ඩිමෙන්ෂියාව හෝ ඊට ආසන්න මතකය දුර්වල වීමේ තත්ත්වයක් සමඟ ජීවත්වන අයෙකුගේ සතුට, ක්රියාකාරීත්වය, මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීමට හෝ දුර්වල වීමේ වේගය සීමා කරගැනීමට වගේම, දවසේ කටයුතු වලදී ඇතිවන පීඩාකාරී, අපහසුකාරී තත්ත්වයන් මඟහරවා සතුටුදායක, මතකයන් අළුත් කරවන හොඳ ක්රියාකාරකමක් තමයි "පිංතූර පොත" (Photo Album) සමඟ එක්වන්නට සහ ඒ ඔස්සේ පවුලේ අය සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලබා දීම.
පිංතූර ඇල්බමයක් සාර්ථකව සූදානම් කරගන්නේ කෙසේද?
- කාලනුක්‍රමික පිළිවෙල (Chronological Order): පිංතූර ලබා ගත් දිනය හෝ අදාල සිදුවීමේ දිනයට අදාලව, දින පිළිවෙලකට හෝ වෙනත් යම් තේරුම්ගත හැකි "පිළිවෙලකට" සංවිධානය කර තිබීම.
- විස්තර සටහන් කිරීම: හැම පිංතූරයක් සමඟම අදාල සිදුවීම ගැන කෙටි සටහනක්, දිනය, පිංතූරය තුල සිටින්නේ කවුරුන්ද යන්න (නම් හෝ අදාල පුද්ගලයා භාවිත කරන හුරුපුරුදු ආමන්ත්රණයන්ට අනුව), සහ සිදුවීමේ ස්ථානය පැහැදිලිව සටහන්ව තිබීම.
- වේදනාකාරී මතක ඉවත් කිරීම: මෙම පිංතූර පොත පරිහරණය කරන පුද්ගලයාට "පීඩා විය හැකි" සහ අප්රසන්න මතකයන් අළුත් විය හැකි පිංතූර ඉවත් කර සූදානම් කිරීම.
- අවධානය බිඳ නොවැටෙන පසුබිමක්: අදාල පුද්ගලයා කැමති පසුබිම් වර්ණ සහිතව සහ හිත වෙනතකට යොමු කරන අතිරේක බාධාකාරී දෑ (distracting objects) ඉවත් කර සරලව සැකසීම.
ක්‍රියාකාරකම සිදු කරන ආකාරය
පිංතූර පොත යොදා ගෙන ක්රියාකාරකමක් කිරීමේදී, නිකංම පිංතූර පොත අතට දීමට වඩා:
- පිංතූර පොත පෙරළමින් අදාල පුද්ගලයා සමඟ සුහද කතාබහකට එක්වීම.
- අදාල සිදුවීම් ගැන ඔවුන්ගේ කැමැත්ත පරිදි සාකච්ඡා කිරීම.
- පිංතූරය තුල සිදුවීමට අදාල රසකතා නැවත මතු කරගැනීමට උදව්වීම.
වඩාත් සාර්ථක කරගැනීමට උපදෙස්:
- සුදුසු වේලාව: මෙම ක්රියාකාරකම දවසේ ඕනෑම වෙලාවක භාවිත කළ හැකි වුවත්, උදය තේ විවේකය සමඟ උත්සාහ කිරීම වඩාත් සාර්ථක ප්රතිඵල ලබා දෙයි.
- පරිසරය සහ ආලෝකය: හොඳින් ආලෝකය ලැබෙන තැනක් සූදානම් කරගැනීම සහ පොත පහසුවෙන් රඳවා ගත හැකි ආකාරයක් සැකසීම.
- ඩිජිටල් මාධ්‍ය භාවිතය: අද පවතින තාක්ෂණික ක්රම අනුව, සාම්ප්රදායික පොතක් වෙනුවට අදාල පිංතූර ස්කෑන් කර හෝ ජංගම දුරකථනය ඔස්සේ රූපවාහිනියකට හෝ ඩිජිටල් පිංතූර රාමුවකට (Digital Photo Frame) එක්කර ද මෙම ක්රියාකාරකම කළ හැකිය.
- රසවින්දනය: අදාල පුද්ගලයා කැමති පසුබිම් සංගීත ඛණ්ඩයක් වාදනය වන අතරේ, කැමති තේ හෝ කෝපි කෝප්පයක් රසවිඳිමින් මෙම කතාබහ පවත්වා ගැනීමෙන් ඉතා සාර්ථක ප්රතිඵල ලැබේ.
Photo Reminiscence Therapy (pRT)
මෙම සරල නිවෙස් ක්රියාකාරකම, ඩිමෙන්ෂියා සහ ආශ්රිත මතකය දුර්වල වන තත්ත්ව වලදී සායනිකව සාර්ථකව යොදා ගන්නා Photo Reminiscence Therapy (pRT) ලෙස හඳුන්වන චිකිත්සීය ක්රමවේදයක නිවස තුල පහසුවෙන් යොදාගත හැකි ආකෘතියකි.