2026/01/23

අජියෝ උඹ නම්...

අපේ පළමු හමුවීම

අසූ හතරේ ජනවාරියේ දවසක, කතළුවේ ඉස්කොලේ දේශනශාලාවේ මැද හැදෙමින් තිබුණූ 6-සී පන්තියේ ඩෙස්ක් පුටු පේලි අස්සේ නම ගැසූ මගේ පුටුව හොයාගෙන යත්දි උඹ මට මුලින්ම හම්බවුනේ.

"අඩේ මටත් මේ වගේ නම ගහගත්ත නම් මරු බං"

එකිනෙකා අප කවුරුන්දැයි තවමත් නොදනින පැයක, උඹ මාත් එක්ක කතාව පටන්ගත් හැටි තාම මතකයි, මතකයි නොවෙයි අජියෝ, මට මේ දැනුත් ඇහෙනවා.

පුටුවලින් පටන්ගත් යාළුකම

මතකද, හයේ පන්තියට එන්දි අපට පුටු ගේන්න වුනා අපේ ගෙවල් වලින්, අපි සමහරු ඒ පුටු වල නම් ගහල තිබුණා, ගුණයගේ පුටුවේ තමයි ලස්සනටම "ගුණරත්න" කියල කළු අකුරින් නම ගහල තිබුණේ, මගේ පුටුවෙත්, තාත්ත ම‍ගේ නම කෙටියෙන් කොටල තිබුණා පුටු මාරුවෙලා කරදර වේවි කියල හිතල. හැබැයි උඹේ පුටුවේ කිසිම නමක් සළකුණක් තිබුණේ නෑ, එදත් උඹ ඒ තරම් අහිංසක, විවෘත අපූරු කොළු ගැටයෙක් වුනා.

එදා ඒ හමුවීම, හත-සී, අට-සී, නමය-සී කියාගෙන් සාපෙළ දක්වා යත්දි, උඹ මගේ හොඳම මිත්‍රයෙක් වුනා. අපි කතා කළා, සෙල්ලම් කළා, උඹට මතකද, මගේ ඩෙස්ක් එකට දකුණූ පැත්තෙන් වාඩිවෙන උඹ හැමදාම මාත් එක්ක හෑන්ඩ් ෆයිට් කළා, දවසක් අතේ රටා හිටින්න කොනිච්චලා, "උඹට රිදෙන්නැත්ද බං" කියල පුදුමෙන් ඇහැව්වා.

"ලොකු මහේෂ්"

උඹට බෝක්කුවා කියල විහිලු කරත්දි, මට බ්ලැක්මොරිසා කියල විහිළුවට විහිළුවක් කළ උඹට මාව හැමදාමත් "ලොකු මහේෂ්" වුනා. ඒ අපට පොඩි ‍මහේෂයෙකුත් හිටි නිසාමද කියල ආයෙත් හිතන්නට හිතුනේ, එදා උඹේ හිතේ තිබුණ හුඟක් දේ මාව විශ්වාස කරල කී හැටියෙන් වගේම, මීට මාස කිහිපයකට ඉස්සර වෙලා වට්ස්ඇප් එක තුලින් හමුවෙත්දි, උඹේ ජීවිතේ සතුට, වගකීම, දරුව ගැන හීන මාත් එක්ක බෙදාගත් හැටි මතක් වෙත්දි.

උඹේ බය

"මචං අර එවපු පිංතූර වල හැටියට, උඹ මොකද කියන්නේ, මං සර්ජරියට යන්නෝනද නැත්තං ඕක දියවෙන බෙහෙතක් බොන්නද? මට බයයි බං පපුව පළල හාට් එක නවත්තලු බ්ලොක් එක හදන්නේ, මගේ කෙල්ල තාම පොඩිනේ බං, මොකක් හරි උනොත්..."

වට්ස් ඇප් එකෙන් ආ උඹේ හදවතේ ලේ නහර වල පිංතූරේ කළුපාට අවහිර ටික ඇහට වේදනාවක් දීගෙන මට දැනුනා. මගේ දැනුමේ හැටියට වගේම, රස්සාව ඇතුලේ ලබපු අත්දැකීම්, අහපු කතා මතක් කරමින් කළ යුතු දේ කුමක්දැයි මං උඹට කිව්වේ, අද දවසේ හෘද ශල්‍යකර්ම වල ඇති ආරක්ෂිත බව විතරක් නොවෙයි, හරියට නියම ප්‍රතිකාරය නොගත්තොත් වෙන්න පුළුවන් දේත් මතක් කරමින්. අනේ, උඹට මෙහෙම දෙයක් වෙනවා කියල මට නිංක හෝ දැනුන නම් මං එදාම උඹව "බය කරලා" හරි ඉක්මණට ඔපරේෂන් එක කරව ගන්න පොළඹවනවා.

"මට දැන් හොඳයි වගේ"

ඊට පස්සේ අප පන්තියේ සෙට් එකත් එක්ක වට්ස්ඇප් ගෲප් එකේ කොයිතරම් සතුටු කතාබහ බෙදා ගත්තද? සැරින් සැරේ කතා කළාම උඹ මට කිව්ව කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා, බෙහෙතුත් ගන්නව කියල. මතකද උඹ මට හබරාදුවේ මූදු වෙරළේ ඇවිදින වීඩියෝ එවල කිව්වා "මචං, මට දැන් හොඳයි වගේ, හැමදාම උදේට ඇවිදිනවා" කියල.

ඒ අවසන් පණිවිඩය

පස්සේ මං වට්ස්ඇප් එකෙන් අයින් වුනා, උඹත් එක්ක කතා කරන්න බැරි වුනා මාස කීපයක්ම.

ඊයේ රෑ, නිරූපයි, තමරයි උඹ ගැන අහන්න තියෙන නරකම පණිවිඩේ, මැසෙන්ජරේට දාල තිබුණා.

"මහෙශ් .... අපේ අජිත් (බෝක්කුව) අද නැතිවෙලා .... හාට් ඇටැක් එකකින්"

"මහේශ් අජිත් නැතිවෙලා."

උඹ මේ මහ පොළොවේ නැති වුණත්

අද මේ පෝස්ට් එක, ම‍ගේ අතින් අකුරු කෙරෙත්දි, උඹ මේ මහ පොළොවේ නෑ, හැබැයි මට ෂූවර් ඉන්න තැනක උඹ සතුටින්, විනෝදෙන් ඇති.

අපේ යාළුවෝ, මිහිපිට තබා ගිය උඹේ දේහය බලන්න ආ බව අහන්න ලැබුණා. මේ හීතල හිමේ හිර වෙලා ඉන්න මට මේ හදිස්සියට එන්න විදියක් නෑ මචං.

උඹ වෙනුවෙන් කළ පරිත්‍යාගය

ඒත්, අවුරුදු හතලියකට කිට්ටු උඹෙයි මගෙයි යාළුකම වෙනුවෙන්, භෞතිකව කරන්න දෙයක් මට මේ වෙලාවේ නැතත් උඹ ඉන්න තැනක, උඹ යන්න කැමති තැනකට උඹ පතන දේ ලැබෙන්න කියල හිතාගෙන, කැනඩාවේ මේ දවස් වල ගල් ගැහෙන සීතලේ ගෙවල් නැතිව මහමග ඉන්න මිනිස්සු දහයකට, දවස් දෙක තුනකට උණූසුම් කෑම බීම, සහ අවශ්‍ය ආරක්ෂිත උණූසුම් කබා අරන් දෙන්න කියල, අපේ නගරේ තියෙන The Mustard Seed එකට උඹ වෙනුවෙන් පරිත්‍යාගයක් කළා.

උඹ දන්නවනේ, මං එකතු කරන පිංදහං කරන්‍නේ නෑ, මං පාට යුනිෆෝම් දාගත්ත, ආගම් වෙළෙන්දන්ට දාන දෙන්නේ නෑ, ඒත්, මගේ ක්‍රමේට කළ පරිත්‍යාගයෙන් ලැබෙන සතුට, ඒ මිනිස්සු මේ මර සීතලේ උණූසුම් කෑම එකක් කාළ, උණූසුම් කබායක් ඇඳගෙන නිදාගනිත්දි දැනෙන සතුට, උඹට "පිනක්" වී ලැබේවායි පතනවා.

"ආයේ දවසක හමුවෙමු මචං"

ආයේ දවසක හමුවෙමු මචං, එදාට උඹේ පුටුවත් මගේ පුටුව ළඟින්ම තියා ගනිං.

මම, ලොකු මහේෂ්



මේ කතාවෙන් පසු ඔබට කියන්නට දෙයක්

මගේ මිත්‍රයා "හෘදයාබාධයකින්" මිය ගිය බව ඔහුගේ සහෝදරිය විසින් ෆේස්බුක් සටහනකට එකතු කර තිබුණූ නිසා ඒ ගැන මෙහි සඳහන් කළේ. ඒ ඔස්සේම මේ ලිපිය කියවන ඔබට, විශේෂයෙන්ම වයස හතලියට වැඩි ඔබට පුංචි, නමුත් වැදගත්ම අවවාද කිහිපයක් එකතු කරනවා, සෞඛ්‍යය වෘත්තිකයෙක් විදියට. ඒ ඔස්සේ ඔබ දැනුමක් ලබයි නම්, ඔබේ සෞඛ්‍යය ගැන විමසිලිමත් වීමක් වන්නට හිතනවා නම්, ඒ සුවයේ "පින" මගේ මිත්‍රයාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

❤️1. වසරකට වරක්වත් සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්න

අවුරුද්දකට සැරයක් වත්, ෆුල් චෙකප් එකක් වෛද්‍යවරයෙක් ලබා කරවා ගන්න, ලෙඩ වුනාම දොස්තර ගාවට යනවා වෙනුවට, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, එම අවදානම වලක්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර, වෙනස් කිරීම් කරගැනීමත් හරිම වැදගත්. ඒ නිසා, ඔබ තවම ඒ පූර්ණ සෞඛ්‍යය පරික්ෂාවක් කරගත්තේ නැත්නම් අනේ, හෙටම යන්න. හෘදය, වකුගඩු, අක්මාව, ප්‍රධානව ඔ‍බේ දේහ පද්ධති වල වයසට ගැලපෙන සෞඛ්‍යයමත් ක්‍රියාකාරීත්වයක් ඇත්දැයි විමසා දැනගන්න, අවදානම් ඇති තැන් දැනගත්තොත්, උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න.

❤️2. රුධිර පීඩනය ගැන අවධානයෙන් ඉන්න

හොඳ වර්ගයක, කොලිටියක Blood Pressure Monitor එකක්, ඒ කිව්වේ බ්ලඩ් ප්‍රෙෂර් බලන මැෂින් එකක් ගන්න, ගෙදර තියා ගන්න. ඇත්ත යම් මුදලක් යාවි, නමුත් එය ඔබේ සහ ඔබේ පවුලේ අනෙක් අයගේ ජීවිතත් රැක ගන්න උදව්වක් වේවි. ආ.. ගත්තටම මදි, සතියකට වතාවක් බැරි නම් මාසෙකට වතාවක්වත් එකම වෙලාවක ප්‍රෙෂර් මැනල සටහන් තියා ගන්න. වෙනසක් වෙනවා නම්, වයසට තිබිය යුතු ප්‍රෙෂර් එකට වඩා වැඩි නම්, ඒ ළකුණූ කළ තොරතුරුත් අරගෙන වෛද්‍යවරයා හමුවෙලා, හරිය‍ට බෙහෙත් ගන්න, "හරියට" නියම වෙලාවට, දැන් හොඳයි කියල අතෑරල දාන්නේ නැතිව බෙහෙත් ගන්න.

❤️3. සතියකට අවම වශයෙන් විනාඩි 150ක් ව්‍යායාම කරන්න

සතියකට අඩුම විනාඩි 150ක්වත්, හොඳ moderate aerobic exercise කරන්න, වේගෙන් ඇවිදින්න, වෙලාවක් සීමා තියාගෙන ඒ කාළ සීමාවේ ඉලක්කයට කඳු, තැනිතලා ඇති පැත්තක බයිසිකලේ පදින්න, පුළුවන් නම් ජිම් එකකට යන්න. (හෘදයාබාධ හෝ වෙනත් සෞඛ්‍යය ගැටළු ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කළ යුතු ව්‍යායාම ගැන)

❤️4. ආහාර ගැන සැලකිලිමත් වෙන්න

අධික සීනි, ලුණු, සංතෘප්ත තෙල් සහිත ආහාර, රස වුනත් සීමා කරන්න, ඒ වෙනුවට අළුත් එළවලු, මාළු ඇට වර්ග ඇතිව බත් ටිකක් කන්න. කන්න ඕන "බත් කන්දක්" නොව, මස් මාළු, එළවලු ඇට වර්ග, පළතුරු සියල්ල බව මතක තියා ගන්න.

❤️5. දියවැඩියාව තිබේ නම් පාලනය කරගන්න

දැනටමත් ලේ වල සීනි වැඩි නම්, දියවැඩියාව නම්, ඒ වෙනුවෙන් හරියට ප්‍රතිකාර ගන්න, ආහාර පාළනය වගේම ඇඟපත ප්‍රමාණවත් ලෙස වෙහෙසීම කරන්න, වැදගත්ම හරියට දැනුවත් වෙන්න.

❤️6. දුම්පානයෙන් ඈත් වෙන්න

දුම්පානයට පුරුදු වුනු අයෙක් නම්, පුළුවන් නම් නවත්වන්න, අඩුම තරමේ සීමා කරගන්න. ආ, ඒ ගමන්ම කියන්න ඕන ඔබ දුම්පානය නොකළාටම මදි, දුම්පානය කරන වෙලාවේ ඒ මිතුරන් ආසන්නයේ නොඉන්නවා නම් තමා වඩාත් හොඳ.

❤️7. මානසික සැහැල්ලුවත් වැදගත්

හිත පුළුවන් තරමට රිලැස්ක් එකේ, සැහැල්ලුවේ තියා ගන්න, තද කරගන්න එපා, පුළුවන් වෙලාවට හිත සැහැල්ලු වෙන ඔබ කැමති යමක් කරන්න. ඒක භාවනාවක්ද, එළියේ ටිකක් ඇවිදන්න යන එකද, නැත්නම් රිද්මයානුකූල හුස්ම ගැනීම පිට කිරීමද ඔබ තෝරා ගන්න.

❤️8. හොඳ නින්දක් ලබාගන්න

හැමදවසකට පුළුවන් නම් පැය 7ක, 9ක වත් "හොඳ" නින්දක්, ඒ කිව්වේ උදේ නැගිට්ටාම හොඳ රි‍ෆ්‍රෙෂ් ගතියක් දැනෙන, අළුත් පණක් දැනෙන තරමට හොඳ සැප නින්දක් ගන්න.

❤️9. ශරීරයේ වෙනස්කම් නොසලකා හරින්න එපා

මේ වයස, අපේ දේහය තුලින් විවිධ ආබාධ, ගැටළු මතු වෙන්න පටන් ගන්න කාළේ, ඒ නිසා තමන්ගේ ඇඟ ගැන අවධානයෙන් ඉන්න, වෙනසක්, අමාරුවක් දැනෙන තැන, කල් හරිමින් ඉන්‍නේ නැතිව "හරියට වෛද්‍ය උපදෙස් ලබාගන්න".

නිමාවක, නිමාව

හිතේ දුකට ලියාගෙන ගියා වැරදි ඇතොත් සමාවෙන්න, විමසිය යුතු යමක් ඇතොත් අහන්න

මම මහේෂ්

2026/01/21

"සොඳුරු සුව අසපුව" නැවතත්.....,

Follow Banner

Welcome

සොඳුරු සුව අසපුවේ මීළඟ ලිපි වෙනුවෙන්

2026/01/15

තමන්ටම මන්තර(කාරයෙක්) හදාගන්න

එහෙම නම්, සති දොළහක් තිස්සේ ගෙනා DBT Skills ගැන කතාබහ මෙතැනින් නිමාවෙනවා. මේ ලිපි එ‍කොළහ ඔස්සේ කතා කළේ DBT තුල වැදගත්, නමුත් මූලික සංකල්පයක් වන ඉනර් ක්‍රිටික් සහ ඒ ඔස්සේ සිදුවන හැසි‍රීම ගැන.

ඔබ, යම් චිකිත්සීය ක්‍රමයක් ගැන අධ්‍යාපනය ලබන්නට කැමති අයෙක් හෝ ඔබ කැනඩාවේ හෝ වෙනත් රටක සෞඛ්‍යය වෘත්තිකයෙක් නම්, ඔබේ වාර්ෂික Continuing Professional Development වගේ අවශ්‍යතාවයක් සඳහා තෝරා ගැනීම සඳහා හොඳ "‍‍තෝරා ගැනීමක්" වේවි Dialectical Behavior Therapy හෝ එහි ඒකකයන්.

ඔබ‍ මේ චිකිත්සීය ක්‍රමය ගැන කියවා ‍ඉගෙන ගන්නට , අත්විඳිමින් රස විඳින්නට කැමති අයෙක් නම්, ඒ සඳහා පොත් ගණනාවක් ඔන්ලයින් හෝ හාඩ් කොපි විදියට ලබා ගන්නට පුළුවන්. ‍එහෙම පොතක් තෝරා ගන්නවා නම් Marsha Linehanගේ පොතකින් බොහෝ දේ ප්‍රායෝගිකව සහ රසවත්ව ලබා ගන්නට පුළුවන්.

මේ ක්‍රම දෙකම නැතිව ඔබේ දැනුමට, ජීවිතයට එකතු කරගැනීමට DBT ගැන ස්වයං අධ්‍යයනයක් කරන්නට කැමති අයෙක් නම් ඒ සඳහා උදව් කරගත හැකි වෙබ් අඩවියක් මේ https://dialecticalbehaviortherapy.com/ . මේ තුල ගෙවීම් කිරීමකින් තොරව, අධ්‍යයන කළ හැකි බොහෝ චිකිත්සීය ක්‍රම තිබෙනවා.

එහෙම නම්, DBT skills ගැන යම් අදහසක්වත් ඔබට දෙන්නට පුළුවන් වුනායැයි මට සතුටක් දැනෙනවා. ඔබ යමක් ගත්තා නම්, ඔබේ ජීවිතයට යමක් එක් කරගත්තා නම් ඒ සතුට තවත් වැඩිවේවි.

එහෙම නම්, ඔබේ සිත් සුව වේවා!!

2026/01/08

තමන්ටම මන්තර(කාරයෙක්) හදාගන්න

Dialectical Behaviour Therapy (DBT) කියන්නේ කොයිතරම් රසවත්, සහ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් “ජීවන කුසලතා” එකතුවක්. ජීවිතේ අභියෝග වලට මුහුණ දීමට මෙන්ම, අභියෝග නොවුනත්, එදානෙදා ජීවිතයේදී සාර්ථකත්වයක් ලබා ගන්නටත් මේ කුසලතාවයන් භාවිත කරන්නට පුළුවන්.

ඇත්ත, සමහර විට මේ කුසලතා ගැන මුලින්ම කියවත්දි “ඇත්තටම මේව වැඩකරාවිද” කියන ප්‍රශ්නය එන්න පුළුවන්. නමුත්, නිසි දැනුවත්බව එක්ක, පුහුණුවක් ලබා දෙන, ‘ජීවන කුසලතාවයක්’ ලෙස යොදා ගත්තොත් ඔබටත් මේ ඔස්සේ ජයක් ලබන්නට උදව් වේවි.

එහෙම නම්, නිමාවට පෙර ලිපියේ අද අප කතා කරන්නට යන්නේ, මන්තරයක් හදා ගැනීම ගැන. නෑ නෑ අර ඕං රීං කියාගෙන පටන් ගන්න මන්තර නොවෙයි, මේකට කියන්නේ Self-Compassionate Voice එකක් කියල.

මතකද අප මේ ලිපි පෙළ තුල කතා කළා , අපේ හිත ඇතුලේ ඉඳගෙන අපට රිද්දන, අපට පහළට දාල, අප ගන්න උත්සාහයට බාධා කරන්න කටයුතු කරන “ක්‍රිටික්” කියන කෙනා ගැන. අන්න ඒ “ක්‍රිටික් යකාව” පාලනය කරන්න තමයි මේ මන්තරේ යොදා ගන්නේ. දැන් මේ මන්තරේ තුලින් කරන්නේ අර පොසිටිව් තිංකිං කියන වැඩේවත්, තමන්ට වැරදුනත්, වැරදුනේ නෑ කියල “බලෙන්” හිතන එකවත් නොවෙයි. මේ මත්නරේදි කරන්නේ, තමන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගෙන, ඒ වෙනුවෙන් “තමන්ට කාරුණිකවීමක්” , ඒහෙම වුනාම, දිගින් දිගටම මේ මන්තරේ ඔළුවට එත්දි අර ‘ක්‍රිටික් යකා” වුනත් මෙල්ල වෙන්න පටන් ගන්නවා. එහෙම නම්, දැන් බලමු මේ මන්තරේ කතාව ගැන.

මේ සෙල්ෆ් කම්පැෂන් මන්තරේ ලියන හැටි ගැන අධ්‍යයනය කරලා, ඒ ගැන ආකෘතියක් මුලින්ම දෙන්නේ Dr. Kristin Neff විසින්. අද අප භාවිත කරන්න යන්නේ ඒ ආකෘතිය.

ඒ තුල පළමු වැදගත්ම පියවර තමයි Mindfulness ඒ කියන්නේ, තමන් ඇත්තටම විඳින, දැනෙන, අත්දකින දේ ගැන හොඳ නරක වගේ ලේබල් ගැහිල්ලක් නැතිව දකින එක. ඒ හැඟීම ගැන ඇත්තටම දැනෙන දේ ගැන හිතින් දකින එක. “මේ ඉමිග්‍රේෂන් වැඩේ නිසා මගේ හිත හරියට කළබල වෙලා තියෙන්නේ” මේ එක උදාහරණයක්. අප එතැනදි දැක්කේ “මගේ හිත කළබල වෙලා” කියන එක. ඒක හරිද වැරදිද, නරකද හොඳද ලේබල් කරන්න ගියේ නෑ.

ඊළඟ පියවර තමයි Common Humanity . ඒ කියන්නේ මේ හැඟීම , මේ අත්දැකීම “මට විතරක් නොවෙයි , මනුස්සයෝ විදියට මේ අභියෝගය තුල ඉන්න හැමෝටම අත්විඳින්න වෙන දෙයක් බව තේරුම් ගැනීම. “ඇත්ත, මේක මට විතරක්ම වන දෙයක් නොවෙයි, මා දකිනව රට යන්න බලං ඉන්න තවත් අයට මේ වගේම අපහසුකම් වලට මුහුණ දෙන්න වන වග”

තුන්වැන්න Kindness. ඒ කියන්නේ, ‍මේ පීඩාකාරී හැඟීම තුල “තමන් වෙනුවෙන් කාරුණිකවෙන්න”. උදාහරණයක් විදියට, “මේ වෙලාවේ මම දැඩි පීඩනයක එන්න නිසා, මගේ හිතට සතුටක් ලැබෙන්නත් එක්ක යන්න ඕන ෆිල්ම් එකක් බලල එන්න” . මෙහෙම හිතනවා වෙන්න පුළුවන්.

දැන් මන්තරේ කෑලි තුනම හරි. කොහොමද මතුරන්නේ..? ගේ මැද්දට වෙන්න , පිරිසිදු කරගෙන , සුදු රෙදි කඩක් දාල, ඒ මතට කහ දියර ඉහළ ..... නෑ නෑ ඔය එකක්වත් කරන්න ඕන නෑ , හැබැයි ඔබේ හිතට ගැන බලන්න පුළුවන් තරමේ නිදහස් පරිසරයක් තිබීම වටිනවා.

යන්න ඔබේ කාමරයට, පුළුවන් නම් මොහ‍ොතකට තනි වෙන්න. වාඩිවෙන්න සුව පහසු විදියට. දැන් ඔබේ දකුණූ අත තියා ගන්න ඔබේ පපුවට , ඒ ස්ඵර්ශය හුඟක් වටිනවා. දැන් ඔබේ හිතින්ම කියන්න ඔබේ මන්තරය.

උදාහරණයක් විදියට, රටයන වැඩක හිර වෙලා , “ඔබ වැඩෙත් හරියන්නෑ” කියල ක්‍රිටික් කියන වෙලාවේ, මෙයා මෙහෙම කරාවි. කාමරේට ගිහින්, පුටුවක හොඳට හරි බරි ගැහිලා වාඩිවෙලා, පපුවට මෘදුව අත්ල තියාගෙන මෙන්න මෙහෙම හිතාවි. “ඇත්ත, මේ රටයන වැඩේ නිසා මගේ හිත හරියට කළබල වෙලා, ඒත් මේ මට විතරක් ‍වන දෙයක් නොවයි, මේ අභියෝගයේ ඉන්න හැමෝටම පොදු අත්දැකීමක් මා මේ වෙලාවෙ ලබන්නේ. මොනව වුනත්, මේ වෙලාවේ මගේ හිතට සතුටක් දෙන්න, මට සතුටක් ලැබෙන්න යන්න ඕන ෆිල්ම් එකක් බලන්න.”

දැන් මේක ඔබට ගැලපෙන විදියට හදාගන්න. මං මේ කිව්වේ මට අහන්න ලැබෙන ප්‍රශ්න වලට ගැලපෙන මන්තරයක්.

එහෙම නම් මන්තරේ හරියට හදාගන්න, ක්‍රිටික් හිත රිද්දන වෙලාවට, ඒ වේදනාව තේරුම් අරගෙන , මන්තරේ කියන්න, හිතට දැනෙන්න ගන්න. ඔබට සහනයක් දැනේවි.

2026/01/01

හිත හදන ABC

එහෙම නම් අපි අද දවසේ කතාවට එමු. මෙතෙක් අප කතා කළානේ අපේ ඉමෝෂන්ස් ගැන , ඒවගේම ඒ ඉමෝෂන් හදුනාගැනීම, නම් කිරීම වගේ කරුණූ. අද කතාවෙන්නෙත් එහිම දිගුවක්. ඒ , අපේ චිත්තවේග අපට යහපත්වන ලෙස පාලනය කරගැනීමට ගත හැකි උපක්‍රම කිහිපයක්.පෙර ලිපි වලදී DBT තුල බොහෝ උපදෙස්, උපක්‍රම කෙටි ක්‍රම වලට හකුලා තිබුණා වගේම මෙම උපක්‍රම ගොන්නත්, කෙටියෙන් හදුන්වනවා. ඒ, ABC PLEASE කියලා.

දැන් අපි මේ කෙටි හැඳින්වීම , ගලවා විමසා බලමු.

A - Accumulate Positive Emotions

ඒ කියන්නේ, සරු, ධනාත්මක චිත්තවේග එකතු කරගන්න කියන එක. මේ වෙනුවෙන් තමයි මං අර පුංචි ප්‍රශ්නයක් ඇහැව්වේ "දවස තුල, ඔබට සතුටක් ලැබෙන හෝ ලැබෙනවායි ඔබ සිතන ක්‍රියාකාරකම් දෙකක්" ලියන්න කියලා.

හේතුව මේකයි, අප දවසේ කටයුතු , ජීවන රටාව තුල විවිධ කාර්යයන් කරනවා "පුරුද්දට" ඒ ගැන කිසිදු නැවත විමසීමකින් තොරව. ඒ අතරේ, අපට "සතුට දෙන" කටයුතුත් සිදුවෙනවා, ඒත් එය "සතුට දෙන" ක්‍රියාකාරකමක් බව හදුනානොගනිමින්. හිතන්න, ඔ‍බ ඔබේ දරුවාට උදේට අළුත් රස කෑමක් හදල දෙනවා. දරුවා එය රස කරමින් කරනවා. ඒ තුල ඔබට "ලබා ගත හැකි සතුටක්" තියෙනවා නේද? ඒත් දවසේ වැඩ රාජකාරී එක්ක ඒ "සතුට" ඔබේ හිතට ලබා ගන්නට, ඒ උත්සාහය තුල ඔබට "සතුටක් ලැබුණූ බව" කල්පනා කරන්නට, වටහා ගන්නට පෙළඹෙන අවස්ථා අඩුයි.

අපි පුරුද්දට, කළ යුතු නිසා, දවසේ රටාව වගේහේතු නිසා ඒවා ඔන්නොහේ කරගෙන යනවා. නමුත් මේ A අකු‍රෙදි කියන්නේ, ඒ වගේම "සතුට ලැබෙන" ක්‍රියාකාරකමක් කරන්න, සහ ඒ තුල ඇති "සතුට" හිතට දැනෙන්න අව‍බෝධ කරගන්න කියන එක.මේ එක්තරා‍ ආකාරයක මයින්ඩ්ෆුල්නස් කියන , ඒ මොහොත අව‍බෝධයෙන් ඉන්න සහ විඳින්න කියන එකම තමා.

ඒ නිසා, උදේ පාන්දර , ජනේලයෙන් එළිය බලාගෙන කෝපි එකක් බොත්දි, හිත අරමුණක් නැතිව පාවෙල යනවාට වඩා, ඔබ බොන කෝපි එක, ඒ තුල ඇති රස, ඒ රස විඳිමින් ඔබ දකින අවට පරිසරයේ ඇති සුන්දර බව වගේ "සතුට" දැනෙනදේ හදුනගන්න , ඔබේ හිතට ඒ ගැන මතක් කරන්න. අන්න එහෙම ඒ "සතුට" දැනෙන්න හිතට ගනිත්දි, අර අපේ කරදරකාර ක්‍රිටික්ට කට උත්තර නැති වෙනවා, ඒ කියන්නේ අපට සුවදායී චිත්තවේග මතුවීම පහසු කරවනවා.

දැන් මේක කොපි එකට විතරක් නොවෙයි, ඔබ කැමතිම ගීතයක් අහත්දි, සුවදායි විදියට ඇඳට වෙලා විවේකයෙන් ඉඳිත්දි, මිතුරෙක් එක්ක සතුටු සාමිච්චියේ යෙදෙත්දිත් අනුගමනය කරන්නට පුළුවන්. ඒ මොහොතේ අවබෝධයෙන් ඉන්න, සතුට "දැනෙන්න විඳින්න"

B - Build Mastery

මේ "කුසලතා ගොඩගැනීම" කියල සිංහලෙන් කියන්නට පුළුවන් B වලින් කියන්නේ, දවසට එකම එක කටයුත්තක් හරි "හරියට, සම්පුර්ණව" කළා කියන සතුට ලබා ගන්න.

ඒ උත්සාහ තුල ඔබට දැනෙන්න ඕන sense of competence and progress කියන හැඟීම. මේක ‍මහ ලොකු දෙයක් වෙන්න ඕන නෑ, සරළම දේ, උදේ නැගිට්ටම ඇඳරෙදි හදලා, ලස්සනට පිළිවෙලට නිදන කාමරේ සූදානම් කරලා, නිදන කාමරයෙන් එළියට යත්දි බලන්න ඔබ ගත් උත්සාහයේ (ඇඳ සහ කාමරය පිළියෙල කිරීම) ප්‍රතිපල, ඒ ඔස්සේ හදුනාගන්න ඔබ එය අපූරුවට කළ බව සහ ඒ තුල ඇති සාර්ථක බවේ ආඩම්බර හැඟීම හිතට ගන්න. පිළිවෙලක් නැතිව තියෙන ලාච්චුව පිළිවෙලට හදලා, එහෙම නැත්නම් රස කෑමක් හදලා ඒ කටයුත්ත සම්පුර්ණ කරගත්තාම දැනෙන "sense of competence and progress" හැඟීම , සතුටක්, ස්වයං-ආඩම්බරයක් විඳියට දකින්න, හදුනාගන්න සහ විඳින්න. එහෙම වෙත්දි අපේ ක්‍රිටික්ට අපහසුවෙනවා , අපේ හිතට වැරදිකාර , දුර්වල වගේ හැඟීම් එකතු කරන්නට.

C - Cope Ahead

මේ කෝපහෙඩ් කියන්නේ නම් හරිම වැදගත් උපක්‍රමයක්. මේක වටින්නේ මෙහෙමයි. හිතන්න හෙට ඔබට සිදුවෙනවා ඔබේ සේවාලාභියෙක් එක්ක ටිකක් සංකීර්ණ කතාබහකට යෙදෙන්න. ඒ සේවාලාභියාත් නීති රීති දන්න, ටිකක් කට සැර කෙනෙක් කියල හිතමු. දැන් ඔන්න උදේ හිතපු විදියටම ඒ සේවාලාභියා ආවා ඔබ හමුවෙන්න. කතාව පටන් ගත්තා, තමන්ට සිදුවුනු "අසාධාරණය" නිසා ඒ සේවාලාභියා හිතුවටත් වඩා දරුණූ , සැර විදියට ඔබට අමතන්නට සහ ඔබේ වැරැද්ද කියන්න පටන්ගන්නවා. ඔබ දන්වා ඔබ කළේ , ඔබේ සීමාව තුල කළ හැකි හොඳම දේ කියල. හැබැයි අපි ඉතින් මිනිස්සුනේ, අර සේවාලාභියාගේ "අසාධාරණ බැණූම්" නිසා ඔබට හොඳටම තරහ යනවා, ඔබ අතින් ටිකක් දරුණූ ප්‍රකාශයක් වෙනවා. එය ඔබේ වෘත්තියේ හැටියට , වෘත්තීය ආචාරධර්ම හැටියට ඔබට පාඩුවක්. දැන් මොකද වෙන්නේ, ඔබ සිදුවීම් දෙකකින් පීඩාවට පත් වෙනවා.

මෙන්න මේ අවදානම වලක්වා ගැනීම වෙනුවෙන් යොදාගත හැකි හොඳම උපක්‍රමයක් තමයි Cope Ahead කියන්නේ. මෙතැනදි කරන්නේ, හෙට විය හැකි ඒ ගැටළුකාරී කතාබහ ගැන අද දවසේ මනසින් අත්දැකීම විඳිනවා, කතාබහ හොඳට ගියොත් උත්තර දෙන හැටි, කතාබහ නරක පැත්තට ගියොත්, වෘත්තීය සීමා තුල වගකීමෙන් උත්තර දෙන හැටි, සේවාලාභියා ආවේගයෙන් වුනොත් කළ යුතු දේ "හිතින් මවාගෙන තමන්ම රඟපෑමක් කරනවා" කිව්වොත් නිවැරදියි. ඒකේ වාසිය වෙන්නේ, දැන් හෙට ඇත්තටම මේ අවස්ථාවට මුහුණ දෙත්දි යම් "පෙර පුහුණුවක්" තිබෙනවා එන පැත්තට ගැලපෙන්න හැසිරෙන්න.

මේ තුල පියවර හයක් ‍තියෙනවා මේ විදියට,

  1. Identify the situation
  1. Predict what your critic will say
  1. Check the facts in advance
  1. Choose coping skills (උදා- කතාවට පෙර හොඳ ගැඹූරු හුස්මක් අරගෙන හිත සූදානම් කරගැනීම, කතාබහ අතරේ ග්‍රවුන්ඩිං ටෙක්නික්ස් ගැන අවධානයෙන් , අවස්ථවාට ගැලපෙන්න ඉඳීම, සහ කතාබහ නිමාවේ, සේවා මේසයෙන් හරි කාමරයෙන් හරි ටිකක් ඉවතට ගිහින් හොඳ හුස්මක් අරගෙන, පොඩි ඇවිදිල්ලක් දාල නැවත සාමාන්‍ය තත්ත්වයට එන හැටි)
  1. Rehearse mentally ( විය හැකි සිදුවීම් හිතේ මවාගෙන තමන්ගේම නාට්‍යයක රඟපාන්න)
  1. Prepare self-compassion statements (මම සාර්ථකව ඒ අවස්ථාවට මුහුණ දුන්නා වගේ වාක්‍යයක් ඔස්සේ ඔබේ හිතට , ඔබේ ශක්තිය පෙන්වා දෙන්න)

මෙතැනින් එහාට එන PLEASE කෑල්ල නම් කෙළින්ම අපේ කායික සෞඛ්‍යයට අදාල සැලකිලිමත් වීමක් කිහිපයක් ගැනයි කියවෙන්නේ. මොකද ඒවත්, අපේ මානසික සෞඛ්‍යය, චිත්තවේග වලට දැඩිව බලපාන නිසා.

PL - Treat Physical Illness: කායික සෞඛ්‍යයේ ගැටළුවක් ඇත්නම් ඒවාට ප්‍රතිකාර ලබා ගන්න. (හිතන්න ඔබේ හිසකැක්කුමක් තියෙනව වෙලාවක අර වගේ කතාබහකට යන්න ගියොත් කොහොමද?)

E - Eating: සෞඛ්‍යයමත් ආහාර ලබා ගන්න. (බඩගින්නේ දවල් කෑමට යන්න ඉන්න වෙලාවක අර සේවාලාභියා එක්ක කතාබව වුනා නම් ?)

A - Avoid mood-altering substances: මත්පැන්, මත්ද්‍රව්‍යය වල බලපෑමෙන් වලකින්න( කියන්න දෙයක් නෑනේ).

S - Sleep: පැය 7-9ක සුවදායී නින්දක් ලබා ගන්න. (හිතමු, ඊයේ රෑම නින්ද ගියේ නෑ, ඔන්න අද උදේම අර සේවාලාභියා සැර කතාවකට ආව කියල, කොහ‍ොම වේද ඔබේ ප්‍රතිචාරය)

E - Exercise: දවසකට අඩුම තරමේ පැය බාගයකවත් ව්‍යායාම කරන්න.

මේ තමයි DBT තුල කියවෙන ABC PLEASE ක්‍රමය. උත්සාහ කර බලන්න, ඇත්ත මුලින්ම ටිකක් නුහුරු ගතියක් , වැඩක් ඇති වැඩක්ද කියල හිතේවි. නමුත් පුරුද්දක් කරගත්තාම දැනෙන සහනය ඔබේ ජීවිතය එළිය කරාවි.