2023/11/11

ඩිමෙන්ෂියා සාත්තුවට උදව්වක්: පුහුණු සාත්තු සේවකයෙකු (Dementia Trained Caregiver) තෝරාගැනීම, සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලිය සහ අධීක්ෂණය

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන සාමාජිකයෙකු තම පවුල තුළ සිටින සෑම කෙනෙකුටම වැදගත් වන පොදු කරුණක් වන්නේ සාත්තුව ලබා දීමයි. විශේෂයෙන්ම, සාත්තුව ලබා දීමට සාත්තු සේවකයෙකු (Caregiver) තෝරා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමු.

කොතෙක් උත්සාහ කළත්, පවුලේ කෙනෙකුට තනිවම සියලු සත්කාර සිදුකිරීමට නොහැකි වන අවස්ථාවකදී (Respite care අවශ්‍ය වන විට) බාහිර සාත්තුකරුවෙකුගේ උදව් ලබා ගැනීමට සිදුවිය හැක.



1. Formal vs. Informal Caregivers: වෙනස කුමක්ද?

  • Informal Caregivers (විධිමත් පුහුණුවක් නොලත් සාත්තුකරුවන්):
පවුලේ සාමාජිකයන්, ඥාතීන් හෝ මිතුරන් වේ. විශේෂිත අධ්‍යාපනික පුහුණුවක් නොමැති වුවද, අත්දැකීමෙන් හා කරුණාවෙන් එදිනෙදා වැඩකටයුතු (කෑම, බීම, ඇඳුම් ඇඳීම) කරදීමට උදව් වෙති.
  • Formal Caregivers (විධිමත් පුහුණුව ලත් වෘත්තීය සාත්තුකරුවන්):
ඩිමෙන්ෂියා සාත්තුව පිළිබඳ සැලසුම්ගත අධ්‍යාපනයක්, සායනික පුහුණුවක් සහ අධීක්ෂණයක් ලබා ඇති වෘත්තිකයන් වේ.
⚠️ ඩිමෙන්ෂියා සාත්තුව යනු හුදෙක් "වැඩ ටිකක් කර දීම" පමණක් නොවේ:
බෙහෙත් ටික ලබා දීම, කෑම කැවීම, නෑවීම පමණක් නොව, රෝගියාගේ මානසික හා චර්යාත්මක වෙනස්වීම් (BPSD) තේරුම් ගෙන, චිකිත්සීය ප්‍රවේශයන් (Person-Centred Care & Non-Drug Strategies) ඔස්සේ ගුණාත්මක සත්කාරයක් (Quality Care) ලබා දීම ඩිමෙන්ෂියා පුහුණුව ලත් සාත්තුකරුවෙකුගේ (Dementia Trained Caregiver) විශේෂත්වයයි.

2. ඩිමෙන්ෂියා අවධිය අනුව අවශ්‍ය වන සාත්තු මට්ටම

  • මුල් අවධිය (Early Stage): සුළු අමතකවීම් පමණක් ඇති බැවින්, සාමාන්‍ය සැලකිලිමත් බවක් සහ සහයෝගයක් ප්‍රමාණවත් වේ.
  • මැදි අවධිය (Moderate Stage): මතකය බොහෝ සෙයින් අඩුවීම, අනාරක්ෂිතව ඇවිද යාම (Wandering Risk), චර්යාත්මක වෙනස්වීම් ඇතිවන බැවින් ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍ය වේ.
  • පසු අවධිය (Advanced / Late Stage): එකතැන්වීම, ආහාර ගිලීමේ අපහසුතා (Dysphagia) සහ පූර්ණ යැපීම් ඇතිවන බැවින් පළපුරුදු, විශේෂිත ඩිමෙන්ෂියා සාත්තු පුහුණුවක් අත්‍යවශ්‍ය වේ.

3. සාත්තු සේවකයෙකු තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලිය (Dementia Caregiver Interview)

සාත්තුකරුවෙකු බඳවා ගැනීමේදී පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance) සහ පෙර සේවා නිර්දේශ (References) පරීක්ෂා කිරීමට අමතරව, පහත සඳහන් ලකුණු 50 ක ප්‍රශ්නාවලිය භාවිත කළ හැකිය:

📊 ලකුණු ලබාදීමේ ක්‍රමය (Scoring Guide 1-5):
* 1 = දුර්වලයි (ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුමක් නැත / අනාරක්ෂිතයි)
* 2 = මූලිකයි (සීමිත දැනුම, කාර්යය කේන්ද්‍රීය පමණි)
* 3 = ප්‍රමාණවත් (සාමාන්‍ය පුහුණුව හා ප්‍රවේශය)
* 4 = හොඳයි (ඩිමෙන්ෂියා දැනුම සහ Person-Centred Care හැකියාව)
* 5 = විශිෂ්ටයි (ශක්තිමත් පුහුණුව, සහකම්පනය සහ ආරක්ෂිත ක්‍රමවේද)

ප්‍රශ්න 10:

  1. ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ ඔබ ලබා ඇති පුහුණුව හෝ අධ්‍යාපනය කුමක්ද? (What training or education have you had in dementia care?)
  2. ඩිමෙන්ෂියාව යනු කුමක්දැයි ඔබ පවුලේ සාමාජිකයන්ට පැහැදිලි කරන්නේ කෙසේද? (How do you explain dementia to families?)
  3. නැවත නැවත එකම ප්‍රශ්නය අසන හෝ ව්‍යාකූල වූ රෝගියෙකු සමඟ ඔබ සන්නිවේදනය කරන්නේ කෙසේද? (How would you communicate with a person who is confused or repeating questions?)
  4. පුද්ගලයා කලබලකාරී හෝ ආක්‍රමණශීලී වූ විට ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? (What would you do if the person becomes agitated or aggressive? - Reassurance & Non-drug strategies)
  5. වැටීම් (Falls) හෝ අතරමංවීම් (Wandering) අවදානම ඇති අයෙකුගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? (How do you ensure safety for someone at risk of falling or wandering?)
  6. නෑවීම හෝ ඇඳුම් ඇඳීම වැනි පුද්ගලික සාත්තුවේදී රෝගියාගේ ගෞරවය (Dignity) ආරක්ෂා කරන්නේ කෙසේද? (How do you maintain dignity during personal care?)
  7. රෝගියා සාත්තුව ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ඔබ කටයුතු කරන්නේ කෙසේද? (How do you handle situations where the person refuses care? - Redirection & Flexibility)
  8. සාත්තු ක්‍රියාවලියට පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගන්නේ කෙසේද? (How do you involve family members in dementia care?)
  9. චිත්තවේගීය යහපැවැත්ම ඉහළ නැංවීමට සහ ආතතිය අඩු කිරීමට ඔබ කරන්නේ කුමක්ද? (How do you support emotional well-being and reduce anxiety? - Validation & Engagement)
  10. ඔබ මුහුණ දුන් අභියෝගාත්මක ඩිමෙන්ෂියා සාත්තු අත්දැකීමක් සහ එය විසඳූ ආකාරය පැහැදිලි කරන්න. (Can you share a challenging dementia care situation and how you handled it?)

ලකුණු අර්ථකථනය (Total Score / 50):

  • 45 – 50: විශිෂ්ට ඩිමෙන්ෂියා පුහුණු සාත්තුකරුවෙකි (Excellent).
  • 35 – 44: හොඳ ඩිමෙන්ෂියා දැනුමක් සහිත සාත්තුකරුවෙකි (Good).
  • 25 – 34: මූලික කුසලතා පමණක් ඇත, දැඩි අධීක්ෂණයක් අවශ්‍ය වේ (Basic).
  • 25 ට අඩු: ඩිමෙන්ෂියා සාත්තුව සඳහා නුසුදුසුය (Not Suitable).

4. සාත්තු සේවකයෙකු බඳවා ගැනීමෙන් පසු අනුගමනය කළ යුතු පියවර 5ක්

  1. පැහැදිලි කාර්යභාරයන් සහ සීමාවන් නියම කරන්න (Set clear roles & Care Plan):
දෛනික චර්යාව, කළ යුතු සහ නොකළ යුතු දේ ඇතුළත් ලිඛිත සාත්තු සැලසුමක් (Care Plan) ලබා දෙන්න.
  1. ඔවුන්ගේ ඩිමෙන්ෂියා දැනුම සක්‍රියව භාවිත කරන්න (Active communication):
රෝගියාගේ චර්යා වෙනස්වීම් සහ සාත්තුකරු මුහුණදෙන ගැටළු පිළිබඳව නිතර සුහදව සාකච්ඡා කරන්න.
  1. සාත්තු සැලසුම් යාවත්කාලීන කිරීමට ඔවුන්ව සම්බන්ධ කරගන්න (Care planning):
රෝගියාගේ තත්ත්වය වෙනස්වන විට සාත්තුකරුගේ ප්‍රායෝගික අදහස්ද සැලකිල්ලට ගන්න.
  1. අධීක්ෂණ කැමරා භාවිතය (Safety & Care Review):
ආරක්ෂාව සහ සාත්තුවේ ගුණාත්මකභාවය තහවුරු කරගැනීමට පොදු ප්‍රදේශ ආවරණය වන පරිදි කැමරා භාවිතය පිළිබඳව සාත්තුකරු දැනුවත් කරන්න.
  1. අන්තර්ක්‍රියා නිරීක්ෂණය කරන්න (Observe Interactions):
සාත්තුකරු ඉදිරියේ රෝගියා දක්වන ප්‍රතිචාර, මුහුණේ ඉරියව් සහ සුවපහසුව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන්න.

සමාප්තිය

නිසි දැනුම සහ සහකම්පනය සහිත ඩිමෙන්ෂියා සාත්තු සේවකයෙකු තෝරාගැනීම සහ පවුලේ අය සමඟ කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ඔබේ ආදරණීයයාට වඩාත් ගෞරවනීය හා සුවදායී ජීවිතයක් උරුම කරදිය හැක.

2023/11/04

ඩිමෙන්ෂියා සාත්තුවේදී Respite Care: සාත්තු සපයන්නන්ගේ මානසික බිඳවැටීම (Burnout) වළක්වා ගැනීමට විවේක සත්කාරයේ වැදගත්කම

සාත්තුව හෙවත් සත්කාරය (Caregiving) කියූ සැණින් එහි ඇති බැරෑරුම් වගකීම අපට හැඟේ. තවත් අයෙකුට සාත්තු කිරීමේදී තිබිය යුතු දැනුම, ලබාදිය යුතු සාත්තුවේ නිවැරදි බව, සුවපහසුව, විය හැකි අතපසුවීම් සහ ඒ ඔස්සේ මතුවිය හැකි සංකූලතා පිළිබඳව විශාල වගකීමක් සාත්තුකරු මත පැටවේ.

එයිනුත්, ඩිමෙන්ෂියා සාත්තුව යනු වඩාත් සංකීර්ණ, කායිකව මෙන්ම දැඩි මානසික වෙහෙසක් ගෙනදෙන ක්‍රියාවලියකි. ඒ නිසාම සාත්තු සපයන්නන් ඉතා ඉක්මනින් Caregiver Burnout, Chronic Stress හෝ Depression වැනි මානසික බිඳවැටීම්වලට ලක්වීමේ අවදානම ඉහළය. මෙන්න මේ හානිකර තත්ත්වයන් වළක්වා ගැනීමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ Respite Care (විවේක සත්කාරය) යි.



මොකක්ද මේ Respite Care කියන්නේ?

Respite Care යනු, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයාට සාත්තු කරන ප්‍රධාන සාත්තුකරුට (Primary Caregiver) යම් විවේකයක්, සැහැල්ලුවක් ලබාදීම පිණිස සුදුසු පුහුණුවක් හෝ දැනුමක් සහිත වෙනත් අයෙකු අදාළ සාත්තු ක්‍රියාවලියට තාවකාලිකව මැදිහත් වීමයි.

💡 සරල උදාහරණයක්:
ඔබ දිනපතා ඔබේ මවට සාත්තු කරමින් දැඩි වෙහෙසකින් පසුවන විට, ඔබේ සහෝදරිය පැමිණ "මේ සති අන්තයේ ඔයා නිදහසේ රෙස්ට් කරන්න, මම අම්මව බලාගන්නම්" යැයි පැවසීම ඔබට මහත් සැනසීමක් ගෙනදෙයි. ඉන් අදහස් වන්නේ ඔබ මවට සාත්තු කිරීමට අකමැති බවක් නොවේ; ඔබටත් යම් මානසික හා කායික විවේකයක් අත්‍යවශ්‍ය බවයි. මෙම මැදිහත්වීම පවුල තුළින්ම ලැබෙන Respite Care එකකි.

මෙලෙස නිසි විවේකයක් ලබාගැනීමෙන්, සාත්තු සපයන්නා දිගුකාලීනව burnout නොවී, වඩාත් ඉවසීමෙන්, කරුණාවෙන් සහ කාර්යක්ෂමව දිගටම සාත්තු ලබාදීමට ශක්තිය ලබාගනී.



Respite Care ලබාගත හැකි ප්‍රධාන ක්‍රමවේද 5ක්

1. පවුල තුළින්ම සැලසුම් කරගන්නා විවේක සත්කාරය (Family-Based Respite)

වඩාත්ම ලාභදායී සහ ප්‍රායෝගික ආරම්භය මෙයයි.
  • රෝග විනිශ්චය ලැබුණු මුල් අවස්ථාවේම පවුලේ සාමාජිකයන් එක්ව සාකච්ඡා කර වගකීම් බෙදාගන්න.
  • එක් අයෙකු මත පමණක් සියලු බර නොපටවා, සතියේ දින සහ සති අන්ත ලෙස හෝ දවසේ වේලාවන් අනුව සාත්තු වගකීම බෙදාගන්න.

2. නිවසට පැමිණෙන විවේක සත්කාර (In-Home Respite Services)

විශේෂිත පුහුණුවක් ලත් සාත්තු සේවකයෙකු නිවසට පැමිණ පැය කිහිපයකට හෝ දිනකට රෝගියා රැකබලා ගනිමින් ප්‍රධාන සාත්තුකරුට නිදහසේ තම වැඩකටයුතු කරගැනීමට අවස්ථාව සලසා දීම. (මෙහිදී ඩිමෙන්ෂියා සත්කාරය පිළිබඳ නිසි පුහුණුවක් ඇති ආයතන තෝරාගැනීම අතිශය වැදගත් වේ).

3. වැඩිහිටි දින සත්කාර වැඩසටහන් (Adult Day Programs)

විදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන්වලදී, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයා දිවා කාලයේදී (උදෑසන 9 සිට සවස 3 දක්වා) විශේෂිත මධ්‍යස්ථානයකට යොමු කෙරේ. එහිදී පුහුණු වෘත්තිකයන් යටතේ මතකය උත්තේජනය කරන චිකිත්සීය හා සාමාජික ක්‍රියාකාරකම්වල යෙදෙන අතර, සාත්තු සපයන්නාට සම්පූර්ණ දවසක් නිදහසේ විවේක ගැනීමට අවස්ථාව ලැබේ.

4. මාර්ගගත විවේක වැඩසටහන් (Virtual Respite Programs)

ඩිමෙන්ෂියාවේ මුල් හෝ මධ්‍යම අවධියේ පසුවන, තවමත් සන්නිවේදනය කළ හැකි පුද්ගලයන් වෙනුවෙන් පරිගණකය හෝ දුරකථනය ඔස්සේ ක්‍රියාත්මක වන සංගීත, කලා හා සංවාදාත්මක වැඩසටහන්. එම කාලය තුළ සාත්තුකරුට මඳ විවේකයක් ලැබේ.

5. කෙටි කාලීන නේවාසික සත්කාර (Short-Stay Residential Respite)

සති අන්තයක් හෝ සති කිහිපයක නිවාඩුවක් සඳහා සාත්තු සපයන්නාට බැහැර වීමට අවශ්‍ය වූ විට, Assisted Living හෝ Long-Term Care මධ්‍යස්ථානයක රෝගියාව කෙටි කලකට නේවාසිකව රඳවා තබා ගැනීම.

ශ්‍රී ලංකාව සඳහා ඉදිරි දැක්ම: Dementia Community Companion

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආයතනික පහසුකම් තවමත් ප්‍රමාණවත් තරම් නොමැති වුවද, වැඩිවන වියපත් ජනගහනය සමඟ රජයේ සහ පෞද්ගලික අංශයේ මෙවැනි සේවාවන් ඇතිවීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම, පුහුණුව ලත් ස්වේච්ඡා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් Dementia Community Companion ජාලයක් අපගේ සමාජය තුළ ගොඩනැගීම තුළින්, නිවෙස්වල තනිව වෙහෙසෙන පවුල්වල සාත්තු සපයන්නන්ට මහඟු සහනයක් ලබාදිය හැකිය.

2023/10/28

Dementia Caregiver Burnout: ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී වෙහෙස (Fatigue) ඉක්මවා යන මානසික හා කායික බිඳවැටීමෙන් මිදීමට මග

රෝගියෙකුට සාත්තු කිරීම යනු කායික හා මානසික වශයෙන් මහත් වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමකි. ඒ අතරින්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කිරීමේදී එම වෙහෙස තවත් තීව්‍ර වේ.



1. සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue) vs. Caregiver Burnout

  • සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue):
කායිකව හා මඳ වශයෙන් මානසිකව දැනෙන තාවකාලික මහන්සියකි. හොඳ නින්දක්, කෙටි විවේකයක් හෝ නිවාඩුවක් මගින් යථා තත්ත්වයට පත්විය හැක.
  • Caregiver Burnout:
කායික වෙහෙස, මානසික පීඩාව සහ චිත්තවේගීය බර එක්ව හටගන්නා දීර්ඝකාලීන බිඳවැටීමකි (Chronic Emotional & Physical Exhaustion). විවේකයකින් හෝ නින්දකින් පවා සුවයක් නොලැබෙන අතර, ශක්තිය සහ උද්යෝගය සම්පූර්ණයෙන්ම සිඳී යයි.
⚠️ අවදානම් සහගත ප්‍රතිඵල:
Burnout තත්ත්වයට පත්වූ විට සාත්තුවේ ගුණාත්මකභාවය පහත වැටීම, රෝගියා කෙරෙහි නොඉවසිලිමත්කම හෝ කෝපය ඇතිවීම සහ අන්ත අවස්ථාවලදී නොදැනුවත්වම කායික/මානසික පීඩා (Caregiver Neglect or Abuse) සිදුවීමේ "හානිකර විෂම චක්‍රයකට" (Vicious Cycle) මැදිවිය හැක.

2. Caregiver Burnout තත්ත්වයට හේතු 7ක්

1. සන්නිවේදනයේ බාධාවන්

BPSD (Behavioral and Psychological Symptoms of Dementia) නිසා රෝගියා තම අවශ්‍යතා වචනයෙන් පැහැදිලි කිරීමට අපොහොසත් වීම. වචන වෙනුවට ඉඟි, හැඬීම්, කෝපවීම් වැනි නිර්වාචික චර්යාවන් නිරන්තර විමසිල්ලෙන් හඳුනාගැනීමට සිදුවීම අධික වෙහෙසකි.

2. අනපේක්ෂිත චර්යාත්මක වෙනස්වීම්

අහේතුකව අනාරක්ෂිත ලෙස ඇවිද යාම (Wandering / Elopement Risk), සැකකිරීම්, බැන වැදීම්, ආවේගශීලී හැසිරීම් මෙන්ම සවස් කාලයේදී උත්සන්න වන Sundowning සහ රාත්‍රී නිදිවැරීම් හේතුවෙන් සාත්තු සපයන්නාට සුව නින්දක් අහිමි වීම.

3. නිමාවක් නොවන කායික උපකාර

නෑම, ඇඳුම් ඇඳීම, වැසිකිලි යාම, මාරු කිරීම් සහ පෝෂණය වැනි කායික සාත්තු කටයුතු දිනපතා නැවත නැවතත් රෝගියාගේ අවම සහභාගීත්වයෙන් යුතුව කිරීමට සිදුවීම.

4. වෙනස්වීම් අත්දැකීමේ මානසික වේදනාව (Ambiguous Loss)

පෙනුමෙන් තමන්ගේ ආදරණීය මව, පියා හෝ සහකරු වුවද, මතකය හා පෞරුෂය වෙනස්වීම නිසා තමන්ව හඳුනා නොගැනීම දැකීමෙන් සාත්තු සපයන්නා තුළ හටගන්නා දැඩි ශෝකය සහ චිත්තවේගීය බර.

5. පෞද්ගලික ජීවිතය දෙවැනි තැනට දැමීම

පැය 24 පුරා සාත්තු වගකීම නිසා තම රැකියාව, පවුලේ සෙසු දරුවන්ගේ අවශ්‍යතා, සමාජ සම්බන්ධතා සහ පුද්ගලික විනෝදාංශ සම්පූර්ණයෙන්ම අහිමි වීම.

6. ආර්ථික සහ නීතිමය පීඩනය

ඖෂධ, සාත්තු ආධාරක සහ අතිරේක සත්කාර සඳහා යන පිරිවැය මෙන්ම දේපළ හා නීතිමය වගකීම් පිළිබඳ ගැටළු.

7. අපේක්ෂිත පවුලේ හෝ සමාජයේ සහයෝගය නොලැබීම

සියලු බර එක් අයෙකු මත පැටවීම නිසා දැනෙන තනිකම හා අසරණභාවය.

3. Burnout අවදානම වළක්වා ගැනීමේ ප්‍රායෝගික පියවර 5ක්

1. සාත්තුවේ පැහැදිලි ආකෘතියක් (Structure) සකසා ගන්න

  • දෛනික සාත්තු සැලසුම (Daily Care Routine): අවදිවීම, පිරිසිදු කිරීම්, ආහාර, ඖෂධ, කෙටි විවේක සහ රාත්‍රී නින්ද සඳහා නිශ්චිත වේලාවන් සහිත සටහනක් පවත්වා ගන්න. මෙය දෙපාර්ශවයටම මානසික සහනයක් ගෙනදෙයි.
  • සාත්තු කාලසටහන (Caregiving Schedule): පවුලේ සාමාජිකයන් අතර වගකීම් බෙදාගැනීමේ සටහනක් (හෝ Google Calendar භාවිතයෙන්) පවත්වා ගෙන තනි පුද්ගලයෙකු මත බර පැටවීම වළක්වන්න.
  • ස්වයං රැකවරණ සැලසුම (Self-Care Plan): දිනපතා තමන් වෙනුවෙන්ම වෙන්වූ විවේකයක්, සුව නින්දක් සහ මිතුරන් සමඟ සුහද කතාබහක් සඳහා කාලය වෙන්කර ගන්න.

2. අන්‍යයන්ගේ උපකාර ලබාගන්න (Respite Care)

තනිව සියල්ල කිරීමට උත්සාහ නොකරන්න. පවුලේ සාමාජිකයන්, ගෙවීම් ලබන සාත්තු සේවකයන් හෝ ප්‍රජා මට්ටමේ විවේක සත්කාරක සේවා (In-home respite / Adult Day Programs) සම්බන්ධ කරගන්න.

3. උපකාරක කණ්ඩායම් (Support Groups) සමඟ එක්වන්න

සමාන අභියෝගවලට මුහුණදෙන අනෙකුත් සාත්තු සපයන්නන් සමඟ අත්දැකීම් බෙදාගැනීම, සෞඛ්‍ය උපදෙස් ලබාගැනීම සහ මානසික පීඩනය පිටකිරීම මගින් විශාල සැනසිල්ලක් ලැබේ.

4. දැනුවත්වීම සහ දැනුම යාවත්කාලීන කරගැනීම

ඩිමෙන්ෂියා රෝගයේ වර්ධනය, චර්යා කළමනාකරණය සහ හදිසි අවස්ථා සඳහා සූදානම්ව සිටීමෙන් අනපේක්ෂිත කලබල වීම් සහ ආතතිය අවම කරගත හැක.

5. තමන් වෙනුවෙන් කාරුණික වන්න (Self-Compassion)

තමන්ට පාලනය කළ නොහැකි මොළයේ රෝගී තත්ත්වයක වෙනස්වීම් පිළිබඳ වරදකාරී හැඟීම තමන් පිට පටවා නොගන්න. තම ශාරීරික සීමාවන් හඳුනාගෙන, තමන්ගේ සෞඛ්‍යයට මුල්තැන දීම වරදක් නොවන බව තේරුම් ගන්න.

සමාප්තිය

සාත්තු ලබන්නාට උපරිම සත්කාරයක් ලබාදිය හැක්කේ සාත්තු සපයන්නා නිරෝගීව සහ සුවබර මනසකින් සිටියහොත් පමණි. ඔබව රැකබලා ගැනීම ඩිමෙන්ෂියා සත්කාරයේ අංක එකේ ප්‍රමුඛතාවයයි!

2023/10/21

දැනුවත් වීමේ "විශේෂ" වැදගත්කම්: ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා අවදානම, දියවැඩියාව සහ සෞඛ්‍ය ප්‍රතිපත්තිවල අභියෝග

ශ්‍රී ලාංකික අප, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳව දැනට වඩා යාවත්කාලීන සහ ප්‍රමාණවත් දැනුවත් වීමේ අත්‍යවශ්‍යතාවයට හේතු වන කරුණු කිහිපයක් මෙසේ සටහන් කරන්නේ, ඒ ගැන ගැඹුරින් සිතා බැලීමටත් ඔබගේ අදහස් එකතු කිරීමටත්ය.



1. පර්යේෂණ සහ විමර්ශණ හිඟය


ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන්ගේ සැබෑ තත්ත්වය හඳුනාගත හැකි ජාතික මට්ටමේ පර්යේෂණ හෝ විමර්ශණ කිසිවක් මේ වනතුරු ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමින් ප්‍රකාශයට පත්වී නොමැත.

රාගම, මාතර වැනි කුඩා ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගත් පර්යේෂණ කිහිපයක් හැරුණුකොට, සමස්ත රට තුළ ඩිමෙන්ෂියා ව්‍යාප්තිය "නිවැරදි" ලෙස හඳුනාගැනීමට තවමත් නිසි දත්ත පද්ධතියක් නොමැත. වෛද්‍ය විද්‍යාත්මක මට්ටමේ පර්යේෂණ කිහිපයක් පළවී ඇතත්, ඒ ඔස්සේ ජාතික මට්ටමේ වැඩිවීමේ සීඝ්‍රතාවය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවක් තවමත් නැත.



2. දියවැඩියාවේ තත්ත්වය තුළ ඇති දැඩි අවදානම


ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සඳහා ප්‍රබල අවදානම් සාධකයක් විය හැකි දියවැඩියාව (Diabetes) ලංකාව තුළ අතිශය ඉහළ මට්ටමක පැවතීම බරපතල අනතුරු ඇඟවීමකි.

"According to recent WHO estimates, the age-standardized prevalence of diabetes among individuals aged 30 and older in Sri Lanka was 31.2% in 2022. This equates to approximately 4.2 million people in the country living with diabetes. Of these, nearly 41%, or 2.4 million are not on any treatment."
— ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)

වයස 30ට වැඩි ජනගහනයෙන් 31.2%ක් දියවැඩියාවෙන් පෙළීමත්, ඉන් 41%ක් කිසිදු නිසි ප්‍රතිකාරයක් නොගැනීමත් මගින් ඉදිරි දශක කිහිපය තුළ Vascular Dementia සහ Alzheimer's අවදානම දැවැන්ත ලෙස ඉහළ යා හැක.



3. පෙර හඳුනාගැනීමේ (Screening) ක්‍රමවේදයන්ගේ හිඟකම


අද වනතුරුත් ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූලව, වාර්ෂිකව හෝ සෞඛ්‍ය සායන මට්ටමින් ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත සංජානන දුර්වලතා (Cognitive Screening) කල්තියා හඳුනාගැනීමේ කිසිදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක නොවේ.


4. විශේෂ පුහුණුව සහිත වෘත්තිකයන්ගේ හිඟය


ඩිමෙන්ෂියා හඳුනාගැනීම, ප්‍රතිකාරය සහ සාත්තුව සඳහා විශේෂිත පුහුණුව සහ අත්දැකීම් සහිත බහුවිධ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් (Multidisciplinary Geriatric Team) රාජ්‍ය හෝ පෞද්ගලික අංශය තුළ ප්‍රමාණවත් තරම් නොමැත.

විශේෂයෙන්ම, රෝගී පුද්ගලයාට මෙන්ම එම පවුල වෙත ලබාදිය යුතු මනෝ-සමාජීය සහ චිකිත්සීය සේවාවන් (Occupational therapy, specialized dementia nursing, behavioral support) තවමත් ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ බෙහෙවින් සීමිතය.



5. සීඝ්‍රයෙන් වැඩිවන "වියපත් ජනගහණය" (Rapidly Ageing Population)


ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය සීඝ්‍ර වර්ධනයක් දක්වයි.

"According to UNFPA Sri Lanka, by 2030, Sri Lanka is projected to have a significant proportion of its population aged 60 and over, with approximately one in five people falling into that age group."
— UNFPA Sri Lanka

2030 වන විට ජනගහනයෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වියපත් අයෙකු බවට පත්වීමත් සමඟ, ඉහත සඳහන් කළ දියවැඩියාව හා වෙනත් බෝ නොවන රෝග ප්‍රවණතා හමුවේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ යාම නොවැළැක්විය හැකිය.



6. ප්‍රමාණවත් ප්‍රජා දැනුවත් බවක් නොමැතිවීම


ඩිමෙන්ෂියාව පිළිබඳව සමාජය තුළ පවතින දැනුම අවම මට්ටමක පැවතීම සහ පොදුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ ඇති අසංවිධානාත්මක බව නිසා, රෝග ලක්ෂණ "වයසට යාමේ සාමාන්‍ය ස්වභාවයක්" ලෙස සලකා නොසලකා හැරීම හෝ මිථ්‍යා මත හා අසාර්ථක ක්‍රම වෙත යොමුවීමට වැඩි ඉඩක් පවතී.


7. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ ඇති අක්‍රිය බව


වියපත් ප්‍රජාව වෙනුවෙන් වූ විශේෂිත සෞඛ්‍ය ක්ෂේත්‍රයක (Specialised Geriatric Health Services) සහ ජාතික ඩිමෙන්ෂියා උපායමාර්ගික ප්‍රතිපත්තියක (National Dementia Action Plan) අවශ්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් සක්‍රිය ක්‍රියාත්මක වීමක් හෝ ඒ වෙනුවෙන් ප්‍රජා පෙළඹවීමක් තවමත් ප්‍රමාණවත් තරම් දක්නට නොමැත.


අවසන් පණිවිඩය


මෙම කරුණු පිළිබඳව සමාජයක් ලෙස අප විවෘතව කතාබහ කළ යුතුය. පුද්ගලික මට්ටමින් තම මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා අතරම, ජාතික මට්ටමින් වැඩිහිටි සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීමට හඬ නැගීම කාලීන අවශ්‍යතාවයකි.

2023/10/14

වැරදි ඇත්ත සහ සැප බොරුව: ඩිමෙන්ෂියාවේදී පුද්ගලයින් වරදවා හඳුනාගැනීම සහ සත්‍ය පහදා දීම සුදුසුද?

ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී මුහුණදීමට සිදුවන ඉතා සංවේදී සහ ප්‍රායෝගික අභියෝගයක් පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ විමසීමක් සහ එහි චිකිත්සීය විසඳුම් විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"මම ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගන්නවා. ඇය ඇතැම්විට මා සහ අනෙකුත් පිරිමි රැකබලා ගන්නන් ඇයගේ සැමියා විදියට සලකනවා.

1. මෙහිදී ඇයට සත්‍ය පහදා දීම සුදුසුද? නැතිනම් ඇයට එසේ සිතා ගැනීමට හැර කටයුතු කිරීම සුදුසු ද?
2. අනෙකුත් අතීත මතක සමග කටයුතු කිරීමේ සුදුසුම විදිහ කුමක්ද?
3. පුහුණුවීම් වලදී ඇයගේ ලෝකයේ අපත් ජීවත්විය යුතු බව පැවසුවත් තවදුරටත් පැහැදිලි කරගත යුතුයි."



මගේ පිළිතුර

මුලින්ම, ඩිමෙන්ෂියා සාත්තුව තුළදී මුහුණදෙන මෙවැනි ප්‍රායෝගික ගැටළුවක් ගෙන ඒම පිළිබඳව ස්තුතියි. මෙවැනි ගැටළුවලට විසඳුම් සෙවීම සහ අත්දැකීම් බෙදාගැනීම තුළින් තමයි වඩාත්ම සාර්ථක ඩිමෙන්ෂියා සාත්තුවක් ලබා දීමට හැකි වන්නේ.



මගේ වෘත්තීය අත්දැකීමක්

ඔබ සඳහන් කර තිබෙන අත්දැකීම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයට සාත්තු කරන බොහෝ දෙනෙකු (පවුලේ සාමාජිකයන් මෙන්ම වෘත්තිකයන් පවා) මුහුණදෙන පොදු අවස්ථාවක් මෙන්ම විශාල අභියෝගයකි.

කොවිඩ් වසංගත සමයේ අපගේ සියලු චිකිත්සීය වැඩසටහන් දුරස්ථ ක්‍රමයට (Virtual) පත් වූ අවස්ථාවේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එක් සේවාලාභිණියක් සම්බන්ධ වූවාය. පරිගණක තිරයක් හරහා ඇතිවන දුරස්ථභාවය මධ්‍යයේ වුවද, ඇය සෞඛ්‍ය ගැටළුවක් නිසා ජීවිතයෙන් සමුගන්නා තෙක්ම සති ගණනාවක් එම චිකිත්සීය ක්‍රියාවලිය තුළ රඳවා තබාගැනීමට හැකි වූයේ මා ඇගේ ලොකු පුතා (ඔහු විදේශයක හමුදා සේවයේ යෙදී සිටියේය) ලෙස ඇය වරදවා හඳුනාගැනීම නිසාය.

එතැනදී අප ඇගේ එම පිළිගැනීමට බාධා නොකර, ඇය "පුතා" වෙත තබා තිබූ විශ්වාසය ඔස්සේ චිකිත්සීය සේවාව සාර්ථකව ලබා දුන්නෙමු. (සැසිවාර අවසානයේ ඇගේ සැමියා කතා කර "ඔයා දන්නවද, අද මාග්‍රට් ඇඳට ගියේ හරිම සතුටින්, පුතාගේ වරුණෙම තමා කිව්වේ" යැයි පවසද්දී එය සිතට ගෙන ආවේ මහත් සතුටකි).



විද්‍යාත්මක පසුබිම: Delusional Misidentification Syndromes (DMS)

ඩිමෙන්ෂියා සත්කාර ක්ෂේත්‍රය තුළ මෙම "වරදවා හඳුනාගැනීම" හඳුන්වන්නේ Delusional Misidentification Syndromes (DMS) ලෙසයි.

  • Fregoli Syndrome: තමන් නොදන්නා අමුත්තෙකු හෝ සාත්තු සපයන්නෙකු තම සමීපතමයෙකු (සැමියා, පුතා ආදී) ලෙස දැඩිව විශ්වාස කිරීම.
  • Capgras Syndrome: තමන්ගේ සැබෑ සමීපතමයා "ව්‍යාජ වංචනිකයෙකු" (Imposter) ලෙස සැක කිරීම.

ඇයි මෙහෙම වෙන්නේ?

මෙය හුදෙක් සිතාමතා කරන දෙයක් නොව, මොළයේ සෛල ක්ෂයවීම සහ ජෛව-රසායනික වෙනස්වීම් නිසා සිදුවන්නකි. විශේෂයෙන් මොළයේ දකුණු අර්ධගෝලයේ (Right Hemisphere) මුහුණුවරවල්, ඉරියව් සහ හැසිරීම් හඳුනාගෙන ඒවාට අදාළ චිත්තවේගීය හැඟීම් (Emotional processing) ගලපා දෙන ස්නායු පටක අක්‍රිය වීම මෙයට හේතු වේ (විශේෂයෙන් Lewy Body Dementia - LBD වැනි තත්ත්වවලදී බහුලයි).
🧠 සරල උපමාවක්:
මෙය හරියට හිරිවැටුණු අතකින් පෑනක් අල්ලනවාක් මෙනි. පෑන අතේ ඇති බව පෙනුණත්, පෑන අතැඟිලිවලට දැනෙන සැබෑ ස්පර්ශ හැඟීම මොළයට නොලැබේ.

සත්‍ය පහදා දීම (Reality Orientation) අසාර්ථක වන්නේ ඇයි?

මොළයේ අදාළ ගැලපීම කරන කොටස අක්‍රියව පවතින විට, අප කොතෙක් "ඇත්ත" පැහැදිලි කිරීමට ගියද එම පුද්ගලයාට එය තේරුම් ගත නොහැක. එවිට සිදුවන්නේ:

  1. රෝගියා දැඩි චිත්තවේගීය පීඩාවකට, බියට හා කෝපයට පත්වීම.
  2. සාත්තු සපයන්නා කෙරෙහි ඇති විශ්වාසය සහ බැඳීම සම්පූර්ණයෙන්ම බිඳ වැටීම.

මේ නිසා, අතීතයේ භාවිත වූ මුරණ්ඩු ලෙස සත්‍යයම ඔප්පු කිරීමට උත්සාහ කරන Reality Orientation ක්‍රමය වෙනුවට, අද දවසේ පිළිගන්නේ Validation Techniques (චිත්තවේගීය යථාර්ථය පිළිගැනීම) යි. එනම්, ඔවුන් සිටින මානසික ලෝකයට ගරු කරමින්, ඔවුන්ගේ හැඟීම් වලංගු කරමින් සත්කාරය ලබා දීමයි.



සාත්තු සත්කාරයේ "උපකරණ කට්ටලය" (Toolbox)

මෙවැනි අවස්ථාවකදී චිකිත්සීයව භාවිත කළ හැකි උපක්‍රම 5 මතක තබා ගැනීමට උපකාරී වන කෙටි යෙදුමකි:
"Don't Freak, Nana's Really Confused"

1. Distraction (වෙනතකට යොමු කිරීම)

පුද්ගලයාගේ අවධානය, පරිසරය හෝ මාතෘකාව වෙනත් සතුටුදායක ක්‍රියාකාරකමකට හෝ ආහාර පාන වෙත සුහදව යොමු කිරීම.

2. Fibs / Therapeutic Lie (චිකිත්සීය බොරුව / White Lie)

අනවශ්‍ය කලබලයක් හෝ වේදනාවක් ඇතිවීම වැළැක්වීම පිණිස, සත්‍යය මුරණ්ඩු ලෙස කියා රිදවනවා වෙනුවට සැනසිලිදායක පිළිතුරක් ලබා දීම (උදා: "මහත්තයා ඉක්මනටම ඒවි, ඊට කලින් අපි මේ බෙහෙත් ටික බීලා ඉමු").

3. No Response / Non-Verbal (නිහඬව සවන්දීම)

තර්ක කිරීමට හෝ වාචිකව ප්‍රතිචාර දැක්වීමට නොගොස්, සිනහවකින්, හිස සැලීමකින් හෝ අත අල්ලා ගැනීමෙන් ආරක්ෂිත බවක් දැනෙන්නට හැරීම.

4. Reality Orientation (සුදුසු කෙටි අවස්ථාවන්හිදී පමණක්)

පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාව සාපේක්ෂව හොඳින් පවතින කෙටි අවස්ථාවකදී පමණක් සත්‍ය තත්ත්වය මෘදු ලෙස සිහිපත් කිරීම.

5. Combination (ඉහත උපක්‍රමවල එකතුවක්)

අවස්ථාව සහ සේවාලාභියාගේ මානසික මට්ටම අනුව ඉහත ක්‍රම කිහිපයක් මුසු කර භාවිත කිරීම.

සමාප්තිය

ඩිමෙන්ෂියා සත්කාරයේදී වඩාත්ම වැදගත් වන්නේ අපේ ඇත්ත ඔවුන් මත බලහත්කාරයෙන් පැටවීම නොව, ඔවුන්ගේ ලෝකය තුළ ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බව සහ බිය තුරන් කරමින් උපරිම සැනසිල්ල හා රැකවරණය ලබා දීමයි.

2023/10/07

වචන පරක්කුව: Tip-of-the-Tongue, MCI සහ ඩිමෙන්ෂියාවේ මුල් සංඥා හඳුනාගැනීම

"පුතේ මට ඉක්මණට අරගෙන එන්න , අර , අර ..අර මේ .. ඔය අපි එලෝලු කපන්න ගන්න ...දිග ..අර...... "

"දුවේ මට හැන්ද ගෙනත් දියං මේ පාන් පෙත්ත කපා ගන්ට"

"අපට ඉක්මන් කරල ගියොත් කස් එක අල්ල ගන්න පුළුවන් වෙයි"

"දවසක් අපි යන කොට අර මේ ...මේ මොකක් අර මේ ඔයා දන්නවනේ අර අර..."

වචන මතක් කරගැනීමේ අපහසුව (Word-Finding Difficulty)

ගැලපෙන වචනය ප්‍රකාශ කිරීමට නොහැකි වීම, අවශ්‍ය වචනය වෙනුවට ඊට සමාන හඬ ඇති වෙනත් වචන ආදේශ කිරීම (උදා: බස් එක වෙනුවට 'කස් එක' කීම), හෝ අවශ්‍ය භාණ්ඩය වෙනුවට වෙනත් වැරදි නමක් පැවසීම (උදා: පිහිය වෙනුවට 'හැන්ද' කීම), නැතහොත් අවශ්‍ය වචනය වෙනුවට ඊට ආසන්න විස්තර වලින් කතාබහ පිරවීමට දරන උත්සාහය පිටුපස MCI (Mild Cognitive Impairment) හෝ ඩිමෙන්ෂියාවේ පූර්ව අවධියක් පැවතිය හැක.



සැලකිලිමත් විය යුතු රතු එළි (Warning Signs)

  • ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවීම: වචන අමතක වන හෝ පැටලෙන වාර ගණන දිනෙන් දින වැඩිවීම.
  • කාලය වැඩිවීම: නිවැරදි වචනය මතක් කරගැනීමට හෝ වාක්‍යය සම්පූර්ණ කිරීමට පෙරට වඩා වැඩි වේලාවක් ගතවීම.
  • මානසික පීඩාව: මෙම "හිරවීම්" (Hesitations) හේතුවෙන් අදාළ පුද්ගලයා ලැජ්ජාවට, ආතතියට හෝ කතාබහෙන් ඈත්වීමට පටන් ගැනීම.
  • දෛනික කටයුතුවලට බාධා වීම: එදිනෙදා වැඩ කටයුතු, සාප්පු සවාරි හෝ දුරකථන සංවාද පවත්වා ගැනීමට මෙම අපහසුව බාධාවක් වීම.

මෙවැනි තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ නම්, වෛද්‍යවරයෙකු හෝ ස්නායු විශේෂඥයෙකු හමුවී සාකච්ඡා කිරීම ගැටළු කල්තියා කළමනාකරණය කරගැනීමට අතිශය වැදගත් වේ.



"දිව අග තිබෙන" උත්තරය (Tip-of-the-Tongue - TOT Phenomenon)

සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම අයෙකුට අවශ්‍ය වචනයක් ක්ෂණිකව මතකයට නොපැමිණ "දිව අග තිබුණත් කියාගන්න බැරිවීම" (Tip-of-the-Tongue) සාමාන්‍ය තත්ත්වයක් විය හැක.

නමුත්, එය මතුවන වාර ගණන අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ නම් සහ එදිනෙදා බහුලව භාවිත කරන සරල වචන සඳහාත් එවැනි අපහසුතා මතු වන්නේ නම්, එය සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා හැර විමසිලිමත් වීම වටී.



වෙනත් හේතු (Alternative Causes)

මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ, මෙවැනි වචන පරක්කු වීම් හටගන්නේ ඩිමෙන්ෂියාව හෝ MCI නිසාම පමණක් නොවේ:

  1. මානසික ආතතිය සහ කාංසාව: අධික වෙහෙස හා මානසික පීඩනය නිසා මොළයේ සැකසුම් වේගය මන්දගාමී වීම.
  2. නින්ද නොලැබීම හා විජලනය: මොළයේ ක්ෂණික මතකය දුර්වල වීම.
  3. හෝමෝනමය වෙනස්වීම්: තයිරොයිඩ් හෝ හෝමෝන අසමතුලිතතා.
  4. ඖෂධවල බලපෑම: ඇතැම් සන්සුන්කාරක හෝ ප්‍රතිකාරක ඖෂධවල අතුරු ආබාධ.



සමාප්තිය

වඩාත් වැදගත් වන්නේ ස්වයං රෝග විනිශ්චයකට ගොස් අනවශ්‍ය ලෙස කලබල වීම නොව, තම පවුලේ සාමාජිකයාගේ හෝ තමන්ගේ සිදුවන මෙවැනි වෙනස්කම් ගැන විමසිලිමත් වී, අවශ්‍ය අවස්ථාවේදී නිසි වෘත්තීය වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි.

2023/10/01

මා මළ පසු සොහොන් කොතේ

අද සෙනසුරාදා දවස, දිගු සති අන්තයක නිවාඩුව නිසා ටිකක් විවේක පාඩුවේ වැඩි වෙලාවක් ගෙවන්න ලැබුණා. ඒකටම උදව්වෙන්න‍දෝ අහසත් අඳුරු වෙලා, පොඩි පොදකුත් එක්ක නියම සරත් සමයක හැඩ දවස පුරාම විහිදිලා තිබුණා. හවස් වෙලා කඩ මණ්ඩියට යන්න සැලසුම තිබුණ නිසා, අද දවසේ කරන්න තිබුණු වැඩ කටයුතු කිහිපයක් උදේ වරුවේම කරන්න හිතා ගත්ත. එයින් වැදගත්ම දෙයක් වුනේ, මාත් එක්ක හෝඩියේ පන්තියේ, මුල් දවසේ ඉඳන්ම මගේ මිත්‍රයෙක්ව ඇමතීම. අද ඔහුගේ උපන් දිනය ඒ වෙනුවෙන් සුබ පතන්නට ඇමතුම දෙන්නේ.

"ආ මිත්‍රයා! සුබ උපන් දිනයක් වේවා. තවම මහන්සිද පාටි දාලා "
"ආ.. මහේෂ්, ආයෙත් කියලා. මේ දැනුයි නැගිට්ටේ තාම නිකං ඇඟපත තලල දාල වගේ. දැන් මචං පණහක්ම නේ, අර උත්තරා මිස්ගේ පන්තියේ ගණන් හදත්දි අපි හිතුවද බං මෙච්චර ලොකු වයසකට ඒවි කියලා."

මිත්‍රයගේ උපන් දින කතාව

මගේ මිත්‍රය සතුට පිරි දිග කතාවක් පටන් ගත්තා. තවමත් රුධිර ගත ඇල්කොහොල් ප්‍රතිශතය බිංදුවටම අඩු වෙලා නොතිබුණ නිසාදෝ වෙනදට වඩා ටිකක් ඇදෙන කතාවක අපි ගියා. ලංකාව ගැන තද කැක්කුමක් තියෙන, රටේ හිටපු ලොක්කෙක් ලොකු පුටුවකට ගේන්න සෑහෙන දරදිය ඇද්ද මගේ මිත්‍රයගෙන් "අපේ රට ගැන" කතාවක් නොඇහුණොත් ඒකමයි පුදුමේ.

"ඔය ඇති බං පරදේසක්කාරයන්ගේ රටේ හිටියා, උඹටත් තව මාස තුනකින් පණහක් මට මතක විදියට. කවුද බං දන්නේ අපි කොයිවෙලාවේ යාවිද කියලා. අපි පස්වෙන්න ඕන මේ පොළවට, වරෙං, උඹට ජොබ හදා ගන්න ඕන නං මං වැඩේ කරල දෙන්නං. මෙන්න මෙහෙ වරෙන් xxxතෝ, අඩුම ගානේ අපේ මරණෙට කරගහන්න හරි අපේ මිනිස්සු ඉන්න ඕන බං, පැන් වඩන්න හාමුුදුරු කෙනෙක් ඉන්නවද ඔය රටේ ?"

සුද්ධ සිංහල හැම වෙලාවෙම මුවග තිබෙන මිත්‍රයගේ කතාව ඇහෙත්දි, කාලෙකින් නොඇහුනු වචනත් ඇහුණු නිසා ටික වෙලාවකට ලංකාවට ගියා වගේ දැනුනා.

කතාවෙන් පසු මට ආ සිතුවිලි

කතාව ටිකක් දුර ගියා, හාමිනේ තේ එකක් හදාගෙන ඇවිත් "කොඩි ගහ යට" බලමුද කියල අංග චලනයෙන් අහගෙන ළඟින් වාඩි වෙනකම්ම කතාව ඇදුනා.

ටෙලි නාට්‍යයත් බලලා, මං ආයෙත් කල්පනා කළා, මිත්‍රයගේ තත්ත්වයේ හැටියට උත්තර නොදුන්නත්, ඇත්තටම මම ඒ ප්‍රශ්න වලට මොන වගේ උත්තර දෙන්න තිබුණද කියලා. ඒ ඔස්සේ ඔබත් එක්ක තවත් කතාවක් බෙදා ගන්නත් අද රාත්‍රියේ ලැබුණූ විවේකය යොදා ගන්නයි මේ හදන්නේ.

මිත්‍රයගේ කතාව තුල කියවුනු වැදගත් දේ

1. "මැරුණොත්, උපන් පොළොවේ පස් වෙන්න ඕන."
2. "පැන් වඩන්න, මරණෙට කරගහන්නවත් මිනිස්සු ඉන්නෝන"

මේ දෙකටම මගේ උත්තර හරිම සරළයි

  1. මම මැරුණොත්, මගේ සෛල මල්ල නිකංම පොළොවට පස් වෙන්න දෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මගේ සියළු පටක, අවයව අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් ලබා ගැනීමට මෙන්ම, එතැනින් ඉතිරි වන පණක් නැති සෛල මල්ල, වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කපා කොටා තම දැනුම වැඩි කරගැනීමට පරිත්‍යාග කිරීමට කැමැත්ත දී අවසන්, ඒ පිළිබඳව දරුවන් සහ බිරිඳත් (ඇයත් එම කැමැත්ත ලබා දී ඇති අයෙක්) දැනුවත්. ඒ නිසා, මළත්, මේ සෛල මල්ල, නිකංම පොළවට පස් වෙන එකක් නැහැ. අනෙක, එතැනදි මට පොළොවද, හුළඟද, වතුරද වැදගත්කමක් නෑ.
  1. නෑ, මගේ මරණයට කරගහන්න කවුරුවත්ම ඕන වෙන්නේ නෑ. මොකද කොතැනදී මළත්, Funeral service එකෙන් ඒ සෛල මල්ල පෙට්ටියක දාගෙන අවශ්‍ය තැනට ගෙනියාවි. මට ලේබල් කළ ආගමක් දහමක් නැති නිසා, ගැලවෙන සෛල මල්ලට කිසිම වැඩිල්ලක් අවශ්‍ය වෙන්නේ නෑ, කිසිම පූජකයෙක් ඇවිත් නිවණට, අපායට, දෙව් ලොවට යන්නට යතුරු දෙන්නත් අවශ්‍ය නෑ, යනවා නම් අනේ... ඕන තැනකට ගියාවේ. ඒ තියා පවුලේ අය හැරෙන්නට කිසිවකු දැන ගැනීමට, RIP ගහන්න, night ගහන්න, "මා මළ පසු සොහොන් කොතේ" තියා කොත් ගහන්නත් අවශ්‍ය වෙන්නේ නෑ, පැය කීපයකින් සියල්ල නිමාවුනාම කාටවත් කරදරයක් නෑ. ඒ කියන්නේ, මළත් නිදහසේ යන්නට පුළුවන් වටපිටාවක් හදල තිබෙන්නේ, පවුලේ අය දැනුවත් කරල තිබෙන්නේ.

කැනඩාවේදී පවුලේ අයෙක් මිය ගියොත් කළ යුතු දේ

ඔය උත්තර ටික හිතලා, ඊට පස්සේ ලියන්න ඕන කියල හිතුවේ, ඇත්තටම තමන්ගේ පවුලේ අයෙක් මිය ගියොත් කැනඩාව තුලදී කළ යුතු දේ මොනවාද කියන එක. එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කළත් අප කවුද දන්නේ මොන වෙලාවේ ජීවිත වෙනස්වේද කියලා. ඒ නිසා, අද කතාව අන්න ඒ ගැන.

මුලින්ම කියන්නෝන මේ ලියන්නේ, මගේ වෘත්තීය පරිසරය තුල ලැබෙන දැනුම සහ අත්දැකීම තුල මෙවැනි අවස්ථාවක ගත යුතු පියවර. විවිධ ආගම්, සංස්කෘතීන් අනුව විය හැකි වෙනස්වීම් ගැන අවශ්‍ය අයෙක්ට වැඩිදුර සොයා බැලීමට ආරාධනා කරනවා.

මරණය සිදුවන ස්ථානය අනුව මුල් පියවර

දැන්, කැනඩාව තුලදී අයෙකු මිය යාහැකි ප්‍රධාන ස්ථාන දෙකක් තිබෙනවා. එක, සමහර විට නිවස හෝ මහමග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සෞඛ්‍යය ආයතනයක් තුලදී වෙන්න පුළුවන්. මෙතැනින් මුල් අවස්ථා දෙකේදි එවැනි අවස්ථාවකට මුහුණපෑවොත් ඉක්මණින්ම 911 අමතා දැනුම් දීම කළ යුතු වෙනවා. රෝහලක හෝ වෙනත් සෞඛ්‍යය ආයතනයක් තුලදී සිදුවුනොත් අදාල වෘත්තීකයන් අදාල අවශ්‍ය කරන සම්බන්ධීකරණය ක‍රාවි.

එතැනදී, මරණයට හේතුව තහවුරු කරගැනීමෙන් පසුව අදාල නිලධාරින් විසින් Medical Death Certificate නිකුත් කර, මරණය, සෞඛ්‍යය විද්‍යාත්මකව තහවුරු කර, පවුලේ අයට ඉදිරි කටයුතු සඳහා ලබා දෙනවා.

අවයව සහ පටක පරිත්‍යාගය

දැන්, පවුලේ අයට ඉක්මණින්ම කරන්නට අවශ්‍ය කටයුතු කිහිපයක් තිබෙනවා. ඒ,

  1. මිය ගිය තැනැත්තා තම පටක, අවයව, ඉන්ද්‍රිය පරිත්‍යාග කරන්නට කැමැත්ත පළ කර ඇත්නම්, අදාල Organ Donation අංකයට කතා කර මරණය, සිදුවූ වේලාව, අදාල පුද්ගලයා ලබා දී කැමැත්ත පිළිබඳව දැනුවත් බව, මිය ගිය පුද්ගලයාගේ ආසන්නම වගකීම ගන්නා පුද්ගලයා විසින් දැනුම් දිය යුතු වෙනවා.

සම්පූර්ණ දේහය වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීම

  1. මිය ගිය පුද්ගලයා තම දේහය, වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීමට කැමැත්ත දී, විශ්ව විද්‍යාලය වෙත දැනුම් දී තිබුණා නම් හෝ එම කැමැත්ත ප්‍රකාශ කර තිබුණා නම්, අදාල විශ්ව විද්‍යාලයේ Body Donation අංකයට කතා කර දැනුම් දීම් කරන්නට අවශ්‍ය වෙනවා.

මෙම කටයුතු ප්‍රමාදවීමකින් තොරව, විශේෂයෙන්ම අවමංගල්‍ය සේවා පහසුකම් සපයන ආයතන විසින්, දේහය එම්බාම් කිරීම කරන්නට පෙර කළ යුතු වැදගත්ම දැනුම් දීම්. එතැනදී, අදාල පරිත්‍යාග කිරීම් බාර ගැනීමට සුදුසුකම් සපුරා ඇත්නම් (පසුව ඒ ගැන කියන්නම්) අදාල සෞඛ්‍යය ආයතන එම දේහය හෝ පටක නියමිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරාවි.

Funeral Service සමඟ සම්බන්ධ වීම

එසේ, දේහය හෝ පටක පරිත්‍යාග කිරීමක් නෙවේ නම්, ඊළඟට කළ යුත්තේ, අදාල මෘත දේහය ප්‍රවාහණය සහ ඉදිරි කටයුතු කිරීම සඳහා එම සේවා සපයන Funeral service ඇමතීමයි.

බොහෝ අවස්ථා වලදි, අදාල සේවා සපයන්නන් ගැන ඥාතීන් දැනුවත් වුවත්, සෞඛ්‍යය ආයතනය විසින් අදාල ප්‍රදේශයේ පහසුකම් සපයන ආයතන ගැන මුද්‍රිත පත්‍රිකාවක් ලබා දෙනවා. ඊට අමතරව, ඉදිරි කටයුුතු තුල විය යුතු දේ ගැන දැනුවත් කිරීම් ලබා දීමත් අවස්ථාව අනුව සිදුවේවි.

මෘත දේහය සම්බන්ධ කටයුතු

මේ වෙත්දී, Funeral service ආයතනය විසින් මෘත ශරීරයට අදාල ප්‍රවාරණය, එම්බාම් කිරීම, මෘතදේහය ප්‍රදර්ශණය, ඥාතීන් හමුවීම් වලට අවශ්‍ය සූදානම් කිරීම් ආරම්භ කරනවා. මෙතැනදී, සෞඛ්‍ය ආයතනය විසින් ලබා දෙන Medical Death Certificate ඔවුන්ට ලබා දිය යුතු වෙනවා.

හැම විටම එවැනි සටහනක පිටපතක්, පිංතූරයක් ලෙස තම සතුව තබා ගැනීමට, පවුලේ ඥාතියෙක් කටයුතු කළ යුතු වන්නේ, පසුව ඇතිවිය හැකි ගැටළු සීමා කරගැනීමට.

ඥාතීන් සහ නීතිමය වගකීම් ඇති පුද්ගලයන් දැනුවත් කිරීම

දැන්, අදාල මරණය ගැන මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්, නීතිමය බැඳීම් ඇති අයවලුන්, හිතවතුන් දැනුවත් කිරීම කළ යුතු අතර, මෙතැනදී විශේෂයෙන්ම මිය ගිය පුද්ගලයාගේ ජීවිත රක්ෂණ, දේපල වැනි වටිනාකම් සඳහා නීතිමය බැඳීම ඇති පුද්ගලයන් (beneficiaries) දැනුවත් කිරීම් කළ යුතු වෙනවා.

මිය ගිය පුද්ගලයා, අන්තිම කැමැත්තක් සකසා, යම් අයෙක් හෝ පිරිසකට දේපල බෙදී යන ආකාරය සඳහන් කර තිබුණා නම් මෙතැන් සිට "විය හැකි" දේපල බෙදීම පිළිබඳ ගැටළු සීමාවන අතර, එසේ නොවී, අන්තිම කැමැත්කක් නැතිව මිය ගිය අවස්ථාවක (dying intestate) තම විවාහක පාර්ශවය හෝ ආසන්නම ඥාතියා, මූලික වගකීම් ගෙන කටයුතු කළත් අදාල දේපල, වටිනාකම් පළාතේ නීතියට අනුව බෙදා දීම සිදුවන තුරු මියගිය පුද්ගලයාගේ මිල මුදල්, බැංකු ගිණුම්, දේපල වල වෙනස් කිරීම් කළ නොහැකි වෙනවා.

(කැනඩාවේ දී අන්තිම කැමැත්තක වටිනාකම සහ එය සකසා ගන්නා ආකාරය කාළයකට පෙර සටහන් කළා වගේ මතකයි)

මරණය නිල වශයෙන් ලියාපදිංචි කිරීම

මේවෙත්දී, අවමංගල්‍ය සේවා පහසුකම් සපයන ආයතනය, මෘතශරීරය සැකසීම, හමුවීම් සූදානම් කිරීම කරන අතරේ, මියගිය පුද්ගලයාගේ විවාහක පාර්ශවය, දරුවෙක් හෝ සම්බන්ධතාව ඔප්පු කළ හැකි ළඟම ඥාතියෙක් ආසන්නයේම තියෙන vital statistics office එකට එහෙම නැත්නම් පළාත් අනුව රෙජිස්ට්‍රියට යා යුතු වෙනවා.

ඒ යත්දි, තමන්ගේ හදුනාගැනීමේ පතක්, උදා- රියදුරු බලපත්‍රය, මිය ගිය පුද්ගලයා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කළ හැකි සහතියක්, උදා- විවාහ සහතිකය හෝ විවාහක පුද්ගලයා විසින් නිකුත් කරන ලියවිල්ලක්, සෞඛ්‍යය ආයතනය විසින් ලබා දුන් Medical Death Certificate සහ Funeral service මගින් ලබා දෙන Funeral Director's Statement of Death ලියවිල්ලත් ගෙන යායුතු වෙනවා.

ඒ, අදාල මරණය පළාත තුල ලියාපදිංචි කිරීමට. මෙය නීත්‍යානුකූලව අනිවාර්ය වන අතර, ඉදිරි දේපල බෙදීම, බැංකූ ගිණුම් මාරු කිරීම්, වාහන වල හිමිකම් මාරු කිරීම් වලදී මෙම ලියාපදිංචි කළ මරණ සහතිකය අත්‍යවශ්‍ය වෙනවා.

මෙම ලියාපදිංචිය පළාත අනුව වෙනස්විය හැකි සුළු මුදලක් අය කරන අතර, තැපැල් මාර්ගයෙන්ද කළ හැකි වුවත්, in-person එක කරගැනීම වඩාත් පහසුබව වෘත්තීය පරිසරය තුල ලැබූ අත්දැකීම් මත කියන්නට පුළුවන්.

Funeral හෝ Memorial Service සඳහා සූදානම් වීම

මෙම කටයුතු අවසන් වෙත්දි, මෘතශරීරය භාරව කටයුතු කරන ආයතනය, එය ඥාතීන්ගේ ඉල්ලීම සහ මිය ගිය පුද්ගලයා ප්‍රකාශ කළ කැමැත්තක් වේ නම් ඒ අනුව සකසා, Funeral හෝ Memorial Service වෙනුවෙන් දින, කාළසටහන් සූදානම් කර ලබා දෙනු ඇති.

අන්තිම කැමැත්ත තුල සඳහන් කළ ඇති ආකාරය, එසේ නොමැති නම් එහි වගකීම පවරා ඇති පුද්ගලයා ගන්නා තීරණය අනුව මෘත ශරීරය ආදාහනය කරනවාද? නොවේ නම් භූමදානය කරනවාද තීරණයත් මේ වෙත්දි ගෙන තිබේවි.

භූමදානය කිරීමට සාම්ප්‍රදායික ලෙස කනත්තක භූමදානය කිරීම, පරිසරයහිතකාමී ලෙස green burial කිරීම හෝ තම ඉඩම තුල භුමදානය කිරීමට "පළාතට බලපාන Canadian burial laws අනුව තීරණය කළ යුතු වෙනවා.

ඒවගේම, භූමදානය කරන්නට කැමැත්ත දී ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය ඉඩ සීමාවන් මිය යන්නට පෙරම මිලදී ගෙන වෙන් කරවා තියා ගන්නත්, අවශ්‍ය නම් එතැනට වී නිවාඩු දවසකට පොඩි පාටියක් දාන්නටත් බැරි කමක් නැහැ කැනඩාවේදි. (මගේ සේවාලාභීන්ගේ අපූරු අත්දැකීම් දැක ඇත)

අවසන් කටයුතු වලින් පසු පවුලේ වගකීම්

මෘතශරීරය පිළිබඳ අවසන් කටයුතු නිමාවූ විගස කළ යුතු වගකීම් රැසක්, පවුලේ වගකියන පුද්ගලයන්ට පැවරෙනවා. ඒ අතර,

  • අන්තිම කැමැත්ත තුල දේපල බෙදීම, එම වගකීම් පවරා නැත්නම් පළාත් නීතිය ඉදිරියට ගොස් අදාල කටයුුතු සූදානම් කර ගැනීම,
  • කැනඩා රජයේ වගකියන ආයතන වෙත (උදා- Service Canada) දැනුම් දී, මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ලැබිය යුතු CPP death benefit, Survivor’s pension, සුදුසුකම් සපුරන්නේ නම් CPP children's benefits ලබා ගැනීමට කටයුතු කිරීමත්,
  • Passport Office වෙත දැනුම් දී, මියගිය ඥාතියාගේ ගමන්බලපත්‍ර අවලංගු කිරීම,
  • Immigration and citizenship සමඟ සම්බන්ධ වී අදාල පුද්ගලයාගේ කැනඩාව තුල නීතිමය පදිංචිබව, පුරවැසි බව හෝ ස්ථිර පදිංචි කාඩ් පත අවලංගු කිරීමට,
  • පළාතේ සෞඛ්‍ය රක්ෂණය, රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කිරීම,
  • CRA වෙත දැනුම් දීම සහ මිය ගිය පුද්ගලයාගේ අදාල වසරට අදාල අවසන් Income Tax යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත්,
  • බැංකු ගිණුම්, ජීවිත රක්ෂණයන්, දේපල හිමිකම් වෙනස්කිරීම්, වාහන වල හිමිකම් වෙනස් කිරීම් වැනි කටයුතු,
  • මිය ගිය පුද්ගලයාගේ මාසික ගෙවීම් සහිත ගිණුම් නැවැත්වීමට දැනුම් දීම. (උදා- විවිධ මාසික ගාස්තු සහිත දුරකථන, අන්තර්ජාල, විනෝදාස්වාදයට අදාල වෙනත් පහසුකම් වැනි)

වැනි කටයුතු රැසක් කළ යුතු වෙනවා. (තවත් ඇති මේ මතක් වෙන හුඟක්ම පොදු දේවල් ටිකක්)

ශෝකය සමඟ මුහුණ දීම

මේ අතරේම, පළාතේ සෞඛ්‍යය සේවාව හෝ පළාත් රාජ්‍ය සේවාව මැදිහත් වී ලබා දෙන Grief counseling හෝ Grief support group ඔස්සේ මුහුණදුන් තත්ත්වය තුල ඔබ, පවුලේ සාමාජිකයන් විඳින වේදනාවට යම් සහනයක් ලබා ගැනීමට කටයුතු කිරීමත් කළ යුතු වෙනවා.

අවයව පරිත්‍යාගය ගැන තවත් යමක්

අවසානයට පෙර තවත් යමක් මතක් කරනවා,

කැනඩාව තුල මිය ගිය අයෙක්ගේ දේහ පටක, ඉන්ද්‍රියන්, අවයව පරිත්‍යාග කිරීම සහ එම පරිත්‍යාග ඉතාමත් ඵලදායී ලෙස අවශ්‍ය රෝගීන් වෙත බද්ධ කරමින් සුවයක් ලබා දීම සාර්ථකව සිදුවන නිසා, රියදුරු බලපත්‍රය ගන්නා අවස්ථාවේදීම මේ සඳහා කැමැත්ත ලබා දීමට හැකියාව බොහෝ පළාත් වල තිබෙනවා.

එතැනදි, Donor කෙනෙක් ලෙස ලියාපදිංචි වූ අයෙක් හදුනාගැනීමට යම් සළකුණක් අදාල රියදුරු බලපත්‍රයට ලැබෙනවා. එයින් වෙනත් කිසිදු වාසියක් නැතත්, එය සතුටක් ලෙස දැනේවි.

මෙලෙස පටක, අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත දෙන අතරේම, සම්පුර්ණ දේහයම පරිත්‍යාග කිරීමට කැමැත්ත ලබා දීමත් කළ හැකි අතර, එය පළාත් ලියාපදිංචිය තුල සටහන් වුවත්, එම කැමැත්ත ඇති අයෙක්, සම්පුර්ණ දේහය පරිත්‍යාග කිරීමේ කැමැත්ත සෘජුවම තෝරා ගත් විශ්ව විද්‍යාලයේ Body Donation Program සමඟ ලියාපදිංචි වීම වඩාත් පහසුවක් ඇති කරනවා.

එසේ ලියාපදිංචියක් නැතිවුවද පරිත්‍යාග කළ හැකි මුත්, ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ මෙලෙස ලියාපදිංචිය ලැබූ අවස්ථාවන් සඳහායි.

සම්පූර්ණ දේහ පරිත්‍යාගයේදී වැදගත් කරුණක්

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාලය සමඟ ලියාපදිංචි වූ පමණින්ම සම්පුර්ණ දේහය බාරගනී යැයි ස්ථීර වගකීමක් ගන්නේ නැහැ එම ආයතන. මිය යන අවස්ථාවේ තිබෙන තත්ත්වය, රෝගී තත්ත්ව වැනි සාධක කිහිපයක් ගැන සලකාබලා, අදාල සාධක සම්පුර්ණ කර ඇති අවස්ථාවක තමයි දේහය බාර ගන්නේ.

එම නිසා, සම්පුර්ණ දේහය පරිත්‍යාග කිරීමට කැමැති අයෙක්ගේ මරණය සිදුවුනු අවස්ථාවක වුවත්, පසුබිමේ තෝරා ගත් Funeral service තබා ගැනීම, තවත් අනපේක්ෂිත ගැටළුවක් ඇති වීම වලක්වන බව අවසානයටම කියනවා.

අපේ දේහය දැනුමට දායාද කිරීම

මමත්, බිරිඳත් දෙදෙනාම මේ කියන පරිත්‍යාගය වෙනුවෙන් පළාත සමඟ මෙන්ම, විශ්ව විද්‍යාලය සමඟද බැඳීම් ඇති කරගෙන අවසානයි.

ඒ "පින්පොදිය හදා ගන්න", "ලබන ආත්මේ ලොකු වෙන්න", "වලාකුළක් උඩ දිවිය සැප බලාගෙන" වගේ වෙන කිසිදු හේතුවක් නිසා නොවෙයි, අපේ කෙල්ලන් දෙන්න අදාල පරිත්‍යාගශීලීන්ගේ මෘත දේහ මගින්, ලබා ගන්නා අත්දැකීම්, ප්‍රායෝගික දැනුම විඳින අපූරුව අපේ දෑසින්ම අද දකින නිසාවෙනි.

කතාව ඉවරයි.

2023/09/23

"නිදි ණය" ගෙවීම: නිදි මැරීමෙන් මොළයට වන හානිය පසුව නිදාගැනීමෙන් (Sleep Debt) යථා තත්ත්වයට පත්කළ හැකිද?

නින්ද සහ මොළයේ සෞඛ්‍යය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ වැදගත් විමසීමක් සහ එහි සැබෑ විද්‍යාත්මක පසුබිම විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"මම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා නිදි මැරුවාම මොළේ සෛල වලට හානියක් වෙනවා, ඒකෙන් මොළේ වයසට යනවා වගේ දෙයක් වෙනවා, ඒ හානිය නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් ඒ නින්ද නැති වෙච්ච කාලයට සමාන කාලයක් නින්ද නැවත ලබා ගත්තම ඒක හරි යනවා කියලා. මට දැනගන්න ඕන මමත් මේකේ මුල හරිය අහලා තිබ්බත්, අන්තිමට මේකේ කියලා තියෙන දේ ඇත්තක්ද කියලා. ඒ කියන්නේ 'නින්ද නැති වෙච්ච කාලය නිදා ගත්තොත් නැවත ප්‍රශ්නේ හරි යනවද?'"



මගේ අදහස්

මුලින්ම කියන්න ඕන, මේ යොමු කළ ගැටළුව ඉතා හොඳ කතාබහක් වෙනුවෙන් ආරම්භයක්. ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් ගැන විවිධ තොරතුරු සමාජ මාධ්‍ය තුළ දැන් දැන් පළ වෙනවා. ඒ අතර යාවත්කාලීන නොවූ, අර්ධ සත්‍ය හෝ ඇතැම් වාණිජ අරමුණු සහිත නොමග යවන තොරතුරුද තිබෙනවා.

අද දවසේ සෞඛ්‍ය විද්‍යාත්මක පරිසරය තුළ වැඩි පිළිගැනීමක් ඇති තොරතුරු මත පදනම්ව කරුණු කිහිපයක් මෙසේ පැහැදිලි කරමු:



1. ප්‍රමාණවත් නින්දක් නොලැබීම සමස්ත සෞඛ්‍යයටම හානිකරයි


වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්වයන් මත පදනම්ව ප්‍රමාණවත් නින්දක් නොලැබීම ස්ථිරවම පුද්ගලයාගේ සමස්ත සෞඛ්‍යයටම ඍණාත්මක බලපෑමක් ඇති කරයි. එය මොළයට පමණක් නොව, හෘද සනාල පද්ධතිය, හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු මුළු සිරුරටම කරන බරපතල බලපෑමකි.


2. මොළයේ ස්නායු සෛල සහ සමස්ථිතිය (Homeostasis) බිඳ වැටීම


කාළයක් තිස්සේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම තුළ:
  • ස්නායු සෛල මියයාම, දුර්වල වීම සහ ස්නායු අතර සම්බන්ධතා (Synapses) බිඳ වැටීම සිදුවිය හැක.
  • ස්නායු සෛල තුළ පැවතිය යුතු අභ්‍යන්තර සමතුලිතතාවය නොහොත් "සමස්ථිතිය" (Cellular Homeostasis) බිඳ වැටීම නිසා සෛලවල ආයු කාලය වේගයෙන් කෙටි වේ.



3. Glymphatic System එක හරහා මොළය "අතුපතු ගා පිරිසිදු කිරීම"


මොළය යනු අපේ දේහය තුළ වැඩිම කාර්යභාරයක් කරන, විශාල ශක්තියක් වැය කරන පද්ධතියකි. (පරිගණක ප්‍රොසෙසරයක් අධික වැඩ නිසා රත්වනවාක් මෙන්).

මේ නිසාම, මොළය තුළ නිපදවෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය සහ අතිරේක ප්‍රෝටීන අතුපතු ගා පිරිසිදු කිරීමේ සංකීර්ණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. මේ සඳහා Glymphatic System නම් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය දවස පුරාම ක්‍රියාත්මක වුවද, එය වඩාත් කාර්යක්ෂමව සහ උපරිමයෙන් සිදුවන්නේ මොළයේ සෛල විවේකීව පවතින "ගැඹුරු නින්ද" (Deep Sleep) පවතින කාල සීමාවේදීය.

🏢 සරල උපමාවක්:
කාර්යාලයක් පිරිසිදු කරන සේවකයින් කාර්යාල වේලාවෙන් පසුව (හවස 5න් පසු කාර්යාලය නිස්කලංක වූ විට) සම්පූර්ණයෙන්ම අතුපතු ගා පිරිසිදු කරන්නාක් මෙනි.

ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට මේ "පිරිසිදු කිරීමේ කටයුත්ත" නිසි ලෙස සිදු නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස:

  • කෙටි කාලීනව: පසුදා ඇතිවන දැඩි වෙහෙස, මනසේ බර ගතිය, කල්පනා කිරීමට හා තීරණ ගැනීමට ඇති අපහසුව (Brain fog).
  • දීර්ඝ කාලීනව: ඉවත් කිරීමට නොහැකි වූ විෂ අපද්‍රව්‍ය හා අසාමාන්‍ය ප්‍රෝටීන (Beta-amyloid, Tau tangles) ස්නායු සෛල අතර ගොඩගැසීමෙන් මොළයේ පෝෂණ මාර්ග අවහිර වී ඩිමෙන්ෂියාව (ඇල්සයිමර්) වැනි නැවත හැරවිය නොහැකි හානි කරා ළඟා විය හැක.



4. "නිදි ණය" (Sleep Debt) පසුව නිදාගැනීමෙන් ගෙවිය හැකිද?


ප්‍රමාණවත් නින්දක් නොලැබීමේ හානිය පර්යේෂණාත්මකව තහවුරු කර ඇතත්, නැතිවූ නින්ද වෙනුවෙන් පසුව දින ගණනක් එක දිගට වැඩිපුර නිදාගැනීමෙන් ("නිදි ණය" පියවීමෙන් / Catch-up sleep) සිදුවූ ස්නායුක හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වන බව ස්නායු විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.

  • අතීත නිදි ණය පියවීම පිණිස සෞඛ්‍යයට හානිකර වන අන්දමින් දහවල් කාලයේ හෝ දින ගණනක් අසාමාන්‍ය ලෙස වැඩිපුර නිදාගැනීමට උත්සාහ කිරීම තවත් හෝමෝන හා පරිවෘත්තීය ගැටළු ඇති කළ හැක.
  • කළ යුත්තේ "පෙර ණය පියවීම" නොව, අද දවසේ සිට දිනපතා අවම වශයෙන් පැය 7-8ක සුවදායී, ගුණාත්මක නින්දක් ලබාගැනීමට හුරුවීමයි.

5. ප්‍රායෝගිකව ගත හැකි පියවර

පසුගිය කාලයේ නිදි වැරීම නිසා සිදුවූ හානිය ගැන අනවශ්‍ය ලෙස බිය වී පසුතැවෙනවාට වඩා කළ යුතු හොඳම දේ වන්නේ:
  1. තම වයසට හා සෞඛ්‍යයට සරිලන පරිදි දිනපතා පැය 7–9ක සුව නින්දක් නියමිත වේලාවකට ලබාගැනීම.
  2. නින්දට පෙර තිර කාලය (Screens/Phones) අවම කිරීම.
  3. සවස කාලයේදී කැෆේන් (කෝපි/තේ) භාවිතය සීමා කිරීම.
  4. නිදන කාමරය අඳුරු, නිහඬ හා සුවපහසු උෂ්ණත්වයක පවත්වා ගැනීම.
  5. දහවල් කාලයේ ශාරීරික ව්‍යායාමයක හෝ ක්‍රියාශීලී කාර්යයක යෙදීම.

සමාප්තිය

දැනුවත්ව සිටීම මෙන්ම, නිවැරදි විද්‍යාත්මක දැනුම බෙදාගැනීමත් අප සැමගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයට අතිශය වැදගත් වේ.

2023/09/16

තනිවෙන්න ඉඩ දෙන්න (එපා!!!!): හුදකලාව, තනිකම සහ ඩිමෙන්ෂියා අවදානමෙන් මිදීමට මග

*"තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි..."*

අනූව දශකයේ මැද භාගයේ අජිත් ආරියරත්නයන් ගැයූ මේ සුන්දර ගීතය විටෙක තනිව හුදකලා මොහොතක අපූරු රසයක් විඳින්නට උදව් වුවද, දීර්ඝකාලීනව සිරුර හා මනස "තනිකම" නමැති පීඩාකාරී හැඟීම තුළ සිරවී සිටීම බරපතල සෞඛ්‍ය අවදානමකට මගපාදයි.



1. හුදකලාව (Social Isolation) සහ තනිකම (Loneliness): වෙනස කුමක්ද?

  • හුදකලාව (Social Isolation):
භෞතිකව විශාල පිරිසක් සමඟ නොගැටී, නිශ්ශබ්දව හෝ තමන්ගේ පාඩුවේ ජීවත්වීමයි. මෙය බොහෝ විට පුද්ගලික තෝරාගැනීමක් (Choice) විය හැකි අතර, නිවැරදිව පවත්වා ගන්නේ නම් එයින් මානසික සුවයක්ද ලැබිය හැක.
  • තනිකම (Loneliness):
තනිකම යනු හුදෙක් භෞතික තත්ත්වයක් නොව වේදනාකාරී හැඟීමකි (Distressing subjective feeling). තමන් අපේක්ෂා කරන ආකාරයේ අව්‍යාජ, ගැඹුරු හෝ ආදරණීය අන්තර්සබඳතා නොමැති වීම නිසා සිත තුළ හටගන්නා අඩුවකි.
💡 ප්‍රායෝගික සත්‍යය:
එකම නිවසේ පවුලේ සැම එකට සිටියත්, රැකියා ස්ථානයේ සිය ගණනක් වටවී සිටියත්, ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ 5000ක් සිටියත් හිතින් "මම තනිවෙලා" යන හැඟීමෙන් පීඩා විඳින බොහෝ දෙනෙකු අප අතර සිටී.

2. තනිකම සහ ඩිමෙන්ෂියා අවදානම (The 31% - 44% Risk Factor)

මෑතකාලීන ජාත්‍යන්තර සායනික පර්යේෂණ අනුව:

  • දීර්ඝකාලීනව තනිකම (Chronic Loneliness) විඳින පුද්ගලයින්ට ඩිමෙන්ෂියා තත්ත්වයක් වැළඳීමේ අවදානම 31%කින් ඉහළ යයි.
  • අමතකවීම් සහ තීරණ ගැනීමේ හැකියාවන් දුර්වල වන පූර්ව ඩිමෙන්ෂියා (Mild Cognitive Impairment - MCI) තත්ත්වයන්ට පත්වීමේ අවදානම 44%කින් ඉහළ නංවයි.

ස්නායු හා වැඩිහිටි සාත්තු සත්කාරක ක්ෂේත්‍රයේ වසර ගණනාවක වෘත්තීය අත්දැකීම් විමසීමේදීද, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන සේවාලාභීන් බහුතරයකගේ අතීත සමාජ-මානසික පසුබිම තුළ මෙම "තනිකම" ප්‍රබලව ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය වේ.



3. "තනි නොවූ" සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රායෝගික පියවර 9

ගීතයේ "තනිවෙන්න ඉඩ දෙන්න" යැයි කීවද, ඔබේ මනසට දීර්ඝකාලීනව තනිවෙන්නට ඉඩ නොදී පහත පියවර අනුගමනය කරන්න:

1. තමන්ට දැනෙන හැඟීම හඳුනාගෙන පිළිගන්න

මිනිසුන් මැද සිටියත් ඔබට තනිකමක් දැනේ නම් එය වසන් නොකර අවංකව හඳුනාගන්න. තනිකම දැනීම වරදක් හෝ ලැජ්ජාවට කරුණක් නොවේ; එය වෙනසක් අපේක්ෂා කරන මනසේ සංඥාවකි.

2. පවතින සැබෑ සබඳතා ශක්තිමත් කරගන්න

ඔබට දහස් ගණනක මිතුරන් අවශ්‍ය නැත. ඔබේ සතුට-දුක බෙදාගත හැකි, හදවතින්ම ඔබ වෙනුවෙන් සිටින එකම එක හෝ දෙදෙනෙකුගේ සබඳතාවය වුවද තනිකම දුරලීමට ප්‍රමාණවත්ය.

3. සම අදහස් ඇති කණ්ඩායම් සමඟ එක්වන්න (Shared Interests)

ඔබ කැමති විනෝදාංශ, ක්‍රීඩා, කලාව හෝ අධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් ඇති සමිති හා කණ්ඩායම් වලට එක්වන්න. එහිදී හමුවන අව්‍යාජ මිනිසුන් ඔබේ තනිකම මකා දමනු ඇත.

4. අසම වයස් කණ්ඩායම් සමඟද මිතුරු වන්න (Intergenerational Bonds)

ඔබේ වයසේ අය සමඟ පමණක් නොව, ඔබට වඩා වියපත් ප්‍රවීණයන් සහ තරුණ පරම්පරාව සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කරගන්න.

5. සුරතල් සතෙකු ඇති කරන්න (Pet Companionship)

සුරතල් සතෙකු වෙනුවෙන් කැපවීම, පෙරළා කිසිවක් අපේක්ෂා නොකර ලැබෙන පිරිසිදු සෙනෙහස සහ වගකීම තනිකමේ පීඩනය ක්ෂණිකව බිඳ දමයි.

6. අනෙකෙකුට උපකාර කරන්න (Altruism & Volunteering)

තවත් කෙනෙකුට උදව් කිරීමෙන්, දැනුම බෙදාදීමෙන් හෝ ස්වේච්ඡා සේවයක යෙදීමෙන් ලැබෙන මානසික තෘප්තිය හා ආත්ම අභිමානය තනිකම දුරු කරයි.

7. සමාජ මාධ්‍ය බුද්ධිමත්ව භාවිත කරන්න (Mindful Social Media)

නොදැනුවත්ව ෆේස්බුක්/ඉන්ස්ටග්‍රෑම් තුළ පැය ගණන් රැඳෙමින් අන්‍යයන්ගේ ජීවිත සමඟ සංසන්දනය කිරීම තනිකම හා විශාදය දෙගුණ කරයි. සමාජ මාධ්‍ය හුදෙක් සැබෑ දැනුම හෝ සැබෑ මිතුරු හමුවීම් සඳහා පමණක් සීමාසහිතව භාවිත කරන්න.

8. මනස නිරන්තරයෙන් සක්‍රීයව තබාගන්න

තනිකම දැනෙන විට එන අලස බවට ඉඩ නොදී, අලුත් යමක් ඉගෙනීම, ලිවීම, නිර්මාණශීලී වැඩක යෙදීම තුළින් මොළයේ සංජානන හැකියාවන් (Cognitive Reserve) උත්තේජනය කරන්න.

9. අවශ්‍ය විටෙක වෘත්තීය උපකාර ලබාගන්න

තනිකමේ වේදනාව තනිව දරාගත නොහැකි මට්ටමක පවතී නම්, මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු හෝ වෛද්‍යවරයෙකු සමඟ විවෘතව සාකච්ඡා කර උපදෙස් ලබාගන්න.

අවසන් පණිවිඩය

තනිකම යනු මානසික රෝගයක් නොවුණද, එය සීමාව ඉක්මවා සිත තුළ රඳවා තබා ගැනීම කායික, මානසික සහ අනාගත ඩිමෙන්ෂියා අවදානමට සෘජුව බලපායි. ඔබ වෙනුවෙන්, ඔබේ සෞඛ්‍ය සම්පන්න අනාගතය වෙනුවෙන් අදම තනිනොවී ජීවිතය විඳින්න!

2023/09/09

ඩිමෙන්ෂියාවෙන් ගැලවෙන්නට(?): අවදානම 45%කින් අඩුකරගත හැකි සාධක 14 සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග 10

ඩිමෙන්ෂියාව පිළිබඳ ප්‍රජාව තුළ සාකච්ඡා වන වැදගත්ම පැතිකඩක් වන්නේ, එය වළක්වා ගැනීමට හෝ පමා කරගැනීමට තරුණ/මැදි වියේ සිටම කළ හැක්කේ කුමක්ද යන්නයි.



සාමාජික යුවලකගේ විමසීම:


"වයස 38 පසුවන දෙපළක් වන අපිට අනාගතයේ ඇති විය හැකි ඩිමෙන්ෂියා තත්ත්වයක් මගහරවා හෝ වළක්වා ගැනීම සඳහා දැන් සිටම ගත හැකි ක්‍රියාමාර්ග හෝ පිළිපැදිය යුතු/පවත්වාගත යුතු ජීවන රටාව ගැන අදහසක් දැන ගැනීමට කැමතියි. අප වයසට ගිය පසු අපිව බලාගැනීමට කිසිවෙකු නොමැති වෙයි යන උපකල්පනය මත මෙය විමසන බව කාරුණිකව සලකන්න."

බොහෝ දෙනෙකු "ලෙඩ වූ පසු ප්‍රතිකාර ගැනීම" ගැන පමණක් සිතන පරිසරයක, වයස 38 වැනි තරුණ මැදි වියේදීම මෙවැනි පෙර සූදානමක් ගැන විමසීම අතිශය ප්‍රශංසනීයයි.



The Lancet Commission: ඩිමෙන්ෂියා අවදානම 45%කින් අඩුකරන සාධක 14 (Modifiable Risk Factors)

ජාත්‍යන්තර ඩිමෙන්ෂියා පර්යේෂණ අනුව (The Lancet Commission on Dementia Prevention, Intervention, and Care), ඩිමෙන්ෂියා රෝග තත්ත්වයන්ගෙන් 45%ක් පමණ පහත සාධක 14 පාලනය කරගැනීමෙන් වළක්වා ගැනීමට හෝ සැලකිය යුතු ලෙස පමා කරගත හැක:

1. ළමා වියේදී නිසි පාසල් අධ්‍යාපනයක් ලැබීම

ළමා වියේදී අධ්‍යාපනය, පරිකල්පනය හා නිර්මාණශීලීත්වය තුළින් මොළයේ Cognitive Reserve (සංජානනීය සංචිතය) ඉහළ මට්ටමක ගොඩනැගේ. ශක්තිමත් Cognitive Reserve එකක් පැවතීම වියපත් වීමේදී ඩිමෙන්ෂියා සීමාවට පත්වීම පාලනය කරයි. ළමා වියේ මානසික කම්පන, යුද්ධ හෝ දෙමාපියන්ගෙන් අනපේක්ෂිත ලෙස වෙන්වීම් Cognitive Reserve එක දුර්වල කිරීමට බලපාන බව නිරීක්ෂණය වේ.

2. ශ්‍රවණාබාධ සඳහා ප්‍රතිකාර ලබාගැනීම (Hearing Loss)

ශ්‍රවණ හැකියාව ඩෙසිබල් 10කින් අඩුවී ප්‍රතිකාර නොලබා සිටීමෙන් ඩිමෙන්ෂියා අවදානම 10%කින් පමණ ඉහළ යයි. ශ්‍රවණාධාරක (Hearing aids) භාවිතය මෙම අවදානම වළකයි.

3. රුධිරයේ අධික LDL කොලෙස්ටරෝල් මට්ටම පාලනය

අධික LDL කොලෙස්ටරෝල් මොළයේ ක්ෂුද්‍ර රුධිර නාල අවහිර කරන අතර, මොළයේ සෛල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට බාධා ඇති කරයි.

4. විශාදය (Depression) සඳහා නිසි ප්‍රතිකාර

දීර්ඝකාලීන මානසික අවපීඩනය මොළයේ සෛල හා හෝමෝන සමතුලිතතාවයට හානි කරයි. නිසි මනෝචිකිත්සීය හා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යය.

5. හිසට වන අනතුරු වළක්වා ගැනීම (Traumatic Brain Injury)

ක්‍රීඩා, අනතුරු හෝ වැටීම් නිසා හිසට වන තුවාල ඩිමෙන්ෂියා අවදානම ඉහළ නංවයි. ආරක්ෂිත හිස්වැසුම් (Helmets/Seatbelts) භාවිතය වැදගත්ය.

6. අක්‍රීය ජීවන රටාවෙන් මිදීම (Physical Inactivity)

සතියකට අවම වශයෙන් විනාඩි 150ක මධ්‍යම ප්‍රමාණයේ කායික ව්‍යායාමයක් (Moderate-intensity aerobic activity) මොළයේ රුධිර ගමනාගමනය සහ ස්නායු වර්ධක ප්‍රෝටීන ඉහළ නංවයි.

7. දියවැඩියාව පාලනය කිරීම (Diabetes Management)

විශේෂයෙන්ම තරුණ මැදි වියේදී (Midlife) හටගන්නා දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම මොළයේ ක්‍රියාකාරිත්වයට සෘජුව බලපායි. ඇතැම් පර්යේෂකයින් ඇල්සයිමර් තත්ත්වය "Type-3 Diabetes" ලෙසද හඳුන්වන්නේ මේ නිසාවෙනි.

8. දුම්පානයෙන් වැළකීම (Smoking)

සක්‍රීය දුම්පානය මෙන්ම ද්විතීයික දුම්පානයද (Passive smoking) මොළයේ සෛල ක්ෂය වීම වේගවත් කරයි.

9. අධි රුධිර පීඩනය පාලනය (Hypertension)

මැදිවියේදී අධි රුධිර පීඩනය පාලනය කර නොගැනීම මොළයේ සනාල හානි (Vascular damage) ඇති කරයි.

10. අධික තරබාරුව (Obesity)

ශරීරයේ හෝමෝන අසමතුලිතතා සහ දැවිලි තත්ත්වයන් (Systemic inflammation) ඇති කරන බැවින් නිරෝගී BMI හා Waist-to-hip අනුපාතයක් පවත්වා ගැනීම වැදගත්ය.

11. මත්පැන් අධික ලෙස භාවිතය (Excessive Alcohol)

අධික මත්පැන් භාවිතය අක්මාවට සහ මොළයට හානි කරමින් Alcohol-related Dementia සහ Korsakoff Syndrome වැනි තත්ත්වයන් කැඳවයි.

12. සමාජීය හුදකලා බවින් මිදීම (Social Isolation)

සමාජයෙන් වෙන්ව හුදකලා වීම මොළයේ සංජානන සංචිතය වේගයෙන් හීන කරයි.

13. වායු දූෂණයෙන් ආරක්ෂා වීම (Air Pollution)

වාතයේ ඇති ක්ෂුද්‍ර අංශු (PM2.5) සහ විෂ වායු මොළයේ අහිතකර ප්‍රෝටීන තැන්පත්වීම වේගවත් කරයි.

14. ප්‍රතිකාර නොකළ දෘශ්‍යාබාධ (Vision Loss)

ඇස් පෙනීම දුර්වල වූ විට නිසි අක්ෂි පරීක්ෂණ කර ඇස් කණ්ණාඩි හෝ ශල්‍යකර්ම මගින් පෙනීම යථා තත්ත්වයට පත්කර නොගැනීම සංජානන උත්තේජනය හීන කරයි.

ඩිමෙන්ෂියාවෙන් මිදීමට අපට කළ හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග 10

  1. Cognitive Reserve නිරන්තරයෙන් ඉහළ නංවාගන්න:
කියවීම, සැලසුම් සහිතව ලිවීම, අලුත් භාෂාවක් හෝ සංගීත භාණ්ඩයක් ඉගෙනීම, ගැටළු විසඳීම, Dual-Task Activities (WWT) වල යෙදීම.
  1. ක්‍රමවත් ශාරීරික ව්‍යායාම:
සතියකට විනාඩි 150ක් වේගයෙන් ඇවිදීම, පිහිනීම, පාපැදි පැදීම, සමබරතාවය හා ශක්තිය වඩවන ව්‍යායාම.
  1. සමාජ සබඳතා සක්‍රීයව පවත්වා ගැනීම:
මිතුරන්, පවුලේ අය සහ ස්වේච්ඡා කණ්ඩායම් සමඟ අර්ථවත් කතාබහ හා චිත්තවේගීය බැඳීම් පවත්වාගෙන යාම.
  1. මොළයට හිතකර පෝෂණය (MIND Diet):
එළවළු, පලා වර්ග, ධාන්‍ය, ඔලිව් තෙල්, බෙරි වර්ග සහ මත්ස්‍ය ආහාර වැඩි කරමින් සීනි සහ අධික මේදය අඩුකිරීම.
  1. සුවබර රාත්‍රී නින්දක් (7-9 Hours):
මොළයේ පරිවෘත්තීය අපද්‍රව්‍ය (Glymphatic clearance) ඉවත් වීමට අඳුරු, නිහඬ කාමරයක සුව නින්දක් ලබාගැනීම.
  1. වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ හා කල්තියා හඳුනාගැනීම:
රුධිර පීඩනය, සීනි, කොලෙස්ටරෝල්, පෙනීම සහ ඇසීම නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම.
  1. පාරිසරික විෂ හා දුමාරයෙන් ඈත්වීම:
වාහන තදබදයේදී වීදුරු ආවරණය කර Cabin Filter හා Air Recirculation භාවිතය.
  1. යහපත් මානසික සෞඛ්‍යයක් රැකගැනීම:
මානසික ආතතිය, විශාදය හෝ කාංසාවන් සඟවා නොගෙන කල්තියා මනෝ උපදේශන හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම.
  1. තාක්ෂණය බුද්ධිමත්ව භාවිතය:
මනස උත්තේජනය කරන, සංවිධානය පහසු කරන යහපත් මෙවලමක් ලෙස තාක්ෂණය භාවිත කරමින් අධික තිර කාලයෙන් (Screen time) මිදීම.
  1. ආර්ථික හා නීතිමය ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම:
අනාගත සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඉතිරි කිරීම්, රක්ෂණ සහ සැලසුම් සකස් කරගෙන මානසික සැහැල්ලුව පවත්වා ගැනීම.

"අපි වයසට ගිය පසු බලාගන්න කෙනෙක් නැතිවෙයිද?"

යම් පුද්ගලයෙකුට අනාගතයේදී ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇති වුවද, අද ලෝකය පුරා සාත්තු සත්කාරක ක්‍රමවේද (Specialized Memory Care, Adult Day Programs, Assisted Living) අතිශය දියුණු මට්ටමක පවතී. පවුලේ අයෙකු නොවුවද, රෝගය පිළිබඳ මනාව පුහුණුව ලත් වෘත්තිකයින්ගේ සහයෝගය ලැබීම බොහෝ විට රෝගියාට වඩාත් ආරක්ෂිත සහ සුවපහසු විය හැක.

එබැවින් අනාගතය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගෙන, සැලසුමක් සහිතව, සීමා කළ හැකි අවදානම් සාධක වලින් වැළකී, වර්තමාන මොහොත සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න!

2023/09/02

වෙව්ලීම සහ ඩිමෙන්ෂියාව: හේතු, රෝග ලක්ෂණ සහ සාත්තු සත්කාරයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ඩිමෙන්ෂියා තත්ත්වයක් සමඟ ජීවත්වන වැඩිහිටියෙකුගේ ශරීරයේ ඇතිවන වෙව්ලීම (Tremors) පිළිබඳව ප්‍රජාවෙන් යොමු වූ වැදගත් සාකච්ඡාවකට ප්‍රායෝගික හා සායනික කරුණු විමසා බලමු.



සාමාජිකයෙකුගේ ගැටළුව:


"ඩිමෙන්ෂියා රෝගියෙකුගේ ශරීරය වෙව්ලීමට හේතු මොනවාද? ප්‍රතිකාර කරත් එය විටින් විට මතුවනවා. වෛද්‍යවරුන්ටද මෙය පාකින්සන් රෝගයද යන්න නිශ්චිතවම කීමට අපහසුයි. මෙම රෝග ලක්ෂණ තියෙන ඩිමෙන්ෂියා රෝගීන් ඉන්නවාද?"



1. රෝග ලක්ෂණ නිරීක්ෂණයේ වැදගත්කම (Observation & Evidence)

ඩිමෙන්ෂියා හෝ ආශ්‍රිත ස්නායුක තත්ත්වයන් නිවැරදිව විනිශ්චය කිරීමට වෛද්‍යවරයාට පමණක් තනිව අපහසුය. එහිදී පවුලේ සාමාජිකයන් සහ සාත්තු සපයන්නන් ලබාදෙන දිනපොත් සටහන් (Log/Diary) සහ නිරීක්ෂණ අතිශය තීරණාත්මක වේ.

වෙව්ලීම (Tremor) නිරීක්ෂණය කළ යුතු ආකාරය:

  • ස්වභාවය: අතක, පයක හෝ මුළු සිරුරේම පවතින ගැස්මක්ද?
  • රටාව: එකම රිද්මයකට සිදුවන පැද්දීමක්ද (Rhythmic tremor)?
  • විවේකයේදී (Resting tremor): කිසිදු කාර්යයක නොයෙදී විවේකයෙන් සිටින විටත් අතැඟිලි කරකවන චලනයක් (Pill-rolling tremor) ලෙස පවතීද?
  • වෙහෙස/කාර්යයේදී (Action/Intention tremor): යමක් අල්ලන්නට යන විට හෝ වෙහෙස වූ විට වැඩි වේද?
  • එක්පැත්තක්ද (Unilateral vs. Bilateral): ශරීරයේ එක් පැත්තක පමණක් පටන් ගෙන අනෙක් පැත්තට වඩා පැහැදිලි වෙනසක් පෙන්වයිද?
  • කාල සීමාව: එක දිගටම පවතීද? නැතහොත් මාස කිහිපයකට වරක් විනාඩි 15-20ක් පමණ මතු වී නැතිවී යන රටාවක්ද?
💡 ප්‍රායෝගික උපදෙස: මෙවැනි වෙව්ලීමක් මතුවන අවස්ථාවේදී අදාළ ප්‍රදේශය මෙන්ම සම්පූර්ණ පුද්ගලයාම පෙනෙන පරිදි ඔබේ ජංගම දුරකථනයෙන් කෙටි වීඩියෝවක් (Video recording) ලබාගන්න. වෛද්‍යවරයාට රෝග තත්ත්වය පැහැදිලි කිරීමට එය වචන සිය ගණනකට වඩා ප්‍රබල සාක්ෂියකි.

2. වෙව්ලීමට හේතුවිය හැකි ප්‍රධාන ඩිමෙන්ෂියා හා ස්නායුක තත්ත්වයන්

(අ) Parkinson's Disease Dementia (PDD)

  • බොහෝ විට විවේකයේදී පවා පවතින (Resting tremor), ඇඟිලි කරකැවීම වැනි Pill-rolling tremor බහුලව දැකිය හැක.
  • මුල් අවධියේදී ශරීරයේ එක් පැත්තක (Asymmetric) වඩාත් ප්‍රබලව මතුවේ.

(ආ) Lewy Body Dementia (LBD)

  • විවේකයෙන් සිටින විට ක්ෂණිකව හඳුනාගැනීමට අපහසු විය හැකි අතර, ලක්ෂණ "ඇති නැති වන" (Fluctuating) රටාවක් පෙන්වයි.
  • සමහර විට මාස කිහිපයකට වරක් විනාඩි 20ක් වැනි කෙටි කාලයකට මතු වී පසුව සාමාන්‍ය තත්ත්වයට පත්විය හැක.

(ඇ) Vascular Dementia (VaD) / TIA (Transient Ischaemic Attacks)

  • මොළයේ රුධිර නාල වල සිදුවන ක්ෂුද්‍ර අවහිරතා හෝ තාවකාලික ආඝාත (Mini-strokes) නිසා වෙව්ලීමකට වඩා ක්ෂණික ගැස්මක් (Jerks/Twitches) ලෙස මතු විය හැක.

(ඈ) Essential Tremor

  • ඩිමෙන්ෂියා තත්ත්වයක් නොවන ස්වාධීන ස්නායුක තත්ත්වයකි. යමක් අතට ගන්නා විට (Action tremor) බහුලව මතු වේ.

(ඉ) Partial Seizures (අපස්මාරයේ සුළු අවස්ථා)

  • සාමාන්‍ය මහා අපස්මාරය නොවී, ශරීරයේ එක් අවයවයක හෝ කොටසක සුළු වෙව්ලීමක් ලෙස මතු වී නැතිවී යන අවස්ථා තිබිය හැක.

3. වෙනත් ශාරීරික හා ඖෂධීය හේතු (Non-dementia Causes)

  1. ඖෂධ අතුරු ආබාධ (Drug-Induced Tremors):
ඩිමෙන්ෂියාව, මානසික ආතතිය හෝ ස්නායුක රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධවල බලපෑම නිසා අතුරුඵලයක් ලෙස වෙව්ලීම මතුවිය හැක.
  1. ඉලෙක්ට්‍රොලයිට් අසමතුලිතතා සහ විජලනය (Electrolyte Imbalance & Dehydration):
ආහාර හා ජලය නිසි පරිදි නොගැනීම, වමනය, පාචනය, වකුගඩු හෝ අක්මා ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිසා රුධිරයේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් ලවණ අසමතුලිත වීමෙන් වියපත් ශරීරයක ක්ෂණික වෙව්ලීම් හටගනී.
  1. රුධිර සීනි මට්ටම පහත වැටීම (Hypoglycemia):
දියවැඩියාව සඳහා ඖෂධ ගන්නා අයගේ සීනි මට්ටම හදිසියේ පහත වැටුණු විට දහඩිය දැමීම සමඟ වෙව්ලීම හටගනී.

4. වෛද්‍ය විනිශ්චය පමා වන්නේ ඇයි?

නියුමෝනියාවක් හෝ සරල උණක් හඳුනාගන්නවාක් මෙන් ස්නායුක රෝග ක්ෂණිකව තනි පරීක්ෂණයකින් තහවුරු කළ නොහැක. ඒ සඳහා:

  • රෝග ලක්ෂණවල කාලීන වෙනස්කම් නිරීක්ෂණය කිරීම.
  • රුධිර පරීක්ෂණ (Blood work) සහ ඉලෙක්ට්‍රොලයිට් පරීක්ෂා කිරීම.
  • මොළයේ විද්‍යුත් තරංග (EEG), MRI / CT ස්කෑන් පරීක්ෂණ.
  • ඖෂධ මාත්‍රාවන් සකස් කරමින් (Trial and error adjustment) ලැබෙන ප්‍රතිචාර අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ.



සමාප්තිය හා සාත්තු සත්කාරක උපදෙස්

වෙව්ලීමක් දුටු සැණින් අනවශ්‍ය ලෙස කලබල නොවී, රෝග ලක්ෂණ සහ වේලාවන් සටහන් කරගන්න (හෝ වීඩියෝවක් ගන්න). තැනින් තැනට වෛද්‍යවරුන් මාරු කරනවාට වඩා, එකම විශ්වාසවන්ත ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකු සමඟ නිරන්තර සබඳතාවයකින් යුතුව පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් සුබදායකය.

2023/08/31

මට, මාව පරිස්සම් කරල දෙන්න

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)

පළමු හමුවීම: දවස සිකුරාදා

සිදුවීම: සේවාලාභියෙකු සමඟ පළමු හමුවීම (Intake & Assessment)

"මට ඒ සිදුවීම හොඳට මතකයි... අපි හිම කන්ද පහළට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුණා. අන්තිමට මට මතක මාව අන්ධ වුණා වගේ හැඟීමක්... ඊට පස්සේ වුණු දේ ගැන හරි මතකයක් නෑ."

මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ තරුණ කොළු ගැටයා කියාගෙන යයි.

"හ්ම්... ඒ තමයි එයා ස්කී-ඩූ (Ski-doo / Snowmobile) ගිය අවසාන දවස. මාස හතරක් රෝහලේ හිටියා. ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේරගන්න..." ඔහු සමඟ පැමිණි අම්මා කතාව මැදට එකතු වූවාය.

"මගේ පෙම්වතියත් එයින් තුවාල වුණාලු. ඒත් දැන් එයා සුවෙන්... ඒක මට සතුටක්. ඒත් මට එයාව තව කොයිතරම් කාලයක් මතක තියේද, හඳුනාගන්න පුළුවන් වේවිද කියන බය තමයි මට තියෙන්නේ..." ඔහුගේ ඇසේ කඳුළක සේයාවක් මතු විය.

"දැනටමත් මාව වෙන කවුරු හරි කියලා හඳුනාගන්න අවස්ථා බොහෝමයි. මෙයාගේ වෛද්‍ය කණ්ඩායම නම් කියන්නේ, අමතක වීම ශීඝ්‍ර වන වේගය අනුව, හුඟ කාලයක් මතකය රඳවා ගන්න අපහසු වේවි කියලා..." අත තිබුණු ටිෂූ එකෙන් ඇස් අග පිසදාන ගමන් අම්මා පැවසුවාය.



"ජීවිතේ කියන්නේ ඒ මතක..."

හමුවීම සාර්ථකව නිමාවට පත් විය. සේවා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ බැවින් ඔහු අපගේ වැඩසටහන තුළට ඇතුළත් කරගන්නා ලදී.

"ඔයා අපත් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?" සේවාලාභියාගේ අවශ්‍යතාවය, කැමැත්ත සහ අවබෝධය පිළිබඳ කරන විමසීම වෙනුවෙන් අවසන් ප්‍රශ්නය මා ඇසුවෙමි.

"මගේ සෞඛ්‍ය කණ්ඩායම තමයි මේ වැඩසටහනට මාව යොමු කළේ. මම දන්නේ නෑ එයාලගේ අරමුණු මොනවාද කියලා... මට නම්, මගේ මතකයේ තියෙන මේ සුන්දර මතකයන් ටික තව ටික කාලයක්වත් රඳවා ගන්න පුළුවන් නම්... වැඩියෙන්ම මට මගේ පවුලේ අය, මගේ ආදරවන්තිය, ඇගේ සිනහව, ඒ උණුසුම මතකයේ තව කාලයක් තියාගන්න පුළුවන් නම් ඒ ඇති..."

ඔහු මොහොතක් නතර විය.

"මං දන්නවා මගේ ජීවිත ගමන හුඟක් දුර නෑ කියලා... ඒත් මට ජීවිතේ කියන්නේ ඒ මතක... ඒ ටික පරිස්සම් කරගන්න මට උදව් දෙන්න..."

එතෙක් හිත තද කරගෙන සිටි මේ තරුණ දරුවාගේ කම්මුල් දිගේ කඳුළු වැලක් ගලා හැලුණි.

"ඔව් පුතා... එන්න අපිත් එක්ක මේ ක්‍රියාකාරකම් වල යෙදෙමු. අපි උපරිමයෙන් උත්සාහ කරමු ඒ සුන්දර මතකයන් තවත් කාලයක් රඳවා ගන්නට..." මගේ අත තදින් අල්ලා සිටි ඔහුගේ හැඟීමට ඉඩ දෙමින් මම කෙටි පිළිතුරක් දුන්නෙමි.



"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

මේ සියල්ල ඉදිරියේ සිත් ශක්තිමත් කරගෙන සිටි අම්මාත්, දරුවාත් හමුවීම නිමවා ආයතනයෙන් නික්ම යද්දී මාද ඔවුන් සමඟ එළියට පැමිණියෙමි. අම්මාගේ අත අල්ලාගෙන, තරමක අසමබර පා තැබීමකින් යන මේ උස මහත තරුණ දරුවාගේ චර්යාව දෙස මම බලා සිටියෙමි.

"මට ලබන සතියෙම එන්න පුළුවන්නේද?" මා පසුපසින් එන බව දුටු ඔහු නැවතී විමසුවේය.

"ඔව් පුතා..." මට කියැවිණි. "ඔයාට තවත් හරියටම දවස් පහකින් අපිත් එක්ක එකතු වෙන්න එන්න පුළුවන්." හිතේ බරටම වෘත්තීය සීමාවන් තරමක් බිඳී ගිය බව මට වැටහුණේ මොහොතකට පසුවය.

අම්මාගේ අතින් මිදුණු ඔහු ක්ෂණිකව මා වෙතට පැමිණියේය.

"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

තදින් මා වැළඳගත් මේ තරුණ දරුවා මගෙන් කළ ඒ බරසාර ඉල්ලීම මුළු හදවතම හිරිවට්ටවාලීය.

හිමේ සීතල වගේම හිරුගේ උණුසුමත් මොහොතකට විඳි මා, නැවතත් වැඩසටහන් පරිශ්‍රය තුළට පැමිණියේ මගේ දරුවන්ගේ වයසේ සිටි මේ තරුණ දරුවා කී වැකි දෙක හදවත තුළ දෝංකාර දෙද්දීය:

"ජීවිතේ කියන්නේ ඒ මතක..."
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."

2023/08/26

ඩිමෙන්ෂියා පමා කරන ව්‍යායාම: WWT සහ SCET ප්‍රායෝගික මාර්ගෝපදේශය

මතක ධාරිතාව වර්ධනය කර ගැනීමට සහ ඩිමෙන්ෂියාව පමා කර ගැනීමට කළ හැකි විශේෂිත ව්‍යායාම මොනවාදැයි ප්‍රජාව අතරින් නිතර නැගෙන ගැටළුවකට ප්‍රායෝගික හා චිකිත්සීය පිළිතුරක් විමසා බලමු.



මොළයේ සෞඛ්‍යයට වගකියන ප්‍රධාන ව්‍යායාම ක්‍රම 2ක්

පොදුවේ මොළයේ ක්‍රියාකාරිත්වය හා මතක ශක්තිය (Cognitive Health) සුරැකීම සඳහා ප්‍රධාන ව්‍යායාම ධාරාවන් දෙකක් දායක වේ:

  1. කායික ව්‍යායාම (Physical Exercises): රුධිර ගමනාගමනය, ඔක්සිජන් සහ පෝෂක සැපයුම ඉහළ නැංවීම.
  2. සංජානනීය ව්‍යායාම (Cognitive Exercises): මොළයේ ස්නායුක සම්බන්ධතා (Synapses) සහ බුද්ධිමය හැකියාවන් තියුණු කිරීම.

මේ දෙකෙහිම එකතුවෙන් සැකසෙන ඉහළම ප්‍රතිඵලදායක ආකෘතිය වන්නේ Simultaneous Cognitive and Exercise Training (SCET) හෙවත් Dual-Task Activities (DTA) යි.



WWT (Walking While Talking) ව්‍යායාම ආකෘතිය

මතකය දුර්වල වීම සහ ඩිමෙන්ෂියා අවදානම පමා කිරීම සඳහා සායනිකව බහුලව භාවිත වන සරලම හා ප්‍රබලතම DTA ආකෘතියක් වන්නේ WWT (Walking While Talking) යි.

සාර්ථක WWT එකක අත්‍යවශ්‍ය මූලධර්ම 4:

  1. Cognitive Challenge: බුද්ධිය හෝ මතකය වෙහෙසවන අභියෝගයක් පැවතීම.
  2. Physical Component: ඇවිදීම හෝ කායික ක්‍රියාකාරකමක් අඩංගු වීම.
  3. Intentionally: පුද්ගලයාගේ පූර්ණ දැනුවත්භාවය මත සිදුවීම.
  4. Simultaneously: කායික හා බුද්ධිමය ක්‍රියා දෙකම එකම කාලයක එකවර සිදුවීම.

පියවරෙන් පියවර WWT ක්‍රියාත්මක කරන ආකාරය

(මෙම අභ්‍යාසය ඔබ සහ ඔබේ ආදරණීය වැඩිහිටියා/ඥාතියා අතර සහයෝගයෙන් සිදුකිරීම වඩාත් ඵලදායී වේ)

1. පූර්ව තක්සේරුව (Pre-Assessment):

  • කායික හැකියාව: ඇවිදීමේ දුර, සමතුලිතතාවය, පාද තබන ආකාරය (පාද අදිනවාද - Shuffling gait) පිළිබඳ තක්සේරු කරගන්න.
  • සංජානනීය මට්ටම: සන්නිවේදන හැකියාව, අවධානය රඳවාගත හැකි කාලය සහ වෙහෙසට පත්වන මට්ටම හඳුනාගන්න.
  • ආරක්ෂාව (Safety): අවශ්‍ය නම් හැරමිටියක්, Walker එකක් හෝ Gait belt එකක් නිසි උපදෙස් මත සූදානම් කරගන්න.

2. සැලසුම් කිරීම හා පරිසරය තෝරාගැනීම:

  • අධික අව්ව හෝ රස්නය නැති, රථවාහන තදබදයෙන් තොර, සමතලා මාවතක් තෝරාගන්න. (වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකරන්න).
  • අද දවසේ ඇවිදීමේ ඉලක්කය (දුර, කාලය) සහ කතාබහේ මාතෘකාව කලින් සැලසුම් කරගන්න.

3. ක්‍රියාත්මක කිරීම (Execution):

  • Warm-up: පළමුව සෙමින් ඇවිදිමින් ශරීරය උණුසුම් කරගන්න.
  • Dual-Task කතාබහ එක්කිරීම: ඉන්පසු ඇවිදින අතරතුරේ ප්‍රශ්නෝත්තර තරඟයක්, ගණිත ගැටළු (උදා: 100 සිට 7 බැගින් ආපස්සට ගණනය කිරීම), අතීත මිහිරි මතකයන් විස්තර කිරීම හෝ වචන ක්‍රීඩාවක් එක්කරන්න.
  • වගකීම බෙදාගැනීම: සිතීමේ සහ කතාකිරීමේ වැඩි වගකීම ඥාතියාට පවරමින්, ඔවුන් පීඩාවට පත් නොවන ලෙස සහය වන්න.
  • Cool-down: ව්‍යායාමය අවසානයේ සෙමින් ඇවිද හෝ වාඩිවී ගැඹුරු ශ්වසන අභ්‍යාස (Deep breathing) මගින් ගත සිත නිදහස් කරගන්න.

මොළයේ සෞඛ්‍යයට හිතකර තවත් ව්‍යායාම

  • Cardio & Aerobic Exercises: දිනකට විනාඩි 30 බැගින් වේගයෙන් ඇවිදීම (Brisk walking), පිහිනීම, පාපැදි පැදීම (සතියකට විනාඩි 150ක ඉලක්කයක්).
  • High-Intensity Interval Training (HIIT): ශාරීරික යෝග්‍යතාවය ඇති අයට වෘත්තීය උපදෙස් මත තත්පර 30ක වේගවත් දිවීම සහ විනාඩියක සාමාන්‍ය වේගය මාරුවෙන් මාරුවට කිරීම.
  • නර්තනය (Dance - Zumba / Salsa): රිද්මය සහ පියවර මතක තබාගැනීම එකවර සිදුවන බැවින් විශිෂ්ට Dual-Task ව්‍යායාමයකි.
  • Yoga සහ Tai Chi: සමබරතාවය, නම්‍යශීලී බව සහ මානසික ඒකාග්‍රතාවය එකවර වර්ධනය කරයි.
  • Strength & Resistance Training: නිසි පුහුණුවක් යටතේ කරන බර එසවීම් මාංශ පේශි මෙන්ම මොළයේ සංජානන සෞඛ්‍යය නංවයි.

මොළය උත්තේජනය කරන බුද්ධිමය හා චර්යාත්මක පුරුදු

  • චිත්‍ර ඇඳීම සහ පාට කිරීම (Art & coloring).
  • ප්‍රහේලිකා, වචන ගැලපීම් (Crosswords / Sudoku) සහ සාමාන්‍ය දැනුම විමසීම්.
  • අලුත් භාෂාවක් හෝ නව කුසලතාවක් ඉගෙනීම.
  • ලිවීම සහ නිර්මාණාත්මක කතන්දර ගොතා කීම (Creative storytelling).
  • දිනපතා සුවබර නින්දක් (7-8 hours) ලබාගැනීම.
  • හුදකලා නොවී මිතුරන් හා සමාජය සමඟ නිරන්තර සක්‍රීය සබඳතා පැවැත්වීම.

2023/08/19

හැඩකාර ජීවිතය ගැස්සු Stroke

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)

"මම දන්නවා ඕකේ තියෙන්නේ මොනවාද කියලා..."

"ෆිල් මහත්මයා, මේ තමයි අපේ Release of Liability ලියවිල්ල. මේ තුළ තියෙන්නේ..." හැමදාම වගේ ලියකියවිලි අත්සන් ගැනීමට පෙර කරන දිගු පැහැදිලි කිරීම කරන්නට අදත් මා සූදානම් වුණෙමි.

"ඕන නෑ මයික්, මං දන්නවා ඕකේ තියෙන්නේ මොනවද කියලා! අවුරුදු තිස් හතක් මම කළේ ඔය වගේ නීතිමය ලියකියවිලි හදන එක. මේ පළාතේ ව්‍යාපාර වලින්, සංවිධාන වලින් සියයට හැටකට වඩා නීතිමය ලියකියවිලි හැදුනේ මගේ අතින්, එහෙම නැත්නම් මගේ ආයතනයෙන්. ඒ කියන්නේ මම ඒවා නැවත විමසීම් කළ ඒවා. මං දන්නවා ඕකේ කියන්නේ..." ඔහු මගේ අතේ තිබෙන ලියවිල්ලේ ඇති කරුණු එකක් නෑර බලාගෙන කියවනවා වගේ කියාගෙන ගියේය.

"දෙන්න, මං අත්සන් කරන්නම්. මම දන්නවා අපේ හෙල්ත් සර්විස් එක ගැන..."

ඔහුට පාලනය කරගත නොහැකි ලෙස ගැස්සීමකට (Tremors) ලක්වන අතින් හිමින් සීරුවේ ඔහුගේ අත්සන තැබුවේය.

"ඔබේ අත්සනේ හරිම අපූරු හැඩයක්නේ තිබෙන්නේ!" අත්සනේ තිබුණු සුවිශේෂී කලාත්මක ආකෘතිය නිසා මට නොදැනුවත්වම කියැවිණි.

"ඔව් පුතා, මං හරි ආසයි හැමදේකම ලස්සන, කලාත්මක හැඩයක් දකින්න. මගේ අත්සන පවා හදාගත්තේ ඒ විදියට. දැන් මේ ගැස්මත් එක්ක ඒක හරියටම කරගන්න බෑ. ඉන්න මං පෙන්වන්න මගේ අත්අකුරු සහ අත්සන තිබෙන සටහන් පොතක්..."

අත්සන් තැබූ නීතිමය ලියවිල්ල මගේ අත මත තැබූ ෆිල් මහත්තයා, අමාරුවෙන් නැගිට්ටේ එයා ආස කරන දෙයක් මට පෙන්වන්නටය.

සේවාලාභීන්ගේ නිවෙස් වලට ගිය විට සැලසුම් කළ ආකෘතියට වඩා ඔවුන්ගේ කැමැත්තට ගරු කිරීම වැදගත් නිසා, මම අත්සන් කළ ලියකියවිලි ගොනුව පෙළගස්වන අතරේ ඔහුට අවස්ථාව දුන්නෙමි.



උල්පත් පෑනෙන් ලියූ හැඩකාර අකුරු

අමාරුවෙන් නැගිට ගත් ඔහු, පා අද්දවමින් (Shuffling gait) අමාරුවෙන් ඇවිද ගියේ ස්වභාවික දැවයෙන් කළ ඔහුගේ පොත් සහ ලිපිගොනු රාක්කය වෙතටයි. ලිපිගොනු කිහිපයක් අතට ගත් ෆිල් මහත්තයා නැවතත් මා වෙත පැමිණියේ පෙර සේම පා අද්දවමින්, තරමක අවදානම් සහිත ගමන් රටාවකිනි.

"මේ... මම අන්තිමට පළ කළ, අන්තිම කැමති පත්‍ර පිළිබඳ සාමාන්‍ය ප්‍රජාව දැනුවත් කරන පොතේ මැනුස්ක්‍රිප්ට් එක. අතින්මයි ලිව්වේ, මොකද ඒක මගේ කලාත්මක හැකියාවක් කියලයි මා විශ්වාස කළේ."

ෆිල් මහත්තයා "අත්අකුරු යැයි විශ්වාස කළ නොහැකි තරමේ හැඩකාර අකුරුවලින්" පිරි පොතක් මා අත තැබුවේය.

"මේ ඔබේ අකුරු? මං හිතුවේ පරිගණක මුද්‍රණයක් කියලා!" මට පුදුමයෙන් කියැවිණි.

"නෑ, මගේම අකුරු. තාම මං ලියන්නේ උල්පත් පෑනෙන්. ඒ උල්පත් පෑනෙන් අකුරු හැඩ කරලා ලියද්දි මගේ හිත හෑල්ලු වුණා. ඒත්..."

"ඒත්...?"

"හ්ම්... පහුගිය සරත් සෘතුවේ මට ඇතිවුණු Stroke එකෙන් පස්සේ මගේ ඒ හැම හැකියාවක්ම නැතිව ගියා මයික්..."

ඔහුගේ සෞඛ්‍ය වාර්තා අනුව, මොළයේ ඇතිවුණු රුධිර ගමනාගමනයේ ප්‍රබල අවහිර වීමක් (Stroke / Cerebrovascular Accident) නිසා සෞඛ්‍ය ගැටළු කිහිපයක් හටගෙන තිබුණි. ඒ අතර Vascular Parkinsonism සහ MCI (Mild Cognitive Impairment) ප්‍රධාන වූ අතර, මේ වන විට එය වාහිනීක ඩිමෙන්ෂියාව (Vascular Dementia - VaD) දක්වා වර්ධනය වෙමින් පවතින බවට සැක කෙරිණි.

"එතෙක් මම හරිම සෞඛ්‍ය සම්පන්නව හිටියේ. හැමදාම උදේ ව්‍යායාම කළා. හැබැයි දවසෙම වගේ වාඩි වෙලා තමයි ඉන්න වුණේ. අනෙක කෑම බීම අතින් විශේෂ පරිස්සමක් වෙන්න වුණේ නෑ... වුණේ නෑ නොවෙයි, මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ඒ පරිස්සම හරිම අමාරුයි, දන්නවනේ..." වරින්වර මතුවන වියළි කැස්සක් අතරේ ඔහු උනන්දුවෙන් කියාගෙන ගියේය.



"එක ස්ට්‍රෝක් එකක් අපේ ජීවිතේම වෙනස් කළ හැටි..."

සැලසුම් කළ කාලයට වඩා පැයක පමණ අමතර කාලයක් ගත කර ෆිල් මහතාට අවශ්‍ය පැහැදිලි කිරීම් නිම කර මා නිවසින් එළියට ඒමට දොර අසලට යද්දී, එහි රැඳී සිටියේ ෆිල් මහතාගේ ආදරණීය බිරිඳයි.

"අනේ අපට පුළුවන් නම් මේ උදව්ව කරලා දෙන්න... අඩුම තරමේ සතියට එක දවසක්වත් මහත්තයා ගෙයින් එළියට ගිහින්, යාළුවෝ ටිකක් මුණගැහිලා සතුටු වෙන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද? දැන් මේ අපහසුතා නිසා එයා හරිම අකමැතියි ගෙයින් එළියට යන්න, යාළුවෝ මුණගැහෙන්න. ඒත් මට ඇහුණා එයා ඔයාලගේ Day Program එකට නම් එන්න කැමැත්තක් තියෙනවා වගේ..."

"ඔව් ෆිල් නෝනා, ඔහු අපේ වැඩසටහනට එකතු වෙන්න කැමැත්ත පළ කළා. එයම ලොකු ජයග්‍රහණයක්!"

"අනේ ලොකු දෙයක්... ඊට පස්සේ පුළුවන් නම් අපට උදව් කරන්න මෙයාව බලාගන්න ගැලපෙන Facility එකක් හොයාගන්නත්. මොකද මට බෑ මෙයාට තනියම සාත්තු කරන්න. මාත් වයසයිනේ... අනෙක හදිසියක් වුණොත් මට දුවලා පැනලා මේවා කරන්න බෑ..."

"ස්තුතියි ඔබේ අදහස් බෙදාගත්තාට, අපි බලමු උපරිමයෙන් උදව් කරන්න..."

"බලන්න මයික්... මොන වයසක්ද එයාට? අපි කොයිතරම් දේවල් මේ අවුරුද්දේ කරන්න හිතාගෙන හිටියාද? මේ එක ස්ට්‍රෝක් එකක් අපේ ජීවිත සියල්ල වෙනස් කළ හැටි..."

ඇය මට සමුදෙමින් කී ඒ වචන කිහිපය මගේ හදවතේ ගැඹුරටම කාවැදුණි.



සායනික තොරතුරු හා නිරීක්ෂණ

රෝග විනිශ්චයන් (Medical Diagnoses):

  • Stroke / CVA (Cerebrovascular Accident): මස්තිෂ්ක වාහිනී අනතුර / ආඝාතය
  • Vascular Parkinsonism: මොළයේ රුධිර නාල හානි නිසා හටගත් පාකින්සන් ලක්ෂණ (Tremors, Shuffling gait)
  • MCI (Mild Cognitive Impairment): මෘදු සංජානන දුර්වලතාව
  • Hyperlipidemia: රුධිරයේ අධික මේද මට්ටම

මාස කිහිපයක් තුළ මතුවූ ප්‍රධාන වෙනස්කම්:

  1. චාලක කුසලතා (Motor Skills): ඇවිදීම (Shuffling gait), ලිවීම, සියුම් චාලක කුසලතා (Fine motor skills) සහ සමතුලිතතාවය බිඳවැටීම.
  2. කථනය හා භාෂාව (Speech & Language): සුදුසු වචන මතකයට නොපැමිණීම (Word-finding difficulty) සහ කතාබහ අඩපණ වීම.
  3. විධායක ක්‍රියාකාරිත්වය (Executive Functioning): ගණනය කිරීම්, ගැටළු විසඳීම් සහ තීරණ ගැනීමේදී දැඩි ආතතියට පත්වීම.
  4. මතකය හා චර්යාව (Memory & Behavior): මතක දුර්වලතා වැඩිවීම සහ සමාජයෙන් හුදකලා වීමට ඇතිවන නැඹුරුව.

සමාප්තිය

ෆිල් මහතා අපගේ දිවා සායනික වැඩසටහන් (Adult Day & Group Therapy) වෙත සම්බන්ධ වීම ආරම්භ කළ අතර, කණ්ඩායම් චිකිත්සාවන් තුළ ඔහු නැවතත් සිනහව සහ ජීවිතයේ සතුට සොයාගන්නා අයුරු දැකගත හැකි විය.

(සැ.යු: සේවාලාභියාගේ සහ පවුලේ පෞද්ගලිකත්වය රැකගැනීමේ වෘත්තීය ආචාරධර්ම අනුව නම් ගම් සහ අනන්‍යතා තොරතුරු වෙනස් කර ඇත. මෙම ලිපිය රෝග තත්ත්වයන් පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය සඳහා පමණක් වන අතර ස්වයං රෝග විනිශ්චය සඳහා නොවේ.)

2023/08/12

ඇත්ත වගේ බොරු මතකය: False Memory සහ Confabulation

මතකය අපට පුදුමාකාර දේ කරයි. ඇතැම් විට සිදු නොවූ දෙයක්, "සිදුවූවාක් මෙන්" අපගේ මනසට දැනෙන්නට පුළුවන. ඩිමෙන්ෂියාව හා ඇල්සයිමර් සමඟ ජීවත්වන්නන් තුළ බහුලව දකින, එහෙත් පවුලේ අයට දැඩි ව්‍යාකූලත්වයක් ඇතිකරන False Memory සහ Confabulation පිළිබඳව විමසා බලමු.



පුද්ගලික අත්දැකීමක් සහ මිතුරියගේ පණිවිඩය

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආදරණීය මිනිසුන්ට උපකාර කිරීමට බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මගේ හිතවත් සෞඛ්‍ය වෘත්තික මිතුරියක් මෑතකදී මට එවූ පණිවිඩයක්:

"Hi Mahesh... I wanted to share some difficult news - I've been diagnosed with Alzheimer's disease... but what I have had is thinking that I’ve done something but actually I haven’t."

තමන් නොකළ දෙයක් කළ බව තදින්ම දැනීම සහ විශ්වාස කිරීම, ඩිමෙන්ෂියාවේදී මතකය තුළ සිදුවන ඉතා සංවේදී වෙනස්කමකි.

  • උදාහරණ:
  • මියගිය තම පියා සමඟ ඊයේ කතාබහ කළ බව දැඩිව විශ්වාස කිරීම.
  • රෝහලේ දින ගණනාවක් ගතකළ අයෙකු ඊයේ විනෝද චාරිකාවක් ගිය බව ස්ථිරවම පැවසීම.

False Memory සහ Confabulation අතර වෙනස කුමක්ද?

| ලක්ෂණය | False Memory (ව්‍යාජ මතකය) | Confabulation (මොළයේ හානියෙන් නිර්මාණය වන මතකය) |
| :--- | :--- | :--- |
| සිදුවන පුද්ගලයන් | සම්පූර්ණයෙන්ම නිරෝගී ඕනෑම කෙනෙකුට ඇතිවිය හැක. | බොහෝවිට මොළයේ ස්නායුක හෝ රසායනික හානියක් නිසා ඇතිවේ. |
| පිළිගැනීම / සැකය | මතකය නිවැරදිදැයි නැවත සිතීමට හෝ සැක කිරීමට ඉඩ ඇත. | කිසිදු සැකයකින් තොරව එය 100% ක්ම සත්‍ය බව තරයේ විශ්වාස කරයි. |
| මතකයේ ස්වභාවය | දොර ලොක් කළාද, බඩු දැම්මාද වැනි සුළු දෛනික මතකයන්. | සිදුනොවූ සංකීර්ණ සිදුවීම් පවා සත්‍යයක් ලෙස විස්තරාත්මකව ඉදිරිපත් කරයි. |



Confabulation ඇතිවන්නේ ඇයි?

මොළයේ මතක සටහන් ගබඩා වන සහ සිහිපත් වන පටක වලට සිදුවන හානිය නිසා මතකයේ හිඩැස් (Gaps in memory) ඇතිවේ. මොළය එම හිඩැස් ස්වයංක්‍රීයව පිරවීමට (Fill in the gaps) උත්සාහ කිරීමේදී මෙම "නිර්මාණය වූ මතකයන්" උපදී:

  • Spontaneous Confabulation: කිසිදු විමසීමකින් තොරව ඉබේම මතුවන බොරු මතකයන්.
  • Provoked Confabulation: සායනික පරීක්ෂාවලදී හෝ ජීවිත කතාව ගැන විමසීමේදී අමතක වූ කොටස් පිරවීමට මොළය මගින් ක්ෂණිකව එකතු කරන නිර්මාණාත්මක මතකයන්.

ප්‍රධාන සායනික හේතු:

  1. ඩිමෙන්ෂියාව සහ ඇල්සයිමර් (Dementia & Alzheimer's)
  2. කෝර්සකොෆ් සින්ඩ්‍රෝමය (Korsakoff Syndrome)
  3. මොළයේ අනතුරු (Traumatic Brain Injury - TBI)
  4. ආඝාතය සහ රුධිර නාලිකා පුපුරා යාම් (Stroke / Aneurysm)
  5. මොළයේ උග්‍ර ආසාදන (Encephalitis / Meningitis)

Confabulation තත්ත්වයට සාත්තු සත්කාරයේදී මුහුණදෙන්නේ කෙසේද?

පවුලේ අයෙකු හෝ වැඩිහිටියෙකු මෙලෙස පවසන විට, "ඔයා බොරු කියන්නේ, එහෙම දෙයක් වුණේ නෑ" කියා තර්ක කිරීමෙන් වළකින්න. එයින් සිදුවන්නේ රෝගියා දැඩි අපහසුතාවයට හා කෝපයට පත්වීම පමණි.

අනුගමනය කළ හැකි ප්‍රායෝගික පියවර 4ක්:

  1. දෛනික චර්යාව සැලසුම් සහගතව පවත්වා ගැනීම:
නෑම, කෑම, ඖෂධ ගැනීම සහ ගමන් බිමන් ස්ථාවර කාලසටහනකට අනුව පවත්වා ගැනීම.
  1. දෘශ්‍ය ආධාරක (Visual Aids) භාවිතය:
දිනය පැහැදිලිව පෙනෙන විශාල කැලැන්ඩර, ඔරලෝසු, සහ විස්තර සහිත පවුලේ ඡායාරූප ඇල්බම භාවිත කිරීම.
  1. මෘදු ලෙස යෝජනා කිරීම (Gentle Redirection):
තර්ක නොකර, මෘදු ලෙස අවධානය වෙනතකට යොමු කිරීම (Distraction) හෝ තේ කෝප්පයකට, ප්‍රියතම ක්‍රියාකාරකමකට ආරාධනා කිරීම.
  1. දෛනික ජර්නලයක් (Memory Journal) තබා ගැනීම:
දවසේ කළ කියූ දෑ, ආහාර ගත් වේලාවන් සහ වැදගත් සිදුවීම් පිළිබඳ කෙටි දිනපොතක් සටහන් කර තැබීම.

චිකිත්සීය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය

හානිය තාවකාලික නම් හේතුව සුවවීමත් සමඟ මතකය යථා තත්ත්වයට පත්විය හැක. ඩිමෙන්ෂියා වැනි තත්ත්වයකදී සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුවද, පහත ක්‍රම මගින් ජීවන තත්ත්වය උසස් කළ හැක:

  • Cognitive Rehabilitation Therapy (CRT)
  • Reminiscence Therapy (අතීතාවලෝකන චිකිත්සාව)
  • Reality Orientation Therapy (යථාර්ථයට හුරු කිරීමේ චිකිත්සාව)



සමාප්තිය

Confabulation යනු රෝගියා හිතාමතා කියන "බොරුවක්" නොව, මොළයේ ස්නායුක වෙනස්කම් නිසා හටගන්නා ව්‍යාජ මතක නිර්මාණයකි. සත්‍යය තර්ක කර ඔප්පු කිරීමට වඩා, සහකම්පනයෙන් හා ආදරයෙන් ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කරගැනීමට උදව්වීම සත්කාරකයාගේ උතුම් වගකීමයි.

2023/08/05

බෙහෙතට බොරුකීම: ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේ චිකිත්සීය මුසාව (Therapeutic Fibbing)

ඩිමෙන්ෂියාව හෝ ඇල්සයිමර් වැනි තත්ත්වයක් සමඟ ජීවත්වන ආදරණීයයෙකුට සාත්තු කිරීමේදී යොදාගත හැකි වටිනා චිකිත්සීය උපක්‍රමයක් වන්නේ "චිකිත්සීයව බොරු කීම" (Therapeutic Fibbing) යි.

ඔව්, එය බොරු කීමක් වුවද, එය කරන්නේ රෝගියා රැවටීමට නොව, ඔවුන්ගේ දැඩි මානසික වේදනාව සමනය කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමටයි.



ඇයි මෙහෙම "බොරු" කියන්නේ?

ඩිමෙන්ෂියාවේ ඇතැම් අවස්ථාවලදී රෝගීන්ට තමන් කවුද, තමන්ගේ වයස, තමන් ඉන්නේ කොහේද යන්න අමතක වීම හෝ කාලය හා පරිසරය ගලපා ගැනීමට නොහැකි වීම සිදුවේ.
තම සැමියා අපගේ සායනයට කැඳවාගෙන එන මවක් "මේ මගේ මල්ලි"* කියා හඳුන්වා දෙන අවස්ථා ඇත.

  • එකම ඇඳේ නිදාගන්නා තම බිරිඳ "සතුරෙකු" ලෙස සිතා පහරදීමට තැත් කරන අවස්ථා ඇත.

වයස අවුරුදු අනූව ඉක්මවූ මිත්තණියක්, තමන් අවුරුදු දහනවයක තරුණියක් යැයි සිතමින් "මගේ අම්මා කෝ?"* යැයි අසමින් හඬා වැටෙන අවස්ථා ඇත.
  • ඩිමෙන්ෂියාව නිසා රියදුරු බලපත්‍රය අවලංගු කළ පියෙක්, තමන්ට වැඩට යාමට අවශ්‍ය යැයි කියමින් වාහනයේ යතුර ඉල්ලා කලබල කරන අවස්ථා ඇත.

මෙවැනි සංවේදී අවස්ථාවලදී "ඔයාට දැන් වයස 90ක්, අම්මා නැතිවෙලා අවුරුදු 40ක් වෙනවා" කියා හෝ "තාත්තේ ඔයාට ඩිමෙන්ෂියා නිසා ලයිසන් එක කැන්සල් කළා" කියා යථාර්ථය (Hard Reality) පැහැදිලි කිරීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් දැඩි කම්පනයට, ශෝකයට, බියට හා ආවේගශීලී ආතතියට පත්වීමයි.

එමනිසා, එම මොහොතේ ඔවුන්ගේ යථාර්ථයට ගරු කරමින්, සුදුසු "කාරුණික සුදු බොරුවක්" (White Lie / Fib) යොදා ගැනීම ඔවුන්ගේ මනස සන්සුන් කරයි.

උදාහරණය 1: "තාත්තේ, කාර් එක කැඩිලා. ඒක හදන්න දවස් දෙකක් යනවා කිව්වා, අපි හෙට යමු"* යැයි පැවසීම.
උදාහරණය 2: "අම්මා කාමරේ නැන්දත් එක්ක කතා කර කර ඉන්නේ. අපි එයාටත් එක්ක රස කෝපි එකක් හදාගෙන යමු"* යැයි පවසා අවධානය වෙනතකට යොමු කිරීම.



Therapeutic Fibbing යොදාගන්නා ප්‍රධාන අරමුණු 2

  1. ශෝකය හා වේදනාව සමනය කිරීම (Mitigating Grief):
මියගිය දෙමාපියන් හෝ ඥාතීන් පිළිබඳව නැවත නැවතත් අසන විට, ඔවුන් මියගිය බව සෑමවරම මතක් කර රෝගියා නැවත නැවතත් මරණයේ ශෝකයට (Grief) ඇද දැමීම වැළැක්වීම.
  1. ආරක්ෂාව තහවුරු කිරීම (Ensuring Safety):
රිය පැදවීම, තනිවම මහමගට බැස යාම හෝ භයානක උපකරණ භාවිතය වැළැක්වීම සඳහා භෞතික හා චිත්තවේගීය ආරක්ෂාව තහවුරු කිරීම.

චිකිත්සීය මුසාව භාවිතා කිරීමේ ආචාරධර්ම (Ethical Considerations)

මෙය රෝගියාව රවටා වාසි ලබාගැනීමක් නොවන බැවින්, ඉතාමත් වගකීමෙන් යුතුව පහත කරුණු අනුව භාවිත කළ යුතුය:

  • 1. අවස්ථානුකූල බව (Situational Appropriateness):
ඇත්ත කීමෙන් රෝගියා පීඩාවට පත්වන්නේදැයි විමසා බලා, කාරුණිකව ගැළපෙන පිළිතුරක් තෝරාගැනීම. සමහර විට සරලව "අපි කෝපි එකක් බොමුද?" වැනි වෙනතකට යොමුකිරීමක් මගින්ද ගැටළුව විසඳිය හැක.
  • 2. සියලු සාත්තු සත්කාරකයින් එකම බොරුව දැනුවත්ව සිටීම (Consistency):
පවුලේ සාමාජිකයන් සහ සාත්තු සේවකයන් සියලු දෙනාම එකම ප්‍රකාශය (Story) දැනුවත්ව සිටිය යුතුය. එක් අයෙක් එකක්ද, තවකෙක් වෙනකක්ද කීවොත් රෝගියා දැඩි ව්‍යාකූලත්වයකට පත්වේ.
  • 3. ප්‍රතිඵලය ඇගයීම (Outcome Evaluation):
එම ප්‍රකාශය මගින් රෝගියා සන්සුන් වූවාද යන්න නිරීක්ෂණය කර පවුලේ අය අතර ඒ පිළිබඳ තොරතුරු බෙදාගැනීම.

FiNReDiCo සත්කාරක ක්‍රමවේදය

චිකිත්සීය බොරුව කෝකටත් තෛලයක් නොවන බැවින්, සාත්තු සත්කාරකයා සතුව පහත උපක්‍රම සියල්ලේම එකතුවක් තිබිය යුතුය:

  • F - Fibs: සුදුසු අවස්ථාවේදී කාරුණික සුදු බොරුවක් පැවසීම.
  • N - No Response: තර්ක නොකර, සන්සුන්ව සවන්දීම හෝ නිර්වාචිකව (Non-verbal) සෙනෙහස දැක්වීම.
  • Re - Reality-orientation: රෝගියාට තේරුම් ගත හැකි සරල සීමාව තුළ යථාර්ථය සැහැල්ලුවෙන් මතක් කිරීම.
  • Di - Distraction: සංගීතය, තේ/කෝපි කෝප්පයක් හෝ ප්‍රියතම ක්‍රියාකාරකමක් මගින් සිත වෙනතකට යොමු කිරීම.
  • Co - Combination: ඉහත ක්‍රම කිහිපයක එකතුවක් අවස්ථානුකූලව ගලපා ගැනීම.

සමාප්තිය

ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී "සත්‍යය ජයගැනීමට වඩා රෝගියාගේ මානසික සුවය, ගෞරවය සහ සතුට රැකගැනීම" සැමවිටම උතුම් වේ. චිකිත්සීය මුසාව යනු හුදු බොරුවක් නොව, සහකම්පනයෙන් පිරි ප්‍රඥාවන්ත ප්‍රතිකර්මයකි.

2023/07/28

මතකය රඳවන DTAs: ද්වි-කාර්ය ක්‍රියාකාරකම් (Dual-Task Activities)

මතකය අඩුවීමේ අවදානම සීමා කරමින් බුද්ධිමය හැකියාව හා මතක ශක්තිය (Cognitive Health) දියුණු කරගත හැකි විද්‍යාත්මක උපක්‍රමයක් වන ද්වි-කාර්ය ක්‍රියාකාරකම් (Dual-Task Activities - DTAs) පිළිබඳව විමසා බලමු.

ශාරීරික ව්‍යායාම විද්‍යාව තුළදී මෙය Simultaneous Cognitive and Exercise Training (SCET) ලෙසද හඳුන්වයි.



මොනවාද මේ DTAs (Dual-Task Activities)?

Dual-task activities are combined cognitive and physical activities performed intentionally and simultaneously.
(දැනුවත්ව සහ එකවර සිදුකරනු ලබන කායික හා බුද්ධිමය/සංජානනීය ක්‍රියාකාරකම්වල එකතුවකි.)
  • උදාහරණ:
  • නර්තන අනුපිළිවෙලක් සිතින් මතක් කරගනිමින් නර්තනයේ යෙදීම.
  • වේගයෙන් ඇවිදින අතරතුරේ ගණිත ගැටළු විසඳීම හෝ වචන අනුපිළිවෙලක් පසුපස සිට ඉදිරියට කීම (Reverse spelling / Counting backwards).

සාර්ථක DTA එකක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 4ක්

ප්‍රයෝජනවත් DTA ක්‍රියාකාරකමක් සම්පූර්ණ වීමට නම් පහත ලක්ෂණ සපුරාලිය යුතුය:

  1. Cognitive Challenge: බුද්ධිය, මතකය හෝ ස්මරණය වෙහෙසවන අභියෝගාත්මක සංජානනීය අංගයක් පැවතීම.
  2. Physical Component: ශාරීරික ව්‍යායාමයක් හෝ කායික වෙහෙසවීමක් අන්තර්ගත වීම.
  3. Intentionally: එම ක්‍රියාකාරකම් දෙකම පුද්ගලයාගේ පූර්ණ "දැනුවත්භාවය මත" සිදුවීම.
  4. Simultaneously: කායික සහ බුද්ධිමය ක්‍රියාවන් දෙකම "එකම කාලසීමාවක් තුළ එකවර" ක්‍රියාත්මක වීම.

මොළයේ සෞඛ්‍යයට DTAs මගින් ලැබෙන විද්‍යාත්මක වාසි

  • ස්නායුක ප්ලාස්ටික්තාව සහ නව සබඳතා (Neuroplasticity & Neural Pathways):
කායික හා බුද්ධිමය ක්‍රියාවන් දෙකක් එකවර සිදුවීමේදී මොළයේ ස්නායු සෛල අතර නව සබඳතා ගොඩනැගීම (Synaptic plasticity) උත්තේජනය වේ.
  • සංජානන සංචිතය වැඩිවීම (Increased Cognitive Reserve):
මොළය තුළ මතකය රඳවා ගැනීමේ ධාරිතාව සහ සංජානන සංචිතය ශක්තිමත් වීමෙන් අනාගත ඩිමෙන්ෂියා හා මතක දුර්වලතා අවදානම පමා වේ.
  • මොළයට රුධිරය හා ඔක්සිජන් සැපයුම ඉහළ යාම (Enhanced Cerebral Blood Flow):
ශාරීරික සක්‍රීයතාව සමඟ මොළය වෙහෙසවීම නිසා මොළයේ සෛලවලට ලැබෙන ඔක්සිජන් සහ පෝෂක ප්‍රමාණය ඉහළ ගොස් මොළයේ ක්‍රියාකාරීත්වය තියුණු වේ.

DTA ආරම්භ කිරීමේ ප්‍රායෝගික මාර්ගෝපදේශ

  1. සරලව අරඹා ක්‍රමයෙන් අභියෝගය වැඩි කරන්න:
ආරම්භයේදී පහසු කායික හා මානසික අභ්‍යාස තෝරාගෙන සති කිහිපයක් යත්ම අභියෝගකාරී බව ක්‍රමයෙන් වැඩි කරන්න.
  1. කාලය සහ වාර ගණන:
එක් වාරයක් අවම වශයෙන් විනාඩි 20ක් පැවතිය යුතු අතර, සතියකට අවම වශයෙන් වාර 3ක් වත් අඛණ්ඩව සිදුකළ යුතුය.
  1. විවිධත්වය (Variety):
එකම අභ්‍යාසය වෙනුවට විවිධ ක්‍රියාකාරකම් මාරුවෙන් මාරුවට යොදා ගැනීමෙන් උනන්දුව සහ මොළයේ විවිධ කලාප උත්තේජනය වේ.
  1. අඛණ්ඩතාව (Consistency):
පැහැදිලි ප්‍රතිඵල අත්විඳීමට අවම වශයෙන් මාස කිහිපයක් අඛණ්ඩව මෙය දෛනික චර්යාවට එක්කර ගන්න.

ඔබ වෙනුවෙන් කුඩා අභියෝගයක්!

කායික සහ සංජානනීය අංග දෙකම එකතු කරගත්, ඔබට හෝ ඔබේ ආදරණීය වැඩිහිටියාට එකවර කළ හැකි DTA අභ්‍යාස කිහිපයක් සැලසුම් කර අදම අත්හදා බලන්න!

2023/07/21

ඩිමෙන්ෂියා අවදානමේ හැඩ: ජානමය බලපෑම්, පූර්ව ලක්ෂණ සහ මානසික පීඩනය

ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී ප්‍රජාව අතරින් නිරන්තරයෙන් මතුවන වැදගත්ම සායනික හා ප්‍රායෝගික ගැටළු ත්‍රිත්වයකට පිළිතුරු විමසා බලමු:



1. ඩිමෙන්ෂියාව සඳහා ජානමය (Genetics) බලපෑමක් තිබිය හැකිද?

ඔව්, ඩිමෙන්ෂියාව ඇතිවීම කෙරෙහි ජානමය සාධක බලපෑම් කළ හැක. එහෙත් පවුලේ කෙනෙකුට ඩිමෙන්ෂියාව වැළඳුණු පමණින්, ජානමය සබඳතාවක් ඇති අනෙක් අයට අනිවාර්යයෙන්ම ඩිමෙන්ෂියාව වැළඳෙන්නේ නැත.

ජානමය බලපෑම ප්‍රධාන අවස්ථා තුනක් යටතේ ක්‍රියාත්මක වේ:

  • A) පරම්පරානුගත උරුමය (Inheritance):
පරම්පරාවෙන් ලැබෙන ජානමය සාධක සහ පාරිසරික/චර්යාමය සාධක එකතු වීමෙන් අවදානම වැඩි විය හැක. කෙසේ වෙතත්, පාරිසරික සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් නිසි ලෙස පාලනය කරගතහොත් අවදානම අවම කරගැනීමට හෝ පමා කරගැනීමට හැකියාව පවතී.
  • B) ජාන විකෘති වීම් (Genetic Mutations):
මොළය තුළ ප්‍රෝටීන නිපදවීමට සහ ක්‍රියාකාරිත්වයට දායක වන PSEN1, PSEN2, සහ APP වැනි ජානවල සිදුවන හදිසි විකෘතිතා නිසා අසාමාන්‍ය ලෙස ඇමයිලොයිඩ් පට්ටිකා තැන්පත් වී ඩිමෙන්ෂියාව ඇතිවීම වේගවත් විය හැක.
  • C) අවදානම් ජාන (Risk Genes - APOE):
වඩාත් ප්‍රචලිත APOE-e4 වැනි අවදානම් ජාන උරුම වීමෙන් ඩිමෙන්ෂියා අවදානම වැඩි වේ. එහෙත් APOE ජානය තිබූ පමණින් 100% ක්ම ඩිමෙන්ෂියාව ඇති වන බවට නියමයක් නොමැති අතර, සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් අවදානම පාලනය කරගත හැක.

2. වයස 40ට අඩු කෙනෙකුට පූර්ව ලක්ෂණ හඳුනාගත හැක්කේ කෙසේද?

වයස 40ට අඩු ප්‍රජාව අතර ඩිමෙන්ෂියාව හඳුනාගැනීම සාපේක්ෂව දුර්ලභ වුවද (Young-Onset Dementia), රෝගී තත්ත්වය වර්ධනය වීමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය වසර ගණනාවකට පෙර සිටම මොළය තුළ ආරම්භ විය හැක.

වයස 40ට පෙර මතුවිය හැකි විය හැකි පූර්ව ලක්ෂණ:

  1. මතකය පිළිබඳ ගැටළු:
සාමාන්‍ය අමතකවීම්වලට වඩා වෙනස්ව, තමන් හොඳින්ම දන්නා තොරතුරු අමතක වීම, මතකයට ගැනීමේ රටාවේ අසාමාන්‍ය වෙනස්කම් ඇතිවීම.
  1. කල්පනාව සහ පරිසරය පිළිබඳ අවුල් සහගත බව (Disorientation):
හුරුපුරුදු පරිසරයකදී පවා අතරමං වූ හැඟීමක් දැනීම, දන්නා හඳුනන ස්ථාන හෝ පුද්ගලයන් නුහුරු ලෙස හැඟීම.
  1. භාෂාමය හා වචන භාවිතයේ ගැටළු (Language Difficulties):
දෛනික කතාබහේදී නිරන්තරයෙන් වචන අමතක වීම, සුදුසු වචන වෙනුවට වෙනත් වචන පිරවීම, හෝ කතාබහ කිරීමට ඇතිවන මැළිකම.
  1. තීරණ ගැනීමේ අපහසුතා (Impaired Decision Making):
එදිනෙදා සාමාන්‍ය තීරණ ගැනීමේදී දැඩි බරක් දැනීම, පරිගණක/ස්මාර්ට්ෆෝන් භාවිතය හෝ රිය පැදවීමේ කුසලතා දුර්වල වීම.
  1. විශේෂ-අවකාශීය දෘෂ්ටි හඳුනාගැනීම් වෙනස්වීම (Visual-Spatial Changes):
දුර, වේගය, සහ ගැඹුර හඳුනාගැනීමේ අපහසුතා (පාර මාරුවීමේදී වේගය ගණනය කරගත නොහැකි වීම, පුටුවක වාඩිවීමේදී පැකිලීම).
  1. මනෝභාවයන්හි හදිසි වෙනස්කම් (Mood & Behavior Changes):
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ක්ෂණිකව කෝපවීම හෝ අහේතුකව හැඬීම වැනි චර්යාත්මක වෙනස්කම්.
  1. උනන්දුව හා උද්‍යෝගය බිඳවැටීම (Apathy / Loss of Motivation):
කලින් ආශාවෙන් කළ විනෝදාංශ සහ ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි කලකිරීමක් හෝ උදාසීනත්වයක් ඇතිවීම.

(සැ.යු: මෙම ලක්ෂණ අධික මානසික ආතතිය, විශාදය හෝ කායික රෝග නිසාද ඇතිවිය හැකි බැවින්, ස්වයං-විනිශ්චය නොකර විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවකට යොමුවිය යුතුය.)



3. අධික මානසික පීඩනය (Chronic Stress) නිසා ඩිමෙන්ෂියා අවදානම වැඩිවේද?

ඔව්. දීර්ඝකාලීන හා දැඩි මානසික පීඩනය මොළයේ සෛල හා රුධිර නාලිකා කෙරෙහි දැඩි හානිකර බලපෑමක් එල්ල කරයි.

  • ආතති හෝමෝනය වන කෝටිසෝල් (Cortisol) මට්ටම නිරන්තරයෙන් ඉහළ මට්ටමක පැවතීම මොළයේ මතක මධ්‍යස්ථානය වන හිපොකැම්පස් (Hippocampus) ප්‍රදේශයේ සෛල ක්ෂය වීමට හේතු වේ.
  • කාංසාව සහ විශාදය දිගුකාලීනව පැවතීම මෙන්ම ඒ සඳහා ගන්නා ඇතැම් ඖෂධවල බලපෑමද අවදානම කෙරෙහි බලපෑ හැක.

අවදානම අවම කරගැනීමට ප්‍රායෝගික පියවර:

  • දිනපතා කායික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම්වල යෙදීම.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් (MIND / Mediterranean Diet) අනුගමනය කිරීම.
  • දිනකට පැය 7-8 ක සුවදායක නින්දක් ලබා ගැනීම.
  • සක්‍රීය සමාජ සම්බන්ධතා සහ මිතුරු ඇසුර පවත්වා ගැනීම.
  • මොළය උත්තේජනය කරන බුද්ධිමය ක්‍රීඩා සහ නව කුසලතා ඉගෙනීම.

2023/07/12

ආදරේ රැකගන්න, නිදහසට මොහොතක්

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය സാයනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ මානුෂීය සහකම්පනය ගොඩනැගීමටයි.)

එදා බ්‍රහස්පතින්දා. වේලාව සවස දෙකයි පනහට පමණ විය. වැඩසටහන නිමා කිරීමට පෙර, සේවාලාභීන්ගේ භාරකරුවන් පැමිණ ඇත්දැයි බලා කෙටි කතාබහක යෙදීමට මා අමුත්තන්ගේ විවේක කාමරය (Family Lounge) දෙසට ගියෙමි.

ජීවිතයේ මා දකින සංවේදීම මෙන්ම උණුසුම්ම ආදර බැඳීම් දරා සිටින බිරින්දෑවරුන් සහ දරුවන් කෝපි රස විඳිමින් සුහද කතාබහක නිරතව සිටියහ.

"ආ... කොහොමද අපේ කට්ටිය? ඔය තව ටිකක් තියාගන්නකෝ! අපි එයාලව තියාගත්තනේ දශක තුන හතරක්ම!" ලෝරා නෝනා සුපුරුදු සිනහවෙන් යුතුව කෑගැසුවාය.
"ඔව් ඔව්, කතාව ඉවර කරගන්න. එයාලා එළියට එන්නේ තව විනාඩි දහයකින්." මා සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි.

මගේ වැඩසටහනේ රැඳී සිටින මේ පිරිමි සේවාලාභීන් අතර දකුණු ඇමරිකාවේ ජනප්‍රිය DJ වරයෙකු වූ අයෙක්, කැනේඩියානු රෝහල් පද්ධතියක කළමනාකාරිත්වය දැරූ මහත්මයෙක්, එලිසබෙත් රැජිණගෙන් සම්මාන ලැබූ මහා පරිමාණ ගොවි මහත්මයෙක් සහ පාකිස්ථානයේ පෙෂාවර් නුවර උපත ලබා ලෝකයේ රටවල් රැසක අත්දැකීම් ලැබූ අනූ හැවිරිදි ඛාන් මහතා ඇතුළු අපූරු චරිත රැසක් වෙති.

පෙර පාසල නිම වූ පසු "අපේ අම්මා ඇවිත් නේද?" කියා දොර දෙස බලන කුඩා දරුවන් මෙන්, මේ හැඩිදැඩි ලොකු මහත්වරුන් "අපේ හාමිනේ ඇවිත්නේ?" කියා දොර දෙස ආදරයෙන් බලා සිටින මොහොත හදවතට මහත් සංවේදී බවක් ගෙන එයි.



"මට එයාගෙන් ගැලවිලා ටිකක් ඉන්න ඕන..."

සේවාලාභීන් තම ආදරණීයයන්ට භාර දී ආපසු හැරෙද්දී, විවේක කාමරයේ කෙළවරක පුටුවක තනිව වාඩිවී මේ සියල්ල දෙස බලා සිටි නන්නාඳුනන කාන්තාවක් මා අසලට පැමිණියාය.

"මේ මහේෂ් නේද?"
"ඔව්, කියන්න..."
"මගේ මහත්තයා පීටර් (Peter). එයා ඩිමෙන්ෂියා රෝගියෙක්. අපි ගෙදර තමයි ඉන්නේ. ඒත්... මට එයාගෙන් ගැලවිලා ටිකක් නිදහසේ ඉන්න ඕන... මට උදව් කරන්න පුළුවන්ද?"

හැමදාමත් ඇසෙන කතාවක්, අතිශය විවෘත හා වේදනාකාරී ප්‍රශ්නයක් ලෙස ඇය මතු කළාය.

*"ඔව්, පීටර් අපේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒත් අපි මෙතෙක් විශේෂ උදව්වක් ගත්තේ නෑ. ඒත් දැන් මට එයාගෙන් ටික වෙලාවකට හරි නිදහස් වෙන්න ඕන!
පැය විසිහතර පුරාම එයා මගේ පස්සෙන්මයි! මට ටිකක් තනියම ඉන්නවත් වෙලාවක් නෑ. මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ. එකම දේ නැවත නැවත අහනවා, වලිගය වගේ මගේ පස්සෙන්ම එනවා...
අනේ වරදවා හිතන්න එපා, අපි ආදරය කරලා විවාහ වෙලා ගිය සතියේ හතළිස් දෙවන විවාහ සංවත්සරයත් සැමරුවා. එයා මගේ පණ. මට ඒ ආදරේ ඕන, එයාටත් මගේ ආදරේ ඕන. ඒත් මේ ලෙඩේ ආවට පස්සේ හැම තිස්සෙම මගේ පස්සෙන්මයි...
මට දැන් මේක දරාගන්න පුළුවන් සීමාවේ උපරිමේ ඉන්නේ! මට අපේ ආදරේ රැකගන්න, එයාව පැය කිහිපයකට හරි මගෙන් වෙන් කරලා දෙන්න උදව් වෙන්න!"*

ඇගේ දෙනෙත්වලින් කඳුළු ගලා හැලෙද්දී ඇය ඉංග්‍රීසියෙන් මෙසේද පැවසුවාය:

"I love him dearly. He's been my sweetheart since I was sixteen, and he still is, but now I need a break for myself..."



සායනික විවරණය: Caregiver Burnout සහ Shadowing Behavior

  1. Shadowing Behavior (සෙවණැල්ලක් සේ පසුපස පැමිණීම):
ඩිමෙන්ෂියාව සහිත රෝගීන් තුළ ඇතිවන මතක දුර්වලතා සහ දැඩි අවිනිශ්චිතබව (Anxiety & Insecurity) නිසා, තමන්ට විශ්වාසවන්තම පුද්ගලයා (බිරිඳ/සැමියා) දෙනෙත් මානයෙන් මිදුණු සැණින් ඔවුන් දැඩි බියකට හා කලබලයකට පත්වේ. මේ නිසා නාන කාමරයට, කුස්සියට හෝ නිවසේ කොතැන ගියත් සෙවණැල්ලක් සේ පසුපස එයි (Shadowing).
  1. Caregiver Burnout (සාත්තු සත්කාරකයාගේ මානසික කඩාවැටීම):
පැය 24 පුරාම තත්පරයක හෝ පෞද්ගලික නිදහසක් නොලබා නොනවත්වා සාත්තු සත්කාරයේ යෙදීම නිසා සාත්තු සත්කාරකයන් දැඩි විශාදයට (Clinical Depression), කාංසාවට සහ ශාරීරික රෝගාබාධවලට ගොදුරු වේ. මෙය ඔවුන්ගේ ආදරය අඩුවීමක් නොව, ස්නායු පද්ධතියේ දරාගත නොහැකි විඩාවකි.
  1. Respite Care (විවේක සත්කාර සේවා) හි අත්‍යවශ්‍යතාවය:
සාත්තු සත්කාරකයාට සතියකට දිනක් හෝ පැය කිහිපයක විවේකයක් ලබාදීම (Adult Day Programs / Respite Care) රෝගියාගේ මෙන්ම සාත්තු සපයන්නාගේද ජීවිත ආරක්ෂා කරගැනීමටත්, පවුල තුළ ආදරය සදාකාලිකව පවත්වා ගැනීමටත් ඇති වැදගත්ම සායනික උපක්‍රමයයි.

සමාප්තිය

"ආදරේ රැකගන්න නිදහසට මොහොතක් දෙන්න..."

පීටර්ගේ බිරිඳ කළ ඒ සංවේදී ආයාචනය අපට මතක් කර දෙන්නේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන රෝගීන්ට මෙන්ම ඔවුන්ව පණ මෙන් රැකබලා ගන්නා අපේ ආදරණීය සාත්තු සත්කාරකයින්ටද සහනයක් සහ විවේකයක් ලබාදීම සමාජයක් ලෙස අප සැමගේ උතුම් වගකීමක් බවයි.

2023/07/03

පාතරසය

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ මානුෂීය සහකම්පනය ගොඩනැගීමටයි.)

අද අඟහරුවාදා, අපේ සේවා පරිසරය තුළ වඩාත්ම කාර්යබහුල මෙන්ම වර්ණවත් දවසකි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වෙන්වන්නේ ඩිමෙන්ෂියාවේ මධ්‍යම හෝ උග්‍ර මට්ටමේ (Moderate to Severe Dementia) සේවාලාභීන් වෙනුවෙනි.

උදෑසන නවය වන විට තම ආදරණීය බිරිඳ හෝ සැමියා අපගේ සායනික සත්කාර වැඩසටහනට භාර දී, සාත්තු සත්කාරක සහකරුවන් අප සමඟ කෙටි කතාබහක යෙදී දවසේ වැඩකටයුතු සඳහා පිටත්ව යති.

මේ, එලෙස තම බිරිඳ භාරදීමට පැමිණි විලියම් (William - සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය උදෙසා නම් මනඃකල්පිත කර ඇත) මහතා මා සමඟ බෙදාගත් සිනහව සහ කඳුළු පිරි සංවේදී කතාවයි.



උණුසුම් දිනයක අමුතු පාතරසය

දිගු රැවුල අතගාමින් සිනහමුසු මුහුණින් විලියම් මහතා කතාව ආරම්භ කළේය:

*"මයික්, මට ඔයාට කියන්න වෙනස්ම කතාවක් තියෙනවා. ගිය අඟහරුවාදා හරිම රස්නේ දවසක්නේ. මිදුලේ තණකොළ හොඳටම වැවිලා තිබුණු නිසා මට හිතුණා උදෙන්ම තණකොළ ටික කපලා සුද්ද කරන්න.
වෙනදාට මමමයි උදේ කෑම හදන්නේ. ඒත් එදා මට හිතුණා එයාට කියලා බලන්න. මම කිව්වා 'මම මිදුල අස් කරලා එනකම් ඔයාට පුළුවන්ද මට උදේට කෑම හදලා තියන්න?' කියලා. එයා දන්නවා මම ආසම බිත්තර ඔම්ලට්, බේකන්, ටෝස්ට් එක්ක පළතුරු කන්න කියලා."*

පැය දෙකක් තණකොළ කපා දහඩිය පෙරාගෙන කුස්සියට පැමිණි විලියම් මහතා පුදුමයට පත් විය.

*"මයික්, මම හිතුවේ නෑ එයාට ඒ තරම් දෙයක් තනියම කරන්න පුළුවන් වෙයි කියලා! එයා බිත්තර ඔම්ලට් හදලා, බේකන් බැදලා, ටෝස්ට් හදලා, පළතුරු කපලා කෑම මේසය හරිම ලස්සනට සරසලා තිබුණා!
ඒ වෙලාවේ මට දැනුණු සතුටට ඇස්වලට කඳුළු ආවා. මගේ බිරිඳ මට ආයෙත් ලැබුණා කියලා මම දෙවියන්ට ස්තුති කළා! අවුරුදු හතරකට පස්සේ අපි එදා ආදරයෙන් පිරුණු රසම රස උදේ කෑම වේලක් එකට වාඩිවෙලා ගත්තා."*

සවස උදාවූ දෙවන පාතරසය!

උදේ ආහාරය ගෙන විලියම් නෝනා කාමරයේ විවේක ගන්නා අතරේ, විලියම් මහතා නැවතත් මිදුලට ගොස් ඉතිරි වැඩ නිම කර සවස නිවසට ගොඩවැදුණේ රාත්‍රී කෑමට යමක් සූදානම් කරගැනීමටයි.

නමුත් කුස්සියට ඇතුළු වූ විගස ඔහු දුටු දෙයින් ගල් ගැසී ගියේය!

*"මයික්, ගෙට ගොඩවුණු ගමන් මම දැක්කේ කෑම මේසය උඩ ආයෙත් කෑම ලෑස්ති කරලා! මම නිකමට බැලුවා මොනවද හදලා තියෙන්නේ කියලා...
එතකොට මට දුකයි හිනාවයි දෙකම එකට ආවා. එයා අර උදේ හදපු කෑම වේලම — බිත්තර ඔම්ලට්, බේකන්, ටෝස්ට්, පළතුරු ඒ විදියටම ආයෙත් හදලා මේසෙට තියලා බලාගෙන ඉන්නවා!
මම ඇහුවා 'ඇයි රත්තරං ආයෙත් මේ කෑම හැදුවේ?' කියලා. එයා හරිම ආදරෙන් කියනවා 'ඔයා උදේ කිව්වනේ මගේ මහත්තයා ආසම කෑම වේල හදන්න කියලා, ඉතින් මම ඔයා එනකම් ආසාවෙන් හැදුවා' කියලා!
එයාට කිසිම මතකයක් නෑ උදේටත් අපි මේ කෑම වේලම කාලා සතුටු වුණා කියලා. ඉතින් අපි එදා උදේටත් බිත්තරයි බේකනුයි කෑවා, රෑටත් ඒවම කාලා සතුටින් හිටියා!"*

විලියම් මහතා කඳුළු පිසදමමින් සිනාසුණේය.



සායනික විවරණය: Dementia Repetition (ඩිමෙන්ෂියා පුනරාවර්තනය)

මෙම සිදුවීම පිටුපස ඇති ස්නායු මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය විමසා බලමු:

  1. කෙටි කාලීන මතකය (Short-term Memory) සහ චිත්තවේගීය මතකය (Emotional Memory):
විලියම් මහතා දුන් සරල උපදෙස ("උදේ කෑම හදන්න") සහ සැමියා කෙරෙහි ඇති ආදරය ඇගේ දිගුකාලීන ක්‍රියාපටිපාටික මතකය (Procedural Memory) අවදි කළේය. නමුත් උදෑසන එම ආහාරය පිසූ බව හෝ ආහාර ගත් බවට වූ කෙටි කාලීන මතකය මොළයෙන් මැකී ගොස් තිබුණි. සවස් යාමයේදී ඇගේ මතකයට නැවත පැමිණියේ "සැමියා ආසම උදේ කෑම වේල සෑදීමේ" අපූරු චිත්තවේගීය ආශාව පමණි.
  1. Dementia Repetition vs. OCD Repetition (අනිවාර්ය පුනරාවර්තනය):
  • Dementia Repetition: මෙය සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව (Unintentional) සිදුවන්නකි. අමතක වීම, කාලය පිළිබඳ සංජානනය ගිලිහීම හෝ අභ්‍යන්තර කාංසාව නිසා එකම ප්‍රශ්නය නැවත ඇසීම හෝ එකම ක්‍රියාව නැවත කිරීම මෙහිදී සිදුවේ.
  • OCD Repetition: මෙය පුද්ගලයා දැනුවත්ව (Intentional/Aware) සිදුකරන්නකි. තමන් මීට පෙර අත් සේදූ බව හෝ දොර අගුළු දැමූ බව මතක තිබුණද, සිතේ පවතින දරාගත නොහැකි කාංසාව සහ බිය සමනය කරගැනීමට නැවත නැවතත් එම ක්‍රියාව සිදු කරයි.
  1. සාත්තු සත්කාරක කළමනාකරණය (Caregiver Management):
  • මෙවැනි අවස්ථාවක රෝගියා සමඟ තර්ක කිරීමෙන් හෝ "ඔයා උදෙත් ඕකම හැදුවනේ!" යැයි මතක් කර ලජ්ජාවට පත්කිරීමෙන් වැළකිය යුතුය.
  • FiNReDiCo (Validation & Redirection): ඔවුන්ගේ ආදරණීය උත්සාහය අගය කරමින්, සෙනෙහසින් යුතුව පිළිගෙන, පසුව සෙමින් අවධානය වෙනතකට යොමු කිරීම (Redirection) කළ යුතුය.

සමාප්තිය

ඩිමෙන්ෂියාව යනු මතකය අහිමි කරවන රෝගයක් වුවද, ආදරය, සෙනෙහස සහ අනෙකා සතුටු කිරීමේ මානුෂීය හදවතේ බැඳීම රෝගයේ උග්‍රම අවධියේදී පවා අහිමි නොවන බව විලියම් නෝනාගේ ආදරණීය "පාතරසය" අපට කියා දෙයි.