2023/02/24

දැන නොදැනෙන එයා

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

අද උදේ සිදුවීමක්.

සඳුදා දවස අපේ වඩාත්ම වර්ණවත් දවස. ඒ අද දවසේ වැඩසටහන තුල ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය මෙන්ම, එහි මූලික අවස්ථාවේ සිටින අයත්, වෙනත් ස්නායුක රෝග තත්ත්ව සමඟ ජීවත්වන අයත් කියන මිශ්ර ප්රජාවක් අප සමඟ එකතු වෙන නිසා.

සියළු විස්තර, යාවත්කාලීන සෞඛ්ය සහ හැසිරීම් පිළිබඳ තොරතුරු කියවල සූදානම් වෙලා, ටිකක් එළියට වෙලා හිටියේ අද හරිම ලස්සන දවසක් වුනු නිසා. පහුගිය කාලේ තිබුණු සීතල නැති වෙලා , හිම දියවෙලා අපූරු ලස්සන උදෑසනක් , කුරුළු කිචිබිචියත් එක්කම ඇවිත් තිබුණා.

ලොකු කලබලයකුත් නැති එකේ සිංදුවක් එහෙම අහගෙන ඉන්න අතරේ අපේ එක් සේවාලාභිනියක් ආයතනයට ගොඩවැදුනා. ඒ ආවේ, එයාගේ සැමියා එක්ක, (මතක විදියට අවුරුදු පනස් ගණනක විවාහ සංවත්සරයත් ළඟදි සැමරුවා). එළියේ වාඩිවෙලා ඉන්න මා දැක්ක ඇය, ගොඩනැගිල්ල ඇතුලට යනවා වෙනුවට මා වෙතට ආවා.

"එහෙම නම් ඔක්කොම හරිනේ, මම එන්නම් තුනට ..." ඇයගේ සැමියා හිනාවක් දාල , ඇයට පරිස්සමෙන් බලාගන්න කියන ඉඟිය දීලා වාහනයෙන්ම නැවත පිට වෙලා ගියා.

"අද හරිම ලස්සන දවසක් නේද ? " මගේ ඉදිරියේම තිබුණු සුව පහසු පුටුවේ ඇය දිගෑදුනා.

"හ්ම්... අද දවසම හොඳ උණුසුම් දවසක් වේවි වගේ , අහස නිල් පාටයි අර.." තවම කොළ මතු නොවූ ගස් අතරින් තනි නිල් පාට අහසට ඇහැ යොමු කළා.

"හ්ම් ... හරිම ලස්සනයි. ඒක නෙවි, අර මාව මෙතැනට ගෙනත් ඇරලපු ටැක්සි ඩ්රයිවර් කවුද? මට අනේ හරියට එයාව මතකයි, ඒත් කවුද කියල හරියටම නිච්චියක් නෑ" ඇය ටිකක් හිමීට කාටවත් නොඇහෙන්න වගේ මා වෙතට හැරිල ඇහැව්වා.

"ආ ..ඒ රැල්ෆ් මහත්තයා, හරිම හොඳ කෙනෙක් නේද?"

"හ්ම්, ඔව් එයා අනෙක් ටැක්සි ඩ්රයිවර්ල වගේ නෙවි, හරිම කරුණාවන්තයි. මගේ දිහා කණ්නාඩියෙන් හොරෙන් බලනවත් දැක්කා" ඇය පුංචි මනමාල හිනාවක් දාගෙනම කියනවා.

"නෑ අනේ, මට එයාව දැනෙනවා, මට එයාගේ සුවඳ පවා හුරුයි වගේ. මට කාර් එකේ දොර අරිත්දි මොකක්ද වෙනව වගේ අනේ" ආදරය මුසු හිනාවක් එක්ක ඇය කියනවා.

"කමක් නෑ, කවුරු වුනත්, හොඳ කෙනෙක් වගේ. ඒ ඇතිනේ නේද?" ඇය කියනවා.

"ඇත්ත, එයා හරිම හොඳ කෙනෙක්, ගෙදර යත්දි වුනත් බය නැතිව යන්න පුළුවන් තමන්ගේම කෙනෙක් වගේ" මට වෙන කියන්න දෙයක් තිබුණේ නෑ උත්තරයක් විදියට දෙන්නට.

2023/02/17

ඩිමෙන්ෂියා Screening Test ගැන-2

මේ මාතෘකාවෙන්ම මෙම පරික්ෂණ කිහිපයක් ගැන මීට පෙරත් අප කතා කළා. අද ඔබ වෙත ගෙන එන්නේ තවත් එවන්, ඩිමෙන්ෂියාව පිළිබඳ ඇති අවදානම හඳුනාගැනීමට එහෙම නැත්නම් අවදානම යොමු කළ යුතු තත්ත්වයේ සැක කිරීමක් කළ යුතුද කියන අදහස ගන්නට පුළුවන් පරික්ෂණයක්.

නැවතත් මතක් කරනවා, මෙම පරික්ෂණ සිදු කළ යුත්තේ, අදාල විෂය ගැන සෞඛ්ය විද්යානුකූල , වෘත්තීය දැනුමක් ඇති වෘත්තිකයෙක් විසින්. එවිටයි වඩාත් සාර්ථක අදහසක් ලබා ගත හැකි වන්නේ. නමුත්, එවැනි වෘත්තිය අත්දැකීමක් නැති අයෙක්ට වුනත් කියවා , විමසා යම් අදහසක් ලබා ගත හැකි නිසා මෙම ස්ක්රීන් ටෙස්ට් එක සටහන් කරනවා.

ලකුණු ලබා දෙන ආකාරය

කරන්නේ මෙහෙමයි, මේ හැම ප්රශ්නයක් ඉදිරියේම ඉලක්කම් දෙකක් තියෙනවා. එයින් මුල් ඉලක්කම , අදාල ගැටළුවට පිළිතුර "ඔව්" වුනොත් සහ අනෙක් අංකය , අදාල ගැටළුවට ලැබෙන පිළිතුර "නැහැ" නම්. ඒ විදියට ප්රශ්න 21ම විමසීමෙන් සොයා බලලා , ලැබෙන ලකුණු එකතු කරල බලන්න.

මුළු එකතුවේ අර්ථ දැක්වීම:

  • ලකුණු 4 හෝ අඩු නම්: තත්ත්වය සාමාන්යයි.
  • ලකුණු 5 - 14 අතර නම්: සොයා බැලිය යුතු මට්ටමේ අමතක වීමක් ඇත.
  • ලකුණු 15 හෝ ඊට වැඩි නම්: පමා නොකර සුදුසුකම්ලත් සෞඛ්ය වෘත්තිකයෙක් හමුවී, පවතින "අමතක වීමේ ස්වභාවය" ගැන වැඩිදුරටත් පරික්ෂා කරවා ගත යුතුය.

මතක අවදානම විමසන ප්‍රශ්න 21

  1. මෙම පුද්ගලයාගේ මතකය අඩුවීමක් ඇතිබව දැනේද? (ඔව්: 1 / නැහැ: 0)
  2. එසේ නම්, එම මතකය අඩුවීම වසර කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා උග්රබවක් හඳුනාගනීද? (ඔව්: 1 / නැහැ: 0)
  3. එකම දිනක් තුල එකම ප්රශ්නය නැවත ඇසීම හෝ එකම කතාව නැවත නැවතත් ප්රකාශ කිරීම හඳුනාගත හැකිද? (ඔව්: 2 / නැහැ: 0)
  4. විශේෂිත අවස්ථා, උත්සව හෝ වෙලාවන් වෙන්කර ගැනීම් අමතක වන තත්ත්වයක් ඇත්ද සහ/හෝ ඒවා මතක් කිරීමට තවත් අයෙක්ට මැදිහත්වීමට සිදුවේද? (ඔව්: 1 / නැහැ: 0)
  5. තමන් පාවිච්චි කරන දේ සොයාගැනීමට නොහැකි වන ලෙස අස්ථාන ගත වීම් හෝ නැතිවීම් මාසයකට එක් වරකට වඩා සිදුවේද? (ඔව්: 1 / නැහැ: 0)
  6. තමන්ට අයත් දේ සොයා ගැනීමට නොහැකිවූ විට, එය වෙනත් කිසිවකු විසින් වෙනත් ස්ථානයකට ගෙනයන, සොරකම් කරන හෝ සඟවන බව සැක කරනවාද? (ඔව්: 1 / නැහැ: 0)
  7. දිනය, මාසය, අවුරුද්ද හෝ වෙලාව ගැන හඳුනාගැනීම අපහසුතා ඇත්ද? හෝ දිනය තහවුරු කරගැනීම සඳහා කැලැන්ඩරය හෝ පුවත්පතක් වැනි දේ යොදා ගනිමින් දවසකට එක් වතාවකට වඩා උත්සාහ කරයිද? (ඔව්: 2 / නැහැ: 0)
  8. එතරම් හුරු නැති තැන්වලදි, තමන් සිටිනා තැන , වටපිටාව හඳුනාගැනීමට නොහැකිවේද? (ඔව්: 1 / නැහැ: 0)
  9. නිවසින් පිටතදී, හෝ ගමනක් සංචාරයක් යත්දි වඩාත් නොසන්සුන් සහ ව්යාකූල බවක් පෙන්වයිද? (ඔව්: 1 / නැහැ: 0)
  10. මුදල් (කාසි සහ නෝට්ටු) පරිහරණයේදී ගැටළු, ව්යාකූලවීම් වේද? (ඔව්: 1 / නැහැ: 0)
  11. මුදල් ගණුදෙනු , ගෙවීම් වලදී වැරදීම් , ගැටළු මතුවීම් සහ ව්යාකූල බවට පත්වේද? හෝ එම කටයුතු වලදී මතුවන ව්යාකූලත්වය සහ වැරදීම් නිසා, එම ආර්ථික කටයුතු පවුලේ වෙනත් අයෙකු වෙත පවරා ඇත්ද? (ඔව්: 2 / නැහැ: 0)
  12. කාලීනව ගන්නා ඖෂධ, බෙහෙත් පෙති ලබා ගැනීම අමතකවීම් දිගින් දිගටම සිදුවේද? (ඔව්: 1 / නැහැ: 0)
  13. රිය පදවන්නේ නම්, අදාල පුද්ගලයාගේ රිය පැදවීම තුල වෙනදා නැති අවදානම් හැසිරීම් දකින්නට ලැබේද? හෝ වෙනදා කැමැත්තෙන් රිය පැදවූ පුද්ගලයා දැන් ඊට අකමැත්තක් දක්වන්නේද? (වෙනත් සෞඛ්ය හේතුවක් නිසා නොව) (ඔව්: 1 / නැහැ: 0)
  14. ජංගම දුරකථනය, දුරකථනය , දුරස්ථ පාලකය, ඔරලෝසුව වැනි නිවසේ සාමාන්ය ලෙස භාවිත කරන උපකරණ භාවිතයේදි වැරදි වන ප්රමාණය වැඩිද, සහ එම උපකරණ පෙර මෙන් භාවිත කිරීමට අපහසුතාවක් පෙන්වයිද? (ඔව්: 1 / නැහැ: 0)
  15. වෙනත් සෞඛ්ය හේතුවක් මත හැර, වෙනදා නිවසේ සිදු කළ සාමාන්ය අළුත්වැඩියා කටයුතු, එකළස් කිරීම් කරන්නට නොහැකිද? (ඔව්: 1 / නැහැ: 0)
  16. ඇස් පෙනීමේ ගැටළු වැනි සෞඛ්යමය හේතු මත හැර, වෙනදා සිදු කළ සාමාන්ය දවසේ කටයුතු , පවුලේ කටයුතු කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ කරයිද? (ඔව්: 1 / නැහැ: 0)
  17. තමන් පෙර දන්නා වටපිටාව, නිවස අවට ප්රදේශය , ගම තුල පවා අතරමං වන තත්ත්වයක්, පෙර දැන සිටි ස්ථාන පවා නොහඳුනන තත්ත්වයක් පෙන්වයිද? (ඔව්: 2 / නැහැ: 0)
  18. තමන් ගමන් කරන, සිටින, නිදාගෙන ඇහැරෙන දිසාව, පැත්ත ගැන අවබෝධය අඩු බවක් දැනේද? (ඔව්: 1 / නැහැ: 0)
  19. නම් වලට අමතරව, වෙනත් වචන පවා මතක් කරගැනීමට හෝ හඳුනාගැනීමට අපහසු තත්ත්වයක් පෙන්වයිද? ඒ ඔස්සේ වෙනදා කතාබහ තුල තිබූ ගලායාම නැතිවී ඇත්ද? (ඔව්: 1 / නැහැ: 0)
  20. තමන් දැන සිටි, මිතුරන්, මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ නම් පවා වරදවා කියයිද, හෝ අමතක වන තත්ත්වයක් ඇත්ද? (ඔව්: 2 / නැහැ: 0)
  21. පෙර හඳුනා සිටි, දන්නා මිතුරන්, හුරුපුරුදු පුද්ගලයන් පවා හඳුනාගැනීමට අපහසු, හෝ නොහැකි තත්ත්වයක් පෙන්වයිද? (ඔව්: 2 / නැහැ: 0)

විශේෂ මතක් කිරීමක්

"මතක තබා ගන්න": ඔබේ මතකය ගැන ගැටළුවක් හඳුනාගත්තොත්, එය "ඩිමෙන්ෂියාව" යැයි කලබල රෝග විනිශ්චයන් කරගන්නට යන්න එපා.

හේතුව, "අමතක වීම" සඳහා බලපාන තවත් හේතු ගණනාවක් තිබෙනවා. ඉතාමත් බහුල , අද දවසේ සාමාන්ය තත්ත්වයක් තරමටම පත්ව තිබෙන කාංසාව සහ ආතතිය නිසාත් අමතක වීම් වෙනවා. ඒ නිසා, යම් අවදානමක් හඳුනාගත්තොත් , කලබල වීම නොව නිසි විමසීම සහ නිවැරදි වෘත්තීය තැනකට යොමු වීමයි වැදගත් වන්නේ.

2023/02/10

හෙටක් ඇත්ද?

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

දවස සිකුරාදාව. අද දවසේ අපේ වැඩසටහනට අළුත් සේවාලාභියෙක්ගේ පැමිණීම අපේක්ෂාවෙන්, අදාල තොරතුරු සියල්ල පිළිබඳව දැනුවත් වෙලා හිටියා.

වෙනද වගේම උදේ අට වෙත්දි හැමෝම වගේ ඇවිත්. තාමත් අපේ අළුත් සාමාජිකාව ආවෙ නෑ. සාමාන්යයෙන් මුල්ම දවසේ ටිකක් පමාවෙන එක පොදු දෙයක්නේ. හරියටම තවත් විනාඩි දහයක් යත්දි තරුණ යුවලක් එනවා.

ලැබී තිබුණු තොරතුරු සහ සෞඛ්යය සටහන් අනුව මේ එන්නේ ඒ දෙන්න වෙන්න ඕන.

ගියා ඔවුන්ව පිළිගන්න, මොකද මුල්ම හමුවීම තුල ඇතිවන බැඳිම සහ සේවාලාභීන් ලබා ගන්නා සේවය අතරේ ලොකු සම්බන්ධයක් තිබෙන බව අප දන්නා නිසා.

"සුබ උදෑසනක් වේවා, මේ ...xxxx වෙන්න ඕන."

"ඔව්, මම තමයි xxxx , මේ මගේ හස්බන්ඩ් yyyyy"

සුහද පිළිගැනීමකින් පස්සේ ඇයට හිමි ස්ථානයට යොමු කරලා සැමියා එක්ක පුංචි කතාබහක යෙදුනා.

"සමාවෙන්න, අපි ටිකක් ප්රමාද වුනා, දන්නැත්ද උදේ ටිකක් යුද්දයක් වගේ මෙයා ලේස්ති කරගන්න එක. අපි කතා කරගත්ත විදියට සියල්ලම සූදානම්, වෙන මොනව හරි මගෙන් කෙරෙන්න දෙයක් තියේද?" අපේ සේවාලාභියාගේ සැමියා , බොහොම තරුණපහේ මහත්මයා විමසුවා.

"මම හිතනවා අවශ්ය සියල්ල සූදානම් , වෙනසක් වේ නම් මම ඔබට කතා කරන්නම්, එහෙම නම් තුනට කිට්ටු කරලා එන්න"

ඔහු ගියාට පස්සේ, අපි , අපේ වැඩසටහන පටන්ගත්තා. මුල්ම කටයුත්ත වුනේ දවස සහ දවසේ වැඩසටහන ගැන හඳුන්වාදීල, අපි එකිනෙකා හඳුනාගන්න එක. හේතු කිහිපයක් නිසා ඒක වැදගත්. එකක්, මේ "ස්ථානික වැඩසටහන" කරන්නේ අවුරුදු තුනකට පස්සේ, කොවිඩ් නිසා වර්චුඅල් වුනු අපේ සායනය, මුහුණට මුහුණලා කරන එකක් වුනේ මීට මාසයකට පෙර. ඉතින් වැඩේ තාමත් අළුත් වගේ දැනෙන නිසා වගේම, අපේ සේවාලාභීන් විවිධ මට්ටම් වල ඩිමෙන්ෂියා තත්ත්වයන් සමඟ ජීවත්වන අය නිසා, නැවත හඳුනාගැනීම වැදගත් වෙනවා. ඒ වගේම අද අළුත් සාමාජිකාවක් ඉන්න නිසා, ඇයව හඳුන්වාදීම ඊටත් වඩා වැදගත්.

මුලින්ම මම, මගේ නම, තනතුර වගේම මම ඉපදී හැදුනු වැඩුනු රට වගේම, ඒ රටේ අළුත් අවුරුද්ද අදට යෙදී තියෙන බවත් හඳුන්වා දුන්නේ, එවන් "අළුත් අත්දැකීම්" සමඟ එකතු වන්නට ඔවුන් දක්වන කැමැත්ත නිසාමයි.

ඊළඟට අපේ අළුත් සාමාජිකාව, අපි කියමු ඇයට ක්රිස් කියලා.

"එහෙම නම් ක්රිස් අපට ඔයාව හඳුන්වල දෙන්න, ඔයා කැමති ඕන විදියකට"

ක්රිස් නැගිට්ටා, වයස තිස් නමයක ඇය, කණ්ඩායමේ බාලම සාමාජිකාව බව වටහා ගන්න අපහසුවක් වුනේ නෑ.

"මම ක්රිස්, මට වයස තිස් අටයි, නෑ නෑ අනේ තිස් නමයක් වෙනවා ලබන මාසේට. මමයි මහත්තයයි මගේ කළු බලු පැටියයි තමයි ඉන්නේ. මං ආසයි සිංදු ලියන්න, සිංදු කියන්න, ඒ වගේම සිංදු අහන්නත්. හැබැයි අපි දෙන්නම නටන්න නම් හරිම ආසයි. මේ කෝවිඩ් කාලේ එනකංම සිකුරාදාට අපි දෙන්න නටන එක පුරුද්දක් කරගෙන තිබුණා. ඒත්....

ඒත් කෝවිඩ් කාලේ ඇතුලේ හැමදේම වෙනස්වුනා. ..."

ඇය දිගු සුසුමක් හෙළමින් මගේ දිහා බැලුවේ මගේ මුළු කතාවම කියන්නද කියල අහන්න වගේ.

"ඔව් ක්රිස්, මේ ඔයාගේ වෙලාව, මේ ඔයාගේ අළුත්ම යාළුවෝ කණ්ඩායම. ඔයා කැමති දෙයක් කියන්න අපි හැමෝම ඔයාට ඇහුම්කං දෙනවා."

"ඔව්, කෝවිඩ් ආව, මහත්තයා ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා. ඒ අතරේ තමයි එයාට මගේ වෙනසක් දැනුනේ. මට අමතක වෙන්න පටන්ගත්තලු, නටත්දි වැටෙන්න යනවලු, මට දැනුනේ නම් නෑ. ඊට පස්සේ අපි ගියා ඩොක් ගාවට , එයා මාව නියුරොලොජිස්ට් යොමු කළා. එතැනදි කළ බ්රේන් ස්කෑන් එකෙන් හඳුනගත්තා මගේ cerebrum atrophy එකක් තියෙනවා කියලා. ඒක වේගයෙන් වැඩිවන බවත් දෙවෙනි පරික්ෂණ වලදි හඳුනගත්තා. දැන් මට ඒ නිසා ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ."

හැමෝම ඒ කතාව අහගෙන ඉඳලා තමන්ගේ කණගාටුව මුහුණීන් ප්රකාශ කළා වගේ දැනුනා.

"නෑ, මට දුකක් නෑ. මමත් මගේ මහත්තයත් සතුටින් ඉන්නවා. මට ඇවිදිත්දි ටිකක් බැලන්ස් නෑ, හැබැයි මයික් මට දුරකථනයෙන් කතා කරත්දි කීවා ආවෙත් නටන්න අවස්ථාවක් දෙන්න බලනවා කියලා. මම ආසාවෙන් ඉන්නවා ආවෙත් මේ පාද රිද්මයකට තබන්නට. ඒ නිසා මම අද ජීවත් වෙනවා, හෙටක් නෑ. මොකද හෙට වෙත්දි ඒ හෙට මට තවත් අළුත් අත්දැකීමක් එක්වන "අද දවසක්" විතරයි." බොහොම සැහැල්ලුවෙන් කතා කරගෙන ගිය ඇය, අපූරු අදහසකින් කතාව නිමා කළා.

තත්ත්වය උග්රවන සීග්රතාවය අනුව තවත් මාස කිහිපයකදි මේ කළ කතාව , මේ ආකාරයෙන් කරන්නට ඇයට ඇති අවස්ථාව ඉතාමත් සීමිත බව ඇය මෙන්ම අපද දැන සිටියත්, මේ මොහොත සතුටින් ගෙවන්නට ඇය කැපවෙත්දි, ඇයට මේ මොහොත සතුට වගේම හෙට දවස වෙනුවෙන් සූදානමත් ලබා දෙන්නට අප කටයතු ආරම්භ කළා.

දවස ගෙවුනා, අපි හැමෝම විවිධ චිකිත්සීය කටයුතු රැසක් කළා, නමුත් ඒ සියල්ලම විනෝදය සතුට පිරුනු නිසා කිසිවක් ප්රතිකාර ලෙස හඳුනාගත්තේ නැහැ. දවස නිමා වුනා.

ක්රිස්ගේ සැමියා වෙලාවටම ඇවිත් තිබුණා.

"ඉතින්, කොහොමද ක්රිස් අද දවස. අපි හැම ක්ලයන්ට් කෙනෙක් ගැනම දවසේ කෙටි විස්තරයක් ලියන්නට ඕන. ඉතින් ඔබේ මුල්ම දවස ගැන මොනවද හිතෙන්නේ? "

"මේක හරිම අපූරු අත්දැකීමක්, හරිම සතුටුයි මට. හැබැයි මට හරිම මහන්සියි. ගෙදර ගිය ගමන්ම හොඳට නාල නිදාගන්න ඕන. " සැමියා දිහා ඇහින් ඉඟියක් කරන ගමන්ම උත්තර දුන්නා.



Young Onset Dementia (YOD) සටහන

YOD එහෙම නැත්නම් Young Onset Dementia තත්ත්වය ගැන මීට පෙර අපි කතා කළා. මේ එම තත්ත්වය සමඟ ජීවත්වන තවත් අළුත් සාමාජිකාවක්. මේ වෙත්දි සමබරතාවය, කෙටි කාළීන මතකය , හඩ පාලනය වගේ තැන්වල ගැටළු තිබුණත් හොඳ සක්රිය, සමාජශිලී තරුණියක් ලෙස එක්වන්නට ඇයට හැකියාව තිබෙනවා. මතක් කිරීම්, ගත හැකි ආහාර ප්රමාණය ගැන පෙන්වා දීම වගේ තැන්වලදි හැර වෙන ලොකු උදව්වක් අවශ්ය වුනේ නැහැ.

කෙසේ වෙතත්, YOD තත්ත්වය මත අප වෙත එන සේවාලාභින්ගේ වයස ගැන විමසත්දි යම් අළුත් රටාවක් ඇත්දැයි "සැකයක්" මතුවන තරමට යම් හඳුනාගැනීමක් කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. මක්නිසාද මීට අවුරුදු හත අටකට ඉස්සර වෙලා YOD කියත්දි ඒ අයගේ වයස අවුරුදු 50, 55 වගේ වුනා. නමුත් අද වෙත්දි අවුරුදු 37, 38 වන තරමට පහතට ඇවිත් , එහෙම නැත්නම් ඒ අඩු වයසින් ඩිමෙන්ෂියාව හඳුනාගන්නා අය, යොමුවීම් වැඩි වෙලා තිබෙනවා.

අපි මේ ගැන ඉදිරියේදි තවත් කතා කරමු.

2023/02/03

ඩිමෙන්ෂියා Screening Tests ගැන

ඔබ දැනටමත් ඩිමෙන්ෂියාව ගැන යම් දැනුමක් ඇති අයෙක් නම්, මෙම තත්ත්වය හඳුනාගැනීම සහ විනිශ්චය කරන ආකාරය ගැන යම් අදහසක් ඇති. ඒ මීට පෙර එකතුවූ ලිපි සහ සාකච්ඡා වලට එකතු වුනා නම්.

මෙතැනදි, ඩිමෙන්ෂියාව පිළිබඳ සොයා බලන, සෞඛ්ය වෘත්තිකයෙක් විසින් භාවිත කරන පරික්ෂණ ප්රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්.

  1. Screening Tests: ඒ කියන්නේ අදාල පුද්ගලයා ඩිමෙන්ෂියා තත්ත්වය හෝ ආසන්න තත්ත්වයක සිටිනවා යැයි සැක කළ හැකිද කියල හොයන මූලික පරික්ෂණ. මේවා කිසිසේත්ම, රෝග විනිශ්චක පරික්ෂණ (Diagnostic Tests) ලෙස සැලකෙන්නේ නැහැ. තව විදියකින් කිව්වොත් screening test වලින් පමණක්ම ඩිමෙන්ෂියා තත්ත්වය සඳහා වෛද්ය විනිශ්චයක් (Medical Diagnosis) දීම පිළිගන්නා වෘත්තිකයෙක් විසින් කරන්නේ නැහැ. එහෙම නැත්නම් එවැනි උත්සාහයකදි ලැබෙන "රෝග විනිශ්චය" ඉතා නිවැරදි එකක් නොවීමට ඉඩ තිබෙනවා.
  1. Diagnostic Tests: සිදු විය යුත්තේ, මෙම ස්ක්රීනින්ස් වලින්, සැක මතුවන අවස්ථා , එහෙමත් නැත්නම් , බුද්ධිමය, මානසික හැකියාමය තත්ත්වය ගැන අවදානමක් , සැකයක් හඳුනාගන්නා අවස්ථාවකදි, අනෙක් පරික්ෂණ — රුධිර රසායන පරික්ෂණ, පොදු ශාරීරික පරික්ෂණ, චර්යාමය පරික්ෂණ , මොළයේ ස්කෑනින් පරික්ෂණ වගේ (සහ තවත් අවස්ථා වලදී ජාන පරික්ෂණ) පරික්ෂණ ගණනාවක් අවසානයේ තමයි නිවැරදි හෝ වඩාත් සාර්ථක "රෝග විනිශ්චයක්" ලබා දෙන්නේ.

බහුලව භාවිත වන Screening Tests

කෙසේ වෙතත්, ඒ වගකීම අදාල සෞඛ්යය වෘත්තිකයන් කරන අතරේ, අපි පෙර කී මූලික පරික්ෂණ, screening tests කිහිපයක් ගැන කතා කරමු. බහුලවම යොදා ගන්නා screenings අතරේ:

  • Mini-Mental State Examination (MMSE)
  • Montreal Cognitive Assessment (MoCA)
  • Clock Drawing Test (CDT)
  • Short Blessed Test (SBT)
  • General Practitioner Assessment of Cognition (GPCOG)
  • Rapid Cognitive Screen (RCS)
  • Addenbrooke's Cognitive Examination (ACE)
  • Mini-Cog
  • Brief Interview for Mental Status (BIMS)

මේ සියල්ලම ගැන මෙතැන සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත්, සෞඛ්යය වෘත්තියෙක්ට වගේම සාමාන්ය ප්රජාවටත් තේරුම් ගන්නට පහසු පරික්ෂණයක් වන MoCA පරික්ෂණයේ සටහන මේ සමඟ තිබෙනවා. කියවා ඔබට අදහසක් ගන්නට පුළුවන් වේවි. ඒ වගේම, Mini-Cog පරික්ෂණයේ ආකෘතියත් එකතු කළා.

වැදගත් සටහනක්

වැදගත්ම කරුණ: මේ තොරතුරු එකතු කළේ, ඔබම ඔබේ තත්ත්වය පරික්ෂා කරගන්න හෝ ඔබේ පවුලේ සාමාජිකයා ගැන ස්වයං පරික්ෂාවකට යොමු කිරීමට නොවෙයි. යම් අදහසක් ලබා ගැනීමට පමණි.

මෙම පරික්ෂණ මෙහෙයවීම, අගැයුම් කිරීම කළ යුත්තේ, ඩිමෙන්ෂියා තත්ත්වය පිළිබද විශේෂ පුහුණුවක් ඇති සෞඛ්යය වෘත්තිකයෙක් විසින් පමණයි. එවිටයි අදාල පරික්ෂණයේ ප්රතිඵල වඩාත් සාර්ථකව හඳුනාගත හැක්කේ.