ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී මුහුණදීමට සිදුවන ඉතා සංවේදී සහ ප්‍රායෝගික අභියෝගයක් පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ විමසීමක් සහ එහි චිකිත්සීය විසඳුම් විමසා බලමු.
සාමාජිකයෙකුගේ ගැටළුව:
"මම ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගන්නවා. ඇය ඇතැම්විට මා සහ අනෙකුත් පිරිමි රැකබලා ගන්නන් ඇයගේ සැමියා විදියට සලකනවා.
1. මෙහිදී ඇයට සත්‍ය පහදා දීම සුදුසුද? නැතිනම් ඇයට එසේ සිතා ගැනීමට හැර කටයුතු කිරීම සුදුසු ද?
2. අනෙකුත් අතීත මතක සමග කටයුතු කිරීමේ සුදුසුම විදිහ කුමක්ද?
3. පුහුණුවීම් වලදී ඇයගේ ලෝකයේ අපත් ජීවත්විය යුතු බව පැවසුවත් තවදුරටත් පැහැදිලි කරගත යුතුයි."
මගේ පිළිතුර
මුලින්ම, ඩිමෙන්ෂියා සාත්තුව තුළදී මුහුණදෙන මෙවැනි ප්‍රායෝගික ගැටළුවක් ගෙන ඒම පිළිබඳව ස්තුතියි. මෙවැනි ගැටළුවලට විසඳුම් සෙවීම සහ අත්දැකීම් බෙදාගැනීම තුළින් තමයි වඩාත්ම සාර්ථක ඩිමෙන්ෂියා සාත්තුවක් ලබා දීමට හැකි වන්නේ.
මගේ වෘත්තීය අත්දැකීමක්
ඔබ සඳහන් කර තිබෙන අත්දැකීම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයට සාත්තු කරන බොහෝ දෙනෙකු (පවුලේ සාමාජිකයන් මෙන්ම වෘත්තිකයන් පවා) මුහුණදෙන පොදු අවස්ථාවක් මෙන්ම විශාල අභියෝගයකි.
කොවිඩ් වසංගත සමයේ අපගේ සියලු චිකිත්සීය වැඩසටහන් දුරස්ථ ක්‍රමයට (Virtual) පත් වූ අවස්ථාවේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එක් සේවාලාභිණියක් සම්බන්ධ වූවාය. පරිගණක තිරයක් හරහා ඇතිවන දුරස්ථභාවය මධ්‍යයේ වුවද, ඇය සෞඛ්‍ය ගැටළුවක් නිසා ජීවිතයෙන් සමුගන්නා තෙක්ම සති ගණනාවක් එම චිකිත්සීය ක්‍රියාවලිය තුළ රඳවා තබාගැනීමට හැකි වූයේ මා ඇගේ ලොකු පුතා (ඔහු විදේශයක හමුදා සේවයේ යෙදී සිටියේය) ලෙස ඇය වරදවා හඳුනාගැනීම නිසාය.
එතැනදී අප ඇගේ එම පිළිගැනීමට බාධා නොකර, ඇය "පුතා" වෙත තබා තිබූ විශ්වාසය ඔස්සේ චිකිත්සීය සේවාව සාර්ථකව ලබා දුන්නෙමු. (සැසිවාර අවසානයේ ඇගේ සැමියා කතා කර "ඔයා දන්නවද, අද මාග්‍රට් ඇඳට ගියේ හරිම සතුටින්, පුතාගේ වරුණෙම තමා කිව්වේ" යැයි පවසද්දී එය සිතට ගෙන ආවේ මහත් සතුටකි).
විද්‍යාත්මක පසුබිම: Delusional Misidentification Syndromes (DMS)
ඩිමෙන්ෂියා සත්කාර ක්ෂේත්‍රය තුළ මෙම "වරදවා හඳුනාගැනීම" හඳුන්වන්නේ Delusional Misidentification Syndromes (DMS) ලෙසයි.
- Fregoli Syndrome: තමන් නොදන්නා අමුත්තෙකු හෝ සාත්තු සපයන්නෙකු තම සමීපතමයෙකු (සැමියා, පුතා ආදී) ලෙස දැඩිව විශ්වාස කිරීම.
- Capgras Syndrome: තමන්ගේ සැබෑ සමීපතමයා "ව්‍යාජ වංචනිකයෙකු" (Imposter) ලෙස සැක කිරීම.
ඇයි මෙහෙම වෙන්නේ?
මෙය හුදෙක් සිතාමතා කරන දෙයක් නොව, මොළයේ සෛල ක්ෂයවීම සහ ජෛව-රසායනික වෙනස්වීම් නිසා සිදුවන්නකි. විශේෂයෙන් මොළයේ දකුණු අර්ධගෝලයේ (Right Hemisphere) මුහුණුවරවල්, ඉරියව් සහ හැසිරීම් හඳුනාගෙන ඒවාට අදාළ චිත්තවේගීය හැඟීම් (Emotional processing) ගලපා දෙන ස්නායු පටක අක්‍රිය වීම මෙයට හේතු වේ (විශේෂයෙන් Lewy Body Dementia - LBD වැනි තත්ත්වවලදී බහුලයි).🧠 සරල උපමාවක්:
මෙය හරියට හිරිවැටුණු අතකින් පෑනක් අල්ලනවාක් මෙනි. පෑන අතේ ඇති බව පෙනුණත්, පෑන අතැඟිලිවලට දැනෙන සැබෑ ස්පර්ශ හැඟීම මොළයට නොලැබේ.
සත්‍ය පහදා දීම (Reality Orientation) අසාර්ථක වන්නේ ඇයි?
මොළයේ අදාළ ගැලපීම කරන කොටස අක්‍රියව පවතින විට, අප කොතෙක් "ඇත්ත" පැහැදිලි කිරීමට ගියද එම පුද්ගලයාට එය තේරුම් ගත නොහැක. එවිට සිදුවන්නේ:
- රෝගියා දැඩි චිත්තවේගීය පීඩාවකට, බියට හා කෝපයට පත්වීම.
- සාත්තු සපයන්නා කෙරෙහි ඇති විශ්වාසය සහ බැඳීම සම්පූර්ණයෙන්ම බිඳ වැටීම.
මේ නිසා, අතීතයේ භාවිත වූ මුරණ්ඩු ලෙස සත්‍යයම ඔප්පු කිරීමට උත්සාහ කරන Reality Orientation ක්‍රමය වෙනුවට, අද දවසේ පිළිගන්නේ Validation Techniques (චිත්තවේගීය යථාර්ථය පිළිගැනීම) යි. එනම්, ඔවුන් සිටින මානසික ලෝකයට ගරු කරමින්, ඔවුන්ගේ හැඟීම් වලංගු කරමින් සත්කාරය ලබා දීමයි.
සාත්තු සත්කාරයේ "උපකරණ කට්ටලය" (Toolbox)
මෙවැනි අවස්ථාවකදී චිකිත්සීයව භාවිත කළ හැකි උපක්‍රම 5 මතක තබා ගැනීමට උපකාරී වන කෙටි යෙදුමකි:
"Don't Freak, Nana's Really Confused"
1. Distraction (වෙනතකට යොමු කිරීම)
පුද්ගලයාගේ අවධානය, පරිසරය හෝ මාතෘකාව වෙනත් සතුටුදායක ක්‍රියාකාරකමකට හෝ ආහාර පාන වෙත සුහදව යොමු කිරීම.2. Fibs / Therapeutic Lie (චිකිත්සීය බොරුව / White Lie)
අනවශ්‍ය කලබලයක් හෝ වේදනාවක් ඇතිවීම වැළැක්වීම පිණිස, සත්‍යය මුරණ්ඩු ලෙස කියා රිදවනවා වෙනුවට සැනසිලිදායක පිළිතුරක් ලබා දීම (උදා: "මහත්තයා ඉක්මනටම ඒවි, ඊට කලින් අපි මේ බෙහෙත් ටික බීලා ඉමු").3. No Response / Non-Verbal (නිහඬව සවන්දීම)
තර්ක කිරීමට හෝ වාචිකව ප්‍රතිචාර දැක්වීමට නොගොස්, සිනහවකින්, හිස සැලීමකින් හෝ අත අල්ලා ගැනීමෙන් ආරක්ෂිත බවක් දැනෙන්නට හැරීම.4. Reality Orientation (සුදුසු කෙටි අවස්ථාවන්හිදී පමණක්)
පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාව සාපේක්ෂව හොඳින් පවතින කෙටි අවස්ථාවකදී පමණක් සත්‍ය තත්ත්වය මෘදු ලෙස සිහිපත් කිරීම.5. Combination (ඉහත උපක්‍රමවල එකතුවක්)
අවස්ථාව සහ සේවාලාභියාගේ මානසික මට්ටම අනුව ඉහත ක්‍රම කිහිපයක් මුසු කර භාවිත කිරීම.සමාප්තිය
ඩිමෙන්ෂියා සත්කාරයේදී වඩාත්ම වැදගත් වන්නේ අපේ ඇත්ත ඔවුන් මත බලහත්කාරයෙන් පැටවීම නොව, ඔවුන්ගේ ලෝකය තුළ ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බව සහ බිය තුරන් කරමින් උපරිම සැනසිල්ල හා රැකවරණය ලබා දීමයි.