2023/06/23

ඩිමෙන්ෂියා දැනුම ගනිමු, බෙදාගනිමු: පාසල් සහ අධ්‍යාපන ප්‍රජාව දැනුවත් කිරීම

පාසල් සිසුවෙකු ලෙස, ගුරුවරයෙකු ලෙස හෝ උපකාරක පන්ති (Tuition) ගුරුවරයෙකු ලෙස, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව පාසල් සහ අධ්‍යාපනික පරිසරය ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කළ හැක්කේ කෙසේදැයි විමසා බලමු.

(මෙහි දක්වා ඇත්තේ මූලික අදහස් කිහිපයක් පමණි. ඔබේ පරිසරය, නිර්මාණශීලිත්වය හා අවශ්‍යතාව අනුව මීට වඩා වටිනා ක්‍රමවේද ඔබට ගොඩනගාගත හැක.)



1. සුහද සාකච්ඡාවක් හෝ ඉදිරිපත් කිරීමක් (Classroom Discussions)

  • පාසල් සිසුන්ට: අන්තර්ජාලයෙන්, පිළිගත් සෞඛ්‍ය මූලාශ්‍රවලින් හෝ පොතපතින් ලබාගත් කරුණු විවේක කාලයේදී තම මිතුරු කණ්ඩායම සමඟ "පුංචි කතාබහක්" ලෙස බෙදාහදා ගැනීම. මේ ඔස්සේ තවත් උනන්දුවක් දක්වන මිතුරන් එකතු කරගෙන ඉදිරි පියවර සැලසුම් කළ හැක.
  • ගුරුවරුන්ට: විෂය ඉගැන්වීමෙන් පසු හෝ විවේක කාලයේදී දරුවන් සමඟ සරලව මේ තත්ත්වය ගැන කතා කිරීම. විද්‍යා, සෞඛ්‍ය හෝ ජීව විද්‍යා පාඩමකදී හෝ පාසල් සමිතියකදී තම පවුලේ හෝ ප්‍රජාවේ අත්දැකීම් මුල් කරගනිමින් සංවාදයක් ගොඩනැගීම.

2. සැලසුම් කළ දේශනයක් සංවිධානය කිරීම (Guest Lectures & Seminars)

ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (PHI) හෝ සායනික සෞඛ්‍ය වෘත්තිකයෙකු පාසලට ආරාධනා කර දරුවන්ට හා ගුරුවරුන්ට ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීම.

රෝග ලක්ෂණ හඳුනා නොගැනීම නිසා පවුල් තුළ සිදුවන පීඩාවන් අවම කරගැනීමට සහ වැඩිහිටියන් රැකබලා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් මෙහිදී සාකච්ඡා කළ හැක.



3. බිත්ති පුවත්පත සහ දැන්වීම් පුවරු (Wall Newspapers & Noticeboards)

පාසලේ බිත්ති පුවත්පත (Wall Newspaper) හෝ ප්‍රධාන දැන්වීම් පුවරුව යොදාගනිමින් ඩිමෙන්ෂියාව, මොළයේ සෞඛ්‍යය රැකගන්නා ආකාරය සහ වැඩිහිටියන්ට කරුණාව දැක්වීමේ වැදගත්කම පැහැදිලි කරන ලිපි, චිත්‍ර, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම.

විශේෂයෙන් පාසලේ විද්‍යා සතිය (Science Week) හෝ මානසික සෞඛ්‍ය දිනය (Mental Health Day) මූලික කරගෙන මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කළ හැක.



4. Cognitive Compassion Club (CCC) හෝ ශිෂ්‍ය සමිතියක් පිහිටුවීම

විෂයබාහිර ක්‍රියාකාරකමක් ලෙස Cognitive Compassion Club (CCC) වැනි ශිෂ්‍ය එකමුතුවක් පිහිටුවීම:

  • ඩිමෙන්ෂියාව සහ සංජානන සෞඛ්‍යය පිළිබඳ දැනුම ලබාදීම.
  • මොළයේ මතක ශක්තිය හා බුද්ධිමය වර්ධනය පවත්වාගත හැකි ක්‍රීඩා (Brain Games, Puzzles, Chess), පාඩම් කිරීමේ විද්‍යාත්මක ක්‍රම හඳුන්වාදීම.
  • පාසල් ළමුන් තුළ සහකම්පනය (Compassion) සහ නායකත්ව කුසලතා (Leadership Skills) වර්ධනය කිරීම.



වැදගත් පණිවිඩය

මේ උත්සාහයන් සඳහා නගරයේ ප්‍රධාන පාසලක් විය යුතු නැත; ඕනෑම ගමක කුඩා ප්‍රමාණයේ පාසලක හෝ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ සිට උසස් පෙළ සහ විශ්වවිද්‍යාල දක්වා ඕනෑම මට්ටමකට ගැළපෙන පරිදි නිර්මාණශීලීව මෙය ක්‍රියාත්මක කළ හැක.

අපේ රටේ සෞඛ්‍ය ප්‍රජාව තුළ ඩිමෙන්ෂියා පිළිබඳ නිවැරදි දැනුවත්භාවය ඇති කිරීමට පාසල් පද්ධතියෙන් තබන මෙම පියවර අතිශය බලපෑම් සහගත වනු ඇත.

2023/06/16

ආදරවන්තී

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.)

ඇයට අපි ජේන් (Jane) කියමු. වයසින් අවුරුදු හතළිස් නමයක් වන ඇය, මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි, කලකට පෙර ගුරුවරියක් ලෙස තරුණ දරුවන් පිරිසකට අනාගතයට මඟපෙන්වූ, අද වන විට පිළිකාවක අතුරුඵල සමඟ සටන් වදින සිත ශක්තිමත් කාන්තාවකි.

පාසල් කාලයේ හමුවූ පෙම්වතා (High School Crush), පසුව සැමියා බවට පත්වූ, අද දවසේ සැමියා මෙන්ම ප්‍රධාන සාත්තු සේවකයාද වන ෂෝන් (Sean) සමඟ සෞඛ්‍ය අභියෝග රැසක් මධ්‍යයේ ජීවත්වන ඉතාම ප්‍රියමනාප, සරල සහ සමාජශීලී කාන්තාවකි.

ඇය අප වෙත සම්බන්ධ වන්නේ EOD (Early Onset Dementia - Frontotemporal Dementia / FTD) තත්ත්වය සමඟ ජීවත්වන සේවාලාභිණියක ලෙස සතිපතා චිකිත්සීය උපකාර ලබාගැනීමටයි.

EOD තත්ත්වය තිබුණද තවමත් කතාබහ කිරීමට සහ තීරණ ගැනීමට මනා හැකියාවක් ඇති ඇය, නවීනතම ඉලෙක්ට්‍රොනික රෝද පුටුවකින් ගමේ බස් රථයෙන් අපේ වැඩසටහන් වෙත පැමිණෙන්නේ පිළිකා ප්‍රතිකාර නිසා ඇතිවන වෙහෙසකාරී අපහසුතා මධ්‍යයේය.



උණුසුම් දිනක අනපේක්ෂිත සංවාදය

එදින රෝහල වෙත ගොස් පිළිකානාශක ඖෂධ (Chemotherapy) ලබාගෙන පැමිණි ජේන්, උදරයට සවි කර ඇති බටයක් (Feeding Tube) ඔස්සේ දියරමය දිවා ආහාරය ලබාගත්තාය.

"අද නම් හරිම මහන්සියි මහේෂ්, මේ රස්නේ හරි අමාරුයි..." දිවා විවේකයේදී ඇය පැවසුවාය.
"මටත් අද නම් හරි අපහසුයි. ඒකනේ මම කියන්නේ හැමදාම වින්ටර් (Winter) සීතල තිබුණා නම් කොයිතරම් හොඳද කියලා!" මා විහිළුවෙන් මෙන් පිළිතුරු දුන්නේ ඇය තුළ සැඟවුණු වෙනත් කතාවක් ඇත්දැයි විමසමිනි.
"අනේ මන්දා මහේෂ්, රස්නේ ගැන මම කතා කරන්න තෝරාගෙන තියෙන්නේ හරිම එක්කෙනානේ! අනෙක් හැමෝම රස්නේ සැපයි කියද්දී මර සීතල සැපයි කියන ඔයාව!... ඒක නෙවෙයි, මට ඔයත් එක්ක ටිකක් වෙනම කතා කරන්න පුළුවන්ද?"
"අනිවාර්යයෙන්ම ජේන්, විනාඩි පහකින් මගේ කාමරයට එන්න."

කාර්යාල කාමරයේ දොර විවර වූ විගස විදුලි රෝද පුටුව වේගයෙන් ඉදිරියට ගත් ජේන් කතාව ආරම්භ කළාය.



"මම එයාට පණටත් වඩා ආදරෙයි... ඒත්..."

"මහේෂ්... ඔයා දන්නවනේ ෂෝන් මට කොයිතරම් ආදරේද කියලා. එයා මා වෙනුවෙන් කරන කැපකිරීම් ඔයා දකිනවානේ..."
"ඔව් ජේන්, අපි හැමෝම ඒක දන්නවා. ඇයි ඔයාට ඒ ගැන කතා කරන්න හිතුනේ?"
"ඔව් අනේ... මට එයා නැතුව බෑ. එයා තමයි මගේ පණ මේ වනතුරු රැකගන්න උදව් වුණු මගේ දේව කුමාරයා... එයා හරිම හොඳයි... මට පුදුම ආදරෙයි... ඒත්... ඒත්..."

කෙළින්ම මගේ දෙනෙත් දෙස බලාගෙන කතා කළ ජේන් එකවරම බිම බලාගත්තාය. කටහඬේ තිබූ උණුසුම හා ප්‍රාණවත් බව අඩුවී ගියේය.

"කියන්න ජේන්, මම ඔයාට සවන් දෙනවා."
"මහේෂ්... මට මේ ළඟක ඉඳන් රෑට පුදුම තරහක් එනවා. කිසිම හේතුවක් නෑ. ෂෝන් ඇඳේ පැත්තකට වෙලා සනීපෙට නිදාගන්නවා. මට නින්ද යන්නේ නෑ. ඒ අස්සේ ෂෝන් ගොරවන්න ගත්තම..."

ජේන් කතාව නැවැත්තුවාය. මුහුණ සම්පූර්ණයෙන්ම අඳුරු වළාවකින් වැසී ගියේය. රෝද පුටුවේ අමුණා තිබූ ඇගේ සහන සෙල්ලම් තාරාවා (Emotional Support Plush Toy) තුරුළු කරගනිමින් ඇය ඉකිබිඳ හඬන්නට වූවාය.

ඇයට හඬන්නට මොහොතක් ලබාදී මා ඇය අසලම රැඳුණෙමි.



භයානක චිත්තවේගයේ හෙළිදරව්ව

හැඬීම නතර කළ ජේන් ඉතා රළු සහ බරපතළ හඬකින් කියාගෙන ගියාය:

*"ඔයා දන්නවද මහේෂ්... මට හිතුණා අර ගොරවන ෂෝන්ගේ මුහුණ උඩට කොට්ටයක් තියලා, හිර කරලා එයාගේ ජීවිතේ නැති කරන්න!
මට හිතාගන්න බෑ මට ඇයි එහෙම හිතුණේ කියලා! ඒ ක්ෂණිකයෙන්ම මට මතක් වුණා ඒ මගේ ආදරණීය සැමියා, මගේ රත්තරං නේද කියලා! මම හිත තද කරගෙන ඇඳේ අනෙක් පැත්තට හැරිලා නිදාගන්න හැදුවත් ඒ දුක සහ බය මට නින්දක් දුන්නේ නෑ..."*

මෙය ඉතා බරපතළ මෙන්ම සායනිකව ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය මොහොතක් විය.

මා වහාම ක්‍රියාත්මක වී ජේන්ගේ ඩිමෙන්ෂියා විශේෂඥ වෛද්‍යවරයා, ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම සහ ඖෂධවේදියා සම්බන්ධීකරණය කරමින් ඖෂධ මාත්‍රාවල සංශෝධනයක් හා ක්ෂණික සායනික සහන සැලැස්මක් සකස් කළෙමි.

"මහේෂ්... මම සතුටු වෙනවා මම මේ දේ ඔයාට කියපු එක ගැන. ගෙදර යන්න කලින් ෂෝන්ට කතා කරලා මේ ගැන කියන්න. එයා ඒක දැනගෙන ඉන්න එක අපි දෙන්නටම ආරක්ෂාවක්." ගමේ බස් රථයට නැගෙමින් ජේන් සැනසුම් සුසුමක් හෙළුවාය.

සායනික විවරණය: Frontotemporal Dementia (FTD) සහ ඖෂධීය බලපෑම

  1. FTD සහ ක්ෂණික චිත්තවේගීය වෙනස්කම්:
Frontotemporal Dementia හි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මොළයේ පූර්ව හා කන්කලාපීය කොටස්වලට වන බලපෑම නිසා චර්යාවන් (Behavior) සහ චිත්තවේග (Emotions) ක්ෂණිකව, පැහැදිලි හේතුවක් නොමැතිව වෙනස්වීමයි. සාමාන්‍ය සමාජශීලී පුද්ගලයෙකු සුළු ශබ්දයකින් (ගොරවන හඬක්) පවා අධික ආවේගශීලී සහ ප්‍රචණ්ඩ සිතුවිලි කරා තල්ලු විය හැක. මෙහිදී පුද්ගලයා තම සහකරු හඳුනාගත්තද ආවේග පාලනය (Impulse Control) බිඳ වැටේ.
  1. පිළිකානාශක ඖෂධ සහ නිර්වින්දනයේ (Anesthesia) බලපෑම:
ඩිමෙන්ෂියාව සහිත රෝගියෙකු පිළිකා ඖෂධ (Chemotherapy) ලබාගන්නා විට හෝ වෙනත් ශල්‍යකර්මයකදී පූර්ණ නිර්වින්දනයට (General Anesthesia) ලක්වන විට මොළයේ ක්‍රියාකාරිත්වයේ සහ සංජානනයේ ක්ෂණික කඩාවැටීම් (Delirium/Aggravated Dementia Symptoms) සිදුවිය හැක.
  1. පවුලේ සාමාජිකයන් සහ සාත්තු සත්කාරකයින්ට පණිවිඩය:
ඩිමෙන්ෂියාව සහිත රෝගියෙකු වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබන විටදී පවතින ඩිමෙන්ෂියා ලක්ෂණවල සිදුවිය හැකි ක්ෂණික වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීමත්, සියලුම වෛද්‍යවරුන් දැනුවත් කිරීමත් අතිශය වැදගත් වේ.

2023/06/09

Reminiscence Therapy: ස්මරණ චිකිත්සාව

(මුලින්ම කිව යුතුයි "ස්මරණ චිකිත්සාව" යන සිංහල පදය යෙදුවේ මට හැඟෙන ආකාරයටයි. මෙයට මීට වඩා ගැළපෙන හඳුන්වාදීමක් ඇත්නම් සාදරයෙන් පිළිගනිමි.)

Reminiscence Therapy හෙවත් Life Review Therapy යනු අද දවසේ මනෝචිකිත්සක සහ වැඩිහිටි සාත්තු සත්කාරක පරිසරය තුළ ඉතාමත් සාර්ථකව මෙන්ම බහුලව භාවිත වන අපූරු චිකිත්සීය ප්‍රතිකාර ක්‍රමයකි.

මෙම චිකිත්සාව තුළදී පුද්ගලයෙකුගේ මතකය තුළ තැන්පත්ව ඇති අත්දැකීම්, විඳීම් සහ සංවේදන නැවත මතු කරමින්, සැලසුම් සහගත කාලයක් තුළ එම "අතීත සුවඳ" තුළ ජීවත් කරවමින් ප්‍රතිකාරාත්මක සහනයක් ලබා දේ.

  • ප්‍රතිලාභ ලබන ප්‍රජාව: ඩිමෙන්ෂියාව සහ සංජානන දුර්වලතා සහිත පුද්ගලයන්, මානසික පීඩනය, විශාදය (Depression) සහ ආතතිය සමඟ ජීවත්වන අය මෙන්ම නිරෝගී වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය (Wellbeing) සඳහාද මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.
  • ක්‍රියාත්මක කරන වෘත්තිකයන්: Recreational Therapists, Occupational Therapists, සායනික මනෝවිද්‍යාඥයින් සහ මනෝචිකිත්සකයින්.

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපගේ සායනික පරිසරය තුළ සෑම දිනකම අවම වශයෙන් පැයක කාලයක් මෙම ස්මරණ චිකිත්සාව සඳහා වෙන් කරනු ලැබේ.



Reminiscence Therapy සැසියක් සැලසුම් කිරීමේ වැදගත්ම පියවර 10

නිසි සැලසුමකින් තොරව ලබාදෙන ස්මරණ චිකිත්සාවකින් අයහපත් මානසික ප්‍රතිඵල මතුවිය හැකි බැවින් පහත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ:

  1. Understanding Participant (සහභාගිවන්නා හඳුනාගැනීම): පුද්ගලයාගේ ජීවිත කතාව (Life Story), ප්‍රධාන ජයග්‍රහණ, පෞද්ගලික රුචිකත්වයන් සහ වේදනාකාරී අතීත බිඳවැටීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම.
  2. Setting Objectives (අරමුණු සහ ඉලක්ක සැලසුම): මනෝභාවය (Mood) ඉහළ නැංවීම, මතක ශක්තිය උත්තේජනය කිරීම හෝ සමාජීය සබඳතා ගොඩනැංවීම වැනි නිශ්චිත අරමුණක් සහිතව සැසිය මෙහෙයවීම.
  3. Selecting Content (ආධාරක මාධ්‍ය තෝරාගැනීම): කළු-සුදු ඡායාරූප, පරණ සංගීත ඛණ්ඩ, සුවඳ වර්ග (සුවඳ විලවුන්, කෝපි, මල්), පැරණි ඇඳුම් හෝ පදක්කම් වැනි සංවේදී ආධාරක තෝරාගැනීම.
  4. Creating a Safe Environment (ආරක්ෂිත පරිසරය): බියකින් හෝ සැකයකින් තොරව තමන්ගේ අතීතය විවෘතව බෙදාගත හැකි සුරක්ෂිත, සුවපහසු අවකාශයක් නිර්මාණය කිරීම.
  5. Facilitator Preparation (චිකිත්සකයාගේ සූදානම): සක්‍රීය සවන්දීම (Active Listening), සහකම්පනය (Empathy) සහ ක්ෂණික විනිශ්චයකින් තොරව සංවාදයට ඉඩදීමේ සූදානම.
  6. Managing Emotions (චිත්තවේග කළමනාකරණය): අතීතය සිහිවීමේදී සතුට මෙන්ම දුක, කඳුළු හෝ බිඳවැටීම් මතු විය හැක. එවැනි මොහොතක උණුසුම් ස්පර්ශයක්, සෙනෙහස සහ ඉවසීම ලබාදීම.
  7. Encouraging Participation (සහභාගිත්වය දිරිමත් කිරීම): කතාබහට අකමැති හෝ වචන අමතක වන අයට වාචික සහ නිර්වාචික (Non-verbal) සන්නිවේදන ශිල්පක්‍රම ඔස්සේ දිරිගැන්වීම.
  8. Respecting Diversity (විවිධත්වයට ගරු කිරීම): එකම අත්දැකීම (උදා: දරු උපතක් හෝ විවාහයක්) එක් අයෙකුට සතුටක් වන අතර තවත් අයෙකුට වේදනාකාරී විය හැකි බව වටහාගෙන සංවේදී වීම.
  9. Promoting Empowerment (අත්දැකීමේ හිමිකාරිත්වය දීම): රෝගියාගේ අතීත මතකය නිවැරදි කිරීමට හෝ තර්ක කිරීමට නොගොස්, ඔවුන් දකින කෝණයට සම්පූර්ණ අයිතිය හා ගෞරවය ලබාදීම.
  10. Assessment and Feedback (පසු අගැයීම් සහ ප්‍රතිචාර): සැසිය අවසානයේ රෝගියාගේ මනෝභාවයේ වූ වෙනස්කම් සායනික සටහන් (Clinical Notes) ලෙස ලේඛනගත කිරීම.

සායනික හා ගෘහස්ථ පරිසරයේදී යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රම 10

  1. Life Review (ජීවිත සමාලෝචනය): අතීත ජයග්‍රහණ, සේවා කාලය හෝ විවාහ ජීවිතය පිළිබඳ සුහද ප්‍රශ්නාවලියක් හෝ කතාබහක්.
  2. Therapeutic Activities (චිකිත්සීය ක්‍රියාකාරකම්): අතීත සුවඳ, රස හා ස්පර්ශ මුසු කරමින් සංවිධානය කරන නිර්මාණාත්මක ක්‍රියාකාරකම්.
  3. Storytelling and Narrative Therapy (කතන්දර කීම): තම ජීවිත අත්දැකීම් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම.
  4. Multi-Sensory Stimulation (බහු-සංවේදී උත්තේජනය): පින්තූර, හඬපට, පරණ උපකරණ එකවර භාවිත කරමින් මතකය අවදි කිරීම.
  5. Group Reminiscence (කණ්ඩායම් ස්මරණය): සමාන අත්දැකීම් සහිත පිරිසක් එකතු කර පොදු අතීත සිදුවීම් බෙදාහදා ගැනීම.
  6. Life Review Books or Journals (මතක පොත් / Scrapbooks): අතීත ඡායාරූප සහ විස්තර අලවා මතක පොතක් (Memory Album) සකස් කිරීම.
  7. Intergenerational Activities (පරම්පරා අතර සබඳතා): වැඩිහිටියන් සහ තරුණ පරපුර එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කරගන්නා වැඩසටහන්.
  8. Digital Reminiscence (ඩිජිටල් ස්මරණය): නැවත වර්ණ ගැන්වූ පැරණි ඡායාරූප, වීඩියෝ, Virtual Reality (VR) හෝ AI තාක්ෂණය භාවිතය.
  9. Open Reminiscence Sessions (නිදහස් කතාබස්): නිශ්චිත ආකෘතියකින් තොරව ගෙදරදොරේදී තේ එකක් බොන ගමන් කෙරෙන සුහද මතක ආවර්ජනය.
  10. Family Reminiscence Sessions (පවුලේ සාමාජිකයන් සමඟ ස්මරණය): රෝගියාගේ පවුලේ සමීපතමයන් සමඟ එක්ව පරණ කතාබස් කරමින් පවුලේ බැඳීම් හා සෙනෙහස අලුත් කරගැනීම.

සමාප්තිය

ස්මරණ චිකිත්සාව (Reminiscence Therapy) යනු පොතපතින් පමණක් නොව සැබෑ මානුෂීය සහකම්පනයෙන් කළ යුතු ප්‍රතිකාරයකි. ඩිමෙන්ෂියාව සහිත අපේ ආදරණීය වැඩිහිටියන්ට අහිමි වී යන වර්තමානය වෙනුවට, ඔවුන් සතුටින් සිටි අතීත මොහොතක සුවඳ විඳින්නට ඉඩ සැලසීම ඔවුන්ගේ ආත්ම අභිමානය රැකදීමට ඇති උතුම්ම මගකි.

2023/06/02

I felt like myself again

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.)

අඟහරුවාදා දිනය අපේ "මධ්‍යස්ථ සිට උග්‍ර ඩිමෙන්ෂියා" තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයකි. විවිධ සංජානන මට්ටම් සහ චර්යාත්මක වෙනස්කම් සහිත මේ කණ්ඩායම පැය හයක් පුරා රැකබලා ගනිමින් චිකිත්සාවන් මෙහෙයවීමට මා සහ මගේ සහයක මිතුරියට අමතරව ස්වේච්ඡා සේවකයෙකුගේ (Volunteer) සහාය අත්‍යවශ්‍ය වේ.

නමුත් එදින අපට ස්වේච්ඡා සහාය නොමැතිව කටයුතු කිරීමට සිදුවිය. එදින මාසිකව අප වෙත පැමිණෙන විශ්‍රාමික පාසල් ගුරුවරියක මෙන්ම සුදුසුකම්ලත් Art Therapist වරියක වන මේරි (Mary) අපේ සේවාලාභීන් සමඟ එක්ව අපූරු ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර (Abstract Art) වැඩසටහනක් මෙහෙයවූවාය.

චිත්‍ර ඇඳීම සරල වුවද, එම නිර්මාණ නිසි ප්‍රමාණයට කපා, වර්ණවලට ගැළපෙන කාඩ්පත්වල අලවා සකස් කිරීමේ පසු සැකසුම (Post-processing & Framing) තරමක් සංකීර්ණ කටයුත්තකි.

"මේරි, දැන් මේකේ ඊළඟ පියවර කරන්න ඔයාට උදව් වෙන්න අද කවුරුත් නෑනේ, මොකද කරන්නේ?" මා ඇසුවෙමි.
"කමක් නෑ මහේෂ්, මම කාමරේට වෙලා මේ ටික හදලා යන්නම්." මේරි කාරුණිකව පැවසුවාය.

නගරයේ සිට තමන්ගේ කාලය හා ඉන්ධන වැයකරගෙන පැමිණි ඇයට තනිවම ඒ බර දැරීමට ඉඩදීම මගේ සිතට එකඟ නොවීය. මට හදිසි උපක්‍රමයක් සිහිවිය.



විශ්‍රාමික විදුහල්පති ජේ (Jay)

ජේ යනු කැනඩාවේ පළාත් කිහිපයක සේවය කර විදුහල්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගිය, අද වන විට මධ්‍යස්ථ ඩිමෙන්ෂියා තත්ත්වයක පසුවන ගෞරවනීය මහත්මයෙකි. ගුවන් නියමුවෙකු සහ ඉංජිනේරුවෙකු වන සාර්ථක පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු, අද වන විට පැය 24 පුරා පෞද්ගලික සාත්තු සේවකයන් සහිත අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි.

"ජේ, මට උදව්වක් කරන්න පුළුවන්ද?" මා ඇසුවෙමි.
"කියන්න මහේෂ්, ඕන දෙයක්!" ජේගේ දෙනෙතේ අමුතු බලාපොරොත්තුවක් හා සතුටක් දිලිසුණි.
"අද මොආනා නැති නිසා, ඔයාට පුළුවන්ද මේරිට උදව් වෙන්න මේ චිත්‍ර ටික එකලස් කරගන්න? මං දන්නවා ජේ හරිම පිළිවෙලට වැඩ කරන, නිර්මාණශීලී ඇසක් තියෙන කෙනෙක් කියලා. හැබැයි ඔයාට අද ව්‍යායාම සැසිය මඟහැරෙනවා."
"මහේෂ්, මම එක පයින් කැමතියි! මම හැමදාම ගෙදරදී ව්‍යායාම කරනවා. මම එන්නම් මේරිට උදව් වෙන්න!"

රෝද පුටුව පස්සට ගත් ජේ, චිත්‍ර කාමරය වෙත ගියේ මහත් උද්යෝගයෙනි.



චිත්‍ර කාමරයේ අපූරු හැරවුම

මගේ රාජකාරි අතරතුර පරිගණක තිරයෙන් මා දුටුවේ මේරි සහ ජේ ඉතාම කඩිසරව හා සිනහමුසුව චිත්‍ර සැකසීමේ නිරත වන ආකාරයයි. ජේ කාමරය පුරා ඇවිදිමින් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරමින්, කඩදාසි පෙන්වමින් වෙනදාට වඩා අතිශය ක්‍රියාශීලීව වැඩෙහි නිරත විය.

සවස තුනට වැඩසටහන නිමාවී අනෙක් සියලු දෙනා පිටව ගිය පසු, ජේගේ පෞද්ගලික සාත්තු සේවිකාව පැමිණෙන තෙක් මා ජේ සමඟ කතාබහට එක්වුණෙමි.

"ඉතින් ජේ, අද දවස හොඳින් ගතවුණාද?"
"අද නම් නියමයි මහේෂ්! ඒ සේරටම වඩා මට හරිම සතුටුයි... අද කාලෙකට පස්සේ මට මගේ ජීවිතය ආයෙත් දැනුණා මහේෂ්! (I felt like myself again)"
ජේ මගේ අත අල්ලාගත්තේ පුදුමාකාර ආදරණීය හැඟීමකිනි.

"මට මගේ ජීවිතය ආයේ දැනුණා..."

*"වෙනදා මේරි කරන්නේ චිත්‍ර ටික කාඩ්බෝඩ්වල අලවන එක. ඒත් අද මම යෝජනා කළා ඒ ටික කපලා Scrapbook එකක් හදමු කියලා. මට මතකයි මම උගන්වන කාලේ මගේ ඉස්කෝලේ දරුවන්ට විද්‍යා පාඩම්වලට Scrapbooks හදන්න පුරුදු කළා.
ඒ පින්තූරවල දාර කතුරෙන් කැපෙද්දී මම හිටියේ මෙතැන නෙවෙයි මහේෂ්... මම හිටියේ මගේ ඉස්කෝලේ! මගේ ගාව හිටියේ මේරි නෙවෙයි, හිනා කටවල් පුරෝගත්ත දඟකාර පොඩි පැටවු මගේ වටේ කරකැවෙනවා මට දැනුණා!
මට මාව ආයේ දැනුණා මහේෂ්... I felt like myself again!"*

ජේගේ ඇස් කෙළවරින් සතුටු කඳුළක් ගලා ගියේය.

"මට ගෙදර හැම සැප සම්පතක්ම තියෙනවා මහේෂ්. ඒත් මාව පරිස්සම් කරනවා වැඩියි. කතුරක්, ග්ලූ ස්ටික් (Glue stick) එකක් අල්ලපු කාලයක් මතක නෑ. ඒ අලුත් කොළවල සුවඳ, ග්ලූ ස්ටික් එක ගෑවෙද්දී දැනෙන ඒ හැඟීම මගේ ජීවිතේ කොටසක්. ඒත් ගෙදරදී හැමදේම ඩිජිටල්. මගේ දරුවෝ මං ගැන පරිස්සමට එහෙම කරන බව මම දන්නවා. ඒත් මම ආසයි මට දැනෙන, මට හුරු ඒ අතීත හැඟීම් විඳින්න. ඒක තමයි මගේ ජීවිතේ!"

සායනික හා මානුෂීය පණිවිඩය (Sense of Purpose & Overprotection)

ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයන් රැකබලා ගැනීමේදී පවුලේ අය සහ සමාජය බොහෝවිට ඔවුන්ව අධික ලෙස ආරක්ෂා කිරීමට (Overprotection) යාමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය සහ අතීත අනන්‍යතාවය නොදැනුවත්වම උදුරා ගනී.

  1. අර්ථවත් වගකීමක් පැවරීම (Sense of Purpose): ඔවුන්ට සුළු හෝ සැබෑ වගකීමක් (උදා: කෙනෙකුට උදව් කිරීම, අලැවීම, කැපීම) පැවරූ විට ඔවුන් තමන් තවමත් වටිනා මිනිසෙකු බව අත්විඳිති.
  2. හුරුපුරුදු සංවේදනයන් (Sensory Familiarity): කඩදාසි සුවඳ, කතුර, ග්ලූ ස්ටික් වැනි ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් මොළයේ යටපත් වූ ධනාත්මක මතකයන් හා හැඟීම් (Procedural & Emotional Memory) නැවත අවදි වේ.
  3. "මට මාව ආයේ දැනුණා": සුපිරි සැප පහසුකම්වලට වඩා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ තමාගේ ආත්ම අභිමානය සහ තමා තවමත් 'තමාම' බව දැනෙන සැබෑ මොහොතවල්ය.