(මුලින්ම කිව යුතුයි "ස්මරණ චිකිත්සාව" යන සිංහල පදය යෙදුවේ මට හැඟෙන ආකාරයටයි. මෙයට මීට වඩා ගැළපෙන හඳුන්වාදීමක් ඇත්නම් සාදරයෙන් පිළිගනිමි.)
Reminiscence Therapy හෙවත් Life Review Therapy යනු අද දවසේ මනෝචිකිත්සක සහ වැඩිහිටි සාත්තු සත්කාරක පරිසරය තුළ ඉතාමත් සාර්ථකව මෙන්ම බහුලව භාවිත වන අපූරු චිකිත්සීය ප්‍රතිකාර ක්‍රමයකි.
මෙම චිකිත්සාව තුළදී පුද්ගලයෙකුගේ මතකය තුළ තැන්පත්ව ඇති අත්දැකීම්, විඳීම් සහ සංවේදන නැවත මතු කරමින්, සැලසුම් සහගත කාලයක් තුළ එම "අතීත සුවඳ" තුළ ජීවත් කරවමින් ප්‍රතිකාරාත්මක සහනයක් ලබා දේ.
- ප්‍රතිලාභ ලබන ප්‍රජාව: ඩිමෙන්ෂියාව සහ සංජානන දුර්වලතා සහිත පුද්ගලයන්, මානසික පීඩනය, විශාදය (Depression) සහ ආතතිය සමඟ ජීවත්වන අය මෙන්ම නිරෝගී වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය (Wellbeing) සඳහාද මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.
- ක්‍රියාත්මක කරන වෘත්තිකයන්: Recreational Therapists, Occupational Therapists, සායනික මනෝවිද්‍යාඥයින් සහ මනෝචිකිත්සකයින්.
ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපගේ සායනික පරිසරය තුළ සෑම දිනකම අවම වශයෙන් පැයක කාලයක් මෙම ස්මරණ චිකිත්සාව සඳහා වෙන් කරනු ලැබේ.
Reminiscence Therapy සැසියක් සැලසුම් කිරීමේ වැදගත්ම පියවර 10
නිසි සැලසුමකින් තොරව ලබාදෙන ස්මරණ චිකිත්සාවකින් අයහපත් මානසික ප්‍රතිඵල මතුවිය හැකි බැවින් පහත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ:
- Understanding Participant (සහභාගිවන්නා හඳුනාගැනීම): පුද්ගලයාගේ ජීවිත කතාව (Life Story), ප්‍රධාන ජයග්‍රහණ, පෞද්ගලික රුචිකත්වයන් සහ වේදනාකාරී අතීත බිඳවැටීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම.
- Setting Objectives (අරමුණු සහ ඉලක්ක සැලසුම): මනෝභාවය (Mood) ඉහළ නැංවීම, මතක ශක්තිය උත්තේජනය කිරීම හෝ සමාජීය සබඳතා ගොඩනැංවීම වැනි නිශ්චිත අරමුණක් සහිතව සැසිය මෙහෙයවීම.
- Selecting Content (ආධාරක මාධ්‍ය තෝරාගැනීම): කළු-සුදු ඡායාරූප, පරණ සංගීත ඛණ්ඩ, සුවඳ වර්ග (සුවඳ විලවුන්, කෝපි, මල්), පැරණි ඇඳුම් හෝ පදක්කම් වැනි සංවේදී ආධාරක තෝරාගැනීම.
- Creating a Safe Environment (ආරක්ෂිත පරිසරය): බියකින් හෝ සැකයකින් තොරව තමන්ගේ අතීතය විවෘතව බෙදාගත හැකි සුරක්ෂිත, සුවපහසු අවකාශයක් නිර්මාණය කිරීම.
- Facilitator Preparation (චිකිත්සකයාගේ සූදානම): සක්‍රීය සවන්දීම (Active Listening), සහකම්පනය (Empathy) සහ ක්ෂණික විනිශ්චයකින් තොරව සංවාදයට ඉඩදීමේ සූදානම.
- Managing Emotions (චිත්තවේග කළමනාකරණය): අතීතය සිහිවීමේදී සතුට මෙන්ම දුක, කඳුළු හෝ බිඳවැටීම් මතු විය හැක. එවැනි මොහොතක උණුසුම් ස්පර්ශයක්, සෙනෙහස සහ ඉවසීම ලබාදීම.
- Encouraging Participation (සහභාගිත්වය දිරිමත් කිරීම): කතාබහට අකමැති හෝ වචන අමතක වන අයට වාචික සහ නිර්වාචික (Non-verbal) සන්නිවේදන ශිල්පක්‍රම ඔස්සේ දිරිගැන්වීම.
- Respecting Diversity (විවිධත්වයට ගරු කිරීම): එකම අත්දැකීම (උදා: දරු උපතක් හෝ විවාහයක්) එක් අයෙකුට සතුටක් වන අතර තවත් අයෙකුට වේදනාකාරී විය හැකි බව වටහාගෙන සංවේදී වීම.
- Promoting Empowerment (අත්දැකීමේ හිමිකාරිත්වය දීම): රෝගියාගේ අතීත මතකය නිවැරදි කිරීමට හෝ තර්ක කිරීමට නොගොස්, ඔවුන් දකින කෝණයට සම්පූර්ණ අයිතිය හා ගෞරවය ලබාදීම.
- Assessment and Feedback (පසු අගැයීම් සහ ප්‍රතිචාර): සැසිය අවසානයේ රෝගියාගේ මනෝභාවයේ වූ වෙනස්කම් සායනික සටහන් (Clinical Notes) ලෙස ලේඛනගත කිරීම.
සායනික හා ගෘහස්ථ පරිසරයේදී යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රම 10
- Life Review (ජීවිත සමාලෝචනය): අතීත ජයග්‍රහණ, සේවා කාලය හෝ විවාහ ජීවිතය පිළිබඳ සුහද ප්‍රශ්නාවලියක් හෝ කතාබහක්.
- Therapeutic Activities (චිකිත්සීය ක්‍රියාකාරකම්): අතීත සුවඳ, රස හා ස්පර්ශ මුසු කරමින් සංවිධානය කරන නිර්මාණාත්මක ක්‍රියාකාරකම්.
- Storytelling and Narrative Therapy (කතන්දර කීම): තම ජීවිත අත්දැකීම් කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම.
- Multi-Sensory Stimulation (බහු-සංවේදී උත්තේජනය): පින්තූර, හඬපට, පරණ උපකරණ එකවර භාවිත කරමින් මතකය අවදි කිරීම.
- Group Reminiscence (කණ්ඩායම් ස්මරණය): සමාන අත්දැකීම් සහිත පිරිසක් එකතු කර පොදු අතීත සිදුවීම් බෙදාහදා ගැනීම.
- Life Review Books or Journals (මතක පොත් / Scrapbooks): අතීත ඡායාරූප සහ විස්තර අලවා මතක පොතක් (Memory Album) සකස් කිරීම.
- Intergenerational Activities (පරම්පරා අතර සබඳතා): වැඩිහිටියන් සහ තරුණ පරපුර එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කරගන්නා වැඩසටහන්.
- Digital Reminiscence (ඩිජිටල් ස්මරණය): නැවත වර්ණ ගැන්වූ පැරණි ඡායාරූප, වීඩියෝ, Virtual Reality (VR) හෝ AI තාක්ෂණය භාවිතය.
- Open Reminiscence Sessions (නිදහස් කතාබස්): නිශ්චිත ආකෘතියකින් තොරව ගෙදරදොරේදී තේ එකක් බොන ගමන් කෙරෙන සුහද මතක ආවර්ජනය.
- Family Reminiscence Sessions (පවුලේ සාමාජිකයන් සමඟ ස්මරණය): රෝගියාගේ පවුලේ සමීපතමයන් සමඟ එක්ව පරණ කතාබස් කරමින් පවුලේ බැඳීම් හා සෙනෙහස අලුත් කරගැනීම.
සමාප්තිය
ස්මරණ චිකිත්සාව (Reminiscence Therapy) යනු පොතපතින් පමණක් නොව සැබෑ මානුෂීය සහකම්පනයෙන් කළ යුතු ප්‍රතිකාරයකි. ඩිමෙන්ෂියාව සහිත අපේ ආදරණීය වැඩිහිටියන්ට අහිමි වී යන වර්තමානය වෙනුවට, ඔවුන් සතුටින් සිටි අතීත මොහොතක සුවඳ විඳින්නට ඉඩ සැලසීම ඔවුන්ගේ ආත්ම අභිමානය රැකදීමට ඇති උතුම්ම මගකි.