2022/12/30

වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව VaD

අද කතාව නම් ඇත්තටම කෙටියි, මොකද මේ ඩිමෙන්ෂියා තත්ත්වයේදීත් පෙර කී සාධක බොහොමයක් පොදුයි. කෙසේ වෙතත්, අද මේ කතාවට මාතෘකා කරගන්න මගේ සේවාලාභියා තුල VaD සඳහා පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා.

ඇය අනීටා, අනෙක් සේවාලාභීන් සමඟ සැසඳුවාම වයසින් තරමක් අඩු වියැති කෙනෙක්.

"අපි මෙහෙම තත්ත්වයක් මෙයාට තියෙනව කියල දැන ගන්නේ අවුරුදු හැටේ බර්ත්ඩේ එකට තිබුණූ උත්සවේට ආපු අපේ ලොකු පුතා නිසා. එදා උපන්දිනේ උත්සවේ දවසේ මෙයාගේ කතාව හරි අමුතුයි කියල, චෙකප් එකක් කරමු කියල ලොකු පුතා යෝජනා කළා, එතැනදි තමයි මුල්ම සැකේ ආවේ" දවසක්, අනීටගේ මහත්තයා, Life story පෝරමය පුරවන අතරේ කීවා.

TIA සහ හඳුනාගැනීම

පසුව කළ විමසීම් වලදි දැන ගන්නට ලැබුණා, ඇයට අවස්ථා කිහිපයක TIA එහෙම නැත්නම් Transient Ischemic Attack කියන පැය කිහිපයක් පවතින පොඩි ස්ට්රෝක් එකක් වගේ තත්වයන් අවස්ථා දෙක තුනකදි ඇති වෙලා තිබුණා.

"අපි ඒවට බෙහෙත් ගන්න ගමන් හිටියේ, ඔය කෝවිඩ් ආපු අවුරුද්දේ මෙයාට මෙක්සිකෝ යන්න ඕන කියලා, ගිය ගමනෙදි තමයි මේ ස්ට්රෝක් එක ආවේ" අනීටගේ මහත්තයා ඇගේ අත අල්ලගෙනම කියවගෙන ගියා. අනීටා කට පැත්තකට ඇද වෙන්න පුංචි හිනාවක් දැම්ම.
"මට වෙන අමාරුවක් නෑ , හරියට නින්ද යන්නේ නෑ, ඒ නිසා ටිකක් ඔළුවේ කැක්කුම තියෙනවා, ඒකට මෙයයි අපේ ....අපේ ..අපේ .... කවුද අනේ මට ක්ලිනික් යන්න කීවේ" අනීටා මහත්තයගේ ඇස් දිහා බලාගෙන ඇහැව්වා.
"ලොකු පුතානේ, ලොකු පුතා තමයි කීවේ ඔයාට ක්ලිනික් එකට ගිහින් පෙන්වන්න කියල"

රෝගයට හේතු සහ අවදානම්

වැස්කියුලර් ඩිමෙන්ෂීයාව ඇති වෙන්නේ, මොළයට , මොළයේ සෛල වලට ලැබිය යුතු ප්රමාණවත් පෝෂණය, ඔක්සිජන් සහිත රුධීරය නොලැබී යාම නිසා සිදුවන "අහේනිය" නිසා මොළයේ සෛල බිඳවැටීමෙන්. හුඟක් අවස්ථාවල මෙය සිදුවන්නේ, මොළයේ රුධීරවාහිනී වලට ගැටළු, පාලනය නොකළ අධීරුධීර පීඩනය, උපතින්ම මොළයේ ලේ නාල වල තිබුණු ගැටළු වියපත්වීම සමඟ තවත් දුර්වල වීම වගේ සාධක නිසා. නමුත්, අපේ එක් "තරුණ පහේ" සාමාජිකයෙක් , වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වුනා, එතැනදී නම් අවස්ථා දෙකකදි සිදුවුනු දරුණු රිය අනතුරු වලදී, මොළයට වුනු අනතුරු සහ අදාල ශල්යකර්ම වලට පසු ඇති වූ සංකූල වල බලපෑම හේතු වුනු බව හඳුනාගත්තා.

මතකයේ වෙනස් රටා සහ ලක්ෂණ

මේ තත්ත්වය සමඟ ජීවත්වන අයගෙත් අමතක වීම ( හැබැයි මෙතැන අමතක වීමේ රටා හරිම වෙනස්, මොකද පොදුවේ ඩිමෙන්ෂීයා වලදි කෙටි කාළීන මතකය, නැත්නම් මේ දැන් කරපු දේවල් අමතක වෙනවා කිව්වට මෙතැනදි අමතක වීම් වෙන්නේ මොළයේ හානිවන ප්රදේශය අනුව. සමහරුන්ට හොඳට මතකයි, හැබැයි කතා කරන්න ගියාම අතර මැද කෑලි මතක නෑ, හරියට දිගටම බලාගෙන යන ටෙලි නාට්යයක අතරමැද කොටස් දෙක තුනක් බැලුවේ නැතිවුනාම එන හැඟීම තමයි මතුවෙන්නේ) , සමබරතාවය බිඳ වැටීම, මුත්රා ආසාදන වරින්වර ඇතිවීම, රස වගේම ගත් ආහාර ප්රමාණය ගැන හැඟීමක් නැතිවන අවස්ථාත් තියෙනවා. ඊට අමතර කෙටි කාළයක් තුල පෙනීම දුර්වල වීම, සමහරුන්ට කථන, ඒ කිව්වේ දන්න වචනය "නිවැරදිව" පිට කිරීමේ අපහසුතා ( ලියන්න පුළුවන්, වචන එළියට දාගන්න බැරි) වගේ ලක්ෂණත් දකින්න පුළුවන්.

මිශ්ර ඩිමෙන්ෂියාව සමඟ සම්බන්ධය

ඒවගේම තවත් අපූුරු සම්බන්ධතාවක් වැස්ක්යූලර් ඩිමෙන්ෂියාව සහ මික්ස්ඩ් ඩිමෙන්ෂීයාව අතර තිබෙනවා. ඒ, බොහෝ වැස්ක්යූලර් ඩිමෙන්ෂීයා සහිත පුද්ගලයන් , තවත් ඩිමන්ෂියා වර්ගයක් සමඟත් එක්ව ජීවත් වෙනවා. උදාහරණයක්, වැස්ක්යූලර් ඩිමෙන්ෂීයා+Posterior Cortical Atrophy වගේ තවත් වර්ගයක් එක්ක Mixed Dementia ලෙස ලක්ෂණ මතුවන අවස්ථා තිබෙනවා.

ඔන්න ඔහොමයිලු, වැස්ක්යූලර් ඩිමෙන්ෂීයාව ගැන කෙටි කතාව ඉවර වුනේ.

2022/12/23

ඇල්සයිමර් ඩිමෙන්ෂියාව AD

මේ තමයි ඩිමෙන්ෂීයා අතර වැඩියෙන්ම හමුවන, එක්තරා විදියක "ඩිමෙන්ෂීයා" කිව්ව ගමන් ඒ තත්ත්වයන් නියෝජනය කරන පොදු සාධකය වගේ තත්ත්වය. රට, සහ අනුව යම් වෙනස්කම් තිබුණත්, සියළුම ඩිමෙන්ෂියා වර්ග අතරින් 60-80%ක් විතර දකින්න ලැබෙන්නේ මෙම තත්ත්වය. නමුත් සමහර වෙලාවට මෙය , තවත් ඩිමෙන්ෂියා වර්ගයක් සමඟ එකතු වෙලා මිශ්ර ඩිමෙන්ෂියාවක් ලෙස මතුවන අවස්ථාත් බහුලයි.

ඇල්සයිමර් තත්ත්වය බහුලව දකින්න ලැබෙන්නේ තරමක් වියපත්, ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට කියල පොදුවේ කියන්න පුළුවන්, සහ එතැනින් එහාට වයස 70, 80 වගේ වෙත්දි ඇල්සයිමර් හඳුනාගන්නා ප්රමාණය වැඩි වන බව හඳුනාගන්නත් පුළුවන්.

මූඩ් එක වෙනස් වීම හා මුල්ම සැකය

මේ තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයන්, රෝග විනිශ්චය සදහා යොමු වෙන්නේ බොහෝ වෙලාවට ඒ අයගේ මූඩ් එක වෙනස් වීම , පවුලේ කෙනෙක් හඳුනාගැනීමත් සමඟ. වෙනද බොහොම ප්රියමනාපව හිටි අම්මා, එහෙම නැත්නම් තාත්ත "දැන් දැන් ඔහේ බලාගත්තු අත බලාගෙනෙ ඉන්නවා, වෙනදට වඩා තරහ යනවා " කියන වාක්යය අපට හුඟක් අහන්න ලැබෙනවා. හැම තිස්සේම කනස්සලෙන් නිසා ඒ ගැන කතා කරන්න ගියාම, වෛද්යවරයා "මුල්ම සැකය" ඇති කර පරික්ෂණ වලට යොමු කරනවා.

මතකය, වචන පටලැවීම සහ හැසිරීම්

ඩිමෙන්ෂීයාවේ පොදු ලක්ෂණ වන අමතක වීම (විශේෂයෙන්ම කෙටි කාළීන මතකය අඩු වීම), තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම, බහුලව මේ අය අතරේ දකින්න පුළුවන්. වෙනද හැන්ද ගෑරුප්පුව අල්ලල , බොහොම වැදගත් විදියටර රාත්රී ආහාරය ගන්න තාත්ත, දැන් දැන්, හැන්ද , ගෑරුප්පුව අල්ලන්න දන්නේ නෑ කියන කතාව අහන්න ලැබෙනවා බහුලව. ඒ වගේම කතා කරන්න ගියාම , "මේ අරක, මේක ...අර ... අර ... අර මොකක්ද උස ... දිග එක ..." වගේ "පිරවුම් වචන දමමින්, කතාව ගෙනියන්න උත්සාහ කරනවා. හේතුව, තැනට අවශ්ය "නිවැරදිම වචනය" අමතක වීම නිසා, මේ නිසාම සමහරු කතා කරන එක, සමාජයට එන එක අඩු වෙනවා වගේම, තවත් සමහරුන්ට වෙනදට වඩා තරහ යන්නත් හේතු වෙනවා. මොකද, හිතේ තියෙන දේ එළියට දාගන්න අපහසු නිසා.

තමන්ට , තමන්ගේ හැඟීම නිවැරදිව එළියට දාගන්න බැරි වීම ගැන වැටහෙන , මෙම තත්ත්වයේ මුල් අවස්ථාවෙදි, ඒ නොහැකියාව ගැන ඇතිවන බිය නිසාම, තමන්ගේ වඩාත්ම විශ්වාසදායක කෙනා ආසන්නයේම නිතර ගැසෙන්න මෙම තත්ත්වය සමඟ ජීවත්වන අය උත්සාහ කරනවා, එකම දේ නැවත නැවත අහමින්, හිතට විශ්වාසයක් තියා ගන්නට උත්සාහ කරනවා. "මට බේරිල්ලක් නෑනේ, අඩුම තරමේ මගේ පුද්ගලික කටයුත්තකටවත් යන්න බෑ, වල්ගේ වගේ පස්සෙන්ම මෙයා" කියත්දි, ලැජ්ජාව සහ දුක මුුසුවුනු මුහුණින් ඉවත බලා සිටි බිරින්දෑවරු හමුවෙලා තිබෙනවා.

තත්ත්වේ ටිකක් වර්ධණය වුනාම, දවසේ වැඩ ටික කරගන්නවත්, ඒ කියන්නේ උදේට නැගිටල, ඇඳුම මාරු කරගන්න එක, දත් මදින , කෑම කන එක, ශාරීරික පවිත්රතාවය පවත්වා ගැනීම වගේ සාමාන්ය වැඩ කටයුතුත් කරගන්න අපහසු වෙනවා.

සත්කාරක අත්දැකීම්

අපේ සායනයට ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපේ සේවාලාභියෙක් , තම සැමියා සමඟින් පැමිණෙමින් තිබුණා. ඇය, තම සැමියා හඳුන්වා දෙන්නේ, "මේ මගේ මල්ලී , එයා තමයි ඩ්රයිව් කරන්නේ" ලෙසින්. ඒ සැමියා , තම ඇදේ නිදා ගත්බව විස්තර කරන්නේ "ඊයේ රෑ වෙන කවුද මිනිහෙක් මගේ ඇදේ හිටියනේ, හැබැයි කිසි කරදරයක් කළේ නෑ, මං මහ රෑම පොලිසියට කතා කරලා එළියට දැම්ම එයාව" ඇස් ලොකු කරගෙන, ඊයේ රෑ සිදුවුනා යැයි දැනෙන සිදුවීම ඇයි විස්තර කරනවා හැමදාමත්.

ජානමය සම්බන්ධතාවය

ඇල්සයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි වීම සඳහා ජානමය යම් සම්බන්ධතාවයක් තිබෙන බව දැනටමත් හොයාගෙන තිබෙනවා. ඒ වගේම, එම සොයා ගැනීම තහවුරු කරමින්, එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්, එක්තරා අවස්ථාවක අපේ සේවාව ලබා ගන්නවා "ඇල්සයිමර් ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නන් ලෙස". මීට අමතරව ,සමාන තත්ත්වය සමඟ ජීවත්වන පිය පුතු අවස්ථාත් හඳුනගන්නට ලැබී තිබෙනවා. ඒ පවුල් සම්බන්ධය සඳහා, වර්ණදේහ ඔස්සේ ගමන් කරන, අපොයි ජානය , නෑ නෑ APOE ε4 වගේ ජාන වල දැඩි සම්බන්ධය දැන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව, පොදුවේ ඩිමෙන්ෂාව ඇති කිරීම සඳහා බලපාන සාධක මෙම තත්ත්වයටත් බලපාන බව හඳුනාගන්නවා.

2022/12/16

රත්තරං

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

මේ සිදුවීම වුනේ කෝවිඩ් අවදානම ටිකක් අඩුවෙමින් ගිය ආරම්භයේ, දිනේ "දින සටහනේ" තිබෙන විදියටම කිව්වොත් ජුනි 21 අඟහරුවාදා 2022.

අළුත්ම සේවාලාභියෙක් සමඟ මුල්ම හමුවීමටයි යන්න තියෙන්නේ. සේවාලාභීන්ගේ තොරතුරු තිබෙන පරිගණක වැඩසටහනට ඇතුළු වුනා.

සේවාලාභියා මොරොස් මහත්මිය, වයස අවුරුදු 58යි, සැමියා සමඟ ජීවත් වන්නේ. කාළයක් තිස්සේ අධීරුධීර පීඩනයෙන් පෙළිල තියෙනවා, රෝග විනිශ්චය Mixed Dementia/PCA? , අතිරේක කරුණූ වල තිබෙනවා MRI කර ඇති බව සහ තව දුරටත් ඒ ගැන සෙවීම් කරන බවත්

විස්තර ටික ඔළුවට දාගෙන, මොරොස් පවුලේ නෝනයි මහත්තයයි හමුවෙන්න, ගියා උදේ දහය වෙත්දි. කෝවිඩ් අඩුවෙමින් තිබුණත් ආයතනික නීති අනුව සියළු ආරක්ෂක ඇඟළුම් දාගෙන යන්න වුනා. නිවසේ දොර සීනුව නාද කළා.

"මේ ... මේ මයික් වෙන්න ඕන" එළීයට ආව මොරෝස් මහත්තයා තිගැස්මක් එක්කම මුසු වුනු හිනාවකුත් දාගෙනම ඇහැව්වා.

"ඔව්, මම මයික්, අපි ඊයේ කතා කළේ. මෙන්න මගේ හැඳුනුම්පත, මම එන්නද ඇතුලට?"

"අනේ එන්න, ඔය මාස්ක් , කවර ඕන නෑ, අපි වැක්සීන් අරගෙන ඉන්නේ.. එන්න එන්න" මොරෝස් මහත්මයා ආරාධනා කළා.

"ඉන්න මම, මගේ රත්තරංට (my sweatheart) එන්න කියන්නම්"

විනාඩි කිහිපයක් ගියා. මම, මගේ අවට ගැන විමසිය යුතු සෙවීමකට ඇහැ යෙදෙව්වා. (මුල් හමුවීමකට නිවසට ඇතුළු වීමේදි වගේම, නිවස තුලදීත් ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු නිරික්ෂණයන් කිහිපයක් තිබෙනවා)

"රත්තරං, මේ ඇවිත් ඉන්නේ මයික්, ඔයාව හමුවෙලා ටිකක් කතා කරන්න කියලා." මොරොස් මහත්තය, නෝනව අතින් අල්ලගෙන පඩිපෙල බස්සගෙන සාලෙට එන ගමන්ම කිව්වා.

පෙනුමෙන් නම්, පනක්වත් කියන්න බැරි මොරෝස් නෝන ඇවිත් හිනාවක් දෙමින්ම වාඩි වුනා.

"මම මොරෝස් මහත්මිය, සතුටක් හඳුගන්න ලැබුණට මයික්" කෝවිඩ් නිසා අතට අත දෙන්න බැරි නිසා වචනයෙන් විතරක් ප්රතිචාර දුන්නා.

"මයික්, අද මම කතාවට ඉන්න ඕනද නැත්නම් , ඔයා ,මගේ නෝන එක්ක කතා කරනවද තනියම"

"අද අපි මෙහෙම කරමු, අද අපි හැමෝම එකතු වෙලා කතා කරමු, දැන හඳුනගන්න එකත් හොඳයිනේ. ලබන සතියේ ඉඳන් මම මොරොස් මහත්සිය එක්ක අවශ්ය චිකිත්සීය කටයුතු ආරම්භ කරන්නම්. කොහොම වුනත් අද කතාබහට අවම වශයෙන් පැයක් යනවා, ඔබට හැකියාවක් තියෙනවද?"

"ආ මට ඕන තරම් වෙලාව තියෙනව මයික්, මම දැන් පැන්ෂන්. ගෙවල් ටිකෙන් එන ආදායම නිසා වැඩිය දුවන්න ඕනත් නෑ" මොරෝස් මහත්තය අත්බැම්ම උඩ තියල ආපු කෝපි කෝප්පයත් අරගෙනම ඇවිත් වාඩි වුනා.

"මම , ඔබේ සෞඛ්යය තොරතුරු ටිකක් කියවල දැනුවත් වෙලා ආවේ, නමුත් ඔබට දැනෙන දේ ඔබම මට කියනවා නම් මම හිතන්නේ ඒක වඩා සාර්ථකයි , නේද? "

මොරොස් නෝන කැමැත්තෙන්ම කතා කරන්න පටන් ගත්තා.

"මට කියන්න තරම් ලොකු ප්රශ්නයක් නෑ, සමහර වෙලාවට ඔය පොඩි පොඩි දේවල් අමතක වෙනවා. වෙනද තරම් පොත් කියවන්න ආසාවක් නෑ, පේනවනේ අර ලයිබ්රිය... ඔය මම කියවපු පොත්, එත් දැන් කියෙව්වට සතුටක් නෑ," මොරොස් නෝන කළුපාට දැවමය රාක්කයක බොහොම පිළිවෙලට පෙළගස්වල තිබුණු විවිධ මාතෘකා වල පොත් සියගණනක් වෙත අත දිගු කළා.

"කියල වැඩක් නෑ මයික්, ඉස්සර ඇඳට එන්නේ පොතක් අරගෙන, ඕක කියවනවා උදේ දෙක තුන වෙනකං," මොරොස් මහත්තයා එකතු වුනා කතාවට.

"ඇයි , ඉස්සර පොත් කියවත්දි සතුටක් දැනිලා, දැන් පොත් කියවන්න ආසාවක් නැත්තේ කියල හිතුවොත් මොනවද හිතට දැනෙන හේතු , අපි ඒ ගැන කතා කරමුද?" රෝග විනිශ්චය තොරතුරු වල තිබුණූ යම් කරුණක් තහවුරු කරගන්නටත්, ලබන සතියෙන් පටන් ගන්න චිකිත්සීය උපක්රම සැලසුම් කරන්නත් වැදගත් නිසා හොයල බලන්න හිතුවා.

"දැන් මට පොත් කියවන්න අමාරුයි, ඇස් වල වෙනසක් තියෙනවාද මන්දා, අළුතින් කණ්නාඩිත් ගත්තා, ඒත් හරිම අමාරුයි කියවන්න, සමහර වචන වල තේරුම එන්නේ නෑ වගේ, දෙවෙනි වතාවේ කියවත්දි වෙන තේරුමක් වගේ පේන්නේ. ඉතින් පොත කියවල ඉවර වෙත්දි පිස්සු වගේ , තරහ යනවා. ඒ නිසා නැවැත්තුවා කියවන එක. "

"ඇස් වල නම් මොකක් හරි අවුලක් තියෙනවා, මේ ඉස්සරහ තියෙන කෝපි කොප්පේ තියාගෙන කෑගහනවා, කෝ මගේ කෝපි එක කියලා. දවසක් යාළුවොත් එක්ක පසල් හදන්න ගිහින්, හොඳටම තරහ ගිහින් ඔක්කොම පොළොවේ ගැහැව්වා ඔය මේ සේරම පහුගිය මාස පහ හයට" මොරොස් මහත්තයා කියා ගෙන ගියා.

අපි තවත් කතා කළා, ජීවිත කතාව, කැමති කෑම බීම, කළ ක්රීඩා, නරඹපු චිත්රපට, ගෙදර හදන රසවත්ම කෑම වට්ටෝරුව... තව කතා බෝමයි.

අවසානයේ, ලබන සතියේ කළ යුතු චිකිත්සීය සැලසුම ගැන අදහසක් අරගෙන ගෙදර ආව. සැලසුම වුනේ පෙනීම මත පදනම් වන ක්රියාකාරකම් වලට වඩා, හඬ , මතකය, ගණනය වැනි දේට වැඩි බරක් දෙන්න.

හේතුව මෙන්න මේකයි.

දැන් මේ මොරොස් මහත්මිය අපට යොමු කරන්නට හේතුව ඇය මිශ්ර ඩිමෙන්ෂියාව නැත්නම් ඩිමෙන්ෂියා වල තත්ත්ව කිහිපයක මිශ්රණයක් කියන තත්ත්වයෙන් පෙළීම. ඒ සඳහා අවශ්ය Therapeutic Recreational activities ඔස්සේ, සතුටක් , ජීවිතයට මුහුණ දීමට කැමැත්තක්, පවතින මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීමට හෝ දුර්වල වීම සීමා කිරීමට අවශ්ය ප්රතිකාරමය සේවාවක් ලබා දීම තමයි අපේ වගකීම.

Mixed Dementia ට අදාල, ආසන්න සිදුවීම් අමතක වීම, රස, ගඳ නිසි ලෙස හඳුනාගැනීමට නොහැකිවීම, මානසික අවපීඩන තත්ත්වය සහ සමහර අළුත් චර්යාවන් ඇතිවීම ඇය තුල දකින්න තිබෙනව සහ තවත් තිබෙන බව මොරොස් මහත්මයා තහවුරු කරනවා.

මෙතැන තවත් "අමතර වෙනසක්" තිබෙනවා ඒ තමයි අර රෝග විස්තර සටහනේ PCA ? කියල තිබුණේ. තවම අවසන්, විනිශ්චයක නොආ, තවමත් අමතර පරික්ෂණ සිදුවන මෙම තත්ත්වයේදී සිදුවන්නේ, මොළයේ තිබෙන "දෘෂ්ටිය සහ පෙනීම හඳුනා ගන්නා" ප්රදේශයට යම් හානියක් වීම. මෙය මොළය තුල රුධිර නාල බිඳීමක් නිසා , ක්ෂණිකව ප්රබලව දැනෙන විදියට හෝ නොදැනෙන්නට ටිකෙන් ටික වන හානියක් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම වලදි "ඇස් පෙනීම සම්පුර්ණයෙන්ම නැති නොවුනත්" පෙනීමේ වෙනස්කම් එන එකයි බහුලව සිදුවන්නේ. ඒ වෙනස්කම් තුල, එක දෙක වෙලා වගේ පේන කඑ, පොතක් කියවත්දි වචන වල වාක්යයක සමහර තැන් "හිස් තැන් වගේ" පේන එක, පොතක් කියවත්දි කියවූ පේලියම නැවත පේන්න පටන් ගැනීම නිසා සිදුවන පටලැවිලි, ගෙදර දොරේ තිබෙන සාමාන්ය දේ "හඳුනාගන්නට" නොහැකි වීම, දවසේ සමහර අවස්ථා වල ඇස් පෙනීම අසාමාන්ය ලෙස අඩුවී, අනෙක් අවස්ථා වල පෙනීම සාමාන්ය වීම (මේ නිසා, මෙම රෝග පසුබිම නොදන්නවා නම්, තමන්ගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා, "බොරු කරනවා" කියන වරදට හසුවන අවස්ථා බෝමයි.)

මේ සියළු දේ නිසා, සහ මෙම වෙනස්කම් වලට හේතුව වටහා ගැනීමට නොහැකිවීම නිසා මානසික අවපීඩනය තත්ත්වයටත් පත් වන්නට පුළුවන්. අවාසනාවට මේ ඇස් ගැටළුවට සාමාන්ය අක්ෂි පරික්ෂාවක් කර, අළුත් කණ්නාඩි දැමූ පමණීන් සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. මොකද , ප්රශ්නේ තිබෙන්නේ ඇහේ නොව, ඇහෙන් අරන් දෙන දේ "තේරුම් බේරුම් කරන" මොළයේ Posterior Cortical" ප්රදේශයේ නිසා. ඒ ප්රදේශයේ සෛල, මිය යාම, දුර්වල වෙමින් හැකිලීයාමක් MRI දි හඳුනගන්නට පුළුවන් වෙනවා. නමුත් එය තහවුරු කරන්නට තවත් විශේෂිත පරික්ෂණ කිහිපයක් අදාල පුද්ගලයාට යොමු වීමට සිදුවෙනවා. කෙසේ වෙතත් තත්ත්වය හඳුනාගත්තත්, එය "සුව කරන්නට" හැකියාවක් දැනට තිබෙන වෛද්ය ප්රතිකාර සීමාව තුල නැහැ. කළ හැක්කේ, අදාල තත්ත්වය වැඩිවීම සීමා කරගන්නට කළ හැකි ප්රතිකාර ක්රම යොදා ගැනීමත්, පවතින තත්ත්වය සමඟ ජීවත් වීමට අවශ්ය උපකාර කිරීමත් පමණයි.

දැන් මේ කතාව තුල මොරොස් මහත්මිය අද වෙත්දි ඩිමෙන්ෂියා තත්ත්ව මිශ්රණයක් එක්ක ජීවත් වෙනවා. එයින් අද "ඇස් කතාවට" අදාල තත්ත්වය, PCA එහෙම නැත්නම් Posterior cortical atrophy ඩිමෙන්ෂියා තත්ත්වයක් ලෙස හඳුනාගන්නවා.එයටම Benson’s syndrome කියන නමත් සමහර තැන්වලදි භාවිත වනවා.

මෙම තත්ත්වය සඳහා ජානමය සෘජු බලපෑමක් තවමත් ස්ථිරව හඳුනාගෙන නැතත්, සමහර කාළීන රෝග තත්ත්ව ( විශේෂයෙන්ම නිසි ප්රතිකාර සහ පාළනය නොකළ වගේම සමහර අවස්ථා වල අවශ්ය ප්රතිකාර සහ අගැයීම් කළත්) සමඟ ජීවත් වීමේදී මොළයට සිදුවන හානි නිසා සිදුවිය හැකි බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතර, අධි රුධිර පීඩනය , මොළය තුල ලේ නහර පිපිරීම, සහ ඩිමෙන්ෂියාවට පොදු මොළයේ සෛල අතර "ප්රොටීන අවහිර කිරීම" ඔස්සේ ද සිදුවිය හැකි බව තහවුරු වෙනවා.

එහෙම නම්, අද මේ පරණ කතාව ගත්ත එකේ, අවසානයට මෙහෙම කියන්නම්, "ඇස් දෙක, ඇස් දෙක වගේ" බලාගන්නම ඕන .හැබැයි, ඇස් දෙක විතරක්ම බලාගෙන ඇති වෙන්නෙ නෑ. වෙනත් කාළීන රෝග තිබේනම්, අන්න ඒව ගැනත් "සැලකිළිමත් වීම සහ අවශ්ය ප්රතිකාර, ඇගැයුම් කරගනිමින්" විමසිල්ලෙන් ජීවත්වීම වැදගත්.

දැන් ඩිමෙන්ෂියා කතාවට , තමන්ගේ නිවසේ, නැත්නම් රෝහලේ "ඩිමෙන්ෂියා" ලෙස රෝගය හඳුනාගත් අයෙක් ඉන්නවා නම්, ඒ අය සමහර වෙලාවට පෙන්නේ නැතිබව , පිංතූරයක සමහර තැන් හඳුනාගන්න බැරි බව, හදල දුන්න කෝපි කෝප්පය තිබෙන බව දකින්නේ නැත්නම් , "ඇස් පෙන්නේ නැත්ද" කියල අහන්න එපා. ඇස් පේනවා, නමුත් පේනදේ "තේරුම් ගන්නට" මේ අවස්ථාවෙ හැකියාවක් නොමැති බව වටහාගෙන කාරුණිකව උදව් කරන්න.

පේනවනේ ඩිමෙන්ෂියා කියන්නේ, "අමතක වීම" කියන පොදු ලක්ෂණය විතරක් තිබෙන "රෝගයක්" නොවේ. එය විවිධ ආකාර වලින් ජීවිතයට සීමා දාන, එයත් එක්කම ජීවත් විය යුතු තත්ත්වයක්. ඒ නිසා, ඩිමෙන්ෂියාව පිළීබඳ දැනුම පවත්වා ගැනීම ඔබටත්, ඔබේ පවුලේ අයටත් හුඟක් වැදගත් වේවි.

අද වෙත්දි, මොරොස් මහත්මිය මාස හයක් අපේ සේවාව ලබමින් වෙනදාට වඩා "සතුටින්" කාළය ගත කරන බව මොරෝස් මහත්මයා ලබා දුන් ප්රතිචාරයක තිබුණා. දැන් ඇය පොත් කියවන්නේ නැති තරම්, නමුත් "පොත් අහනවා". සංගීතමය ක්රීඩා කරනවා, එම ක්රීඩා කරන , ගමේ එම වයසේ "මිතුරන්" සමුහයක් එක්ක හැම සිකුරාදාම 'සෙල්ලම් කරනවා"

එහෙම නම්, "ඇස් දෙක, ඇස් දෙක වගේම පරිස්සම් කරගන්නා ගමන්, අනෙක් රෝග තත්ත්ව ගැන, විශේෂයෙන්ම බෝනොවන රෝග තත්ත්ව වන අධීරුධීර පීඩනය, දියවැඩියාව, රුධිර වාහිනී ආශ්රිත රෝග ගැන දැනුම සහ අවධානය සහිතව ඉන්න, ලෙඩක් නැතත්, අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත් ගිහින් වෛද්යපරික්ෂණයක් කරගන්න එක වැදගත්. අවදානම් තත්ත්ව වලදී නියමිත කාළයකට සැරයක් එම පොදු වෛද්ය පරික්ෂණය වගේම විශේෂිත පරික්ෂණත්( උදා- මැමෝග්රෆි වගේ) කරගන්න එක වැදගත්. ඒ නිසා "ලෙඩ වුනාම විතරක් දොස්තර මහත්තයා/නෝන හම්බෙන්න යන" ක්රමය ගැන තව ටිකක් හිතන්න කියන එකත් අවසානයේ මතක් කරනවා.

කතාව ඉවරයි.

2022/12/09

හිනා හිනා

“නොබැඳුනු මනසක විත්ති” විශේෂාංගය, එහෙම නැත්නම් මේ ලිපි පෙළ හරහා, මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා අත්විඳින, සමහරවිට ඔබ බොහෝ දෙනෙක් නොදකින හෝ නොවිඳින වෙනස් අත්දැකීම් කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්න මම උත්සාහ කරනවා.

“ටික්... ටික්... ටික්...”

මගේ සේවා ආයතනයේ ජංගම දුරකථනයට පණිවිඩයක් එනවා.

අද ආයතනික වශයෙන් නිවාඩු දවසක් වුණත්, හදිසි අවශ්යතාවයකදී ප්රතිචාර දක්වන්න අපි සූදානම්ව සිටිය යුතු නිසා, මේ දුරකථනයට නම් නිවාඩුවක් කියලා දෙයක් නැති තරම්.

බලමු මොකක්ද ප්රශ්නය කියලා.

“සුබ සන්ධ්යාවක් වේවා. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන්ම උත්තරයක් ඕන නැහැ.”

හුරුපුරුදු අංකයකින් පණිවිඩයක්.

එකෙන් නවතින්නේ නැහැ. තව මොනවා හරි ටයිප් කරන බව පේනවා.

“දවස් කීපයක් තිස්සේ නැන්සිගේ වෙනසක් දකිනවා. මට මේක ඩොක්ටර්ට කියන්න ඕන දෙයක්ද, නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.”

මගේ සේවාලාභියාගේ සැමියා වන කීත් පණිවිඩය එවලා තිබුණා.

තවත් මොනවාදෝ ටයිප් කරන බව පේනවා.

මට වෙන්නේ දවසම බලාගෙන ඉන්න එක.

ඒ නිසා මම පණිවිඩයක් යැව්වා.

“කීත්, මම දැන් විවේකයෙන් ඉන්නේ. ඕන නම් කතා කරන්න. අපි බලමු මොකක්ද ප්රශ්නය කියලා.”

තත්පර කිහිපයකින් ඇමතුමක්.

“මයික්, දැන් සති දෙකක විතර ඉඳන් නැන්සි මහ අමුතු විදියට හිනා වෙනවා. හරි වෙනස්.”

“මොකක්ද කීත්, අමුතු විදියට කියන්නේ?”

“නෑ, එයා කිසිම හේතුවක් නැතිව මහ හයියෙන් හිනා වෙනවා. මතකනේ, ඉස්සර හිමින් කතා කරන කෙනෙක්. ගිය සතියේ අපි ෂොපිං ගියා. සාප්පු වල තියෙන ඇඳුම් දැක්කත් හිනා වෙනවා. හැමෝම අපි දිහා බලනවා. ටීවී එකේ නිව්ස්වල යන, හිනා වෙන්න තරම් දෙයක් නැති සිදුවීමකට වුණත් මෙයා හිනාවෙනවා. මට තේරෙන්නේ නෑ ඇයි කියලා.”

කීත් මොහොතක් නිහඬ වුණා.

“මට වැඩියෙන්ම බය හිතුණේ අද. අද පුතාලා එන්න හිටියේ Thanksgiving එකට. ඒත් එයාලට එන්න වෙන්නේ නැහැ. ලේලිගේ තාත්තා නැතිවුණේ ගිය මාසේ. ඒ ගැන කියද්දිත් නැන්සි හිනා වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නම් මට තරහත් ආවා.”

මම තව ටිකක් අහලා බලන්න තීරණය කළා.

“කීත්, නැන්සිගේ බෙහෙත්වල ළඟදි වෙනසක් කළාද?”

“නෑනේ. අන්තිමට කළේ අර ඇවිදීමේ ටෙස්ට් එක විතරයි.”

“CBD වගේ දෙයක් එකතු කළාද?”

කංසා ආශ්රිත නිෂ්පාදන සමහර අය ප්රතිකාරයට අමතරව සහනයක් බලාපොරොත්තුවෙන් භාවිත කරන නිසා, ඒ ගැනත් තහවුරු කරගන්න මම ඇහුවා.

“අනේ නෑ මයික්. ටීම් එකෙන් දෙන දේවල් විතරයි. වෙන කිසිම වෙනසක් කරන්නේ නෑ.”

මට කීත්ව විශ්වාසයි.

ඔහු නැන්සිව ආදරයෙන් බලාගන්න, තම වගකීම ගැන ඉතා සැලකිලිමත් සැමියෙක්. විශ්රාමික ගුරුවරයෙක් වූ ඔහුගේ “ගුරුකම” තවමත් ඔහු තුළ තියෙනවා කියලා මට නිතරම දැනෙනවා.

නැන්සිත් ගුරුවරියක් ලෙස සේවය කරලා, දරුවන් වෙනුවෙන් වේලාසන විශ්රාම ගත්, වයස අවුරුදු 65ක් පමණ වන, බොහොම හෙමින් කතා කරන, ටිකක් ලැජ්ජාශීලී කාන්තාවක්.

අද ඇය ඇල්සයිමර් ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වෙනවා.

අපි තව ටිකක් කතාබහ කළා.

“මෙහෙමයි කීත්. නැන්සිගේ තත්ත්වයත් එක්ක මේ වගේ අසාමාන්ය හැසිරීම් මතුවෙන්න පුළුවන්. නමුත් මේක ගැන නිශ්චිත තීරණයක් ගන්න නම් තවත් පරීක්ෂණ අවශ්යයි. ඒ වගකීම අදාල වෛද්ය කණ්ඩායමට තියෙනවා.”

මම තවදුරටත් පැහැදිලි කළා.

“මේකට සමාන තත්ත්වයක් ලෙස PBA, එහෙම නැත්නම් Pseudobulbar Affect කියන අවස්ථාව ගැනත් සලකා බලන්න පුළුවන්. ඒකෙදි, සාධාරණ හේතුවක් නොපෙනෙන අවස්ථාවලදී අසාමාන්ය ලෙස සිනාසීම හෝ හැඬීම වගේ හැඟීම් ප්රකාශ වෙන්න පුළුවන්. මොළයේ සිදුවන වෙනස්කම් සහ ස්නායුක ක්රියාකාරීත්වයත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්.”

“ආයෙත් කියන්න ඕන, මම නැන්සිට රෝග විනිශ්චයක් කළේ නෑ. ඔබට මේ ගැන දැනුවත් වෙන්න අවශ්ය කරුණක් විතරයි කිව්වේ. නමුත් මේ වෙනස ගැන ඇයගේ ප්රතිකාර කණ්ඩායම දැනුවත් කරන එක නම් වැදගත්.”

“මම මේක කේස් නෝට් එකක් විදියට සටහන් කරන්නම්. කෝකටත් අඟහරුවාදා අපි හමුවෙලා තව කතා කරමු. මම ටීම් එකටත් දැනුම් දෙන්නම්.”

කතාව එතැනින් නිමා වුණා.



එතකොට ඇත්තටම මේ “හිනා” කතාව මොකක්ද?

අද මේ අනපේක්ෂිත අත්දැකීම තුළ කතා වුණු තත්ත්වය Pseudobulbar Affect (PBA) විය හැකියි කියන සැකය මට තිබුණා. ඒ, නැන්සිගේ දැනට පවතින රෝග තත්ත්වය සහ ඒ ආශ්රිත අවදානම් ගැන මට තිබුණු අවබෝධය නිසා.

කෙසේ වෙතත්, PBA කියන්නේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන පුද්ගලයන්ට පමණක් ඇතිවිය හැකි තත්ත්වයක් නොවේ. වෙනත් ස්නායුගත රෝග සහ මොළයට සිදුවන හානි සමඟ ජීවත් වන පුද්ගලයන් තුළත් මෙය දකින්න පුළුවන්.

සරලව කිව්වොත්, මෙතැනදී සිදුවෙන්නේ පුද්ගලයාට තමන්ගේ හැඟීම් පිටතට ප්රකාශ වන ආකාරය පාලනය කරගැනීම අපහසු වීමක්.

අනිත් අයට හිනා යන්න තරම් දෙයක් නොවුණත්, මේ පුද්ගලයාට මහ හයියෙන් හිනා යන්න පුළුවන්.

අනිත් අයට දුකක් නොහිතෙන සුළු දෙයක් නිසා, මේ පුද්ගලයාට දැඩි ලෙස හැඬෙන්න පුළුවන්.

වැදගත්ම දේ තමයි, මෙය හැමවිටම පුද්ගලයාගේ සැබෑ හැඟීම සමඟ සමාන නොවිය හැකි වීම.

ඒ නිසා පිටතින් බලන කෙනෙකුට,

“මෙයාට මේ වෙලාවේ හිනා යන්නේ මොකටද?”

“මේ මනුස්සයාට කිසිම හැඟීමක් නැද්ද?”

වගේ අදහස් ඇතිවෙන්න පුළුවන්.

නමුත් මෙය උපතේ සිටම තිබුණු හැසිරීම් රටාවක් ගැන කතාවක් නොවේ.

සාමාන්ය ජීවන රටාවක් සහ හැසිරීම් රටාවක් තිබුණු පුද්ගලයෙකුගේ මොළයේ සිදුවන යම් වෙනසක් හෝ හානියක් සමඟ පසුව මෙවැනි අලුත් හැසිරීමක් මතුවිය හැකියි.

මුලදී එය ලොකු ගැටලුවක් නොවෙන්න පුළුවන්.

නමුත් තත්ත්වය වර්ධනය වීමත් සමඟ, සමාජය තුළ විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.

ඇත්තටම සමහර වෙලාවට අපහසුතාවට පත්වෙන්නේ රෝගියාටත් වඩා ඔහු හෝ ඇය සමඟ ජීවත් වන පවුලේ අය.



එහෙම නම් කරන්න ඕන මොකක්ද?

මෙවැනි අලුත් හැසිරීමක් දකින්න ලැබුණොත්, පළමුවෙන්ම කළ යුතු දෙයක් තමයි, එය ප්රතිකාර කළමනාකරණය කරන සෞඛ්ය කණ්ඩායමට පමා නොකර දැනුම් දීම.

ඒ වගේම, වෛද්ය කණ්ඩායමට දැනුම් දෙන්න කලින් පොඩි සටහනක් තියාගන්නවා නම් ඉතාම ප්රයෝජනවත් වෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට,

  • අසාමාන්ය ලෙස හිනා වීම හෝ හැඬීම ඇති වුණේ කවදාද?
  • ඒ අවස්ථාවට පෙර සිදුවුණේ මොකක්ද?
  • එය කොපමණ වේලාවක් පැවතුණාද?
  • පසුව සාමාන්ය තත්ත්වයට එන්න කොපමණ කාලයක් ගත වුණාද?
  • වෙනත් රෝග ලක්ෂණ තිබුණාද?
  • ඖෂධවල වෙනසක් සිදුවුණාද?

වගේ කරුණු ජංගම දුරකථනයේ Notes එකක හෝ පොඩි සටහන් පොතක තියාගන්න පුළුවන්.

මේ තොරතුරු සෞඛ්ය කණ්ඩායමට ලබාදුන්නාම, අවශ්යතාවය අනුව තවදුරටත් පරීක්ෂණ කරලා, අදාල තත්ත්වයට ගැළපෙන ප්රතිකාර සහ කළමනාකරණ සැලැස්මක් සකස් කරන්න පුළුවන්.

ඖෂධමය ප්රතිකාර සමඟ චර්යාමය සහ පාරිසරික කළමනාකරණ ක්රමත් අවශ්ය වෙන්න පුළුවන්.

අරමුණ හැමවිටම “සම්පූර්ණයෙන්ම නැති කිරීම” නොවෙයි.

විශේෂයෙන් ඩිමෙන්ෂියා වැනි දිගුකාලීන තත්ත්වයක් සමඟ ජීවත් වන පුද්ගලයෙකු තුළ, මෙවැනි හැසිරීම් සම්පූර්ණයෙන්ම නැතිවෙයි කියලා අපේක්ෂා කරන්න බැහැ.

ඒ වෙනුවට වැදගත් වෙන්නේ, මේ වෙනස තේරුම් ගැනීම, එය හඳුනාගැනීම සහ ඒ අනුව රැකවරණය සකස් කිරීමයි.

ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන මවක්, පියෙක්, සීයා කෙනෙක්, අත්තම්මා කෙනෙක්, ඥාතියෙක් හෝ ඔබේ සේවාලාභියෙක් තුළ මෙවැනි අලුත් හැසිරීමක් මතුවුණොත්, “එයා දැන් වෙනස් වෙලා” කියලා පමණක් නොසිතා, “ඇයි මේ වෙනස සිදුවුණේ?” කියලා සොයා බලන එක තමයි වඩා වැදගත්.

මොකද, හැසිරීම අපට පෙනෙන දේ.

ඒත්, ඒ හැසිරීම පිටුපස තියෙන හේතුව තමයි අපි සොයාගත යුතු දේ.

ඒක තේරුම් ගත්ත දවසට, රැකවරණයත් ටිකක් පහසු වෙනවා.

2022/12/02

Young Onset Dementia (YOD) - ඩිමෙන්ෂියා හඳුන්වාදීම

ඩිමෙන්ෂියා තත්ත්වයක් කියන්නේ වයසට ගිය අයට විතරක් ඇතිවෙන තත්ත්වයක් කියලා අපි හිතනවා නම්, ඒ අදහස ටිකක් වෙනස් කරගන්න වෙයි.

ඩිමෙන්ෂියා තත්ත්වයන් ඕනෑම වයසකදී මතුවිය හැකියි. අපි බහුලව මේ තත්ත්වය හඳුනාගන්නේ වියපත් පුද්ගලයන් අතර වුණත්, තරුණ සහ මැදිවියේ පුද්ගලයන් අතරත්, ඇතැම් අවස්ථාවලදී කුඩා වයස් කාණ්ඩවලදීත් ඩිමෙන්ෂියා ආශ්රිත තත්ත්වයන් හඳුනාගන්නට පුළුවන්.

වයස අනුව ඩිමෙන්ෂියා වර්ගීකරණය කරන විට, වයස අවුරුදු 65ට පෙර ආරම්භ වන ඩිමෙන්ෂියා තත්ත්වයන් Young Onset Dementia (YOD) ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 18ත් 64ත් අතර ඕනෑම අවස්ථාවක මෙය මතුවිය හැකි වුවත්, ප්රායෝගිකව වයස අවුරුදු 40න් පසුව මෙවැනි තත්ත්වයන් හඳුනාගැනීම වැඩි බව අපට දකින්නට ලැබෙනවා.

YOD ඇතිවීමට බලපාන රෝග තත්ත්ව ගණනාවක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර Frontotemporal Dementia (FTD), Alzheimer’s disease, Lewy Body Dementia වැනි අපි තරමක් හුරුපුරුදු තත්ත්වයන් වගේම, Posterior Cortical Atrophy සහ Progressive Supranuclear Palsy වැනි එතරම් ප්රසිද්ධ නොවන මොළය හා ස්නායු පද්ධතිය ආශ්රිත තත්ත්වයන්ද තිබෙනවා.

කෙසේ වෙතත්, YOD තත්ත්වයට පත්වන සෑම කෙනෙකුටම එකම ආකාරයේ රෝග ලක්ෂණ හෝ තත්ත්වය වර්ධනය වන එකම වේගයක් දකින්නට ලැබෙන්නේ නැහැ.

සමහර පුද්ගලයන් තුළ එය වසර දහයක්, විස්සක් වැනි දිගු කාලයක් තුළ ක්රමයෙන් වර්ධනය වන තත්ත්වයක් විය හැකියි. තවත් සමහර පුද්ගලයන් තුළ වසර තුනක්, පහක් වැනි කෙටි කාලයක් තුළ තත්ත්වය වඩාත් උග්ර වන්නටත් පුළුවන්.

ඒ නිසා මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ බිය වෙන එක නොවෙයි. මේ තත්ත්වයන් පිළිබඳව දැනුවත්ව සිටීමත්, යම් වෙනසක් තිබේ නම් මුල් අවස්ථාවේදීම වෛද්ය උපදෙස් සහ අවශ්ය සහාය ලබාගැනීමත් තමයි වැදගත්.

ඩිමෙන්ෂියා තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කරන ප්රතිකාර දැනට නොතිබුණත්, රෝග ලක්ෂණ පාලනය කිරීමට, දෛනික ජීවිතයට සහාය ලබාදීමට සහ හැකි තරම් යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට විවිධ ප්රතිකාර සහ සහාය ක්රම තිබෙනවා.

හරි, දැන් අපි පොඩි පරීක්ෂණයක් කරමු.

පහත ප්රශ්න ටික කියවලා, ඔබටත් මේවායින් යම් කිසි දෙයක් අදාළද කියලා හිතලා බලන්න.

හැබැයි මෙන්න වැදගත්ම කාරණය.

මේ ප්රශ්න එකක් දෙකක් හෝ කිහිපයක් සඳහා "ඔව්" කියන එකෙන් ඔබට ඩිමෙන්ෂියා තියෙනවා කියලා තීරණය කරන්න බැහැ. මේක කිසිසේත්ම රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණයක් නොවෙයි.

මේක ඔබට ඔබ ගැනම ටිකක් විමසා බලන්නට කරන ආරාධනාවක් විතරයි.

ප්රශ්න කිහිපයකටම "ඔව්" කියනවා නම්, මුලින්ම ඔබේ ජීවිතයේ මේ වෙනස්කම් ඇතිවීමට වෙනත් හේතු තිබෙනවාද කියලා හොයලා බලන්න.

ඔබ යම් මානසික පීඩනයකින්ද ඉන්නේ?

අධික ආතතියක් හෝ කාංසාවක් තියෙනවාද?

නින්ද පිළිබඳ ගැටලුවක් තියෙනවාද?

වෙනත් මානසික හෝ ශාරීරික රෝග තත්ත්වයක් සමඟ ජීවත් වෙනවාද?

ඒ සඳහා ඖෂධ ලබාගන්නවාද?

මේ වගේ කරුණුත් අපි අමතක කරන්න හොඳ නැහැ.

එවැනි හේතුවක් හඳුනාගන්න පුළුවන් නම්, ඒ සඳහා නිසි උපකාර ලබාගැනීම වැදගත්. එහෙම නැත්නම් ඔබට යම් සැකයක් තිබෙනවා නම්, ඔබේ පවුලේ වෛද්යවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි.

එහෙම නම්, මෙන්න අපේ ප්රශ්න පත්රය.

ඔබට මේ අත්දැකීම් තිබෙනවාද?

  1. ඔබ වයස අවුරුදු 40ත් 65ත් අතරද?
  1. ඔබේ මතකය හෝ තීරණ ගැනීමේ හැකියාව වෙනදාට වඩා අඩු වී ඇති බවක් ඔබට දැනෙනවාද?
  1. ඔබ තුළ යම් මානසික හෝ චර්යාත්මක වෙනසක් ඇති බව ඔබේ පවුලේ අය හෝ මිතුරන් වරින්වර ඔබට පෙන්වා දෙනවාද?
  1. ඔබ තුළ මානසික තත්ත්වය, තීරණ ගැනීම, දරාගැනීමේ හැකියාව හෝ චර්යාව වැනි කරුණු සම්බන්ධයෙන් වෙනසක් සිදුවෙමින් පවතින බව ඔබට දැනෙනවාද?
  1. සාමාන්ය කතාබහක යෙදෙන විට අවශ්ය වචනය සොයාගැනීමට අපහසු වීම, වචන නිතර අමතක වීම වැනි තත්ත්වයක් මතුවෙමින් තිබෙනවාද?
  1. ඔබේ කතාව පෙරට වඩා අපැහැදිලි, අවශ්ය අදහසට වඩා වැඩි විස්තර සහිත හෝ සම්බන්ධතාවය අඩු ආකාරයකට පත්වෙමින් තිබෙනවාද?
  1. යමක් පැහැදිලි කිරීමේදී හෝ කතා කිරීමේදී, ඔබට කියන්න අවශ්ය ප්රධාන කරුණු නිසි ලෙස එකතු කරගැනීමට අපහසුතාවයක් දැනෙනවාද?
  1. පෙර නොතිබුණු ආකාරයට පොතක් හෝ පුවත්පතක් කියවීමට, එහි අදහස තේරුම් ගැනීමට අපහසුතාවයක් ඇතිවෙමින් තිබෙනවාද?
  1. ඔබ කලින් සාමාන්යයෙන් කළ දෛනික හෝ රාජකාරි කටයුතු පෙර ආකාරයටම කරගෙන යාමට අපහසු බවක් දැනෙනවාද?
  1. ඇවිදීමේදී හෝ වාඩි වීමේදී වෙනදාට වඩා අසමතුලිත බවක්, අස්ථාවර බවක් හෝ බියක් දැනෙනවාද?
  1. ඔබේ පෙනීමේ යම් වෙනසක් හෝ අපහසුතාවයක් නිසා නිතර වෛද්යවරයෙකු හෝ අක්ෂි වෛද්යවරයෙකු හමුවීමට සිදුවෙනවාද?
  1. ඉදිරියේ තිබෙන දෙයක් හඳුනාගැනීමට හෝ එය ගැනීමට ළඟාවන විට, එය නිසි ලෙස අල්ලාගැනීමට හෝ හඳුනාගැනීමට අපහසුතාවයක් මතුවෙමින් තිබෙනවාද?
  1. වෙනදාට වඩා දැන් ගැඹුර, දිග, පළල, දුර හෝ වේගය වැනි මානයන් පිළිබඳව අපැහැදිලි බවක් දැනෙනවාද?
  1. ආසන්න කාලයේ සිට පොතක් හෝ පුවත්පතක් කියවන විට වචන "පාවෙනවා" වැනි අත්දැකීමක් තිබෙනවාද?
  1. කියවන විට බොඳවී පෙනීම, එකම දෙය දෙතැනක පෙනීම වැනි දෘශ්ය අපහසුතා වැඩිවෙමින් තිබෙනවාද?
  1. ඔබේ සාමාන්ය හැසිරීමේ රටාවේ හෝ පෞරුෂයේ වෙනසක් ඇතිවෙමින් තිබෙන බවක් ඔබට දැනෙනවාද?
  1. ඔබ කළ සාකච්ඡා, කතාබහ සහ ඒවා ඔස්සේ කළ ඉදිරි සැලසුම් වෙනදාට වඩා වැඩි ලෙස අමතක වෙමින් තිබෙනවාද?
  1. ඔබ කතා කරන විට නොදැනුවත්ව එකම දේ නැවත නැවත කියන බව ඔබේ මිතුරන් හෝ පවුලේ අය පවසනවාද?
  1. ඔබ හොඳින් හඳුනන ප්රදේශයක, ගොඩනැගිල්ලක හෝ නිවසක සිටියදී පවා අතරමං වන හෝ සිටින ස්ථානය හඳුනාගැනීමට අපහසු අවස්ථා මතුවෙමින් තිබෙනවාද?
  1. අද දවස, වේලාව හෝ ඔබ සිටින කාල පරිච්ඡේදය පිළිබඳ අවබෝධය නැතිවෙන අවස්ථා වැඩිවෙමින් තිබෙනවාද?
  1. ඔබ හොඳින් දන්නා පුද්ගලයන්ගේ නම් හෝ මුහුණුවර හඳුනාගැනීමේ අපහසුතාවයක් ඔබ අත්විඳිනවාද?

දැන් මේ ප්රශ්නවලින් වැඩි ප්රමාණයකට, එහෙම නැත්නම් සමහර විට කිහිපයකට වුණත්, පිළිතුර "ඔව්" නම්...

ඒ කියන්නේ ඩිමෙන්ෂියාද?

නෑ. නෑ. නෑ.

ඩිමෙන්ෂියා කියන්නේ මේ වගේ ප්රශ්න කිහිපයකට පිළිතුරු දීමෙන් පමණක් තීරණය කරන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි.

නමුත්, මේ "ඔව්" කියන පිළිතුරු ඇතිවීමට වෙනත් හේතු තිබෙනවාද කියලා ටිකක් හොයලා බලන්න.

ඔබේ පවුලේ ආසන්න සාමාජිකයෙකු ඩිමෙන්ෂියා ආශ්රිත තත්ත්වයක් සමඟ ජීවත් වෙනවා නම්, එහෙම නැත්නම් ඔබට වෙනත් ස්නායුක හෝ මොළය ආශ්රිත රෝග තත්ත්වයක් තිබෙනවා නම්, ඒ සඳහා ප්රතිකාර ලබාගන්නවා නම්, මේ ප්රශ්න ලැයිස්තුවත් රැගෙන ඔබේ වෛද්යවරයා සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේවි.

සමහර විට මේ වෙනස්කම් ඇතිවීමට හේතුව වැඩි වූ මානසික පීඩනයක් වෙන්න පුළුවන්. ආතතිය වෙන්න පුළුවන්. නින්දේ ගැටලුවක් වෙන්න පුළුවන්. පවතින වෙනත් රෝග තත්ත්වයක් හෝ ඒ සඳහා ලබාගන්නා ඖෂධයක් වෙන්නත් පුළුවන්.

ඒ නිසා, මේ ප්රශ්නවලට "ඔව්" කියලා පිළිතුරු ලැබුණා කියලා බය වෙන්න අවශ්ය නැහැ. ඒ වෙනුවට, ඒ වෙනසට හේතුව හඳුනාගැනීමට කටයුතු කිරීමයි වැදගත්.

මෙවැනි ප්රශ්නාවලියක් Young Onset Dementia පිළිබඳ යම් අවදානම් ලක්ෂණ හඳුනාගෙන වෛද්ය උපදෙස් ලබාගැනීමට යොමු වීමට උපකාරී විය හැකි නමුත්, මෙය රෝග විනිශ්චය කිරීමේ ක්රමයක් නොවන බව නැවතත් මතක් කරන්න ඕන.

දැන්, මේක කියවලා "ලංකාවේ ඩිමෙන්ෂියා තියෙනවද? මේ නිකං මිනිස්සු බය කරන වැඩක්නේ" කියලා හිතන අයටත් පොඩි දෙයක් කියන්න තියෙනවා.

ලංකාවේ ඩිමෙන්ෂියාව පිළිබඳ සම්පූර්ණ ඇත්ත තත්ත්වය ගැන අපි තවමත් දන්නේ සීමිත ප්රමාණයක්.

අපට තිබෙන දත්ත, දැනුවත්භාවය, රෝග විනිශ්චය සඳහා ඇති පහසුකම් සහ සෞඛ්ය සේවාවන් වෙත ළඟාවීම වැනි කරුණු සියල්ල එකට බලපානවා.

ඒ නිසා, අද සංඛ්යා ලේඛණවලින් පෙනෙන ප්රමාණයට වඩා සමාජය තුළ නොහඳුනාගත් තත්ත්වයන් තිබෙන්නට ඉඩ තිබෙනවා.

ඉදිරියේදී ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුවත්භාවය වැඩිවීමත් සමඟ, මේ පිළිබඳ වඩාත් පැහැදිලි චිත්රයක් අපට ලැබේවි.

කෝකටත්, ඒ වෙනකම් බලාගෙන ඉන්නවාට වඩා, අද ඉඳන්ම දැනුවත්ව සිටීම නරක දෙයක් නෙවෙයි.

මගේ පුද්ගලික අත්දැකීම

මගේ වෘත්තීය පරිසරය තුළ YOD තත්ත්වයක් සමඟ ජීවත් වූ අඩුම වයසේ පුද්ගලයෙකු ලෙස මට හමුවී තිබුණේ වයස අවුරුදු 39ක තරුණයෙක්.

ඒ මීට අවුරුදු පහකට පමණ පෙර.

ඔහුගේ ඩිමෙන්ෂියා තත්ත්වය සහ ඒ ආශ්රිත වෙනත් ගැටළු ඉතා කෙටි කාලයක් තුළ වේගයෙන් උග්ර වුණා.

කැනඩාවේදී සැහැල්ලු ගුවන් යානයක් පැදවීමේ බලපත්රයක් ලබාගෙන, ගුවන් යානා පැදවීම ගැන විශාල ආදරයක් සහ උනන්දුවක් තිබූ ඒ තරුණයා, වයස අවුරුදු 43ක් වෙද්දී ජීවිතයෙන් සමුගත්තා.

ඔහුගේ ඇඳ ඉදිරිපිට තබා තිබුණේ, ඔහු මුලින්ම පදවා තිබූ ගුවන් යානයේ ආකෘතියක්.

ඔහු ජීවිතය වගේ ආදරය කළ ඒ ගුවන් යානයේ ආකෘතිය ඔහුට හඳුනාගැනීමට හැකි වූ කාලය, YOD හඳුනාගත් පසු වසර දෙකක් පමණයි.

ඒ අත්දැකීම මට එක දෙයක් හොඳින් මතක් කර දුන්නා.

ඩිමෙන්ෂියා කියන්නේ "වයසට ගිය අයට විතරක්" අදාළ කතාවක් නොවෙයි.

ඒ නිසාම, ඒ ගැන දැනුවත්ව සිටීම අපි කවුරුත් අමතක නොකළ යුතු දෙයක්.

2022/11/25

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-5

"අමතක වීම" ගැන තව ටිකක්

"අමතක වීම" කියන සාධකය ගැන තව ටිකක් කතා කරන්න ඒ 'අමතක වීමම" යොදා ගන්නට අමතක නොකරන්න මම හිතුවා.

ඔබට අමතක වෙන්න බෑ ......(සිංදුවක් තියෙනවා නේහ් ) මීටපෙර ලිපිය තුල අපි කතා කළා අමතක වීම් විය හැකි අවස්ථා කිහිපයක් ගැන. ඒ තුල සාමාන්ය වගේම අසාමාන්ය අවස්ථා ගැනත් කෙටියෙන් කතා කළා. අද, ඒ ලිපියේම ඊළ ඟ තැනට යමින්, "අමතක වීමේ" ප්රබල අසාමාන්යතාවයන් නොවන, එදිනෙදා විය හැකි අමතක වීම් ගැන ටිකක් කතා කරමු. මේ කතා කරන්න හදන අවස්ථා බොහොමයකට ඔබ, මම අද දවසේත් මුහුණ දෙනවා වෙන්න පුළුවන්. බොහෝ දුරට ඒ අමතක වීම්, "සාමාන්ය" ලෙස ගත හැකි අතර, ඉතා කළාතුරකින්, තවත් අවදානම් සාධක සමඟ එක්වී , "අසාමාන්ය" ලක්ෂණයක් වන්නටත් ඉඩ තිබෙන බව මතක් කරනවා.

කාළෙත් එක්ක හැලෙන මතක

මොළය කියන්නේ හරි අපූරු ගබඩාවක්.මේක අර අපේ ගෙවල් වල ගබඩා කාමරේ වගේ ඕන දෙවලුයි , කවදාවත් පාවිච්චි නොකරන දේවලුයි ගොඩගහගෙන, "බඩු ගොඩයි" කියමින් ඉන්නේ නැහැ. එයා , වැඩිපුර භාවිතයට නොගන්න දේවල් එළියට දානව, අමතක කරල දානවා. තව විදියකින් කිව්වොත්, කාළයක් තිස්සේ නැවත මතක් කිරීමට, නැවත භාවිත කිරීමට නොගත් අත්දැකිම්/දැනුම කියන මතකයන් , අමතක වීම "අසාමාන්ය" ලෙස සලකන්නේ නැහැ. දැන් හිතන්නකෝ, අපි ඉස්කෝලේ යත්දි ඉගෙන ගන්නවා නේ, ලංකාව ගැන. මතක විදියට සමාජ අධ්යයනය පාඩමේදි. ලංකාවේ දිග පළල, වර්ගඵලය ..දැන් මම ඔබෙන් ඇහැවුවොත්, ලංකාව පිහිටි අක්ෂාංශ සහ දේශාංශ "මතකයෙන්" ලියන්න කියල , මට විශ්වාසයි හුඟක් අය හිර වේවි. ඉගෙන ගත්තා, ඒත් මතක නෑ. ඇයි, අපි පාඩමට ඉගෙන ගත්තට ඊට පස්සේ පහුගිය අවුරුදු දහය දොළහ තුල නැවත එම තොරතුර මතකයට ගත්තේ නෑ. අන්න ඒ වගේ "නැවත නැවත එළියට අරගෙන" සුද්ද බුද්ද කරන නොතියා ගන්න දැනුම, අත්දැකීම්, මතක , අමතක වීම "සංක්රාන්තික අමතක වීම Transience forgetfulness" ලෙසට හඳුන්වනවා. පොදුවේ ගත්තම මෙය "සාමාන්ය" අවස්ථාවක් වුනත්, මේ අමතක වීමේ කාළය , අමතක වන දේ අනුව "විමසිලිමත්විය යුතු" අවස්ථාවක් වෙන්නත් බැරි නෑ.

නොසැලකිලිමත් අමතක වීම

අපි මේ ගැන ගිය සතියෙත් කතා කළා.

"කොහෙද මගේ ෆෝන් එක?"

"කෝ මේ යතුර නෑනේ?"

"මං කොහේ දැම්මද මන්ද පෑන?"

මේ වගේ වාක්යයක් දෙකක් ගෙදරදි ,රාජකාරි කරන තැනේදි අහන්න ලැබෙනවාම නේ. අමතක වෙලා! එයාට තමන්ගේ වාහනේ යතුර තියපු තැන අමතක වෙලා. තවත් කෙනෙක්ට මේ අතේ තියං හිටිය ෆෝන් එක දැම්මේ කොහෙද මතක නෑ. මේං මේ වගේ අමතක වීම් එදිනෙදා වෙන්නට පුළුවන්, අදාල අවස්ථාවේ "සිහි බුද්ධියෙන්" නොසිටීම නිසා. හිතන්න, වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙට ආව, එන්නෙම "යකෙක් කන්න" බඩගිනියි කියාගෙන, ආව, යතුර, ෆෝන් එක දැම්ම කොතැනක හරි , ඒ ගැන කිසිම අවධානයක් නෑ, ඇඟපත යන්තං හෝද ගත්තා, බත් කන්දකුයි, එළවලු මාළු පොඩිත්තකුත් හලා ගත්තා කෑව. කාළ ඉවර වෙලා ෆෝන් එක බලත්දි ඒක නෑ ...අදාල සිදුවීම කරන අවස්ථාවේ, එම කටයුත්ත ගැන "සිහියෙන්" නොසිටීම නිසා Absentmindedness forgetfulness විය හැකි මේ අමතක වීමත් බොහෝ දුරට "සාමාන්ය" අවස්ථාවක් ලෙසයි ගැනෙන්නේ.

හිරවෙන මතකය

අපි මේ ලිපියේ මුලින්ම සිංදුවක් මතක් කළානේ. "ඔබට අමතක වෙන්න බෑ" ...දැන් මම ප්රශ්නයක් අහනවා. කවුද මේ ගීතය ගායනා කළේ?

දැන් ඔබ කල්පනා කරනවා,

"ම්... හොඳට මතකයි, මට සිංදුව ඇහෙනවත් එක්ක...ම් අමරදේවද?"

"මට මේ සිංදුවේ වීඩියෝ එක හිතේ ඇදෙනවා නම ... නම එන්නේ නෑනේ..."

"මං දන්නවා කවුද ගායකයා කියලා, මේ ..මේ ..මේ..."

මේ වගේ උත්තරත් ලැබෙන්න පුළුවන්. දැන් බය වෙන්න එපා මේ ඩිමෙන්ෂියා කියල. මෙම තත්ත්වයත්, "බොහෝ දුරට" සාමාන්ය , විශේෂයෙන්ම වියපත්වීමත් එක්ක, නම් , අංක, තොරතුරු එකතු වෙන ප්රමාණය වැඩිවීමත් එක්ක "විය හැකි අමතක වීමක්". අවහිර වීම එහෙම නැත්නම් Blocking කියන හඳුන්වන මෙම අවස්ථාව "විය හැකි" ඒ වගේම යම් කාළයකට පස්සේ නිවැරදි උත්තරේ මතකයට එන තත්ත්වයක්. නමුත්, මේ අවහිරවීම නිසා අමතක වීම දවසේ වැඩ කටයුතු කරගන්නට බැරි තරමටම බාධාවක් වෙනවා නම් ඒ තත්ත්වය "සාමාන්යයි" කියල බලාගෙන ඉන්න නම් එපා.

තවත් "සාමාන්ය වගේ" අමතක වීම්

මේ විදියට තවත් "සාමාන්ය වගේ" වන අමතක වීම් අවස්ථා කිහිපයක් තිබෙනවා. අපි ඒ ටික ගැන "අමතක නොකර" ඊළඟ ලිපියෙදි කතා කරමු. මොකද, තොරතුරු ගොඩක්, එකපාරට ඔළුවට දාගන්න ගියාම, ඒකත් අමතක වෙන්න පුළුවන් නිසා.

ඩිමෙන්ෂියා ගැන කතා කරද්දි "අමතක වීම" ඇයි?

දැන්, ඩිමෙන්ෂියා ගැන කතා කරන්න පටන් ගත්ත SL Dementia අමතකවීම ගැන කතා කරන්නේ ඇයි? හේතුව මේකයි. ඩිමෙන්ෂියා කියන්නේ "මොළය" ස්මර්ණය වැනි දේ/අවස්ථා සමඟ සෘජු සම්බන්ධයක් ඇති තත්ත්වයක්. ඒ නිසා, එම සම්බන්ධකම් ඇති දේ ගැන පුළුල් දැනුමක් අප සතුව තිබීම, ඩිමෙන්ෂියාව ගැන දැනුවත් වීමට වගේම , අනවශ්ය බිය ඇති නොකර ගැනීමටත්, සැලකිලිමත් විය යුතු අවස්ථා හඳුනාගැනීමටත් උදව්වේවි. ඒ සියල්ලටම වඩා, නොදන්නා ඩිමෙන්ෂියාව ගැන දැන ගන්න ඇතුළු වෙන්න, හොඳම පාර මේ "මතකය" ගැන දන්නා කරුණූ ඔස්සේ වීම.

2022/11/18

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-4

"මටත් ඩිමෙන්ෂියාද මන්දා?"

"කෝ කොහෙද මගේ වාහනේ යතුර? මෙතනනේ මම තිබ්බේ? , මට හොඳට මතකයිනේ, අනේ මන්ද මට මක් වෙලාද කියලා"

"අර ඔයාට මතකද අපිත් එක්ක ඕ ලෙවල් කළේ, කළු උස කෙට්ටු කොල්ලා ..අ.ර අර කවුද .. ෂං මට නම මතක් වෙන්නෑනේ"

"කවුද අර සිංදුව කියන්නේ, අර අර...අනේ මන්ද මේ නම දිව අග තියෙනවා , එන්නෑනේ"

අපට ඔය වගේ අමතක වීම් කොයිතරම් වෙනවද නේද? සමහර වෙලාවට "මටත් ඩිමෙන්ෂියාද මන්ද" කියල හිතෙන්න පුළුවන්, මේ පිටුවට අළුත එකතු වුනු අපේ මිත්රයන්ට. කළබලවෙන්න එපා. අපි අද කතා කරල ,ඔන්න ඕක තේරුමක් බේරුමක් කරගමු.

අමතක වීමත් හොඳ දෙයක්. ඈ....

ඔව්, හිතන්න, මේ අපි අහන, දකින, විඳින හැමදේම කිසිම අමතක වීමක් නැතිව, ඒ සේරම මතකයේ රැදුනොත් ... මහ විනාසයක් නේ. ඒ නිසා, හොඳ වෙලාවට අපේ කෙටි කාළීන මතකයේ සහ දිගු කාළීන මතකයේ "මතකයන්" විදියට තැන්පත් වෙන්නේ අපේ අත්දැකීම් වලින් යම් ප්රමාණයක් පමණයි. ඒ කොයිතරම්ද කියල Edgar Dale ගේ සිට අද දක්වා විවිධ පර්යේෂ සිදුවෙමින් එකඟවෙමින්, වෙනස් මත එක් කරමින් විද්යාත්මක කතාබහක් පැවතුනත්, ප්රායෝගිකව අප ඒ අත්දැකීම ලබනවා.

ඉතින් මේ සාමාන්ය අමතක වීමට අමතරව, තවත් හේතු සාධක ගණනාවක් නිසා, අමතක වීම, අපහසුකාරී අමතක වීම සහ සාමාන්ය ජීවන රටාවට ගැටළු ඇති කරන මට්ටමේ අමතකවීම් සිදුවන්නට පුළුවන්. අපි අද ඒ අවස්ථා ගැන ටිකක් කතා කරමු.

අවධානය යොමු නොවීම

  • අවධානය යොමු නොවීම- අමතක වීමට ප්රායෝගිකව බහුලව දකින හේතුව මේ. අපි යතුර ගෙනත් තියනවා මේසේ උඩ , නමුත් තිබ්බේ කොතැනද කියන "අවධානය" යොමු කරන්නේ නැහැ. පැයකට පස්සේ යතුර තිබ්බ තැන මතක නෑ. ඔය විදියට "අවධානය' යොමු නොවීම නිසා, අමතක වීම් සිදුවන අවස්ථා කොයිතරම්ද ?

වියපත්වීම

  • වියපත්වීම- මේ ගැන විශේෂයෙන්ම විස්තර කරන්න දෙයක් නෑනේ. ටිකක් වයසට යත්දි අමතක වීම් ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත්, ඒ බොහෝ අමතක වීම් සාමාන්ය සහ නැවත මතක් කරගත හැකි තත්ත්වයේ. මොකක් හරි දේකට කියන නම, කාගේ හරි උපන් දිනයක්, වගේ අමතක වීම මීට උදාහරණ.

දැන් මේ කියූ, "සාමාන්ය අමතක වීම්" වලට වඩා ටිකක් වෙනස් හේතු සහිත අමතක වීම් , එහෙම නැත්නම් අමතක වීම් වැඩිවීම් දකින්නට පුළුවන් අවස්ථා තිබෙනවා. අපි ඒ ගැන දැන ගැනීම , අමතක වීමට වඩා, එම හේතු ගැන අපේ අවධානය වැඩි කිරීමට උදව්වක් වේවි කියල හිතාගෙන, ඒ ගැනත් දැන් කතා කරමු.

ආතතිය සහ කාංසා තත්ත්වය

  • ආතතිය සහ කාංසා තත්ත්වය - අද සමාජයේ විශේෂයෙන්ම තරුණ , සක්රිය ප්රජාව තුල දකින්නට ලැබෙන අමතක වීම් වලට මෙය ඉහළ සාධකයක්. අධ්යාපනය තුල, රැකියාව තුල, එහෙම නැත්නම් පවතින ආර්ථික දේශපාලනික රටාව තුල තම අනාගතය ගැන අවිවේකීව විඳින පීඩාවන් තුල හෝ වෙනත් හේතු නිසා ඇති වන Stress and anxiety නිසා, අමතක වීම් වැඩි වන්නට, අමතක වීම් දවසේ කටයුතු වලට අපහසුතා ඇති කරන තරමට "බාධකයක්" වන්නට ඉඩ තිබෙනවා. නමුත් ,මෙය නැවත නිවැරදි කරගත හැකි තත්ත්වයක්. එම තත්ත්වයන් හඳුනාගෙන ඒවායේ ඉවත්වී, නිදහස්වී, තම කාංසා සහ ආතතික තත්ත්වය අඩු කරගැනීමට තමන්ම දරන උත්සාහයේ සිට, සෞඛ්යය වෘත්තිකයෙක් මගින් ලබා ගන්න උපදේශනයක් හෝ ඖෂධයක් ඔස්සේ මෙම Stress and anxiety තත්ත්වය අඩු කරගෙන , නැවත සාමාන්ය තත්ත්වයට එන්නට හැකියාව තිබෙනවා.

නින්ද අඩු වීම

  • නින්ද අඩු වීම- මෙම තත්ත්වය බහුලව අත්විඳින්න පුළුවන් පැය 24 පුරා සේවා ලබාදෙන සේවාවන් හි සේවාමුර වල සේවය කරන්නන් අතරේ. දවසට ප්රමාණවත් නින්දක් නොලැබීම, නිදිමත, ශාරීරික අපහසුව විතරක් නොවේයි, මානසිකව පීඩාවක් ඇති කරනවා. මොළය ඇතුලේ එකතු වන "කුණූ" පිරිසිදු කරගන්නට මොළයට කාළයක් නැතිවීම නිසා සහ එම පීඩාව හේතුවෙන්, මතකයේ යම් අඩුපාඩු වෙන්නට පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. බොහෝ අවස්ථාවල එය කෙටි කාළින සිදුවීමක් වුනත්, ඩිමෙන්ෂියා, ඇල්සයිමර් වැනි තත්ත්ව ඇති වීමේදීත් ප්රමාණවත් නින්ද නොලැබීම හේතුවක් බව හඳුනාගනිමින් තිබෙනවා.

විෂාදය තත්ත්වය

  • විෂාදය තත්ත්වය- මේකත් අපට සමහර විට නොදැනී තිබෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. මානසික අවපීඩනය එහෙම නැත්නම් Depression නමින් හඳුන්වන තත්ත්වය තුලදීත් අමතක වීම් වැඩි වන්නට අවස්ථාව තිබෙනවා.

සමහර ඖෂධ වර්ග

  • සමහර ඖෂධ වර්ග- උණ හෙම්බරිසාව, වගේ තත්ත්ව වල සිට, ආමාශ ගැටළු , මොළයේ ගැටළු , මානසික රෝග වැනි තත්ත්ව සඳහා ලබා දෙන ඖෂධ වල බලපෑමක් විදියට "අමතක වීම්" වැඩි වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔබ ඇලජියට බොන පොඩි පෙත්තක් වුනත් තාවකාලිකව අමතක වීම් වැඩි කරන්නට හේතුවේවි.

වෙනත් ආබාධ නිසා

  • වෙනත් ආබාධ නිසා- තයිරොයිඩ් ග්රන්ථියේ ගැටළු, දියවැඩියාව, හෝමෝනමය ගැටළු වගේ වෙනත් හේතු නිසාත් අමතක වීම් සිදුවන්නට පුළුවන්. එහිම අවස්ථාවක් ලෙස, කාන්තාවන්ගේ ආර්ථවාභාවයේ දීත් අමතක වීම් වැඩි වන්නට ඉඩ තිබෙන බව හඳුනාගෙන තිබෙනව. නමුත් මේ අවස්ථාත්, ඖෂධ මගින් නිවැරදි කරන්නට පුළුවන්.

හිසට වන අනතුරු

  • හිසට වන අනතුරු- මේ ගැන විස්තර ලියන්න දෙයක් නෑනේ. හිසට අනතුරක් වුනාම යම් කාළයක හෝ කෙටි මොහොතකට අමතක වීමක් වෙන්න පුළුවන්. සමහර විට එය සුළු දින කිහිපයක අමතක වීමක් සිට, යම් මතක කොටසක් සම්පුර්ණයෙන්ම අමතක වීම දක්වා වෙනස් වෙන්නට පුළුවන්.

ඊළඟට MCI ගැන

එහෙම නම්, අපි ඊළඟ ලිපියෙන් තව ටිකක් අමතක වීමේ ඊළඟ අවස්ථාව වන, MCI තත්ත්වය ගැන කෙටියෙන් සහ දැනගත යුතු මූලික කරුණූ (සාමාන්ය ප්රජාව විදියට දැනගත යුතු සහ වටහා ගත හැකි) ටිකක් කතා කරමු.

දැනුවත් කිරීමත් අමතක නොකරමු

එතෙක් අමතක නොකර, ඔබේ මිතුරන්, මෙම දැනුවත් වීම අවශ්යතාවය ඇති අය, වියපත් අය වෙනුවෙන් සාත්තු කිරීම් කරන මිතුරන් මේ පිටුවට එකතු කරන්න.

"හුහ්... ගෲප් එක පටන් ගනිත්දි කිව්වේ ඩිමෙන්ෂියා ගැන කතා කරනවා කියල , දැන් මේ වෙන මොනවදනේ කියවන්නේ"

"නෑහ්, පොඩ්ඩක් ඉන්න, අමතක නෑ. අපි පියවරෙන් පියවර එතැනට යමු. මේ මාතෘකාවන් හුඟක් අයට ඒ තරම්ම "රස නැති නිසා" අපි හිමින් සිරුවේ දන්නා තැනින් නොදන්න තැනට යමු. අමතක නෑ හොදේ!"

2022/11/11

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-3 (පිච්චමල)

මොළය සහ මිනිස් ක්රියාකාරකම්

අපි දන්නවා, සංකීර්ණ ජීවියෙක් ලෙස, මිනිසා ගේ "මිනිස් ක්රියාකාරකම්" පවත්වා ගන්නට "මොළයේ" මැදිහත්වීම කොයිතරම්ද කියලා. ඒක, ඔබ විෂයයක් විදියට ඉගෙන ගෙන තිබෙන්නත් පුළුවන්, එහෙම නැතත් සාමාන්ය දැනුම තුල එම අවබෝධය යම් තරමකට හෝ අප සතු වෙනවා.

"මොළේ පාවිච්චි කරල වැඩ කරන්න"

"මේක මොළෙන් ගහන්න ඕන ගේමක්"

එහෙමත් නැත්නම් වැඩේ වැරදුන තැන "මොළයක් නැත්ද ළමයෝ?" කියල අහන, සාමාන්ය ව්යවහාරය තුලම "මොළයේ" වැදගත්කම මතුවෙනවා. ඒ නිසා, මම මොළයේ ජීව විද්යාත්මක ක්රියාවලිය ගැන සංකීර්ණ, විද්යාත්මක විස්තර කිරීමකින් මේ මාතෘකාව ආරම්භ කරන්නේ නැහැ. ඒ වෙනුවට, අප දැනට දන්නා තැනින් කතාව ආරම්භ කරමු.

මොළය තුළ සිදුවන සංකීර්ණ ක්රියාවලිය

බාහිරින් ලැබෙන, විවිධ සංඥා, හැඟීම් දැනීම් ස්නායුක රසායනික ඔස්සේ , නැවත ගැනීම පිණිස සහ නැවත, ගැනීම සඳහා පිළිතුරු දීම සඳහා තැන්පත් කර තිබෙන, භාණ්ඩාගාරය "මොළය". එහෙම නැත්නම් මොළයේ තිබෙන ස්නායු සෛල. එන පණිවිඩ බාර ගෙන සැකසීම, තෝරා බේරා ගැනීම, පෙර දත්ත සමඟ සැසඳීම, අවශ්ය තොරතුරු ලේබල් කර ගබඩා කිරීම වගේ සංකීර්ණ ක්රියාකාරකම් රැසක් මේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන මොළය තුල සිදුවෙනවා. අපි ඒ සිදුවීම් කිහිපයක් ගැන කතා ටිකක් කතා කරමු.

පිච්චමලක් දකින විට සිදුවන්නේ කුමක්ද?

උදාහරණයක්, ඔබට පිච්ච මලක් දකිත්දි, ඇහට වැටෙන ඒ ආලෝක කිරණ, ඇහේ තිබෙන සංවේදක සෛල විසින් "පණිවිඩයක්" විදියට හඳුනගෙන, එය ස්නායු රසායනික උදව් කරගෙන, මොළයේ "සැසඳීම් කර පිළිතුරු දෙන පුස්තකාල අංශයට " ගෙන ගියාම, එය, එහි ගබඩා වී ඇති, මීට පෙර "මල්" පිළිබඳව ඇති අත්දැකීම් පණිවිඩ/ලේබල සමඟ සැසඳීමක් කර ගැලපීම එන අවස්ථාවේ ලේබලයේ ඇති "පිච්චමල්" නම අනුව "හඳුනාගැනීම" කරනවා, එම පණිවිඩය ඔබට දෙනවා "මේ ඔබ දකින්නේ පිච්චමලක්" ලෙස. මේ තමයි නිරෝගී තත්ත්වය.

පිච්ච මලේ කතාව 1

අපි හිතමු, ඔබ කවදාවත්ම පිච්චමලක් දැකල නෑ කියලා .එතැනදි , පෙර විදියටම ගිහින්, පෙර දත්ත ගලපාගෙන ගියත්, හරියටම පිච්චමලේ තොරතුරු වලට සැසඳනෙ එකක් නැති නිසා ඔබට දැනෙනව "අමුතු මලක්" විදියට. එහෙම නැත්නම් "අමුතු දෙයක්" විදියට. දැන් ඔබ ළඟ ඉන්න වැඩිහියෙක් කියනවා ,"මේ පිච්ච මල" කියලා. දැන් මොකද වෙන්නේ, අර "අමුතු මලේ සංඥාව"ට, "පිච්ච මල" කියල හොඳට කල් තියෙන විදියට ලේබල් එකක් ගහල මොළයේ සෛල තුල තැන්පත් කරගන්නවා. මේ අළුත් අත්දැකීම් එකතු කරගැනීමේ අවස්ථාවක්. මෙය සාමාන්ය නිරෝගී තත්ත්වයක්.

පිච්ච මලේ කතාව 2

තව විදියකට හිතමු , ඔබේ මොළයේ සෛල තුල අතීතයේ දුටු "පිච්චමලක" තොරතුරු ගබඩාවී තිබෙනවා. දැන් ඔබේ ඇස,තවත් පිච්චමලක් දකිනවා, ඒ කියන්නේ, ඒ මලේ සිට එන ආලෝක කිරණ ඇසේ සංවේදී සෛල මත වැටෙනවා. ඊළඟට මොකද වෙන්නේ, මේ ලැබුණූ පණීවිඩය ඉක්මණට , මොළයේ තොරතුරු ගබඩා වී ඇති තැනට අරගෙන යනවා, මේ දකින දේ කුමක්දැයි හදුනාගන්නට. අපි හිතමු මේ පණිවිඩය මොළයේ දත්ත ගබඩාවට යන පාරේ පොඩි අකරතැබ්බයක් වෙලා. ඒ පාර මැදට, පස් කන්දක් කඩං වැටිලා, පාර වහලා. දැන් මොකද වෙන්නේ, අර , ඇහට ලැබුණූ "මලක් දැක්ක පණිවිඩේ" අරගෙන එන කෙනාට, මොළයේ දත්ත ගබඩාවට යන්න වෙන්නේ නැහැ.ඒ කියන්නේ, මම යමක් දැක්කත්, මේ දකින දේ කුමක්දැයි පැහැදිලි කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ එක්තරා රෝගී අවස්ථාවක සිදුවන ක්රියාකාරීත්වයක්.

පිච්ච මලේ කතාව 3

තව කෙනෙක්ගේ මෙහෙම දෙයක් වෙනවා, "පිච්ච මල්" ඇතුළු මල් වර්ග ගැන, තොරතුරු තිබෙන, දත්ත ඇති පොත් රාක්කය, පෙරලිලා, දැන් ඔක්කොම කවලං වෙලා, හැම මල් ජාතිම. ඇහ දකිනවා "පිච්ච මලේ" සංඥාව, පණිවිඩය එනවා, මොළයේ තෝරා දෙන තැනට, දැන් තමයි හිර වෙන්නේ. මල් ජාති හැම එකම කවලං වෙලා. එන පණිවිඩේ හරියට සසඳගන්න බෑ, එක්කෝ සෑහෙන කාළයක් යනවා වැඩේ කරගන්න. එහෙම නැත්නම් මැච් කරගන්නම බැරි වනවා. සමහර විට, "පිච්ච මල" වගේ වෙන එකක් එක්ක සසඳලා කියන්න පුළුවන්, මේ "පිච්ච මල" කියලා. මේ නිරෝගී සාමාන්ය අවස්ථාවක් වෙන්නත් පුළුවන් නමුත් හැම තිස්සේම මෙහෙම මල් විස්තර තියෙන පොත් රාක්ක පෙරලිලා කවලං වෙනවා නම්, සමහර විට රෝගී අවස්ථාවක් වෙන්නත් පුළුවන්.

පිච්ච මලේ කතාව 4

ඔන්න තවත් තැනක මෙහෙම දෙයක් වෙලා. එයාගේ , මල් විස්තර තියෙන සෛල කොටස දුර්වල වෙලා, පණ නෑ. දැන්, ඇහේ පණීවිඩෙත් ආව, මල් ගැන පෙර අත්දැකීම් ටික සෛල තුල තිබෙනවා, නමුත් මේ දෙක සැසඳීම කරලා තීරණය දෙන්නට හැකියාවක් නැහැ, මොකද අර, "මල් ගැන තොරතුරු" තිබෙන සෛල කොටස දුර්වල වෙලා, තෝරා බේරා සසදා දීමක් කරන්න තරම් ශක්තියක් නැහැ, ශක්තිමත් කරන්නත් හැකියාවක් නෑ වගේ. ඒ කියන්නේ, දැන් "පිච්ච මල" දැක්කත්, පෙර දැනුමක් තිබුණත්, "හඳුනාගැනීමක්" වෙන්නේ නැහැ. මේ තවත් මතකය පිළිබඳ ගැටළුකාරී අවස්ථාවක්.

පිච්ච මලේ කතාව 5

අපි, ආයෙත් අංක එකේ කතාවට යමුකෝ.ඒ කතාවේ ලේබල් ගහන මැෂිම හොඳට ප්රින්ට් කරන, කාළයක් ඒ ලේබල් වල අකුරු නොමැකෙන හොඳ වර්ගයේ ඒව වුනාට, මේ පුද්ගලයාගේ මොළයේ සෛල වල තියෙන ලේබල් ගහන මැෂිම බාල එකක්. දැන් මොකද වෙන්නේ, ඔබ දකිනවා "පිච්චමල", මොළය දන්නේ නෑ ඒ මොකක්ද කියලා, හේතුව පෙර අත්දැකීමක් ලේබල් සහිතව මොළයේ සෛල වල නෑ. දැන්, ළඟ ඉන්න කෙනා කියනවා, "ආ මේ පිච්චමලක්" කියලා. වෙනද වගේම මොළය මොකද කරන්නේ, අර "පිච්ච මලේ" සංඥාවට ගහනව ලේබල් එකක් "මේ පිච්ච මලකි" කියලා. ඒත් ලේබල් ගහන මැෂිම බාල , දුර්වල එකක් නිසා, ප්රින්ට් එක හොඳට හිටින්නේ නෑ, ඔන්න විනාඩි කිහිපයක් ගිය ගමන් මොකද වුනේ, "පිච්චමලේ" සංඥාව තියෙනවා, හැබැයි ඒකට ගහපු ලේබලේ නිකංම සුදු කොළයක් විතරය, අර "මේ පිච්චමලකි" කියල ප්රින්ට් කළ ටික මැකිල ගිහින්.එහෙම වුනාම මොකද වෙන්නේ, ඊළඟට එන සමාන අත්දැකීම වුනත් , සැසඳීම කරන්නට බැරිව යනවා, මොකද ලේබලේ නම නෑනේ, නිකංම සුදු කොළයක් විතරයි. මේක සාමාන්ය තත්ත්වය තුලදීත් වෙන්න පුළුවන් වුනත්, මොළයේ දත්ත ගබඩා කරන හැම තැනම තියෙන්න් මේ "බාල ප්රින්ටිං මැෂින්" නම්, ඒක සාමාන්ය තත්වයක් වෙන්නේ නැහැ.

දැකීම සහ හඳුනාගැනීම පමණක් නොවේ

මේ කියාගෙන ගියේ "දැකීම" සහ "හඳුනාගැනීම" සිදුවන සාමාන්ය ක්රියාවලිය සහ එහි සමහර ගැටළු මතුවන අවස්ථා ගැන. ඇසීම, දැකීම , රස වගේ සියළු සංවේදනයන්ටත්, තීරණ ගැනීම, ගැටළු විසඳීම වැනි සංකීර්ණ මානසික ක්රියාවලින් තුලත්, සිදුවන්නේ, පෙර කී අවස්ථා සහ ඊට සමාන සිදුවීම්.

ඩිමෙන්ෂියාව සමඟ ඇති සම්බන්ධය

ඩිමෙන්ෂියා තත්ත්වයේදී සිදුවෙන්නෙ, මෙම කතා කළ අවස්ථාවන් වල "ගැටළු මතුවුනු" 2, 4 සහ 5 වගේ සිදුවීම් වලට සමාන තත්ත්වයන්, අංක තුනේ අවස්ථාව, ඩිමෙන්ෂියාවට පෙර එන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. තවත් අවස්ථා ගණනාවක් තිබෙනවා. පණිවිඩ මාරු කර සැසදීම, පණිවිඩයේ තොරතුරු මග හලා ඒම නිසා, හරියට තීරණයක් දෙන්න බැරිවීම වගේ තවත් කතා බොහොමයක් ලියන්න පුළුවන්. අපි ඒ ගැන ටිකෙන් ටික සාකච්ඡා කරමින් ඉදිරියට යමු.

අදට පිච්චමලෙන් මොළය නවත්වමු

අද අපි පිච්චමලෙන්, මොළය බලල නවත්තමු, මොකද, මේ ඔක්කෝම එකපාර මොළේට හලන්න ගියොත්, කාගේ කාගේ ප්රින්ටිං මැෂින් නරක් වේද දන්නේ නැති නිසා.

පිච්චමලක් මතක් වුණේ ඇයි?

(දැන් පිච්චමලක්ම මතක් වුනේ ඇයි කියල අහන අයට, ලංකාවේ ඉන්න කාළේ කියවපු හිතේ රැඳුනු නවකතා මාලාවක් තමයි ජයසේන ජයකොඩි මහත්මයගේ පිච්චමල. ඉතින්,මේ කතාව ලියාගෙන යත්දි පරණ මතකයක් එළියට ආව. )

2022/11/04

පෙර ප්රශ්නවලට පිළිතුරු

පෙර ප්රශ්නවලට පිළිතුරු

මෙන්න පෙර ලිපියේදි අහපු ප්රශ්න ටිකට උත්තර.

1. ඩිමෙන්ෂියාව සුව කළ හැකිද?

1. F - අද දවසේ වෛද්ය විද්යාව කොයිතරම් දියුණූ වුවත්, "ඩිමෙන්ෂියාව" සුව කරන ක්රමයක් තවම හඳුනාගෙන නැහැ. නමුත්, ඒ සමඟ එන සමහර රෝග ලක්ෂණ සීමා කිරීමට සහ, ඩිමෙන්ෂියා තත්ත්වය "උග්රවීමේ වේගය" තරමක් සීමා කිරීමට යම් ඖෂධ සහ ප්රතිකාර තිබෙනවා.

2. ඩිමෙන්ෂියාව තනි රෝගයක්ද?

2. T - ඩිමෙන්ෂියා ලෙස "තනි රෝගයක්" වෙන් කරන්නේ නැහැ. එය ලක්ෂණ ගණනාවක මිශ්රණයක් ඔස්සේ ඇතිවන තත්ත්වයක්. ඒ නිසා ඩිමෙන්ෂියා කියන නම යටතේ තවත් උප වර්ග ගණනාවක් තිබෙනවා. දළ වශයෙන් මේ වෙත්දි 400කට වැඩි ඩිමෙන්ෂියාමේ වර්ග හඳුනාගෙන තිබෙන අතර, අපි හුඟක් අය දන්න, ඇල්සයයිමර් රෝගය, වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව ඒ අතර තිබෙනවා.

3. ඩිමෙන්ෂියාව මානසික රෝගයක්ද?

3. F - ඩිමෙන්ෂියාව, මානසික රෝගයක් ලෙස සැලකෙන්නේ නැහැ. එය මොළයේ ව්යුහීයව සිදුවන වෙනස්වීමක් නිසා ඇතිවන තත්ත්වයක්. නමුත්, ඩිමෙන්ෂියා තත්ත්වය තුල, සමහර මානසික රෝග ලක්ෂණ තිබෙන්නට පුළුවන්. උදා-විශාදයේ ලක්ෂණ වැනි.

මේ නිසා ඩිමෙන්ෂියාව සහ මානසික රෝග සමහර අවස්ථා වල වැරදී රෝග විනිශ්චයකට පත්විය හැකි අවස්ථාවක්. ඒ වගේම මානසික රෝග බොහෝමයකට ප්රතිකාර මගින් සුවයක් ලබා ගන්නට පුළුවන්. මේ ළඟින් යන පැටලැවිල්ල නිසා, ඩිමෙන්ෂියාව සහ මානසික රෝග වෙන්කර නියමිත රෝග විශ්නිශ්චය සහ ප්රතිකාර ලබා දීම් අවශ්යතාව තදින්ම ඇතිවෙනවා.

ඒ නිසා මෙම තත්ත්වය විනිශ්චයකට ගැනීමේදී මොළය, ස්නායු සහ වියපත් වීමේදි මතුවන තත්ත්ව වලට අදාල වෛද්ය විශේෂඥතා සහිත Neurologist, Psychiatrist, Geriatrician වැනි කණ්ඩායමක විමර්ශණයකින් එය සිදුවෙනවා.

4. ඇල්සයිමර් රෝගය කාන්තාවන්ට පමණක්ද?

4. F - ඇල්සයිමර් යනු, ඩිමෙන්ෂියා තත්ත්වයේ බහුලව දැකිය හැකි අවස්ථාව වන අතර, එය ස්ත්රී පුරුෂ කිසිදු බේදයක් නොමැතිව ඇතිවීමට ඉඩ ඇත. නමුත්, ඇල්සයිමර් තත්ත්වය ඇති කාන්තා සහ පුරුෂ අනුපාතය බැලුවොත්, කාන්තාවන් බහුල බව නම් හඳුනාගන්නට පුළුවන්.

5. ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන්නෙකුට මානසික අවපීඩනය ඇතිවිය හැකිද?

5. T - ඔව්, ඩිමෙන්ෂියාවේ වර්ගය, තත්ත්වය සහ අනෙක් පවතින රෝග තත්ත්ව අනුව, අදාල පුද්ගලයාට මානසික අවපීඩනය තත්ත්වයේ ලක්ෂණ පෙන්වන්නට පුළුවන්. එපමණක් නොවේ, අනෙක් අයට නොපෙනෙන දේ පෙනීම (Visaul hallucination) වැනි, වෙනත් මානසික රෝග වලදී මතුවන ලක්ෂණත් ඩිමෙන්ෂියාවේ දී ඇති වන්නට පුළුවන්.

6. ලංකාවේ ඩිමෙන්ෂියා තත්ත්වය තිබේද?

6. F - ලංකාවේ ඩිමෙන්ෂියා තත්ත්වය තිබෙනවා. කෙසේ වෙතත්, "සංඛ්යා ලේඛණ" වලින් පෙන්වනවාට වඩා වැඩි ප්රමාණයක් සමාජය තුල "නොදැනුවත්ව" හෝ "නොසැලකිල්ල මත" එසේත් නැත්නම්, එම මානසික ලෙඩක් හෝ "වයසට යන නිසා" එන ලෙස වර්ග කරමින් ප්රතිකාර වෙත යොමු නොවී ඉන්නට පුළුවන්.

එතැනදී, ඩිමෙන්ෂියාව පිළිබඳ සමාජයේ ඇති අඩු දැනුම සහ වැරදි වැටහීම් ද හේතු වන්නට ඉඩ තිබෙනවා. බටහිර රටවලට සාපේක්ෂණව සංඛ්යාලේඛණමය ලෙස බැලුවොත් "අඩු" බවක් ඇතත්, දකින අඩුවට වඩා වැඩි විය හැකි බව නම් විශ්වාස කරන්නට පුළුවන්.

කෙසේ වෙතත්, ඉදිරියේදී, ලංකාවේ වැඩිහිටි ජනගහණය වැඩි වීමේ ප්රවණතාවය මත සහ දැනුවත් බව වැඩි වීම මත, ඩිමෙන්ෂියා තත්ත්වෙය සමඟ ජීවත්වන්නන් හඳුනාගැනීම වැඩිවීමට ඉඩක් තිබෙනවා.

7. ඩිමෙන්ෂියා ඇති අයෙකු අනිවාර්යයෙන්ම රෝහල්ගත කළ යුතුද?

7. F - ඩිමෙන්ෂියා වතත්ත්වය හඳුනාගත් පමණින් "අනිවාර්යෙයන් රෝහල් ගත කර" ප්රතිකාර ගත යුතු වන්නේ නැහැ. එහි මූලික අවස්ථාවන් දැනුවත් සත්කාර කරනන් සිටීනම් නිවසේ සිටම සාත්තු කිරීම් යටතේ රැදෙන්නට පුළුවන්.

ඒ වගේම අවශ්ය සෞඛ්ය වෘත්තික පහසුකම් ඇත්නම් (උදා- ප්රජා සෞඛ්යය සේවාව තුල) ඩිමෙන්ෂියාව නිසා රෝහල් ගත කිරීමක් වනවාට වඩා, වියපත් වීම මත මතුවිය හැකි වෙනත් තත්ත්වයකට රෝහල් ගත වීමක් නම් සිදුවන්නට පුළුවන්.

8. නිදිවැරීම ඩිමෙන්ෂියාවට බලපෑ හැකිද?

8. T - මේ පිළිබඳව කාළයක් තිස්සේ කරමින් පවතින පර්යේෂණ ඔස්සේ, එය "අවදානමක්" බව හඳුනාගන්නව. එයින් කියවෙන්නේ නැහැ "දවසක් නිදි වැරීම" නිසා ඊළඟ දවසේ ඩිමෙන්ෂියා එනවා වගේ අදහසක්.

නමුත් කාළයක් තිස්සේ "ලැබිය යුතු නින්ද ප්රමාණය" නොලැබීම තුල අනෙක් සාධකත් එක්ව, ඩිමෙන්ෂියාව ඇති වීමට වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා, හොඳ නින්දක් දාල "මොලේ සුද්ද කරගන්න එක" හරිම වැදගත් වේවි.

9. ඩිමෙන්ෂියාව වියපත් වීමේ කොටසක්ද?

9. F - ඩිමෙන්ෂියාව, වියපත් වීම නිසාම "ඇතිවන" තත්ත්වයක් ලෙස සලකන්නේ නැහැ, එහෙම නැත්නම් "වියපත් වීමේ කොටසක්" ලෙස හඳුනාගන්නේ නැහැ.

වයස එකසිය තුනක් වූ ඩිමෙන්ෂියාව නැති සේවාලාභීන් වගේම, වයස තිස් නමයෙදි ඩිමෙන්ෂියාව ආරම්භ වූ පුද්ගලයන් අපේ අත්දැකීම් තුල හමුවෙලා තිබෙනවා.

10. ඩිමෙන්ෂියාවේදී තම නම අමතක නොවේද?

10. F - ඩිමෙන්ෂියා තත්ත්වයේ වර්ගය, මට්ටම අනුව, තම නම පමණක් නොව "තමන්" යන හැඟිම පවා අමතක වෙන අවස්ථා තිබෙනවා.

එහෙම නම්, අපි කොහොමද?

හරි, එහෙම නම් මේ තමයි උත්තර ටික. ඔබම දැන හඳුනගන්න ඩිමෙන්ෂියාව පිළිබඳ ඔබේ දැනුම් මට්ටම කොහොමද කියල.

...එහෙම කියන්නම බෑ, මොකද මේ ප්රශ්න දහයෙන් ඩිමෙන්ෂියා ගැන දැනුම මැනීම ප්රායෝගික නැහැ.

නමුත් පොඩි අදහසක් හරි එන්න ඇති කියල හිතනවා.

2022/10/28

Dementia 101 - ඩිමෙන්ෂියාව හඳුන්වාදීම

අපි ඩිමෙන්ෂියා ගැන කොතරම් දන්නවාද?

ඩිමෙන්ෂියා ගැන සරළව, දැන ගත යුතුම තොරතුරු කතා බහ කරන්නට ඉස්සර වෙලා, අපි, දැනට අපි මේ ගැන දන්නා දේ ටිකක් හොයල බලමුද?

ඔව්, සමහර විට අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව ඇති, සමහර විට ටිකක් දන්නවත් ඇති. සමහර කෙනෙක්, ඒ ගැන හොයන්න කැමැත්තෙන් ඇති. මේ හැමෝටම හරියන්නත් එක්ක, ගමනට ආරම්භයත් එක්ක, මෙන්න මේ ප්රශ්න පත්තරේට උත්තර හොයමුද?

කැමති නම් උත්තර ටික කොමෙන්ට් කරන්න, නැත්නම් ඔබම සටහන් කරගන්න. වැරදුනා කියල පන්තියෙන් එළීයට යන්නේ නෑ, කවුරුවත් ඔබව මනින්නෙත් නෑ, මේක අපේ තැන, අපි එකතු වෙලා අත්දැකීම දැනුම බෙදාගනිමු.

මෙන්න ප්රශ්න පත්තරේ

මෙන්න ප්රශ්න පත්තරේ, හරි ලේසියි උත්තර දෙන්න.

පහත වගන්ති කියවලා නිවැරදියි (True) හෝ වැරදියි (False) ලකුණූ කළාම ඇති.

(බලන්න එතැනත් 50%ක් හරියන්න පුළුවන්නේ 😃)

  1. අද දවසේ දියුණූ වෛද්ය ප්රතිකාර ඔස්සේ ඩිමෙන්ෂියාව සුව කළ හැක.
  1. ඩිමෙන්ෂියා යනු තනි රෝග තත්ත්වයක් නොවන, ලක්ෂණ ගණනාවක එකතුවකි.
  1. ඩිමෙන්ෂියාව, මානසික රෝගයකි.
  1. ඇල්සයිමර් රෝගය, කාන්තාවන්ට පමණක් ඇති වේ.
  1. ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන්නෙකු, මානසික අවපීඩනයේ ලක්ෂණ පෙන්විය හැක.
  1. ලංකාවේ ඩිමෙන්ෂියා තත්ත්වය තවමත් නැත.
  1. පවුලේ අයෙක් ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙළේ නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත කර ප්රතිකාර කළ යුතුමය.
  1. නිදිවැරීම, ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වීමට බලපෑ හැක.
  1. වියපත්වීමේ එක් අවස්ථාවක් ලෙස ඩිමෙන්ෂියාව ඇතිවීම සිදුවේ.
  1. ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයෙක්ට සියල්ල අමතක වුවත්, තම නම අමතක නොවේ.

පිළිතුරු ඊළඟ ලිපියෙන්

පිළිතුරු ඊළඟ ලිපියෙන්.

ඔබ කැමති නම් පිළිතුරු, ප්රශ්න අංකය සහ T හෝ F ලෙස සටහන් කරන්න. නැත්නම් ඔබ සටහන් තබා ගන්න.

අපි බලමු විභාගේ පාස්ද කියලා.

2022/10/21

ඩිමෙන්ෂියාව සහ SL Dementia

ඩිමෙන්ෂියාව

ඩිමෙන්ෂියාව කියන්නේ, මොළයේ සෛල අතර සම්බන්ධතා දුර්වල වෙමින්, බිඳ වැටෙමින් හානිවී යාම නිසා, අදාල පුද්ගලයාගේ මතකය, චර්යාව වගේම තීරණ ගැනීමේ හැකියාව සහ එදිනෙදා කටයුතු පවා අපහසුතාවයට පත්වන තත්ත්වයක්.

තනි රෝග තත්ත්වයකට වඩා, ලක්ෂණ විශාල ප්රමාණයක් මතු කරන තත්ත්වයන් ගණනාවක් එකතුවක් ලෙසයි අද දවස වෙත්දි වෛද්ය විද්යාව තුල "ඩිමෙන්ෂියාව" දකින්නේ.

වියපත් ප්රජාව අතරේ හඳුනාගැනීමට වැඩි අවස්ථාවක් තිබුණත්, එය එතැනින් සීමාවන්නේ නැහැ. එහි අවස්ථා අනුව විවිධ වයස් සීමාවලදී මෙම තත්ත්වය ඇතිවන්නට පුළුවන්. වියපත් ප්රජාව තුල බහුලව හඳුනාගත හැකි වුවත්, මෙය "සාමාන්ය වියපත් වීමේ කොටසක්" ලෙස හඳුනාගන්නේ නැහැ.

ඩිමෙන්ෂියාව සහ ලංකාව

බටහිර රටවල බහුලව ඇති බව සංඛ්යා ලේඛණමය වශයෙන් හඳුනාගත්තත්, ශ්රී ලංකාව තුලද මෙම තත්ත්වය හඳුනාගන්නට පුළුවන්.

එමෙන්ම "නාමිකව හඳුනාගැනීමක්" නොකර, සමාජය තුල නොහඳුනාගත් "වියපත් පුද්ගලයන්" ලෙස මෙම තත්ත්වයෙන් පීඩා විඳින සෑහෙන පිරිසක් සිටින්නට පුළුවන්. ඒ, මෙම තත්ත්වය පිළිබඳව සමාජයීය වශයෙන් ඇති දැනුම අඩුකම, සංඛ්යාලේඛනමය දත්ත වල ඇති අසම්පුර්ණ බව, අවශ්ය සෞඛ්යය පහසුකම් වෙත ළඟා වීමේ අපහසුතා වැනි ප්රායෝගික ගැටළු, සහ පොදුවේ "වයසට යාම නිසා" ඇති වන වෙනස්කමක් ලෙස "සාධාරණීකරණය" කරමින් අදාල පුද්ගලයා මෙන්ම, පවුලේ සහ සමාජයද පීඩාවකට ලක්වන අවස්ථා හඳුනාගන්නට පුළුවන්.

එමෙන්ම, මේ වන විට ඩිමෙන්ෂියාව පිළිබඳ යම් දැනුමක් හුවමාරු වෙමින් තිබුණත්, එයින් බහුතරයක්ම "ඉංග්රීසි භාෂාවෙන්", සෞඛ්යය වෘත්තිමය භාෂාවක් සහිත පරිසරයක පැතිරී ඇති බව දැක ගන්නට පුළුවන්.

නමුත්, ඩිමෙන්ෂියාව ඇති වන්නේ භාෂාව, තත්ත්වය, බෙදා වෙන් කර නොවේ. එය ඕනෑම අයෙක්ට මතුවිය හැකි තත්ත්වයකි.

විශේෂයෙන්ම, ඉදිරි කාළය තුල ලංකාවේ වියපත් ප්රජාව වැඩිවීමේ ප්රවණතාවය සහ පොදුවේ ලෝකයේ ඩිමෙන්ෂියා වැඩි වීමේ ප්රවණතාවය සැලකිල්ලට ගත් කළ, මෙම තත්ත්වය පිළිබඳ තමන්ට දැනෙන භාෂාවෙන්, තමන්ට තේරුම් ගත හැකි ප්රමාණයෙන්, "නිවැරදිව දැන සිටීම", අදාල තත්ත්වයට පත්වන්නාට මෙන්ම, එම පවුලේ සහ සමාජයේ අයටද උපකාරයක් වනු ඇත.

SL Dementia

මෙම බ්ලොග් පිටුව නිර්මාණය වන්නේ පෙර කී හිදැස සම්පුර්ණ කිරීමේ අරමුණිනි. එනම්, ඩිමෙන්ෂියාව පිළිබඳ වෘත්තීය පරිසරයේ ප්රජාව පමණක් නොව, සාමාන්ය ගමේ නිවසේ සිටින පාසල් දරුවද දැනුවත් විය යුතුය යන අදහසිනි.

එම නිසා, මේ තුල ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්රිත තත්ත්ව ගැන සංකීර්ණ වෛද්ය විද්යාත්මක සොයා ගැනීම් මෙන්ම, ඒවා සරළව තේරුම් ගත හැකි මට්ටමේ පැහැදිලි කිරීම් වල සිට ඩිමෙන්ෂියාවේ විවිධ ලක්ෂණ, හඳුනාගැනීම්, වලක්වා ගැනීම හෝ තත්ත්වය ඇති වීම ප්රමාද කරගැනීමේ ප්රායෝගික උපක්රම, ඩිමෙන්ෂියා සත්කාරය, ප්රතිකාර හෝ චිකිත්සාවන් තුල ඇති ක්රම, සහ ඒ ආශ්රිත දැනුමද පියවරෙන් පියවර බෙදා ගන්නයි අදහස.

SL Dementia ඩිමෙන්ෂියා සුව අසපුව වෙත මෙම ලිංක් එක ඔස්සේ එක්විය හැක.