2023/01/30

පළමු හාදුව

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

හවස කෝපි කෝප්පය උගුරු දෙක තුනකින් ඉවර කළ ඩොනල්ඩ් කියාගෙන ආ කතාව පටන් ගත්තා.

"අපි කොතැනද නැවැත්තුවේ.."

"ඩොන් කියමින් හිටියේ, අර ගෙවල් දෙකේ ළමයි දාසයක් හිටි කතාවනේ"

"ආ.. ඔවුනේ.. අපි දෙගොල්ලම කැතලික්, අපේ පවුලේ නමයයි, අල්ලපු ගෙදර හතයි. අපි දෙගොල්ල සෙල්ලමට බැස්සම ඕන ගේමක් අපේ තමයි" ඩොන් ඇස් කරකවමින්, කම්මුලු රිදෙන සතුටකින් කියවගෙන යනවා.

"මයික් දන්නවද? ඔය අල්ලපු ගෙදර හිටිය කෙල්ලට තමයි මම මුලින්ම කිස් එක දුන්නේ. මට හතයි, කෙල්ලට පහයි. අපේ ගෙදර පඩිපෙල යට ඉඳන් තමයි කිස් එක දුන්නේ, තාම මතකයි ඒ හැඟීම..."

"ඒ කියන්නේ ඩොන්ගේ පළමු පෙම්වතී ඒ..."

"ඔව් , ඔව්... කැත්ලීන්. කොන්ඩේ බොකුටු , ජින්ජර් හෙයාර් එකක් තිබුණේ. මං ආසම කළේ, එයාගේ කොන්ඩෙට ගාන ඔයිල් එකේ සුවඳට...මං තදින් හාදුවක් දීලා ,ඊළඟට කළේ ඒ රත්තරං පාට කොන්ඩේ ඉම්බා ඇති වෙන්න."

"එතකොට කැත්ලීන් ....?"

"එයා බැන්ද වෙන කෙනෙක්, මම ආවනේ සස්කචවාන්. ඒ අතරේ ...ඒක නෙවේ මයික්, මට දැන් මේ ඉස්සර කතා සේරම නූලට මතක් වෙනවානේ. මටම පුදුමයි, සමහර දේවල් මුළු කතාවම , ඒ විතරක් නොවේ, මට මතකයි ඒ සුවඳ, ඒ ස්ඵර්ශයන් හැමදේම අද ඊයේ වුනා වගේ මතක් වෙනවා නේ, ඇයි ඒ...?"

මම, ඔහුට වැටහෙන මට්ටමින් පිළිතුරක් ලබා දුන්නා. තවත් කෝපි කෝප්පයක් එක්ක කුකී එකක් රස විඳි ඩොන්, අපේ හවස් වරු වැඩසටහන වෙනුවෙන් යොමු කරගෙන , මගේ ඒකකයට යන ගමන් මගේ හිතේ රැදුනු වචන කිහිපයක් තිබුණා "ඒ විතරක් නොවේ, මට මතකයි ඒ සුවඳ, ඒ ස්ඵර්ශයන් හැමදේම අද ඊයේ වුනා වගේ මතක් වෙනවා"

ඩිමෙන්ෂියාව කියන්නේ හැම මොහොතකම අළුත්වන ජීවන අත්දැකීමක්!

2023/01/29

අසාමාන්යය, සාමාන්ය වීම

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

අද සඳුදා, අවුරුදු තුනකට පස්සේ නැවතත් in-person ක්රමයේ වැඩසටහන් පටන් අරගෙන දෙවෙනි දවස. අද කණ්ඩායම අතර, මීට පෙර අපත් එක්ක හිටි සේවාලාභීන් මෙන්ම, අළුතින්ම එකතු වූ සේවාලාභීන් පිරිසක්ද හිටියා.

සැලසුම් කළ විදියටම දවස "වර්ණවත් දවසක්" ලෙස ගෙවුනා. හැමෝම කතාබහ කළා, හිනා වුනා, අකමැතිම ව්යායාම වැඩසටහන හිනාවෙවීම සම්පුර්ණ කළා, හවස් වරුව සෙල්ලම් කළා, සැලසුම් කළ ක්රියාකාරකම් අවසන් කරලා, පිරිසක්, ගමේ ප්රවාහන සේවය මගින් (ඒ කිව්වේ සීටිබී බස් එකෙන් කියමු) තම තමන්ගේ ගෙවල් වලට ගියා.

හවස තුන හමාරත් වෙලා තවමත් හැරියට් නෝන තවමත් මග බලාගෙන ඉන්නවා. හැරියට් අවුරුදු හැත්තෑවක විතර, ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන බ්රිතාන්ය-කැනඩානු කාන්තාවක්. හරි අපූරු රස කතා උල්පතක් වන ඇය, අපත් එක්ක මීට වසර තුනකට පෙර කෝවිඩ් වසංගතේ එන්න ඉස්සර වෙලා මේ විදියටම වැඩසටහන් වලට එක් වුනා. නමුත් ,කෝවිඩ් තත්ත්වයත් එක්ක අනෙක් එය වර්චුවල් ආවත්, හැරියට් නෝනා අන්තර්ජාලේ ඒතරම් විශ්වාස නොකරන නිසා සම්බන්ධ වුනේ නෑ. හැමෝම ගෙවල් වල ගිහිල්ල තියෙත්දි, තාමත් මග බලාගෙන ඉන්න හැරියට් නෝන ළඟ ලංවුනා.

"තාම දුව ආවේ නැත්ද හැරියට්?"

"දුව එනව මග , අද එයාට පුතාව ඉස්කෝලෙන් ගන්න වෙලා. ඔයාට කියන්න කාලෙකින් ,

"ආ...එහෙම නං අපට තව ටිකක් කතා කරතෑකි, ඉන්න මම ඔයාට බීම එකක් අරගෙනම එන්න" , ඇය කැමතිම බීම පැකට්ටුවක් අරගෙනම ඇවිත් ඇගේ මේසයට එකතු වුනා මම.

"කෝමද හැරියට් අද දවස? " වාඩි වුනු තැනට හරි කෙළින්ම ඉස්සර තියෙන පාසලේ පිට්ටනිය පුරා දුවන පැටව් දිහා බලාගෙන හිටිය හැරියට්ගෙන් ඇහැව්වා.

"ඔයාට කියන්න, මට පණ තියෙනව කියල දැනුනේ අද. මගේ කම්මුල් රිදෙනවා අද හිනාවටයි , කතාවටයි"

"ඇත්තද, අපටත් හරිම සතුටුයි හැරියට් ඒ තරම්ම සතුටුවුනා නම්. ඔයා ඉස්සරත් ආවම දවසම හැමෝම හිනස්සනවා, ඒකනේ ඒ දවස්වල ඔයා පරක්කු වෙත්දි යාළුවෝ හොයන්නේ"

"මට දැන් මතක නෑ ඒ දවස්වල හිටපු යාළුවෝ, කීප දෙනෙක්ගේ මුණුවර යංතං මතකයක් තිබුණා. ඔයා දන්නවනේ මම දැන් සාමාන්ය නෑ, අසාමාන්යයයි. හැබැයි ඒ ආසාමාන්යය බවට මම කැමතියි"

කතාබහ අතරේම, හැරියට්ගේ දුවගේ වාහනේ නැවැත්තුවා.

"එහෙම නං මම යනවා, ආයෙත් එනව.. කවදද මතක නෑ, දුව මතක් කරාවි නේ" අළුත වැටුනු හිම තට්ටුව උඩින් පරිස්සමට අඩිය තියල වාහනේට ගොඩවෙන ගමන්ට ඇය කීවා.

"මම සාමාන්ය නෑ අසාමාන්යයයි. හැබැයි ඒ අසාමාන්යකමට මම ආසයි"

හැරියට් රැගත් වාහනේ නොපෙනීයන තුරුම බලාගෙන ඉන්න අතරේ මගේ හිතේ දෝංකාර දුන්නා ඒ වචන කිහිපය.

2023/01/27

ඩිමෙන්ෂියා සුව කරන්න පුළුවන් ද?

SL Dementia ඩිමෙන්ෂියා සුව අසපු ගෲප් එක පටන්ගත් අවස්ථා වේ සිට, ඩිමෙන්ෂියා ගැන ලංකාවේ විවිධ ගැටළු යොමු වෙනවා. ඒ අතරේ වැඩි ප්රමාණයක්ම තියෙන්නේ "ඩිමෙන්ෂියාව හොඳ කරන" වෙදුන් යැයි කියා ගන්නා අය, තවත් විවිධාකාර ක්රම ඔස්සේ ඩිමෙන්ෂියාව සුව වු බව කියන පණිවිඩත් ලැබෙමින් තිබෙනවා. එම තොරතුරු එවූවන් අතරේ, පාසල් වයසේ දරුවන්ගේ සිට, ලංකාවේ ප්රධාන යැයි කියන මාධ්ය ආයතනයක ප්රධානියෙක් දක්වා පරාසයක පිරිස සිටිනවා.

ලැබෙන පෞද්ගලික පණිවිඩ වලට පුද්ගලිකව පිළිතුරු දීම කිසිදු ගෲප් එකකට අදාලව නොකරන නිසා, කියවීමට පමණක් යොදා ගැනීමයි සිදුවෙන්නේ. (අවශ්යතාවය ඉතාමත් ඉහළ තැනකදි පිළිතුරු දෙනවා හැර) නමුත්, මේ උනන්දුව ඔස්සේ , ලංකාව තුල ඩිමෙන්ෂියාව ගැන යම් කතාබහක් සිදුවන බව සහ අවධානයක් තිබෙන බවට "සතුටක්" ලැබුණත්, තත්ත්වය ගැන ඇති දැනුම ගැන නම් "සතුටු වෙන්න" පුළුවන් තැනක නැතිදෝ කියල හිතෙනවා.

ඒ නිසා, මේ ලිපිය "ඩිමෙන්ෂියා සුව කරන්න පුළුවන් ද?" නමින් පළ කරන්නේ, ලැබුණූ පුද්ගලික පණිවිඩ ගණනාවකට පොදුවේ පිළිතුරක් ලබා දෙන්නටත්, පොදුවේ දැනුවත් කිරීමක් කරන්නටත්.

මොකක්ද ඩිමෙන්ෂියා කියන්නේ?

ඔබ අප දැනටමත් දන්නවා ඒ තනි රෝගයක් නොව, විවිධ ලක්ෂණ ගණනාවක එකතුවක් කියලා. ඒ සඳහා හේතුව මොළයේ සෛල වලට සිදුවන යම් බලපෑමක් බවත් අප දන්නවා. මෙතැනදි බලපෑම කියන්නේ, මොළයේ අදාල සෛල හෝ සෛල එකතුව යම් හේතුවක් නිසා මිය යාම, අක්රිය වීම හෝ එම සෛල එක්ක අනෙක් සෛල වලට කතාබහ කරන්නට තිබූ හැකියාව බිඳ වැටීම කියන තැන්නේ.

එතැනදි, මේ ස්නායු සෛල වල විශේෂත්වය තමයි, මිය ගියා නම් නැවත පණ ගන්නට හරි, එහෙම නැත්නම් මිය ගිය සෛල වලින් එන හිස් තැන පුරවන්නට හරි නැවත සෛල පැටවු ගහන්නේ නැතිකම. හෘද පේෂියේ විශේෂිත සෛල, අග්න්යාශයේ තිබෙන විශේෂිත සෛල වගේම මොළයේ මේ නියුරෝනත් , මළොත් මලාම තමයි. අතක , කකුලක වෙන තුවාලයකදි අතේ , කකුලේ සෛල මැරුණත් , අළුත් සෛල පැටවු ඇවිත් අර මැරුණූ තැන පිරෙව්වත් මොළයේ සෛල වලට ඒ හැකියාව නැහැ. (නියුරෝජෙනසිස් ලෙස හඳුන්වන ක්රියාවලිය ඔස්සේ ඉතා සුළු සෛල වැඩීමක් හදුනාගත්තත්, එම හැකියාව, සමේ සෛල අතක තුවාලයක් සුව කරා මෙන්, මොළයේ සිදුවන හානියක් සම්පුර්ණයෙන්ම ආවරණය කරන්නට තරම් ඉහළ මට්ටමක නැහැ.)

ඒ නිසා, ඩිමෙන්ෂියා තත්ත්වයට හේතුවුනේ මොළයේ සෛල මියායමක් නම්, එම සෛල වලින් සිදුවෙමින් තිබුණු කාර්යය ඒ ආකාරයෙන්ම නැවත කරන්නට ඇති ඉඩ ඉතාමත් අඩුයි. නියුරෝප්ලස්ටිසිටි කියන ක්රියාවලිය ඔස්සේ වටේ ගිහින් යම් සීමාවක උදව්වක් ගන්නට පුළුවන් වුනත්, පොදුවේ , අදාල මොළයේ කොටස වගකියන මතකය, හඳුනාගැනීම , චර්යාවන් , තීරණ ගැනීම් හැකියාවන් බවට සිදුවුනු බලපෑම අනෙක් පැත්තට ගන්න බැහැ.

ඩිමෙන්ෂියා ලක්ෂණ සහ ඩිමෙන්ෂියා තත්ත්වය

ඩිමෙන්ෂියා ගැන කතා කරත්දි අප, නිවැරදිව භාවිත නොවන වචන කිහිපයක් නිසා පටලැවිල්ලක් වෙනබවක් හඳුනගන්නට පුළුවන්. පෙර කීවා වගේම "ඩිමෙන්ෂියා ලක්ෂණ" කියන්නේ, අමතක වීම, චර්යාව වෙනස්වීම, තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂය වෙනස්වීම වගේ , ලක්ෂණ ගණනාවක එකතුවක්. දැන් මේ එක් ලක්ෂණයක් දෙකක් හඳුනාගැනීම තුල අදාල පුද්ගලයා "ඩිමෙන්ෂියා තත්ත්වය" සමඟ ජීවත්වනවා යැයි තීරණය කරන්නේ නැහැ සුදුසුකම් ලත් සෞඛ්යය වෘත්තිකයෙක් නම්.

උදාහරණයක්, එක්තරා පියෙක් දැන් සති කිහිපයක සිට අමතක වීම, නින්ද නොයාම, චර්යාව වෙනස්වීම වගේ ලක්ෂණ පෙන්වනවා. දැන් මේක දැක්ක ගමන් "අපේ අප්පොච්චිට ඩිමෙන්ෂියා" කියල කළබල වෙන එක සාධාරණ නැහැ. මේ ගැන දැන් සොයා බලන්නට ඕන. එතැනදි, අදාල ශාරීරික පරික්ෂාවන් ,මතක පරික්ෂාවන්, චර්යාමය පරික්ෂාවන් , රුධිර රසායනික සහ මොළයේ ස්කෑන් වගේ පරික්ෂණ තුලදී, තවත් ලක්ෂණ වගේම මොළයේ පටක වලට සිදුවූ හානිය හඳුනාගෙන, එම තත්ත්වය "ඩිමෙන්ෂියා" ලෙස හඳුනාගෙන, එහි වර්ගය නම් කිරීමක් කළොත් අන්න ඒ තමයි "ඩිමෙන්ෂියා තත්ත්වය" . ඒ කියන්නේ මෙතැනදි අපට සුව කිරීමකට වඩා බලාපොරොත්තු වෙන්නේ තත්ත්වය පාලනය කිරීම සහ පවතින, විය හැකි ගැටළු, ලක්ෂණ වල අපහසුතා සීමා කරමින් අදාල පුද්ගලයාට හැකිතරම් "සාමාන්ය ජීවිතයක්" ගත කිරීමට අවස්ථාව ලබා දීම.

දැන්, "අපේ අප්පොච්චිට ඩිමෙන්ෂියා" කියල කළබල වෙලා පෙර කී ලෙස වැඩිදුර පරික්ෂණ සිදු කර, "ඩිමෙන්ෂීයා තත්ත්වය / වර්ගය" හඳුනානොගෙන , ඩිමෙන්ෂියා හොඳ කරන දිවැසිවරයෙක් වගේ මාධ්යයෙන් , සමාජ මාධ්යයෙන් ප්රසිද්ධ වූ අයෙක් ගාවට මෙම පියාව ගෙන ගියාම, මොනව හරි "ප්රතිකාර " කියන දෙයක් කරාම, ටික දවසක් ගියාම "මෙන්න තාත්ත ආයෙත් හොඳ වෙලා" කියල, ඩිමෙන්ෂියා හොඳ කරන්න පුළුවන් කියන මතයට ආවොත් ලොකු වැරැද්දක්.

හේතුව මේකයි. දැන් මේ අප්පොච්චිට තිබුණු අමතක වීම වැඩිවීම, නින්ද නොයාම, චර්යාව වෙනස්වීම වගේ ලක්ෂණ ඇති වන්නේ ඩිමෙන්ෂියා තත්ත්වයකදි පමණක් නොවෙයි. තවත් හේතු ගණනාවක් තියෙනවා, සරළවම , මානසිකව ඇතිවන පීඩාවන්, දැනට ලබා දෙන ඖෂධයක බලපෑම, නිවසේ සිදුවූ වෙනසක සිට තවත් කායික ගැටළු රැසක් නිසාත් , මේ "ඩිමෙන්ෂියා වගේ ලක්ෂණ" මතු වෙන්න පුළුවන්.

Reversible Dementias — නිවැරදි කළ හැකි තත්ත්වයන් 10ක්

මෙම තත්ත්වයන් සහ ඩිමෙන්ෂියා තත්ත්වයන් අතර වෙනස තමයි, දැන් මේ කියන්න හදන ගැටළු බොහොමයක් නිසි ප්රතිකාර මගින් සුව කරන්නට පුළුවන්, එතැනදි මතුව තිබූ "ඩිමෙන්ෂියා ලක්ෂණ" අඩුවෙන හෝ නැතිව යනවා. නමුත් , "ඩිමෙන්ෂියා තත්ත්වයක්" නම්, එය සුව කරමින්, අදාල පුද්ගලයා පෙර තිබූ තත්ත්වයටම ගන්නට හැකියාවක් තවමත් හොයා ගෙන නැහැ.

1) Normal Pressure Hydrocephalus (NPH)

මොළය තුල නිපදවෙන, සංසර්ණය වන තරළය cerebrospinal fluid සාමාන්ය ලෙස සංසර්ණය නොවීම නිසා, එමගින් ඇති කරන පීඩනය හේතුවෙන් මොළයේ සෛල , මොළයේ කුටීර අධිත තෙරපීමකට ලක්වීම. මේ නිසා මොළයේ සෛල වලට අවශ්ය රැධිර සැපයුම බිඳ වැටීම, පීඩනය වැනි හේතු නිසා එම සෛල මියයාමක් හෝ ක්රියාකාරීත්වය දුර්වල විමක් වෙන්නට පුළුවන්.

මෙම තත්ත්වයේදී, ඩිමෙන්ෂියා තත්ත්වයක සමහර ලක්ෂණ , උදාහරණයක් අමතක වීම, දවසේ වැඩ කටයුතු වලට තිබුණු කැමැත්ත නැතිවීම, තීරණ ගැනීමේ හැකියාව නැතිවීම, ඇවිදිම අපහසුවීම, මුත්රා පාලනය නොහැකිවීම වගේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.

නමුත්, මුල් අවස්ථාමේ මෙම තත්ත්වය නිවැරදිව හඳුනාගත්තා නම්, ඊට අවශ්ය ඖෂධීය සහ විශේෂයෙන්ම ශල්ය ප්රතිකාර ආරම්භ කළා නම්, තත්ත්වය තව දුරටත් උග්රවීම පාලනය කිරීම මෙන්ම, පවතින ලක්ෂණ අඩු කරමින් හෝ සම්පුර්ණයෙන්ම නැති කරමින් නැවත සාමාන්ය තත්තවයට පත් වෙන්නට පුළුවන්.

2) Delirium

මේ නම් , ඩිමෙන්ෂියා ලක්ෂණ බොහොමයක් මතුවන තවත් රෝග තත්ත්වයක්. තමන් සහ වටපිටාව ගැන නොහැදිනීම, කල්පනාව වෙනස්වීම, අමතක වීම, විවිධ දේ පෙනෙන්නට (hallucinations) පටන් ගැනීම, ඔය විදියට අපි ඩිමෙන්ෂියා තත්ත්වයකදී කියන සියළු ලක්ෂණ මතු වෙන්නට පුළුවන් මෙම අවස්ථාවෙදීත්.

මුත්රා ආසාදනයක්, තද උණ , තද වේදනාවන් වල සිට, රුධිරයේ අවශ්ය සංඝටක වල අඩුවීම, ගන්නා ඖධ්ය වල ප්රතික්රියා හෝ බලපෑම ,කාළීනව සිදුවූ පෝෂණ ඌණතාවයක්, මත්පැන් හෝ මත්ද්රව්ය වල බලපෑමක් වගේ හේතු ගණනාවක් නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

අදාල තත්ත්වය සහ ඩිමෙන්ෂියා තත්ත්වය අතර හඳුනාගත හැකි "වෙනස" නම්, Delirium තත්ත්වය කෙටි කාළ සීමාවක් තුල මතුවීම සහ ඩිමෙන්ෂියා තත්ත්වය ක්රමාණූකූලව සාපේක්ෂණ දිගු කාළයක් තිස්සේ මතුවීමයි.

3) Vitamin B12 Deficiency

කාලීනව සිදුවූ විටමින් බී ඌණතාවය නිසාත් ඩිමෙන්ෂියා ලක්ෂණ මතු වන්නට පුළුවන්. අසාමාන්ය විඩාව, දවසේ කටයුතු වලට තිබුණූ කැමැත්ත අඩුවීම, උනන්දුව අඩුවීම, කල්පනාව අඩුවීම, තීරණ ගැනීම , පිළිවෙල කිරීම වැනි කටයුතු වලදී සිදුවන බිඳ වැටීම්, පෙර දැන සිටි දේවල් හඳුනා නොගැනීම වගේ ඩිමෙන්ෂියා තත්ත්වය තුලදී දැකිය හැකි රෝග ලක්ෂණ මෙම විටමින් බී 12 ඌණතාවයේදීත් දැක ගන්නට පුළුවන්. නමුත්, නිසි පෙර අවස්ථාවෙදී හඳුනාගෙන, අදාල විටමින් ඌණතාවයට අදාල ප්රතිකාර සිදු කළා නම්, පෙර කී ලක්ෂණ නැවත සාමාන්ය තත්ත්වයට ක්රමයෙන් හරවා ගන්නට පුළුවන්කම තිබෙනවා.

4) Hypothyroidism

සමස්ථ ජෛව ක්රියාවලියටම බලපැමක් ඇති කරන තයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරීත්වය දුර්වල වීම නිසා නිශ්පාදනය විය යුතු තයිරෝයිඩ් හෝමෝන ප්රමාණය , රැධිරයට එක්නොවීම නිසා ඇතිවන හය්පොතයිරොයිඩිස්ම් තත්ත්වයේදි, විශේෂයෙන්ම, එම තත්ත්වය කළක් ප්රතිකාර නොලබන අවස්ථාවේදී, ඩිමෙන්ෂියා ලක්ෂණ මතු වන්නට පුළුවන්. අලස බව, විෂාදයේ ලක්ෂණ, කල්පනාව අඩුවීම, බුද්ධිමය හැකියාවන්-තීරණ ගැනීමේ හැකියාවන් අඩුවීම, අමතක වීම් වගේ මතුවන ලක්ෂණ, නිසි ප්රතිකාර ලබා දීම මගින් සුව කරන්නට පුළුවන්.

5) Medication-Induced Dementia

සමහර මූලික මට්ටමේ වේදනානාශක, අසාත්මිකතාවයන් සඳහා දෙන ඖෂධ වල සිට, මානසික රෝග/තත්ත්ව සඳහා දෙන ඖෂධ, අපස්මාරය සඳහා ලබා දෙන ඖෂධ වැනි, වෙනත් තත්ත්වයක් සඳහා ගන්නා ඖෂධ වල බලපෑම නිසා , මෙම ඩිමෙන්ෂියා ලක්ෂණ මතුවීම සිදුවන්නට පුළුවන්.

අදාල බලපෑම සිදු කරන ඖෂධ හෝ එම ඖෂධ සැලසුම වෙනස්කිරීම තුල මෙම "ඩිමෙන්ෂියා ලක්ෂණ මතුවීම" පාලනය හෝ සීමා කරගන්නට පුළුවන්කම තිබෙනවා.

6) Depression

විෂාදය තත්ත්වය තුලදීත් බුද්ධිමය හැකියාවන්, තීරණය ගැනීමේ හැකියාවන් වගේම මතකය වෙතද දැඩි බලපෑමක් කරමින් "ඩිමෙන්ෂියාවේ" ලක්ෂණ මතු කරන්නට පුළුවන්. නමුත්, නිසි ප්රතිකාර, සහ චිකිත්සීය ක්රම ඔස්සේ එම ලක්ෂණ නැවත සාමාන්ය හෝ ආසන්න මට්ටමට ගෙන එමින් නිවැරදි කිරීමක් කරන්නට හැකියාවක් තිබෙනවා.

7) Head Injury

හිසට සිදුවන අනතුරු වලට පසුවත්, අමතක වීම, තීරණ ගැනීමේ හැකියාවේ වෙනස්වීම් වැනි ඩිමෙන්ෂියා තත්ත්වයේදීද පෙන්වන ලක්ෂණ කිහිපයක් , තත්ත්වය අනුව මතු වන්නට පුළුවන්. කෙසේ වෙතත්, එම අනතුරට අදාල ප්රතිකාර සහ චිකිත්සීය ක්රම නිසි ලෙස අනුගමනය කිරීම මගින්, මෙම තාවකාලික ලක්ෂණ නිවැරදි කරගන්නට පුළුවන්.

8) Alcohol-Related

වැඩි කාළයක්, අධික මත්පැන් භාවිතය නිසා මොළයට , අක්මාවට සිදුවන හානිය ඔස්සේ මතුවන තත්ත්වයකදී, කල්පනාව අඩුවීම, අමතකවීම, අවට පරිසරය ගැන ඇති හැදිනීම අඩුවීම වැනි ඩිමෙන්ෂියා වලදි මතුවන ලක්ෂණ ගණනාවක් හඳුනාගන්නට පුළුවන් වේවි. නමුත්, මුල් අවධියේදීම මෙම වෙනස්වීම් හඳුනාගත හොත්, මත්පැන් භාවිතය සීමා කිරීම සහ අදාල ඇබ්බැහිවීමට නිසි ප්රතිකාරත්, මත්පැන් වල බලපෑම නිසා සිදුවී ඇති "නිවැරදි කළ හැකි" ජෛව රසායනික වෙනස්කම් නිවැරදි කිරීමත් මගින් මෙම ලක්ෂණ නැවත හරවන්නට හැකි වේ.

9) Infections

මොළයේ උණ, උපදංශය( syphilis) වැනි තත්ත්ව වලදීත් අදාල ආසාදනය පවතින අවස්ථාවේ , ඩිමෙන්ෂියා වැනි ලක්ෂණ මතු වන්නට පුළුවන්. අදාල ආසාදනයට නිවැරදි ලෙස ප්රතිකාර කිරීමෙන් සුව කරගැනීමට හෝ මතුවූ ලක්ෂණ අඩු කරගැනීමට හැකියාවක් ලැබෙනවා.

10) Metabolic Disorders

අක්මාව, වකුගඩු වැනි ජීවය පවත්වා ගැනීමට වැදගත්ම අවයව වල සිදුවන දුර්වලතා, හානිවීම් නිසා රැධිරයේ විවිධ රසායනික වෙනස්වීම මතත්, ඩිමෙන්ෂියා වැනි ලක්ෂණ ඇති වන්නට පුළුවන්. අදාල ජෛව රසායනික වෙනස්වීම වලට හේතුවන Metabolic disorders සඳහා ප්රතිකාර කිරීම මගින් මෙම ලක්ෂණ නිවැරදි කරගන්නට හැකියාව තිබෙනවා.

සත්ය ඩිමෙන්ෂියා තත්ත්ව සහ නිගමනය

ඇල්සයිමර් තත්ත්වය, වැස්ක්යුලර් ඩිමෙන්ෂියා තත්ත්වය, ෆ්රන්ටොටෙම්පොරල් ඩිමෙන්ෂීයාව, මික්ස්ඩ් ඩිමෙන්ෂියාව වැනි , පෙර අප හඳුන්වා දී ඇති "ඩිමෙන්ෂියා තත්ත්ව / Dementia types" වලදී , මොළයේ සෛල වලට "නැවත හැරවිය නොහැකි හානියක්" සිදුවී ඇති නිසා, කළ හැකි දේ තත්ත්වය උග්රවීම සීමා කිරීම සහ පවතින අපහසුකාරී ලක්ෂණ සීමා කරමින් හැකිතරම් සාමාන්ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම මිස "සුව කිරීමක්" නොවේ.

එම නිසා, ඩිමෙන්ෂියා සමාන ලක්ෂණ සහ ඩිමෙන්ෂියා තත්ත්වයන් වෙන්කර හඳුනාගැනීම වැදගත් වගේම, ඩිමෙන්ෂීයා තත්ත්වයට පත් නොවීමට හෝ පමා කිරීමට "ගත හැකි උපක්රම" පිළිබඳව දැනුවත්වීමත් තමයි වැදගත්ම වන්නේ.

2023/01/20

අගමැති නම් fxxxx

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

බ්රහස්පතින්දා දවස...හතයි පනස් පහයි. සායනයේ දොර අඟුළු හැරියේ තවත් අපූරු, අනපේක්ෂිත අත්දැකීම් වලින් රසවත් වුනු "වර්ණවත්" වෙනස්ම දවසක බාරගන්නත් හිතාගෙන.හරියටම අට වෙත්දි මගේ අනෙක් සහෝදර සේවිකාවත් දවසේ මුල් රාජකාරී වලට එකතු වුනා. පෙර දවසේ සිදුවීම් ගැන සොයා බැලීමකින් පස්සේ, අද දවසේ පැමිණීමට නියමිත සේවාලාභීන් ගැනත්, විශේෂයෙන්ම මේ සතිය තුල ඔවුන්ගේ සිදුවුනු වෙනස්වීම සහ වෛද්යවාර්තා ගැන විමසා බැලීමත් කළ යුතුම වෙනවා. ඒ, අද දවස තුල ඔවුන්ට විය හැකි ගැටළු අවම කරමින් , වඩාත් සාර්ථක සේවයක් ඔවුන්ට ලබා දිය යුතු නිසාවෙන්.

"මයික්! බ්රයන් පෙරේදා වයිෆ් එක්ක ආග්යුමන්ට් එකක් වෙලා වගේ, කෙයාවර්කර්ටත් physical aggression එකක් වෙලා වගේ කෙස්නෝට්ස් වල හැටියට නම් , ඔයත් ටිකක් බලන්න. අනෙක් අය නම් වෙනසක් නෑ, අද, මොබයිල් එක එනවා බෙටීගෙයි, මාර්තාගෙයි බ්ලඩ් ගන්න." හැනා අද දවසේ වාර්තාව කියවන ගමන් "විශේෂ" කරුණූ විදියට මතක් කළා.

"හරි, එහෙම නම් මම CC session එක රන් කරන්නම්, කෝකටත් අපි බලාපොරොත්තු වෙන් සූදානමින් ඉමු , මොකද බ්රයන්ගේ මිත්රයත් අද ඉන්නවනේ" රටේ දේශපාලන මත වාද ගැන කතාබහේදි, දරුණු ලෙස බ්රයන් එක්ක වාද කරන ජෝන් අද දවසේ සායනයේ ඉන්නවා. මේ දෙන්නම, වයස අවුරුදු පනස් පහක, හයක විතර හොඳ හැඩි දැඩි , කැනඩා තෙල් , පතල් ක්ෂේත්රයේ කාළයක් සේවය කළ බොහෝ ඇසූ පිරූ ඇති තැන් ඇති මහත්වරු දෙදෙනෙක්. නමුත්, දේශපාලනිකව සම්පුර්ණ ප්රතිවිරුද්ධ මත දරන දෙන්නා, සාකච්ඡාවක්, යුද්ධයක් කරගන්න යන්නේ මොහොතක්.

බ්රයන් Frontotemporal Dementia තත්ත්වය සමඟ ජීවත් වන අතරේ, ජොන් ඇල්සයිමර් තත්ත්වයේ මූලික අවස්ථාවේ සිටින්නේ. ඉතාමත් ප්රියමනාප මේ සේවාලාභීන් දෙදෙනො වගේම තවත් විවිධ ඩිමෙන්ෂියා තත්ත්ව සමඟ ජීවත්වන සාමාජිකයන් අට දෙනෙක් අද වැඩසටහන තුල අපත් එක්ක දවස ගත කරනවා.

Coffee and Chat සහ දේශපාලන වාදය

උදේ නමයයි. අපි දවසේ වැඩ පටන් ගත්තා. මුල්ම පැය , අපි නම් කරන්නේ Coffee and Chat එකක් විදියට , ඒ කාළය තුල එදිනෙදා තොරතුරු, රටේ දේශපාලනය, අළුත් වෙනස්වීම් වගේ විවිධ පුළුල් මාතෘකා ගැන සුහදශීලී කතාබහකට සියළු සාමාජිකයන්ට අවස්ථාව දෙනවා .හරිම රසවත් අදහස් හුවමාරු වන මෙම සෙෂන් එක ඔස්සේ, විවිධ ඩිමෙන්ෂියා තත්ත්වයන් සහිතව ජීවත්වන මේ මිතුරන්ට , අද දවසේ අවට සිදුවන දේ ගැන අදහස් ලබා ගන්නටත්, තම අත්දැකීම් , දැනුම , කළ විමසීම බෙදා ගන්නටත්, ඒ ඔස්සේ අදාල පුද්ගලයාට "වටිනාකමක්" ලබා දෙන්නටත් කටයුතු කරනවා. ඒ ඔස්සේම, මොළයේ විවිධ කළාප වල සක්රිය බවට යහපත් බලපෑම් ඇතිවන ආකාරයට සාකච්ඡාව පවත්වා ගැනීම සහ ඒ තුලට ඔවුන් බඳවා තබා ගැනීමයි සෞඛ්යය වෘත්තිකයන් ලෙස අපේ වගකීම. ඒ අතරේම, කතාබහ තුලදී ඔවුන් දක්වන චර්යාවන්, වෙනස් වූ චර්යාවන් , වචන භාවිතය, ලබා දෙන ගැටළුවක් තේරුම් ගැනීමේ හැකියාව වෙනස්වන ආකාරය වගේ කරුණු රැසක් ගැන වෙන් වෙන්ම හැම සාමාජිකයෙක් වෙතම අපේ අවධානය පවත්වා ගන්නවා.

අද කතාවේ මාතෘකාවක් වුනේ, රටේ අද දවසේ පවතින උද්ධමනය සහ ඒ වෙනුවෙන් රජයේ ක්රියාකාරීත්වය. බොහොම සංකීර්ණ , සහ විවාද ඇතිවිය හැකි මාතෘකාවක්. ඉතා කාරුණික බාර්බ් නෝනා හැමදේ ගැනම සමබරව කරුණූ ඉදිරිපත් කරත්දි, හැමදේම දෙවියන්ගේ කැමැත්තට සිදුවන බව විශ්වාස කරන ලැරී උද්ධමනය වැඩිවීමට කරුණූ ඒ ආශ්රිතව ගේන්නේ තම ආගමික පොතක කරුණූත් එකතු කරමින්.

"ඔය එකක්වත් නොවෙයි ප්රශ්නේ , මේ අගමැති කියන්නේ fxxxxx කෙනෙක්. කිසිම මොළයක් නැති බබෙක් වගේ වැඩ කරන්නේ " හැමෝම කටවල් වගේම ඇසුත් වහගන්න පොළඹවන තරමේ දැඩි ලෙස අදහස් ගෙනාවේ ජෝන්.පවතින රජයට විරුද්ධ මතයක් දරන ජෝන් තවත් කරුණූ එක් කරත්දි, ඊට හරියටම ඉස්සරහ අසුනේ හිටිය , බ්රයන් හිමීට නැගිට්ටේ වැඩි පරිස්සමට අතේ තියාගෙන ඉන්න හැරමිටියත් හරහට අල්ලනෙම.

"හරි, අද නම් NCI වලින් වැඩක් ගන්න වෙයි වගේ" වචනයෙන් නොකියා, හැනා වෙත ඉඟියක් ලබා දෙ ගමන්ම මමත් අසුනින් නැගිට කණ්ඩායම තුල වටේ ඇවිදින්නට පටන් ගත්තේ, "විය හැකි ගැටුමක්" වලක්වා ගැනීමටත් එක්ක. ( NCI කියන්නේ, මෙම ක්ෂේත්රයේ සේවය කරන අප ලබා සිටිය යුතුම පුහුණුවක් වන Nonviolent Crisis Intervention කියන, එක්තරා විදියක, සටන් කළාවක්. නෑ නෑ සටහන් කළාවක්ම නොවෙයි, විය හැකි ශෘරීරික හිංසනයක් වලක්වා ගැනීමට ඇති පුහුණූවක්) .

බ්රයන් කෙළින්ම ආවේ මගේ ළඟට. අඩි හයකට වැඩිය උස සද්ධන්ත මිත්රයා නැවතුනා මගේ ළඟ.

"මයික් , පොඩ්ඩක් මෙහාට එන්න පුළුවන්ද?"

"කියන්න බ්රයන්, මොකද වෙන්න ඕන"

"මම තවත මෙතැන හිටියොත් ජොන් මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා, මට දැනෙනවා මගේ ආවේග පාළනය කරගන්න බැරි වෙයි වගේ. ඒ නිසා, මම විනාඩි පහකට රෙස්ට් රූම් එකට ගිහින් ආවට කමක් නැත්ද?" ඇස් රතු වුනු, හුස්ම ගන්න වේගය වැඩි වුනු බ්රයන්, බොහොම පාළනය කළ හඩින් මගෙන් අහනවා.

"අනිවාර්යයායෙන්ම බ්රයන්. ඔබ ඒ තත්ත්වය හඳුනාගැනීමම ජයක්, යන්න ටික වෙලාවක් ඉඳලා එන්න, අපි ඊළඟ ටොපික් එක, ජොනී කෑෂ් ගැන. ඒකට එත්දි ලස්සන කතාවක් අපට ගෙනියන්න පුළුවන් වේවි."

විනාඩි දහයකට පස්සේ බ්රයන් ආයෙත් එත්දි අපි ජොනි කෑෂ් ගැන සංගීතමය කතාවක්, කට්ටියක් සිංදු කියනවා, ජෝන් වාඩි වෙලා තට්ටුවක් දදා සිංදු අහනවා, බ්රයන් ගෲප් එකට ආවෙම සිංදුවක් කියාගෙන.

දවස තවත් අළුත්ම දවසක් විදියට ගෙවුනා.

FTD හෙවත් Frontotemporal Dementia යනු කුමක්ද?

ඩිමෙන්ෂියා තත්ත්ව අතරේ "කළබලකාරයා" FTD කියන එකයි ක්ෂේත්රය තුල පොදු මතය. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඒ , අදාල තත්ත්වය තුල ඇතිවන චර්යා ලක්ෂණ තුල "ක්ෂණික කළබලකාරී" වන , ආවේගශීලී වන වගේම, හඳුනාගත නොහැකි හේතුවක් නිසා චර්යාව ක්ෂණිකව වෙනස්ම තත්ත්වයකට පත්වන රටාව නිසා. ඊට අමතරම, FTD තත්ත්වය හුඟක් වියපත් අය අතරට වඩා, තරමක් අඩු විය මට්ටමේ වැඩිහිටියන් තුල දකින්නට ලැබීමත් හේතුවක්. මේ තත්ත්වය පොතේ හැටියට නම් අවුරුදු 20 සිට, අසූව දක්වා ඕනම තැනකදි ඇතිවන්නට පුළුවන් වුනත්, අපේ අත්දැකීම තුල අවුරුදු 45 සිට, 65 වැනි වයස් සීමාව තුල මෙම තත්ත්වය හඳුනාගත් අවස්ථා වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා.

දැන් මොනවද හේතු මේ තරම් අඩු වයසෙදි FTD ඇති වන්නට?

බොහෝ ඩිමෙන්ෂියා වර්ග වලදි වගේම මෙතැනදීත් "ටක්කෙටම" හරියට හේතු කියන්න බැරි වුනත්, ජානමය සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා . මෙම තත්ත්වයට පත්වූ වැඩි පිරිසකගේ මොළයේ Frontal සහ Temporal කළාප වල ස්නායු සෛල අසාමාන්ය ලෙස බිඳ දැමීමට tau සහ TDP-43 කියන "හොඳ ප්රෝටීන්" නරක විදියට ක්රියාත්මක වීම හේතුවන නිසා , ඒ සඳහා හේතුවන වෙනස්වන ජාන කිහිපයක් මේ වෙත්දි වෙන්කර හඳුනාගන්නට පුළුවන් වෙනවා. මෙම නිසාම, FTD තත්ත්වයේ අයෙක් සිටින පවුලේ සාමාජිකයන් වෙත Genetic counseling ලබා දීමත් දැන් සිදුවෙනවා. නමුත් වැඩි අවස්ථා ගණනකට හරියටම මේකයි හේතුව කියන්න තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.

කොහොමද FTD හඳුනගන්නේ?

මේක හරිම සංකීර්ණ අවස්ථාවක් වෙන්නේ, FTD වල ලක්ෂණ, තවත් රෝග ගණනාවකදි මතුවන්නට පුළුවන් නිසා. විශේෂයෙන්ම මානසික රෝග වල ලක්ෂණ ගණනාවකුත් එක්ක පටලැවෙන්නට ඇති ඉඩ වැඩියි. නමුත්, අපේ අත්දැකීම අනුව, FTD තත්ත්වය සහිත අවස්ථා බොහොමයක් ගැන "මුල්ම සැකය " ඇති කරගෙන තිබුණේ, අදාල පුද්ගලයාගේ විවාහක පාර්ශවය, එහෙම නැත්නම් දරුවෙක්.

"ඉස්සර තාත්තට තරහ යන්නේම නෑ, ඒත් ළඟක ඉඳන් පොඩි දේටත් කළබල වෙලා ට්රැක්ටරෙන් පැනලා කෑගහන්න පටන් ගත්තා, ඒකයි හොයන්න හේතු වුනේ"

"අපි බැඳලා අවුරුදු තිහක්, මෙයා කවදාවත් මට කෑගහල බැනල නෑ, ඒත් ළඟ ඉඳන් මෙයා මට හරියට බනින්න පටන්ගත්තා, මුලින්ම මෙයා ගැන වෙන සැකයක් ආවත් , ඊට පස්සේ මාත් එක්ක විතරක් නොවෙයි, අල්ලපු ගෙදර අයත් එක්කත් රංඩු වෙන්න පටන් ගත්ත නිසා ඒ වෙනස බලන්නයි ටිකක් හොයල බැලුවේ"

මේ සමාන කතා අපට අහන්න ලැබුණූ අවස්ථා බෝමයි.

නමුත්, වෙනත් රෝග තත්ත්වයක් සඳහා කරන පරික්ෂණ වලදී, රෝග තත්ත්වය FTD බව තහවුරු කරගත් අවස්ථාත් සමානව දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම තත්ත්වයේ මූලික අවස්ථාව "පහසුවෙන්" , විනිශ්චයක් කිරීම, වෙනත් ඩිමෙන්ෂියා තත්ත්ව තරම් පහසු නැති බවනම් කියන්නට පුළුවන්.

bvFTD - Behavioral Variant FTD

මේ සංකීර්ණත්වය නිසාම , FTD හි උප වර්ග කිහිපයක් වෙන් කර ගන්නට පුළුවන්. උදාහරණයක් අපේ කතාවේ බ්රයන්ට තිබුණු FTD තත්ත්වය නම් කරන්නේ Behavioral variant frontotemporal dementia (bvFTD) කියලා. එතැනදි, අදාල පුද්ගලයාගේ අමතක වීමේ ලක්ෂණ යම් තරමක තිබුණත්, තීරණ ගැනීමේ හැකියාව, බුද්ධිමත් බව, සැසඳීමේ හැකියාව ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒ නිසා, මේ අය සමාජය තුල සාමාන්ය, බුද්ධිමත්, සක්රිය අය විදියට හඳුනාගන්නට පුළුවන්. හඳුනගන්නට පුළුවන් වෙනස් වීම සිදුවන්නේ අදාල පුද්ගලයන්ගේ පෞරුෂයේ , ආවේග පාලනය කරගැනීමේ හැකියාව , තීරණ වල සමබරතාවය වගේ තැන්වල. මේ ලක්ෂණ හඳුනාගන්න නම් කාළයක අධ්යනය කරමින් තිබීම අවශ්යම තත්ත්වයක් නිසාත් අභියෝගකාරී බව තවත් වැඩි කරනවා.

මෙම ලක්ෂණ වලට අමතරව, මෙතෙක් පැවති සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා වලින් ක්රමයෙන් ඉවත්වීම , ප්රතික්ෂේප කිරීම , අවස්ථාවට අදාලව සමාජය පිළිනොගන්නා ප්රතිචාර ලබා දීම , දවසේ කටයුතු හෝ යම් කටයුත්තක්, ප්රමුඛත්වය අනුව පිළිවෙලකට කිරීමට නොහැකි වීම සහ එවැනි අවස්ථාවක ආවේගකාරී වීම වැනි ලක්ෂණ පොදුවේ දකින්නට පුළුවන්. ඊට අමතර, එකම වචනය නැවත නැවත කියන තත්ත්වය වගේම, කළ කටයුත්තක් නැවත නැවත කිරීමට උත්සාහ කිරීම වගේ චර්යාත්මක වෙනස්වීම් දකින්නට පුළුවන් ලක්ෂණ විදියට.

PPA (Primary Progressive Aphasia) සහ උප වර්ග

FTD ගේ ඊළඟඋප වර්ගය සන්නිවේදනය සහ කථනයට සම්බන්ධයි. ඔබට මතක නම් ඊයේ දවසේ බෲස් විලිස්ගේ කතාවට අදාලව අප කළ සටහන තුල පැහැදිලි කළ, අෆේෂියා තත්ත්වය තමයි ඒ උප වර්ගය වෙන්නේ. නිවැරදිම නමින් කිව්වොත් Primary progressive aphasia එහෙම නැත්නම් කෙටියෙන් කියන PPA . මෙතැනදි වෙන්නේ අදාල පුද්ගලයාගේ වාචික සන්නිවේදනයේ බිඳ වැටීමක්. එතැනදි, එක් අවස්ථාවකදි වෙනත් අයෙක් කියන දේ පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කතාබහ බිඳ වැටෙන්න පුළුවන් අතරේ, ඊට වඩා අපහසුකාරීයි, කියන්න ඕන දේ හිතේ තිබුණත් එය වාචිකව එළියට දාගන්න බැරි වන expressive aphasia තත්ත්වය. මේ ඔස්සේ තමන්ට "කියා ගන්නට ඇති දේ කියා ගන්නට බැරිවීම " නිසා, ආවේගශීලි වීම හෝ වේදනාකාරීවන චර්යාව හඳුනගන්නට පුළුවන් වේවි. මේ සන්නිවේදන බිඳ වැටීම තුල අවස්ථා කිහිපයක් වෙන්කර ගන්නට පුළුවන්.

එක් අවස්ථාවකදි සමහර වචන වල සිට, වචන වල අර්ථය මතකයට නොඒම සහ කතාබහට එකතු කරන්නට නොහැකිවීමත් (Semantic variant primary progressive aphasia-svPPA) , වචන ආවත්, සමාජය පිළිගන්නා ආකාරයට යම් රටාවකට, සාමාන්ය ව්යාකරණ අනුකූලව තවත් විදියකින් කිව්වොත් සාමාන්ය අයෙක් කතා කරන ආකාරයට වඩා වෙනස් වූ කතාබහක් ගෙනයන අවස්ථාවත්(Non-fluent variant primary progressive aphasia-fvPPA), අනෙක් අවස්ථාවෙදි, දිග කතාබහක යත්දි, තැනට ගැලපෙන වචනය කියන්නට බැරි වීම දකින්නට පුළුවන්. එයාට , අනෙක් අය කියන දේ ගැන අදහසක් තියෙනවා වගේම කියන්න ඕන දේත් දන්නවා, ඒත් කතාකරගෙන යත්දි හිර වෙනවා, නවතිනවා මොකද ගැලපෙන වචනය "හිර වෙන" නිසා. සාමාන්යයෙන් ඕනම අයෙක්ට ඉඳල හිටල මෙහෙම වුනත්, මෙම Logopenic PPA-LPA ත්ත්වයේදි එය හොඳින් හදුනාගන්නට පුළුවන් තරමට වැඩිපුර දකින්නට ලැබෙනවා.

පාකින්සන් සහ ALS සමඟ එන FTD

මීට අමතරව, කථනය වගේම සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වන, මුහුණේ හැඟීම් ප්රකාශ කිරීමේ හැකියාව නැතිවන , ඇස් වල පේෂි දුර්වල වීම නිසා පෙනීම වෙනස්වන වගේ විවිධ පේශිමය ගැටළු ගණනාවක් මතුවන පාකින්සන් සමඟ මිශ්රවූ FTD තත්ත්වයන් වගේම Amyotrophic Lateral Sclerosis සමඟ එන FTDත් (මතකද අර ටික කළකට ඉස්සර ආව, ice bucket challange එක, කට්ටිය අයිස් කැට තියෙන වතුර බාල්දි ඇගේ හලාගෙන මුදල් පරිත්යාග කළේ, ඒ මෙම ALS තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්) හඳුනාගන්නවා.

ප්රතිකාර සහ චිකිත්සීය සහය

හරි, දැන් මේතරම් කතා තියෙන FTD සඳහා ප්රතිකාරයක් තියෙනවද?

මෙහෙමයි, තත්ත්වය "සුව කිරීම" සඳහා ප්රතිකාරයක් තවම හඳුනාගෙන නැහැ. මක්නිසාද මේ තුල සිදුවන මොළයේ වැදගත්ම කාර්යයන් කරන කළාප දෙකක සිදුවන සෛල මියයාම, නැවත පන ගන්වන්නට ක්රමයක් නැති තරම්. නමුත් ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුවෙනවා. ඒ තුල,මියගිය සෛල වෙනුවෙන්, අළුත් සෛල වවන්න පුළුවන් කියන පර්යේෂණ සතුන් යොදා ගෙන අත්හදා බලමින් තිබෙනවා. කෙසේ වෙතත්, ඒ තුල තවමත් මිනිසා වෙත ප්රතිකාරයක් ලෙස සාර්ථක කරගත හැකි අවස්ථාවක් වෛද්ය ක්ෂේත්රය තුලට එක්වී නැහැ.

නමුත්, මෙම තත්ත්වය සමඟ මතුවන ලක්ෂණ, ගැටළු ගණනාවකට සාර්ථක ලෙස ප්රතිකාර කරන්නට, එම ගැටළු සීමා කරගන්නට උදව් කරන්නට ප්රතිකාර සහ චිකිත්සීය ක්රම තිබෙනවා. එය, ඖෂධීය ප්රතිකාර වල සිට, කථන චිකිත්සක සේවා ඔස්සේ වචන උච්ඡාරණය, වචන හඳුනාගැනීමට උදව් කිරීම වගේම, අනෙකුත් චිකිත්සීය ක්රම ඔස්සේ , වචන අමතකවන තත්ත්වය සීමා කිරීම, එවැනි අවස්ථාවක සිදුවන චර්යාත්මක අභියෝග සඳහා උපකාර කිරීම කරන්නට පුළුවන්.

දවසේ කටයුතු නිමා කරලා, සියළුම සේවාලාභීන් නිවෙස් වලට ගියා. අපි, දවස නිමාවේ දවසේ වාර්තාව පරිගණක ගත කරන්නට සූදානම.

ට්රීං ට්රී ....

"ආ..මයික්, අද මෙයා චන්ඩියෙක් වෙන්න ගියාළු නේ?" කටහඩින්ම ඒ බ්රයන්ගේ බිරිඳ බව හඳුනගන්න පුළුවන් වෙන්නේ, මේ අය අපත් එක්ක වසර ගණනාවක් එක්ව සිටින නිසාමයි.

"හ්ම් හ්ම්.. හැබැයි අද නම් තැනේ හැටියට ඇනේ ගැහැව්වා. වැඩි කතා ඕන නැති නිසා බ්රයන් ඒ වෙලාව ටිකක් මගහැරල හිටියා. වෙන ලොකු වෙනසක් වුනේ නම් නෑ, කෝකටත් මේ සතිය ටිකක් අවධානෙන් ඉන්න, ගැටළුවක් ආවොත් රිපෝර්ට් කරන්න. "

ඔන්න ඔහොමයි අපේ බ්රහස්පතින්දා දවස ගෙවුනේ.

2023/01/13

පීලි පනින කතාබහක් - Speech Derailment

ඩිමෙන්ෂියාවේදී ඇතිවන සමහර ලක්ෂණ, මානසික රෝග ලෙස වෙන්කර හඳුනාගන්නා රෝග තත්ත්ව වලදිත් දකින්නට පුළුවන්.

ඒ අතරේ අප දැනටමත් දන්න delusions (යථාර්ථය තුල හඳුනානොගන්නා හෝ අසත්ය වන නමුත් පුද්ගලයා පවත්වා ගන්නා, ප්රතික්ෂේප කිරීමට හෝ විමර්ශණයට අකමැති විශ්වාස - උදාහරණයක්, සමහර අයෙක් හිතං ඉන්න පුළුවන්, තමන්ට නාග ලෝකෙන් කතා කරනවා කියලා, අසාමාන්ය සද්ද එහෙමත් ඇහෙන්න පුළුවන්) , hallucinations (මේ තත්ත්වයේදී, ඇත්තටම ඒ කෙනාට , වෙනත් අයට නොපෙනන, නොදැනෙන අසාමන්ය දේ පෙන්නට, ඇහෙන්නට , දැනෙන්නට පටන් ගන්නවා. උදාහරණයක් - අදාල පුද්ගලය , තමන්ගේ ඇදේ වාඩිවෙලා ඉන්න , එයාගේ පුතා එක්ක කතා කරන්න පුළුවන්, හැබැයි වෙන කාටවත් පෙන්නේ නැහැ එහෙම තවත් කෙනෙක් ඇදේ වාඩි වෙලා ඉන්නවා කියලා) කියන තත්ත්ව වලට අමතරව , තවත් හඳුනාගත හැකි ලක්ෂණයක් මේ අවස්ථා දෙකටම , ඒ කිව්වේ මානසික රෝග සහ සමහර ඩිමෙන්ෂියා වර්ග වලට පොදුවේ දකින්නට පුළුවන්.

ඒ තමයි Speech derailment.

Speech derailment කියන්නේ, අදාල පුද්ගලයා එක්ක වාචිකව කතාබහ කරගෙන යත්දි (එහෙම කිව්වේ නිර්වාචික කතාබහත් තිබෙන නිසා) , කතා කරන මාතෘකාවෙන් පිට පැනල , කිසිම සම්බන්ධයක් නැති කතාවලින් අතරමැද පුරවන එක.

දැන් මේ පීළි පනින කතාවේ ආකාර දෙකක් පහසුවෙන් වෙන් කර හඳුන ගන්න පුළුවන්.

Circumstantiality

එකකදි, අදාල පුද්ගලයා, කතාබහ සිදුවන මාතෘකාවෙන් පිට පනිනවා, හැබැයි පිට පැනල වැඩිපුර විස්තර කරගෙන, ඈතට යන්නේ , මාතෘකාවට යම් සම්බන්ධයක් තියෙන කතා දිගේ.

උදාහරණයක්, හිතන්න ඔබ , ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයත් එක්ක කතා කරමින් ඉන්නවා ඉදි ආප්ප සහ පොල් සම්බල් එකතු වුනාම එන රස ගැන.

ඔය කෑම කතාව අතරේ අර ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයා කෑම කතාවේ රසෙන් පිට පැනල, හැබැයි ඒ කතාවේ කොටසක් වන "පොල්" ගැන කතා කරන්න ගන්නවා.

පොල්, කලටි පොල්, පොල් වලින් තෙල් හිඳින හැටි, ඒ තෙල් ඔළුවේ ගෑවම එන සුවඳ ...අර ඇම්ඩන්ගේ මැක්කගේ කතාව වගේ ඈතට යනවා.

හැබැයි හුඟක් වෙලාවට ආයෙත් ඉදිඅප්ප සහ පොල්සම්බල්වලට එනවා, නැන්තම් ඇදල ගන්න පුළුවන් වෙනවා.

මේ තත්ත්වය Circumstantiality ලෙසයි හඳුන්වන්නේ.

Tangential Speech

පීලි පනින කතාවේ අනෙක් අවස්ථාව තමයි Tangential speech අවස්ථාව.

මෙතැනදි, ඔබත් , ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයාත් අතර කතාව යත්දි , කතාවට කිසිම ගැලපීමක් නැති මාතෘකාවකට එම පුද්ගලයා පණිනවා, ඊළඟට එතැනින් තවත් කිසිම සම්බන්ධයක් නැති තැනකට.

ඔය විදියට , කතාවෙන් පැන පැන යනවා.

උදාහරණයක් , අපි මුල් , ඉදිආප්ප, පොල්සම්බල් කතාව කරාගෙන යත්දි, රාවණා පියාඹගෙන යත්දි එයාට හමුවුනු කතාවක් පටන් ගනීවී, දැන් ඒක ගැන කියාගෙන යන ගමන්, දවසක් පාරෙ යත්දි දැක්ක ලස්සන නෝන කෙනෙක් ගැන කතා කරාවි.

එකිනෙකට සම්බන්ධයක් නෑ, හැබැයි කතා කරනවා.

දුර ඉඳන් බලන් ඉන්න කෙනෙක් හිතන්නේ, ඔය දෙන්න හරි හරියට කතාව කියලා.

රෝග තත්ත්ව හා අවදානම් හඳුනාගැනීම

දැන්, මේ කී, circumstantiality and tangential speech ලක්ෂණ ඩිමෙන්ෂියාවේ ප්රධාන වශයෙන් FTD වලදිත්, Alcohol-Related Dementia and Wernicke-Korsakoff Syndrome අවස්ථාවේදීත් "හඳුනාගන්නට" පුළුවන් තරමට දකින්න පුළුවන්.

සමහර විට, මෙම ලක්ෂණයම,අදාල පුද්ගලයා යම් "වෛද්ය විමසීමකට ලක්විය යුතු" , එහෙම නැත්නම් ලෙඩක් ඇත්දැයි සොයා බැලිය යුතු අවස්ථාවක් හඳුනාගැනීමටත් උදව් වෙන්නට පුළුවන්.

එහෙම නම්, අද කතා කළ පීලි පනින කතා ගැන දැනුවත් වෙලා, එහෙම නැත්නම් දැනුම අළුත් කරගෙන, ඒ වගේම තව දුරටත් සොයා බලලා , අවධානයෙන් ඉන්න.

ඒ දැනුම සමහර විට කෙනෙක්ගේ ජීවිතය තවත අවදානමකට යාම වලක්වා ගන්නට ඔබෙන් ලැබෙන "මිල කරන්න බැරි" උදව්වක් වෙන්නත් පුළුවන්.

2023/01/06

මික්ස්ඩ් ඩිමෙන්ෂියාව Mixed Dementia

Mixed Dementia ලෙස හඳුන්වන්නේ ඩිමෙන්ෂියා වර්ග එකකට වඩා එක්වී, ලක්ෂණ මතුකරන තත්ත්වයක්. බොහෝ අවස්ථා වල ඇල්සයිමර් ඩිමෙන්ෂීයාව සහ පෙර කතා කළ වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව එකට හමුවන අවස්ථා තිබුණත්, වෙනත් වර්ග එක්ව හමුවන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා, මෙම තත්ත්වයට "පොදු ලක්ෂණයක්" පැහැදිලි කරන්නට අමාරුයි. එතැනදී එකතු වන ඩිමෙන්ෂීයා තත්ත්ව වල ලක්ෂණ මිශ්රණයක් දකින්නට පුළුවන්.

මෙම තත්ත්වය ගැන පහත කතාව තුල, මෙම තත්ත්වය සමඟ ජීවත්වන ඇගේ කතාව ඔබට අසන්නට පුළුවන්.

විල්සන් පවුලේ කතාව

දවස - බ්රහස්පතින්දා
වෙලාව - උදේ නමයට විතර

"ට්රීං ට්රීං..." ඇමතුමක්!

මේ වෙලාව අපේ කණ්ඩායම් රැස්වීම් තියෙන වෙලාව නිසා සාමාන්යයෙන් වෘත්තීය සගයන් නම් ඇමතුම් දෙන්නේ නැහැ.

කවුද මේ? බලමු!

හ්ම්, විල්සන් මහත්තයා.

"සුබ උදෑසනක්, විල්සන් මහත්තයා, කොහොමද තොරතුරු?"

"සුබ උදෑසනක් මයික්! ඒත් මට නම් ඊයේ ඉඳල කිසිම සුබ දෙයක් නෑ" විල්සන් මහත්තයගේ හඩේ තිබුණෙ, දුකක්, වෙහෙසක් එක්කම අමුතු කළබලයක්.

"ඇයි? කියන්න මොකක්ද හේතුව"

"නෝනා ඊයේ රෑ පටන් ගත්ත I love you එක නවත්වන්නෙම නෑ, ඊයේ රෑ හරියට නින්දක් නෑ. සැරින් සැරේ ඇහැරවල ඕකම කියනව, මට දැන් ඇති වෙලා තියෙන්නේ. මටත් කියල නිදහසක් ඕන නේ"

වයස අවුරුදු හැට පහක් විතර වෙන, විශ්රාමික හමුදා නිලධාරියෙක් සහ ආයතන ප්රධානියෙක් වුනු විල්සන් මහත්තය මේ කියන්නේ ඔහුගේ බිරිඳ ගැන. අප කියමු විල්සන් නෝන කියල.

විල්සන් නෝනා, කැනඩාවේ විශ්ව විද්යාල කිහිපයක ජේෂඨ කථිකාචාර්යවරියක් විදියට සේවය කළ, ග්රීක රෝම සංස්කෘතිය, ලෝක දේශපාලනය, විවිධ රටවල භාෂා සහ ඒවායේ ආරම්භය ගැන දැනුම තිබෙන, එම මාතෘකා පිළිබඳව විශ්ව විද්යාල වල දැනුවත් කිරීම් කරන, ජාත්යන්තර කීර්තියක් දිනා ගත්ත වයස අවුරුදු හැටකට ආසන්න, කාන්තාවක්.

හොඳට රැකියාව කරගෙන බොහොම සතුටින්, රට පුරා වගේම විවිධ දේශණ සහ සමාජ පෙරළි වෙනුවෙන් විවිධ රටවලත් සංචාරය කරමින් සිටි ඇයට වසර දෙකකට විතර පෙරදි සාමාන්ය දෛනික කටයුතු කරගන්නට බැරි තත්ත්වයකට පත් වෙනවා.

ඇගේ මතකය ක්රමයෙන් ගිලිහී යනවා.

මුලින් මුලින් තම දේශන කාළ සටහන පටලවා ගත්ත ඇය, ආයතනයේ ප්රධානීන් සමඟ වාචික ගැටුම් ඇති කරගන්නවා. ඒ ප්රතිපලයක් විදියට මෙම ගැටළුව ආරම්භ වී මාස කිහිපයකදි ඇගේ කැමැත්තෙන්ම විශ්රාම අරගෙන නිවසට වෙලා අන්තර්ජාලය හරහා ප්රජාව දැනුවත් කරමින් සිටිනවා.

තවත් මාස කිහිපයක් යත්දි ඇයට, අන්තර්ජාලයට පිවිසෙන්න, තබා යතුරු පුවරුව තුල අකුරු හඳුනා ගන්නට පවා නොහැකි වෙනවා. එහෙම නැත්නම් වචන වලට අකුරු අමතක වෙලා යනවා.

දැන් මුල් සිදුවීමෙන් වසර දෙක හමාරකට පස්සේ, අද ඇයගේ ශබ්දකෝෂයේ ඇත්තේ වචන දහයකට වඩා අඩු ගණනක්, ඒ අතරින් "I love you" ප්රධානම වාක්යයට බවට පත් වෙලා.

ඒක කොයිතරම් අපහසුකාරී තරමට පත් වෙලාද කිව්වොත්, ඇගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසේම රැදිල ඉන්න විල්සන් මහත්තයට ඔළුවෙ කැක්කුමක් වන තරමට I love you ඇහෙනවා.

"මට දැනෙනවා ඔබේ තත්ත්වය විල්සන් මහත්මයා, මම කොහොමද ඔබට අද උදව් වෙන්න ඕන?"

විමසීමක් කළා.

අද කොහොමත් මට විල්සන් මහත්මිය සමඟ වැඩසහටහනක් තිබෙනවා උදේ දහයට. ඒ ඇගේ මතකය "නැවත මතු කරගැනීම සහ අළුත් මතක මංමාවත් නිර්මාණය කිරීම Neuroplasticity" සඳහා කරන චිකිත්සීය හමුවීමක් ලෙස.

නමුත් දැන් පෙනෙන විදියට ඊට වඩා උදව්වක් ඕන වගේ.

"මයික් ඔයාට පුළුවන්ද පැය බාගෙකට ඉස්සර වෙලා ඉන්න, මට ඔයාට කියන්න විශේෂ කරුණූ ටිකක් තියෙනවා. අපි ටිකක් කතා කරමුද සෙෂන් එක පටන් ගන්න ඉස්සර වෙලා?"

වෙනත් දවසේ වෘත්තීය කණ්ඩායම් එක්ක සාමූහික රැස්වීම් තිබෙන වෙලාව වුනත් මේ අවස්ථාවේද "සේවාලාභියා අංක එකට" ගන්නම ඕන.

හේතුව මෙවැනි පීඩකාරී අවස්ථාවක, සුළු පමාවක් සමහර විට ජීවිත අවදානමක් ඇති කරන්න පුළුවන් නිසා.

"මම විල්සන් පවුලේ වැඩසටහන සඳහා උදේ නමයට යන නිසා, අද දවසේ සාකච්ඡාව මට ඊමේලයක් ලෙස යොමු කරන්න" අපේ කණ්ඩායමේ අනෙක් සාමාජිකාවට පණිවිඩයක් යවල, මම ගියා විල්සන් නිවස වෙත.

බීප් බීප්...

විල්සන් මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන්ම, ආරක්ෂක නිරීක්ෂණ පද්ධතියකට සම්බන්ධ කරන තිබෙන නිවසේ සීනුව නාද කළා.

"හේයි... මයික්! I love you"

විල්සන් මහත්මිය දොර විවෘත කළා.

"සුබ දවසක් වේවා විල්සන් මහත්මිය, අද ටිකක් වේලාසනම ආව ඔයාලව හමුවෙන්න, කමක් නෑ නේද?"

දොරටුව අසල වැටිල තිබුණු දවසේ පත්තරය අහුලල, විල්සන් මහත්මිය අතට දෙන ගමන් ඇහැව්වා.

"වාව් ...නියමයිනේ ...I love you මයික්"

පිළිතුරු දීගෙනම ඇය සාලයේ අසුන්ගත්තේ වෙනද අප කතා බහ කරන තැනමයි.

"හේයි මයික්, එන්න එන්න, මොනව හරි බිබීම කතා කරමුද? ආදරී, එයට ටිකක් ඉන්න පුළුවන් නේද ටීවි එක බලමින්, මම මයික් එක්ක ටිකක් කතා කරන එනකං, පොඩි බෝයිස් ටෝක් එකක් තියෙනවා"

විල්සන් මහත්මයා මටත්, විල්සන් නෝනටත් දෙන්නට එකම වෙලාවේ ඇමතුව.

ඔහුත්, මමත් කතා කළා.

පැය බාගයක් කිව්වට ඊට වඩා වෙලා කතා කළා.

යුද හමුදා පෞඩ ගාම්භීර බව තියෙන, ගැඹූරු බර හඬක් තියෙන මේ සද්දන්ත පුරුෂයා කතාව අවසන් වෙත්දි කීවතාවක් හඩා වැටුනද මට මතක නැහැ.

බිරිඳ ගැන ඇති වේදනාව, ආදරණීය බව, නමුත් දැන් දැන් බිරිඳගේ මතකයෙන් හැමදේම අඩු වෙත්දි එන "හිස් බව" තුල, නිවස තුල ඔහු දන්නා-නමුත් නොදනින ඇය ගැන ඇති දුක වේදනාව වගේම, කිසිදු විවේකයක් නැතිව සිදුවන ඇගේ "කියවිල්ලේ" පීඩනය ගැන ඔහු කියන්නට පටන් ගත්තා.

"මයික්, පුළුවන් නම් මට සතියට තව පැය දෙකක් තුනක් හදල දෙන්න නිදහසක් ගන්න. මෙහෙම ගියොත් මට මගේ ජීවිතේ එපා වෙනවා. මටත් මේ නිසාමද මන්ද දැන් දැන් නින්ද යනවා අඩුයි, ටිකක් තරහත් යනවා එයත් එක්ක, ඒ එක්කමට මට දුකයි මේ වෙන දේට"

විල්සන් මහත්තයා තව බොහෝ දේ කියාගෙන ගියා.

ඒ කතාව අවසාන කරල, විල්සන් නෝන ඒකක පැයක චිකිත්සීය වැඩසටහනක් නිමා කරල මම නැවත නිවසට ආව.

ඒ එන මගේ, මගේ හිතට දැනුනු දේ, අපි කොයිතරම් ආසද "ඔබට ආදරෙයි" කියල අහගන්න.

බරක් පතලක් නොමැති පාසල් ප්රේමයේ සිට, වගකීමක් බරක් ඇති තරුණ ප්රේමය, විවාහය කියන තැන් වල විතරක්ම නොවෙයි, පුංචි දුව හෝ පුතා, බෙල්ල බදාගෙන හාදුවක් දීලා I love you කියත්දි හිතට දැනෙන්නේ කොයිතරම් සතුටක්ද?

ඒත් ඒ වචන තුනම පීඩනයක් වෙන දවසක, ඒ ආදරය තුල ජීවත් වන අයෙක් මොන තරම් වේදනාවක් විදිනවා ඇත්ද?

සත්කාරක සහයෝගය

නිවසට පැමිණ මගේ මුල්ම රාජකාරිය වුනේ අපේ ස්වෙච්ඡා සම්බන්ධීකරණ නිලධාරිනිය ඇමතීම.

"ඔයාට පුළුවන්ද ඩිමෙන්ෂියා ගැන අත්දැකීමක් තියෙන ස්වෙච්ඡා සේවකයෙක් මට දෙන්න? හැබැයි සතියකට පැය දෙකක්වත් සේවය ලබා දෙන්නට ඕන. මම මගේ පැත්තෙන් අවශ්ය කටයුතු කරන්නම්, අවශ්ය සේවා දායකයාගේ විස්තර මේ දැන්ම එවන්නම්"

සම්බන්ධීකරණ නිලධාරිනියගේ "උත්තරයක්" ගලවා ගන්න විදියටම කතාව පටන් ගත්තා.

දැන් ඉතින් ලැබෙන උත්තරය මම දන්නවා.

"හරි, මට පේන විදියට වැඩේ හුඟක් සංකීර්ණයි වගේ නේ? මෙහෙමයි, මට පුළුවන් බදාද උදේ පැය තුනකට වොලුන්ටියර් කෙනෙක් යොදවන්න. එයාට පුළුවන් ඉදිරි මාස හයටම එම සේවාව දෙන්න. එයා විදේශීය සෞඛ්ය වෘත්තිකයෙක්, අත්දැකීම් තියෙනවා, හැබැයි එයා පලස්තීන් ජාතික කාන්තාවක්, ළඟදි තමයි සංක්රමණය වෙලා තියෙන්නේ, කමක් නැත්ද"

"මම හිතන්නේ ඔයා මට ඕන කරන විදියෙම කෙනෙක් ලබා දුන්නේ."

වෙනත් භාෂාවක් දන්න කෙනෙක් ඇයට එකතු වෙනවා කියල කියන්නේ මගේ ප්රතිකාර අරමුණූ වලටත් එය උදව්වක් වේවි.

වෛද්යමය කරුණු හා වැළැක්වීම

දැන් කතාව ඉවරයි, මේ දැනගත යුතු දේ.

කතාවේ නායිකාව, විල්සන් නෝනා දැනට ජීවත් වන්නේ Mixed Dementia කියන සංකීර්ණ තත්ත්වයත් එක්ක.

ඇගේ රෝග තත්ත්වය සඳහා මොළයේ කුඩා රුධිරවාහිනී පුපුරා යාම (VaD) සහ, මොළයේ සෛල අතර සම්බන්ධතාව බිදෙන තවත් හේතු කිහිපයක් නිසා (FTD) ඇති වන හානිය නිසා මතුවූ සහ ක්රමයෙන් වැඩිවෙමින් යන ඩිමෙන්ෂියා තත්තවයක්.

ඒ තත්ත්වය තුලදී කථන, භාෂා, තීරණ ගැනීම, හොඳ නරක වෙන් කර හඳුනාගැනීම වැනි "සංකීර්ණ" මානසික ක්රියා වල හැකියාවන් ක්රමයෙන් බිඳ වැටෙනවා.

මෙම තත්තව ඇති වීමට හේතු ගණනාවක් තිබෙන අතරේ වියපත් වීම තුල "විය හැකියාව" වගේම, අධිරුධීර පීඩනය, දියවැඩියාව, අධි කොලෙස්ටරෝල් සහිත බව, Sleep apnoea (නින්දේදී හුස්ම හිර වන තරමට සිදුවන ගෙරවීම) තත්ත්වය පාළනය නොවී තිබීම, වගේ පාළනය කර ගත හැකි තත්ත්වයනුත් හේතු වෙන්නට පුළුවන්.

වැදගත්ම දේ මෙම "පාලනය කර ගත හැකි අවදානම්" මුල් අවස්ථාවේම පාලනය කර පවත්වා ගැනීම.

මොකද, කී නොකී හේතු නිසා ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම ආරම්භ වුනාට පස්සේ "සුව කිරීමක්" කරන්නට අවස්ථාවක් තවමත් සාර්ථකව දකින්නට ලැබෙන්නේ නැහැ.

විවිධ පර්යේෂණාත්මක ඖෂධ භාවිත කරමින් ඩිමෙන්ෂියා තත්ත්වය නරක අතට පත්වන කාළ සීමාව පමා කරගන්නට උත්සාහ කරනවා පමණයි.

(සාර්ථක යැයි හඳුනාගත් ඖෂධයක ආරංචි තිබුණත් තවමත් එය වෙළඳ පලට එන මට්ටමට පත්වී නැහැ. සමහර විට ඉදිරි දශකය තුල යම් සාර්ථකත්වයක් දකින්නට පුළුවන් වේවි, නමුත් එය ඩිමෙන්ෂියා තත්ත්වය සම්පුර්ණයෙන් සුව කිරීමට යොමු වේද කියන එක තවම ගැටළුවක්)

චිකිත්සීය ප්රතිකාර (Therapeutic Recreation & Neuroplasticity)

දැන් අපේ චිකිත්සීය ප්රතිකාර තුල මොකක්ද වෙන්නේ?

ඒ තුල ප්රධානව සිදුවන්නේ අදාල තත්ත්වය සමඟ ජීවත් වන පුද්ගලයාට "ජීවිතයේ සාමාන්ය සතුට" ලබන්නට සහ එය "විඳින්නට" අවස්ථාවන් මතු කර දීම, එහෙම නැත්නමු පුහුණූ කිරීම, ඒ අතරේ, මොළය තුල වෙන් වෙලා එකිනෙකට සම්බන්ධ වෙන්න නොහැකිව පවතින කුසලතා, දැනුම, අත්දැකීම්, මතක සහිත සෛල අතර, අළුත් සම්බන්ධතා ඇති කරමින්, යම් තරමකට පෙර කී "ජීවිත වටිනාකම්" වල රස නැවත ලබන්නට උදව් කිරීමයි.

මෙය කියවන ලාංකික ඔබට කරන මතක් කිරිම, ලංකාව තුල ඩිමෙන්ෂියා තත්ත්වය වැඩි වීමේ සීග්රතාවයක් හඳුනාගෙන තිබෙනව.

ඒ කියන්නේ අනාගතයේ ඩිමෙන්ෂියා තත්ත්වය වැඩිවීමක් (හෝ හඳුනාගැනීම වැඩිවීමක්) වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඒ නිසා ඔබේ වැඩිහිටියන්, වගේම ඔබ ගැනත් අවධානය පවත්වා ගැනීම වැදගත් වේවි.

අපි ඉදිරියේදී වරින්වර සාකච්ඡා කරමු, මේ විදියට විමසිලිමත් විය යුතු, අවදානම් මොනවාදැයි.