2023/03/31

ඩිමෙන්ෂියාව සහ මුත්‍රා ආසාදන (UTI)

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුලින් මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගනිමින් දැනුවත් කිරීමයි මගේ අරමුණයි.)

මතක විදියට ඒ 2022 සැප්තැම්බරයේ දවසක්. මේ ප්රදේශවල තිබුණු කොවිඩ් තත්ත්වය නිසාවෙන් කණ්ඩායම් චිකිත්සාවන් (Group Sessions) ලබා දෙන අපේ සායන සියල්ල, Virtual Sessions බවට පත් කර තිබුණු කාලය.

වෙලාව හවස දෙක, ඒ කියන්නේ මගේ ඊළඟ සේවාදායකයා වන (අපි කියමු ඩොනල්ඩ් කියල) ඩොන්ව, අන්තර්ජාලය ඔස්සේ හමුවිය යුතු වෙලාව.

ඩොන් කියන්නේ, බ්රිතාන්ය රාජකීය ගුවන් හමුදාවේ (RAF) සේවය කර, අද වෙත්දි කැනඩාවේ පුරවැසියෙක් ලෙස ජීවත්වන අවුරුදු අසූඅටක් වන කොයිවෙලාවෙත් මුහුණේ හිනාවක් රඳවා ගත් අපූරු සුන්දර මනුස්සයෙක්. ඔහු ජීවත් වුනේ තම වියපත් බිරින්දෑ එක්කම වෙනම කුඩා නිවසක. දැනට වසර හතරක් පමණ තිස්සේ ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන ඩොන්, වරින්වර මතු කරන "හමුදා චර්යාවන්" නිසා සහ දෙමාපියන්ට අවශ්ය නිදහස ලබා දීම සඳහා ඔවුන්ගේම නිවසේ රැඳුනත්, අවශ්ය රැකවරණය, ආහාරපාන ලබා දීම ඇතුළු වගකීම් කළේ, අසල්වැසි නිවසේ සිටි ඩොන්ගේ පුතා සහ ලේලිය විසින්.

යොමු කළ ඊමේලය ඔස්සේ, Zoom ඇප් එකෙන් ඩොන් මගේ පරිගණක තිරයේ පෙනී හිටියා. මගේ වගකීම වන්නේ ඔහුගේ සෞඛ්ය තත්ත්වය ගැන විමසීමක්, අගැයීමක් කරමින් , ඔහුට සතුටක් ලැබෙන , දුර්වල වන බුද්ධිමය හැකියාව යම් තරමකට හෝ පවත්වා ගැනීමට උපකාර වන Therapeutic Recreational activities කිහිපයක් වෙත සම්බන්ධ කරගන්නට. ඒ අතරේම, ඩොන්ගේ බිරිඳගේ කායික වගේම මානසික පීඩා මට්ටම (Caregiver Burnout) තත්ත්වය ගැනත් හඳුනාගෙන වාර්තා කිරීම මගේ රාජකාරියේ කොටසක්.



හමුවීම සහ සැකය

අපි කතාව පටන් ගත්තා හැමදාම වගේ ලබා දෙන සුබ පැතුමකින්. හැබැයි වෙනදා වගේ , ඩොන් නොවෙයි උත්තර දුන්නේ.

"මේ රත්තරං, මේ ඉන්නේ ඔයාගේ යාළුවා , එයා අහනවා ඔයාට කොහොමද කියලා" ඩොන්ගේ හාමිනේ ටිකක් හයියෙන් කියනවා මට ඇහුණා.

මුල් තත්පර කිහිපය තුලම ඩොන්ගේ මුහුණුවරෙහි යම් වෙනසක් හඳුනාගත්තත් අපි කතාව ඉදිරියට ගෙන ගියා.

"කොහොමද ඩොන්? අද නම් හරිම ලස්සන දවසක් නේද?"

ඇප් එකේ සෙටින්ග්ස් නිසා, බොඳ වෙමින් මතුවන ඩොන්ගේ බිරිඳ, කටපුරා හිනාවෙනවා දැනුනත් ඩොන් වෙනදට වඩා ටිකක් වැඩි වෙලාවක් අරගෙන උත්තරයක් දෙන්න පටන් ගත්තා. වෙනදා හිනාවකින් පිරිලා ඉන්න ඩොන් ඉන්නේ තරමක අපහසුතාවයෙන් වගේ. ඇස්, සම විතරක් නොවේ ඔහු වාඩිවෙලා ඉන්න ඉරියව්ව පවා තරමක් වෙනස්.

"හ්ම්... අද ටිකක් රස්නෙයි කියලනම් දැනෙනවා මට... අපි දෙන්නා පෑන්කේක් කෑවා, ඔයා අද මෙහේ එනවද අපි බලන්න"

ආරම්භයේ දුටු "සැකය" තහවුරු වන මුහුණේ වෙනස්වීම් විතරක් නොවේ , උච්චාරණයේ සහ කෙළ ගිලීමේ වෙනසකුත් හොඳින්ම දැන් පැහැදිලියි. මගේ සැකය තවත් වැඩි වුණා.

"ආ ඔව් ඩොන්, මම එනවා, හැබැයි අද නොවේ ලබන සතියේ. අපට ලොකු ෆෝර්ම් එකක් පුරවන්න තියෙනවා" වෙනස්කම් සටහන් කරගන්නා අතරේම මම උත්තර දුන්නා.

"ෆෝම්.. ෆෝම්... මම රෝයල් එයාර්ෆෝස් එකේ වැඩ කරන කාලෙට වඩා ෆෝම් වලට අත්සන් කරන්නැති මේ ටිකට. රත්තරං, අපි ලබන සතියේ කොහේවත් යන්නෑ නේද?" ඩොන්, තමන්ගේ හාමිනේ පැත්තට හැරිලා විමසුවා.

උත්තර දෙන්න, තරමක් ඉදිරියට ආ නිසා, පැහැදිලිව පරිගණක තිරය තුලින් මතුවූ ඩොන්ගේ හාමිනේ කතාවක් පටන් ගත්තා:

"මයික්, මෙයා දවස් දෙක තුනක ඉඳන් හරි වෙනස් අනේ. හැමතිස්සෙම මහන්සියි, කන්නෙත් නෑ, කතාවත් වෙනස්. අනෙක් දේ, බාත්රූම් ගියාම වෙනදට වඩා ගඳයිද මන්දා. මං පුතාට කිව්වා එයා කිව්වෙ නං පෙරේදා කාපු ෆිෂ්කේක් වලට කියලා, අනේ මන්දා උදේට කතා කළාම වෙනදට වඩා තරහත් යනවා"

තවත් කතාව දිගට ගියා. මගේ සැකය තහවුරු වන කරුණු කිහිපයක් ලැබුණා. ඒ සියල්ල සටහන් කරගනිමින්, දෙදෙනාම කලබල නොකර තවත් විනාඩි කිහිපයක් ඔවුන් සමඟ ගත කළේ දැනෙන අවදානම ගැන මගේ ප්රජා සෞඛ්ය සේවාවේ හදිසි සේවා කණ්ඩායම (Rapid Response Home Care Team) සම්බන්ධීකරණය කරමින්.

"පැට්, මට පොඩි සැකයක් තියෙනවා ඩොන්ට UTI එකක්ද කියලා, ඒ එක්කම TIA හෝ Stroke එකකුත් එකතු වෙලාද කියන සැකයත් තියෙන නිසා දැන් ඔයාලගේ හෝම්කෙයා ටීම් එකට දැනුම් දෙනවා. තවත් විනාඩි තිහක් ඇතුලත ඔවුන් ඒවි ඔබේ නිවසට. පුළුවන් නම් ඩොන්ව සූදානම් කරගන්න රෝහලට එන්න."



ජීවිතය බේරාගත් හඳුනාගැනීම

පසුදා උදෑසන Touchdown රැස්වීමේදී අපේ සෞඛ්ය කණ්ඩායමේ කළමනාකාරවරිය විශේෂ ස්තුතියක් කරමින් පැවසුවේ:
"මහේෂ්, ඊයේ ඩොන්ගේ වෙනස හඳුනාගෙන යොමු කළේ නැත්නම් ඔහු අද ලොකු ජීවිත අවදානමක වෙන්න ඉඩ තිබුණා" කියාය.

රාත්රියේ කළ පරීක්ෂණ ඔස්සේ හෙළිවූයේ ඩොන් පහුගිය දින කිහිපය තුල UTI තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවත්, ඊට අමතරව TIA කිහිපයක් ඇතිවෙමින්, ඊට වඩා දරුණු Stroke එකක් වෙත යාමේ දැඩි අවදානමක් තිබුණු බවත්ය. කෙසේ වෙතත්, ඉක්මන් මැදිහත්වීම නිසා ඩොන් ප්රතිකාර ලබා සුවය ලැබීය.



මූලික වෛද්‍ය සංකල්ප තුනක්

  • UTI (Urinary Tract Infection): මුත්රා මාර්ගික ආසාදන. ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන අයෙක් බහුලව මුහුණදිය හැකි , වෙනත් අයට වඩා දැඩි අවදානමකට පත්විය හැකි තත්ත්වයකි.
  • TIA (Transient Ischemic Attack): මොළයේ යම් කොටසකට සිදුවන රුධිර සම්පාදනය තාවකාලිකව අඩාල වීම නිසා ඇතිවන තත්ත්වයකි ("කුඩා ආඝාතය" / Mini Stroke). මෙය නිසි ප්රතිකාර මඟින් යථා තත්ත්වයට පත් කරගත හැක.
  • Stroke / CVA (Cerebrovascular Accident): මොළයේ රුධිර සැපයුම බිඳවැටීම නිසා ස්නායු සෛල වලට සිදුවන දීර්ඝකාලීන හානියයි.

ඩිමෙන්ෂියාව සහ UTI අතර සම්බන්ධය

මොළයේ සෛල හානිවීම් නිසා තීරණ ගැනීමේ හැකියාව, බහිස්ස්රාවය පාලනය, අවශ්යතාව දැනීම දුර්වල වීම මෙන්ම, දිගු කාලයක් එක්තැන්ව සිටීම සහ පවිත්රතාව බිඳවැටීම නිසා මුත්රා ආසාදන ඇතිවීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය.

සාමාන්ය පුද්ගලයෙකුට මුත්රා දැවිල්ල හෝ වේදනාව ලෙස දැනෙන දේ, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයෙකු තුළ මතුවන්නේ වෙනස්ම ආකාරයේ චර්යාත්මක වෙනස්කම් (Behavioral Symptoms) ලෙසිනි:

  1. චර්යාත්මක ක්ෂණික වෙනස්කම්: වෙනදාට වඩා අසාමාන්ය ලෙස කෝපවීම, හැඬීම, නොසන්සුන්තාව (Agitation), වැඩිපුර නිදාගැනීම හෝ අසාමාන්ය ලෙස ඇඳුම් ගැලවීම.
  2. පාලනය ගිලිහීම සහ හුදෙකලා වීම: ඇඳුම්/ඇඳ රෙදි තෙමාගැනීම් වැඩිවීම, කාමරයෙන් එළියට නොපැමිණීම, කතාබහ අඩුවීම.
  3. ආහාර අරුචිය: බඩ පුරවා දැමීම හෝ අපහසුතාව වචනයෙන් කියාගත නොහැකිව කෑම ප්රතික්ෂේප කිරීම හෝ කෑම කවන්නට යෑමේදී ආවේගශීලී වීම.
  4. Delirium (උග්‍ර ව්‍යාකූලතාව): UTI තත්ත්වයට නිසි ප්රතිකාර නොලැබුණහොත් සිහිකල්පනාව ක්ෂණිකව වෙනස්වන Delirium තත්ත්වයට පත්විය හැක.
  5. රුධිර කැටි ගැසීම් සහ Stroke අවදානම: බැක්ටීරියා ධුලක, විජලනය සහ වියපත් වීම එකතුව රුධිර කැටි ගැසීම් (Clots) ඇතිවී මොළයේ හෝ හෘදයේ සිරවීමෙන් TIA සහ Stroke ඇතිවීමේ දැඩි අවදානමක් පවතී.

සාත්තු සත්කාරයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

  • චර්යාත්මක වෙනස්කම් නිරීක්ෂණය: පුද්ගලයාගේ මූඩ් එක, කතාබහ සහ ඉරියව්වල සිදුවන ක්ෂණික වෙනස්කම් ගැන විමසිලිමත් වන්න.
  • මුත්රා රටාව: මුත්රා කරන වාර ගණන, පරිමාව, වර්ණය සහ ගන්ධයේ වෙනසක් ඇත්දැයි බලන්න.
  • පවිත්‍රතාව හා ජලය පානය: පුද්ගලික පවිත්රතාවය රැකදීමට උපකාර වීම සහ ප්රමාණවත් තරම් දියර වර්ග ලබා දීම.
  • වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම: සුළු හෝ සැකයක් මතු වූ වහාම ප්රමාද නොවී වෛද්ය පරීක්ෂාවක් (Urine Full Report / Culture) වෙත යොමු කරන්න.

ඉතා සරල ප්රතිජීවක (Antibiotics) ප්රතිකාරයකින් සුවකළ හැකි සුළු ආසාදනයක්, හඳුනානොගැනීම නිසා ජීවිත අවදානමක් ගෙන දෙන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ නොදෙන්න.

2023/03/24

පිංතූර පොත

ඩිමෙන්ෂියාව හෝ ඊට ආසන්න මතකය දුර්වල වීමේ තත්ත්වයක් සමඟ ජීවත්වන අයෙකුගේ සතුට, ක්රියාකාරීත්වය, මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීමට හෝ දුර්වල වීමේ වේගය සීමා කරගැනීමට වගේම, දවසේ කටයුතු වලදී ඇතිවන පීඩාකාරී, අපහසුකාරී තත්ත්වයන් මඟහරවා සතුටුදායක, මතකයන් අළුත් කරවන හොඳ ක්රියාකාරකමක් තමයි "පිංතූර පොත" (Photo Album) සමඟ එක්වන්නට සහ ඒ ඔස්සේ පවුලේ අය සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලබා දීම.



පිංතූර ඇල්බමයක් සාර්ථකව සූදානම් කරගන්නේ කෙසේද?

  1. කාලනුක්‍රමික පිළිවෙල (Chronological Order): පිංතූර ලබා ගත් දිනය හෝ අදාල සිදුවීමේ දිනයට අදාලව, දින පිළිවෙලකට හෝ වෙනත් යම් තේරුම්ගත හැකි "පිළිවෙලකට" සංවිධානය කර තිබීම.
  2. විස්තර සටහන් කිරීම: හැම පිංතූරයක් සමඟම අදාල සිදුවීම ගැන කෙටි සටහනක්, දිනය, පිංතූරය තුල සිටින්නේ කවුරුන්ද යන්න (නම් හෝ අදාල පුද්ගලයා භාවිත කරන හුරුපුරුදු ආමන්ත්රණයන්ට අනුව), සහ සිදුවීමේ ස්ථානය පැහැදිලිව සටහන්ව තිබීම.
  3. වේදනාකාරී මතක ඉවත් කිරීම: මෙම පිංතූර පොත පරිහරණය කරන පුද්ගලයාට "පීඩා විය හැකි" සහ අප්රසන්න මතකයන් අළුත් විය හැකි පිංතූර ඉවත් කර සූදානම් කිරීම.
  4. අවධානය බිඳ නොවැටෙන පසුබිමක්: අදාල පුද්ගලයා කැමති පසුබිම් වර්ණ සහිතව සහ හිත වෙනතකට යොමු කරන අතිරේක බාධාකාරී දෑ (distracting objects) ඉවත් කර සරලව සැකසීම.

ක්‍රියාකාරකම සිදු කරන ආකාරය

පිංතූර පොත යොදා ගෙන ක්රියාකාරකමක් කිරීමේදී, නිකංම පිංතූර පොත අතට දීමට වඩා:

  • පිංතූර පොත පෙරළමින් අදාල පුද්ගලයා සමඟ සුහද කතාබහකට එක්වීම.
  • අදාල සිදුවීම් ගැන ඔවුන්ගේ කැමැත්ත පරිදි සාකච්ඡා කිරීම.
  • පිංතූරය තුල සිදුවීමට අදාල රසකතා නැවත මතු කරගැනීමට උදව්වීම.

වඩාත් සාර්ථක කරගැනීමට උපදෙස්:

  • සුදුසු වේලාව: මෙම ක්රියාකාරකම දවසේ ඕනෑම වෙලාවක භාවිත කළ හැකි වුවත්, උදය තේ විවේකය සමඟ උත්සාහ කිරීම වඩාත් සාර්ථක ප්රතිඵල ලබා දෙයි.
  • පරිසරය සහ ආලෝකය: හොඳින් ආලෝකය ලැබෙන තැනක් සූදානම් කරගැනීම සහ පොත පහසුවෙන් රඳවා ගත හැකි ආකාරයක් සැකසීම.
  • ඩිජිටල් මාධ්‍ය භාවිතය: අද පවතින තාක්ෂණික ක්රම අනුව, සාම්ප්රදායික පොතක් වෙනුවට අදාල පිංතූර ස්කෑන් කර හෝ ජංගම දුරකථනය ඔස්සේ රූපවාහිනියකට හෝ ඩිජිටල් පිංතූර රාමුවකට (Digital Photo Frame) එක්කර ද මෙම ක්රියාකාරකම කළ හැකිය.
  • රසවින්දනය: අදාල පුද්ගලයා කැමති පසුබිම් සංගීත ඛණ්ඩයක් වාදනය වන අතරේ, කැමති තේ හෝ කෝපි කෝප්පයක් රසවිඳිමින් මෙම කතාබහ පවත්වා ගැනීමෙන් ඉතා සාර්ථක ප්රතිඵල ලැබේ.

Photo Reminiscence Therapy (pRT)

මෙම සරල නිවෙස් ක්රියාකාරකම, ඩිමෙන්ෂියා සහ ආශ්රිත මතකය දුර්වල වන තත්ත්ව වලදී සායනිකව සාර්ථකව යොදා ගන්නා Photo Reminiscence Therapy (pRT) ලෙස හඳුන්වන චිකිත්සීය ක්රමවේදයක නිවස තුල පහසුවෙන් යොදාගත හැකි ආකෘතියකි.

2023/03/17

නැන්දම්ම දිහා මෙහෙමත් බලමුද?

මහාභාරතය, ග්රීක , ස්කැන්ඩිනේවියානු පුරාවෘත්ත වල සිට, කෘතිම බුද්ධිය සමඟ තරඟ කරන අද දවසට දක්වාම මිනිස් සමාජය තුල පවතින බව පොදුවේ හඳුනාගන්නා විරසකයක් තමයි නැන්දම්මා-ලේලි ගැටුම. විටක එය පවුල් විරසක වන පුපුරා යන ගැටුමක් වෙත්දි , තවත් තැනකදි හීන් සැරයෙන් විඳෙව්වත්, ලොකු ගැටුම් ඇති නොවන ලෙස පවත්වා ගන්නටත් පුළුවන් වෙනවා. තවත් අවස්ථාවක, ගැටුම් නැති නැන්දම්ම-ලේලි බැඳීම්තුත් නැතිවා නොවේ. කොහොම වුනත්, මේ නැන්දම්ම-ලේලි ගැටුම ගැන කතා කරන්න සමාජ, මනෝවිද්යාත්මක වගේ පැති ගණනාවක් තිබෙන නිසා සංකීර්ණව ඒ තුලට නොගියත්, පොදුවේ හේතුවිය හැකි කරුණු කිහිපයක් ගැන කතා කරල, එතැනින් පස්සේ, අප හුඟ දෙනෙක් නොහිතන, එහෙම නැත්නම් හිතන්නට , අවධානය යොමු කරන්නට අවශ්ය දැනුම අඩු, තවත් සංකීර්ණ ගැටළුවක් ගැන විස්තරාත්මකව කතා කරන්නත් උත්සාහ කරනවා මේ ලිපිය තුල.

විරසකේ ඇරඹුම

මුලින්ම අපි දන්න තැනින් පටන් ගනිමු. සමාජය තුල දකින්න ලැබෙන පොදු , නැන්දම්ම-ලේලි ගැටුම් සඳහා හේතුවන සාධක අතරේ, දෙපාර්ශවය අතරේ ඇති අපේක්ෂාවන්/ඒකාකෘතියන්, සීමාවන් බිඳීම් හෝ සීමාවට ඇතුළු වීම්, අවධානය පවත්වා ගැනීම හෝ හිමිකරගැනීම වෙනුවෙන් , තවත් අවස්ථාවකදි වගකීම් , පාලන සීමාවන් අවහිර වීම, එකිනෙකාගේ පෞරුෂමය ගැටීම්, වගේම ආර්ථිකමය හේතු, අනාගතය ගැන ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන්, සහ පරණ කුණු නැවත ඇද ගැනීම වගේ අවස්ථා බහුලව දකින්නට පුළුවන් වේවි.

නමුත්, මේ ලිපිය තුල අප උත්සාහ කරන්නේ මේ බහුලව දකින්නට ලැබෙන, පහසුවෙන් හඳුනාගත හැකි සහ වටහා ගත හැකි , නැන්දම්ම-ලේලි ගැටුමේ සාධක ගැන කතා කරන්න නොවේ. මේ ලිපිය තුල කතා කරන්නේ මෙවන් ගැටුම් සඳහා හේතු විය හැකි කායිකව සිදුවන සෞඛ්ය ගැටළුවක් ගැනයි. ඉතා විමසීමෙන් නොසිටියහොත් සහ උදව් ලබා නොගතහොත් හඳුනාගැනීමට අපහසු , විශේෂයෙන්ම "වයස", "එයාගේ හැටි", "නැන්දම්මනේ" වගේ ලේබල් වලින් වැසී යා හැකි මෙම තත්ත්වය වෛද්ය විද්යාත්මකව හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව (Dementia) කියල.



ඩිමෙන්ෂියාව සමඟ නැන්දම්මා

දැන් මේ ඩිමෙන්ෂියා කියන සෞඛ්ය ගැටළුව ඇති වෙන්නේ නැන්දම්ම-ලේලි ගැටුමෙදිද? මෙහෙම වෙන්න පුළුවන් නැන්දම්මට විතරද? ඔය වගේ නානාප්රකාර ප්රශ්න එන්න පුළුවන් නේ. ඒ නිසා මෙන්න මෙහෙම අපි කතාවට ඇතුළු වෙමු.

"ඩිමෙන්ෂියාව" යනු!

ඩිමෙන්ෂියාව කියල කියන්නේ, මොළයේ සෛල වල, මොළයේ සෛල අතර ඇති සන්නිවේදන පථ වලට සිදුවන , නැවත නිවැරදි කළ නොහැකි හානියක් නිසා සිදුවන අමතක වීම සහ තවත් ගැටළු ගණනාවක් ඇති කරන , සුව කළ නොහැකි, නමුත් ප්රතිකාර මත පාලනය සහ තත්ත්වය අවදානම් තැනට පත්වීමේ වේගය පාලනය කළ හැකි , වයස දොළහේ දරුවාට වගේම අසූනමයේ නැන්දම්මාටත් ඇතිවිය හැකි තවත් , අපේ සමාජය තුල එතරම් කතා බහට ලක්නොවන, නමුත් සමාජය තුල ඇති සහ වැඩිවන තවත් සෞඛ්ය ගැටළුවක්. මෙය "මානසික රෝගයක්" නොව, තවත් කායික රෝගයක් බව විශේෂයෙන්ම මතක් කරන්නේ, මානසික රෝගය යනු "පිස්සුවක්" ලෙස සමාජගත වී ඇති තත්ත්වයකදී විය හැකි අවාසිය අඩුකරගන්නටමයි.

ලේලිට වඩා ලොකු නැන්දම්මා

ඩිමෙන්ෂියා තත්ත්වය ඕනෑම වයසක අයෙකුට ඇතිවිය හැකි වුනත්, වියපත් වීම සමඟ මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නට වන අවස්ථාව ක්රමයෙන් වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ , වයස අවුරුදු දොළහේ ඩිමෙන්ෂියා දරුවන්ට වඩා, අවුරුදු හැටේ නැන්දම්මලාට ඩිමෙන්ෂියා තත්ත්වය තිබෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

දැන් නැන්දම්මට විතරද මේක හැදෙන්නේ? නෑ, මුලින් කීව වගේ ඕනම කෙනෙක්ට මෙම තත්ත්වය ඇති වන්නට පුළුවන්. නමුත් මේ කතාබහ නැන්දම්ම-ලේලි නිසා, මේ දෙන්න අතරින් වයස වැඩි කවුද කියල හඳුනගත්තොත් ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන නැන්දම්මලා , ලේලිලාට වඩා ඇති කියල උපකල්පනයක් කරන්න පුළුවන් නේ.

සැමට විය හැක

අනෙක, මේ ප්රශ්නය නැන්දම්මටම දාන්න එපා, මේ ගැටළුව ඔබේ අම්මට, තාත්තට සමහර විට වැඩිමහල් සහෝදරයට , සමහර විට ඔබේ සැමියා, බිරිඳට වුනත් තිබෙන්න පුළුවන්. ඒ නිසා, අපි නැන්දම්ම-ලේලි කතාවෙන් මේ ලිපියේ ඉදිරියට යන අතරේ, මෙම සෞඛ්ය තත්ත්වය පොදු දෙයක් බව මතකයේ රඳවා ගැනීම වටී.

ඩිමෙන්ෂියාව සහ පවුලේ විරසකය

ඩිමෙන්ෂියා තත්ත්වයේ මෙන්න මේ ලක්ෂණ, නැන්දම්ම-ලේලි ගැටුම ඇති කරවන්න හේතු වේවි කියල පුද්ගලිකව මා විශ්වාස කරනවා. මේ ගැන සිදුවුනු පර්යේෂණ වාර්තාවක් හෙව්වත්, අපේ රටේ සංස්කෘතියට අදාලව එවැන්නක් සොයා ගන්නට බැරි වුනා. මේ කියවන ඔබ , ඔබේ අධ්යාපන කටයුතු තුල සමාජ පර්යේෂණ කරනවා නම් ටිකක් හිතල බලන්න.

හේතු විය හැකි ප්‍රධාන ලක්ෂණ:

  1. මතකයේ ගැටළු: ඩිමෙන්ෂියා තත්ත්වයේදි සිදුවන ප්රධාන ගැටළුවක් වන්නේ මෙය. විශේෂයෙන්ම කෙටි කාලීන මතකය ඉක්මණින් අඩුවන මේ අයට පරණ මතකයන් හොඳින් එළියට ගන්නට පුළුවන්. මේ නිසා, ලේලි අද දවල් කන්න දුන්නත්, හවස් යාමේ වෙත්දි "අපේ ලේලි මට කන්න දෙන්නේ නෑ" කියමින්, අල්ලපු ගෙදරට යන නැන්දම්මා කෙනෙක් , මෙම හේතුව නිසා ඇති වෙන්න පුළුවන්. අනෙක් දේ, ලේලි කොයිතරම් හොඳින් සාත්තු සප්පායම් දැන් කළත්, ඊට වඩා අතීතයේ "මගේ පුතාව අල්ල ගන්න දඟලපු කාලේ" වුනු දේවල් හොඳින් මතක තිබීම නිසා, දැන් කරන හොඳ අමතක වී, පරණ කුණු නැවත ගෙනැවිත් මුළු පවුලටම ගැටළු ඇති කරන්නත් බැරි නැහැ. ඒ වගේම තමන්ට සිදුවන අමතක වීම තුල ඇති වන අපහසුව, ලැජ්ජාව වෙනත් ආකාරයකින් පිට කරන්නට මේ අම්මාට හිතෙන්නත් ඉඩක් තිබෙනවා.
  1. චිත්තවේග පාලනය කරගැනීමේ අපහසුව සහ ආවේගශීලී වීම: "මාත් එක්ක හොඳට කතා කරන අම්ම, අපේ හාමිනේ එක්ක කතා කරන්නේ හරිම තරහෙන් වගේ" කියන පුතාට මේ හේතුව තේරුම් ගන්න පුළුවන් නම් එතැනම ගැටුමේ හේතුව හොයා ගන්න පුළුවන් වේවි. ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ සිටින අයෙක්ගේ චිත්තවේග, මූඩ් එක විවිධ හේතු නිසා ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් (දවසේ වෙලාව, බඩගින්න, ශාරීරික වේදනාවන්, අධික ශබ්දය, නුහුරු පරිසරය ආදිය). අළුත ගෙනා ලේලිය නිසා මෙතෙක් නිවසේ තිබුණු පිළිවෙල වෙනස්වීම වැනි හේතු නිසා නැන්දම්මාගේ මූඩ් එක වෙනස්වීමත්, ආවේගශීලී කතාබහක් ඇතිවන්නටත් පුළුවන්.
  1. හැඟීම් හඳුනාගැනීම අපහසුවීම: ඩිමෙන්ෂියාවේ එක් අවස්ථාවකදි , අනෙක් පුද්ගලයාගේ හැඟීම් නිවැරදි ලෙස හඳුනාගන්නට සහ තීරණය කරගන්නට නොහැකිව යනවා. එතැනදි, තමන් සමඟ හිනාවෙමින් ආදරයෙන් කතා කරන ලේලිය හෝ පුතා "තමන්ට බැනවදිනවා" හෝ "අපහාස කරනවා" ලෙස වැරදියට වටහා ගෙන ගැටුම් ඇති කරගන්න ඉඩ තියෙනවා.
  1. තීරණ ගැනීමේ අපහසුව: මෙතෙක් නිවසේ පාලනය කරමින් , තීරණ ගත් අම්මාට දැන් වෙනදා කළ කටයුත්තක් ගැන තීරණයක් ගන්නට නොහැකිවීම නිසා ඇතිවන පීඩනය, නිවසේ තනිවීමට දරන උත්සාහයක්, මහ රෑ මැද අවදි වී නිවස අස්පස් කරන්නට ගැනීමක්, හෝ ලේලිගේ වැරදි අසල්වැසියන්ට කියා පෑමක් වගේ විවිධ අසාමාන්ය ප්රතිචාර ලෙස පිටවන්න පුළුවන්.
  1. මායාවන් තුල රැඳීම (Hallucinations & Delusions): ඩිමෙන්ෂියාවේ තවත් පොදු ලක්ෂණයක් වන, විවිධ රූප, ශබ්ද දැනීම් වගේම අවට තිබෙන දෑ පිළිබඳ "වැරදි" සංකල්පයන් මතුවීම නැන්දම්ම-ලේලි ගැටුමට සාධක ඇති කරන්නට පුළුවන්. "උඹ ගෙදර නැති වෙලේ අරකි අල්ලපු ගෙදර එක්ක කුටු කුටු ගෑවා", "මාව වට්ටන්න උගුලක් අටවලා" වැනි මායාවන් ඇයට සම්පූර්ණ ඇත්තක් ලෙස දැනෙන නිසා, එය බොරුවක් බව ඔප්පු කරන්නට වාද කිරීම ගැටුම ගිනි අවුලවන්න හේතුවක් වේවි.
  1. ව්‍යාකූල වීම (Disorientation): වෙලාව, දවස, ඉන්න තැන, සහ බඩු මුට්ටු තිබෙන තැන ගැන අපැහැදිලි බවක් ඇති වීම. කුස්සියේ තිබිය යුතු තේ කෝප්පය වැසිකිළියේ තිබීම හෝ සාලයේ දුරස්ථ පාලකය ඇඳ අස්සේ සඟවා "ඔය මම නෙවි , උඹේ භාර්යාවගේ වැඩ" යැයි පැවසීම මෙවැනි ව්යාකූලත්වයක ප්රතිඵලයක් විය හැකිය.
  1. වෙනස්වන අම්මා (Apathy & Loss of Motivation): වෙනදා නිවසේ වැඩකටයුතු හොඳින් කරගෙන සිටි අම්මා, දැන් ඒ කිසිවක් නොකර කාමරයකට වී තනිව අලසව සිටින විට, ලේලි එය "මට කියලා ඔක්කොම වැඩ කරගන්න දරන උත්සාහයක්" ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.
  1. පවිත්‍රතාව අඩුවීම: මෙතෙක් පිළිවෙලට සිටි අම්මා තමන්ගේ පවිත්රතාව ගැන නොසැලකිලිමත් වෙමින් කිළිටි ඇඳුම් ඇඳීම සහ කන බොන දේ පිරිසිදු නොකිරීම ඩිමෙන්ෂියාවේ ලක්ෂණයක් විය හැකිය.
  1. කතාබහේ වෙනස (Communication Breakdown): සන්නිවේදන හැකියාව සහ වචන ගලායාම බිඳ වැටීම නිසා "නැන්දම්මා දැන් මාත් එක්ක කතා කරන්නේ නෑ, මට අකමැති ඇති" කියා ලේලිය වරදවා සිතිය හැක.
  1. සැකය සහ විශ්වාසය බිඳ වැටීම (Paranoia): "මේ තේ එකට ඒකි වහ දාලද දන්නෑ", "උඹ ගන්න පඩිය එහෙම්පිටින්ම අරකිගේ අම්මට දෙනවා නේද" වැනි දැඩි සැකයන් හා බියවීම් ඇතිවීම.
  1. වෙන්වීම සහ එපා වීම: මෙතෙක් එක්ව සිටි පවුලෙන් ඈත් වෙන නැන්දම්මා, ලේලියගෙන් ලැබෙන සාත්තු සප්පායම් පවා තමන්ට අනතුරක් යැයි සිතා බියවීම සහ ප්රතික්ෂේප කිරීම.

පවුලේ වගකීම

වඩාත් සංවේදී කාරණය වන්නේ, මෙම රෝග තත්ත්වය ගැන නිවැරදි අවබෝධයක් නොතිබීම තුල, "වයසට ගියාම එන කරදර" , "නැන්දම්මනේ" , "වයසට ගියාම වද දෙන්න හදනවා" ලෙස ලේබල් කරමින් මෙම ලක්ෂණ හඳුනානොගෙන, එම නිසාම විඳවමින් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට වන අම්මලා මෙන්ම, මෙම පීඩනය නිසා මානසිකව පීඩාවට ලක්වන පුතාලා, ලේලිලා සහ බිඳ වැටෙන අළුත් පවුල් අපේ සමාජය තුල බහුල වීමයි.

වඩාත් වැදගත් වන්නේ, තම ආදරණීයයන් ගැන වඩාත් හොඳ අවධානයකින් සිටීමත්, සිදුවන වෙනසක් "ගණන් නොගෙන" ඉන්නවාට වඩා, විමසිලිමත්ව යම් කායික හෝ මානසික ගැටළුවක් නිසා මතුවනවාදැයි නිසි වෛද්ය විමසුමකින් තහවුරු කරගැනීමයි.

අද දවස වෙත්දි ශ්රී ලාංකික සමාජය තුල හඳුනානොගත් ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන සෑහෙන පිරිසක් සිටින බව ඔබ දැන ගන්නවා නම්, පෙර කී ලෙස ඔබේ "පවුලේ වගකීම" ඉටු කරනවා නම්, නැන්දම්මා-ලේලි ගැටුම් සහ ඒ සමඟ ඇතිවන පවුල් ආරවුල් සෑහෙන ප්රමාණයක් අවම කරගන්නට පුළුවන් වේවි.

2023/03/10

ඩිමෙන්ෂියා සහ Art Therapy

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයින් සඳහා ක්රියාකාරකමක් වගේම ඒ අයගේ හැඟීම් නිදහස් කරගැනීමට හොඳ මාධ්යයක් තමයි චිත්ර. වර්ණ, තීන්ත වල ස්වභාවය, පින්සල කැන්වසය මත ගමන් කරවීම තුල මෙම තත්ත්වය සමඟ ජීවත් වන අයෙක්ට ලබා ගත හැකි වාසි ගණනාවක් තිබෙනවා.

Art Therapy මඟින් ලැබෙන ප්‍රධාන වාසි

  • Emotional Expression (හැඟීම් ප්‍රකාශනය): විශේෂයෙන්ම වචනයෙන්, එහෙම නැත්නම් සමාජය "බාර ගන්නා" ආකාරයට තම හැඟිම් එළියට දාගන්නට අපහසු, එහෙමත් නැත්නම් තමන්ට දැනෙන හැඟීම් වචන කරන්නට හැකියාවක් නැති තත්ත්වයේ සිටින අයෙක්ට මෙම ක්රියාකාරකම් තුලින් තමන්ට දැනෙන දේ වර්ණ සහ රේඛා තුලින් ඉදිරිපත් කරන්නට පුළුවන්. දුක, සතුට, වේදනාව වගේම අතීත අත්දැකීම් පවා මේ ක්රමයට එළියට ගෙන එන්නටත් , ඒ ඔස්සේ සතුටක් වගේම නිදහසක් ලබා දෙන්නටත් හැකියාව ලැබෙනවා. (කෙසේ වෙතත්, ක්රියාකාරකම් තෝරා ගැනීමේදි පුද්ගලයාට අනුව සැලකිලිමත් විය යුතු වෙනවා.)
  • Cognitive Stimulation (බුද්ධිමය උත්තේජනය): චිත්ර, වර්ණ, හැඩතල "තෝරා ගැනීමට" දරන උත්සාහය, ගැලපීමට ගන්නා උත්සාහය තුල අදාල පුද්ගලයන්ගේ බුද්ධිමය හැකියාවන් වලට යහපත් බලපෑමක් කළ හැකි බව හඳුනාගන්නවා. අමතක වූ මතකයන්, වචන, අත්දැකීම් නැවත මතකයට ගැනීමටත් මේ ඔස්සේම අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්.
  • Sensory Stimulation (සංවේදන උත්තේජනය): චිත්ර ක්රියාකාරකම් තුල , "චිත්ර" කියන සංකල්පයට අමතරව, වර්ණ , තීන්ත වල ස්වභාවය, ආලෝකය සමඟ වර්ණ වල සිදුවන වෙනස , කැන්වසය තුල තීන්ත ගලා යාම වැනි සාධක මත , අදාල පුද්ගලයන්ගේ සංවේදන උත්තේජනය වීමක් සිදුවෙනවා. එම උත්තේජනය වීම, පාර්ශවික බලපෑම් ලෙස පුද්ගලයාගේ දවසේ ක්රියාකාරීත්වය, කෑම රුචිය , සවස්වරුවේ ඇතිවන අපහසුතා සීමා කරන්නත් උදව් වන බව හඳුනාගන්නවා.
  • Reduction of Agitation and Anxiety (නොසන්සුන්තාව හා කාංසාව අවම වීම): විවේකී, අදාල පුද්ගලයා ප්රියකරන, වෙනත් බාහිර අධි සංවේදන අඩු පරිසරයක් තුල අදාල පුද්ගලයාගේ කැමැත්ත මත සිදුවන චිත්ර ක්රියාකාරකම් තුලින් , ඩිමෙන්ෂියා සමඟ ජීවත්වන්නෙක්ට ඇති විය හැකි කළබලවීමේ , කාංසාසහගත බව, වගේම ආවේගශීලී වීමේ අවස්ථාවනුත් අඩු කරගන්නට පුළුවන්. නමුත් වැදගත්ම දේ, මෙම ක්රියාකාරකම් අදාල පුද්ගලයාගේ "කැමැත්ත" සහ සීමාව තුල ලබා දීමයි.
Social Interaction and Engagement (සමාජයීය සම්බන්ධතා): කල්වේලා ගෙන නිර්මාණය කළ තම "චිත්රය" ගැන පවුලේ මිතුරන්, කණ්ඩායමේ මිතුරන් සමඟ සතුට බෙදා ගැනීම වගේම, ඒ නිර්මාණය ගැන ඔවුන්ගෙන් ලැබෙන ප්රතිචාර මතින් , මෙම පුද්ගලයන් සක්රියව සමාජය, පවුලේ සාමාජිකයන් සමඟ එක්කර ගැනීමට හැකිවෙනවා. මෙතැනදී අදාල පුද්ගලයාගේ නිර්මාණය අගය කිරීමේදි, එහි "ඇත්තටම ඔබ දකින දේ" මිස , පුංචි දරුවෙක් රැවටීමට මෙන් "මේක හරි ලස්සනයි" කියන එක එතරම් සාර්ථක නෑ. අදාල නිර්මාණය අගය කරනවා නම් , අදාල පුද්ගලයාට හඳුනාගත හැකි, එමෙන්ම ඔබ දකින "අපූර්වත්වයක්" අගය කළ යුතු වෙනවා. "මේ නිල්පාට සුදුපාටත් එක්ක මැච් කරල තියෙන විදිය හරිම අපූරුයි", "මේ ගහ යට ඇඳල තියෙන මල්වල කහ පාටට මමත් හරිම කැමතියි"* වගේ අදාල පුද්ගලයා කළ නිර්මාණයට "විශිෂ්ඨ වූ" අගය කිරීමක් ලැබීමයි වැදගත්.
  • Increased Self-esteem and Self-confidence (ආත්ම අභිමානය හා විශ්වාසය): පෙර කී හේතුව නිසාම ඇතිවන සම්බන්ධතා, තමන් "වටිනා දෙයක් කළ හැකි අයෙක්" බව හැඟීම තුල, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයාගේ හිතට සතුටක් ලැබෙන අතරේ, තමන් ගැන ආඩම්බරයක් මතු කරගන්නට උත්සාහ කරනවා. එය, අදාල පුද්ගලයාගේ කායික වගේම මානසික සෞඛ්යයටත් හරිම වැදගත්.
  • Improved Quality of Life (ජීවන තත්ත්වය උසස් වීම): ඉහත හේතු සියල්ල මත, එම පුද්ගලයාගේ ජීවන තත්ත්වයේ යහපත් මට්ටමක් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.

යොදාගත හැකි ද්‍රව්‍ය හා උපදෙස්

මෙම ක්රියාකාරකම් සඳහා , විෂ නොවන (Non-toxic Artist Acrylic Paint) ඇක්රිලික් වර්ගයේ තීන්ත, දියසායම් වැනි වර්ණ යොදා ගන්නට පුළුවන් අතර, පින්සල් තෝරා ගැනීමේදී අදාල පුද්ගලයාගේ හැකියාවන් අනුව පින්සලේ පළල, සුමට බව, පින්සලේ කඳ තෝරා ගැනීම වැදගත්.

කඩදාසි මත මෙම නිර්මාණ කළ හැකි වුවත්, එය ගැටළුකාරී වන අවස්ථා මතුවිය හැක්කේ, පින්සල, තීන්ත අනුව කඩදාසිය ඉරී යාම, වර්ණ බොඳ වීම වැනි තත්ත්ව වලදි , අපේක්ෂා කරන දේ නොලැබීම තුල මෙම පුද්ගලයන් ආවේගශීලී වීම හෝ ක්රියාකාරකමට එක් නොවීමට ඉඩ ඇති නිසාවෙන්. කැන්වසයක් භාවිත කළ හැකි නම් මෙම අපහසුතා සීමාවනවා වගේම කැන්වසයේ ස්වභාවය, මතුපිට සුමට / රළු බව වගේ සාධකත් වටිනාකමක් එකතු කරනවා.

මීට අමතරව, අංක මත වර්ණ ගැන්වීම (Paint By Numbers) වැනි සරල ක්රියාකාරකම් නිවසේදී උත්සාහ කරන්නත් පුළුවන්.



සායනික Art Therapy සැසියක අත්දැකීමක්

මගේ වැඩසටහන තුල කළ Art Therapy session එකක් තුලදී සිදුවූ ක්රියාකාරකමක් මෙසේ සටහන් කරන්න පුළුවන්. මෙම වැඩසටහනට සම්බන්ධ වන්නේ , මූලික මට්ටමේ සිට උග්ර මට්ටමේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයන් (වයස් සීමාව අවුරුදු 42 සිට අසූ නමය දක්වා සේවාලාභීන්).

ඔවුන්ට ලබා දී තිබුණු උපකරණ වුනේ, ඇක්රිලික් වර්ණ කිහිපයක්, රාමුව සහිත කැන්වසයක්, පින්සල් දෙකක් සහ ටේප් කිහිපයක්. ඇබ්ස්ට්රෑක්ට් (Abstract) ක්රමයේ චිත්ර ක්රියාකාරකමක් වූ මෙයට ලබා දුන් මාතෘකාව වුනේ "My Life". චිත්ර වැඩසටහනේ අවශ්යතාවය වුනේ ඔවුන්ට සතුටක් ලබා දීම, සක්රිය ක්රියාකාරකමක් ලබා දීම වගේම ඔවුන්ගේ ජීවිතය ගැන යම් හැඟීම් ප්රකාශනයක් ඔවුන්ගෙන් ලබා ගැනීමට.

වැඩසටහන පැයක කාල සීමාවක් තුල සිදුවුනා. පසුබිමේ, ඔවුන්ගේ උපන් වයස් සීමාවන් අනුව, ඔවුන්ගේ ජීවිතේ යොවුන්, තරුණ සහ මැදිවිය සමඟ ගැලපෙන සංගීත ඛණ්ඩයන් වාදනය වුනා. පසුබිමේ ආලෝකය ලෙස, මුල් පැය භාගය 5000K සහිත Cool white ආලෝකයත්, අවසාන පැය භාගය 3000K warm white වූ ආලෝකයත් මෘදු ලෙස මාරු වන ලෙස සකසා තිබුණා.

ඩිමෙන්ෂියා සුව අසපුව SL Dementia වෙතට ගියොත් ඔවුන්ගේ නිර්මාණ රසවිඳින්නත් ඔබට පුළුවන්.

2023/03/03

"ව්‍යාජ ඩිමෙන්ෂියාව" - Pseudo Dementia

"අර වෙදමාත්තයා මගේ අප්පොචිචිගේ ඩිමෙන්ෂියාව හොඳ කළා" කියල කියන අවස්ථා වලදි ඇත්තටම සිදුවෙන්නේ මේ කතා කරන්න හදන, Pseudo Dementia තත්ත්වයක සුව කිරීමක්. ඒ සුව කරල තියෙන්නේ "ඇත්තම ඩිමෙන්ෂියාව" නොවෙයි. ඩිමෙන්ෂියාව වගේ ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්ත්වයක්. මෙම අවස්ථාව තවත් රෝග ගණනාවක් එක්ක මතු වෙන්නට පුළුවන් වුනත් විශාදය (Depression) සමඟ මතුවන අවස්ථා අපට බහුලව දකින්නට ලැබිලා තිබෙනවා.

කෙටි කාලීන මතකය නැතිව යාම (ඒ සමඟම දිගු කාලීන මතකයත් අඩුවීම මෙතැනදි ඇති වෙනසක්), තීරණ ගැනීමට නොහැකි වීම, දවසේ වැඩකටයුතු කරගන්නට බැරිවීම, කතා කරන්නට වචන නැති වීම වගේ, ඩිමෙන්ෂියාවේ දැකිය හැකි පොදු ලක්ෂණ සියල්ලක්ම වගේ මෙතැනදීත් ඇති වෙනවා.

ටික කලක් මේ තත්ත්වයත් එක්ක ජීවත්වන එම පුද්ගලයා, කෑම බීම සඳහා ඇති කැමැත්ත අඩුවීම, පිරිසිදු කිරීම් වලට අකමැතිවීම, බිඳ වැටුනු පෞරුෂත්වය, ඉන්නා තැන, කළ යුතුදේ ගැන අදහසක් නොමැති නිසා අනතුරු වගේම වෙනත් ගැටළු වලට පත්වීම... යනාදී වශයෙන් "නියම ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්" ලෙසටම හඳුනාගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මේ ලක්ෂණ ඇති වීමට හේතුවන ඇත්තම තත්ත්වය ඩිමෙන්ෂියාව නොව, විශාදය (Depression) වීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ ආකාරයට කාලයක් ගත වෙත්දී, අදාල මූලික රෝග තත්ත්වය වන විශාදය (Depression) තත්ත්වයට නිසි ප්රතිකාර නොලැබුණොත්, මෙම ව්යාජ ඩිමෙන්ෂියා තත්ත්වය, ඩිප්රෙෂන් සහ පසුව ඇතිවිය හැකි නියම ඩිමෙන්ෂියා තත්ත්වයත් සියල්ල එකතු වූ, ප්රතිකාර කිරීම මෙන්ම හඳුනාගැනීමට අපහසු තත්ත්වයන්ට පත්වෙන්නට පුළුවන්.

එම නිසා, ඔබේ මව, පියා ඥාතියා "ඩිමෙන්ෂියාවේ ලක්ෂණ" පෙන්වන්නට ගත්තොත්, කලබල වී "ඩිමෙන්ෂියාව හොඳ කරන දිවැසිවරු" හොයාගෙන යන්න ඉස්සර වෙලා, ඩිමෙන්ෂියාව පිළිබඳ විශේෂිත පුහුණුවක්, දැනුමක් වගේම අත්දැකීමක් ඇති ලියාපදිංචි සහ පිළිගත් වෛද්යවරයෙක් ඔස්සේ අදාල පුද්ගලයාගේ "ඇත්තම තත්ත්වය" තහවුරු කරගැනීමත්, ඒ අනුව ප්රතිකාර ලබා ගැනීමත් වැදගත්.



ඩිමෙන්ෂියාව සහ Pseudo Dementia අතර වෙනස්කම්

අපි දැන් බලමු මෙම අවස්ථා දෙක අතර සමාන, අසමානකම් කිහිපයක්. ඒ ඔස්සේ මෙම වෙන්කර හඳුනාගැනීම කොයිතරම් වැදගත්දැයි ඔබටම වැටහේවි:

1. සුව කිරීම (Reversibility)

  • ඩිමෙන්ෂියාව (True Dementia): මොළයේ පටක මියයාම් ඇති කරන, එම පටක විනාශ වීම මත ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයන් සුව කළ නොහැක. කළ හැක්කේ මතුවන ගැටළු, අපහසුතා සීමා කරගැනීම සහ සමහර අවස්ථා වලදී මොළයට හානිවන වේගය අඩු කරගනිමින්, ඩිමෙන්ෂියාව සංකීර්ණ වීම යම් පාලනයක් කරගැනීමට උත්සාහ කිරීම පමණි.
  • Pseudo Dementia: Pseudo Dementia ඇති කළ හේතුවට (උදා - මානසික අවපීඩනය, විශාදය) නිසි ප්රතිකාර, චිකිත්සාවන් ලබා දුනහොත් මතුවී ඇති "ඩිමෙන්ෂියා ලක්ෂණ" සම්පුර්ණයෙන්ම ඉවත්ව යනවා. සුව වෙනවා කියන්න පුළුවන්. නමුත් මේ "ඩිමෙන්ෂියාව සුව වීමක්" නොව, ඩිමෙන්ෂියා ලක්ෂණ ඇති කළ වෙනත් තත්ත්වයක් සුව වීමක් බව දැන් ඔබට වැටහේවි.

2. හේතුව (Underlying Cause)

  • ඩිමෙන්ෂියාව: ඩිමෙන්ෂියා තත්ත්වය සඳහා හේතුව මොළයේ පටක වලට සිදුවන නැවත හැරවිය නොහැකි හානියක් (සෛල මිය යාමක්) වේ.
  • Pseudo Dementia: ප්රතිකාර ඔස්සේ හැරවිය හැකි මානසික/කායික රෝගයක් හෝ කිහිපයක් හේතු වේ.

3. ආරම්භය (Onset)

  • Pseudo Dementia: බොහෝ අවස්ථා වලදී ඉක්මන් ආරම්භයක් දක්වන (මානසික අවපීඩනය හෝ අධික මානසික ආතතික තත්ත්වයන් වැඩිවීමත් සමඟ කෙටි කාල සීමාවක් තුල වැඩිවීමක්) අතර,
  • ඩිමෙන්ෂියාව: තරමක් සෙමින් සිදුවන ක්රමානුකූල ලෙස වැඩිවන ලක්ෂණ පෙන්වීමක් කරයි (මෙය ඩිමෙන්ෂියා වර්ගය අනුව වෙනස් වන්නට පුළුවන්).

වැදගත්ම දේ: නිවැරදි දැනුවත්වීම

තවත් මේ ගැන කතා කරන්නට, ප්රතිකාර පරිසරය තුල ලැබූ අත්දැකීම් මෙන්ම අළුත් පර්යේෂණ පිළිබඳ ලැබෙන දැනුවත් කිරීම් ඔස්සේ බොහෝ දේ ඇතත්, මේ තරමටවත් දැනුවත් වෙන්නට පුළුවන් නම් එයම ජයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා, වැදගත්ම දේ "නිවැරදි දැනුවත්වීමයි".

ඒ සඳහා මෙම තත්ත්වය ගැන දැනුමැති සුදුසුකම් සහිත සෞඛ්ය වෘත්තිකයන් ලබා දෙන "යාවත්කාලීන වූ දැනුම" ලබා ගන්න. (මෙය බටහිර, ආයුර්වේද හෝ සිංහල යැයි කියන වෙදකම වුවද ගැටළුවක් නැත. වැදගත් වන්නේ "නිවැරදි" සහ විද්යාත්මක ලෙස සනාථ කර ලබා ගත් දැනුම ඔස්සේ කටයුතු කිරීමයි. ඒ හැර "සාම්ප්රදායික හෝ පරම්පරාවෙන් එන" ලෙස කී පමණින්, සියළු රෝග සුව කළ හැකි අදිසි බලවන්තයන්ගේ වංචාවලට හසුනොවන්න.)

කෙසේ වෙතත්, Dementia ලෙස වෛද්ය නිර්දේශයක් (Medical diagnosis) ලැබුණත් Pseudo Dementia ලෙස වෛද්ය නිර්දේශයක් ලැබෙන්නේ නැහැ. මක්නිසාද එතැනදී ඊට හේතුවන මානසික රෝගී තත්ත්වයටයි රෝග නිර්ණය ලැබෙන්නේ.

පාදක වන මානසික රෝගී තත්ත්වය අනුව, විවිධ චිකිත්සා ක්රම, උපදේශනයන් සහ ඖෂධීය ප්රතිකාර ඔස්සේ ප්රතිකාර කිරීමෙන්, මතුවූ Pseudo Dementia තත්ත්වය "සුවවී" සාමාන්ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් බව නම් සායනික පරිසරය තුල ලැබෙන අත්දැකීම් මත කියන්නට පුළුවන්.