Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

2026/08/30

බිඳුනු වැඩිහිටියෙක් තනන, ගුරු-දෙගුරු සුළු වැරදි

මුලින්ම කියන්න ඕන කරුණූ දෙකක් තිබෙනවා. එකක්,මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් "අනේ අම්ම, තාත්තට ගුරුවරුන්ට මෙහෙම කියනවද" කියල හදවතට දැනෙන කම්පණයෙන් දුක හිතෙන අයත් මේ කියවන ඔබ අතර ඉන්න පුළුවන්. නමුත්, මේ ලියවෙන කරුණ ගැන සමබරව හිතාබලමින් , නැවත මාතෘකාවට හැරි බලන්නැයි ඒ අයට ආරාධනා කරනවා. එලෙසම, කළකට පෙර එක් කළ, "විසකුරු දෙමාපියෝ" ලිපියේ ලියවුනු සමහර කරුණූත් මේ ලිපිය තුල තිබෙන්නට පුළුවන්.

මේ ලිපිය ලියන්නට ප්රධානම හේතුව වුනේ, සිත් සුව අරණ තුල වගේම අපේ සමාජය තුල බහුලව දකින වැඩිහිටි ගැටළු බොහොමයක හේතු බීජය ඇත්තේ, එම පුද්ගලයා කාළයකට පෙර, එහෙම නැත්නම් ළදරු, ළමා හෝ යොවුන් වියේදි මුහුණදුන් මානසික කම්පණයන්ගේ (childhood trauma) බලපෑම් බව හදුනාගන්නට හැකි නිසා සහ එම හදුනාගැනීම් ගැන අද දවසේ වැඩි විමසීමක් කරන නිසාවෙන්.

අවිශ්වාසයන්, පවුල් තුල ඇති ගැටළු, අභියෝග වලට මුහුණදෙන ආකාරයන්, සමාජය ඉදිරියේ මුහුණදෙන පෞරුෂමය ගැටළු, වගේම සමහර කාළීන සෞඛ්යය ගැටළු වලටත් අදාල කාළය තුල මුහුණදුන්, විඳි මානසික පීඩාවන් සහ ඒ ඔස්සේ ඇතිවී, මනස තුල තැන්පත් වී ඇති ළමා හෝ යොවුන් කාළයේ විඳි මානසික කම්පණයන් හේතු වන බව මේ ඔස්සේ යමින් හදුනාගනිමින් තිබෙනවා.

මේ කරුණූ පදනම්ව ළමා කාළයේ සිදුවන මානසික කම්පණයන් (childhood trauma) පිළිබඳ කෙටි සටහන් කිහිපයක් එකතු කරමින් යම් කතාබහක් ආරම්භ කරන්නට උත්සාහ කරන අතරේ, ඒ වෙනුවෙන් මූලික වන මෙම ලිපිය එකතු කරන්නේ, දෙමාපිය, ගුරුවර, වගේම වෙන්ට දෙමාපිය , වෙන්ට ගුරුවරු සහ ළමා , යොවුන් , වැඩිහිටි ඔබ වෙනුවෙන්මයි. මේ සටහන කියවා එක් අයෙක් "(trauma) මානසික කම්පණය සහ එහි බලපෑම් සිතන්නට" පෙළඹේද, එයයි මගේ සතුට.

කතාව පටන් ගනිත්දිම කියන්න ඕන, ඔබ වගේම මාත් පොදුවේ පිළිගන්නා කරුණක් තමයි දෙමාපියන්, ගුරුවරුන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තම දරුවන්ගේ, තම සිසුන්ගේ යහපත. (පොදු අදහස) නමුත්, ඒ ආදරය තුල කරන , හෝ කෙරෙන සමහර සිදුවීම්, දරුවාගේ මනස තුල "තුවාලයක්" ඇති කරන trauma එකක් ඇති කරන්නට සහ එය මනස තුල රැඳී පවතිමින්, දරුවාගේ පමණක් නොව, එම දරුවා වැඩිහිටියෙක් වනදා, එම වැඩිහිටි ජීවිතයටද බලපෑමක් කරන්නට පුළුවන් .

දැන් කෙනෙක් කියන්න පුළුවන්

"අපේ අපි කොයිතරම් නම් ගුටි කාළ තියෙනවද" ,

එහෙම නැත්නම්

"ඕව දරුවන්ට අමතක වෙනවා"

කියල ඔබ තමයි මේ ලිපිය හුඟක් විමසිල්ලෙන් කියවන්නටම ඕන. හේතුව මේකයි, සමහර විට එදා කෑ ගුටි වගේම, ඒ තුල දැනුනු ලැජ්ජාව, මුදා හැරිය නොහැකි වූ ආවේගය නිසා වූ මානසික කම්පණයේ බලපෑම , අද වැඩිහිටියෙක් වුනත් තවමත් හොල්මන් කරනවා ඇති. අනෙක, මේ ඇතිවන තුවාල "අමතක" වෙලා යන්නේ නැහැ, මනසේ පතුලේ කිඳා, රැඳී පවතිනවා. ඒ හැඟීමත් එක්ක ඇතිවුනු "වේදනා+සිදුවීම" හැංගිලා වද දෙනවා. ඒ නිසාමයි මෙම මානසික කම්පණයන් “hidden wounds.” ලෙසත් හදුන්වන්නේ.

අනෙක, දරුවෙක් තුල මෙවන් මානසික කම්පණයන් ඇති වෙන්නට පුළුවන්, දරුවට පහරක් ගැසූ අවස්ථාවේ, එහෙම නැත්නම් ටිකක් සැරට බැන්න අවස්ථාවක පමණක්ම නොවෙන්න පුළුවන්. සමහර විට දරුවෙක්ට හිතේ දැනුනු දුකට , තමන්ගේ අම්ම, තාත්ත සංවේදී නොවුනු අවස්ථාවක්, ජීවිතේම විඳවන වේදනාත්මක කම්පණයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා, වැදුනු පාරට වඩා, දරුවාගේ හිතට "දැනුනු බර" තමයි සැඟවුනු තුවාලය ඇති කරන්නේ.

මෙවන් අවස්ථා කිහිපයක් ගැන වර්ග කිරීමක් සහිත සටහන්, පහුගිය සති කිහිපය තුල සතියකට එක බැගින් "සිත් සුව අරණ" වෙත එක් කළත්, ඒවායෙන් යමක් ගන්නේ කීදෙනාද කියල හිතුණ අවස්ථා නැතිවාම නොවේ. ඒත් , මේ මාසයේ ආරම්භ කළ තේමාව නිමා කරන්නත් එක්ක මේ ලිපිය ලියන්නේ, කැමති අයෙක්ට කියවා, යමක් ගන්නටත්, කැමති නම් යමක් එකතු කරන්නටත් ආරාධනා කරමින්.

කතාව පහසුවෙන් ගෙනියන්නට උදව්වක් විදියට, පෙර කී විදියට, දරුවෙක් මුහුණදෙන, "මානසික කම්පණයක්" විය හැකි සිදුවීම් කිහිපයක් ගෙන ඒ ඔස්සේ යමක් ලියන්නටයි සැලසුම. එහෙම නම්, එන්න කතා කරන්න.

1) දරුවාගේ හැඟිම් නොසලකා හැරීම

හිතන්න, ඔබේ දරුවා කුමක් හෝ සිදුවීමක් නිසා හඬන්නට පටන් ගන්නවා. සමහර විට ඔබ අවිවේකයෙන්, එහෙම නැත්නම් වෙනත් කටයුත්තක යෙදෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මේ ඇඬිල්ල "මහ කරදරයක්" කරගන්න ඔබ කිව්වොත් "නවත්ත ගන්නවා ඔබ ඇඬිල්ල" "ඕක අඬන්න දෙයක්ද" එහෙමත් නැත්නම් "ඔයා කොල්ලෙක් නේද ඔහොමත් අඬනවද" වගේ වචන කිහිපයක්, සමහර විට ඒ ඇති දරුවා තුල මානසික කම්පණ තුවාලයක් ඇතිවන්නට "අම්ම (තාත්ත) මගේ දුක දැක්කෙ නෑ," එහෙම නැත්නම් "මගේ දුක අඩු කරගන්න ආදරේ වෙනුවට අම්ම (තාත්ත) දුන්නේ මගේ හිත රිද්දන, මාව ලැජ්ජාවට පත් කරන දෙයක්" කියන හැඟීමෙන්. මේ තුවාල එක්ක වැඩිහිටියෙක් වෙත්දි ඔබේ දරුවා , තමන්ගේ හැඟීම් නිසි ලෙස මුදා හරින්නට විශ්වාසයක් නැති අයෙක් බවට පත් වෙලා, හැඟීම් හිරකරගෙන ඉඳලා, චිත්තවේග "පුපුරායන" අවස්ථාවන්ට පත් වෙන්නටත් පුළුවන්.

2) දරුවාගේ වැරදිම දැකීම

දරුවා කරන කටයුතු අතර , වැඩිපුරම දකින්නේ, සහ දරුවාට පෙන්වන්නේ "වැරදිම" නම් , තවත් විදියකින් කිව්වොත්, දරුවා කරන හොඳක් , ජයග්රහණයක් දරුවාට දැනෙන්නට නොදීමත් නිසා ඇතිවන "සැඟවුනු තුවාල" , මේ දරුවා වැඩිහිටියෙක් වනදා, තමන්ගේ වටිනාකම් නොහදුනන, හැමවෙලාවෙම තමන් වැරදි කළා හෝ ගත් තීරණ වැරදි ලෙස විඳවන, ඒ නිසාම ජීවිතේ අභියෝග බාර ගැනීමට බියක් දක්වන තරුණයෙක්, වැඩිහිටියෙක් බවට පත් වෙන්නට ඉඩක් තිබෙනවා.

3) නිරන්තර සැසඳීමට ලක් කිරීම

දරුවා, තම සහෝදර-සහෝදරියන්, එහෙම නැත්නම් පාසලේ අනෙක් මිතුරන් සමඟ සැසඳීමට ලක් කිරීම තුල දරුවාට දැනෙන පීඩාව , මනස තුල ඇති කරන "සැඟවුනු තුවාලය" , අනාගතයේ ඊර්ෂ්යාව සහ හීනමානය සහිත වැඩිහිටියෙක් නිර්මාණය කරන්නට හේතුවන්නට පුළුවන්. ඒ වගේම, තමන් කුඩා කාළයේ විඳි වේදනාවන්, අද වැඩිහිටියෙක් ලෙස පවත්වා ගත යුතු මිනිස් සම්බන්ධතා, බැඳීම් , විශ්වාසය පවත්වා ගැනීම් වෙත හානිකර ලෙස බලපෑමෙන්, එම පුද්ගලයා සමාජය තුල නැවතත් පීඩාවකට ලක්වෙන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

4) හානිකර ආකාරයේ දැඩි "විනය"

දරුවා "හොඳින් හදා ගැනීමට" හෝ දරුවාගේ "වැරදි හදා ගැනීමට" තවත් විදියකින් කිව්වොත් දරුවාගේ විනය හදාගැනීමට ( ලෙස සිතමින්) දරුවාට පහර දීම, බැන වැදීම්, පිරිස ඉදිරියේ දරුවා ලැජ්ජාවට පත් කිරීම් නිසාවෙන් ඇතිවන මානසික තුවාල සමඟ ජීවත්වන, ඒ ඔස්සේ වැඩිහිටියෙක් වන පුද්ගලයා සමාජය ඉදිරියේ නිරන්තර අසාමාන්ය බියකින්, අවිශ්වාසයකින් සිටීමට පෙළඹිය හැකි අතර, ඒ නිසාම පවුල , රැකියාව තුල ගැටුම් ඇති කරගනිමින්, තමන්ගේ ආක්රමණශීලී බව මතු කරමින් ගැටුම් වලට පත්වීමටත් ඒ නිසාම සමාජීය ලෙස කොන්වී, වෙන්ව ජීවත්වීමට පෙළඹීමටත් ඉඩක් තිබෙනවා.

5) ආදරය , දැනෙන්නට නොදීම

දරුවෙක් අම්ම තාත්තගේ ආදරය කෑදරයි. ඒ ආදරය ලැබිම දරුවා තුල මානසික සතුටක් වගේම මානසික ශක්තියක් ලබා දෙන අතරේ, එසේ "ආදරය අපේක්ෂා කරන" දරුවාට , නිසි අවස්ථාවේ දෙමාපිය-ගුරු වෙතින් නිසි ආදරය "දැනෙන්නට නොලැබීම" නිසා එම වේදනාත්මක මානසික කම්පණයන් සමඟ වැඩිහිටියෙක් වන පුද්ගලයා, තම සමාජ ජීවිතය තුල පවත්වා ගත යුතු බැඳීම් සහ ඒ තුල තිබිය යුතු විශ්වාසයන් පවත්වා ගැනීමට අපහසු, ආදරය සුහද බව තවත් අයෙකුට ලබා දීමට නොදන්නා හෝ එසේ "දැනෙන්නට දීමට" අපහසු අයෙක් වන්නට පුළුවන්.

6) අනපේක්ෂිත ප්රතිචාර

දෙමාපිය හෝ ගුරවරයා වරින්වර , දරුවා අනපේක්ෂිත (හෝ දරුවාට වටහා ගත නොහැකි) චිත්තවේග ප්රතිචාර දැක්වීම, උදාහරණයක් මොහොතකට පෙර දරුවාට ආදරයෙන් කතා කරන කෙනා, තවත් මොහොතකින් "කිසිදු හේතුවක්" නැතිව දරුවා වෙත කඩා පණිමින් බැන වදිනවා නම් , මේ තුල ඇතිවන මානසික කම්පණය, දරුවා වැඩිහිටියෙක් වනදා , නිරන්තර කාංසා සහගත තත්ත්වය (හේතුවක් නොමැති බියකින් පිරුණූ හිතක් ඇති) , හැම සමාජ බැඳීමකදීම, කටයුත්තකදීම "අති පරිස්සම්" ලෙස කටයුතු කරන, සමාජ බැඳීම් තුල හමුවන අනෙක් අය නිරන්තර සැකයට භාජනය කරන, ඒ නිසාම වැඩිහිටි සමාජ ජීවිතය තුල විඳවන අයෙක් වන්නට පුළුවන්.

7) අධික අපේක්ෂාවන් දරුවා වෙත පැටවීම.

කිසිදු අතපසුවීමකට, වැරදීමකට, ලකුණූ අඩුවීමකට අවස්ථාවක් නොතබා, හැම විටම ඉහළම, හොඳම දේ ලබා ගන්නට "බල කිරීමකට" ලක්වන දරුවා වැඩිහිටියෙක් වෙත්දී, වැඩිහිටි ජීවිතය, සමාජ ජීවිතය, රැකියා තුලද "හොඳම, ඉහළම" යන හැඟීමට කෑදර වීම නිසාවෙන්, වැරදි වලට මුහුණ දීමට බිය, තමන්ගේ අඩුපාඩුවක් වෙනත් අයෙක් වෙතින් ඇසීමට බිය, හැම දේම "අති පරිපූර්ණ perfectionism) තත්ත්වයෙන් කරන්නට උත්සාහ කරන , ඒ නිසාම නිරන්තර මානසික පීඩනය, ආතතිතයට පත්ව ජීවත්වන අයෙක් ලෙස සමාජගත වන්නටත්, මේ හේතුව නිසාම කාළීන කායික සහ මානසික රෝග, පීඩා වලට ගොදුරු වන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

8) වරද නොහදුනාගැනීමේ බර

දෙමාපිය, ගුරු , වැඩිහිටි අප අතිනුත් සමහර අවස්ථා වල වැරදි වෙන්නට පුළුවන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව වන මෙවන් වැරදීමකදි, එය දරුවාට අදාල වන තැන , තමන්ට වැරදුනු බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නට නොපෙළඹෙමින්, තමන්ගේ වැඩිහිටිකම ඔස්සේ සිදුවුනු වරද සඟවා , එසේ නොවුනා සේ සිටින බව දරුවාට දැනීම නිසා ඇතිවන වේදනාව, මානසික කම්පණයක් වන්නට පුළුවන්. "තාත්ත කළ දේ වැරදියි, ඒත් තාත්ත ඒ වෙනුවෙන් සමාව ගන්නවා වෙනුවට ...." ලෙස හිතට හැඟීමක් එක් කරගනිමින් වැඩිහිටියෙක් වන මේ දරුවා, සමාජය තුල දී තම වගවීම්, වගකීම් නොගන්නා, හෝ වැරදීම් බාර බාර ගෙන , නිවැරදි වීමට උත්සාහ කරනවා වෙනුවට , වැරදීම් නිසා අසාමාන්ය ලෙස පීඩාවට පත්වන අයෙක් වන්නට පුළුවන්.

9) දරුවා "නොදැකීම"

මේ කියන්නේ, තම දරුවා, එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්යයා තුල ඇති හැඟීම්, වටිනාකම් ගැන දෙමාපිය හෝ ගුරුවරයා කිසිදු හදුනාගැනීමක් නොකරයි නම්, තවත් විදියකින් කිව්වොත් "දරුවා නොදකී" නම් ඒ "තමාව නොදැකීම" (මේ කියන්නේ ඇසින් නොදැකීමම පමණක් නොවේ) නිසාවෙන් දුකට, වේදනාවට පත්වන, එයම සැඟවුනු තුවාලයක් ලෙස මනස තුල තැන්පත් කරගන්නා දරුවා, වැඩිහිටියෙක් වනදා, අධිෂ්ඨානනය බිඳුනු, තමන් වටා ඉන්නා හැමෝම සතුටු කරවන්නටම පෙළඹෙන, තමන්ගේ සීමාවන් ගැන අවධානයක් නැති අයෙක් ලෙස සමාජය තුල රැදෙන්නටත් ඒ නිසාම පීඩාවට පත්වන්නටත් පුළුවන්.

10) අධි ආරක්ෂාව ලබා දීම

තම දරුවාට කිසිදු "හානියක්" , අපහසුතාවයක් ඇති නොවීමට යැයි සිතමින් "දැඩි" රැකවරණයක් ලබා දීමට කටයුතු කිරීම තුල , දරුවාගේ ස්වාධීත්වය ගොඩනගා ගැනීමට බාධාවක් වන අතර, ඒ "අධි රැකවරණය" තුල වැඩිහිටියෙක් වනදා, තමන්ගේ හැකියාවන් ගැන නිසි අවබෝධයක් නැති, තවත් අවස්ථාවක තමන් ගැන පවා විශ්වාසයක් නැති , වැඩිහිටි සමාජ ජීවිතය තුල "ගත යුතු අභියෝග" පවා බාර ගැනීමට බියවන වැඩිහිටියෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ කියාගෙන ගියේ, දරුවෙක් තුල හානිකර ලෙස මානසික කම්පණයක් ඇති කළ හැකි, ඒ ඔස්සේ සැඟවුනු තුවාල මනස තුල ඇති කරමින් අනාගත වැඩිහිටියා වෙත බලපැමක් කළ හැකි , ගුරු-දෙගුරු අප අතින් විය හැකි යම් සිදුවීම් කිහිපයක්. ඇත්ත, අප කවුරුවත් "සර්ව සම්පුර්ණ" නැහැ. අප අතින් අඩුපාඩු , වැරදි, සමහර විට නොසිතා සිදුවන්නට පුළුවන් වගේම, තවත් අවස්ථාවක, සිතා සැලසුම් කර, දරුවාගේ යහපත වෙනුවෙන් යැයි සිතා අප ගන්නා ක්රියාමාර්ග දරුවාගේ මනස තුවාල කරන්නත් පුළුවන්. ඒ නිසා, මේ childhood trauma සහ ඒවායේ අනාගත බලපෑම් ගැන යම් දැනුවත් බවක් ලබා ගැනීම, ඔබ, අපට වගේම, අපේ දරුවන්ගේ අනාගතයටද සුබදායී කරගන්නට පුළුවන් බව මතක් කරමින් ලිපිය නිමා කරනවා. මතක තබා ගත යුතුම දේ, මේ කතා කළ සහ මෙතැන නොලී තවත් සිදුවීම් ඇති දරුවාගේ මනස තුල "සැඟවුනු තුවාල" ඇති කරමින් ඔවුන්ට childhood trauma ඇති කරන. මේවා සැඟවුනු තුවාල, ඒ නිසා ඒ මොහාතේම, එහෙම නැත්නම් ටික දවසකින් එළියට එන හෝ දරුවාට අමතක වෙලා යන දේ නොව, දරුවාගේ අනාගතයට බලපෑම් කරන්නට පුළුවන්, දරුවාගේ මනස තුල සැඟවී තිබෙන තුවාල බව වටහා ගැනීමයි වැදගත්.

එහෙම නම් childhood trauma ගැන ඔබේ අදහස්, අත්දැකීම් එකතු කරන්නට කොමෙන්ට් තීරුව විවෘතව තබමින් ලිපිය නිමා කරනවා. trauma සහ ඩිමෙන්ෂියා තත්ත්වන් පිළිබඳව, වෘත්තීමය කටයුතු වෙනුවෙන් කළ අධ්යයනය කිහිපයක කරුණූ ඔස්සේ, සහ කැනඩානු මනෝ විද්යාඥයකු වන Dr. Gabor Maté ගේ The Myth of Normal: Trauma, Illness, and Healing in a Toxic Culture නම් ඇබ්බැහිවන සුළු පොතේ සමහර කරුණුද එක් කර මේ ලිපිය ලියූවේ.

පාන් පිටි දෙන ලෙඩ

“ඉස්සර වගේ නොවෙයි අනේ, දැන් කෑම කාපු ගමන් බඩපුරෝලා දාල වගේත ඇඟපතත් රිදෙනවා, ඔළුවත් බරයි වගේ හරිම කරදරයක් මේක”

සමහර විට මේ ඔබේ කතාව වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ කතාබහට ඔබ එකතු වෙලා ඇති.

විශේෂයෙන්ම පාන්, සැන්විච් හෝ පාං පිටි වලින් හදපු කෑම කාළ ටික වෙලාවක් යත්දි බඩ පුරෝල දාල, හරියට අර pufferfish වගේ බඩගෙඩිය පිම්බිලා ඇවිත්, කරමින් හිටිය වැඩකටයුතු කරන්න තියා, හුස්ම ගන්නත් බැරි තද ගතියක් එන්නත් බැරි නෑ. ඇඟපත රිදෙන, බඩේ කැක්කුම් එක්ක ඊළඟ පැය ගණනාවම ගත කරන්නට වන මේ තත්ත්වයට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් වුනත්, ඒ අතරින් ගැටළු කිහිපයක් ඇති කරන්න පුළුවන් ප්රධාන හේතුකාරකයා අපේ කෑම එකේ ඉන්න පාං පිටි වෙන්නත් පුළුවන්.

ඔව්, පාං පිටි කියල අප පොදුවේ කියන, තිරිඟු පිටි වල (තිරිඟු විතරක් නොවේ, බාර්ලි, රයිල් වගේ සමාන ධාන්ය වර්ග වල) තියෙන එක්තරා ප්රෝටීනයක් ඔබට මේ අපහසුතා ඇති කරනවා වෙන්නත් බැරි නෑ. තිරිඟු ඇටේට , අවශ්ය කරන ශක්තිය, බැඳීම් පවත්වා ගන්න වගේම, තිරිගු ඇටේ කවද හරි ලොකු වෙන්න , තිරිඟු පැළයක් වෙත්දි අවශ්ය උදව් කරන්නට ඉන්න මේ ග්ලූටන් කියල ප්රෝටීනට, තිරිඟු පිටි, එහෙම නැත්නම් පාංපිටි එක්ක ඇවිත් අපටත් “උදව්” කරනවා බේකිං වලදි.

🌾පිටි මෝලියේ ග්ලූටන්

ඔබ ගෙදරදි බේකිං කරනවා නම් පාං පිටි වලට වතුර දාල අනත්දි පිටි මෝලියේ එන ඇදෙනසුළු ගතිය ඇති කරන්න උදව් වෙන්නේ මේ ග්ලූටන්මයි. ඒ විතරක් නොවෙයි, පිටි ඇනිල්ලේ ඊළඟ පියවරට ගිහින්, යීස්ට් ටිකක් එහෙම දාල ටික වෙලාවක් තියත්දි, යීස්ට් හදන කාබන් ඩයොක්සයිඩ් , වායු බුබුලු විදියට පිටි මෝලිය අස්ස රඳවගෙන, කුහර හදල, බේක් කරන කේක් එකේ, එහෙම නැත්තම් පාං ගෙඩියේ මෘදු වගේම රසවත් බව වැඩි කරන්නත් මේ කියන ග්ලූටන් ප්රෝටීනය උදව් වෙනවා. දැන් මතක් කරගන්නකෝ, සාම්ප්රදායික විදියට හාල් පිටි වලින් කළ බේකිං එකකුයි, මේ පාං පිටි වලින් කළ බේකිං එකකයි වෙනස. පාං පිටි බේකිං එකේ එන මෘදු බව, සවිවර බව ඇති කරන්නේ මෙයාගේ උදව්වෙන්.

මේ කියන ග්ලුටන් ප්රෝටීන් අප හුඟක් අයට ලොකු ප්රශ්නයක් නොවේ. එය, අනෙක් ප්රෝටීන වගේම ජීරණය වෙලා, ඇමයිනෝ අම්ල විදියට දේහයට උරාගන්නව. හැබැයි සමහරෙක්ට, මේ ග්ලූටන් ප්රෝටීනට සම්පුර්ණයෙන් දිරවා ගැනීම අපහසු වෙන්න පුළුවන්. අන්න එතැනදි, හැදෙන බාගෙට දිරවූ ග්ලුටන් ( ග්ලූටන් පෙප්ටයිඩ) වල බලපෑමෙන් තමයි පෙර කී ලක්ෂණ වගේම පහත කියන්නට හදන සෞඛ්යය ගැටළු හෝ රෝග ඇති වන්නේ.

🌾ග්ලූටන් සමඟ සම්බන්ධ ප්රධාන සෞඛ්ය තත්ත්ව තුනක්

මේ ඔස්සේ ඇතිවිය හැකි රෝග/සෞඛ්යය ගැටළු ප්රධාන කාණ්ඩ තුනක් බහුලව හදුනගන්නට පුළුවන්. ඒ තමයි
සීලියැක් රෝගය , ග්ලූටන් අසාත්මිකතාවය, සීලියැක් නොවන ග්ලූටන් අතිසංවේදීතාවය. අපි දැන් මේ එක් එක් තත්ත්වය ගැන බොහොම කෙටියෙන්, සාමාන්ය ප්රජාව විදියට පොදුවේ දැනගන්නට අවශ්ය කරුණූ කිහිපයක් කතා කරමු.

🌾සීලියැක් රෝගය. Celiac Disease

මෙතැනදි වෙන්නේ, පෙර කිව්ව විදියට, ග්ලුටින් ප්රෝටීනය සම්පුර්ණයෙන්ම දිරවා ගන්න බැරිව හැදෙන අතුරුඵල gluten peptides ආහාර මාර්ගයේ පටක තුලට ඇතුළු වෙත්දි තවත් වෙනස් වෙලා, (ඒ වෙනස් කිරිල්ල කරන්නේ, tTG කියන එන්සයිමය) අමුතු දෙයක් ඇඟට ඇතුළු වුනා කියල පණිවිඩය ප්රතිශක්තිකරණ පද්ධතියට ගියාම යුද්දේ පටන් ගන්නවා. ඒ කියන්නේ, මේ “අමුතු ප්රෝටීන කෑල්ල” අවදානමක් විය හැකි කෙනෙක් කියල , දේහයේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඒ “අමුතු කෑල්ලට” පහර දෙන්න පටන් ගන්නවා.

අන්න එතැනදි තමයි ඔය ඇඟපත අමාරුකං, බඩ පුරොදාපු ගතිය , ඔළුවෙ බර ගතිය වගේ විවිධාකාර ලක්ෂණ මතු වෙන්නේ. දැන් මෙතැන යුද්දයක් වෙන නිසා, මේ පහර දීම් වල හානි, ආහාර මාර්ගයේ බිත්ති වලටත් වෙනවා. ඒවත් තුවාල වෙනවා. ඔබට මතක නම් විද්යාව පාඩම, කුඩා අන්ත්රයේ ඇතුලේ තියෙන, පෝෂක උරාගන්න උදව් වෙන ඇගිලි වගේ විලයි වලටත් මේ පහරදීම් වදිනවා. ඒව තුවාල වෙනවා, කාලයක් යත්දි විලයි වලට බැරිව යනවා එයාල සාමාන්යයෙන් කරන පෝශක උරාගැනීම හරියට කරන්නට . අන්න එතැනදි පෙර කී ලක්ෂණ වලට වඩා අවදානම් ඔස්ටියෝපොරෝසියාව, නිරක්තිය, ස්නායු රෝග, අක්මා එන්සයිම ඉහළ යාම් වගේම තවත් අවදානම් ගැටළු , ඔව් පිළිකා වර්ග ගණනාවක් සඳහා මෙය හේතුකාරකයක් වෙන්නට පුළුවන්.

🌾සීලියැක් රෝගය හඳුනාගැනීම සහ පාලනය

මෙම තත්ත්වය වෛද්ය පරික්ෂණයක්, රුධිර පරික්ෂණ කිහිපයක් සහ ආහාර මාර්ගයේ පටක පරික්ෂාවක් ඔස්සේ හදුනාගන්නට පුළුවන්. දැනට, සියයට සියයක්ම සාර්ථක ඖෂධ මෙම තත්ත්වය “සුව” කිරීම සඳහා නැතත්, ග්ලූටන් සහිත ආහාර වලින් ඉවත්විම තමයි කරන්නට පුළුවන් හොඳම වලක්වාගැනීමේ ක්රමය.

මේ තත්ත්වය අප හිතනවාට වඩා බහුල, වගේම පුංචි කාළේ නොතිබී, ටිකක් වයසට ගියාම ඇති වෙන්නත් පුළුවන්. ඔව්, ටිකක් මැදි වයසට එත්දි එන දැඩි මානසික පීඩනයන්, වගේම ආහාර රටාවන්ගේ වෙනස්වීම් , වෙනත් ඖෂධ ඔස්සේ ආහාර මාර්ගයේ බැක්ටීරියාවන් ගහණයේ වෙනස්වීමත් මෙයට විය හැකි හේතු වෙනවා.

🌾ග්ලූටන් අසාත්මිකතතාවය Gluten & Wheat Allergy

නමේ හැටියටම මේක “අසාත්මිකතාවයක්”. මේ තත්ත්වය තියෙන අයට, පාං පිටි සහිත කෑම ගත්තම ඇඟ පත කසන්න අරගෙන පළු දාල , රතු වෙලා සමහර විට හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන්. කළාතුරකින් ජීවිත අවදානමට පත්වන තරමේ අතිසංවේදීතාවයට පත් වෙලා ශ්වසන මාර්ගය ඉදිමිලා, අවහිර වෙලා හුස්ම ගැනීම නවතින තැනට යන්නත් බැරි නෑ.

මේක අසාත්මික තත්ත්වයක් නිසා, කෙනෙක්ට සමහර විට ලක්ෂණ නොදැනෙන තරමේ අඩු ලක්ෂණ මතුවීමක් වගේම, පාංපිටි වලදි අසාත්මික වුනත්, බාර්ලි පිටි වලට අසාත්මික නොවන වගේ වෙනස්කම් මෙතැනදි ඇති වෙන්නට පුළුවන්.

🌾අසාත්මිකතාව හඳුනාගැනීම සහ ආරක්ෂාව

හොඳම දේ ලක්ෂණ මතුවීම ඔස්සේ, Skin prick tests එකක් කරල, හරියටම අසාත්මික මොනවාටද කියල දැනගෙන ඒවායෙන් ඉවත්වී ඉන්න එක. ඒ වගේම මේ අයට අවදානම් මට්ටමේ අසාත්මිකතාවයක් ආවොත් එතැනදී ජීවිත ආරක්ෂාව සඳහා ඉක්මණින් භාවිතයට ගත හැකි එපිපෙන් එකක් හැම තිස්සේම තියා ගන්නවා නම් වටිනවා.

මේ තත්ත්වය නම් හුඟක් දුරට ඒ පුද්ගලයා පොඩි කාළෙ ඉඳලම තියෙන්න පුළුවන් වුනත්, සමහර වෙනස්වීම් වැඩිහිටි වයසෙදි මුලින්ම මතු වෙන්නත් පුළුවන්.

🌾සීලියැක් නොවන ග්ලූටන් අතිසංවේදීතාවය Non-Celiac Gluten Sensitivity (NCGS)

මෙතැනදිත් පෙර කී ලක්ෂණ වගේම, ඊට අමතරව බ්රේන් ෆොග් එන්න පුළුවන්. ඒ කිව්වේ, සුළු මොහාතකට හැමදේම අමතක වෙලා යනවා වගේ දැනෙන කෙටි කාළින අමතක වීම් සහිත අපහසුතා මතු වෙන්නට පුළුවන්. මේක අදාල ප්රෝටීනයේ කොටස් වලට ඇතිවන සංවේදීතාවයක් වුනත්, මෙය ඕනැම වයසකදි මතු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ, පොඩි කාළේ පාංපිටි කෑම කෑවට කිසි ප්රශ්නයක් වුනේ නැති අයෙක්ට, තරුණ වයසේදි, එහෙම නැත්නම් මැදි වයසෙදි වුනත් මතු වෙන්නට පුළුවන්.

🌾ග්ලූටන් ආශ්රිත ගැටළු හඳුනාගැනීම

මේ හුඟක් අවස්ථා වලදි කරන්න පුළුවන් හොඳම දේ තමයි, ප්රමාද නොකර රෝගය හෝ සෞඛ්යය ගැටළුව හරියට හදුනාගෙන, අදාල ගැටළු ඇති කරන ග්ලූටන් රහිත ආහාර රටාවකට ක්රමයෙන් හුරු වීම.

ඔබටත් පෙර කී විදියේ, ආහාරය සමඟ උදරාබාධ, ඒ ආශ්රිත අපහසුතා, මළපහ කිරීමේ වගේම මළපහ වල වෙනස්වීම් ඇති වුනොත් , ඒ ලක්ෂණ පාං පිටි හෝ ඒ ආශ්රිත ආහාර වර්ග සමඟ මතුවන බව හදුනාගත්තොත් ප්රමාද නොකර වෛද්යවරයෙක් හමුවෙලා පරික්ෂණ සහ උපදෙස් වලට යොමු වෙන්න.

🌾සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වීම

ඔබ, සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් බව වෛද්ය නිර්දේශය ලෙස ලැබුණොත්, ඒ සෞඛ්යය උපදෙස් අනුව ආහාර රටාව වෙනස් කරගන්න. මේ තත්ත්වයත් එක්ක “සෙල්ලම් කරන්න” එපා. මොකද, කල්ගත වෙත්දි අවදානම් ගණනාවකට මේ පුංචි ප්රෝටීනය හේතු වෙන්න පුළුවන්. ඒ වගේම, ඔබේ ආහාර වලට ග්ලූටන් මිශ්ර නොවීමට වග බලාගැනීම තමයි අමාරුම දේ වෙන්නේ. විශේෂයෙන්ම ගෙදර උයත්දි අනෙක් අයගේ ආහාර ඔස්සේ, ආහාර සැකසීම් ඔස්සේ මේ මිශ්රවීම වෙන්නට පුළුවන්. ඒවගේම ආපනශාලාවකින් ආහාර ගැනීමෙදිත් , තමන් සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වනවා නම් අදාල ආහාර සකසන්නන් දැනුවත් කර, තම ආහාරය සමඟ පාං පිටි හෝ සමාන ක්රමයක් ඔස්සේ ග්ලූටන් එකතු වීම වලක්වා ගන්නට උත්සාහ කරන්න. එය “ඔබේ ජීවිතයට” විය හැකි අවදානම් අඩු කරාවි.

🌾නිමාවට පෙර,

එහෙම නම් මේ ගැන ලිව්ව ඇති , වැඩි දුර කියවන්න කැමති අය ඉන්නවා නම් අන්තර්ජාලයේ පිළිගත් සෞඛ්යය වෙබ් අඩවි ගණනාවක් ඒ වෙනුවෙන් තිබෙනවා. ඒ වගේම ඔබේ පවුලේ වෛද්යවරයාගෙනුත් උපදෙස් සහ විමසීම් කරන්නට පුළුවන් ඔබට.

2026/08/19

2050දි, තුනෙන් එකෙන් ගැලවෙන්නට

ඩිමෙන්ෂියාව ඔබේ පවුලේ වැඩිහිටියන්ට පමණක්ද?

ඩිමෙන්ෂියාව කියන්නේ, ඔබේ අත්තම්මා, සීයාට විතරක් හැදුනු හෝ ඇති කියන හිතන තත්ත්වයක් කියලම හිතන්න එපා.

අපේ රට හුඟක් වයසට යන රටවල් අතර ඉහළින් ඉන්න තැනක්. ඒ කිව්වේ, වියපත් ජනගහණය ඉක්මණින්ම වැඩිවන රටක්.

2050 වෙත්දි සිදුවෙන්නේ කුමක්ද?

2050 වෙත්දි, දළ වශයෙන් සිරි ලාංකිකයන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 සීමාව පැනපු අය වේවි.

ඒ කියන්නේ, ඩිමෙන්ෂියාව ගැන කතා කරත්දි අවදානම් වයස් සීමාවක්.

දැන් මේ කියන තුන් දෙනාගෙන් එක් අයෙක් අතර ඔබ නොසිටීවි යැයි කියන්න පුළුවන් කාටද?

අනාගතයේ බෙහෙතක් තිබේවිද?

දැන් කෙනෙක් කියන්න පුළුවන්,

"අ‍පෝ ඒ වෙත්දි ඩිමෙන්ෂීයාවට බෙහෙතක් හදාගෙන තියේවි"

කියල.

ඔව්, සමහර විට.

නමුත්, එතැනදීත් "සම්පුර්ණ සුව" කියන වචනයට වඩා ලක්ෂණ අඩු කිරීම හෝ ඩිමෙන්ෂියාව ඇති වීම පමා කරගැනීමට උදව් වන කියන පැහැදිලි කිරීම සහිත ඖෂධ අනාගතයේ නිශ්පාදනය වෙන්නට පුළුවන්.

බෙහෙතක් තිබුණත්, එය අපට ලැබේවිද?

ඒත්, එහෙම නිශ්පාදනය වුනත්, වෙළඳපලට ආවත්, මේ පර්යේෂණ පසුපස සමහර ඖෂධ සමාගම හඹායන ආකාරය දැක්කාම, එහෙම බෙහෙතක් හැදුනත් අපේ මිනිසුන්ට දරා ගන්න පුළුවන් මිලකට එය ලැබේදැයි සැක හිතෙන තරම්.

අද ගන්න පියවර, හෙට වෙනුවෙන් කරන ආයෝජනයක්

ඒ නිසා, තවමත් නැති බෙහෙතක් ගැන හිතමින් ඉන්නවාට වඩා, ඩිමෙන්ෂියාව වලක්වා ගැනීම හෝ ප්‍රමාද කරගැනීම සඳහා කළ හැකි දේ, ගත හැකි පියවර අදම ගන්නේ නම් එය ඔබේම හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.

දැනුවත් වෙන්න

ඒ පියවර සහ තවත් තොරතුරු "ඩිමෙන්ෂියා සුව අසපුව" තුල තිබෙනවා.

ඇවිත් කියවන්න, දැනුවත් වෙන්න. ඒ තමයි ඔබ වෙනුවෙන් කළ හැකි සරළ සහ වැදගත් ආයෝජනයක්. ඩිමෙන්ෂියා සුව අසපුව

අවදානම හඳුනාගන්න

අවදානම හදුනාගන්න වගේම තවත් තොරතුරු සඳහා මෙන්ටියෝ ඇප් එකට එන්න මෙතැනින්. Mentio

2026/08/07

වනන්තරේ සංචාරේ - හත්වන කොටස(නිමාව)

කැනඩාවේ ‍ෆොරස්ට් හයික් එකක් ආරක්ෂිතව, සහ සතුටින් ඒ ගමනේ සුවය විඳිමින් යන්නට වැදගත් විය හැකි කරුණූ කිහිපයක් එකතු කරමින් ආ මේ ලිපි පෙලේ හත්වන පියවර මේ.

මේ ලිපිය තුල මෙතෙක් කතා කරමින් ආ, “විය හැකි” අනතුරු වල ඊළග පියවර සහ හයික් එකදී අනුගමනය කරන යම් සදාචාරාත්මක නීති රීති කිහිපයක් ගැන කතා කරන්නට හිතුවා.

හයිපොතර්මියාව නම් මරණීය සීතල

මේ පරිසර බලපෑම් ඔස්සේ විය හැකි අනතුරු අතරින්, කැනඩාව වගේ සීතල විය හැකි රටක මුලින්ම කතා කරන අවදානම තමයි , පරිසර උශ්නත්වය අඩුවීම තුල විය හැකි හයිපොතර්මියා කියන තත්ත්වය. දැන් කෙනෙක් හිතන්න පුළුවන්, “හයිපොතර්මියා එන්න, හුඟක් සීතල වෙන්න ඕන නේද ථ වින්ටරේ එකේ නොගියානම් හරිනේද” කියල. නැහැ, වින්ටර් ඒක විතරක් නොවේ, සමර් එකේ වුනත් මේ අවදානම මුහුණදෙන්න පුළුවන්. සමහර විට පරිසර උශ්නත්වය සෙල්සියස් දහයක් වගේ (ඒ කියන්නේ ටිකක් උණූසුම් වගේ දැනුනත්) තත්ත්වයකදී වුනත් හයිපෝතර්මියා කියන අවදානමට මුහුණදෙන්න පුළුවන්. හේතුව මේකයි, සුළගේ වේගය, එහි ආර්ද්‍රතාවය , හිරු එළිය ලැබෙන ප්‍රමාණය වගේම වේගවත් සුළංධාරාවන්ට හයික් එක තුලදී මුහුණදෙන දිශාව වගේ සාධක එකතු වුනාම ,මේ අවදානම මතු වෙන්න පුළුවන් පෙර කී උණූසුම් දවසක වුනත්. ඒ කියන්නේ ඉතින් වින්ටරේ හරි, ෆෝල් එකේ වුනත් වෙන්න පුළුවන් අවදානම ගැන වෙනම කියන්න ඕන නැහැනේ. ඒ නිසා, විය හැකි හයිපෝතර්මියා, සීතල වීමෙන් පරිස්සම් වෙන්න කළ යුතු දේ ගැන මෙහෙම කෙටියෙන් කියන්නම්.

ආ, ඊට ඉස්ස වෙලා මෙහෙම හයිපෝතර්මියා තත්ත්වයට පත් වුනොත් මතුවිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන කතා කරල ඉමු.

මුලින්ම ඉතින් සීතල වෙලා වෙව්ලන්න ගන්න එක කවුරුත් දන්නවනේ, මේ තත්ත්වය තව දුරටත් එහාට යත්දි ටිකක් කල්පනාව අඩු වෙලා යන, ‍කතා කරන එක පවා අපැහැදිලි බවට පත්වන , සමහර විට කතා කරන්නට අපහසුවන තරමට පත් වෙලා, හයික් එක යන එක තබා, ඇවිදීමටත් බැරි තරමට පත්වෙන්න පුළුවන්. අවදානම වෙන්නේ , ‍මේ මූලික ලක්ෂණ හදුනගෙන, මෙම තත්ත්වයෙන් ගැලවීමට අවශ්‍ය කටයුතු නොකළොත්, මේ හයිපෝතර්මියාව , පුද්ගලයෙක් සීතල මරණයක් දක්වා වුනත් ගෙනියන්න පුළුවන්.

අපි හිතමු, අපේ කණ්ඩායමේ කෙනෙක් මේ විදියට සීතලට ලක් වෙලා මේ කියන මූලික ලක්ෂණ කිහිපයක් පෙන්වනවා කියලා. දැන් , “අනේ මේ වෙව්ලන්න තරම් සීතලක්ද” කියල බොරු චණ්ඩිකම් දාගෙන තවත් ඉස්සරහට යන්න එපා, විශේෂයෙන්ම කඳු මුදුණ දිහාවට, හෝ වේගවත් හුලං ධාරාවන් වලට මුහුණදෙන්නට වන දිශාවට යන්න එපා.

✅හොඳම දේ, පුළුවන් තරමින් සුළඟින් ආවරණය වෙන්න බලන්න. හයික් එක තුල ගස් සහිත ප්‍රදේශයක් ඇත්නම් ඒ ඔස්සේ ආවරණයක් ගන්න. ටෙන්ට් එකක්, ‍හෝ ටාර්ප් එකක් ඇත්නම් එයින් ආවරණයක් හදා ගන්න. අඩුම තරමේ ස්ලීපිං බෑග් එකක් ඇත්නම් එය තුලට රිංගවන්න. මේ විදියට ආවරණයක් ඇත්නම් පමණක්, තෙත් ඇඳුම් ඉවත් කර , වියළි සහ උණූසුම රැදෙන ඇඳුම් අන්දවන්න. විශේෂයෙන්ම ටෙන්ට් එකක් ඇත්නම් , මේ සියල්ල කරනවා වගේම , කණ්ඩායමම ඒ ටෙන්ට් එක තුලට ඇතුළු වීමත් විය හැකි අවදානම් තවත් අඩු කරනවා ක්‍රම කිහිපයකින්. එකක්, තවත් අයෙක් මේ තත්ත්වයට පත්වීමේ අවස්ථාව අඩු කරනවා, ඒ වගේම කණ්ඩායමේ ඇඟවල් වල උණූසුම නිසා යම් උණූසුම එකතුවීමක් සිදුවෙනවා. මේ විදියට සීතල වෙලා අවදානමක ඉන්නේ පොඩි පැටියෙක් නම්, අම්ම හරි තාත්ත හරි තෙත් ඇඳුම් නොවන වියළි උණූසුම් ඇඳුම් පැලඳ සිටිනවා නම් , පැටියා සහ අම්ම ( හෝ තාත්ත) ඇඟට ඇඟ ගෑවෙන විදියට තියලා රෙද්දකින්, එහෙම නැත්නම් ස්ලීපිං බෑග් එකෙන් ඔතා ගන්න පුළුවන් නම් ‍සාර්ථක විය හැකි උත්සාහයක්.

✅හිටගෙන ඉන්නවාට , ඇවිදිනවාට වඩා පරිස්සම් මේ වෙලාවේ වාඩි වෙලා හෝ බිමට එලන්නට යමක් ඇත්නම් ඒ මත හාන්සිවෙලා ඉන්න එක. එහෙම එන්න අතරේ හීට් පැක් එකක්, උණූසුම් වතුර බෝතලයක් වගේ තියෙනවා නම් , බෙල්ල, කිහිලි, පපුව, ව‍ග‍ේ තැන්වලට ඒ උණුසුම ලැබෙන විදියට ආරක්ෂිතව ටික වෙලාවක් තබන්න.

✅දැන් මේ සියල්ල කරලත්, අදාල පුද්ගලයාගේ හයිපොතර්මියා ලක්ෂණ අඩු නොවනවා නම්, හෝ උග්‍රවනවා නම්, කල්පනාව අඩුවන තත්වයක් දැනෙනවා නම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමය ඉක්මණින් 911 කතා කරන එක. හුඟක් වෙලාවට කැනේඩියන් වනාන්තර ඇතුලේ ෆෝන් එකේ සිග්නල් නැති වෙන්න ඉඩක් තියෙනවා, විශේෂයෙන්ම කඳු ඉහළට යත්දි. එහෙම වුනත් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ 911 අමතන්නට පහසුකම් අද තියෙනවා.

✅හදිසියේ හරි සීතලට පත්වුනු පුද්ගලයා හුස්ම ගැනීම අසාමාන්‍ය වනවා නම්, හෝ සිහි නැතිවන (ප්‍රතිචාරයක් නොදක්වන) තත්ත්වයකට පත් වුනොත් එවන් අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු ආකාරය දන්නා අයෙක් ඉන්නවා නම් අවශ්‍ය ප්‍රථමාධාර, කෘතිම ශ්වසනය ව‍ගේම හෘද් තෙරපීම් ලබා දීමට සූදානම්ව සිටීම වැදගත්.

මේ නිසා,

වින්ටරේ හයික්ස් යනවා නම්,

ඒ ගැන අත්දැකීමක් සහ “දැනුමක්” ඇති අයෙක් , කණ්ඩායමක් සමඟ පමණක් ඔ‍බේ මුල්ම ස්නෝ හයික් එක යන්න. විශේෂයෙන්ම පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත වන හයික්. වින්ටරයේදී , සාමාන්‍ය වින්ටරය ගැලපෙන , ඇඟ උණූසුම් කරවන ජැකට්, ඇඳුම් වලට අමතරම , තවත් අමතර ඇඳුම් කට්ටලක් රැගෙන යන්න. බැටරි ඔස්සේ උණූසුම ලබා දිය හැකි මේස්, ඇඳුම් කට්ටලයක් , ගැලපෙන බැටරි ප්‍රමාණයක් පැක් එකේ රඳවා ගන්න. වින්ටරය නොවුනත් වැසි වැටෙන කාළ වලදී වගේම, සමර් එකේ උණුසුම් යැයි හිතෙන, දැනෙන දවසක වුනත් ලේයර් විදියට ඇඳගෙන යන්න. රස්නේ වැඩිවෙනවා නම් වැඩි ඇඳුම් ඉවත් කරගන්න පුළුවන්නේ. මතක ඇතිව කාළගුණය ගැන විමසීමක් කරගෙන ගමන යන්න. මේ සියල්ල කළත්, හයික් එක තුල සීතල වීමකදි, ‍මේ කියන හයිපොතර්මියා ලක්ෂණ මතුවීමකදි, බියර් හෝ වෙනත් මත්පැන් ඔස්සේ “තාවකාලිකව දැනෙන” උණූහුම් කරගැනීමක් කරන්නට එපා. එය අවදානම වැඩි කරගැනීමක් වේවි.

මේ සීතල හැර වෙනත් අනතුරු ඇත්ද?

මේ පාරිසරික අවදානමට අමතරව, හිම කඳු, හිම තට්ටු කඩා වැටීම් (විශේෂයෙන්ම ස්ප්‍රිංග් එකේ වගේම සමර් එකේ මුල් බාගයේදීත්) , අධික වැසි නිසා සිදුවන පස් කඳු කඩා වැටීම්, හයික් එකේ මග අවහිර වීම් , ඇවිදීමට අපහසුවන වගේම සමහර විටක හිරවීමට පවා හැකිවන තත්වයට මෘදු වන පස්තට්ටු වල බලපෑම නිසා “විය හැකි” අනතුරු ගැනත් දැනුවත්වීම වැදගත්. මේ වගේම, වැසි කුණාටු සහිත අවස්ථා වලදී අකුණූ ඔස්සේ අනතුරු වී‍මේ ඉඩ කඩකුත් මේ හයික් එකේදි, විශේෂයෙන්ම කඳු මුදුන් සහ තැනිතලා බිම් වලදී මතුවන්නට පුළුවන්. ‍මේ සියල්ල ගැන වෙන වෙනම පෝස්ට්ස් ලියනවා වඩා,

💡ඔය හයික් එක යන්නට සැලසුම් කරන ප්‍රදේශය ගැන පළාත් රජයේ වනජීවි කටයුතු පිළිබඳ වෙබ් අඩවිය ඔස්සේ දැනුවත්වීමත්, ඒ ඔස්සේ සූදානම්ව යාමත් හෝ අවදානම් සහිත නම් වෙනත් ප්‍රදේශයකට හයිකිං ප්ලෑන් එක වෙනස් කිරීමත් වැදගත් වේවි.

💡හදිසි අවස්ථාවකදී 911 වැනි උපකාර සේවා වල සහය ලබා ගැනීමට දැනුවත්ව සිටීමත්, ජංගම දුරකථන වල බැටරි බලය ආරක්ෂා කරගන්නට උපක්‍රම දැන සිටීම වගේම, අමතර පවර් බෑංක් කිහිපයක් , හයිකිං පැක් ඒකේ තිබීමත් , ඒ ව‍ගේම හැකියාවක් ඇත්නම්, emergency beacon රැගෙන යාමත් අවදානමකදී හොඳ පෙර සූදානමක් වේවි.

💡මේ සියල්ල වගේම, පැය කිහිපයක සිට දින ගණනාවක් යන හයික් එකකදී, ඒ ගමන ගැන හිතවත් කවුරුන්හෝ (හෝ බැක්කන්ට්‍රි හයික් එකක් නම් අදාල ආයතන), නැවත පැමිණෙන්නට සැලසුම් කර ඇති දිනය, තැන වගේ කරුණූ දැනුවත් කර තිබීමත් වැදගත්.

💡හයික් එකක් යාමට පෙර, ඒ හයික් එක් රූට් එක වගේම, අවට ප්‍රදේශය ගැන මැප් එකක් ෆෝන් එකට වගේම ප්‍රින්ට් එකක් ලෙසත් ගෙනයාම සහ , තමන් ඒ හයික් රූට් එකේ මේ අවස්ථාවේ රැදෙන තැන ගැන යම් දැනුවත්බවක්, අවදානයක් සහිතව ( අවට පෙනෙන කඳු, ගංගාවන් හෝ ඇහෙන හඬ අනුව) සිටීමත් අවදානමකින් පරිස්සම් වන්නට වගේම අවදානමකදී පරිස්සම් වන්නටත් උදව්වක්.

ලිපි පෙළ නිමා කරන්නට,

මේ විදියට ෆොරස්ට් හයික් එකක් යත්දි අනුගමනය කරන, කළ යුතු “ආචාරධර්මානුකූල” පිළිවෙත් කිහිපයකුත් මතක් කරනවා. ඒ,

🍁 කැනඩාව තුල hiking trails කියන්නේ, කිසිවෙක්ගේ, තනි පුද්ගලයෙක්ගේ, යම් ජනවර්ගයක බූදලයක් නොවේ, එය රටේ ජීවත්වන ඕනම අයෙක්ට පාව්ච්චි කළ හැකි “පොදු” තැනක්. ඒ නිසා, කුමන ප්‍රදේශයක හයික් එක ගියත්, තමන්ගේ වගේම හයික් එක‍ේ යන අනෙක් පුද්ගලයාගේ ගෞරවයත්, වටිනාකමත් රැකගෙන, අනෙකාට තබා වන සතෙකුට, ගහ කොළටවත් බාධාවක්, පීඩාවක් ඇති නෙවන ලෙස සතුටක් ලබන්නට උත්සාහ කරන්න, හුරුවන්න.

🍁 ගෙනා හැමදේම ගෙනියන්න. කිසිවක් හයික් එක තුල ඒ වනාන්තර ප්‍රදේශ වල දමා එන්න එපා. ඔබේ පිය සටහන් පමණක් ඒ බිමේ රැඳුනාම ඇති. කෑම ඔතාගෙන ගිය කොළ, පැකට් ආහාර වල කවර තබා, ඔබ ගෙන ගිය පළතුරු ආහාරයට ගත් පසු ඉතිරිවන පොතු, ලෙලිවත් එහි දමා එන්න එපා.

🍁 හයික් එක තුලදී දැක විඳ සතුටුවනවා විනා, මල් අතු, සතුන්ගේ ඇටකටු වැනි කිසිවක් හයික් එකෙන් ගෙදර එත්දී අරගෙන එන්න එපා. එය ඒ පරිසර පද්ධතියට බාධාවක් වගේම, සමහර විට නීතිමය වැරදිකරුවෙක් වීමටත් හේතුවෙක් වේවි.

🍁 හයික් එක සඳහා සළකුණූ කළ මඟ හැර කෑලෑව අස්සෙන් හයික් එක යන්න එපා, ( විශේෂ පුහුණුවක් සහිත බුෂ්වැකිං හයික් එකකදි හැරෙන්නට) , පාරවල් කපන්න එපා.

🍁 හයික් එක අතරේ වැසිකිළි යන්නට අවශ්‍ය වුනොත් ඒ සඳහා තනා ඇති වැසිකිලි භාවිත කරන්න, එසේ නොහැකි වන අවස්ථාවකදී ජලාශයක් , දියපහරකට අඩුම තරමේ මීටර හැත්තෑවක්වත් ඈතින් ( ඒ කිව්වේ, කැනඩාවේ විදියට කිව්වොත්, අර කහපාට ස්කූල් බස් හතක විතර දුරින් අඟල් හයක් හතක් පමණට හාරාගත් වලක් ඒ සඳහා යොදා ගන්න. හැබැයි පිරිසිදු කරන්නට ටිෂූ පාව්ච්චි කළොත් ඒවත් අර වලටම දාල වන්න නම් එපා. මේ wet wipes, tissues, tampons, pads, ‍හෝ සනීපාරක්ෂක තුවා වගේ දේවල් හයික් එකේ, වනාන්තරේ අස්සේ දාල එන්න එපා. ඒවා සීල් කරන්න පුළුවන් බෑග් එකක (සිප් ලොක් බෑග්) දාගෙන ඇවිත් ගාබෙජ් බින් එකකට දාන්න.

🍁 කතාබහ කරමින් යන්න, නමුත් මහ හඬින් ගීත ගයමින්, බෙර හෝ වෙනත් සංගීත භාණ්ඩ, රේඩියෝ , බූම්බොක්ස් වාදනය කරමින් හයික් එක යන්න එපා. එය වනාන්තරේ සුවය විඳින්නට ආ අනෙක් කෙනාට බාධාවක් වගේම වනසතුන්ටත් පීඩාවක්. ඔබ කැමති නම් හයික් එක අතරේ සිංදුවක් අහන්න, ඒ සඳහා එක ear bud එකක් ( එක් කණකට පමණක්) හෝ Bone-conduction පහසුකම් සහිත හෙඩ් ෆෝන් එක්ක පාවිච්චි කරන්න. කිසිම වෙලාවක කන් දෙකම වහගෙන, අවට පරිසරය නොඇහෙන විදියට මේ හයික් යන්න එපා.

🍁 කඳු සහිත හයික් එකක නම්, හයික් එකේ ඉහළට එන හයිකර්ස්ලාට ඉඩ දෙන්න. Trail එක හුඟක් පටුනම් ආරක්ෂිතව පැත්තකට වී, ඉහළට එන හයිකර්ස්ලාට එන්නට ඉඩ ලබා දෙන්න.අශ්වයන් පිටේ යන හයිකර්ස්ලාට ඉඩ දෙන්න, ඔවුන් පසුවන තුරු කළබල නොවී සහ කළබල , අධික ශබ්ද, ෆ්ලෑෂරය සහිතව පිංතූර ගැනීම් නොකර ඉන්න.

🍁 Trail එකේ දකුණින් පේලියක් ලෙස කණ්ඩායම ඉදිරියට යන්න, වෙනත් හයිකිං ගෲප් එකක් පහුකරත්දි, වමෙන් ඉස්සර කරන්න.

🍁 සුරතල් සතුන් ගෙනයනවා නම් ඔවුන් පාළනය කරගත හැකි ආකාරයකට, සහ ආසන්නයෙන් රැගෙන යන්න. ඔවුන්ගේ මළපහ, ඉතිරි වූ කෑම කැලේ දමා එන්න එපා, සීල් කළ හැකි බෑගයක දමාගෙන විය , හයික් එක කෙළවරේ ඇති කසල බින් එකට දාන්න.

එහෙම නම් මෙතැනින්, මේ ෆොරස්ට් හයික් කතාව අවසන් කරනවා. මේ සියල්ල ලියවුනේ, වනාන්තර සහ වලසුන් ගැන දැනුවත් කිරීමේ ස්වෙච්චා නිලධාරියෙක් ලෙස ලබා ගත් දැනුම, වගේම අවුරුද පහලොවක් විතර මේ කැනේඩියන් කැලෑ , කඳු අස්සේ “කැලෑ වදිමින්” ලබා ගත් අත්දැකීම් වගේම, ඒ අත්දැකීම් ඔස්සේ වූ පෙළඹවීම් නිසාවෙන් ලබාගත් තවත් විශේෂ පුහුණු සහ දැනුම යාවත්කිරීම් ඔස්සේ.

තවත් බොහෝ දේ ලියන්නට ඇතත්, විමසා බලා දැනුවත්වීමටත්, ඒ ඔස්සේ “දැනුවත්ව, සහ විමසිලිමත්ව හයික් එකක් ගොස් සතුටක් ලබන්නට” ඔබට ආරාධනා කරමින් මේ ලිපි පෙළ නිමා කරනවා.

කෙසේ වෙතත්, ඔබට විමසීමට යමක් ඇත්නම්, www.recmike.ca හි, Who AM I පිටුව ඔස්සේ ඇති ඇමතුම් ක්‍රමය‍ ඔස්සේ ගැටළුවක් යොමු කළොත්, ඊළඟ සතියේදී ගැටළුවට අදාලව මගේ අත්දැකීම් සහ දැනුම මත පිළිතුරක් එකතු කරන්නම්.

එසේ නම්,

සොබාදහම ලබා දෙන සුවය විඳින්න, හුස්ම ගන්න, “ජීවත්‍ වෙන්න”

2026/08/01

හොඳම එකද, එකම ඇත්තද?

"මං දන්නේ නෑ, ඔබ මොන ආගමේ හෝ කුමන ඇදහීමක සිටින්නෙක්ද කියලා, ඒත් මිත්‍රයා, මේ ජීවිතේ නිමාවේ අප අපේක්ෂා කරන ස්වර්ගයට යන්නට නම් මේ පත්‍රිකාව කියවන්න, තේරුම් ගන්න. ඒ ඔස්සේ අපේ ආගමික මධ්‍යස්ථානයට එන්න. ඔබට යහපතක්ම වේවි"

පහුගිය දිනෙක, මගේ රැකියාවේ අවශ්‍යතාවයක් වෙනුවෙන්, එක්තරා ප්‍රජා ආයතනයකට ගිය වෙලාවේ, අහම්බෙන් මා අසලට ආ පුද්ගලයෙක් මා අත තැබූ පත්‍රිකාවක් සහ ඔහු ලබා දුන් දේශනයත් එක්ක, මං වැඩිය කතා කරන්න අකමැතිම, ආගම් සහ ඇදහීම් කියන මාතෘකාව ඔස්සේ වෙනත් කරුණක් ගැන කතා කරන්නට හිතුණා. ඒ ඔස්සේ මේ ලිපිය ලියන්නට පෙළඹීමක් ඇති කළේ, ඒ මිත්‍රයා කළ ප්‍රකාශයක්.

"ඔය මොන ආගම් තිබුණත්, මෙය තමයි මෝක්ෂයට/ස්වර්ගයට/නිවනට (ඕන වචනයක් දාගන්න) යන්න තියෙන මග පෙන්වන -එකම සත්‍යය- මේක. මං කැමතියි ඔබත්, අපට එකතු වෙනවා නම්."

ඔහු එය කිව්වේ, හුඟක් සංවේදී සහ භක්තිමත් බවකින්.

ඒ හමුවීමෙන් පසු ඇති වූ සිතුවිලි

ආගමක් හෝ ඇදහීමක් ලෙස ලේබලගත වීමකින් නිදහස්වී ඉන්න මට, ඒ හමුවීම, මිනිස් චර්යාව ගැන විමසීමක් කළ හැකි තවත් එක් හමුවිමක් මිස හැර ඊට වඩා කිසිදු වටිනාකමක් තිබුණේ නැහැ. නමුත්, ඒ හමුවීම ඔස්සේ හිතට ආ කරුණූ කීපයක් දිගු සති අන්තයක ලැබුණූ විවේකයේ අකුරු කර තබන්නට හිතුවා, කවුරුන් හෝ කියවා යමක් හිතන්නට ගනීවි කියන අදහසින්.

"හොඳම" සහ "එකම" ගැන අපි කියන කතා

"අපේ පුතා ඔය වගේ වැඩ කරන්නේ නෑ, දාහෙන් හොයා ගන්න බැරි හොඳම දරුවෙක් ඒ."

"උඹලයි අප්පච්චි වගේ කැපවෙන තාත්ත කෙනෙක් මේ ලෝකේ වෙන හොයාගන්න නෑ"

"ඔය එක එක රටවලට ගියාට, මේක තමයි ලෝකේ හොඳම රට"

"මේ දේශනා තමයි එකම සහ නිවැරදිම දහම"

මෙන්න මේ වගේ කතාබහ ඔබට වගේම මටත් ඕන තරම් ඇහිල ඇති. දැන් අර මුල් කතාවයි, මේ කතාවනුයි අතරේ සම්බන්ධයක් තියෙනවාද කියල ඔබ මගෙන් අහන්න පුළුවන්. ඔව්, අන්න ඒ සම්බන්ධය ගැන තමයි අද ලිපිය.

"හොඳම" කියන විට සිදුවන සැසඳීම

අපි මේ වගේ "හොඳම", එහෙම නැත්නම් "හොඳම එක", "ලෝකෙටම එකයි" වගේම "එකම ඇත්ත" වගේ ඕන තරම් අහල වගේම සමහර විට කියලත් ඇති. මේ හැම වචනයක් පිටුපසම අපූරු මනෝ විද්‍යාත්මක චර්යාවන්, සිතුවිලි රටාවන් සැඟවිලා තිබෙනවා. සමහර විට දැනුවත්ව, බොහෝ විට නොදැනුවත්වම.

ඔය ඉහළ ලියාගෙන ගිය "කතා" තුල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ, "හොඳම" සහ "එකම" කියල වර්ග කරගත්තොත් ඔය "හොඳම" කියන වචනේ එක්ක එන ප්‍රකාශයන් තුල, එය ප්‍රකාශ කරන්නා, අදාල දෙය පිළිබඳව සැසඳීමක් සහිත අදහසක් කියන්නේ. උදාහරණයක්, "මෙයා තමයි හොඳම ළමයා" කියත්දි, අනෙක් ළමයි ගැනත් පොඩි සැසඳීමක් කරනවා.

"ඔයාට මනෝ විද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්න හොඳම පොත මේක" කියල කියත්දි, ඒකෙනා, මනෝ විද්‍යාව ගැන ඉගෙන ගැනීම පටන් ගන්නට වැදගත් විය හැකි අනෙක් පොත් ගැන සැසඳීමක් සහිතව තමයි අදහස ප්‍රකාශ කරන්නේ. එයා දන්නවා, විශ්වාස කරනවා තවත් පොත් තියෙනවා, ඒවයෙත් යමක් ගන්නට තිබුණත් මේක තමයි "හොඳම" පොත කියලා. මේ අවස්ථාව comparative claim එකක්, එහෙම නැත්නම් සංසන්දනාත්මක ප්‍රකාශයක් විදියටයි නම් කරන්නේ.

"එකම" කියන විට සිදුවන වෙනස

දැන් මේ හිතීමේ ක්‍රමයේ ඊළඟ අවස්ථාව තමයි "එකම" අවස්ථාව. ඒ කියන්නේ කෙනෙක් කියනවා නම්, "මනෝ විද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්න තියෙන එකම පොත මේක" කියලා, අන්න ඒ ප්‍රකාශ කිරීම තුල, ඒ හිතුවිලි හැසිරීම තුල, තවත් පොත් ඇත්දැයි විමසීමට පෙළඹෙන්නේ නැහැ, හෝ මෙවන් වෙනත් පොතක් නැතැයි කියන තීරණයේ ඉන්නවා.

"එකම සත්‍යය" සහ Need for Cognitive Closure

දැන්, අර මිත්‍රයා කීව, "මේක තමයි එකම සත්‍යය" කියත්දි දැනුවත්ව හෝ නොදැනුවත්ව, අනෙක් "සත්‍යයන්" නොපිළිගැනීමට, හෝ අනෙක්වා "සත්‍යයන්" ලෙස පිළිගැනීමට අකමැති වෙනවා. සමහර අවස්ථාවකදි, "සත්‍යයන්" ලෙස ඇති අනෙක් අදහස් අහන්නට, විමසීම තුල ආවේගකාරී වෙන්නට පවා පුළුවන්. මේ absolute claim හිතන්නට, ප්‍රකාශ කරන්නට උත්සාහ කරන පුද්ගලයා වෙනත් "විය හැකියාවන් ගැන" හිතන්නට පෙළඹෙන්නේ නැහැ, එහෙම නැත්නම් ඒ විදියට "වෙනත් විය හැකියාවක් ඇත්ද" කියල හිතන්න අකමැත්තක් දක්වමින්, තමන් විශ්වාස කරන "එකම ඇත්ත", තනි උත්තරයක් විදියට පිළිගන්නයි කැමැත්ත. මේ තත්ත්වය මනෝ විද්‍යාවෙදි "need for cognitive closure" සංකල්පය ලෙස හඳුන්වා දෙනවා.

අවිනිශ්චිතතාවය සහ Existential Anxiety

මීට හොඳම උදාහරණයක් විදියට, ජීවත් වෙත්දි මොනවා වේද කියල හිතනවාට වඩා, මරණින් පස්සේ කුමක් වේදෝ කියන "අවිනිශ්චිත" ගැටළුව තුල පීඩාවට, කාංසාවට (Existential anxiety) පත්වන පුද්ගලයා ආයේ වෙන "විය හැකියාවන්" ගැන හිතන්නේ නැතිව තමන් පිළිගන්නා "එකම සත්‍යයේ" රැඳී ඉන්නවා. විශේෂයෙන්ම, තම පිළිගැනීම, ඇදහීම, විශ්වාසය, හෝ ආගම "එකම සත්‍යය" ලෙස පිළිගනිමින්, එය තම ජීවිතයේ වැදගත්ම කොටසක් වෙත්දි (Identity fusion), සමාන පිළිගැනීමක ඉන්න කණ්ඩායමක කොටසක් වුනාම, තමන්ගේ "එකම සත්‍යය", ඇත්තටම "සත්‍යදැයි" හිතන්නටවත් බිය වෙනවා, එහෙම නැත්නම් තම පිළිගැනීම ගැන තර්ක කරන්නට අකමැති වෙනවා.

Confirmation Bias සහ Motivated Reasoning

දැන් "එකම සත්‍යය" ලෙස පිළිගන්නා අය මේ විදියට හැසිරෙත්දි, අර මුලින් කී "හොඳම" දෙය ලෙස තම පිළිගැනීම තියා ගන්න අය, අනෙක් අදහස් අතරේ, තමන්ගේ විශ්වාසය නිවැරදි බව තහවුරු කිරීමට උදව්වන කරුණූ සොයමින්, ඊට විරුද්ධ අදහස් ඉවත් කරමින් Confirmation bias මත රැදී ඉන්න කැමති වෙනවා. ඒ අතරේම, තමන් "හොඳම" දෙය ලෙස පිළිගන්නා දෙය (ඇදහීම, ආගම, හෝ වෙනත්) නිවැරදිය කියන අදහස ඔස්සේ තමන්ගේ පිළිගැනීම නිවැරදිය කියල තහවුරු කරගන්නට ඕන දේවල් එකතු කරගන්නවා (Motivated reasoning).

Idealization: "හොඳම" දෙය ආරක්ෂා කිරීම

මෙන්න මේ හිතුවිලි රටා දෙක තුලම ගැටළුකාරී විය හැකි අවස්ථාවකුත් හඳුනගන්නට පුළුවන්. ඒ කියන්නේ, මේ විදියට "හොඳම" හෝ "එකම" විදියට ඉහළින් පිළිගන්න දෙය, පිළිගන්න කෙනා තුල යම් අඩුපාඩු හෝ වැරදි හඳුනාගත්තත් ඒවා බාර නොගෙන, පිළිනොගෙන තම පිළිගැනීම හෝ පිළිගැනීමට ලක්වන්නා රැක ගන්නට ටිකක් සැර, දරුණු චර්යාවකට වුනත් එන්න බැරි නෑ. මේ විදියට "තමන්ගේ පිළිගැනීම" හොඳම එක බවට පරිස්සම් කරගන්නට දරන මානසික පෙළඹවීම සහ ඒ ඔස්සේම ‍යම් අඩුපාඩුවක් දැක්කත් නොදැක්කාසේ ඒවා පිළිනොගනිමින්, ඇත්ත තත්වයටත් වඩා "ඉතා හොඳ" වගේ පිළිගැනීමක සිටීම Idealization ලෙසයි හඳුන්වන්නේ.

Halo Effect: එක් හොඳකින් සම්පූර්ණ හොඳක් දැකීම

මේ Idealization වලට වඩා "අවදානම් විය හැකි" තවත් ක්‍රමයක් ඔස්සේ තම පිළිගැනිම, තමන් "හොඳ යැයි" පිළීගන්නා දේ පරිස්සම් කරගන්නට දරන අනෙක් මානසික පෙළඹවීම halo effect කියලයි මනෝ විද්‍යාත්මක පරිසරය තුලදී හඳුන්වන්නේ.

මෙතැනදි වන්නේ, යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක "එක හොඳක්" ඔස්සේ, ඒ සම්පුර්ණ පුද්ගලයා හෝ ඒ සම්පුර්ණ දේම "හොඳම" ලෙස පිළිගන්නට අපේ මනස කරන පෙළඹවීමයි (මෙය හෝ එහි සම්පුර්ණ අනෙක් පැත්ත, ඒ කිව්වේ, එක වරදක් නිසා එම පුද්ගලයා සම්පුර්ණයෙන්ම නරක ලෙස හෝ එම දෙය සම්පුර්ණයෙන්ම නරක දෙයක් ලෙස පිළිගැනීම reverse/negative halo effect එහෙම නැත්නම් horn effect ලෙසත් හඳුන්වනවා). මේ තුල විය හැකි අවදානම වෙන්නේ, "එකම හොඳකින්" ඒ සම්පුර්ණ පුද්ගලයා හෝ දෙය දෙස "හොඳම" පිළිගැනීම සහිත කන්නාඩියෙක් බලන්නට යාම තුල, තිබෙන හෝ තිබිය හැකි නරක පවා නොපෙනෙන, නොපිළිගන්නා තත්ත්වයකට පත්වීමයි.

අන්දන Halo Effect

රැස්වීමක ඉතා චතුර ලෙස කතා කරන කථිකයෙක් දෙස බලා සිටින කෙනෙක්, ඒ පුද්ගලයා ඉතා උගත්, පරිණත, බුද්ධිමත් තීරණ ගත හැකි අයෙක් ලෙස ඉතා ඉහළ පිළිගැනීමක් සහිත "රැවටීමකට" ලක්වෙන්ටත් බැරි නෑ මේ Halo effect එක නිසා.

"හොඳම" සහ "එකම" කියන විට නැවත සිතමු

ඒ නිසා "හොඳම", "එකම" කියත්දි, හිතත්දි හුඟක් පරිස්සම් වෙන්නට ඕන බව විතරක් මතක් කරමින්, ඒ ඔස්සේම, "හොඳම" හෝ "එකම" ලේබලය ඔස්සේ ඔබ පිළිගන්නා දෙය, පුද්ගලයා, සිදුවීම "ඇත්තටම එසේ විය හැකිදැයි" නැවත විමසා බැලීමක් කරන්නට, සසඳා කරුණූ ගලපා ගැනීමක් කරන්නටත් ඒ ඔස්සේම ආරාධනා කරමින්, අද ලිපිය නිමා කරනවා.

වනන්තරේ සංචාරේ - හයවන කොටස

ෆොරස්ට් හයික් එකක් යන්නට සූදානම් වන, එහෙම නැත්නම් ඒ ගැන හිතන අපේ මිතුරන්ට උදව්වක් වෙනුවෙන් සහ දැනුවත්වීමක් වෙනුවෙන් ලියාගෙන යන ලිපි පෙළක , තවත් පියවරක් මේ.

පහුගිය ලිපි තුලින් අප ලොකු ලොකු සතුන් සහ ඔවුන්ගෙන් විය හැකි අනතුරු ගැන කතා කළත්, අද කතා කරන්නේ, “ලොකු අනතුරක්” විය හැකි “පොඩි සතෙක්” ගැන. ඒ තමයි Tick. අපි “කිණිතුල්ලා” කියල ලංකාවෙදි හදුන ගන්න, පුංචි ජීවියාට බොහෝ සමාන, අපි වගේ “සතෙක්”ගේ ඇඟට ඇමිණිලා, සමට හයිවෙන තරමට බැඳිලා, සම විඳගෙන ඒ කිට්ටුව තියෙන ලේ නහර වලින් උරා බොන ලේ වලින් පෝෂණය වන මේ කකුල් අටේ පුංචි ජීවියා , සමහර අවස්ථාවකදි තමන්ට බොන්නට ලේ දුන් තැනැත්තාට ජීවිත කාළය පුරාම විඳවන්නට, සමහර විට ජීවිතය පවා නැතිවන්නට හේතුවන “තෑගි” දෙන්නට ඉඩ තියෙනවා. ඒ එක, තෑග්ගකට සෞඛ්යය විද්යාත්මකව කියන නම තමයි ලයිම් ඩිසීස්, Lyme disease කියලා. සාමාන්ය උණකින් , ඇඟපත වේදනාවකින් පටන් ගෙන කෙටි කාළයක් පවතින පේෂි වල තාවකාලික අප්රාණීක වීම් වල සිට, කාළයක් පවතින හෝ ජීවිත කාළය පුරාම විඳවීමට හේතුවන සන්ධී, හෘද මෙන්ම ස්නායුමය ආබාධත් ඇති කරන්නට පුළුවන් මේ Lyme disease ඔස්සේ. විශේෂයෙන්ම මුලින්ම හඳුනාගෙන නිසි ප්රතිකාර ලබා නොගත්තොත්.

🌳ලෙඩ දෙන ටික්(කෝ)

මේ Lyme disease වලට අමතරව, ටික්ස්ලා අපේ ඇඟට වෙනත් වයිරස , බැක්ටීරියා ඇතුළු කරන්නත් ඉඩ තියෙනවා. ඒ ඔස්සේ ඇඟ පුරා ලප දැමීම, අධික උණ, තෙහෙට්ටුව වගේ රෝග ලක්ෂණත් ඇති කරන්න පුළුවන්.

මේ විදියට අපට (වගේම අපේ හුරතල් සතුන්ටත්) ලෙඩ දාන්න සමත්, ලේ උරා බොන ටික්ස්ලා වර්ග කීපයක් කැනඩාව පුරා වනාන්තර, වනාන්තර නිමාවන සීමාවන් වල ඉන්නවා. ඒ අතරින් හුඟක්ම අවදානම්, Lyme disease ඇති කරන්නට පුළුවන්, ඉතාමත්ම කුඩා, “හිස් බඩට” ඉන්න වෙලාවක නම් මිලි මීටර දෙක තුනක් තරම් පුංචි , හැබැයි ලේ බීලා බඩපුරෝගත්තම, ඒ වගේ තුන් ගුණයක් විතර ලොකු වෙන Deer Tick (Blacklegged Tick) කියන අය වැඩිපුර ඉන්නේ, ඔන්ටාරියෝව, කබෙක් , ඇට්ලාන්ටික් පළාත් පැත්තට වෙන්න. මැනිටෝබා වලත් ඉන්න පුළුවන් හැබැයි වැඩිපුර ඉන්නේ, අර මුලින් කී පැති වල.මේ කළු කකුල් ටික්(කා)ගේ අවදානම හුඟක් වැඩි අප්රේල් , ඔක්තෝබර් වගේ කාළ අතරෙදි, මොකද පරිසර උශ්නත්වය සෙල්සියස් හතරට වගේ අඩුවුනාම මෙයාල වැඩිය වැඩ දාන්නේ නෑ.

අපේ , ඇල්බර්ටාව , බ්රිටිෂ් කොළොම්බියාව සහ සස්කචවාන් පැත්තෙත් වැඩිපුර ඉන්නේ, කණ කකුල් තියෙන අවට වඩා ලස්සන, රතු කකුල් තියෙන පස්ස දිස්නෙ ගහන අය. මේ රතු කකුල් එළියට දාගෙන පස්ස දිස්නෙ ගහන්න හැඩ කරගෙන ඉන්න ගමන් , අපේම ලේ උරා බීලා, අපට උණ, ඇඟපත රුදා හදන මේ ටික්ස්ලා කාණ්ඩයට කියන්නේ, Rocky Mountain Wood Tick කියලා. මේ රතු කකුල් ඇති කඳු ටික්(කා) ඔස්සේත් විවිධ වෛරස සහ බැක්ටිරියා රෝග ඇතිකරවන්නට පුළුවන්. ලයිම් ඩීසීස් ඇති කරවන අවස්ථා අඩුවුනත්, Rocky Mountain spotted fever වගේ උණ, ඇඟපත රුදා, කාළයක් පවතින “කියාගන්නට බැරි අමාරුකම්” ඇති කරවන රෝග මෙයා නිසා අපට ඇති වන්නට පුළුවන්.

🌳ඇන නොපනින ටික්(කෝ)

හැබැයි දැන් මේ ටික්ස්ලා නිසා ලෙඩ ඇතිවෙනවා කිව්ව ගමන් බය වෙන්න එපා. මෙයාල, අර පොළොඟ වගේ පැනල දෂ්ඨ කරන්නේ නෑ. එහෙම නැත්නම් මේ පැත්තේ ඉන්න රාජකීය මදුරුවෝ වගේ ඇන්න පැන්න කරන්නෙත් නෑ. අප වනාන්තරේ ඇවිදගෙන යත්දි, උස තණකොළ, පඳුරු , දිරායන කොළරොඩු තියෙන, මෙයාලගේ රාජධානි හරහා යන්න ගියොත්, නැත්නම් ඒ රාජධානි වල රැඳිල ඉඳිමින් කාළෙ ගත කළොත් , කාටවත් නොදැනී, අපේ හමට ලංවෙලා, එයාලගේ චූටි “හොටෙන්” පුංචි සිදුරක් හදල, “ජීවිතේ ඇතිතුරා ඔයාව දාල යන්නේ නෑ” කියන තරමට ලංවෙලා ටිකෙන් ටික ලේ උරා බොන එක. ඒ බොත්දි, හංගන්න බැරි ඉඩ ලොකු වුනත්, අපට හොරා මේ ඔක්කොම වැඩ ටික කරගන්නට “ටික්”ට පුළුවන්. (අපට හොරා කිව්වේ, අප විමසිලිමත්ත නොවුනොත්).

හැබැයි ඉතින් ආදරේට ලංවෙලා, ඇන්න ගමන්ම “ලෙඩ තෑගි” දෙන්න තරම් මෙයාල වංචනික නෑ හුඟක් වෙලාවට. අපට ඔය ලෙඩ රෝග ඇති කරනව විෂබීජ තෑගි දෙන්නට සාමාන්යයෙන් පැය 24ක් 36ක් විතර ගන්නවා. (දළ වශයෙන් ටික්(කා) දවස් දෙකක් විතර ඇඟට ඇළිලා ලේ උරා බොමින් ඉන්න ඕන).

ඒ කියන්නේ, මේ ෆොරස්ට් හයික් එක යන ඔබ මේ කාළ සීමාව ගැන දැනුවත්ව සිටීම හරිම වැදගත්. ඒ කියන්නේ, හයික් එකක් අතරේදි යම් සැකයක් හෝ පුරුද්දක් විදියට වරින්වර විමසීමක් කරනවා වගේම, හයික් එක අවසන් වුනු ඉක්මණින්ම, ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න එක , ඒ කිව්වේ, වෛද්යවරයෙක් ලවා නොවෙයි, තමන්ගේ ඇඟපත හොඳින් පරික්ෂා කරල , ටික්ලා ඇලිලා ඉන්නවද කියලල බලන එක වැදගත්.

🌳ටික්(කා) ගෙන් පරිස්සමට

මෙයාලගෙන් විය හැකි අනතුරු වලින් පරිස්සම් වෙන්න ගන්න පුළුවන් පියවර කීපයක් ඊළඟට කෙටියෙන් කතා කරමු.

💡 හයික් එකක් යත්දි, අත්, පා හොඳින් ආවරණය වන ඇඳුම් අඳින්න. හිස, කොණ්ඩය ආවරණය විදියට තොප්පියක්, කැප් එකක් දාන්න. (සම එළියට අනාවරණය වන ප්රමාණය අඩු කරගන්න.)

💡 දිගු කළිසම, මේස් වලට ඇතුළු කරලා, ෂර්ට් එක ඉනට හොඳට රිංගවලා අඳින්න. (ඔය කැලේ ඇතුලේ ඇඳුම ඇඳපු හැඩ බලන්න කවුරුවත් නෑ, මේ විදියට ඇන්දාම, ටික්ට, කකුල් ඔස්සේ ඇවිත් දේහයේ ඉහලට ඇවිත් හැංගෙන්න ඉඩ අඩු වෙනවා)

💡 කැලේට ඇතුළු වෙන්න ඉස්සර වෙලා නිරාවරණය වුනු හමට DEET (20%–30%) or Icaridin/Picaridin (20%) ඒවායේ ඇති උපදෙස් පරිදි ආලේප කරගන්න.

💡 හොඳ හයිකිං බූට්ස් පළදින්න, සහ ඒවා වටා 0.5% Permethrin ස්ප්රේ කරන්න හොඳට.

💡 පුළුවන් නම් අඳුරු වර්ණ වල ඇඳුම් වලට වඩා මෘදු වර්ණ ඇති ඇඳුම් ඇඳගෙන යන්න. මොකද එතකොට ටික් කෙනෙක් නැග්ගොත් ඇහැට පේනවා( බැලුවොත්)

🌳හයික් එක යත්දී පරිස්සමට

දැන් මේ විදියට ඇඟගෙන, කැලේ ඇතුලේ හයික් එක යත්දිත් පරිස්සම් වෙන්න ඕන පියවර කීපයක් තියෙනවා. (මේ උපදෙස් ,ඔබ ෆොරස්ට් හයික් එකක් යන ආරම්භකයෙක් විදියට , එහෙම නැතිව Bushwhacking කරන කෙනෙක් වෙනුවෙන් නොවේ. Bushwhacking කියන්නේ, හයිකිං වල ටිකක් සංකීර්ණ සහ අවදානම් විය හැකි හොඳ දැනුමක් සහ පුහුණුවක් වගේම ප්රදේශය ගැන පෙර දැනුමක් සහිතව කළ හැකි හයිකිං එකක්. ඒවා ගැන පස්සේ කතා කරමු)

🌿 හයික් එක යන්න, ඒ වෙනුවෙන් සූදානම් කළ මංතීරුව (trail) එක ඔස්සේ සහ එහි මැදින්. (ලංකාවෙදි පොඩිත්තක් ස්ලෝ කළ බස් එකට පැන ගන්න ක්රමේට, අපේ හමට එල්ලෙන්න බලං ඉන්න ටික්ස්ලා පාර අයිනේ උස තණකොළ වල ඉන්න බැරි නෑ )

🌿 හයික් එක අතරේ විවේක ගන්නවා නම් කොටං උඩ, පඳුරු අස්සේ, තණකොළ උඩ වාඩිවෙන්න, හාන්සි වෙන්න වගේ වීරක්රියා කරන්න එපා. කෙටි විවේකයන් සඳහා හදපු බංකු තියෙනවා නම් ඒ වගේ තැනක් එහෙම නැත්නම් විවේක ගන්නට වාඩි වෙන්න තනි වර්ණයේ හෝ හැඩ රටා ලා පැහැති වර්ණ ඇති ප්ලාස්ටික් මැට් එකක් අරගනෙ යන්න. (නෑ ඔය පං පැදුරු අරං යන්න එපා)

🌿 හයික් එක අතරේත්, පඳුරු, තද කැලෑ ප්රදේශයෙන් පැහැදිලි එළිය වැටෙන ප්රදේශයකට ආවාම, (අපට පරිස්සම් නම්) පොඩි චෙකප් එකක් දාන්න. ඒ කිව්වේ, නිරාවරණය වුනු හම, සමහර විට ඇඳුම් යට , විශේෂයෙන්ම කකුලේ පහල ප්රදේශ වල පොඩි චෙකප් එකක් දාන්න. ගෙදරින් එත්දි තිබුණාට වඩා වෙනස් යමක් තියෙනවාදැයි.

🌳ගෙදර ආ ගමන්!

හරි, දැන් පරිස්සමට හයික් එක ගියා. ගමන ඉවරයි කියලා තවත් පැය ගාණක් සන්තොසේ බෙදාගන්න කයිවාරු ගහන එක හරි ලංකාවේ අයට වීඩියෝ කෝල් ගන්න එක හරි පැත්තකින් තියලා, ගෙදර ආ ගමන් (හෝ විවේක ගන්නා ස්ථානයට ආව ගමන්) හයික් එක ඇඳගෙන ගිය ඇඳුම් ඔක්කොම ගලවලා හොඳට සීල් වෙන පොලිතීන් බෑගයට දාල , මුළු ඇඟම පරික්ෂාවක් කරගන්න. විශේෂයෙන්ම කොණ්ඩේ, බෙල්ල පිටුපස, අත් යට, කිහිල්ල,ඉකිළි, කකුල් වල ඉහළ වගේ විශේෂ අවදානම් ප්රදේශ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.

ඊළඟට හොඳට නාගන්න, හයික් එකෙන් පැය දෙකක් වගේ ඇතුලත මේ විදියට හොඳට නාගෙන , නැවතත් සම පරික්ෂාවක් කරගන්න. මොකද, හයික් එකේ මඩ , දූවිලි නිසා මුලින් ඇහට නොපෙනුනු ටික්ලා , දැන් නාල ඉන්න නිසා පේන්න පුළුවන්. ඒ වගේම, හමේ රතු ලප, තුවාල වගේ ඇතිවෙලා තියෙනවා නම් ඒ ගැනත් අවදානය යොමු කරන්න

දැන් හොඳ ඇඳුමක් දාගෙන, අර හයික් එක ඇඳන් ගිය ඇඳුම් ටික, ඩ්රයර් එකට දාල හොඳ රස්නෙට විනාඩි දහයක් විතර කරකැවෙන්න හරින්න. (නෑ නෑ හෝදන්න ඉස්සර වෙලා, පස්සේ පුළුවන් හෝදන්න. මෙහෙම රත් කරන්නේ, වැරදිලාවත් ටික්ලා හිටියොත් එයාල “සීතලෙන් මුදවා ගන්න”)

මේ ගමනේ කොතැනකදී හෝ නාන්න ඉස්සර වෙලා, නැත්නම් නෑවට පස්සේ හරි දැක්කොත් මුං ඇටයක් හමට ඇළිල වගේ තියෙනවා, ඒක මුං ඇටයක් වීමට වඩා “ටික්” කෙනෙක් වීමේ ඉඩ වැඩි නිසා, මෙන්න මේ විදියට එයාව හමෙන් අයින් කරලා දාන්න.

🌳ටික් ගලවන්න

⚠️ ඇඟිල්ලෙන් ඇදලා, ගලවල දාන්න හදන්න එපා. fine-tipped tweezers එකක් (මේක හයිකිං බෑග් එකේ තියෙන්නම ඕන උපාංගයක්) මේ වෙනුවෙන් යොදා ගන්න.

⚠️ දැන් මේ ට්වීසර් එකේ අඬු දෙක, හමට ඇලිලා ඉන්න ටික්ගේ කටට පහළින්, පුළුවන් තරමට අපේ හමට ලංවෙන විදියට රඳව ගන්න. ( ටික්ගේ බංඩි ගෙඩිය අල්ලන්න එපා මේ ට්වීසරෙන්, අපට ඕන මෙයාව සම්පුර්ණයෙන්ම හමෙන් අයින් කරන්න මිසක් පොඩි කරල වැඩි වැඩි කරගන්න නොවෙයි)

⚠️ ඊළගට, වැඩිය හොළවන්නේ කළබල කරන්නේ නැතිව ට්වීසරය ඉහළට අදින්න , ටික්ගේ කට, මූණ ඔක්කොම එක්ක හමෙන් ගැලවිලා එන විදියට.

⚠️ මේ ගලව ගත්ත ටික්, සුදුපාට කඩදාසි කොළයක් උඩ හරි, විනිවිද පේන පොලිතීන් බෑග් එකකට හරි දාල එයාගේ ක්ලොසප් පිංතූරයක් ගන්න. ෆෝන් එකේ කැමරාවෙන් සූම් කරලා, මෙයාගේ කකුල්, ඇඟපත වගේම මූණ කටත් පේන්න පිංතූරයක් අරගෙන තියා ගන්න එක පරිස්සමට හොඳයි. එයාගේ පිංතූරය ගන්න ගමන්ම, ඔයාගේ හමට එයා ඇලිල හිටිය තැනත් හොඳට පේන විදියට පිංතූරයක් ගන්න. සූම් කරල බලත්දි තාමත් ටික්ගේ අඬු එහෙම හමට ඇළිල වගේ තියෙනව පේනවා නම් හමට තුවාල නොවන විදියට ඒවා ට්වීසර් එක උදව් කරගෙන අයින් කරන්න බලන්න. බැරි නම් හම කඩාගෙන වැඩ වැඩි කරගන්න එපා.

⚠️ ටික්ව ඇලිල හිටිය, හම තුවාල වුනු ප්රදේශය හොඳට සබන් සහ වතුරින් හොදල හරින්න. පුළුවන් නම්, rubbing alcohol හෝ සැනිටයිසර් ටිකක් දාල ඒ ප්රදේශය පිහිදල දාන්න.

⚠️ දැන් ඉතිරි දින තුන හතර තුල අසාමාන්ය ලප, රතු වීම් හමේ මතුවෙනවා නම් හෝ උණ, ඇඟපත රුදාව වගේ දැනෙනවා නම් වෛද්යවරයෙක් හමුවී, රෝග ලක්ෂණ වගේම , අර ටික් විද්ද කතාවත්, ගත්ත පිංතූරත් පෙන්වන්න. මේ විමසිලිමත් බව මාසයක් වගේ යනකං තියා ගන්න එක පරිස්සම්. ඒ මාසේ ඇතුලත මේ වගේ ලක්ෂණ ආවොත්, හේතුව වෙන එකක් වෙන්න පුළුවන් වුනත් ටික්ගේ කතාව වෛද්යවරයාට කියන්න.

👀 අර ගලෝගත්ත ටික්ව හුරතලේට ඇති කරන්න තියා ගන්න එපා.

අදට ඇති, ලබන සතියේ හයික් කතාවෙන් , තවත් පාරිසරික “වියහැකි” අවදානමක් ගැන කතා කරමු.

2026/07/25

වනන්තරේ සංචාරේ - පස්වන කොටස

අද වනාන්තරේ ඇතුලේ සුව විඳිමින් හයික් එකක් යත්දි හමුවිය හැකි සහ සමහර විට හමුනොවීම අනතුරක් කළ හැකි තවත් වන මිතුරෙක් ගැන කතා කරමු. ඒ තමයි කූගර් . එයාටම තමයි පූමා, පැන්තර්, එහෙම නැත්නම් කඳුකර සිංහයා, කඳුකර බළලා විදියටත් සමහර ප්‍රදේශ වලදි නම් කරන්නේ.

හරිම හැඩකාර මේ සුන්දර මිත්‍රයා, කැනඩාවේ වගේම අමෙරිකානූ රටවල වනාන්නතර වල ජීවත් වෙනවා. සැඟවී ඉන්න කැමති, බො‍හොම වේගවත් සහ දැඩි ශක්තිමත් හනු සහ ජවයක් තියෙන කූගර් , මිනිසුන්ට අනතුරු කළ අවස්ථා, සංඛ්‍යාත්මකව ගත්තොත් නම් ඉතාමත් අඩුයි. දළ වශයෙන් කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය කියන ප්‍රදේශ දෙකම එකට ගත්තත්, අවුරුද්දකට කූගර්-මිනිස් ගැටුම් 4-5ක් වගේ තමයි වාර්තා වෙන්නේ. ඒ අතරින් මිනිස් මරණ සිදුවීම් ඉතාමත් අඩුයි. මේකට හේතුව මිනිස්සුන්ගේ තියෙන හැකියාවට හෝ දක්ෂතාවයකට වඩා, කූගර් මේ වගේ ගැටීම් වලින් ඈත් වෙලා ඉන්න ඇති කැමැත්ත.

දැන් බෙයා ඇටෑක් ගැන කියවල ඉන්න ඔබට හිතෙන්න පුළුවන් , ඔය කඳු පූසා වගේද බෙයා කියලා. ඔව් ඔය දෙන්නම , හයික් එකකදි හමුවීම අවදානමක් ගේන්න පුළුවන් මිත්‍රයෝ දෙන්නෙක්. හැබැයි පුද්ගලිකව මා නං, හයික් එකකදි බෙයා කෙනෙක් හමුවීමට වඩා කූගර් කෙනෙක් හමුවීමට අකමැත්තක් තියෙන්නේ. හේතුව මේකයි, ‍හුඟක් අවස්ථා වලදි බෙයාල ඇටෑක් කරන්නේ ඉස්සරහින්, හුඟක් වෙලාවට අහම්බෙන් හමුවීම් තමයි වෙන්නේ. ඒ වගේම ඒ ඇටෑක් එකට ඉස්සර වෙලා‍ ‍අඩි පොළොවේ ගහල, ඉස්සිලා, හැඩ වැඩ දාල තමයි සටනට එන්නේ, ආවත් එයාගේ බර සහ අත්වල තියෙන ශක්තිමත් බව උදව් කරගෙන, ගහන, හපන සහ ඇගේ බරින් යටකරගෙන ඉන්න ක්‍රමයේ සටන් ක්‍රමයක් තමයි යොදා ගන්නේ. හුඟක් වෙලාවට සටන අතරේ එකපාරම මිනිස් මිත්‍රයා මරණයට පත් කරනවාට වඩා තුවාල කරල , බය කරලා යන්න හරි හුඟක්ම බඩගිනි සහ තරහ ගිහින් නම් ඔය අතකින් කකුලකින් කෑල්ලක් කඩා ගන්න වගේ තමයි උත්සාහ කරන්නේ.

නමුත්, කූගර් ඊට වඩා වෙනස් සටන් ක්‍රමයක් යොදා ගන්නේ. බෙයා වගේ අහඹුව හමුවෙලා සටනට එනවාට වඩා කූගර් කරන්නේ, එයාගේ ගොදුර පස්සෙන් සද්ද බද්ද නැතිව කුරුමානම් අල්ලල, "හොර ගෙඩියා වගේ" ඇවිත්, හොඳට ස්ටඩි කරලා, දුර වේගය, වගේම එයාගේ ගොදුර වන්න හදන කෙනාගේ චර්යාවත් හොඳට විමර්ශණය කරලා , ගණන් හදලා,මැනලා කල් අරගෙන ඉඳලා, අර ගොදුර වෙන්න හදන පුද්ගලයාට හිතාගන්නවත් බැරි වේගයකින්, සහ ඇහෙන්නේ දකින්නවත් නැති තරම් ඉක්මණින් පිටිපසින් හෝ පැත්තෙන් ඇවිත් පැනල, බෙල්ලේ පිටුපසට ඉතාමත් ප්‍රබල දත් පාරක් වදින විදියේ හැපුමක් තරමයි කරන්නේ. ඒ හැපුම සඳහා කූගර්ගේ හනුවල ඉතාමත් ශක්තිමත් පේෂි තියෙනවා. සාමාන්‍යයෙන් කූගර් කෙනෙක්ගේ මේ හැපුමේ ප්‍රබල බව 110 BFQ ( Bite Force Quotient ) විතර, සැර ග්‍රිස්ලියෙක්ගේ මේ හැපුමේ අගය, 120 BFQ වගේ. ඒ කියන්නේ, ඇ‍ඟට සාපේක්ෂව හැපුමේ ඇති ප්‍රබල බව අතින් කූගර් ඉහළින්ම.

අනෙක, අර මුලින් කිව්ව වගේ කූගර් නිකංට ඇටෑක් එකකට එන්නෙ නෑ. එයා එන්නේ, දුර ඉඳන් බලාගෙන ඉඳලා, ගණන් හදලා, භෞතික විද්‍යා පාඩම වගේම ජීව විද්‍යාව , සත්ව චර්යාව වගේ පොත් ඔක්කොම කියවල. ඒකයි ටිකක් වෙලා ගිහින් ඇටෑක් එක කරන්නේ. හැබැයි ඒ ඇටෑක් එක වදින්නේ, හරියටම බෙල්ලේ පිටුපසට , ඒ කියන්නේ මොළයේ පහල, සුෂුම්නාවේ ඉහළ ප්‍රදේශයට. ඒ පහර දීමේ තිබෙන ප්‍රබල බව නිසා ඒ ගෙල ප්‍රදේශයේ කශේරුකා බිඳිමින්, සහ හෘදය පෙනහළු වගේ ජීවිතය පවත්වා ගෙන යන්නට අවශ්‍යම කරන අවයව, ඉන්ද්‍රිය පාලනය කරන ප්‍රධාන ස්නායු කඩා දමමින් කූගර්ගේ දත් ගෙල පිටුපසට ගිලා බහින්නෙ. ඒ කියන්නේ, හුඟක් වෙලාවට ආයේ සටන් කරකර ඉන්න දෙයක් නෑ, ක්ෂණික ත්‍රීව්‍ර වේදනාවක් එක්ක හෘදය, පෙනහළු වල ක්‍රියාකාරීත්වය බිඳ වැටීමක් එක්ක දිගු සුව නින්දක් ලබා ගන්න පුළුවන්.

මෙන්න මේ නිසා, ෆොරස්ට් හයික් එකකදි, “විය හැකි” කූගර් ඇටෑක් එකකින් පරිස්සම් වෙන්න නම්, මෙන්න මේ උපක්‍රම මතක තියා ගන්න, අනුගමනය කරන්න.

⚠️ ළඟදි කූගර් ඇටෑක් වෙලා තියෙන බව අදාල පළාත් පරිසර හෝ වනජීවි වෙබ් අඩවිය‍ේ දැනුම් දීම් කර තිබේ නම් මේ වෙලාවේ හයික් එක සඳහා වෙනත් ප්‍රදේශයක් තෝරගන්න.

⚠️ කූගර්ලා ඉන්න ප්‍රදේශයක් බව දන්නවා නම් , දැනුම් දීම් කර තිබෙනවා නම්, හයික් එක තුල “ඉතාමත්” විමසිලිමත් වෙන්න. ඉස්සරහ විතරක් නොවෙයි, තමන්ගේ ගමන් මගේ , ට්‍රේල් එකේ පැති, ගස් වල ඉහළ, වගේම ඉඳහිට කරකැවී පිටුපස , ඒ කියන්නේ ආ මග දිහාවත් බලන්න. ඇස් වගේම කන් දෙකත් අවධානයෙන් තියා ගන්න ඕන නිසා, මේ ගමනේ යනවා නම් ඉයර්ෆෝන් හෙඩ් ෆෝන් ගෙදර තියල එන්න.

⚠️ තනිව යනවාට වඩා කණ්ඩායමක් එක්ක යන්න, එහෙම නැත්නම් තවත් කණ්ඩායමක් අසලින් යන්න.

⚠️ හැම විටම කුඩා දරුවන් (පයින් යන මට්ටමේ) වැඩිහිටියන්ට ඉතා ළඟින් තියා ගන්න. කුඩාම දරුවන් සමඟ නම් යන්නේ, ඉදිරිපසට තබාගත හැකි බේබි කැරියර් එකක දරුවා රැගෙන යන්න.

⚠️ බලු මිතුරන් ගෙන යනවා නම් අනිවාර්යයෙන්ම දම්වැලක (leashed ) හෝ කුඩා අයෙක් නම් ඉදිරිපසට පැලදිය හැකි පෙට් කැරියර් බෑග් එකකට ගෙනියන්න.

⚠️ කතා කරමින් , “මිනිස් හඬ” ඇසෙන ලෙස ගමන යන්න. ඉතාමත් කුසගින්නේ නොවෙන්න, මේ යන්නේ “මිනිස්සු” කියල දැනගත්තොත් කූගර් කෙනෙක්වත් එන්නේ නෑ.

⚠️ සතෙකුගේ කුණක් (carcasses) තිබෙන බව දැක්කොත් හෝ දැනු‍නොත් පුළුවන් තරම් ඒ ප්‍රදේශය මගහරින්න බලන්න, නොහැකි නම් “මේ දැන් ඇටෑක් එකක් වේ” කියන සූදානමින් යන්න. (මේක බෙයාටත් අදාලයි, ඉස්සර වෙලා ලිපියෙදි කියන්න අමතක වුනාද මන්දා)

⚠️ බෙයා ස්ප්‍රේ එක පාවිච්චි කරන්න දැනුවත්ව, සූදානමින් අරගෙන යන්න.

හරි , මේ සියළු සූදානම් එක්ක යත්දි හරි කූගර් කෙනෙක් තමන්ව ෆලෝ කරන වගේ දැනු‍නොත් (අර Rockwellගේ “Somebody's Watching Me” වගේ ‍ෆීලිං එකක් ඇවිත් බලත්දි දැක්කොත් කූගර් කෙනෙක් කුරුමාණම් අල්ලමින් එනවා කියලා, මුලින්ම ඕනම නම් තමන් අදහස ආගමේ පාඨයක් එහෙම කියාගෙන ඊළඟ ජීවිතේ ගැන හිතන්න ගන්න. හැබැයි ඊට වඩා මේ ජීවිතේ තව ටික කළක් ඉන්න මෙන්න මේ කරුණු වැදගත් වේවි.

🚨 කූගර්ගේ පැත්තට හැරෙන්න, දෑත් ඉහළට දෙපසට වනමින් “මං ලොකුයි සැරයි” කියල පෙන්වන්න. හයියෙන් ස්ථාවර හඬකින් (නොවෙව්ලා) කතා කරන්න. (කූගර් හොඳ චර්යා විශේෂඥයෙක්, එයාට පුළුවන් එයාගේ ගොදුර බය වෙලාද නැත්නම් බොරු චන්ඩියෙක්ද කියල හඳුනගන්න)

🚨 බෙයා ස්ප්‍රේ එක අතට ‍අරගෙන ඉදිරියට සූදානමින් තබාගෙන පරිස්සමින්, හෙමින් පිටුපසට ගමන් කරන්න, කිසි වෙලාවක කූගර්ට නොපෙනී යන්න දෙන්න එපා, මොකද ඊළඟ තත්පරේ එයා කණ ගාවින් පැත්තෙන් ඇවිත් හාදුවක් දෙන්න බැරි නෑ.

🚨 අතට අහුවෙන ගල්, බොරලු වගේ දේවල් වලින් පහර දීමක් කරලා බලන්න කුරුමාණම් අල්ලමින් එන මේ කූගර් තමන්ට දක්වන්න හදන ආදරෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා. (හුඟක් වෙලාවට එයාල මෙහෙම වෙත්දි පොඩි සද්දයක් දාල, පොළෙවේ වැලි ටිකක් අපටත් ගහල දාල යන්න පුළුවන්, හැබැයි එයාගේ අරමුණට ඔබව , එයාගේ ආහාර වේල කරගන්න නම් ඉතින් එහෙම යන්න කැමතිම වෙන එකක් නෑ.

🚨 කූගර් තමා වෙත ගොදුරු කරගැනීමේ අරමුණීන් පැන එනවා නම්, (අරමුණ හොයා හොයා ඉන්න බෑනේ, “පැන එනවා නම්”) දැන් බෙයා ස්ප්‍රේ එකින් වැඩ ගන්න වෙලාව. හැබැයි බෙයා ස්ප්‍රෙ එකේ සැර වදින දුර සාමාන්‍යයෙන් අඩු විසි පහක් විතර. ඒ කියන්නේ, ඔබ ඉන්න තැන ඉඳන් එක පේලියට බිම වැටිල ඉන්න මිනිස්සු හතර දෙනෙක් පස් දෙනෙක්ගේ දුර වගේ. අන්න ඒ දුර වෙත්දි , කූගර්ගේ හොම්බ හරියට සහ ඒ අවට වැහෙන විදියට බෙයා ස්ප්‍රේ ෂොට්ස් , දෙක තුනක් දෙන්න, හුඟක් දුරට ‍‍සැර කූගර්ට දරා ගන්න බෑ. (“හපොයි මේ කෑම එක හරිම ස්පයිසි” කියල යන්නත් බැරි නෑ, කැනේඩියන් කූගර්ස්ලනේ) . හැබැයි මට හොඳට ස්පයිසස් හුරුයි කියලා තවත් ඉස්සරහට එනවා නම් නැවත ෂොට්ස් විදියට, ඒ කියන්නේ එක දිගට ට්‍රිගර් එක ප්‍රෙස් කරගෙන ඉන්නේ නැතිව වරින්වර ස්ප්‍රේ එක විදින්න. කෑගහන්න, උදව් ඉල්ලන්න.

🔴 මේ සේරම හරි ගියේ නැත්නම් …..

අදට ඇති කියල හිතෙනවා. මේ ලියන මට තවම කූගර් කෙනෙක් එක්ක සෙල්ලම් දාන්න වුනේ නම් නෑ. හැබැයි Wildlife ambassador කෙනෙක් විදියට පුහුණු වෙත්දි සහ ඊට පස්සේ සම්බන්ධ වුනු දැනුවත්වීම්, යාවත්කාළින වීම් වලිදි කූගර් එක්ක සෙල්ලම් දැම්ම වගේම දැනෙන විදියට පුහුණුව ලැබුණා. මේ අකුරු කළේ ඒ දැනුම ඔස්සේ.

ඊළඟ ලිපියෙන් අපි කතා කරමු, හයික් එකකදි හමුවෙන්න පුළුවන්, ඉතාමත් කුඩා ඒත් ජීවි‍තේට ලොකු අවදානමක් ගේන්න පුළුවන් තවත් චූටි මිත්‍රයෙක් ගැන. දැන් මේ ටික කියවගෙන යන්දි හයික් එකක් යන්න ඕන කියලා හිත හිත හිටපු අය ඒ ගමන සදහටම නවත්වයිද මන්දා. ඒත් මගේ අරමුණ නම් මේ දැනුවත් වීම් එක්ක, දැනුවත් හයිකර් කෙනෙක් විදියට සොබා දහමේ සුව විඳින්නට ඔබ පෙළඹවීමයි.

නැවත හමුවෙමු.

මොළය රැක ගන්න💔

අද World Brain Day , මේකට සිංහලෙන් “ලෝක මොළ දිනය” කියල ලියන්න හිතුනේ නෑ. දවසේ නම කුමක් වෙතත්, අද හොඳ දවසක්, අපේ “මොළ සෞඛ්‍යය” ගැන (අනේ මන්දා එහෙම Brain health කියල ලිව්වම ඊට වඩා පැහැදිලියිද මන්දා) කතා කරන්නට.

ඒ නිසා, අද මේ World Brain Day එකේදී, අපේ මොළයේ සුරක්ෂාව, සෞඛ්‍යයමත් තත්ත්වයක් පවත්වා ගන්නට කළ යුතු , කළ හැකි දේ මොනවාද කියල කෙටියෙන් කතා කරමු.

💜හොඳට කන බොන මොළය

මොළය කියන්නේ, අපේ ඇගේ තියෙන අයවය වලින් වැඩියෙන්ම කන බොන කෙනා. දේහයේ බරත් එක්ක බැලුවොත්, ඉන් 2%ක විතර බරක් තියෙන මේ පුංචි මොලේට , දේහයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20%ක් විතර සහ ග්ලුකොස් ප්‍රමාණයෙන් 20%-25%ක් විතර ඕන කරනවා. ඒ නිසාමයි කිව්වේ මේක “හොඳට කන බොන මොළය” කියල. ඉතින් මොළයට මේ විදියට හොඳට කන්න බොන්න නම්, මුලින්ම හෘදය , පෙනහළු, වගේම අක්මාව වගේ ඉන්ද්‍රිය වල ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමක තියෙන්න ඕන, ඒ විතරක්ම නොවෙයි ඒ තැන් වලින් ගේන කෑම බීම මොළය පුරා බෙදා හරින , බෙදාහැරීම් ජාලයක් තියෙනවා, බොහොම සංකීර්ණ වගේම ඉතාමත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන. ඒ තමයි , මොළය පුරා විහිදී පැතිරී තියෙන රුධීර වාහිනී, විශේෂයෙන්ම ක්ෂුද්‍ර නාලිකා ලෙස හදුන්වන ඉතා කුඩා, තුනී රුධිර වාහිනී ජාලය. ඒ ඔස්සේ තමයි කෑම බීම මොළයේ සෛල වලට ලං වෙන්නේ. ඒ නිසා, හෘදය, පෙනහළු සහ අනෙක් ජීව ඉන්ද්‍රියයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම වගේම, මොළයට වඩාත් සුවිශේෂීව, මොළයේ සෛල එක්ක ලංව ගනුදෙනු කරන මේ ක්ෂුද්‍රනාලිකා වල සෞඛ්‍යමත්බව (microvascular health ) පවත්වා ගැනීම , මොළයේ යහපත් සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් අපට කරන්නට පුළුවන් දේවල් විදියට, හොඳ, සක්‍රිය ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගැනීම හුඟක්ම වැදගත්. ඒක, නියමිත ක්‍රමවේදයකට දිනපතා කරන ව්‍යායාම කිහිපයක් වෙන්න පුළුවන්, වේගවත් ඇවිදීමක්, ඇඟට වෙහෙසක් දැනෙන මට්ටමක බයිසිකල් පැදීම, පිහිණීම වගේ සක්‍රිය, ශාරීරික ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ සතියකට අවම විනාඩි 150ක් වත්, හෘදය පෙනහලු, රුධිර සංසරණය සක්‍රිය කරන හොඳට දහදිය වැටෙන්න moderate-intensity aerobic ව්‍යායාම කරනවා නම් එයයි වඩාත් සුබ. මේ කියන විදියටම බැරි වුනත්,එකතැනකට වෙලා වාඩි වෙලා, දවසේ වැඩි වෙලාවක් ගත කරනවා වෙනුවට, ඇඟපත මහන්සි වෙන , ඇඟට දැනෙන වේගවත් ඇවිදීමක්වත්(brisk walking ) කරන්න පුළුවන් නම් ඒකමත් උදව්වක්, තමන්ගේ මොළය වෙනුවෙන් කරන. ‍මේ කී ව්‍යායාම නිසා අපට දැනෙන වාසියක් මොළයට ලැබෙනවා වගේම, අප නොදැනීම, මේ ව්‍යායාම නිසාම මොළය තුල Brain-Derived Neurotrophic Factor (BDNF) කියන රසායනිකය ස්‍රාවය වීම වැඩි වෙනවා. ඒ ඔස්සේ, මොළයේ ස්නායු සෛල වල ආරක්ෂාවක් ලැබීම, මොළයේ සමහර කොටස් වල විශේෂිත ස්නායු සෛල වර්ධනයටත් උදව් වෙනවා. ඒ කියන්නේ, හොඳට ඇඟට දැනෙන ව්‍යයාම කරනවා නම් ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ අප , අපේම මොළයට උදව්වක් කරනවා. මීටම සම්බන්ධව කතා කළ යුතු ඊළඟ වැදගත් පරිස්සම් වීම් තමයි, රුධිර පීඩනය සෞඛ්‍යයමත් මට්ටමක පවත්වා ගැනීම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම හොඳින් පාළනය කර තබා ගැනීමත්, අර අප කී මොළයේ සෛල ළඟින්ම ඉන්න ඉතා කුඩා ලේ නහර වල සෞඛ්‍යයමත් පැවැත්මට වැදගත්. මොකද , මේ සෞඛ්‍යමත් පරිසරය නොපවත්වා ගත්තොත් වෙන්නේ, ඒ තුනී ලේ නහර ඔස්සේ , මොළයට කෑම බීම ලැබීම අවශ්‍ය විදියට සිදු නොවන්න පුළුවන්, සමහර විට මොළයේ කොටස් වලට අවශ්‍ය කෑම බීම නොලැබීම යන්නටත් හේතුවක් වෙන්න බැරි නෑ.

💜දාහය ප්‍රදාහය අඩු කරගන්න.

දේහයේ වැඩි පුර තෙල් තැන්පත්වීම, කාළයක් තිස්සේ පවතින ආසාදන, ප්‍රමාණවත් සුවදායි නින්දක් නොලැබීම , දුම්පානය (සක්‍රිය හෝ අක්‍රිය), සෞඛ්‍යයමත් නොවන ආහාර රටා වගේ හේතු නිසා අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක පද්ධතිය නිරන්තරයෙන්ම අවිවේකයෙන් ඉන්නට වෙනවා (Chronic low-grade systemic inflammation) . මේ විදියට කාළයක් තිස්සේ පැවතීමත්, මේ කී සාධක නිසාම සෛල වල මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රියිකාවන් දුර්වල වීම වගේ හේතු නිසා සෛල දුර්වල විම, මොළයේ සෛල ඉක්මණින් වියපත් වීම හෝ මිය යාම වැඩි වන බව හදුනාගන්නවා. මේ අවදානම සීමා කරගෙන මොළය පරිස්සම් කරගන්න හිතනවා නම්, ඔය හදිසි කෙටි කෑම වලට වඩා, හොඳ කොළ, එළවලු, පළතුරු, තන්තු සහිත හොඳ ආහාර වේලක් ගන්නවා නම්, විශේෂයෙන්ම මේ සියල්ල අඩංගු වන MIND diet කියල හදුන්වා දෙන ආහාර රටාවට හුරු වෙන්නට පුළුවන් නම් ඒ ඔස්සේ, මොළයේ සෛල වලට ලොකු උදව්වක් වන බව පර්යේෂණ ඔස්සේ හදුනාගෙන තිබෙනවා. ‍මේ ආහාර රටාවටම , තෙල් සහිත අළුත් මාළු , walnuts වගේ දේවල් එක් කරගන්න පුළුවන් නම් ඒ ඔස්සේ ලැබෙන Omega-3 මේද අම්ල මොළයේ සෛල වල පැවැත්මට , සෞඛ්‍යයමත් ක්‍රියාකාරීත්වයට වගේම, පෙරකී ප්‍රදාහික තත්ත්වයන් සමනය කරගන්නටත් උදව් වෙනවා. මේ කියාගෙන යන කෑම රටාව තුලටම, යෝගට්, sourdough bread , සමහර අච්චාරු වර්ග වගේ, යීස්ට්, බැක්ටීරියා වගේ දේවල් උදව් කරගෙන හැදෙන කෑම වර්ග ඔස්සේත් , ඒ සමඟම එකතු කරගන්නා ආහාරමය තන්තුත් මොළයට උපකාර කරන කෑම බීම වර්ග. වෙන්නේ මේකයි, මේ කෑම බඩ ගියාම, බඩේ ඉන්න “හොඳ ක්ෂුදුජීවීන්” (gut microbes) හදන සමහර මේද අම්ල , මොළ‍යේ වගේම, ස්නායු සෛල වල ක්‍රියාකාරීත්වයටත් උදව් වෙනවා.

💜කුණූ සුද්ද වෙන සුව-බර නින්දක් ගන්න

කොහොමත් සෞඛ්‍යයමත් ජීවිතේකට “සුවදායී නින්දක” ඇති වැදගත්කම් මෙතැන ලියන්න ඕන නැහැනේ. එය අප ඕන තරම් අහල තියෙනවා, සමහර විට විඳලත් ඇති. නමුත්, මේ තැනදී මොළයට අදාලව කතා කරන නිසා, මේ “සුවදායී” නින්දෙන් මොළයට වෙන උදව්ව මොකක්ද කියල බලමු. දවස පුරා අපිත් එක්ක , හරිහරියට වැඩ කරන මොළය ඇතුලේ කුණූ කසල එකතු වෙනවා. අපට මහන්සි වෙත්දි දාඩිය දාල, දූවිලි එක්ක ඇලෙනව වගේ, මොළය ඇතුලෙත් අපද්‍රව්‍ය, අවශ්‍ය ‍නොවන කරදරකාර ප්‍රෝටීන වර්ග වගේ කුණූ කසල එකතු වෙනවා. අප දවසේ වැඩ ඉවර කරලා හවසට නාල පිරිසිදු වුනාට, මොළය මේ විදියට කුණූ ඉවත් කරලා “පිරිසිදු” වීම වෙන්නේ, අපි හොඳ නින්දක ඉඳිත්දි. Glymphatic Clearance කියල විද්‍යාත්මක නම් කරන මේ ක්‍රියාවලිය වෙන්නේ, අපි සුව තද නින්දෙ ඉඳිත්දි. ඔය වෙලාවේ තමයි මොළය වටා තියෙන cerebrospinal fluid කියන වතුර වැඩිපුර ගෙනත් , මොළයේ සෛල අස්සේ හිර වෙලා , ඇලිලා තියෙන කුණූ ‍හොදන්නේ. දැන් මෙහෙම කුණූ , ඇලෙන ප්‍රෝටීන් අණූ වගේ කුණු කසල හෝදා නොදැම්මොත් මොකද වෙන්නේ, අර මොළයේ සෛල වලට වෙනද වගේ වැඩ කරන්න, පණීවිඩ හුවමාරු කරගන්න බැරිව යනවා, ඒ කියන්නේ, මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. වගේම සමහර විට මේ තත්ත්වය දිගින් දිගටම නොසලකා හැරියොත්, මොළය ඇතුලේ , මොළයේ සෛල අස්සේ විවිධ ප්‍රෝටීන කුණූ හිර වෙලා මොළය දුර්වල වෙන්න, මොළයේ සෛල මියයාම් වැඩි වෙන්න, සහ ඒ ඔස්සේම ඩිමෙන්ෂියාව වගේ තත්ත්ව වලට ඇති අවදානම වැඩි කරන්නත් පුළුවන්. මේ අවදානමෙන් ගැලවෙන්න හෝ සිමා කරගන්න නම් අපට කරන්න තියෙන්නේ, දවසකට පැය 7-9ක් විතර හොඳ, සුවදායී නින්දක් ලබා ගන්න එක.

💜බුද්ධි තැන්පතුව වැඩි කරගන්න.

මේ , Cognitive reserve එහෙම නැත්නම් බුද්ධි තැන්පතුව කියල සිංහලට කියන්න පුළුවන් අවශ්‍යතාව ගැන අපි තවමත් ඒ තරම්ම දැනුමක් හෝ උනන්දුවක් නැත්ද කියල හිතෙනවා. Cognitive reserve කියන්නේ, වයස් ගතවීම, රෝගී වීම වගේ හේතුවක් නිසා මොළයේ, බුද්ධිමය ක්‍රියාකාරීත්වයේ යම් අඩුවක් වෙත්දි, ඒ අඩුව පුරවාගෙන සාමාන්‍ය හෝ ඊට ආසන්න මට්ටමක බුද්ධිමය ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්නට මොළයට ඇති හැකියාව. මේ තැන්පතුව ලොකුවට තියා ගන්න එකේ වැදගත්කම එන්නේ, යම් ලෙඩක් නිසා හෝ වියපත් වීම වගේ හේතුවක් නිසා මොළය දුර්වල වීමක් වුනොත්, ඒ තුල විය හැකි කරදර අඩු කරගන්නට, අමතක වීම්, තීරණ ගැනීමේ හැකියාව බිඳ වැටීම් වගේ අවදානම් වලින් පරිස්සම් වන්නට. මේ විදියට අපේ Cognitive reserve එක වැඩි කරගන්න සහ හොඳ මට්ටමක තියා ගන්නට අපට කරන්න පුළුවන් දේවල් විදියට මොළයට අභියෝගයක් දෙන ක්‍රියාකාරකම් යොදා ගන්න පුළුවන්. උදාහරණ කිහිපයක් විදියට කිව්වොත්, අවධානය සහ විමර්ෂණය සහිත කියවීම්, ලිවීම් , අළුත් විෂයක් , භාෂාවක් හෝ අවශ්‍යතාවය මත යමක් අළුතින් ඉගෙනීම, අළුත් ස්කිල් ඉගෙන ගැනීම , සංගීත භාණ්ඩයක් වාදනය කරන්නට ඉගෙනීම වගේ, මොළය සක්‍රියව උදව් කරගන්නට වෙන, විමර්ෂණය, මතක තබා ගැනීම , නැවත මතක් කිරීම් කළ යුතු ක්‍රියාකාරකම් ඔස්සේ මේ බුද්ධි තැන්පතුවේ දියුණුවක් කරගන්නට පුළුවන්. මේ ක්‍රියාකාරකම් නිසා, මොළයේ සෛල අතර සන්නිවේදනය දියුණූ වීම, සක්‍රිය වීම, අළුත් සන්නිවේදන සම්බන්ධතා මොළය තුල මතුවීම වගේ ජීව විද්‍යාත්මකව හදුනාගත් “යහපත් වෙනස්වීම” සිදුවෙනවා.‍ මේකටම වැදගත් තවත් දෙයක් තමයි, තනි නොවී, සමාජීයව සක්‍රියව කාළය ගත කිරීම. මේ කියන්නේ, හිතවතුන් , මිතුරන් සමඟ යහපත් සම්බන්ධතා , කතාබහ, මිත්‍රත්වයන් පවත්වා ගැනීම සහ ඒ බැඳීම ගැන හිතට දැනෙන විඳීමක් ලබන්නට පුළුවන් තත්ත්වයක් පවත්වා ගැනීම.

💜සංසුන් වෙන්න බලන්න

කාළයක් තිස්සේ පවතින ස්ට්‍රෙස් කියන්නේ, මුළු ඇඟටම හානියක්. ඒක මොළයටත් ලොකු හානියක් කරනවා. විශේෂයෙන්ම කාළයක් තිස්සේ මානසිකව දැඩි පීඩනයකින්, අසහනයකින් , ස්ට්‍රෙස් එකකින් ඉඳීමත් එක්ක, ලේවල ඉහළ යන කෝටිසෝල් වල බලපෑම නිසා මොළයේ සමහර කොටස් වල ඇති ස්නායු සෛල වලට හානි කරන බව පර්ය‍ේෂණාත්මකව, ඇහැට දකින්නට පුළුවන් විදියටම හදුනාගෙන තියෙනවා. ඒ නිසා, තිබෙන මානසික පීඩාවන් අඩු කරගෙන , මනස සංසුන්ව, සෞඛ්‍යයමත් ප්‍රමාණයකට විවේකීව තියා ගන්නට පුළුවන් නම් (මොකද ජීවත් වෙනව කියන ක්‍රියාවලිය තුල යම් ස්ටෙසස් එන එක නවත්වන්න බැහැනේ) ඒ ඔස්සේ මොළයේ සෛල වලට හානිවන ඉඩ අඩු කරගන්නට පුළුවන්. ඒ සදහා භාවනා ක්‍රම, ශ්වසන ව්‍යායාම , පරිසරය, ගහකොළ, සොබාදහම සමඟ බැදෙන විනෝදාංශ, ක්‍රියාකාරකම් වල යෙදීමත් උදව් කරගන්නට පුළුවන්.

💜ඔළු ගෙඩිය පරිස්සම් කරගන්න.

මොළය පරිස්සම් කරගන්න කළ යුතු දේ අතරේ මේක ගැන ලොකුවට ලියන්න ඕනම නැහැනේ, හිසට වන අනතුරකදි මොළයට, මොළය ආශ්‍රිත පටක වලට හානි වෙන්නට පුළුවන් බව මේ කියවන ඕනම කෙනෙක් දන්නවා. ඒ නිසා, හිසට අනතුරු වීම සීමා කරගැනීම වගේම, විය හැකි අවදානම් අවස්ථා වලදී, හිස ආරක්ෂා කරන උපක්‍රම අනුගමනය කිරීම, (ඒ කිව්වේ හෙල්මට් දැමීම වගේ) , හිසට දැඩි කම්පණයන් , තෙරපීම් වල ක්‍රීඩා වගේ අවස්ථා වලදී අනුගමනය කළ යුතු නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමත්, මොළය පරිස්සම් කරගන්නට අපට “කරන්නට පුළුවන්” දේ. මේ ලිපිය මේ වනතුරු කියෙව්වා නම් ඔබ, ඔබේ මොළය ගැන හොඳ අවධානයක් තියෙන කෙනෙක් වෙන්න ඇති, දැන් කියවූ කරුණූ මතක් කරගෙන, ඔබේ මොළය රැක ගන්නට කළ හැකි දේ කරන්නට “මොළයට ගන්න” අද හොඳම දවසයි.

2026/07/18

වනන්තරේ සංචාරේ - හතරවන කොටස

අද මේ ලිපි මාලාවේ ඊළඟ කොටස. මේ තුල කතා කරන්නට උත්සාහ කරන්නේ, පෙර ලිපි වල කතාබහ කළ ආකාරයට සූදානම් වී කැනඩාවේ වනාන්තර තුල ෆොරස්ට් හයික් එකක් යත්දි “විය හැකි” අවදානම් මොනවාද, වලක්වා ගත හැක්කේ කෙසේද? එහෙම අවදානමකට ලක් වුනොත් මොකද කරන්නේ කියන කරුණූ ගැන.

ඒ ඔස්සේ මේ “විය හැකිඅවදානම්” කාණ්ඩ කිහිපයකට බෙදාගෙන, මුලින්ම වන සතුන් සමඟින් කටයුතු කරත්දි, ඒ කියන්නේ එයාලගේ ගමේ, එයාලගේ ගෙවල් ගාවින් හයික් එක යත්දි වෙන්නට පුළුවන් අවදානම් කිහිපයක් කතා කරමු. එයින් මුලින්ම, මගේ ප්‍රියතම මාතෘකාව “වළසුන්”.

කැනඩාවේ බොහෝ ප්‍රදේශ වල හමුවිය හැකි සුන්දර මිතුරෙක් තමයි වළහා. එයිනුත් කළු වළසුන් කැනඩාව පුරා, ඕනම ප්‍ර‍දේශයකින් හමුුවීමේ ඉඩක් තිබුණත්, ඇල්බර්ටාව සහ බ්‍රිටිෂ් කොලොම්බියාව වැඩි කළු වලස් ගහණයක් ඉන්න පළාත්. ඒ වගේම, මේ පළාත් වල ග්‍රිස්ලි වලසුන්ද බහුලයි. ඒ වගේම උතුරු පළාත් වලට යත්දි විශේෂයෙන්ම සීතල, ඉහළ ප්‍රදේශවලට යත්දි හිම වලස්සුත් දකින්න පුළුවන් වේවි. නමුත් මේ කියවන වැඩි පිරිසක් කළු වලසුන් සහ ග්‍රිස්ලි වලසුන් ගැවසෙන ප්‍රදේශයක හයික් එකක් යාමේ වැඩි අවස්ථාවක් ඇති නිසා සහ පුද්ගලිකව අවදානම් අවස්ථා වලට මුහුණදී සහ මගහරවාගෙන අත්දැකීම් ඇත්තේ, ඒ කණ්ඩායම් සමඟ නිසා, කතා බහ ප්‍රධානව කළු වලස් හෝ ග්‍රිස්ලි වලස් ප්‍රහාරයකින් වැලකී සිටීම ගැන යොමු කරනවා.

මුලින්ම ප්‍රශ්නයක් ,

කොයිතරම් බෙයා ඇටෑක්ස් වෙනව ඇත්ද අවුරුද්දකට මේ රටේ?

උත්තරේ බොහෝ අවස්ථා වලදි , පුද්ගලයෙක් මරණයට පත්වන මට්ටමේ වළස් පහරදීම් සිදුවන්නේ තුනක් හෝ ඊට අඩුවෙන් වසරකට. සැසදීමක් කළොත් , වසරකට අකුණූ අනතුරු නිසා, කැනඩාව තුල පුද්ගලයින් පහකට වඩා අකුණූ අනතුරු ඔස්සේ මිය යනවා. දැන් අර ප්‍රශ්නෙට උත්තරේ කෙටියෙන් කිව්වොත්, “හෙණයක් වැදිල මැරෙනවට වඩා අඩු අවස්ථාවක් තමයි බෙයා කෙනෙක්ගෙන් දඩුවමක් ලැබිය මැරෙන්න ඇත්තේ”

දැන් එහෙම කියල “මැරෙන්න බලාගෙන” හයික් යන්න ඕන නෑනේ. ඒ නිසා දැන් අපි කතා කරමු, බෙයා ඇටෑක් එකක් වලක්වා ගන්නට කළ යුතු උපක්‍රම, ගත යුතු පියවර මොනවාදැයි.

යන පාර දැන ගන්න - මේ කිව්වේ, හයික් එක යන ප්‍රදේශය, මාර්ගය, මාර්ගයේ හැඩය , ප්‍රමාණය වගේ කරුණූ එක්කම හයික් එක යන ප්‍රදේශයට අදාල park website එකේ ටිකක් විමසීමක් කරන්න. මේ දවස් වල බෙයාලගේ චර්යාවන් කොහොමද? පහුගිය දින වල ඒ ආශ්‍රිත අනතුරු වෙලා තියෙනවද? ‍ගොදුරු ආහාරයට ගනිමින් ඉන්න වලසුන් ගැන වෙබ් සයිට් එකේ තියෙන තොරතුරු මොනවද ? ඔය වගේ තොරුතුරු ගැන විමසීමක් කරන්න.

කණ්ඩායමයක් යන්න - අඩුම තරමේ මුලින්ම යන හයික්ස් වත්, තනිව නොයා පිරිසක් එක්ක යන්න. තනියම යන්නම නම් වෙලා තියෙන්නේ, හයික් එක පටන්ගන්න තැන ටේල්හෙඩ් එක කිට්ටුවට වෙලා ඉඳලා, කණ්ඩායමක් විදියට යන තවත් පිරිසක් එක්ක, ඒ ආසන්නයෙන්වත් යන්න බලන්න. මොකද, තනියම ගිහින් වලස්සු “බය කරලා” ඊට ප්‍රතිචාරයක් විදියට වලස්පාරක් කනවට වඩා සුබයි පිරිසක් එක්ක යත්දි ඒ කතාබහ, ගමනේ සද්ද බද්ද එක්ක “අපි එනවා” කියල වලහට පෙර පණිවිඩයක් දෙන එක. ඒ වගේම, ලොකු පිරිසක් දැක්කම හුඟක් වෙලාවට වලස්සු මගෑරල යනවා. මොකද අපට වඩා හොඳට එයාල මිනිස්සු ගැන දන්නවනේ.

වලස්සු බය නොකරනු - වලස් පහරදීම වැඩි ප්‍රමාණයක්ම සිදුවන්නේ, වලහා බයවීමට පත් කිරීම නිසා. අපේ වැඩ නිසා “බියට” පත්වන වලහා තමන්ගේ (හෝ තම වලස් දරුවන්ගේ) ආරක්ෂාව වෙනුවෙන් කරන පහරදීම නිසා තමයි හයිකර්ස්ලා හුඟක් අවස්ථා වල අනතුරට පත් වන්නේ. කෑමක් විදියට හිතාගෙන අපට පහර දෙන වලස්සු බො‍හොම අඩුයි, ඔය රසබර බෙරි ටිකක් කාළ, ඉන්න ටිකේ සැපේ ඉන්න තමයි එයාල කැමති. අපේ වගේ විස පිරිච්ච අක්මාවක් තියෙන, කිසිම රහක් නැති තෙල්, මස් ගුලියක් එක් සටන් කරල කන්න තරම් උනන්දුවක් එයාලට නැති තරම්. ඒ නිසා, ඒ සතුන් හදිසි බිය වීම් ඇති නොවන ලෙස අපේ ගමන යාමයි කළ යුතු. ඒ සඳහා අපේ කටහඬ තමයි හොඳම. ඔය බෙයා බෙල්, ෆෝන් එකේ ස්පොටිෆයි දාගෙන සිංදු අහගෙන ගියා කියල ඒතරම්ම ප්‍රයෝජනයක් නැති තරම්. මොකද ඒ ඔස්සේ නැගෙන සංඛ්‍යාතය වැඩි හඬ වලට වඩා, අපේ බර හඬ ඔස්සේ “ආ , මේ එන්නේ මිනිස් සතෙක්” කියල හදුනාගන්න එයාලට පුළුවන්. අර විදියට බෙල් එක බැඳගෙන ගියාම හරියට “මේං ලන්ච් එක රෙඩී” කියල පණිවිඩයක් දෙනවා වගේ වලස්සුන්ට.

බලු මිතුරා බැදගෙන යනු - හයික් එකට තමන්ගේ බලු මිතුරා, (ඒ කිව්වේ ගෙදර හුරතලේට ඉන්න සුනඛ මිත්‍රයා එහෙම නැතිව අර යාළුව නොවේ.) අරගෙන යනවා නම් එයාව බැදගෙන යන්න. මොකද නැත්නම් , අපිත් එක්ක යත්දි චණ්ඩියා වගේ ගිහින්, වලහෙක් දැක්කම ඒ චන්ඩිකම අපට පෙන්නන්න වලහට සැරදාල, වලහ එලවගෙන එත්දි අපේ බලු මිත්‍රය පරිස්සං වෙන්න දුවගෙන එන්නේ අපේ ළඟට, හැබැයි තනියම නොවෙයි, අර “තරහ ගිය” වලහත් එක්කම.

අඩු සුවඳ සුබයි - හයික් එක යත්දි ඔය සුවඳ ගහන ජාති ඇඟ පුරා ඉහා ගෙන යන්න එපා, කොහොමත් දාඩිය දානවනේ. අනෙක කෑම ගෙනියනවා නම් ඒවා සීල් කරලා, එළියට සුවඳ නොඑන විදියට තියා ගන්න, ගමන යන අතරේ ඒ කෑම නොකා පුළුවන් නම් ආරක්ෂිත, විවෘත තැනකට ආවට පස්සේ විවේක ගන්න අතරේ කෑම කන්න. කෑම්පිං කරනවා නම් ඒ කෑම , bear-proof පෙට්ටියක දාල හරි, වලස්සුන්ට ලං වෙන්න බැරි විදියට එල්ලල හරි තියන්න, හැබැයි කෑම්ප් එක ගාව නොවෙයි. (ඒක වෙනම මාතෘකාවක් නිසා වෙන දවසක ඒ ගැන කතා කරන්නම්)

බෙයා ස්ප්‍රේ ගෙනියන්න. - අන්තිමට කිව්වත් මේක තමයි වැදගත්ම ආරක්ෂාව. හයික් එකේ යන හැම කෙනෙක් ගාවම, කල් ඉකුත් නොවූ හොඳ බෙයා ස්ප්‍රේ එකක්, හදිසියට ගන්න සහ ස්ප්‍රේ කරන්නට සූදානම් තත්ත්වයේ තියා ගන්න ඕන. මේක බෑග් එකේ දාගෙන යන්න නොවෙයි තියෙන්නේ, ඉනේ බෙල්ට් එකේ හරි ඉක්මනින් ගන්න පුළුවන් තැතක ගියා ගන්න ඕන. ඒ වෙනුවෙන්ම බෙයා ස්ප්‍රේ රඳවනවයන් තියෙනවා. මේක ගෙනිච්චටම මදි, පාවිච්චි කරන්නත් දැනගන්න ඕන, ඒ වගේම සාමාන්‍ය බෙයා ස්ප්‍රේ එකක ස්ප්‍රේ කළ හැකි කාළය වෙන්නේ තත්ත්පර අටක් නමයක් විතර. ඒ නිසා, ඒ කෙටි කාළය තුල හොඳම ප්‍රහාරයක් වලහට දීලා තමන් ආරක්ෂා වන විදියට පුහුණුවක් ලබන්නටම ඕන. ඒ සඳහා උපදෙස් පළාත් වනජීවී වෙබ් අඩවි වල වගේ පිළිගත හැකි යූටියුබ් චැනල ඔස්සේත් ලබා ගන්නට පුළුවන්.

දැන් මේ කිව්වේ යන්න ඉස්සර වෙලා විය යුතු සූදානම් ගැනනේ,

හයික් එක යත්දි වලහෙක් දැක්කොත් මොකද කරන්නේ?

පළමුවෙනි දේ කළබල වෙන්න එපා, දුවන්න ගස් නගින්න හදන්නනම් කොහෙත්ම එපා. මොකද එයාල අපට වඩා ඒ වැඩ වලට දක්ෂයෝ. ඒ වගේම කළබල වීම තුල සිදුවන අපේ වෙනස්වීම් වලට එයාල හොඳට සං‍වේදී. එයා , ඒ කිව්වේ වලහ ඔයාව දැක්ක නම් කළබල නොවී මොහොතක් ඔතැන ඉන්න, පුළුවන් නම් හිමින් සීරුවේ වලහට යන්න දීලා, එයාගෙන් ඈත් වෙන විදියට හිමින් පහු බහින්න. හැරිල දුවන්න නම් හිතන්නවත් එපා. බෙයා ස්ප්‍රේ එක අතට ගන්න, ක්ලිප් එක ඉවත් කරන අතරේ දෑත් දෙපසට කරල, “ලොකු කෙනෙක්” වගේ පෙන්වන ගමන් කළබල නැති කතා කරන්න, බෙයාට යන්න කියන්න. හුඟක් වෙලාවට මේ ඇති මුල් අවදානමෙන් ගැලවෙන්න. (හ්ම් බෙයාට සිංහලත් තේරෙනවා.) ළඟට එනවා නම්, එහෙම නැත්නම් කකුල් දෙකෙන් ඉස්සිලා ඔයා දිහා බලනවා වගේ නම් “සූදානම් වීම” සුබයි, ඒත් තවම කළබල වෙන්න එපා. මෙහෙම ඉස්සිලා බලන්නේ “ඔයා කවුද” කියල හරියටම දැන ගන්න.

හැබැයි වේගයෙන් හෝ පහර දීමේ සූදානමකින් හිස ටිකක් පහත් කරමින් ළඟට එනවා නම්, දැන් ෆෝන් එක අරගෙන ලයිව් දෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒක අවසාන ලයිව් එක වේවි. ගන්න බෙයා ස්ප්‍රේ එක, හුඟං අත ගැන විමසීමක් කරන්න, තමන් පරිස්සං වෙන ගමන් ස්ප්‍රේ ෂොට්ස් දෙක තුනක් වලහගේ මුහුණ ආවරණය වෙන විදියට දුමක් වගේ වදින්න දෙන්න. එක දිගට ස්ප්‍රේ එක තද කරගෙන ඉන්න එපා, තත්පර අටයි ඔක්කොමට තියෙන්නේ.

වැඩි අවස්ථාවකදීම මේ අවස්ථාවෙන් පස්සේ වලහා අඬ අඬා දුවන්නේ පස්සවත නොබලා. හැබැයි මතක තියාගත යුතුම දේ, දැන් අපට තරහකාරයෙකුත් හදා ගත්ත නිසා හයික් එක යනවා නම් ඉතාමත් විමසිල්ලෙන් යන්න, පුළුවන් නම් හයික් එකේ මග වෙනස් කරලා වෙනත් පැත්තකින් ගමන යන්න බලන්න.

මේ සෙල්ලමත් කරලා ඔයා තාමත් “පණපිටිං නම් සඳමාලි” හයික් එක ඉවර වෙලා කැලෙන් එලියට එත්දි , මේ සිදුවූ ගැටීම ගැන පාර්ක් ෆෝන් නම්බර් එක ඔස්සේ දැනුවත් කරන්න. මොන හරියෙදිද වුනේ,මතක විදියට තැන ගැන අදහසක් එක්ක, ගස් , කඳු මුදුනක්ද, වතුර වලක් ගාවද වගේ තොරතුරු එක්ක , සිදුවූ සිදුවීම ඒ විදියටම කියන්න. මේ ඔස්සේ කිසිම වෙලාවට තමන්ට නීතිමය බලපෑමක් වෙන්නේ නෑ , වගේම තවත් අයෙක් වෙනුවෙන් කරන උදව්වක්.

ඊළඟ කොටස,

මේ ඔක්කොම හරිගියේ නෑ,

දැන් වලහා ඔයාව ආහාරයක් කරගන්නයි හදන්නේ. දැන් තියෙන්නේ දෙයියං බුදුන් සිහි කරන එකම විතරක් නොවෙයි, දන්න චීන අඩි, කරාටේ ඔක්කොම සටන් ක්‍රම දාල, අතේ තියෙන දේකින් හරි ගහල හොඳ ෆයිට් එකක් එන දෙක. හොඳම දේ එයාලගේ මුහුණට සහ ඇස් වලට (හොම්බට) රිදෙන්න ගහන එක. (හොම්බට දෙකක් දීම මදි හැබැයි).

හුඟක් වෙලාවට කළු වලස්සු මේ අවස්ථාවේ ඔබව දාල යන්න පුළුවන් වුනත්, (හැබැයි බඩගින්නේ ඉඳලා ඔයාව කෑමක් කියල හිතාගෙන හරි ඔයා තරහකාරයෙක් කියල හිතාගෙන හරි සටන පටන් ගත්තා නම් යන් එකක් නෑ) එහෙම නොගියා නං කරන්න තියෙන එක මේ “මළාවගේ” ඉන්න එක. අර පරණ කතාවකත් තියෙනවනේ ඔය ගැන. දැන් මේ මළා වගේ ඉන්න කියන එකෙත් පොඩි ක්‍රමවේදයක් තියෙනවා.

බිම දිගාවෙන්න බඩ පොළවට වදින විදියට, මුහුණ පොළවට ලක් කරන්න පුළුවන් තරම්. බැක් පැක් එක පිටේ තියෙනවා නම් ඒක එහෙම තියෙන්න දෙන්න, ඒකත් ආරක්ෂාවක් වෙන්න පුළුවන්. දැන්, කකුල් දෙක දෙපැත්තට කරන්න V අකුර වගේ. මොකද, තව ටිකකින් වලහ කරන්නේ එයාගෙ හොම්බෙන් ඔයාව පැත්තෙන් තල්ලු කරලා උඩ අතට පෙරළගන්න හදන එක. කකුල් මේ විදියට දෙපැත්තට දාල තියා ගත්තම වලහට ඕන විදියට ඔයාව රෝල් වෙන්‍නේ නෑ.අඩුම ගානේ ටිකක් හයියට ඉන්නවත් පුළුවන් පෙරලන්න හදත්දි.

දැන්, දෑතින්ම, බෙල්ලේ පිටුපස හරියට කවර් කරගන්න , මොකද ඔතැනට කෙටුවෙත් ආයේ “මළා වගේ” රඟාපාන්න දෙයක් නෑ.

ඔන්න දැන් වළහා ,ඔයාව ‍හොම්බෙන් තල්ලු කරමින්, ඔයාගේ සුවඳ බලමින් , කෙළ ගාමින් පොඩි සද්දයක් දැම්මත්, ආයේ කාටද බය කියල හිතාගෙන කතා නොකර , චන්ඩියා වගේ හොරට නිදාගෙනම ඉන්න. දඟලන්න එපා, හැබැයි හොඳ විමසිල්ලෙන් ඉන්න වලහගේ චර්යාව ගැන. හුඟක් වෙලාවට වෙන්නේ, පොඩ්ඩක් තල්ලුවක් දාලා, හාද්දක් දීලා එයාල යන්න යන එක. හැබැයි එහෙම වුන ගමන් නැගිටල ලයිව් වීඩියා් දෙන්න හදන්න නම් එපා. එයා ගියා කියල හොඳටම තහවුරු වුනාට පස්සේ පරිස්සමෙන් ප්‍රදේශයෙන් ඉවත් වෙන්න, දැනුවත් කළ යුතු ආයතන දැනුවත් කරන්, හදිසි උදව්වක් ඕන නම්, 911ට කතා කරන්න.

අවුරුදු දහයක් විතර වලස්සු බහුල කැලෑ වල කාළය ගත කළා, හයික් ගියා, ටෙන්ට් කෑම්පිං කළා, වනාන්නරේ පුහුණු නියෝජිතයන් විදියට ප්‍රජාව දැනුවත් කළා,හැබැයි කවදාවත් මේ අන්තිමට කියපු අවස්ථාවට මුහුණ දෙන්න වුනේ නෑ, ඉඹලා බදාගන්න හිතෙන තරමට ළං වුනු බෙයාල හිටියා, කකුල් දෙකේ හැප්පිලා අම්මගෙන් බැනුම් අහපු බෙයා බබාල එක්ක අත්දැකීම් තිබුණා, හැබැයි මේවනතුරු කවදාවත් අපේ හිත් රිද්දන අවස්ථාවකට මුහුණ දෙන්න වුනේ නම් නෑ. මේ ලිව්වේ ඒ අත්දැකීම් සහ දැනුවත් වී‍ම් ඔස්සේමයි.

එහෙම නම්, ඊළඟ සතියේ බෙයාටත් වඩා භයානක, වේගවත් තවත් වන මිතුරෙක්ගෙන් විය හැකි අවදානමක් කතා කරමු.

2026/07/13

නගින බහින චක්කරේ

මොකක්ද මේ Boom and Bust Cycle එක.?

මේ නම අපට නුහුරු වුනාට මේ අත්දැකීම ‍ෆයිබ්‍රොමයැල්ජියාව සමඟ ජීවත්වන්නෙක් අත්විඳින “සාමාන්‍ය” තත්ත්වයක්. සමහර විට මෙම තත්ත්වය පමණක් නොවේ, දැඩි කායික වේදනාවන් සමග කාළයක් තිස්සේ ජීවත් වන Chronic pain syndrome (CPS) අයෙකු වුනත්, මුහුණදෙන, අත්විඳින තවත් ගැටළුකාරී තත්ත්වයක්.

වෙන්නේ මෙහෙම දෙයක්, ෆයිබ්‍රොමයැල්ජියාව හෝ ඊට පසුව කී Chronic pain syndrome (CPS) වගේ තත්ත්වයක් එක්ක ජීවත්වන අයෙක් මුහුණදෙන ලොකුම ගැටළුව, තමන්ගේ දවසේ කටයුතු , වගකීම් කරගන්නට , හෝ සාර්ථක ලෙස සපුරා ගන්නට බැරිවන තරමට ඇති වන කායික වේදනාව. මේ කායික වේදනාව නිසා, සමහර දවස් වල දවසේ වැඩ කරගන්න අපහසු නිසා, එහෙම නැත්නම් රාජකාරිය, රැකියාවේ වගකීම් හරියට කරගන්න බැරි නිසා, මානසිකවත් ලොකු පීඩනයකට පත් වෙනවා.

දැන් මෙහෙම කායික සහ මානසික පීඩනයකින් ඉන්න අතරේ එක දවසක් “හරිම අපූරු දවසක්” විදියට, ඒ කිව්වේ වෙනදාට වඩා වේදනාව අඩු, හිතට හයියක් දැනෙන දවසක් වගේ ලැබෙන්න පුළුවන්. ඔන්න ‍මේ “හොඳ දවස” දැනෙන්න පටන් ගත්තම මේ පුද්ගලයා මොකද කරන්නේ, වෙනදා කරන්න තිබුණූ වැඩයි, එකතු වෙලා තිබුණූ වැඩ කටයුතුයි සේරම කරලා, ගෙවල් දොරවල් අස්පරස් කරලා, දවස පුරාම නැත්නම් වෙනදාට වඩා වැඩි කාළයක් , වෙනදාට වඩා වැඩි කායික වෙහෙසෙක් දරන්නට පෙළඹෙනවා. “පෙළඹෙනවා” කිව්වේ, ඒ සඳහා මානසිකවත් පොඩි තල්ලුවක් දැනෙනවා.

මේ “හොඳ දවස” අවසානයේ මොකද වෙන්නේ, හොඳටම මහන්සියි, ආයෙ දවස් ගාණක් ඇදෙන් නැගිටින්න බැරි තරම් මහන්සියි. ප්‍රතිපලය වෙන්නේ, ඊළඟ දින ගණනාවම සාමාන්‍ය ලෙස කරමින් තිබූ වැඩ කටයුතු, කායික ක්‍රියාකාරකම්වත් නොකරමින් , සම්පුර්ණයෙන්ම කායිකව දුර්වල වූ තත්ත්වයකට පත් වෙනවා. මේ උඩ යට යන රටාව තරම් ෆයිබ්‍රොමයැල්ජියාව ගැන කතා කරත්දි Boom and Bust Cycle ලෙස හදුන්වන්නේ. ෆයිබ්‍රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙක්ගේ Bust එකේදි, වෙනත් අයට වගේ කායික වෙහෙසක් විතරක් නොවෙයි, එයාගේ බුද්ධිමය හැකියාවන්, තීරණය ගැනීමේ හැකියාවන් වගේ දේවල් වලත් දුර්වල වීමක් , අඩුවීමක් වෙනවා.

මේ ගැටළු නිසා වගේම, මෙම චක්කරේ වරින්වර ඇති වීම නිසාත්, ඒ පුද්ගලයාගේ කායික, මානසික වගේම චිත්තවේගීය සෞඛ්‍යයත් අවදානමකට ලක් වෙනවා. කායිකව ක්‍රමයෙන් තවත් දුර්වල වීම , පේෂී වල ශක්තිමත් බව අඩුවීම වගේම, ඒ සියල්ලම නිසාම මානසිකවත් බිඳුනු තත්ත්වයකට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම නිසි විමසිලිමත් බව සහිතව නිවැරදි සෞඛ්‍යයමත් වෙනස්වීමක් නොවුනොත්, මේ චක්කරේ පුද්ගලයාට ටිකෙන් ටික බිඳවනවා.

ඒ නිසා, මේ Boom and Bust Cycle එක බිඳින්න, කළ යුතු හොඳම සෞඛ්‍යයමත් ක්‍රමය විදියට හදුන්වා දෙන්නේ පේසිං, pacing. මොකක්ද මේ පේසිං කියන්නේ, හරිම සරළ උපක්‍රමයක්. කරන්නේ මෙහෙමයි, තමන්ගේ “ඇඟට දැනෙන තත්ත්වය” අඩුව කරන ක්‍රියාකාරකම්, වැඩපල, කායික වෙහෙසවීම් අඩු වැඩි කරන්‍නේ නැතිව, හැමදාම හෝ වැඩි දින ගාණක් , තමන්‍ගේ වේදනාව අසාමාන්‍ය ලෙස වැඩි නොවන මට්ටමේ , ක්‍රියාකාරකම් ප්‍රමාණයක් කරගෙන යනවා.

මේක තේරෙන බාසාවෙන්ම කිව්වොත්, Boom එකේ ඉන්න කෙනෙක් “හොඳ දවස” දැනුනු ගමන්, බොහොම කළබලෙන්, මහන්සියෙන්, විවේකයක් ගැන හිතන්නෙවත් නැතිව මුළු ගේම අස්කරලා, මිදුලත් අතුගාල, රෙදිත් ‍ඔක්කොම හොඳල තව දවස් දෙක තුනක් Bust වෙලා ඉන්න අතරේ, pacing ගැන අවධානයෙන් කටයුතු කරන කෙනා හැම දවසකම වගේ මේ හැම වැඩක්ම ටික ටික කරගෙන යනවා. මහන්සිය, වේදනාව හුඟක් ඉහළ නොයන මට්ටමක ගෙදර වැඩත් , සමහර විට රෙදි කීපයකුත් හෝදලා පොඩි විවේකෙකුත් අ‍රගෙන අපහසුතා අවම කරගෙන ජීවත්වන අළුත් “ජීවන කුසලතාවයකට” හුරු වෙනවා. එය, ෆයිබ්‍රොමයැල්ජියා සහ ඒ ආශ්‍රිත කාළීන වේදනාමතුවන සෞඛ්‍යය ගැටළු, තත්ත්ව වලදි හරිම වැදගත් “ජීවන කුසලතාවයක්”.

මේ පේසිං එක කරත්දි වැදගත් උපක්‍රම කීපයක් අනුගමනය කළ යුතු වෙනවා. ඒ ගැන කෙටියෙන්ම මෙහෙම කියන්නම්,

“වැඩ කඩා ගන්න”

මුළු වැඩේම එකපාරට කරනවා වෙනුවට, සම්පුර්ණ ක්‍රියාකාරකම , කුඩා කොටස් වලට කඩා ගන්න. (උදාහරණයක්, මුළු ගේම එකපාරට අස් කරනවා වෙනුවට, එක එක කාමරේ අස් කරන්න, විවේකයක් ගන්න, කැමති නම් වාඩිවෙලා සිංදුවක් අහන්න, ඊළඟ කාමරේ ටිකක් පිළවෙල කරන්න, තමන්ගේ සීමාව දැනෙනවා නම්, ඊළඟ කාමරේ හෙට අස්පරස් කරන්න. )

“විවේක කාලය”

මේ අය වැඩ කටයුතු අතරේ නිශ්චිත කාළ සීමාවකට හෝ නිශ්චිත කායික වෙහෙසෙ වීම් මට්ටමකට වතාවක් “විවේක කාළයක්” ලබා ගැනීම හරිම වැදගත්. මේ විදියක කියන්නේ, කරන කටයුත්තෙන් ඉවත් වෙලා විනාඩි කිහිපයක්, එහෙම නැත්නම් වැඩි වන බව දැනෙන වේදනාව නැවතත් අඩු වෙලා, මහන්සිය අඩුවන තරමට වත් (හෝ සැලසුම් කළ විනාඩි ගාණක්) විවේකයෙන් ගත කරන එක.

“වැටෙන්න පෙර විවේකය”

මේ කී විවේක කාළය ගන්න ඕන, හොඳමට මහන්සිවෙලා, වැටෙන තරමට වුනාම නොවෙයි, එය time-based or quota-based , එහෙම නැත්නම් සැලසුම් කළ කාළයකට වතාවත් හෝ ක්‍රියාකාරම් කිහිපයකට වතාවත් ගන්න එකයි වාසි.

“සිත-කය මාරු කරන්න”

මේ කිව්වේ, මොකක් හරි ආගමික හෝ අධ්‍යාත්මක අදහසින් නොවෙයි. සිත කය මාරු කරන්න කිව්වේ, එක දිගම කායික ක්‍රියාකාරකම් හෝ එක දිගටම මොළය වෙහෙසවන ක්‍රියාකාරම් වල යෙදෙනවාට වඩා, එය මාරුවෙන් මාරුවට විවේක සහිතව කිරීම වඩාත් සාර්ථකයි. රාජකාරියේ වගකීමක් විදියට ලොකු ගිණුම්කරණ කටයුත්තක යෙදිල නම් ඉන්නේ, එක දිගටම මේකම කරන්නේ නැතිව ඔළුව වෙහෙසන්නේ නැතිව, පැයකට වතාවක්, විනාඩි තුන හතරක් ගණන් හදන වැඩේ නවත්තල ටිකක් ඇවිදල එන්න, නැත්නම් විවේක කාමරය ගිහින් යාළුවෙක් එක්ක කතා කරල එන්න.

“හිමින් නග්ගන්න”

දැන් ෆයිබ්‍රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙක් හැමදාම අඩුවෙන් වැඩ කළ යුතුමයි කියල නීතියක් නෑ. මේ කියූ විදියට පේසිං එක්ක වැඩ කටයුතු කරගෙන යත්දි , ක්‍රමයෙන් තමන්ට දරන්න පුළුවන් සීමාව , සැලසුම් සහිතව , ක්‍රමයෙන් වැඩි කරන්න පුළුවන්. ලිපිය නිමා කරන්න අපේම අත්දැකීමක් මේ වෙනුවෙන් එකතු කරන්නම්. අපි, කැලේ පනින පවුලක් බව මගේ ලිපි කියවන හුඟක් අය දන්නවනේ. ඒ විදියට හැම සතියකම කිලෝමීටර විසි තිස් ගාණක් කැලේ , කඳු බඩගාන්න පුරුදු වෙලා හිටිය ම‍ගේ බිරිඳ, ෆයිබ්‍රොමයැල්ජියාවේ උග්‍රම අවස්ථාවෙදි “එක්තැන් වන” මට්ටමට පත් වෙනවා, ඇවිදීම තියා නැගිට සිිටීමත් වේදනාවක් වන තරමට. අප කරන්නේ, ලැබෙන ප්‍රතිකාර, උපදේශණ සහ සෞඛ්‍යය උපදෙස් ඔස්සේ ක්‍රමානුකූලව සහ සැලසුම් සහගතව ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වැඩි කරන එක. මේ සැලසුමේ සාර්ථකත්වය අපට දැනෙන්න දෙමින් , පහුගිය සති අන්තයක ආයෙත් අපේ වන සංචාරයට බිරින්දෑත් හවුල් කරගෙන, කි‍ලෝමීටර දහයකට කිට්ටුව කන්දක් බඩගාන්න පුළුවන් වෙනවා. මේක කිව්වේ, අපේම අත්දැකීමක් විදියට, වගේම යම් අයෙක් ෆයිබ්‍රොමයැල්ජීයාව සමඟ ජීවත්වනවා නම්, ඒ නිසාම හිතින් වැටිලා නම් ධෛර්යයක් වන්නට. ඔව් අපට පුළුවන්, හැබැයි නිසි සෞඛ්‍යය උපදෙස්, ප්‍රතිකාර සහ සැලසුම් සහගත සත්කාරයක් ඔස්සේ.

අදට ඇති, තවත් ලිපියකින් නැවත හමුවෙමු.

2026/07/10

💖 අළුත් රටේ ආදරේ 💔

“අයියා, මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?”

රැකියාවේ වගකීම් වෙනුවෙන් නගරය පුරා එහෙ මෙහෙ යන අතරේ මැසෙන්ජරය ඔස්සේ ආ පණිවිඩයක් ෆෝන් එක් තිර‍යේ මතුවුනා. රාජකාරි වෙලාව ඇතුලේ සමාජ මාධ්‍යය එක්ක වැඩිය නොගැවසෙන නිසා, දවසේ වැඩකටයුතු හමාර කරලා ගෙදර ඇවිත් ඒ මතුවුනු පණිවිඩය ගැන ටිකක් හොයා බැලුවා.

කාළෙකට ඉස්සර වෙලා එක්තරා රටකට සංක්‍රමණය වුනු, ඒ සතුට මාත් එක්කත් බෙදාගත්ත තරුණ දරුවෙක්ගෙන් ලැබුණූ පණිවිඩයක්. වයසින් ගත්තොත් මගේ දරුවෙක්ගේ වයස් සීමාවේ කිට්ටුව හිටියත් ,”අයියේ” කියන්න ඇත්තේ තිබුණූ හිතවත්කම නිසා කියල හිතාගෙන පමාවට හේතුවත් එක්ක අවශ්‍ය නම් කතාබහ කරන්නට අවස්ථාවක් දෙමින් උත්තරයක් දැම්මා. විනාඩි කිහිපයකදි ලොකු කතාවකට ආරම්භයක් දුන්නා. පැයකට කිට්ටුව කාළයක් පුරා ඔහුගේ කතාවට සවන් දුන්නේ, එකක් ඔහුට “කියා හිත නිදහස් කරගන්නට” යමක් තිබුණූ බව හැඟුණූ නිසා, අනෙක කුමක් හෝ අදහසක් මගෙන් බලාපොරොත්තු වන බව දැනුනු නිසා.

කතාවේ සාරාංශය වුනේ, අළුත විවාහ වුනු , තරුණූ යුවලක් විදියට, කාළයත් තිස්සේ සැලසුම් කර අභීයෝග ගනිමින් සාර්ථක කරගත් “වෙනත් රටක පදිංචිවීමේ” සිහිනය ජයගෙන, ඒ සතුට විඳින අතරේම මතුවන සංකීර්ණ අභියෝගයක් ගැන. “අයියේ, මටත් දැන් එයා ‍එපා වෙන තරමට, මං හිතන්නේ එයාටත් දැන් මගෙන් වැඩක් නෑ වගේ” තවත් හුඟක් දේ කියාගෙන ගියා. ඒ එක්කට ඔහු කී කතාවේ , ‍නොකියා දැනෙන්නට දුන් කතාවේ සහ නොකියා සඟවා ගත් කතාවේ බර දැනුනු නිසා, සහ මේ සමාන කතාවක් අහන පළමු අවස්ථාවත මෙය නොවන නිසා ඔහුට කළ හැකි දේ ගැන යෝජනා කිහිපයක් ලබා දීලා, මේ ගැටළුව ගැන අපේ ෆේස්බුක් ගෲප්ස් වලට යමක් ලියන්න හිතුණා. ඒ, පහුගිය අවුරුදු කිහිපය පුරා, මීට සමාන අවස්ථා ගැන අහන්නට ලැබීම වගේම, ඒ සිදුවීම වල නිමාවන් තුල වූ අවාසනාවන්ත තත්ත්වයන් ගැන දැන ගන්නට ලැබීමත් නිසා.

දැන් බලමු මොකක්ද මේ , මෙතෙක් පැහැදිලි‍ නොකළ කතාව කියලා.

කෙටියෙන්ම කිව්වොත්, මේකයි කතාව.
ලොකු බලාපොරොත්තු ‍පොදි බැඳගෙන, අභියෝග ගණනාවකට මුහුණදීලා, හීනයක් වගේ තිබුණූ අදහසක් ජයග්‍රහණය ක‍රලා, තමන් කැමති රටකට පදිංචියට එන යුවලක් , ඒ රට තුල මුල් වසර කිහිපය ගත කරත්දි, දෙන්නා අතර බැඳීම් ක්‍රමයෙන් දුරස් වෙන්නට පටන් ගන්නවා. කතාව දිගු නොකර අවසානය කෙටියෙන් කිව්වොත්, මේ දුරස් වීම, පවුලේ සතුට බිඳ දමනවා පමණක් නොවෙයි, කායිකව සහ මානසිකව පීඩා විඳිමින් පවුල තුල ජීවත්වන තත්ත්වයක් හෝ එයින් එහාට ගිහින්, නීතිමය වශයෙන්ම ඔවුන් අතර ඇති බැඳීම් බිඳ දමා වෙන් වීමකින් හෝ දික්කසාදයකින් දුරස්වන තරමට එන සිදුවීම.

කෙසේ වෙතත්, මේ ලිපිය තුල යුග ජීවිතේ ගැන, වෙන්වීම්, දුරස්වීම් හෝ දික්කසාදය ගැන හොඳ නරක ලියන්නට උත්සාහ කරන්‍නේ හෝ ඒ ගැන මගේ අදහස සමාජගත කරන්නට යන්නේ නැහැ. මගේ අවශ්‍යතාවය වෙන්නේ, නව සංක්‍රමණික ජීවිතය තුල මතුවිය හැකි, මුහුණදිය හැකි මේ තත්ත්වය , ඇති වීමට හේතු, මුල් අවස්ථාවේම හදුනාගැනීම, සංකීර්ණ වන බව පෙන්වන ලක්ෂණ වගේම දෙදෙනාගේ සතුට, පවුලේ බැඳීම වෙනුවෙන් වඩාත් යහපත් සහ සෞඛ්‍යයමත් බැඳීමක් නැවත පණ ගන්වා ගැනීමට කළ හැකි, කළ යුතු හෝ අඩුම තරමේ හිතා බැලිය යුතු කරුණූ කිහිපයක් එකතු කරන්නට. මේ කරුණූ එකතු කිරීම තුල ප්‍රජා සෞඛ්‍යය වෘත්තිකයෙන් ලෙස මෙවන් අවස්ථා වලදි කළ යුතු මැදිහත් වීම් වෙනුවෙන් ලැබෙන දැනුවත්වීම්, උපදෙස් වගේම , සංක්‍රමණික ජීවිතයේ අත්දැකීම් ලැබූ , අඩසිය වසරකට වඩා ජීවිතේ අත්දැකීම් ලැබූ වැඩිහිටියෙක් ලෙස තමයි ම‍ගේ අදහස් එකතු වෙන්නේ. ඒ හැර, පවුල් උපදේශණය කරන්නෙක් හෝ මනෝ උප‍දේශකයෙක් ලෙස “රඟපාන්නට” උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසාම, මේ ලිපිය තුල වැරදි ඇත්නම්, වඩාත් නිවැරදි විය යුතු තැන් ඇත්නම් එකතු කරන්නට ඔබට ආරාධනා කරන අතරේ, වැඩිහිටියෙක් ලෙස කියවා , වටහා ගැනීමට සහ අවශ්‍ය තැන තව දුරටත් සොයා , විමසා ඔබට වඩාත් ගැලපෙන උත්සාහට දැරීමට ආරාධනා කරනවා.

එහෙම නම් මෙන්න කතාව.

සංක්‍රමණය කියන්නේ සත්ව පරිණාමයේ, විශේෂයෙන්ම “මිනිස්” විශේෂයේ අද පවතින තත්වය දක්වා ආ ගමනේ වැදගත් ප්‍රධාන පියවරක්. ආහාර, ආරක්ෂාව, ගැලපෙන පරිසර තත්ත්ව, කණ්ඩායම් වෙන්වීම වගේ විවිධ හේතු නිසා අතීතයේ මේ මානව සංක්‍රමණය සිදු වුනත්, අද නූතන ලෝකය තුල ඊට වඩා සංකීර්ණ අරමුණූ වෙනුවෙන් තමයි සංක්‍රමණය සිදුවන්නේ. රැකියාව, ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීම, යහපත් ජීවිතයක් තමන්ට හෝ තම දරුවන්ට ලබා දීමට , නිදහස බලාපොරොත්තුවෙන් වගේම, අළුත් ජීවිත රටාවක් පටන් ගැන්මේ අරමුණින් ‍අද දවසේ මේ සංක්‍රමණය සිදුවෙනවා. කෙටියෙන් කිව්වොත්, fresh start එකක් අරමුණූ කරගෙන, කාළයක් ජීවත් වූ ගම, රට, ඥාතීන් හැරදාල වෙනස්ම සංස්කෘතියක රටකට ජීවත්වන්නට, පදිංචි වන්නට එනවා කියන්නෙම අභියෝගයක්. ඒ ගමන තුල ඉන්‍නේ යුවලක් නම්, අභියෝගය තවත් සංකීර්ණ ඇති, දරුවන්ද එකතුවන්නේ නම් මේ කියන සංකීර්ණත්වය තවත් වැඩි වෙන්නටත් පුළුවන්.

ඉතින්, ඒ අභියෝගයත් බාර අරගෙන, එය දිනාගෙන අළුත් රටකට එන්නේ fresh start එකකට වුනත්, ඒ ආරම්භය හිතන තරම්ම සුවදායකද? fresh ද?

මේ ප්‍රශ්නය අළුත් රටකට සංක්‍රමණය වූ පිරිසකගෙන් ඇහැව්වොත් මිශ්‍ර උත්තර ලැබෙන්නට පුළුවන් වුනත්, අඩුම ත‍රමේ මේ ගමනේ ආරම්භය , අළුත් රට තුල මුල් මාස කිහිපය, අවුරුද්ද දෙක වගේ කාළයවත්, “හිතූ තරම්” සුව-සතුටුදායක නොවූ බව අහන්නට ලැබේවි. මේකෙන් කියන්නේ නෑ හැමදේම නරකට පත් වුනා කියලා, නමුත් fresh start එකක් බලාපොරොත්තුවෙන් කළ ආරම්භය හිතුවාට වඩා, අසා තිබුණාට වඩා, ‍හෝ සමහර විට දැනගෙන හිටියාට වඩා” බරයි” කියන දේවත් කියාවි.

දැන් මෙතැනින් එහාට මේ අළුත් බර ගැන කතා කරන්නේ, විවාහක යුවලකට අදාලව. හේතුව තමයි ලිපිය ලියන්න‍ හේතුවුනු කතාබහ සහ ඒ ඔස්සේ බෙදා ගන්නට උත්සාහ කරන කරුණූ වැදගත් වන්නේ එවන් පවුල් පරිසරයකට නිසා.

දැන්, මේකී විදියට අළුත් රටකට සංක්‍රමණය වන යුවලක්, පෙර කී අභියෝග වලට මුහුණදීලා, ඒවා ජයග්‍රහණය කරගෙන නැවුම් “සතුට” මුසු තවත් හැඟීම් ගොන්නක් හිතේ දරාගෙන අළුත් පොළොවට පය තබන්නේ. ඒ පය තැබීමම ජයක් වුනත්, සැමරිය යුත්තක් වුනත් එතැන් සිට ආරම්භ වන්නේ, තවත් අභියෝග මාලාවක්. අළුත් රට තුල ආරක්ෂිත වීම, ස්ථාවර වීම, සමාජීය ලෙස බැඳීම වගේ මාතෘකා තුලට කෙටි කළ හැකි අළුත්ම ප්‍රශ්න පත්තරේකට උත්තර හොයන්නට මේ යුවලට සිදුවෙනවා. මේ කටයුත්ත , අප සාමාන්‍යයෙන් කතාබහට කියන විදියට ටිකක් ස්ට්‍රෙස්ෆුල්. මේ stressfulness එකම, ඒ යුවලගේ බැඳීමට, පවුල තුල ඇති එකතුවට යම් පීඩා කිරීම් කරන්නට පටන් ගන්නවා. අන්න ඒ පීඩා කිරීම් හදුනානොගෙන, කාළයක් විඳවමින් සිටීමේ ප්‍රතිපල විදියට තමයි ලිපියේ මුලින් කී සිදුවීම් වලට මුහුණදෙන්නට බොහෝ අවස්ථා වලදි හේතු වෙන්නේ.

ඒ නිසා, අළුත් රටට ආ මේ යුවලගේ stressfulness සඳහා විය හැකි හේතු ටිකක් හදුනාගත්තොත් ඒ ඔස්සේ දෙදෙනා අතර බැඳීමට වන සහ විය හැකි හානි යම් තරමකට හෝ අඩු කරගන්නට පුළුවන් වේවි.

මේ තත්ත්වය ගැන සමාජ-මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තුල හදුනාගන්නා හේතු කිහිපයක් තියෙනවා මේ යුවල අතර ඇති බැඳීම අඩු කරවන්නට හේතුවන. අපි ඒ කරුණූ කිහිපයක් කෙටියෙන් කතා කරත්දි , ඔබ සංක්‍රමණිකයෙක් නම් ඔබේ අත්දැකීමත් ඊට ගලපා බලන්නට පුළුවන් වේවි.

අළු-කළු-සුදු සංස්කෘතිය

මුලින්ම තේරුම් ගන්න ඕන බොහොම සරළ කාරණාව තමයි අපි කොයිතරම් කිව්වත්, අපි දෙන්නම එක වගේ කියල, ඔයයි මමයි දෙන්නෙක් නොවෙයි එක් කෙනෙක් කියලා, ඇත්ත තත්ත්වය ඔබ, ඔබමයි. කිසිම හේතුවක් නිසා, බැඳීමක් තුල ඉන්න යුවලේ දෙදෙනා “සියල්ල සමාන” අය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ, එකිනෙකාගේ අසමානකම් ගලපාගෙන, පිළිඅරගෙන, “සමාන” හැඟීමකට කිට්ටුවෙන එක විතරයි. නමුත්, කායික, මානසික , චිත්තවේගීය පරිසරය තුල තවමත් දෙන්නේ, “වෙනස් දෙන්නෙක්”.

මේ තත්ත්වය, සංක්‍රමණිකයන් විදියට අළුත් රටකට ඇවිත්, ඒ අළුත් පරිසරයට , අළුත් සංස්කෘතියට හුරු වෙත්දිත් (acculturation ) බලපානවා. කොයිතරම් කීවත් අපි දෙන්නා, දෙන්නගේ කැමැත්තෙන්මයි, දෙන්නම ප්ලෑන් කරලා , අ‍පේ දරුවෝ වෙනුවෙන්ම මේ රටට ආව කියල, අර හැඩ ගැහීමේ ක්‍රියාවලිය තුල යම් පරස්පරතා තියෙන්න පුළුවන්.

කෙනෙක්, මේ විදියට අළුත් රටකට, අළුත් සංස්කෘතියකට හැඩ ගැසීමේ ක්‍රියාව තුල තෝරාගන්න (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ප්‍රධාන ක්‍රම හතරක් සමාජ විද්‍යාත්මකව හදුනාගන්නවා. ඒ තමයි,දෙකටම බද්ධවීම (integration ), අළුත්එක අල්ලා ගැනීම (assimilation), පරණ එකේ ඇළීම (separation ) ,දෙකම අතෑරීම (marginalization ). දැන් ‍මේ අවස්ථා හතර ගැන කෙටියෙන් කතා කරමු, ඒ එක්කම අළුත රටකට ආ කෙනෙක් නම් ඔබ ‍කොතැනද කියලත් බලන්න.

දෙකටම බද්ධවීම (integration ) කියල කිව්වේ, අළුත් රටට ආ පුද්ගලයා තමන් හැදුනු වැඩුනු සංස්කෘතියේ අංග වගේම, අළුත් සංස්කෘතියේ අංශයන් වලටත් මුසු වෙනවා. තම උරුම අනන්‍යතාවය තියාගෙන, අළුත් රටේ විදියට එකතු වෙන, හැඩ ගැහෙන ක්‍රමය මේ. සරළ උදාහරණයක් විදියට ගත්තොත් අළුත් රටට ආවත් තමන්ගේ ගෙදර තුල, දරුවන් සමඟ තමන්ගේ මව් බසින් කතා කරන, උපන් රටේ ආහාර සංස්කෘතිය වරින්වර හෝ රස විඳින, ඒ උපන් , හැදුනු වැඩුනු සංස්කෘතියේ උත්සව, ඇඳුම් පැළදුම් රටාවන් අවශ්‍ය තැන් වලදි සමරමින්, විඳිමින් අළුත් රටේ නීති රීති, සමාජ රටාවන්ට ‍හොඳින් අනුගතව, රැකියාව, පාසල , සමාජය තුලදී අළුත් සංස්කෘතිය තුලට මුසුවුනු අයෙක් විදියට ඉන්නා කෙනෙක් මේ biculturalism හෝ “දෙකටම බද්ධ වූ” අයෙක් විදියට පිළිගන්න පුළුවන්. ඒ පුද්ගලයා , අවශ්‍ය තැන තම ආවේණික, උරුම අනන්‍යතාවය පෙන්නුවත්, ඉන් “විශේෂී” වුවත්, අනවශ්‍ය ලෙස “විශේෂී පුද්ගලයෙක්” වෙලා, අළුත් සංස්කෘතිය තුල වෙන්වූ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මේ තත්ත්වය සංක්‍රමණය තුල හොඳ ආකෘතියක් විදියටයි පිළිගන්නේ.

දැන් “අළුත්එක අල්ලා ගැනීම (assimilation)” කරන පුද්ගලයා කරන්නේ, එයා හැදුනු වැඩුනු සංස්කෘතිය, උරුම අනන්‍යතාවය සම්පුර්ණයෙන්ම ඉවත දාල, සමහර විට එයට පහර ගහල , අළුත් සංස්කෘතිය, අළුත් චර්යාරටාවන් විතරක්ම එකතු කරගන්නවා, එහෙම නැත්නම් ඒ අළුත්ම රටාව තුලට ගිලෙනවා. අඳින පළදින, කතා කරන , හැසිරෙන විදිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා, වෙනත් සංස්කෘතියකින්, වෙනත් රටකින් ආවාදැයි කියන්න බැරි තරමට “අළුත් එක අල්ලාගන්නා” මේ අය, අළුත් රටට, සංස්කෘතිය තුලට ඉක්මණින් එකතුවීමට හැකි වුනත්, ඒ තුල සිදුවන, “හිතාමතාම” කරන හෝ කරන්නට උත්සාහ දරන “මුල් අමතක කිරීම” , යම් අවස්ථාවක මානසික සහ චිත්තවේගීය පරිසරයට පීඩා ඇති කරන්නට පුළුවන්.

ඊළඟ අවස්ථාව “පරණ එකේ ඇළීම (separation )” කියන්නේ, මේ පුද්ගලයා අළුත් රටට ආවත්, අළුත් රට තුල ස්ථාවර වෙන්න හැදුවත් තමන්ගේ උරුම සංස්කෘතිය, හැදුනු වැඩුනු චර්යා රටාවන් අතාරින්නේ නෑ. අතාරින්‍නේ නෑ විතරක් නෙ‍ාවෙයි, අළුත් සංස්කෘතියේ, අළුත් රටේ නීති රීති , චර්යාවන්, අළුත් සංස්කෘතිය එකතු කරගන්නේම නෑ. මෙයා අළුත් රට ඇතුලේ, “පරණ ජීවිතේම” ගත කරන්නට උත්සාහ කරනවා. මේ තත්ත්වය තුල සිදුවෙන්නේ, අළුත් රටකට ආවත්, ඒ අළුත් රට තුල පරිසරයෙන්, සමාජයෙන්, බැඳීම් වලින් වෙන්වී “තනිවීමක්” සමහර විට හානිකර විදියට ලේබල් වීමක් වෙන්නත් බැරි නෑ. ‍මේ අයට අළුත් රටට, පරිසරයට අනුගත වෙන්න, ගැලපෙන්න හුඟක් මහන්සිවෙන්න වෙනවා වගේම , දැඩි මානසික, චිත්තවේගීය පීඩාවන්ට මුහුණදෙන්නටත් සිදුවෙන්න පුළුවන්.

බොහෝ වෙලාවට සිදුවෙන්නේ මේ අවස්ථා තුනෙන් එකක් හෝ කිහිපයක් අඩු වැඩි වශයෙන් මිශ්‍රව වුනත්, ඔය අළුත් එකත් නැති , පරණ එකත් නැති චර්යාවක් දක්වන අවස්ථාත් තිබෙන්නට පුළුවන් , ඒ අවස්ථාව marginalization කියලයි සමාජ විද්‍යාත්මකව හදුන්වාදෙන්නේ.

ඇයි දැන් අළුත් රටට ආ යුවලක් , බැඳීමෙන් දුරස්වීම හරි දික්කසාද වීම ගැන හරි කතා කරන්නං කියලා මේ සමාජ විද්‍යා පාඩමක් කළේ? හේතුව මේකයි මේ ඔස්සේ අපට පුළුවන් වෙනවා, මේ විදියට අළුත් රටකට සංක්‍රමණය වෙලා හැඩගැහෙන, අළුත් රටේ අභියෝග බාර ගන්න කාළේ එකිනෙකා අතර තිබුණූ බැඳීම් දුරස් වන්නට පුළුවන් එක් කාරණයක්. හිතන්න යුවලේ එක් අයෙක් මේ ක්‍රම හතරෙන් integration වෙන්න හදත්දි, අනෙක් කෙනා තවමත් ඉන්නේ උපන් රටේ සංස්කෘතිය අල්ලගෙනම නම්(separation) . මේ තත්ත්වය තුලදී, අළුත් රට තුල මතුවන අභියෝග, හුරුවීම් වලදී දෙන්නා හිතනපතන විදිය, එළියට ‍නොපෙන්නුවත් හිත ඇතුලේ , චිත්තවේගීය පරිසරය හැසිරෙන විදිය එකිනෙකාට නොගැලපෙන තත්ත්වයක් එනවා. මේ නොගැලපීම ඔස්සේ, සමහර විට දෙන්නා නොදැනුවත්වම, මෙතෙක් පැවති බැඳීම් වල යම් දුරස්වීමක් වෙන්නට පුළුවන්. ඒ දුරස්වීම මුල් අවස්ථාවේම හදුනාගෙන පිළියම් නොගත්තොත් සහ දුරස්වීම තවත් වැඩි වුනොත් , යුවල අතරේ තිබුණූ බැඳීම් කැඩීයාමට වුනත් හේතුවක් වෙන්නට පුළුවන්.

මෙම විය හැකියාව සමාජ විද්‍යාත්මකව The Acculturation Gap-Distress Model ලෙසයි හදුන්වන්නේ. පොතේ එහෙම නමක් තිබුණත්, නමක් නැතිවම අප අතරේ මේ ‍විරසකය අප‍ේ පවුල ඇතුලේම තිබෙන්නට පුළුවන් නිසා, ලිපි පෙළේ පළමු වැන්න තුලදී අඩුම තරමේ මේ වෙනස් හැඩගැසීම් රටා හදුනාගෙන, මේ සංස්කෘතිය වෙනස්කම් , දෙරටේ වෙනස්කම් ගැන සමානව යන හෝ ආසන්නවවත් පිළිගන්නා තැනකට ඇවිත් එකම අරමුණක් වෙනුවෙන් එන්නට පුළුවන් හැකියාව, (ඒ ජීවන කුසලතාවය dyadic bicultural competence කියලත් හදුන්වනවා) දියුණූ කරගන්නට පුළුවන් නම් අළුත් රට තුල අභියෝග වලදී , ආදරණීය බැඳීම් එක්ක දෙන්නාට සාර්ථකව ඉදිරියට එන්නට පුළුවන් වේවි.

දැන් බලමු, මේ විදියට වෙන්වීමට, දුරස්වීමට හේතු සාධක වන තවත් කරුණු කිහිපයක්.

අනුවර්තන හැකියාවේ වෙනස.

මේ කතා කරන බැඳීම් , අළුත් රටට තුලදි දුරස් කරන්නට හේතු විය හැකි තවත් අවස්ථාවක් තමයි ඒ ඒ පුද්ගලයාට අළුත් පරිසරයට අනුවර්තනය වීමේ හැකියාවේ ඇති වෙනස්කම්. උදාහරණයක්, මහත්තයා අළුත් රට ඇතුලේ ඉක්මණින් රැකියාවක් හොයා ගෙන, භාෂාව, අළුත් රටේ social norms , හිතමිතුරන් හදුනාගෙන එකතු වෙත්දි , බිරිඳට ඒ අවස්ථාව ලැබුණෙ නැත්නම්, එහෙම නැත්නම් ඇයට අළුත් පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව අඩු වුනා නම්, ඒ නිසා ඇය අළුත් පරිසරය තුල තනිවන තත්ත්වයකට පත් වුනොත් අන්න එතැනදිත් දෙන්නා අතර ඇති සමීප බව අඩු වන්නට හේතුවිය හැකි බව සමාජ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේත් හදුනාගන්නවා. මේ වියහැකි අවදානම අඩු කරගන්නට කළ හැකි හොඳම දේ , මේ “අනුවර්තන හැකියාවේ” වෙනස්කම් ගැන දෙන්නා වටහා ගැනීම, කතා බහ කරගැනීම සහ ඒ ඔස්සේ දෙදෙනාම අළුත් රට තුල සමාන වේගයකින්, උනන්දුවකින් අනුවර්තනය වීමට උත්සාහ කිරීමයි.

විවාහක “වගකීම්” වල වෙනස්වීම්.

උපන්, ජිවත් වුනු රටේ විවාහක යුවලක් විදියට ජීවත් වෙත්දි එකිනෙකා කරගෙන ගිය රාජකාරි රටාවක් තියෙනවානේ. හුඟක් වෙලාවට අම්ම, නැත්නම් බිරිඳ උයල පිහල, තේ ටික හදල, ගෙවල් දොරවල් අස්පරස් කරන ගමන් රස්සාවටත් යත්දි , මහත්තයා රස්සාව ඇතුලේ මහන්සි වෙලා ගෙදර ඇවිත් , සමහර විට රස්සාවේ වැඩම කරාවි නැත්නම් ගෙදර වැඩට , දරුවන් බලා ගන්න උදව් වෙන වගේ යම් රටාවක් තියෙනවානේ. සමහර විට ඒ වගකීම් වලට මේ අයගේ දෙමාපියන්, හිතවතුන් , අසල්වැසියන් වගේ තවත් පිරිිසකගේ කිසියම් උදව් ලැබීමකුත් වෙන්න පුළුවන්නේ.

හැබැයි අළුත් රටට ආ ගමන් වෙන්නේ, මේ යුවල එක්තරා විදියකට “තනි පවුලක් ලෙස වෙන්වූ” අළුත් රටාවකට ඇතුල්වන එක. එතැනදි දෙමාපිය හිතවතුන්ගෙන් යම් උපකාරයක් ලැබෙමින් තිබුණා නම් ඒව නැතිව යනවා, සැමියා සහ බිරිඳ කරගෙන ආ ගෙදර රාජකාරී ආකෘතිය බිඳවැටිලා, වෙනස්ම රටාවකට හුරු වෙන්න පටන් ගන්න හදනවා. මේ සියල්ල ඔස්සේ “ගෙදර වගකීමේ ඉහළින්” කෙනෙක් හිටියා වෙනුවට , දෙන්නාම ඉහළ වගකීම් දරන්නට පටන් ගන්නවා, මේ විදියට power dynamics වෙනස්වීම, ආර්ථික වගකීම් වල වෙනස්වීම් වගේ වගකීම් අළුත්වීමත් දැන හෝ නොදැන දෙන්නා අතර දුරස්වීමක් ඇති කරවන්නට හේතු වෙන්නට පුළුවන්. මේ දුරස්වීම කායිකව, මානසිකව වගේම ආදරණීය බව තුල තිබුණූ හැඟීම් වල පවා වෙනසක් ඇති කරවන්නට පුළුවන්. මෙතැනදීත්, කළ යුතු තත්ත්වය වෙන්නේ, මේ වෙනස ගැන දැනුවත් වෙලා, ඒ ගැන කතා බහ කරමින්, වෙනස්වීම් තුල එකිනෙකාට ඇතිවන බර, පීඩනයන් ගැන කතාබහ කරමින් දෙදෙනා එක්ව, මේ ගමන ඒමයි.

පණ රැක ගැනීමේ අවශ්‍යතාවය.

කොයිතරම් දැන උගත් වුනත්, රට ගැන දැන හිටියත්, අළුත් රටක පදිංචි වෙලා ඒ අළුත් පසට හැඩ ගැහෙනවා කියන්නේම ලොකු ස්ට්‍රෙස් එකක්. අළුත් රට තුල අධ්‍යාපනය, ඒ අධ්‍යාපන පරිසරයේ වෙනස්කම්, සමාජ ආචාර ධර්ම වල වෙනස්කම්, රැකියාවක් සොයා ගැනීම වගේම රැකියා පරිසරයේ පෙර ලබා ඇති අත්දැකීම් සමඟ අළුත් අත්දැකීම් පරස්පර වන හෝ වෙනස්වන තැන ඇති වන පීඩනයන්, ඉන්න තැනක් හොයා ගැනීම, දරුවන් ඉන්නවා නම් ඒ අය අළුත් ප‍රිසරය තුල වෙනස්වන විදිය ඔය වගේ විවිධාකාර stressors මේ යුවලට එකතු වෙනවා. ප්‍රතිපලය වන්නේ, ඒ කාළය පුරාම survival mode එකකින්, තවත් විදියකින් කිව්වොත් පණ රැකගෙන ජීවත්වීමේ තත්ත්වයකට පත් වෙනවා. මේ සිදුවීම තුල මේ දෙන්නාගේ ඇඟ ඇතුලේ , කායිකවක් ලොකු වෙනස්කම් වෙනවා, ඒකට හේතුව ‍මේ කල්පවතින ස්ට්‍රෙස් නිසා, දේහයේ කෝටිසෝල් හෝමොන ප්‍රමාණය වැඩිවීම සහ වැඩි කාළයක් එය පැවතීම. මේ කෝටිසෝල් කියන්නේ, “පණ රැක ගන්න” උදව්වන දෙයක් මිස, විනෝදය, ආදරය, සැහැල්ලුව , බැඳීම් උනන්දු කරන හෝමොනයක් නොවේ. ඒ නිසා, මේ අධික කෝටිසෝල් මට්ටම නිසා, චිත්තවේගීයව නිරන්තරයෙන් බියක්, තිගැස්මක්, හදිසියකට සූදානම් තත්ත්වයක් වගේ හැඟීම් රඳවමින්, බැඳීම්, හුරතල් වීම්, ආදරය කිරීම් වගේ ඉහළ අවශ්‍යතා මතුවීම නවත්වා දමන තත්ත්වයකට එනවා. ඔබට සමහර විය මස්ලෝගේ අවශ්‍යතා නීතිය මතක නම්, ආදරය, බැඳීම වගේ හැඟීම් සහ අවශ්‍යතා එන්නේ, මූලික කායික අවශ්‍යතා, ඒ කිව්වේ ආහාර පාන, ඇඳුම් නින්ද වගේ අවශ්‍යතා සම්පුර්ණ වෙලා, එතැනින් ඉහළට ඇවිත් ආරක්ෂාව, රැකියාව, සුව පහසුව වගේ අවශතාත් සම්පුර්ණ වුනාට පස්සේ තුන්වන මට්‍ටමේදී. ඒ නිසාමයි , cortisol is an intimacy killer කියල කියන්නේ. තව විදියකින් කිව්වොත් මේ අළුත් රට ඇතුලේ පණ රැක ගෙන, අළුත් පරිසරයට හැඩගැහිලා, යම් ස්ථාවර බවකට එනතුරු මේ යුවලගේ ලේ වල දුවන අධික කෝටිසෝල් නිසාම දෙන්න අතර තිබුණූ ආදර හැඟීම්, බැඳීම් , ලිංගික සතුට ලැබීමේ අවශ්‍යතාවයන් අඩු වෙනවා. ඒ වෙනුවට, ස්ට්‍රෙස් වලින් පිරුණු, යම් අවිවේකී බවක් තමයි එකතු වෙන්නේ.

මෙන්න මේ ස්ට්‍රෙස් නිසා, එහෙම නැත්නම් කෝටිසෝල් නිසා සිදුවන intimacy breakdown (සමීප බැඳීම් බිඳ වැටීම්) නිසා මොකද වෙන්නේ, මෙතෙක් අපි දෙන්නට අපි දෙන්න කියමින් එකිනෙකාගේ හැඟීම්, චිත්තවේගයන් සමඟ තිබුණූ බැඳීම (අපි ඒකට emotional cushion එක කියමු) ටිකක් දුරස් වෙන්න පුළුවන්. මේ ඉමෝෂනල් කුෂන් එක බිඳවැටීමමයි, දෙන්නා අතර තිබුණූ බැඳීම දුරස්වීමක් ලෙස දැනෙන්නට පටන් ගන්නේ. මෙම තත්ත්වය නිවැරදිව හදුනා නොගත්තොත්, ස්ට්‍රෙස් නිසා, කෝටිසෝල් නිසා රළු වන බිදෙන මේ ඉමෝෂනල් කුෂන් එක ඉක්මණින් යථා තත්ත්වයට පත් කර නොගත්තොත්, තවත් මාස කිහිපයකදි යුග දිවිය නිමා කර දෙන්නා වෙන් වන්නට වුනත් හේතු ආරම්භයක් වෙන්නට පුළුවන්.

අපි ‍‍මේ ලිපිය තුල විවාහක යුවල මූලික කරගත්තත්, මේ සියළු සිදුවීම් නිසා නිවස තුල සිදුවන බිද වැටීම්, හුඟක් අවදානම් විදියට සහ වඩාත් සංවේදී විදියට දරුවන්ට බලපාන නිසා, දෙමාපියන් වඩාත් සැලකිල්ලක් දක්වමින් මේ අවදානම් සීමා කරගන්නට අවශ්‍ය ජීවන කුසලතාවයන් හදා ගත්තොත් තමයි වටින්නේ.

හරි මෙතෙක් වෙලා කතා කරගෙන ගියේ මේ දුරස්වීමේ හේතු සහ එය සිදුවන විදිය නේ. දැන් අපි කතා කරමු කෙටියෙන් , ‍මේ කියන විදියේ දුරස්වීමක් වෙන්නට ප‍ටන් ගනිත්දි දෙදෙනා අතර, පවුල තුල දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන. පූර්ව රෝග ලක්ෂණ වගේ , අවදානම දරුණූ වෙන්න ඉස්සර වෙලා මතුවන තත්ත්වයන් කිහිපයක්. ලක්ෂණ ඔක්කොම එකට කතා කරනවාට වඩා පහසු වේවි කියල හිතෙනවා, එක් එක් “මට්ටම්” ගැන කතා කළොත්.

හිතට නොඑබීම

වෙනදා කතාබහ කරත්දි තමන්ගේ ආදරණීයය, සැමිය ‍, බිරිඳ ගැන සුවදුක් විමසුවා නම්, “ආදරයෙන්”, ඔයාට කොහොමද කියලවත් අහන්න පුරුද්දක් තිබුණා නම්, මේ අළුත් රටේ ස්ට්‍රෙස් එක්ක එහෙම අහනවා වෙනුවට රස්සාවක් හොයා ගන්න එක ගැන, දාපු රිසිමියට ඉන්ටවීම් නොආ එක ගැන, බැංකුවේ මුදල් අඩු වෙන එක ගැන වගේ විවිධාකර පීඩනය මූලික වූ කතාබහ (logistics talks) එකතු වෙන්න පටන් ගන්නවා නම්, ඒ සමඟ අර කී “ආදරණීය හොයා බැලීම් feelings talk ” අඩුවෙනවා නම් අන්න ඒක මේ අවදානමේ මුල් මට්ටමේ ඉන්න බව කියනවා. මේක ඔය දෙන්නම ටිකක් මැන බලන්නත් පුළුවන්, L:F අනුපාතය 4:1ට වඩා වැඩි වෙනවා නම් ඒ කිව්වේ අර පීඩනය සහිත , අළුත් රට තුල බර වගකිම් ගැන කතා (logistics) හුඟක් වැඩිවෙලා, හැඟීම් ගැන කතාව අඩු වෙනවා නම් මෙය අවදානම් සාධකයක්.

ඇඟට නොඑබීම

මේ කියන්නේ, දෙන්න අතර ලිංගික බැඳීම් අඩු වෙනවා කියන එක විතරක් නොවෙයි, ඊට ඉස්සර වෙලා බොහොම සරළ , ආදරණීය ස්පර්ශයන් ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්න එකත් ඊටම ඇතුලත්. වෙනදා ගමනක් යත්දි “ආදරයෙන්” අත් අල්ලගෙන ගිය දෙන්න, මේ අළුත් රට ඇතුලේ එකතු වන ස්ට්‍රෙස් නිසාම ගමනක් බිමනක් යත්දි වෙනද වගේ අතින් අල්ලන්න, ටිකක් ලං වෙලා ඉන්න, බස් එකේ යත්දි ටිකක් ආදරයෙන් ස්ඵර්ශ කරන්න තිබුණු කැමැත්ත අඩු වෙන හෝ අමතක වන බවක් දැනෙනවා නම්, අන්න එතැනත් අවදානමේ පෙර ලක්ෂණයක්. "touch deficit" විදියට හදුන්වන මේ “ආදරණීය ස්පර්ශයන්” අඩු වෙන්නේ , හුඟක් දුරට පෙර කී ස්ට්‍රෙස් හෝමෝන වල බලපෑම නිසා වෙන්න පුළුවන්, නමුත් "touch deficit" අඩුවීමත් , ඒ ඔස්සේ දෙන්නා අතර පැවති ලිංගික බැඳීම් වල සුව සතුට අඩුවීමත් ඔස්සේ ආයෙත් සිදුවන්නේ, මුලින් කී emotional cushion එක දුර්වල වෙලා දෙන්නා ඈත් වීම, සමහර විටක වෙන්වීමක් වුනත් ආරම්භ වෙන්නේ මෙතැනින්.

දුරස් වීම

මේ සියල්ල ඔස්සේ, වෙනදා ආදරයෙන් එක්ව , ලංව හිටි, එක්ව ගමන් ගිය දෙන්නා, සමාජ මාධ්‍යය තුල එක්ව තම සතුට බෙදාගත් දෙන්නා තනි තනි ගමනක් යන්නට පටන් ගන්නවා නම්, එක්ව රැඳීම, එක්ව විඳිම අඩුවෙනවා නම් ඒ , අප කතා කරන අවදානමේ සංකීර්ණ තැනකට එන බව කියා පාන්නක්. තවත් සරළව සහ දැනෙන විදියටම කිව්වොත්, ආදරයෙන් හිටි දෙන්නා දැන් roommatesලා දෙන්නෙක් බවට පත් වෙලා නම් ගෙදර, නිදන කාමරයේ ඉන්නේ, මේ අවදානම් තත්ත්වයක්

දැන් තමයි හුඟක්ම වැදගත් සහ තීරණාත්මක කතාබහකට එන්නේ. ඒ කිව්වේ, මේ කියන “වෙනස්වීම” අවධානයක් සහිතව වුනත් නොවුනත් වෙනස්වීම දෙන්නාටම දැනෙනවා. අන්න එතැනදී, නිවැරදි දැනුවත්වීමක්, අවධානයක් සහිත කතාබහක්, අදහස්, හැඟීම් බෙදා ගැනීමක් ඔස්සේ දෙදෙනාම එකම අරමුණකට යොමු වෙමින් , තමන් ආ ගමනේ ඉදිරිය සාර්ථක කරගන්නට “හිතාමතා” කටයුතු නොකර, වෙනස්වීම නිසා දැනෙන වේදනාව තාවකාලිකව වහ ගන්න වෙනස් උපක්‍රම ගත්තොත් , ඒ කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි නිසා ගෙදර ඇවිත් මත් ද්‍රව්‍යයකින් “තාවකාලික සහනයක්” ගන්නට කටයුතු කළොත්, කෝටිසෝල් නිසා බිදෙන ලිංගික කැමැත්ත (libido එක) අමතක කර තාවකාලික සහනයක් ගන්න පෝර්න් වීඩියෝ වලට ඇබ්බැහි වුනොත්, නැත්නම් වෙනත් ක්‍රමයක සුවයකට පෙළඹුනොත්, හිතේ බර නිසාම දෙන්නට දෙන්නා ගැන හොයනවාට වඩා, ෆෝන් එකේ සෝෂල් මීඩියා වල උඩ පහල යමින් ස්ට්‍රෙස් එක අඩු කරගන්නට ව්‍යාජ උත්සාහයන් වල යෙදෙන වගේ අසාර්ථක සහ අවදනාම් උපක්‍රම ගත්තොත් වැඩේ තවත් දුරගිය යාමයි වෙන්නේ.

ඉතින් මේ විය හැකි අවදානම සීමා කරගන්නට මොනවද කරන්නට පුළුවන්? දැන් අපි ලිපියේ නිමාවට ඒ කරුණූ ගැන කෙටියෙන් කතා කරමු.

වැදගත්ම දේ, මුහුණදෙන තත්ත්වය සහ ඒ සඳහා වන හේතු ගැන දෙන්නාම නිවැරදිව හදුනාගෙන සිටීම. ඒ නිසා රටට එන්න ඉස්සර වෙලා වගේම, අළුත් රට තුලට ආවාමත්, මේ කී යම් වෙනස්වීම් සිදුවන බව හදුනාගන්නා මුල් අවස්ථා වලදීත් දෙන්නා එක්ක ටිකක් කතා බහ කරන එක, සියළු වැඩ රාජකාරි , රස්සාවල බර පැත්තකට දාල ටික වෙලාවකට හරි දෙන්නා සහ පවුලේ දරුවන් එක්ව ගත කරන්නට , කතා කරන්නට පුරුද්දක් ඇති කරගැනීම, කළ හැකි අඩුම වියදම් සහ වඩාත් ප්‍රායෝගක උත්සාහයක්. මේ වෙනුවෙන් හැම දිනයකම යම් පොඩි වෙලාවක්වත් වෙන්කර ගැනීම පුරුද්දක් කරගන්නේ නම් එය ලොකු වාසියක් වේවි. හැබැයි ඒ වෙලාව අළුත් රටේ ප්‍රශ්න කතා කරනවා වෙනුවට , සල්ලි ප්‍රශ්න අදිනවා වෙනුවට , දෙන්න ගැන කතා කරන්න, අගය කරන්න , ළඟින් ඉන්න, හිතට දැනෙන හැඟීම් ගැන බෙදා ගන්න, අතින් අල්ලං කතා කරන්න, හාදුවකින් බැඳීමට සුවයක් දෙන්න. ඒක මේ සියළු බර ටික වෙලාවකට හරි නිදහස් කරන ශක්තියක් වේවි. මේ අතරේම දෙන්නා එක්ක dyadic bicultural competence වගේ අළුත් රට තුල ඉදි‍රියට යන්න අවශ්‍ය කරන ජීවන කුසලතා දියුණූ කරගන්න එකිනෙකාට උදව්‍ වෙන්න. ඔය අතරේම, අර උපන් රටේ තිබුණූ “ගම” වගේ හැඟීම නැති වුනා නම් ඒ හැඟීම එකතු කරගන්න දෙන්නා එක්ක, නැත්නම් පවුලේ හැමෝම නිවසෙන් එළියට යන්න, නගරයේ තියෙන පාර්ක් එකක්, ‍ක්‍රීඩාගාරයක් වගේ තැනකදි තමන් ඉන්න තැන ගැන “ගම” වගේ දැනෙන හැඟීමකට ආසන්න බවක්වත් දැනේවි.

එන අභියෝග වලදි Cognitively reframing කරගන්න, පරාජයක් නොව අභියෝගයකට මුහුණදීමක් විදියට. උදාහරණයක් මුහුණදීපු රැකියා සම්මුඛ පරික්ෂණයෙන් අසමත් වුනා නම් “වැඩක් නෑ මෙහේ රස්සාවල් වලට ඇප්ලයි කරල හම්බෙන් නෑ” කියල නෙගටිව් වෙන්‍නේ නැතිව, “කමක් නෑ, ඒ ඉන්ටවීව් එකෙන් අළුත් අත්දැකීමක් ගත්තා, ඊළඟ එකට හොඳට මුහුණ දෙන්න” වගේ සරු අදහසක් හිතට ගන්න එක පුරුද්දක් කරගන්න බලන්න.

හැබැයි මේ අවදානම් ලක්ෂණ මතු වෙනවා නම්, ඒවා සීමා කරගෙන අවදානම අඩු කරගන්නට ඔබට ගත හැකි හැම උත්සාහයක්ම ගනිත්දීත් , තව දුරටත් අවදානම වැඩි වෙමින් , දෙන්නා අතර දුරස්වීමක් වන බව හැගෙනවා නම් , මේ වෙලාවේ හොඳම දේ මෙවන් අවස්ථා සදහා වෘත්තීමය උපදේශණය ලබා දිය හැකි වෘත්තීය මනෝ උපදේශක සේවාවක , චිකිත්සක සේවාවක උදව් ගන්න එක. බොහෝ රටවල එවන් පවුල් උපදේශණ සේවා කෙටි කාළයක් සඳහා නොමිලේ ලබා දෙන පහසුකම් තිබෙනවා. විශේෂයෙන්ම අළුත් සංක්‍රමණිකයන් වෙනුවෙන්ම සූදානම් කළ, ඒවායෙන් උදව් ගන්න. සමහර විට යම් මුදලක් වැය කරල මේ වෘත්තීය සේවා ලබා ගන්නට වෙන්නත් පුළුවන්, එතැනදි ඔබ දෙදෙනා‍ගේ, ඔබ පවුලේ වටිනාකමට වැදගත් තැනක් දුන්නොත්, ඒ කරන ගෙවීම සොච්චමක් වගේ දැනේවි.

එහෙම නම් මගේ දැනුමේ හැටියට , මගේ ජීවිත අත්දැකීම් අනුව කියන්නට ඇත්‍තේ මේ කරුණූ ටික. හොද ටික නේද, මාගලක් වගේ ලිපියක්. ඒත් අවශ්‍යතාවය ඇති කෙනෙක් කියවා යමක් ගනීවි කියල හිතනවා.

2026/07/04

ජීවන කුසලතා

ජීවන කුසලතා ලිපි පෙළේ දෙවැන්නට අද මං තෝර ගන්නේ Lateral reading skill කියන කුසලතාවය.

මොකක්ද මේ ලැටරල් රීඩිං කියන්නේ? ඒ ගැන කියන්න ඉස්සර වෙලා ලැටරල් රීඩිං එක්කම යන අනෙක් ක්‍රමය එනම්, වර්ටිකල් රීඩිං ගැන කියාගෙන කතාව පටන් ගත්තාම පහසුයි.

ඔබට මතකද කුමක් හෝ විෂයක් ගැන පොතක් කියවත්දි ඔබ ඒ කියවීම කළ හැටි. ඔබ සමහර විට පළමු පිටුවෙන් පටන් අරගෙන, ඒ පොතේ තියෙන කරුණූ කියවාගෙම යනවා. ඒ ‍පොතේ තියෙන කරුණූ තුලට හොඳින් ගිලෙමින් ඒ කියවීම කරනවා. ඒ ඔස්සේම, ඔබ ‍පොතේ කරුණූ ගැන, ලේඛකයා ගැන විශ්වාසයක් පවත්වාගෙන ඒ ‍පොතේ , පිටුවෙන් පිටුව කියවීම කරනවා. එහි තිබෙන කරුණූ ගැන ඔබ තුලම තර්ක කරගැනීමක්, මේ කියවන කරුණූ වල නිවැරදි බව හෝ ලේඛකවා ඉදිරිපත් කරන කරුණූ වල යම් පක්ෂපාතීබවක් ඇත්දැයි විමසීමක් කරන්නට පෙළඹෙන්නේ නැහැ. බොහොම ගැඹුරින් මේ පොත ඔබ කියනවා. මෙන්න මේ කියවීමේ රටාවට කියන්නේ, Vertical reading කියලා.

මේක පොතක් කියවීම පමණක් නොවේ, අන්තර්ජාලයේ වෙබ් අඩවියක්, සමාජ මාධ්‍යයක ලිපියක්, ඕඩියෝ බුක් එකක් වගේ ඕනම කියවීමක් වෙන්න පුළුවන්.

දැන්, මුලින්ම අහපු ප්‍රශ්නයට එමු, මොකක්ද මේ ලැටරල් රීඩිං කියන්නේ?

ලැටරල් රීඩිං කියන්නේ, අර මුල් අවස්ථාවේ කිව්ව වගේ එක දිගටම පොත ‍‍හෝ අන්තර්ජාල පිටුව කියවාගෙන , ඒ කරුණූ එලෙසින්ම පිළිගැනීම කරගෙන යන්නේ නැතිව, කියවන අතරේ, එහි අඩංගු කරුණූ ගැන වෙනත් පොතකින්, වෙනත් වෙබ් පිටු කිහිපයකින් හොයා බලනවා .මේ කරුණූ හරිද, මේ ලේඛකයාගේ ලියවිලි තුල යම් පක්ෂපාතී බවක්, නිවැරදි නොවන කරුණූ ඉදිරිපත් කර ඇත්ද? මේ කියවන කරුණ පිළිගත හැකිද වගේ ඔබ තුලම තර්කයන් ඇති කරගනිමින්, වෙනත් පොත්, පිටු හෝ වෙබ් අඩවි උදව් කරගනිමින් , මේ වෙලාවේ ඔබ කියවන දේ ගැන නැවත විමසීමක්, කරුණූ තහවුරු කරගැනීමක් කරනවා. මෙන්න මේ ක්‍රමයේ කියවීම තමයි ලැටරල් රීඩිං කියන්නේ.

මේ රීඩිං ක්‍රම දෙකම අපට වැදගත්, මුලින් කී Vertical reading හොඳයි පොතේ තියෙන කරුණූ ‍තේරුම් ගැනීමට , ඒ වගේම Lateral reading කුසලතාවය වැදගත්, ඒ කියවාගත් දේ , තේරුම් ගත් දේ ගැන තර්කානුකූල විමසීමක් කරලා, තහවුරු කරගන්නට.

ලබන සතියේ තවත් ජීවන කුසලතාවයකින් එකතු වෙන්නම්.