මූලික හදුනාගැනීමක් කරන වැඩි පිරිසකට මේ ප්රමාණවත් කියල හිතනවා. විශේෂයෙන්ම, දිගු ලිපි කියවන්නට ඒ තරම් කැමැත්තක අප අතර නැති නිසා, අද , fibro fatigue ගැන කතාව මෙතැකින් නවත්වන්නේ, ඔබට ආරාධනයක් කරමින්.
ෆයිබ්රොමයැල්ජියාව කාටත් ඇතිවිය හැක
මෙම ෆයිබ්රොමයැල්ජියා නම් තත්ත්වය එක් රටකට, එක් ජනවර්ගයකට සීමාවී නැහැ. මෙය ලොව පුරා ඕනෑම අයෙක්ට ඇතිවිය හැකි තත්ත්වයක්. කෙටියෙන්ම කිව්වොත්, සක්රිය ස්නායු පද්ධතියක් ඇති ඕනම මනුස්සයෙක්ට මතුවිය හැකි සෞඛ්යය ගැටළුවක්. එය සමහර විට ඔබ අප අතරේ ඉන්න අයෙක්ට, සමහර විට මේ කියවන තමන්ට වුනත් දැනටත් තිබෙන්නට පුළුවන්. ඒ නිසා, දැනුවත්වීම, යාවත්කාළීන වීම සහ තමන්ගේ සෞඛ්යය ගැටළුව ගැන, අවබෝධයක් සහිතව තම සෞඛ්යය කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්නට හැකියාවක් පවත්වා ගැනීමේ වැදගත්කම සඳහායි මේ ලිපි පෙළ එක් කරන්නේ.
ඔබට කරන ආරාධනය
ඒ නිසා ඔබෙන් කරන ආරාධනය මෙයයි.
මෙම ලිපි කියවන්න. මේ තොරතුරු ඔබේ මිතුරන් අතර බෙදාගන්න, ඒ ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ සත්කාර්යකට දායකවන්නට ඔබටත් පුළුවන්. ඒ අතරේම, මෙම තත්ත්වය හෝ සැක කළ හැකි අවස්ථාවන් සමඟ ජීවත්වන ඔබේ මිතුරන් වගේම මෙම තත්ත්වය ගැන දැනුවත්, සහ ප්රජාව දැනුවත් කරන්නට කැමති සෞඛ්යය වෘත්තිකයන් වේනම් ඔවුන්ද මෙම සමූහය වෙත එක් කරන්න.
තවත් ලිපියකින් නැවත හමුවෙමු.
Fibromyalgia - Intro 6
6. ෆයිබ්රො මූඩ්ස්
ෆයිබ්රොමයැල්ජියා තත්ත්වයේදී හොඳින්ම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් තමයි, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාගේ මූඩ්ස්, මනෝභාවයන් ඉතා ඉක්මණින් සහ වෙනත් අයෙකුට හදුනාගත හැකි හේතුවක් නොමැතිව පවා වෙනස්වීමකට ලක්වීම.
මනෝභාවයන් ඉක්මණින් වෙනස්වීම
මොහාතකදී, සාමාන්ය හෝ යහපත් මානසික තත්ත්වයකින්, මූඩ් එකකින් ඉන්න පුද්ගලයා තවත් සුළු මොහොතකදි ජිවිතය ගැන දැඩි කළකිරීමකට ලක්වුනු, අපෙක්ෂාභංගත්වයට පත්වුනු, දුකින් ඉන්න අයෙක් වෙන්න පුළුවන්. මේ නිසාම, මෙම වෙනස්වීම් හේතුවෙන්ම, අදාල පුද්ගලයා නිරන්තරයෙන් මානසික ආතතියකින්, කාංසා සහගත බවකින් කාළය ගත කරන අවස්ථා හදුනාගන්නට පුළුවන්.
හැඟීම්වලට වැඩි සංවේදී බව
ඒ විතරක්ම නොවෙයි, මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා මේ හැඟීම් වලට දක්වන සංවේදී බව හුඟක් වැඩියි. ඒ කිව්වේ, සාමාන්යය කෙනෙක් දුකට පත් නොවන ටිකක් සංවේදී කතාබහකින් වුනත් මේකෙනා හුඟක් දුකට පත්වෙලා අඬන්නට පටන් ගන්නට පුළුවන්, ඒ විතරක් නොවෙයි තරහයාම්, ආවේගශීලී බවට පත්වීම වුනත්, ෆයිබ්රොමයැල්ජීයාව නැති අයෙක්ට වඩා ඉක්මණ් සහ හුඟක් සංවේදීයි. ඒ නිසා, සාමාන්ය අවස්ථාවෙදී කළබලයක්, තරහක් ඇති නොවන පුංචි කතාබහකට වුනත්, මේ අය හුඟක් තරහ ගිහින් කළබල කරන්න, එහෙම නැත්නම් අයින් වෙලා ඉන්න උත්සාහ කරන්නට පුළුවන්.
තේරුම් නොගැනීමෙන් ඇතිවන පීඩනය
හිතන්න, මේ පීඩාකාරී තත්ත්වයන්, ඒ එක්කම මෙම රෝග තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැතිකම, තමන්ගේ ආදරණීයයන් පවා තමන් විඳින වේදනාකාරී තත්ත්වය ගැන වටහා නොගැනීම (මොකද, බාහිරින් කිසිම ලෙඩක් නෑ වගේ නොවැ පේන්නේ) නිසා, ෆයිබ්රො සමඟ ජීවත්වන පුද්ගලයා පත් වන්නේ තවත් කාටවත් තේරුම් ගැනීමට පවා නොහැකි කායික, වගේම මානසික පීඩාකාරී අවස්ථාවකට.
අවබෝධය සහ දැනුවත්භාවයේ වැදගත්කම
ඒ නිසාමයි ෆයිබ්රොමයැල්ජියාව ගැන නිසි දැනුමක්, අවබෝධයක් ඔබ, අප අතර පවත්වා ගත යුතු වන්නේ. එය සමහර විට ඔබට කරගන්නා උපකාරයක් වගේම, ඔබේ ආදරණීයයා වෙනුවෙන් කරන යුතුකමක් වන්නටත් පුළුවන්.
නැවත හමුවෙමු
තවත් ලිපියකින් හමුවෙමු.
Fibromyalgia - Intro 5
5. මතක අමතක කරවන Fibro fog
ෆයිබ්රොමයැල්ජියාවේදී මතුවන තවත්, අපහසුකාරී ලක්ෂණයක් තමයි මේ "මතකය පිළිබඳ ගැටළු" එහෙම නැත්නම් ෆයිබ්රො ෆොග් කියන අවස්ථාව. සාමාන්යයෙන් මෙතැනදි වෙන්නේ අමතක වීම කියල කිව්වට, මේ අවස්ථාව තුල පුද්ගලයා මුහුණදෙන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් බහුලවම දැකිය හැකි ගැටළු කිහිපයක් කෙටියෙන් එකතු කරන්නේ, ෆයිබ්රො ගැන අවධානය යොමු කරන, සමහර විට දැන හෝ නොදැන ඒ තත්ත්වය සමඟ ජීවත්වන තවත් අයෙකු දැනුවත් කිරීම සඳහාම පමණයි.
ෆයිබ්රො ෆොග් තුල හඳුනාගත හැකි ගැටළු
ඒ අතර මෙන්න මේ තත්ත්වයන් හදුනාගන්නට පුළුවන්.
1. ළඟ මතකය අඩුවීම - ඒ කිව්වේ අද ඊයේ කතාබහ කළ, එහෙම නැත්නම් දැනගත්, ඉගෙන ගත් දේ නැවත මතකයට ගැනීමට බාධා එන්න පුළුවන්. (සමහර වෙලාවට මෙන්න මේ අවස්ථාවත් එක්ක ඩිමෙන්ෂීයාවදෝ කියල බයකුත් එන්න බැරි නෑ)
2. දෛනික කටයුතු තුල මතුවන අමතක වීම - දවසේ වැඩකටයුතු අතරේදී, විශේෂයෙන්ම කතාබහ කළදේ, දවසේ කළ යුතු වැඩරාජකාරි, හමුවීම්, ඒවා සඳහා වෙන් කරගත් වෙලාවන් වැනිදේ අමතක වීම.
3. කාර්ය බහුල වීම තුල සිදුවන අමතකවීම - කටයුතු කිහිපයක් එකවර කිරීමට තිබූ හැකියාව අඩුවී, එක් කාර්යයක් කරන විට සැලසුම් කර තිබූ, හෝ ඒ සමඟ කළ යුතු අනෙක් කටයුතු අමතකවීම, ඒවායේ පියවරයන් පටලැවීම හෝ විශේෂයෙන්ම යමක් කරත්දි මුහුණදෙන සාමාන්ය බාධා කිරීම්, හිත වෙනතකට යාම් වලදී අදාල කටයුත්ත කිරීමට ඇති අපහසුකම.
4. වචන අමතක වීම - එදිනෙදා සාමාන්ය කතාබහේදී භාවිත වන වචන පවා අමතක වන, දන්නා හදුනන තැන්, පුද්ගලයන්ගේ නම් පවා වරින්වර අමතක වන, ඒ අමතක වීම් නිසා මතුවන අපහසුතාවයන් නිසා කතාබහ අඩුකිරීම, හමුවීම් වලින් වෙන්වීමට පවා හේතුවන තත්ත්වය.
5. අදහස් පටලැවීම - කතාකරමින්, කරමින් හෝ හිතමින් තිබූ අදහස් වල පිළිවෙල බිඳීයාම, ඒ නිසාම පටලැවීමට ලක්වීම, කරමින් සිටියේ කුමක්දෝ යන්න ගැන නැවත නැවතත් "කල්පනාකරන්නට" වීම වැනි අවස්ථා මේ තුල අත්විඳින්නට වෙන්නට පුළුවන්.
මෙහෙම වෙන්නට ඇති හේතු
මෙහෙම වෙන්නට ඇති හේතු ගණනාවක් අතරේ අද වෙත්දි හදුනාගෙන ඇති හේතු ලෙස,
මෙම තත්ත්වය ඇතිවීමට ප්රධාන හේතුව වන ස්නායු පද්ධතියේ ඇතිවන "අති සංවේදී" බව
සුවදායී නින්දක් නොලැබීමේ බලපෑම,
මෙම අපහසුතා නිසාම, කතාබහ, හමුවීම් වලින් වෙන්වී සිටීමට උත්සාහයම අදාල විය හැකි බව සඳහන් වෙනවා.
ෆයිබ්රො ෆොග් පාලනය කරගැනීම
පෙර ලිපි වල කීවා සේම, මෙම ෆයිබ්රොමයැල්ජියා තත්ත්වයට, සම්පුර්ණ සුවය ලබා දීමක් කරන්නට ප්රතිකාර තවමත් නොමැති නිසා, මෙම ෆයිබ්රො ෆොග් තත්ත්වයටත් සම්පුර්ණ සුවයක් අපේක්ෂා නොකළත්, තත්ත්වය සමඟ එන වේදනාව පාලනය කිරීම, සුවදායී නින්දක උදව් ලබා ගැනීම වගේ, අනෙක් ලක්ෂණ පාලනය කරගැනීම තුල මේ මතක, අමතක කරවන අපහසුතාවයත් සීමා කරගන්නට පුළුවන් වෙනවා.
අදට මෙපමණි
අදට මෙපමණි, තවත් ලිපියකින් නැවත හමුවෙමු.