2023/08/31

මට, මාව පරිස්සම් කරල දෙන්න

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)

පළමු හමුවීම: දවස සිකුරාදා

සිදුවීම: සේවාලාභියෙකු සමඟ පළමු හමුවීම (Intake & Assessment)

"මට ඒ සිදුවීම හොඳට මතකයි... අපි හිම කන්ද පහළට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුණා. අන්තිමට මට මතක මාව අන්ධ වුණා වගේ හැඟීමක්... ඊට පස්සේ වුණු දේ ගැන හරි මතකයක් නෑ."

මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ තරුණ කොළු ගැටයා කියාගෙන යයි.

"හ්ම්... ඒ තමයි එයා ස්කී-ඩූ (Ski-doo / Snowmobile) ගිය අවසාන දවස. මාස හතරක් රෝහලේ හිටියා. ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේරගන්න..." ඔහු සමඟ පැමිණි අම්මා කතාව මැදට එකතු වූවාය.

"මගේ පෙම්වතියත් එයින් තුවාල වුණාලු. ඒත් දැන් එයා සුවෙන්... ඒක මට සතුටක්. ඒත් මට එයාව තව කොයිතරම් කාලයක් මතක තියේද, හඳුනාගන්න පුළුවන් වේවිද කියන බය තමයි මට තියෙන්නේ..." ඔහුගේ ඇසේ කඳුළක සේයාවක් මතු විය.

"දැනටමත් මාව වෙන කවුරු හරි කියලා හඳුනාගන්න අවස්ථා බොහෝමයි. මෙයාගේ වෛද්‍ය කණ්ඩායම නම් කියන්නේ, අමතක වීම ශීඝ්‍ර වන වේගය අනුව, හුඟ කාලයක් මතකය රඳවා ගන්න අපහසු වේවි කියලා..." අත තිබුණු ටිෂූ එකෙන් ඇස් අග පිසදාන ගමන් අම්මා පැවසුවාය.



"ජීවිතේ කියන්නේ ඒ මතක..."

හමුවීම සාර්ථකව නිමාවට පත් විය. සේවා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ බැවින් ඔහු අපගේ වැඩසටහන තුළට ඇතුළත් කරගන්නා ලදී.

"ඔයා අපත් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?" සේවාලාභියාගේ අවශ්‍යතාවය, කැමැත්ත සහ අවබෝධය පිළිබඳ කරන විමසීම වෙනුවෙන් අවසන් ප්‍රශ්නය මා ඇසුවෙමි.

"මගේ සෞඛ්‍ය කණ්ඩායම තමයි මේ වැඩසටහනට මාව යොමු කළේ. මම දන්නේ නෑ එයාලගේ අරමුණු මොනවාද කියලා... මට නම්, මගේ මතකයේ තියෙන මේ සුන්දර මතකයන් ටික තව ටික කාලයක්වත් රඳවා ගන්න පුළුවන් නම්... වැඩියෙන්ම මට මගේ පවුලේ අය, මගේ ආදරවන්තිය, ඇගේ සිනහව, ඒ උණුසුම මතකයේ තව කාලයක් තියාගන්න පුළුවන් නම් ඒ ඇති..."

ඔහු මොහොතක් නතර විය.

"මං දන්නවා මගේ ජීවිත ගමන හුඟක් දුර නෑ කියලා... ඒත් මට ජීවිතේ කියන්නේ ඒ මතක... ඒ ටික පරිස්සම් කරගන්න මට උදව් දෙන්න..."

එතෙක් හිත තද කරගෙන සිටි මේ තරුණ දරුවාගේ කම්මුල් දිගේ කඳුළු වැලක් ගලා හැලුණි.

"ඔව් පුතා... එන්න අපිත් එක්ක මේ ක්‍රියාකාරකම් වල යෙදෙමු. අපි උපරිමයෙන් උත්සාහ කරමු ඒ සුන්දර මතකයන් තවත් කාලයක් රඳවා ගන්නට..." මගේ අත තදින් අල්ලා සිටි ඔහුගේ හැඟීමට ඉඩ දෙමින් මම කෙටි පිළිතුරක් දුන්නෙමි.



"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

මේ සියල්ල ඉදිරියේ සිත් ශක්තිමත් කරගෙන සිටි අම්මාත්, දරුවාත් හමුවීම නිමවා ආයතනයෙන් නික්ම යද්දී මාද ඔවුන් සමඟ එළියට පැමිණියෙමි. අම්මාගේ අත අල්ලාගෙන, තරමක අසමබර පා තැබීමකින් යන මේ උස මහත තරුණ දරුවාගේ චර්යාව දෙස මම බලා සිටියෙමි.

"මට ලබන සතියෙම එන්න පුළුවන්නේද?" මා පසුපසින් එන බව දුටු ඔහු නැවතී විමසුවේය.

"ඔව් පුතා..." මට කියැවිණි. "ඔයාට තවත් හරියටම දවස් පහකින් අපිත් එක්ක එකතු වෙන්න එන්න පුළුවන්." හිතේ බරටම වෘත්තීය සීමාවන් තරමක් බිඳී ගිය බව මට වැටහුණේ මොහොතකට පසුවය.

අම්මාගේ අතින් මිදුණු ඔහු ක්ෂණිකව මා වෙතට පැමිණියේය.

"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

තදින් මා වැළඳගත් මේ තරුණ දරුවා මගෙන් කළ ඒ බරසාර ඉල්ලීම මුළු හදවතම හිරිවට්ටවාලීය.

හිමේ සීතල වගේම හිරුගේ උණුසුමත් මොහොතකට විඳි මා, නැවතත් වැඩසටහන් පරිශ්‍රය තුළට පැමිණියේ මගේ දරුවන්ගේ වයසේ සිටි මේ තරුණ දරුවා කී වැකි දෙක හදවත තුළ දෝංකාර දෙද්දීය:

"ජීවිතේ කියන්නේ ඒ මතක..."
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

2023/08/26

ඩිමෙන්ෂියා පමා කරන ව්‍යායාම: WWT සහ SCET ප්‍රායෝගික මාර්ගෝපදේශය

මතක ධාරිතාව වර්ධනය කර ගැනීමට සහ ඩිමෙන්ෂියාව පමා කර ගැනීමට කළ හැකි විශේෂිත ව්‍යායාම මොනවාදැයි ප්‍රජාව අතරින් නිතර නැගෙන ගැටළුවකට ප්‍රායෝගික හා චිකිත්සීය පිළිතුරක් විමසා බලමු.



මොළයේ සෞඛ්‍යයට වගකියන ප්‍රධාන ව්‍යායාම ක්‍රම 2ක්

පොදුවේ මොළයේ ක්‍රියාකාරිත්වය හා මතක ශක්තිය (Cognitive Health) සුරැකීම සඳහා ප්‍රධාන ව්‍යායාම ධාරාවන් දෙකක් දායක වේ:

  1. කායික ව්‍යායාම (Physical Exercises): රුධිර ගමනාගමනය, ඔක්සිජන් සහ පෝෂක සැපයුම ඉහළ නැංවීම.
  2. සංජානනීය ව්‍යායාම (Cognitive Exercises): මොළයේ ස්නායුක සම්බන්ධතා (Synapses) සහ බුද්ධිමය හැකියාවන් තියුණු කිරීම.

මේ දෙකෙහිම එකතුවෙන් සැකසෙන ඉහළම ප්‍රතිඵලදායක ආකෘතිය වන්නේ Simultaneous Cognitive and Exercise Training (SCET) හෙවත් Dual-Task Activities (DTA) යි.



WWT (Walking While Talking) ව්‍යායාම ආකෘතිය

මතකය දුර්වල වීම සහ ඩිමෙන්ෂියා අවදානම පමා කිරීම සඳහා සායනිකව බහුලව භාවිත වන සරලම හා ප්‍රබලතම DTA ආකෘතියක් වන්නේ WWT (Walking While Talking) යි.

සාර්ථක WWT එකක අත්‍යවශ්‍ය මූලධර්ම 4:

  1. Cognitive Challenge: බුද්ධිය හෝ මතකය වෙහෙසවන අභියෝගයක් පැවතීම.
  2. Physical Component: ඇවිදීම හෝ කායික ක්‍රියාකාරකමක් අඩංගු වීම.
  3. Intentionally: පුද්ගලයාගේ පූර්ණ දැනුවත්භාවය මත සිදුවීම.
  4. Simultaneously: කායික හා බුද්ධිමය ක්‍රියා දෙකම එකම කාලයක එකවර සිදුවීම.

පියවරෙන් පියවර WWT ක්‍රියාත්මක කරන ආකාරය

(මෙම අභ්‍යාසය ඔබ සහ ඔබේ ආදරණීය වැඩිහිටියා/ඥාතියා අතර සහයෝගයෙන් සිදුකිරීම වඩාත් ඵලදායී වේ)

1. පූර්ව තක්සේරුව (Pre-Assessment):

  • කායික හැකියාව: ඇවිදීමේ දුර, සමතුලිතතාවය, පාද තබන ආකාරය (පාද අදිනවාද - Shuffling gait) පිළිබඳ තක්සේරු කරගන්න.
  • සංජානනීය මට්ටම: සන්නිවේදන හැකියාව, අවධානය රඳවාගත හැකි කාලය සහ වෙහෙසට පත්වන මට්ටම හඳුනාගන්න.
  • ආරක්ෂාව (Safety): අවශ්‍ය නම් හැරමිටියක්, Walker එකක් හෝ Gait belt එකක් නිසි උපදෙස් මත සූදානම් කරගන්න.

2. සැලසුම් කිරීම හා පරිසරය තෝරාගැනීම:

  • අධික අව්ව හෝ රස්නය නැති, රථවාහන තදබදයෙන් තොර, සමතලා මාවතක් තෝරාගන්න. (වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකරන්න).
  • අද දවසේ ඇවිදීමේ ඉලක්කය (දුර, කාලය) සහ කතාබහේ මාතෘකාව කලින් සැලසුම් කරගන්න.

3. ක්‍රියාත්මක කිරීම (Execution):

  • Warm-up: පළමුව සෙමින් ඇවිදිමින් ශරීරය උණුසුම් කරගන්න.
  • Dual-Task කතාබහ එක්කිරීම: ඉන්පසු ඇවිදින අතරතුරේ ප්‍රශ්නෝත්තර තරඟයක්, ගණිත ගැටළු (උදා: 100 සිට 7 බැගින් ආපස්සට ගණනය කිරීම), අතීත මිහිරි මතකයන් විස්තර කිරීම හෝ වචන ක්‍රීඩාවක් එක්කරන්න.
  • වගකීම බෙදාගැනීම: සිතීමේ සහ කතාකිරීමේ වැඩි වගකීම ඥාතියාට පවරමින්, ඔවුන් පීඩාවට පත් නොවන ලෙස සහය වන්න.
  • Cool-down: ව්‍යායාමය අවසානයේ සෙමින් ඇවිද හෝ වාඩිවී ගැඹුරු ශ්වසන අභ්‍යාස (Deep breathing) මගින් ගත සිත නිදහස් කරගන්න.

මොළයේ සෞඛ්‍යයට හිතකර තවත් ව්‍යායාම

  • Cardio & Aerobic Exercises: දිනකට විනාඩි 30 බැගින් වේගයෙන් ඇවිදීම (Brisk walking), පිහිනීම, පාපැදි පැදීම (සතියකට විනාඩි 150ක ඉලක්කයක්).
  • High-Intensity Interval Training (HIIT): ශාරීරික යෝග්‍යතාවය ඇති අයට වෘත්තීය උපදෙස් මත තත්පර 30ක වේගවත් දිවීම සහ විනාඩියක සාමාන්‍ය වේගය මාරුවෙන් මාරුවට කිරීම.
  • නර්තනය (Dance - Zumba / Salsa): රිද්මය සහ පියවර මතක තබාගැනීම එකවර සිදුවන බැවින් විශිෂ්ට Dual-Task ව්‍යායාමයකි.
  • Yoga සහ Tai Chi: සමබරතාවය, නම්‍යශීලී බව සහ මානසික ඒකාග්‍රතාවය එකවර වර්ධනය කරයි.
  • Strength & Resistance Training: නිසි පුහුණුවක් යටතේ කරන බර එසවීම් මාංශ පේශි මෙන්ම මොළයේ සංජානන සෞඛ්‍යය නංවයි.

මොළය උත්තේජනය කරන බුද්ධිමය හා චර්යාත්මක පුරුදු

  • චිත්‍ර ඇඳීම සහ පාට කිරීම (Art & coloring).
  • ප්‍රහේලිකා, වචන ගැලපීම් (Crosswords / Sudoku) සහ සාමාන්‍ය දැනුම විමසීම්.
  • අලුත් භාෂාවක් හෝ නව කුසලතාවක් ඉගෙනීම.
  • ලිවීම සහ නිර්මාණාත්මක කතන්දර ගොතා කීම (Creative storytelling).
  • දිනපතා සුවබර නින්දක් (7-8 hours) ලබාගැනීම.
  • හුදකලා නොවී මිතුරන් හා සමාජය සමඟ නිරන්තර සක්‍රීය සබඳතා පැවැත්වීම.

2023/08/19

හැඩකාර ජීවිතය ගැස්සු Stroke

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)

"මම දන්නවා ඕකේ තියෙන්නේ මොනවාද කියලා..."

"ෆිල් මහත්මයා, මේ තමයි අපේ Release of Liability ලියවිල්ල. මේ තුළ තියෙන්නේ..." හැමදාම වගේ ලියකියවිලි අත්සන් ගැනීමට පෙර කරන දිගු පැහැදිලි කිරීම කරන්නට අදත් මා සූදානම් වුණෙමි.

"ඕන නෑ මයික්, මං දන්නවා ඕකේ තියෙන්නේ මොනවද කියලා! අවුරුදු තිස් හතක් මම කළේ ඔය වගේ නීතිමය ලියකියවිලි හදන එක. මේ පළාතේ ව්‍යාපාර වලින්, සංවිධාන වලින් සියයට හැටකට වඩා නීතිමය ලියකියවිලි හැදුනේ මගේ අතින්, එහෙම නැත්නම් මගේ ආයතනයෙන්. ඒ කියන්නේ මම ඒවා නැවත විමසීම් කළ ඒවා. මං දන්නවා ඕකේ කියන්නේ..." ඔහු මගේ අතේ තිබෙන ලියවිල්ලේ ඇති කරුණු එකක් නෑර බලාගෙන කියවනවා වගේ කියාගෙන ගියේය.

"දෙන්න, මං අත්සන් කරන්නම්. මම දන්නවා අපේ හෙල්ත් සර්විස් එක ගැන..."

ඔහුට පාලනය කරගත නොහැකි ලෙස ගැස්සීමකට (Tremors) ලක්වන අතින් හිමින් සීරුවේ ඔහුගේ අත්සන තැබුවේය.

"ඔබේ අත්සනේ හරිම අපූරු හැඩයක්නේ තිබෙන්නේ!" අත්සනේ තිබුණු සුවිශේෂී කලාත්මක ආකෘතිය නිසා මට නොදැනුවත්වම කියැවිණි.

"ඔව් පුතා, මං හරි ආසයි හැමදේකම ලස්සන, කලාත්මක හැඩයක් දකින්න. මගේ අත්සන පවා හදාගත්තේ ඒ විදියට. දැන් මේ ගැස්මත් එක්ක ඒක හරියටම කරගන්න බෑ. ඉන්න මං පෙන්වන්න මගේ අත්අකුරු සහ අත්සන තිබෙන සටහන් පොතක්..."

අත්සන් තැබූ නීතිමය ලියවිල්ල මගේ අත මත තැබූ ෆිල් මහත්තයා, අමාරුවෙන් නැගිට්ටේ එයා ආස කරන දෙයක් මට පෙන්වන්නටය.

සේවාලාභීන්ගේ නිවෙස් වලට ගිය විට සැලසුම් කළ ආකෘතියට වඩා ඔවුන්ගේ කැමැත්තට ගරු කිරීම වැදගත් නිසා, මම අත්සන් කළ ලියකියවිලි ගොනුව පෙළගස්වන අතරේ ඔහුට අවස්ථාව දුන්නෙමි.



උල්පත් පෑනෙන් ලියූ හැඩකාර අකුරු

අමාරුවෙන් නැගිට ගත් ඔහු, පා අද්දවමින් (Shuffling gait) අමාරුවෙන් ඇවිද ගියේ ස්වභාවික දැවයෙන් කළ ඔහුගේ පොත් සහ ලිපිගොනු රාක්කය වෙතටයි. ලිපිගොනු කිහිපයක් අතට ගත් ෆිල් මහත්තයා නැවතත් මා වෙත පැමිණියේ පෙර සේම පා අද්දවමින්, තරමක අවදානම් සහිත ගමන් රටාවකිනි.

"මේ... මම අන්තිමට පළ කළ, අන්තිම කැමති පත්‍ර පිළිබඳ සාමාන්‍ය ප්‍රජාව දැනුවත් කරන පොතේ මැනුස්ක්‍රිප්ට් එක. අතින්මයි ලිව්වේ, මොකද ඒක මගේ කලාත්මක හැකියාවක් කියලයි මා විශ්වාස කළේ."

ෆිල් මහත්තයා "අත්අකුරු යැයි විශ්වාස කළ නොහැකි තරමේ හැඩකාර අකුරුවලින්" පිරි පොතක් මා අත තැබුවේය.

"මේ ඔබේ අකුරු? මං හිතුවේ පරිගණක මුද්‍රණයක් කියලා!" මට පුදුමයෙන් කියැවිණි.

"නෑ, මගේම අකුරු. තාම මං ලියන්නේ උල්පත් පෑනෙන්. ඒ උල්පත් පෑනෙන් අකුරු හැඩ කරලා ලියද්දි මගේ හිත හෑල්ලු වුණා. ඒත්..."

"ඒත්...?"

"හ්ම්... පහුගිය සරත් සෘතුවේ මට ඇතිවුණු Stroke එකෙන් පස්සේ මගේ ඒ හැම හැකියාවක්ම නැතිව ගියා මයික්..."

ඔහුගේ සෞඛ්‍ය වාර්තා අනුව, මොළයේ ඇතිවුණු රුධිර ගමනාගමනයේ ප්‍රබල අවහිර වීමක් (Stroke / Cerebrovascular Accident) නිසා සෞඛ්‍ය ගැටළු කිහිපයක් හටගෙන තිබුණි. ඒ අතර Vascular Parkinsonism සහ MCI (Mild Cognitive Impairment) ප්‍රධාන වූ අතර, මේ වන විට එය වාහිනීක ඩිමෙන්ෂියාව (Vascular Dementia - VaD) දක්වා වර්ධනය වෙමින් පවතින බවට සැක කෙරිණි.

"එතෙක් මම හරිම සෞඛ්‍ය සම්පන්නව හිටියේ. හැමදාම උදේ ව්‍යායාම කළා. හැබැයි දවසෙම වගේ වාඩි වෙලා තමයි ඉන්න වුණේ. අනෙක කෑම බීම අතින් විශේෂ පරිස්සමක් වෙන්න වුණේ නෑ... වුණේ නෑ නොවෙයි, මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ඒ පරිස්සම හරිම අමාරුයි, දන්නවනේ..." වරින්වර මතුවන වියළි කැස්සක් අතරේ ඔහු උනන්දුවෙන් කියාගෙන ගියේය.



"එක ස්ට්‍රෝක් එකක් අපේ ජීවිතේම වෙනස් කළ හැටි..."

සැලසුම් කළ කාලයට වඩා පැයක පමණ අමතර කාලයක් ගත කර ෆිල් මහතාට අවශ්‍ය පැහැදිලි කිරීම් නිම කර මා නිවසින් එළියට ඒමට දොර අසලට යද්දී, එහි රැඳී සිටියේ ෆිල් මහතාගේ ආදරණීය බිරිඳයි.

"අනේ අපට පුළුවන් නම් මේ උදව්ව කරලා දෙන්න... අඩුම තරමේ සතියට එක දවසක්වත් මහත්තයා ගෙයින් එළියට ගිහින්, යාළුවෝ ටිකක් මුණගැහිලා සතුටු වෙන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද? දැන් මේ අපහසුතා නිසා එයා හරිම අකමැතියි ගෙයින් එළියට යන්න, යාළුවෝ මුණගැහෙන්න. ඒත් මට ඇහුණා එයා ඔයාලගේ Day Program එකට නම් එන්න කැමැත්තක් තියෙනවා වගේ..."

"ඔව් ෆිල් නෝනා, ඔහු අපේ වැඩසටහනට එකතු වෙන්න කැමැත්ත පළ කළා. එයම ලොකු ජයග්‍රහණයක්!"

"අනේ ලොකු දෙයක්... ඊට පස්සේ පුළුවන් නම් අපට උදව් කරන්න මෙයාව බලාගන්න ගැලපෙන Facility එකක් හොයාගන්නත්. මොකද මට බෑ මෙයාට තනියම සාත්තු කරන්න. මාත් වයසයිනේ... අනෙක හදිසියක් වුණොත් මට දුවලා පැනලා මේවා කරන්න බෑ..."

"ස්තුතියි ඔබේ අදහස් බෙදාගත්තාට, අපි බලමු උපරිමයෙන් උදව් කරන්න..."

"බලන්න මයික්... මොන වයසක්ද එයාට? අපි කොයිතරම් දේවල් මේ අවුරුද්දේ කරන්න හිතාගෙන හිටියාද? මේ එක ස්ට්‍රෝක් එකක් අපේ ජීවිත සියල්ල වෙනස් කළ හැටි..."

ඇය මට සමුදෙමින් කී ඒ වචන කිහිපය මගේ හදවතේ ගැඹුරටම කාවැදුණි.



සායනික තොරතුරු හා නිරීක්ෂණ

රෝග විනිශ්චයන් (Medical Diagnoses):

  • Stroke / CVA (Cerebrovascular Accident): මස්තිෂ්ක වාහිනී අනතුර / ආඝාතය
  • Vascular Parkinsonism: මොළයේ රුධිර නාල හානි නිසා හටගත් පාකින්සන් ලක්ෂණ (Tremors, Shuffling gait)
  • MCI (Mild Cognitive Impairment): මෘදු සංජානන දුර්වලතාව
  • Hyperlipidemia: රුධිරයේ අධික මේද මට්ටම

මාස කිහිපයක් තුළ මතුවූ ප්‍රධාන වෙනස්කම්:

  1. චාලක කුසලතා (Motor Skills): ඇවිදීම (Shuffling gait), ලිවීම, සියුම් චාලක කුසලතා (Fine motor skills) සහ සමතුලිතතාවය බිඳවැටීම.
  2. කථනය හා භාෂාව (Speech & Language): සුදුසු වචන මතකයට නොපැමිණීම (Word-finding difficulty) සහ කතාබහ අඩපණ වීම.
  3. විධායක ක්‍රියාකාරිත්වය (Executive Functioning): ගණනය කිරීම්, ගැටළු විසඳීම් සහ තීරණ ගැනීමේදී දැඩි ආතතියට පත්වීම.
  4. මතකය හා චර්යාව (Memory & Behavior): මතක දුර්වලතා වැඩිවීම සහ සමාජයෙන් හුදකලා වීමට ඇතිවන නැඹුරුව.

සමාප්තිය

ෆිල් මහතා අපගේ දිවා සායනික වැඩසටහන් (Adult Day & Group Therapy) වෙත සම්බන්ධ වීම ආරම්භ කළ අතර, කණ්ඩායම් චිකිත්සාවන් තුළ ඔහු නැවතත් සිනහව සහ ජීවිතයේ සතුට සොයාගන්නා අයුරු දැකගත හැකි විය.

(සැ.යු: සේවාලාභියාගේ සහ පවුලේ පෞද්ගලිකත්වය රැකගැනීමේ වෘත්තීය ආචාරධර්ම අනුව නම් ගම් සහ අනන්‍යතා තොරතුරු වෙනස් කර ඇත. මෙම ලිපිය රෝග තත්ත්වයන් පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය සඳහා පමණක් වන අතර ස්වයං රෝග විනිශ්චය සඳහා නොවේ.)

2023/08/12

ඇත්ත වගේ බොරු මතකය: False Memory සහ Confabulation

මතකය අපට පුදුමාකාර දේ කරයි. ඇතැම් විට සිදු නොවූ දෙයක්, "සිදුවූවාක් මෙන්" අපගේ මනසට දැනෙන්නට පුළුවන. ඩිමෙන්ෂියාව හා ඇල්සයිමර් සමඟ ජීවත්වන්නන් තුළ බහුලව දකින, එහෙත් පවුලේ අයට දැඩි ව්‍යාකූලත්වයක් ඇතිකරන False Memory සහ Confabulation පිළිබඳව විමසා බලමු.



පුද්ගලික අත්දැකීමක් සහ මිතුරියගේ පණිවිඩය

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආදරණීය මිනිසුන්ට උපකාර කිරීමට බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මගේ හිතවත් සෞඛ්‍ය වෘත්තික මිතුරියක් මෑතකදී මට එවූ පණිවිඩයක්:

"Hi Mahesh... I wanted to share some difficult news - I've been diagnosed with Alzheimer's disease... but what I have had is thinking that I’ve done something but actually I haven’t."

තමන් නොකළ දෙයක් කළ බව තදින්ම දැනීම සහ විශ්වාස කිරීම, ඩිමෙන්ෂියාවේදී මතකය තුළ සිදුවන ඉතා සංවේදී වෙනස්කමකි.

  • උදාහරණ:
  • මියගිය තම පියා සමඟ ඊයේ කතාබහ කළ බව දැඩිව විශ්වාස කිරීම.
  • රෝහලේ දින ගණනාවක් ගතකළ අයෙකු ඊයේ විනෝද චාරිකාවක් ගිය බව ස්ථිරවම පැවසීම.

False Memory සහ Confabulation අතර වෙනස කුමක්ද?

| ලක්ෂණය | False Memory (ව්‍යාජ මතකය) | Confabulation (මොළයේ හානියෙන් නිර්මාණය වන මතකය) |
| :--- | :--- | :--- |
| සිදුවන පුද්ගලයන් | සම්පූර්ණයෙන්ම නිරෝගී ඕනෑම කෙනෙකුට ඇතිවිය හැක. | බොහෝවිට මොළයේ ස්නායුක හෝ රසායනික හානියක් නිසා ඇතිවේ. |
| පිළිගැනීම / සැකය | මතකය නිවැරදිදැයි නැවත සිතීමට හෝ සැක කිරීමට ඉඩ ඇත. | කිසිදු සැකයකින් තොරව එය 100% ක්ම සත්‍ය බව තරයේ විශ්වාස කරයි. |
| මතකයේ ස්වභාවය | දොර ලොක් කළාද, බඩු දැම්මාද වැනි සුළු දෛනික මතකයන්. | සිදුනොවූ සංකීර්ණ සිදුවීම් පවා සත්‍යයක් ලෙස විස්තරාත්මකව ඉදිරිපත් කරයි. |



Confabulation ඇතිවන්නේ ඇයි?

මොළයේ මතක සටහන් ගබඩා වන සහ සිහිපත් වන පටක වලට සිදුවන හානිය නිසා මතකයේ හිඩැස් (Gaps in memory) ඇතිවේ. මොළය එම හිඩැස් ස්වයංක්‍රීයව පිරවීමට (Fill in the gaps) උත්සාහ කිරීමේදී මෙම "නිර්මාණය වූ මතකයන්" උපදී:

  • Spontaneous Confabulation: කිසිදු විමසීමකින් තොරව ඉබේම මතුවන බොරු මතකයන්.
  • Provoked Confabulation: සායනික පරීක්ෂාවලදී හෝ ජීවිත කතාව ගැන විමසීමේදී අමතක වූ කොටස් පිරවීමට මොළය මගින් ක්ෂණිකව එකතු කරන නිර්මාණාත්මක මතකයන්.

ප්‍රධාන සායනික හේතු:

  1. ඩිමෙන්ෂියාව සහ ඇල්සයිමර් (Dementia & Alzheimer's)
  2. කෝර්සකොෆ් සින්ඩ්‍රෝමය (Korsakoff Syndrome)
  3. මොළයේ අනතුරු (Traumatic Brain Injury - TBI)
  4. ආඝාතය සහ රුධිර නාලිකා පුපුරා යාම් (Stroke / Aneurysm)
  5. මොළයේ උග්‍ර ආසාදන (Encephalitis / Meningitis)

Confabulation තත්ත්වයට සාත්තු සත්කාරයේදී මුහුණදෙන්නේ කෙසේද?

පවුලේ අයෙකු හෝ වැඩිහිටියෙකු මෙලෙස පවසන විට, "ඔයා බොරු කියන්නේ, එහෙම දෙයක් වුණේ නෑ" කියා තර්ක කිරීමෙන් වළකින්න. එයින් සිදුවන්නේ රෝගියා දැඩි අපහසුතාවයට හා කෝපයට පත්වීම පමණි.

අනුගමනය කළ හැකි ප්‍රායෝගික පියවර 4ක්:

  1. දෛනික චර්යාව සැලසුම් සහගතව පවත්වා ගැනීම:
නෑම, කෑම, ඖෂධ ගැනීම සහ ගමන් බිමන් ස්ථාවර කාලසටහනකට අනුව පවත්වා ගැනීම.
  1. දෘශ්‍ය ආධාරක (Visual Aids) භාවිතය:
දිනය පැහැදිලිව පෙනෙන විශාල කැලැන්ඩර, ඔරලෝසු, සහ විස්තර සහිත පවුලේ ඡායාරූප ඇල්බම භාවිත කිරීම.
  1. මෘදු ලෙස යෝජනා කිරීම (Gentle Redirection):
තර්ක නොකර, මෘදු ලෙස අවධානය වෙනතකට යොමු කිරීම (Distraction) හෝ තේ කෝප්පයකට, ප්‍රියතම ක්‍රියාකාරකමකට ආරාධනා කිරීම.
  1. දෛනික ජර්නලයක් (Memory Journal) තබා ගැනීම:
දවසේ කළ කියූ දෑ, ආහාර ගත් වේලාවන් සහ වැදගත් සිදුවීම් පිළිබඳ කෙටි දිනපොතක් සටහන් කර තැබීම.

චිකිත්සීය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය

හානිය තාවකාලික නම් හේතුව සුවවීමත් සමඟ මතකය යථා තත්ත්වයට පත්විය හැක. ඩිමෙන්ෂියා වැනි තත්ත්වයකදී සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවද, පහත ක්‍රම මගින් ජීවන තත්ත්වය උසස් කළ හැක:

  • Cognitive Rehabilitation Therapy (CRT)
  • Reminiscence Therapy (අතීතාවලෝකන චිකිත්සාව)
  • Reality Orientation Therapy (යථාර්ථයට හුරු කිරීමේ චිකිත්සාව)



සමාප්තිය

Confabulation යනු රෝගියා හිතාමතා කියන "බොරුවක්" නොව, මොළයේ ස්නායුක වෙනස්කම් නිසා හටගන්නා ව්‍යාජ මතක නිර්මාණයකි. සත්‍යය තර්ක කර ඔප්පු කිරීමට වඩා, සහකම්පනයෙන් හා ආදරයෙන් ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කරගැනීමට උදව්වීම සත්කාරකයාගේ උතුම් වගකීමයි.

2023/08/05

බෙහෙතට බොරුකීම: ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේ චිකිත්සීය මුසාව (Therapeutic Fibbing)

ඩිමෙන්ෂියාව හෝ ඇල්සයිමර් වැනි තත්ත්වයක් සමඟ ජීවත්වන ආදරණීයයෙකුට සාත්තු කිරීමේදී යොදාගත හැකි වටිනා චිකිත්සීය උපක්‍රමයක් වන්නේ "චිකිත්සීයව බොරු කීම" (Therapeutic Fibbing) යි.

ඔව්, එය බොරු කීමක් වුවද, එය කරන්නේ රෝගියා රැවටීමට නොව, ඔවුන්ගේ දැඩි මානසික වේදනාව සමනය කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමටයි.



ඇයි මෙහෙම "බොරු" කියන්නේ?

ඩිමෙන්ෂියාවේ ඇතැම් අවස්ථාවලදී රෝගීන්ට තමන් කවුද, තමන්ගේ වයස, තමන් ඉන්නේ කොහේද යන්න අමතක වීම හෝ කාලය හා පරිසරය ගලපා ගැනීමට නොහැකි වීම සිදුවේ.
තම සැමියා අපගේ සායනයට කැඳවාගෙන එන මවක් "මේ මගේ මල්ලි"* කියා හඳුන්වා දෙන අවස්ථා ඇත.

  • එකම ඇඳේ නිදාගන්නා තම බිරිඳ "සතුරෙකු" ලෙස සිතා පහරදීමට තැත් කරන අවස්ථා ඇත.

වයස අවුරුදු අනූව ඉක්මවූ මිත්තණියක්, තමන් අවුරුදු දහනවයක තරුණියක් යැයි සිතමින් "මගේ අම්මා කෝ?"* යැයි අසමින් හඬා වැටෙන අවස්ථා ඇත.
  • ඩිමෙන්ෂියාව නිසා රියදුරු බලපත්‍රය අවලංගු කළ පියෙක්, තමන්ට වැඩට යාමට අවශ්‍ය යැයි කියමින් වාහනයේ යතුර ඉල්ලා කලබල කරන අවස්ථා ඇත.

මෙවැනි සංවේදී අවස්ථාවලදී "ඔයාට දැන් වයස 90ක්, අම්මා නැතිවෙලා අවුරුදු 40ක් වෙනවා" කියා හෝ "තාත්තේ ඔයාට ඩිමෙන්ෂියා නිසා ලයිසන් එක කැන්සල් කළා" කියා යථාර්ථය (Hard Reality) පැහැදිලි කිරීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් දැඩි කම්පනයට, ශෝකයට, බියට හා ආවේගශීලී ආතතියට පත්වීමයි.

එමනිසා, එම මොහොතේ ඔවුන්ගේ යථාර්ථයට ගරු කරමින්, සුදුසු "කාරුණික සුදු බොරුවක්" (White Lie / Fib) යොදා ගැනීම ඔවුන්ගේ මනස සන්සුන් කරයි.

උදාහරණය 1: "තාත්තේ, කාර් එක කැඩිලා. ඒක හදන්න දවස් දෙකක් යනවා කිව්වා, අපි හෙට යමු"* යැයි පැවසීම.
උදාහරණය 2: "අම්මා කාමරේ නැන්දත් එක්ක කතා කර කර ඉන්නේ. අපි එයාටත් එක්ක රස කෝපි එකක් හදාගෙන යමු"* යැයි පවසා අවධානය වෙනතකට යොමු කිරීම.



Therapeutic Fibbing යොදාගන්නා ප්‍රධාන අරමුණු 2

  1. ශෝකය හා වේදනාව සමනය කිරීම (Mitigating Grief):
මියගිය දෙමාපියන් හෝ ඥාතීන් පිළිබඳව නැවත නැවතත් අසන විට, ඔවුන් මියගිය බව සෑමවරම මතක් කර රෝගියා නැවත නැවතත් මරණයේ ශෝකයට (Grief) ඇද දැමීම වැළැක්වීම.
  1. ආරක්ෂාව තහවුරු කිරීම (Ensuring Safety):
රිය පැදවීම, තනිවම මහමගට බැස යාම හෝ භයානක උපකරණ භාවිතය වැළැක්වීම සඳහා භෞතික හා චිත්තවේගීය ආරක්ෂාව තහවුරු කිරීම.

චිකිත්සීය මුසාව භාවිතා කිරීමේ ආචාරධර්ම (Ethical Considerations)

මෙය රෝගියාව රවටා වාසි ලබාගැනීමක් නොවන බැවින්, ඉතාමත් වගකීමෙන් යුතුව පහත කරුණු අනුව භාවිත කළ යුතුය:

  • 1. අවස්ථානුකූල බව (Situational Appropriateness):
ඇත්ත කීමෙන් රෝගියා පීඩාවට පත්වන්නේදැයි විමසා බලා, කාරුණිකව ගැළපෙන පිළිතුරක් තෝරාගැනීම. සමහර විට සරලව "අපි කෝපි එකක් බොමුද?" වැනි වෙනතකට යොමුකිරීමක් මගින්ද ගැටළුව විසඳිය හැක.
  • 2. සියලු සාත්තු සත්කාරකයින් එකම බොරුව දැනුවත්ව සිටීම (Consistency):
පවුලේ සාමාජිකයන් සහ සාත්තු සේවකයන් සියලු දෙනාම එකම ප්‍රකාශය (Story) දැනුවත්ව සිටිය යුතුය. එක් අයෙක් එකක්ද, තවකෙක් වෙනකක්ද කීවොත් රෝගියා දැඩි ව්‍යාකූලත්වයකට පත්වේ.
  • 3. ප්‍රතිඵලය ඇගයීම (Outcome Evaluation):
එම ප්‍රකාශය මගින් රෝගියා සන්සුන් වූවාද යන්න නිරීක්ෂණය කර පවුලේ අය අතර ඒ පිළිබඳ තොරතුරු බෙදාගැනීම.

FiNReDiCo සත්කාරක ක්‍රමවේදය

චිකිත්සීය බොරුව කෝකටත් තෛලයක් නොවන බැවින්, සාත්තු සත්කාරකයා සතුව පහත උපක්‍රම සියල්ලේම එකතුවක් තිබිය යුතුය:

  • F - Fibs: සුදුසු අවස්ථාවේදී කාරුණික සුදු බොරුවක් පැවසීම.
  • N - No Response: තර්ක නොකර, සන්සුන්ව සවන්දීම හෝ නිර්වාචිකව (Non-verbal) සෙනෙහස දැක්වීම.
  • Re - Reality-orientation: රෝගියාට තේරුම් ගත හැකි සරල සීමාව තුළ යථාර්ථය සැහැල්ලුවෙන් මතක් කිරීම.
  • Di - Distraction: සංගීතය, තේ/කෝපි කෝප්පයක් හෝ ප්‍රියතම ක්‍රියාකාරකමක් මගින් සිත වෙනතකට යොමු කිරීම.
  • Co - Combination: ඉහත ක්‍රම කිහිපයක එකතුවක් අවස්ථානුකූලව ගලපා ගැනීම.

සමාප්තිය

ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී "සත්‍යය ජයගැනීමට වඩා රෝගියාගේ මානසික සුවය, ගෞරවය සහ සතුට රැකගැනීම" සැමවිටම උතුම් වේ. චිකිත්සීය මුසාව යනු හුදු බොරුවක් නොව, සහකම්පනයෙන් පිරි ප්‍රඥාවන්ත ප්‍රතිකර්මයකි.