2012/11/16

126) යුග දිවියේ රස බින්දන - එක වක කළ කොට තත

සිංහල බ්ලොග් අතරේ ගැවසෙත්දි විවිධාකාර සටහන් හමුවෙනවා , දේශපාලන , එදිනෙදා කතා , ජීවන අතදැකීම් , රසබර විනෝදය මුලික වුනු කතා , ඔය වගේ එකිනෙකට “වෙනස්“ තවත් “උප සංස්කෘතියක්“ වගේ තමයි මේ බ්ලොග් පරිශ්‍රයත්.. අවුරුදු එකහමාරක වගේ කාළයක් තිස්සේ මමත් මේ සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ ඉඩ ලැබෙන විටෙක ගැවසෙන්නට කැමැත්තක් දක්වනවා , ඒ , මේ “වෙනස්කම් “ නිසාමයි. 

කෙසේ වෙතත් මට හමුවුනු සිංහල බ්ලොග් අතරේ “අටම්පහුර“ කියන්නේ තවත් වෙනස් පිටුවක් . හොඳ නිර්මාණාත්මක හැකියාවක් ඇති එම බ්ලොග්කරුවාගේ කෙරුවාවන් බලන්න පුළුවන මෙතැනින් ගිහින් .හඳුනාගත් විදියට ඔහු දක්ෂ තාක්ෂණ ශිල්පියෙක් , මහන මැෂින් පිළිබඳව ...ඒ බව හඳුනගත්තේ ඔහුගේම මෙන්න මේ අඩවියෙන් ..http://mahanamasima.blogspot.ca/ .....කොහොම වෙතත් ඔන්න ඔය සටහනේ හැමදාමත් වගේ “නූල“ ගැන කතා වෙනවමයි ....

ඔන්න ඔය නූල දිගේ තමයි අද කතාවේ මුල සොයාගන්න හදන්නේ ..ඒ එක්කම මීට පෙර “කාන්තාවන්“ ගැන ලියූ සටහනකදි අපේ “අසමි දකිමි සොයමි ලියන විචාරක“ හොඳ යෝජනාවක් කරල තිබුණ ..ඒ තමයි .“මේ විදිහටම පිරිමින්ගේ ලිගුවේ යට සමේ දාරය බිඳී යාම කුමර බඹසර කැඩීම ලෙස ලෝක සම්මතයක් තිබුනානම් ගැහැණුන් පෙලන මේ හණමිටි අදහස නැති වන්නට තිබුනා. තමන්ගේ පිරිසිදුකම තිබෙන්නේ තමන්ගේ හදවතේ හෝ මනසේ බව පිළිනොගන්නේ ඇයි?“
ඔන්න ඉතින් කොහොම හරි මේ සිද්ධි දෙකම එකතු කරගෙන අදත් අළුත් ලිපියක් එක් කරන්නයි හදන්නේ ..ඒත් “නූලක් ගැන“ Banjo String එක ගැනයි අද කතාව ......දැන් කළබල වෙන්න එපා මම සංගීත භාණ්ඩ ගැන කතා කරන්න නොවෙයි හදන්නේ ..හැමදාමත් වගේ තවත් සෞඛ්‍ය ගැටළුවක් තමයි කතා කරන්න හදන්නේ , 


කටේ නූල

මොකක්ද මේ “බැංජෝ ස්ට්‍රින්ග්“ එක ..අපි වැඩිපුර හිතුවේ නැතත් අපේ ඇඟේ කිහිප තැනක “නූල්“ නැත්නම් Frenulum , තිබෙනවා, ඔය දිව කටේ පත්ලට සම්බන්ධ කරල තියෙන frenulum of tongue , එයින් පහසුවෙන් හඳුනගන්න පුළුවන් තැනක් , නමුත් මේ නූල දිව චලනයට බාධා කරන අවස්ථා නැතිව නොවෙයි , විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ මේ තත්ත්වය හඳුගන්නට පුළුවන් , එය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ ankyloglossia කියන නමින් , ඕක අමතක වුනත් “ටංග් ටයි“ එහෙම නැත්නම් tongue tie කිව්වොත් මකත් වේවි . මේක හඳුනගත් අවස්ථාවෙදි පුංචි කැපුමක් කරල කිසිම ආපදාවක් නැතිව නිවැරදි කරගන්නට පුළුවන් සරළ දෙයක් . 

මීට අමතරව ස්ත්‍රී ප්‍රජනක අවයව ආශ්‍රිතවත් Frenulum clitoridis මෙවන් තවත් “නූලක්“ තිබෙනවා . තවත් බඩවැලේත් මේ වගේ කරදරකාර නූල් තිබෙන්නට පුළුවන්( frenulum valvae ileocaecalis)  මේ “නූල් “ කදරදකාර වෙන්නේ ඒකේ සාමාන්‍ය දිග , ඇදෙන සුළුබව වගේ තිබිය යුතු ලක්ෂණ වෙනස් වුනාම , එහෙම නැත්නම් “නූල හුඟක් තදවීම ,ඇදෙන්නේ නැතිවීම වගේ “ තත්ත්ව එක්ක තමයි මේ නූල කරදරයක් වෙන්නේ ..

හැබැයි අද මේ පෝස්ට් එකේ මූලික මාතෘකාව මේ එක නූලක් වත් නොවෙයි ...අර අපේ විචාරක මහත්මය මතක් කරල දුන්නු නූල ...ඒ කියන්නේ පුර්ෂ ලිංගයේ, ශිශ්නයේ පෙර සමේ පහල ඇතුළු දාරය සහ ශිෂ්ණයේ සංවේදීම කොටස සම්බන්ධ කරල තියෙන පටලමය නූලක් වගේ කොටස (මේකට විද්‍යාත්මකව දෙන නම තමයි frenulum breve ) , මේක හරිම වැදගත් ශිෂ්ණයේ සාමාන්‍ය ක්‍රියාවට , විශේෂයෙන්ම පෙරසම (Foreskin)  නිසි ලෙස එහා මෙහා ගමන් කරවන්නට , ශිෂ්ණයේ ප්‍රාණවත් වීමත් එක්ක හෝ ලිංගික කාර්යේදී පිටුපසට ගිය පෙර සම නැවතත් තිබුණු තැනට ගේන්නට මේ “නූල“ ලොකු රාජකාරියක් කරනවා.  ..

කොහොමද මේ තොප්පියේ නූල තද වුනොත් ???
ප්‍රශ්නේ වෙන්නේ මෙයාගේ දිග අඩු වුනොත් හරි ඇදෙන්නේ නැති තරමට ඝණ වුනොත් හරි ...ඔන්න දැන් ලෙඩේ ..දොස්තර මහත්තයනම් කියන්නේ frenulum of prepuce of penis කියල ...වෙන්නේ මේකයි මෙයාගේ ගණකම නිසා , නැත්නම් ඇදෙන ගතිය අඩුකම නිසා පෙර සමට (Foreskin)  ඕන විදියට පිටිපස්සට යන්න බැහැ , එයාව ගැටගහල වගේ . නමුත් ලිංගික කාර්යයේදි ඇති  වන තෙරපීමත් එක්ක පෙරසම පිටුපස්සට යන්න උත්සාහ කරනවා , ඒ තමයි සාමාන්‍ය තත්ත්වය , එහෙම පෙරසම පිටුපසට ගියාම තමයි ස්නායු අග්‍ර හුඟක් තිබෙන ශිෂ්ණයේ ඉස්සරහ කොටස glans penis යෝනි බිත්තිත් සමඟ තෙරපෙමින් තියුණූ සංවේදනයක් ඇති කරන්නේ .. 

දෙන්නට රිද්දන නූල තදවීම
නමුත් අපි මේ කතා කරන නූලේ ප්‍රශ්න නිසා සමහර විට පෙර සම නිසි අයුරින් පිටුපසට නොයන්නට පුළුවන් .., එහෙම නැත්නම් “තද වේදනාවක්“ ඇති කරමින් මේ නූල ඇද ගෙනම පිටුපසට යන්නට පුළුවන් . මේ අවස්ථා දෙකේදිම මොකක් වේද? ....ලිංගික සංසර්ගයේදී ලැබිය යුතු සංවේදනයන් නොලැබී යන්නට ඉඩ තිබෙනවා , සමහර විට නොලැබිය යුතු වේදනාත්මක සංවේදනයන් ලැබෙන්නටත් පුළුවන් . මොකද මේ “නූල තදින් ඇදීම නිසා“ ..මේ තත්ත්වය “වැඩිය කතා නොකර“ හැංගිලා විඳවන ගැටළුවක්. සමහර විට පති පතිනි දෙනෙනාම මේ “නූල තදවීම“ නිසා විඳිවන්නට ඉඩ තිබෙනවා . ඒ වේදනාව කමක් නෑ කියමුකෝ , මොකද අර ඉත්තෑවට ආදරේ කරපු හාවා කීව වගේ “වේදනාවෙන් තොර ආදරයක් කොහේදෝ“ කියල විඳිගෙන හිටිය කියමු ..

ඒත් සංසර්ගික ක්‍රියාව තුල ඇති කෙරෙන තීව්‍ර තෙරපුම් එක්ක මේ “නූල “ කැඩිල යන්නට ඉඩ වැඩියි , සංවේදීම ප්‍රෙද්ශයක ඇති නිසා දැන් දැනෙන වේදනාව උපරිමයි ...ඒ වගේම ලේ වහනයක් වෙන්නටත් ඉඩ තිබෙනවා . මේ වගේ සිදුවීම් යුග දිවියේ රස විඳින්නට බාධාවක් නොවේ යැයි කියන්න පුළුවන්ද ? ...සමහර විට පුළුවන් ..ඒත් “ලිංගිකව එක්වීමේදි“ ලැබෙන සතුට සාර්ථක යුග දිවියක් තුල තවත් එක් අතශ්‍යව්‍ය අංගයක් , එහෙම නැති අවස්ථාත් ඇති ඒත් මම මේ කතා කළේ පොදු සමාජය තුල සාමාන්‍ය තත්ත්වය .විශේෂයෙන්ම මේ තත්ත්වය පවතිනවා නම් ඒ බව ඔබේ බිරිඳ එක්ක කතා කරන්න ලැජ්ජවෙන්නත් එපා , මොකද මේ වේදනාව විඳගෙන සිටීම නිසා බලාපොරොත්තු නොවන කරදර මතු වෙන්නට පුළුවන් දෙන්නා අතරෙ..මොකද වෙනද වගේ මහන්න ලෑස්ති වුනත් නූල හරියට වැඩ නැත්නම් , හරියට මැහෙන්නේ නැත්නම් තරහ යනවනේ ...( මේ ..මම කීවේ මහන මැෂිම ගැන ..මොකද අද කතාව අටම්පහුරෙන්නේ පටන් ගත්තේ) 

හරි ...දැන් මේ frenulum එක කැඩුනොත් ටික දවසකින් තුවාලේ සුව වේවි , ඒත් දැනුනු වේදනාවත් එක්ක හිතේ ඇති වුනු “තුවාලේ සුව වෙන්න“ ටික කලක් යාවි , මේනිසාම ඊළඟ අවස්ථාවේ ලිංගික එක්වීමට සුදානම් වෙත්දි ශිෂ්ණය ප්‍රාණවත් (Impotence මේ ගැන ලිපියට මෙතැනින් යන්න ) නොවීමේ ගැටළුට මුහුණ දෙන්නට වෙන්නත් පුළුවන් , ඒ වගේම තුවාලය ආසාදනය වීම වගේ තවත් කරදර කිහිපයකට හේතු වෙන්න ඉඩ වැඩියි . පරිස්සමට හිටියොත් හැබැයි ලොකු කරදරයක් නැතිව සතියකින් විතර තුවාලේ හොඳවෙනවා . හැබැයි තව කරදරයක් ඇති කරමින් .මොකක්ද වෙන්නේ  අපි දන්නවනේ තුවාලයක් හොඳ වෙනකොට එතන කබොල්ලක් හැදෙනවා කියලා . මෙතැනත් එහෙමයි දැන් නූල සුව වුනාට වෙනදාටත් වඩා ගණ වෙනවා ..ඒ කියන්නේ තිබුණට වඩා වැඩේ තවත් දරුණූ වෙනවා . මේ විදියට වරින්වර තුවාල වෙමින් ටිකෙන් ටික කරදරේ උග්‍ර වීම තමයි සිදු වෙන්නේ ..

no. 4අපි ඒතරම් නොහිතුවත් “නූලක් “ වගේ පුංචි වුනත් ජීවිතයක් වෙනස් කරන්නට සමත් මේ  frenulum of prepuce of penis  තත්ත්වය කරදර වෙන්න ඉස්සර හඳුනගන්නේ කොහොමද ? ...බොහොම පහසුයි , ශිෂ්නය ප්‍රාණවත් නොවූ අවස්ථාවක  පෙරසම(Foreskin)  පිටුපසට කරන්න ,  පෙරසමේ ආරම්භක කෙරවරේ විවරය ප්‍රමාණවත්ව ඇතත් එය නිදහසේ පිටුපසට කරන්නට බැරි නම් ( පෙරසමේ ආරම්භක කෙළවර පටුවීම නිසා පිටුපසට කළ නොහැකි වීම වෙනත් තත්ත්වයක් -Phimosis)  එහෙම නැත්නම් එසේ පිටුපසට කරත්දි ශිශ්ණ මුණ්ඩය (ඉදිරියෙන් පිහිටි කොටස ) පතුලෙන් තද වේදනාවක් මතු වෙනවා නම් , ශිෂ්‍ණය ප්‍රාණවත් වීමේදි එහි ඉදිරිපස සිට ක්‍රමයෙන් වක් හැඩයක් ගන්නවා නම් මේ සමහර විට මේ අපි කතා කතා කරන තත්ත්වය වෙන්නට පුළුවන් . 

දැන් මොකද කරන්නේ ! ....බය වෙන්න එපා , මේක හදිසියේ ජීවිතේට කරදරයක් කරන තත්ත්වයක් නොවෙයි ...ඒ වගේම මේ තත්ත්වයේ මුල් මට්ටම් ඒ තරම් කරදරයක් නොකර සාමාන්‍ය ජීවිතයකට කිසිම බාධාවක් නොකරන්නට ඉඩ තිබෙනවා . ඒත් තත්ත්වය උග්‍රනම්  හොඳම දේ තමයි ඔබේ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් හමුවෙන එක . 

එතැනදි ඔහු ඔබට රෝහලේ ශල්‍යසායනයට Surgical clinic එකට යොමු කරාවි , දැන් තියෙන්නේ “පොඩි ශල්‍යකර්මයකට දිනයක් අරගෙන ගෙදර යන එක . ඊළඟට නියමිත දවසට ඇවිත් ශල්‍ය කර්මය කරන්න . දැන් බොහෝ රෝහල් තුල එක් දින ශල්‍යකර්මයක් විදියට කෙරෙන බොහොම සරළ කටයුත්තකින් මේ කරදරේ අයින් කරගන්නට පුළුවන් . සමහර විට Circumcision කියන ක්‍රමය මඟින් පෙරසම වටා කපා ඉවත් කිරීමක් කරන්නට පුළුවන් , දැන් නම් ප්ලාස්ටික් සැත්කම් ක්‍රමය ඔස්සේ එසේ පෙරසම කපා ඉවත් කරන්නේ නැතිව , මේ නූල දිග්ගස්සල , තද වෙන එක නවත්වන්නටත් පුළුවන් . කෙසේ වෙතත් කෙරෙන ශල්‍යකර්මය ගැන තීරණය ගනිත්දි ඔබේ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න වෙනවාමයි . මොකද තත්ත්වයට අනුව එය වෙනස් වෙන්නට පුළුවන් නිසා .දැන් ඉතින් නුල හරියට දාගත්තන්ම හොඳට මහගන්න එකයි ඇත්තෙ කියල අපේ “අටම්“ කියන්නත් බැරි නැහැ 

හුඟ දෙනෙක් මේ වගේ ගැටළු තිබුණත් වැඩි කතා කරන්න යන්නේ නැහැ ,වෛද්‍යවරයෙක්ට පෙන්නන්නෙත් නැහැ  “ලැ  ජ්  ජ  යි නේ“ (වෙන දේවල් වලට ලැජ්ජ නැතත් , උපත්පාලන කොපුවක් ඉල්ලන්න , තමන්ගේ ලිංගික අවයව ආශ්‍රිත ගැටළුවකට නිසි පිළිතුරක් හොයන්නට   අපි හරි ලැජ්ජයි ,) හැබැයි ඉතින් නියපොත්තෙන් කඩන්න තියෙන දේ ....  මුලින්ම නිවැරදි කරගත්තනම් “විඳවන්නේ නැතිව“ ජීවිතේ ගෙවන්නට පුළුවන් . 

එහෙම නම් අද පෝස්ට් එක නිමා කරන්නයි හදන්නේ , වෙනද තරම් දිග  නැතත් , යම් තරමක හරි පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි කියල හිතෙනවා . ඒත් ඉතින් ඒ ගැන හරියටම දන්නේ ඔබෙන් ලැබෙන අදහස් එක්ක  ,ඉතින් හැම බ්ලොග් ලියන්නෙක් වගේම ඔබේ අදහස් දකින්නට මමත් කැමැත්තෙන් ඉන්නවා , ඇත්තෙන්ම ඔබේ අදහස් තමයි තවත් සටහනකට පෙළඹුමක් දෙන්නේ , ඒ හැරෙන්නට වෙන මොනවා ලැබෙන්නද නේද ? ...

ආයෙත් දවසක හමුවෙමු ..සැමට සුව සතුට පිරි දිනයක් !