අද සෙනසුරාදා දවස, දිගු සති අන්තයක නිවාඩුව නිසා ටිකක් විවේක පාඩුවේ වැඩි වෙලාවක් ගෙවන්න ලැබුණා. ඒකටම උදව්වෙන්නදෝ අහසත් අඳුරු වෙලා, පොඩි පොදකුත් එක්ක නියම සරත් සමයක හැඩ දවස පුරාම විහිදිලා තිබුණා. හවස් වෙලා කඩ මණ්ඩියට යන්න සැලසුම තිබුණ නිසා, අද දවසේ කරන්න තිබුණු වැඩ කටයුතු කිහිපයක් උදේ වරුවේම කරන්න හිතා ගත්ත. එයින් වැදගත්ම දෙයක් වුනේ, මාත් එක්ක හෝඩියේ පන්තියේ, මුල් දවසේ ඉඳන්ම මගේ මිත්‍රයෙක්ව ඇමතීම. අද ඔහුගේ උපන් දිනය ඒ වෙනුවෙන් සුබ පතන්නට ඇමතුම දෙන්නේ.
"ආ මිත්‍රයා! සුබ උපන් දිනයක් වේවා. තවම මහන්සිද පාටි දාලා "
"ආ.. මහේෂ්, ආයෙත් කියලා. මේ දැනුයි නැගිට්ටේ තාම නිකං ඇඟපත තලල දාල වගේ. දැන් මචං පණහක්ම නේ, අර උත්තරා මිස්ගේ පන්තියේ ගණන් හදත්දි අපි හිතුවද බං මෙච්චර ලොකු වයසකට ඒවි කියලා."
මිත්‍රයගේ උපන් දින කතාව
මගේ මිත්‍රය සතුට පිරි දිග කතාවක් පටන් ගත්තා. තවමත් රුධිර ගත ඇල්කොහොල් ප්‍රතිශතය බිංදුවටම අඩු වෙලා නොතිබුණ නිසාදෝ වෙනදට වඩා ටිකක් ඇදෙන කතාවක අපි ගියා. ලංකාව ගැන තද කැක්කුමක් තියෙන, රටේ හිටපු ලොක්කෙක් ලොකු පුටුවකට ගේන්න සෑහෙන දරදිය ඇද්ද මගේ මිත්‍රයගෙන් "අපේ රට ගැන" කතාවක් නොඇහුණොත් ඒකමයි පුදුමේ.
"ඔය ඇති බං පරදේසක්කාරයන්ගේ රටේ හිටියා, උඹටත් තව මාස තුනකින් පණහක් මට මතක විදියට. කවුද බං දන්නේ අපි කොයිවෙලාවේ යාවිද කියලා. අපි පස්වෙන්න ඕන මේ පොළවට, වරෙං, උඹට ජොබ හදා ගන්න ඕන නං මං වැඩේ කරල දෙන්නං. මෙන්න මෙහෙ වරෙන් xxxතෝ, අඩුම ගානේ අපේ මරණෙට කරගහන්න හරි අපේ මිනිස්සු ඉන්න ඕන බං, පැන් වඩන්න හාමුුදුරු කෙනෙක් ඉන්නවද ඔය රටේ ?"
සුද්ධ සිංහල හැම වෙලාවෙම මුවග තිබෙන මිත්‍රයගේ කතාව ඇහෙත්දි, කාලෙකින් නොඇහුනු වචනත් ඇහුණු නිසා ටික වෙලාවකට ලංකාවට ගියා වගේ දැනුනා.
කතාවෙන් පසු මට ආ සිතුවිලි
කතාව ටිකක් දුර ගියා, හාමිනේ තේ එකක් හදාගෙන ඇවිත් "කොඩි ගහ යට" බලමුද කියල අංග චලනයෙන් අහගෙන ළඟින් වාඩි වෙනකම්ම කතාව ඇදුනා.
ටෙලි නාට්‍යයත් බලලා, මං ආයෙත් කල්පනා කළා, මිත්‍රයගේ තත්ත්වයේ හැටියට උත්තර නොදුන්නත්, ඇත්තටම මම ඒ ප්‍රශ්න වලට මොන වගේ උත්තර දෙන්න තිබුණද කියලා. ඒ ඔස්සේ ඔබත් එක්ක තවත් කතාවක් බෙදා ගන්නත් අද රාත්‍රියේ ලැබුණූ විවේකය යොදා ගන්නයි මේ හදන්නේ.
මිත්‍රයගේ කතාව තුල කියවුනු වැදගත් දේ
1. "මැරුණොත්, උපන් පොළොවේ පස් වෙන්න ඕන."
2. "පැන් වඩන්න, මරණෙට කරගහන්නවත් මිනිස්සු ඉන්නෝන"
මේ දෙකටම මගේ උත්තර හරිම සරළයි
- මම මැරුණොත්, මගේ සෛල මල්ල නිකංම පොළොවට පස් වෙන්න දෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මගේ සියළු පටක, අවයව අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් ලබා ගැනීමට මෙන්ම, එතැනින් ඉතිරි වන පණක් නැති සෛල මල්ල, වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කපා කොටා තම දැනුම වැඩි කරගැනීමට පරිත්‍යාග කිරීමට කැමැත්ත දී අවසන්, ඒ පිළිබඳව දරුවන් සහ බිරිඳත් (ඇයත් එම කැමැත්ත ලබා දී ඇති අයෙක්) දැනුවත්. ඒ නිසා, මළත්, මේ සෛල මල්ල, නිකංම පොළවට පස් වෙන එකක් නැහැ. අනෙක, එතැනදි මට පොළොවද, හුළඟද, වතුරද වැදගත්කමක් නෑ.
- නෑ, මගේ මරණයට කරගහන්න කවුරුවත්ම ඕන වෙන්නේ නෑ. මොකද කොතැනදී මළත්, Funeral service එකෙන් ඒ සෛල මල්ල පෙට්ටියක දාගෙන අවශ්‍ය තැනට ගෙනියාවි. මට ලේබල් කළ ආගමක් දහමක් නැති නිසා, ගැලවෙන සෛල මල්ලට කිසිම වැඩිල්ලක් අවශ්‍ය වෙන්නේ නෑ, කිසිම පූජකයෙක් ඇවිත් නිවණට, අපායට, දෙව් ලොවට යන්නට යතුරු දෙන්නත් අවශ්‍ය නෑ, යනවා නම් අනේ... ඕන තැනකට ගියාවේ. ඒ තියා පවුලේ අය හැරෙන්නට කිසිවකු දැන ගැනීමට, RIP ගහන්න, night ගහන්න, "මා මළ පසු සොහොන් කොතේ" තියා කොත් ගහන්නත් අවශ්‍ය වෙන්නේ නෑ, පැය කීපයකින් සියල්ල නිමාවුනාම කාටවත් කරදරයක් නෑ. ඒ කියන්නේ, මළත් නිදහසේ යන්නට පුළුවන් වටපිටාවක් හදල තිබෙන්නේ, පවුලේ අය දැනුවත් කරල තිබෙන්නේ.
කැනඩාවේදී පවුලේ අයෙක් මිය ගියොත් කළ යුතු දේ
ඔය උත්තර ටික හිතලා, ඊට පස්සේ ලියන්න ඕන කියල හිතුවේ, ඇත්තටම තමන්ගේ පවුලේ අයෙක් මිය ගියොත් කැනඩාව තුලදී කළ යුතු දේ මොනවාද කියන එක. එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කළත් අප කවුද දන්නේ මොන වෙලාවේ ජීවිත වෙනස්වේද කියලා. ඒ නිසා, අද කතාව අන්න ඒ ගැන.
මුලින්ම කියන්නෝන මේ ලියන්නේ, මගේ වෘත්තීය පරිසරය තුල ලැබෙන දැනුම සහ අත්දැකීම තුල මෙවැනි අවස්ථාවක ගත යුතු පියවර. විවිධ ආගම්, සංස්කෘතීන් අනුව විය හැකි වෙනස්වීම් ගැන අවශ්‍ය අයෙක්ට වැඩිදුර සොයා බැලීමට ආරාධනා කරනවා.
මරණය සිදුවන ස්ථානය අනුව මුල් පියවර
දැන්, කැනඩාව තුලදී අයෙකු මිය යාහැකි ප්‍රධාන ස්ථාන දෙකක් තිබෙනවා. එක, සමහර විට නිවස හෝ මහමග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සෞඛ්‍යය ආයතනයක් තුලදී වෙන්න පුළුවන්. මෙතැනින් මුල් අවස්ථා දෙකේදි එවැනි අවස්ථාවකට මුහුණපෑවොත් ඉක්මණින්ම 911 අමතා දැනුම් දීම කළ යුතු වෙනවා. රෝහලක හෝ වෙනත් සෞඛ්‍යය ආයතනයක් තුලදී සිදුවුනොත් අදාල වෘත්තීකයන් අදාල අවශ්‍ය කරන සම්බන්ධීකරණය කරාවි.
එතැනදී, මරණයට හේතුව තහවුරු කරගැනීමෙන් පසුව අදාල නිලධාරින් විසින් Medical Death Certificate නිකුත් කර, මරණය, සෞඛ්‍යය විද්‍යාත්මකව තහවුරු කර, පවුලේ අයට ඉදිරි කටයුතු සඳහා ලබා දෙනවා.
අවයව සහ පටක පරිත්‍යාගය
දැන්, පවුලේ අයට ඉක්මණින්ම කරන්නට අවශ්‍ය කටයුතු කිහිපයක් තිබෙනවා. ඒ,
- මිය ගිය තැනැත්තා තම පටක, අවයව, ඉන්ද්‍රිය පරිත්‍යාග කරන්නට කැමැත්ත පළ කර ඇත්නම්, අදාල Organ Donation අංකයට කතා කර මරණය, සිදුවූ වේලාව, අදාල පුද්ගලයා ලබා දී කැමැත්ත පිළිබඳව දැනුවත් බව, මිය ගිය පුද්ගලයාගේ ආසන්නම වගකීම ගන්නා පුද්ගලයා විසින් දැනුම් දිය යුතු වෙනවා.
සම්පූර්ණ දේහය වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීම
- මිය ගිය පුද්ගලයා තම දේහය, වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීමට කැමැත්ත දී, විශ්ව විද්‍යාලය වෙත දැනුම් දී තිබුණා නම් හෝ එම කැමැත්ත ප්‍රකාශ කර තිබුණා නම්, අදාල විශ්ව විද්‍යාලයේ Body Donation අංකයට කතා කර දැනුම් දීම් කරන්නට අවශ්‍ය වෙනවා.
මෙම කටයුතු ප්‍රමාදවීමකින් තොරව, විශේෂයෙන්ම අවමංගල්‍ය සේවා පහසුකම් සපයන ආයතන විසින්, දේහය එම්බාම් කිරීම කරන්නට පෙර කළ යුතු වැදගත්ම දැනුම් දීම්. එතැනදී, අදාල පරිත්‍යාග කිරීම් බාර ගැනීමට සුදුසුකම් සපුරා ඇත්නම් (පසුව ඒ ගැන කියන්නම්) අදාල සෞඛ්‍යය ආයතන එම දේහය හෝ පටක නියමිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරාවි.
Funeral Service සමඟ සම්බන්ධ වීම
එසේ, දේහය හෝ පටක පරිත්‍යාග කිරීමක් නෙවේ නම්, ඊළඟට කළ යුත්තේ, අදාල මෘත දේහය ප්‍රවාහණය සහ ඉදිරි කටයුතු කිරීම සඳහා එම සේවා සපයන Funeral service ඇමතීමයි.
බොහෝ අවස්ථා වලදි, අදාල සේවා සපයන්නන් ගැන ඥාතීන් දැනුවත් වුවත්, සෞඛ්‍යය ආයතනය විසින් අදාල ප්‍රදේශයේ පහසුකම් සපයන ආයතන ගැන මුද්‍රිත පත්‍රිකාවක් ලබා දෙනවා. ඊට අමතරව, ඉදිරි කටයුුතු තුල විය යුතු දේ ගැන දැනුවත් කිරීම් ලබා දීමත් අවස්ථාව අනුව සිදුවේවි.
මෘත දේහය සම්බන්ධ කටයුතු
මේ වෙත්දී, Funeral service ආයතනය විසින් මෘත ශරීරයට අදාල ප්‍රවාරණය, එම්බාම් කිරීම, මෘතදේහය ප්‍රදර්ශණය, ඥාතීන් හමුවීම් වලට අවශ්‍ය සූදානම් කිරීම් ආරම්භ කරනවා. මෙතැනදී, සෞඛ්‍ය ආයතනය විසින් ලබා දෙන Medical Death Certificate ඔවුන්ට ලබා දිය යුතු වෙනවා.
හැම විටම එවැනි සටහනක පිටපතක්, පිංතූරයක් ලෙස තම සතුව තබා ගැනීමට, පවුලේ ඥාතියෙක් කටයුතු කළ යුතු වන්නේ, පසුව ඇතිවිය හැකි ගැටළු සීමා කරගැනීමට.
ඥාතීන් සහ නීතිමය වගකීම් ඇති පුද්ගලයන් දැනුවත් කිරීම
දැන්, අදාල මරණය ගැන මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්, නීතිමය බැඳීම් ඇති අයවලුන්, හිතවතුන් දැනුවත් කිරීම කළ යුතු අතර, මෙතැනදී විශේෂයෙන්ම මිය ගිය පුද්ගලයාගේ ජීවිත රක්ෂණ, දේපල වැනි වටිනාකම් සඳහා නීතිමය බැඳීම ඇති පුද්ගලයන් (beneficiaries) දැනුවත් කිරීම් කළ යුතු වෙනවා.
මිය ගිය පුද්ගලයා, අන්තිම කැමැත්තක් සකසා, යම් අයෙක් හෝ පිරිසකට දේපල බෙදී යන ආකාරය සඳහන් කර තිබුණා නම් මෙතැන් සිට "විය හැකි" දේපල බෙදීම පිළිබඳ ගැටළු සීමාවන අතර, එසේ නොවී, අන්තිම කැමැත්කක් නැතිව මිය ගිය අවස්ථාවක (dying intestate) තම විවාහක පාර්ශවය හෝ ආසන්නම ඥාතියා, මූලික වගකීම් ගෙන කටයුතු කළත් අදාල දේපල, වටිනාකම් පළාතේ නීතියට අනුව බෙදා දීම සිදුවන තුරු මියගිය පුද්ගලයාගේ මිල මුදල්, බැංකු ගිණුම්, දේපල වල වෙනස් කිරීම් කළ නොහැකි වෙනවා.
(කැනඩාවේ දී අන්තිම කැමැත්තක වටිනාකම සහ එය සකසා ගන්නා ආකාරය කාළයකට පෙර සටහන් කළා වගේ මතකයි)
මරණය නිල වශයෙන් ලියාපදිංචි කිරීම
මේවෙත්දී, අවමංගල්‍ය සේවා පහසුකම් සපයන ආයතනය, මෘතශරීරය සැකසීම, හමුවීම් සූදානම් කිරීම කරන අතරේ, මියගිය පුද්ගලයාගේ විවාහක පාර්ශවය, දරුවෙක් හෝ සම්බන්ධතාව ඔප්පු කළ හැකි ළඟම ඥාතියෙක් ආසන්නයේම තියෙන vital statistics office එකට එහෙම නැත්නම් පළාත් අනුව රෙජිස්ට්‍රියට යා යුතු වෙනවා.
ඒ යත්දි, තමන්ගේ හදුනාගැනීමේ පතක්, උදා- රියදුරු බලපත්‍රය, මිය ගිය පුද්ගලයා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කළ හැකි සහතියක්, උදා- විවාහ සහතිකය හෝ විවාහක පුද්ගලයා විසින් නිකුත් කරන ලියවිල්ලක්, සෞඛ්‍යය ආයතනය විසින් ලබා දුන් Medical Death Certificate සහ Funeral service මගින් ලබා දෙන Funeral Director's Statement of Death ලියවිල්ලත් ගෙන යායුතු වෙනවා.
ඒ, අදාල මරණය පළාත තුල ලියාපදිංචි කිරීමට. මෙය නීත්‍යානුකූලව අනිවාර්ය වන අතර, ඉදිරි දේපල බෙදීම, බැංකූ ගිණුම් මාරු කිරීම්, වාහන වල හිමිකම් මාරු කිරීම් වලදී මෙම ලියාපදිංචි කළ මරණ සහතිකය අත්‍යවශ්‍ය වෙනවා.
මෙම ලියාපදිංචිය පළාත අනුව වෙනස්විය හැකි සුළු මුදලක් අය කරන අතර, තැපැල් මාර්ගයෙන්ද කළ හැකි වුවත්, in-person එක කරගැනීම වඩාත් පහසුබව වෘත්තීය පරිසරය තුල ලැබූ අත්දැකීම් මත කියන්නට පුළුවන්.
Funeral හෝ Memorial Service සඳහා සූදානම් වීම
මෙම කටයුතු අවසන් වෙත්දි, මෘතශරීරය භාරව කටයුතු කරන ආයතනය, එය ඥාතීන්ගේ ඉල්ලීම සහ මිය ගිය පුද්ගලයා ප්‍රකාශ කළ කැමැත්තක් වේ නම් ඒ අනුව සකසා, Funeral හෝ Memorial Service වෙනුවෙන් දින, කාළසටහන් සූදානම් කර ලබා දෙනු ඇති.
අන්තිම කැමැත්ත තුල සඳහන් කළ ඇති ආකාරය, එසේ නොමැති නම් එහි වගකීම පවරා ඇති පුද්ගලයා ගන්නා තීරණය අනුව මෘත ශරීරය ආදාහනය කරනවාද? නොවේ නම් භූමදානය කරනවාද තීරණයත් මේ වෙත්දි ගෙන තිබේවි.
භූමදානය කිරීමට සාම්ප්‍රදායික ලෙස කනත්තක භූමදානය කිරීම, පරිසරයහිතකාමී ලෙස green burial කිරීම හෝ තම ඉඩම තුල භුමදානය කිරීමට "පළාතට බලපාන Canadian burial laws අනුව තීරණය කළ යුතු වෙනවා.
ඒවගේම, භූමදානය කරන්නට කැමැත්ත දී ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය ඉඩ සීමාවන් මිය යන්නට පෙරම මිලදී ගෙන වෙන් කරවා තියා ගන්නත්, අවශ්‍ය නම් එතැනට වී නිවාඩු දවසකට පොඩි පාටියක් දාන්නටත් බැරි කමක් නැහැ කැනඩාවේදි. (මගේ සේවාලාභීන්ගේ අපූරු අත්දැකීම් දැක ඇත)
අවසන් කටයුතු වලින් පසු පවුලේ වගකීම්
මෘතශරීරය පිළිබඳ අවසන් කටයුතු නිමාවූ විගස කළ යුතු වගකීම් රැසක්, පවුලේ වගකියන පුද්ගලයන්ට පැවරෙනවා. ඒ අතර,
- අන්තිම කැමැත්ත තුල දේපල බෙදීම, එම වගකීම් පවරා නැත්නම් පළාත් නීතිය ඉදිරියට ගොස් අදාල කටයුුතු සූදානම් කර ගැනීම,
- කැනඩා රජයේ වගකියන ආයතන වෙත (උදා- Service Canada) දැනුම් දී, මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ලැබිය යුතු CPP death benefit, Survivor’s pension, සුදුසුකම් සපුරන්නේ නම් CPP children's benefits ලබා ගැනීමට කටයුතු කිරීමත්,
- Passport Office වෙත දැනුම් දී, මියගිය ඥාතියාගේ ගමන්බලපත්‍ර අවලංගු කිරීම,
- Immigration and citizenship සමඟ සම්බන්ධ වී අදාල පුද්ගලයාගේ කැනඩාව තුල නීතිමය පදිංචිබව, පුරවැසි බව හෝ ස්ථිර පදිංචි කාඩ් පත අවලංගු කිරීමට,
- පළාතේ සෞඛ්‍ය රක්ෂණය, රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කිරීම,
- CRA වෙත දැනුම් දීම සහ මිය ගිය පුද්ගලයාගේ අදාල වසරට අදාල අවසන් Income Tax යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත්,
- බැංකු ගිණුම්, ජීවිත රක්ෂණයන්, දේපල හිමිකම් වෙනස්කිරීම්, වාහන වල හිමිකම් වෙනස් කිරීම් වැනි කටයුතු,
- මිය ගිය පුද්ගලයාගේ මාසික ගෙවීම් සහිත ගිණුම් නැවැත්වීමට දැනුම් දීම. (උදා- විවිධ මාසික ගාස්තු සහිත දුරකථන, අන්තර්ජාල, විනෝදාස්වාදයට අදාල වෙනත් පහසුකම් වැනි)
වැනි කටයුතු රැසක් කළ යුතු වෙනවා. (තවත් ඇති මේ මතක් වෙන හුඟක්ම පොදු දේවල් ටිකක්)
ශෝකය සමඟ මුහුණ දීම
මේ අතරේම, පළාතේ සෞඛ්‍යය සේවාව හෝ පළාත් රාජ්‍ය සේවාව මැදිහත් වී ලබා දෙන Grief counseling හෝ Grief support group ඔස්සේ මුහුණදුන් තත්ත්වය තුල ඔබ, පවුලේ සාමාජිකයන් විඳින වේදනාවට යම් සහනයක් ලබා ගැනීමට කටයුතු කිරීමත් කළ යුතු වෙනවා.
අවයව පරිත්‍යාගය ගැන තවත් යමක්
අවසානයට පෙර තවත් යමක් මතක් කරනවා,
කැනඩාව තුල මිය ගිය අයෙක්ගේ දේහ පටක, ඉන්ද්‍රියන්, අවයව පරිත්‍යාග කිරීම සහ එම පරිත්‍යාග ඉතාමත් ඵලදායී ලෙස අවශ්‍ය රෝගීන් වෙත බද්ධ කරමින් සුවයක් ලබා දීම සාර්ථකව සිදුවන නිසා, රියදුරු බලපත්‍රය ගන්නා අවස්ථාවේදීම මේ සඳහා කැමැත්ත ලබා දීමට හැකියාව බොහෝ පළාත් වල තිබෙනවා.
එතැනදි, Donor කෙනෙක් ලෙස ලියාපදිංචි වූ අයෙක් හදුනාගැනීමට යම් සළකුණක් අදාල රියදුරු බලපත්‍රයට ලැබෙනවා. එයින් වෙනත් කිසිදු වාසියක් නැතත්, එය සතුටක් ලෙස දැනේවි.
මෙලෙස පටක, අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත දෙන අතරේම, සම්පුර්ණ දේහයම පරිත්‍යාග කිරීමට කැමැත්ත ලබා දීමත් කළ හැකි අතර, එය පළාත් ලියාපදිංචිය තුල සටහන් වුවත්, එම කැමැත්ත ඇති අයෙක්, සම්පුර්ණ දේහය පරිත්‍යාග කිරීමේ කැමැත්ත සෘජුවම තෝරා ගත් විශ්ව විද්‍යාලයේ Body Donation Program සමඟ ලියාපදිංචි වීම වඩාත් පහසුවක් ඇති කරනවා.
එසේ ලියාපදිංචියක් නැතිවුවද පරිත්‍යාග කළ හැකි මුත්, ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ මෙලෙස ලියාපදිංචිය ලැබූ අවස්ථාවන් සඳහායි.
සම්පූර්ණ දේහ පරිත්‍යාගයේදී වැදගත් කරුණක්
කෙසේ වෙතත්, විශ්ව විද්‍යාලය සමඟ ලියාපදිංචි වූ පමණින්ම සම්පුර්ණ දේහය බාරගනී යැයි ස්ථීර වගකීමක් ගන්නේ නැහැ එම ආයතන. මිය යන අවස්ථාවේ තිබෙන තත්ත්වය, රෝගී තත්ත්ව වැනි සාධක කිහිපයක් ගැන සලකාබලා, අදාල සාධක සම්පුර්ණ කර ඇති අවස්ථාවක තමයි දේහය බාර ගන්නේ.
එම නිසා, සම්පුර්ණ දේහය පරිත්‍යාග කිරීමට කැමැති අයෙක්ගේ මරණය සිදුවුනු අවස්ථාවක වුවත්, පසුබිමේ තෝරා ගත් Funeral service තබා ගැනීම, තවත් අනපේක්ෂිත ගැටළුවක් ඇති වීම වලක්වන බව අවසානයටම කියනවා.
අපේ දේහය දැනුමට දායාද කිරීම
මමත්, බිරිඳත් දෙදෙනාම මේ කියන පරිත්‍යාගය වෙනුවෙන් පළාත සමඟ මෙන්ම, විශ්ව විද්‍යාලය සමඟද බැඳීම් ඇති කරගෙන අවසානයි.
ඒ "පින්පොදිය හදා ගන්න", "ලබන ආත්මේ ලොකු වෙන්න", "වලාකුළක් උඩ දිවිය සැප බලාගෙන" වගේ වෙන කිසිදු හේතුවක් නිසා නොවෙයි, අපේ කෙල්ලන් දෙන්න අදාල පරිත්‍යාගශීලීන්ගේ මෘත දේහ මගින්, ලබා ගන්නා අත්දැකීම්, ප්‍රායෝගික දැනුම විඳින අපූරුව අපේ දෑසින්ම අද දකින නිසාවෙනි.
කතාව ඉවරයි.