අද වනාන්තරේ ඇතුලේ සුව විඳිමින් හයික් එකක් යත්දි හමුවිය හැකි සහ සමහර විට හමුනොවීම අනතුරක් කළ හැකි තවත් වන මිතුරෙක් ගැන කතා කරමු. ඒ තමයි කූගර් . එයාටම තමයි පූමා, පැන්තර්, එහෙම නැත්නම් කඳුකර සිංහයා, කඳුකර බළලා විදියටත් සමහර ප්‍රදේශ වලදි නම් කරන්නේ.
හරිම හැඩකාර මේ සුන්දර මිත්‍රයා, කැනඩාවේ වගේම අමෙරිකානූ රටවල වනාන්නතර වල ජීවත් වෙනවා. සැඟවී ඉන්න කැමති, බොහොම වේගවත් සහ දැඩි ශක්තිමත් හනු සහ ජවයක් තියෙන කූගර් , මිනිසුන්ට අනතුරු කළ අවස්ථා, සංඛ්‍යාත්මකව ගත්තොත් නම් ඉතාමත් අඩුයි. දළ වශයෙන් කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය කියන ප්‍රදේශ දෙකම එකට ගත්තත්, අවුරුද්දකට කූගර්-මිනිස් ගැටුම් 4-5ක් වගේ තමයි වාර්තා වෙන්නේ. ඒ අතරින් මිනිස් මරණ සිදුවීම් ඉතාමත් අඩුයි. මේකට හේතුව මිනිස්සුන්ගේ තියෙන හැකියාවට හෝ දක්ෂතාවයකට වඩා, කූගර් මේ වගේ ගැටීම් වලින් ඈත් වෙලා ඉන්න ඇති කැමැත්ත.
දැන් බෙයා ඇටෑක් ගැන කියවල ඉන්න ඔබට හිතෙන්න පුළුවන් , ඔය කඳු පූසා වගේද බෙයා කියලා. ඔව් ඔය දෙන්නම , හයික් එකකදි හමුවීම අවදානමක් ගේන්න පුළුවන් මිත්‍රයෝ දෙන්නෙක්. හැබැයි පුද්ගලිකව මා නං, හයික් එකකදි බෙයා කෙනෙක් හමුවීමට වඩා කූගර් කෙනෙක් හමුවීමට අකමැත්තක් තියෙන්නේ. හේතුව මේකයි, හුඟක් අවස්ථා වලදි බෙයාල ඇටෑක් කරන්නේ ඉස්සරහින්, හුඟක් වෙලාවට අහම්බෙන් හමුවීම් තමයි වෙන්නේ. ඒ වගේම ඒ ඇටෑක් එකට ඉස්සර වෙලා අඩි පොළොවේ ගහල, ඉස්සිලා, හැඩ වැඩ දාල තමයි සටනට එන්නේ, ආවත් එයාගේ බර සහ අත්වල තියෙන ශක්තිමත් බව උදව් කරගෙන, ගහන, හපන සහ ඇගේ බරින් යටකරගෙන ඉන්න ක්‍රමයේ සටන් ක්‍රමයක් තමයි යොදා ගන්නේ. හුඟක් වෙලාවට සටන අතරේ එකපාරම මිනිස් මිත්‍රයා මරණයට පත් කරනවාට වඩා තුවාල කරල , බය කරලා යන්න හරි හුඟක්ම බඩගිනි සහ තරහ ගිහින් නම් ඔය අතකින් කකුලකින් කෑල්ලක් කඩා ගන්න වගේ තමයි උත්සාහ කරන්නේ.
නමුත්, කූගර් ඊට වඩා වෙනස් සටන් ක්‍රමයක් යොදා ගන්නේ. බෙයා වගේ අහඹුව හමුවෙලා සටනට එනවාට වඩා කූගර් කරන්නේ, එයාගේ ගොදුර පස්සෙන් සද්ද බද්ද නැතිව කුරුමානම් අල්ලල, "හොර ගෙඩියා වගේ" ඇවිත්, හොඳට ස්ටඩි කරලා, දුර වේගය, වගේම එයාගේ ගොදුර වන්න හදන කෙනාගේ චර්යාවත් හොඳට විමර්ශණය කරලා , ගණන් හදලා,මැනලා කල් අරගෙන ඉඳලා, අර ගොදුර වෙන්න හදන පුද්ගලයාට හිතාගන්නවත් බැරි වේගයකින්, සහ ඇහෙන්නේ දකින්නවත් නැති තරම් ඉක්මණින් පිටිපසින් හෝ පැත්තෙන් ඇවිත් පැනල, බෙල්ලේ පිටුපසට ඉතාමත් ප්‍රබල දත් පාරක් වදින විදියේ හැපුමක් තරමයි කරන්නේ. ඒ හැපුම සඳහා කූගර්ගේ හනුවල ඉතාමත් ශක්තිමත් පේෂි තියෙනවා. සාමාන්‍යයෙන් කූගර් කෙනෙක්ගේ මේ හැපුමේ ප්‍රබල බව 110 BFQ ( Bite Force Quotient ) විතර, සැර ග්‍රිස්ලියෙක්ගේ මේ හැපුමේ අගය, 120 BFQ වගේ. ඒ කියන්නේ, ඇඟට සාපේක්ෂව හැපුමේ ඇති ප්‍රබල බව අතින් කූගර් ඉහළින්ම.
අනෙක, අර මුලින් කිව්ව වගේ කූගර් නිකංට ඇටෑක් එකකට එන්නෙ නෑ. එයා එන්නේ, දුර ඉඳන් බලාගෙන ඉඳලා, ගණන් හදලා, භෞතික විද්‍යා පාඩම වගේම ජීව විද්‍යාව , සත්ව චර්යාව වගේ පොත් ඔක්කොම කියවල. ඒකයි ටිකක් වෙලා ගිහින් ඇටෑක් එක කරන්නේ. හැබැයි ඒ ඇටෑක් එක වදින්නේ, හරියටම බෙල්ලේ පිටුපසට , ඒ කියන්නේ මොළයේ පහල, සුෂුම්නාවේ ඉහළ ප්‍රදේශයට. ඒ පහර දීමේ තිබෙන ප්‍රබල බව නිසා ඒ ගෙල ප්‍රදේශයේ කශේරුකා බිඳිමින්, සහ හෘදය පෙනහළු වගේ ජීවිතය පවත්වා ගෙන යන්නට අවශ්‍යම කරන අවයව, ඉන්ද්‍රිය පාලනය කරන ප්‍රධාන ස්නායු කඩා දමමින් කූගර්ගේ දත් ගෙල පිටුපසට ගිලා බහින්නෙ. ඒ කියන්නේ, හුඟක් වෙලාවට ආයේ සටන් කරකර ඉන්න දෙයක් නෑ, ක්ෂණික ත්‍රීව්‍ර වේදනාවක් එක්ක හෘදය, පෙනහළු වල ක්‍රියාකාරීත්වය බිඳ වැටීමක් එක්ක දිගු සුව නින්දක් ලබා ගන්න පුළුවන්.
මෙන්න මේ නිසා, ෆොරස්ට් හයික් එකකදි, “විය හැකි” කූගර් ඇටෑක් එකකින් පරිස්සම් වෙන්න නම්, මෙන්න මේ උපක්‍රම මතක තියා ගන්න, අනුගමනය කරන්න.
⚠️ ළඟදි කූගර් ඇටෑක් වෙලා තියෙන බව අදාල පළාත් පරිසර හෝ වනජීවි වෙබ් අඩවියේ දැනුම් දීම් කර තිබේ නම් මේ වෙලාවේ හයික් එක සඳහා වෙනත් ප්‍රදේශයක් තෝරගන්න.
⚠️ කූගර්ලා ඉන්න ප්‍රදේශයක් බව දන්නවා නම් , දැනුම් දීම් කර තිබෙනවා නම්, හයික් එක තුල “ඉතාමත්” විමසිලිමත් වෙන්න. ඉස්සරහ විතරක් නොවෙයි, තමන්ගේ ගමන් මගේ , ට්‍රේල් එකේ පැති, ගස් වල ඉහළ, වගේම ඉඳහිට කරකැවී පිටුපස , ඒ කියන්නේ ආ මග දිහාවත් බලන්න. ඇස් වගේම කන් දෙකත් අවධානයෙන් තියා ගන්න ඕන නිසා, මේ ගමනේ යනවා නම් ඉයර්ෆෝන් හෙඩ් ෆෝන් ගෙදර තියල එන්න.
⚠️ තනිව යනවාට වඩා කණ්ඩායමක් එක්ක යන්න, එහෙම නැත්නම් තවත් කණ්ඩායමක් අසලින් යන්න.
⚠️ හැම විටම කුඩා දරුවන් (පයින් යන මට්ටමේ) වැඩිහිටියන්ට ඉතා ළඟින් තියා ගන්න. කුඩාම දරුවන් සමඟ නම් යන්නේ, ඉදිරිපසට තබාගත හැකි බේබි කැරියර් එකක දරුවා රැගෙන යන්න.
⚠️ බලු මිතුරන් ගෙන යනවා නම් අනිවාර්යයෙන්ම දම්වැලක (leashed ) හෝ කුඩා අයෙක් නම් ඉදිරිපසට පැලදිය හැකි පෙට් කැරියර් බෑග් එකකට ගෙනියන්න.
⚠️ කතා කරමින් , “මිනිස් හඬ” ඇසෙන ලෙස ගමන යන්න. ඉතාමත් කුසගින්නේ නොවෙන්න, මේ යන්නේ “මිනිස්සු” කියල දැනගත්තොත් කූගර් කෙනෙක්වත් එන්නේ නෑ.
⚠️ සතෙකුගේ කුණක් (carcasses) තිබෙන බව දැක්කොත් හෝ දැනුනොත් පුළුවන් තරම් ඒ ප්‍රදේශය මගහරින්න බලන්න, නොහැකි නම් “මේ දැන් ඇටෑක් එකක් වේ” කියන සූදානමින් යන්න. (මේක බෙයාටත් අදාලයි, ඉස්සර වෙලා ලිපියෙදි කියන්න අමතක වුනාද මන්දා)
⚠️ බෙයා ස්ප්‍රේ එක පාවිච්චි කරන්න දැනුවත්ව, සූදානමින් අරගෙන යන්න.
හරි , මේ සියළු සූදානම් එක්ක යත්දි හරි කූගර් කෙනෙක් තමන්ව ෆලෝ කරන වගේ දැනුනොත් (අර Rockwellගේ “Somebody's Watching Me” වගේ ෆීලිං එකක් ඇවිත් බලත්දි දැක්කොත් කූගර් කෙනෙක් කුරුමාණම් අල්ලමින් එනවා කියලා, මුලින්ම ඕනම නම් තමන් අදහස ආගමේ පාඨයක් එහෙම කියාගෙන ඊළඟ ජීවිතේ ගැන හිතන්න ගන්න. හැබැයි ඊට වඩා මේ ජීවිතේ තව ටික කළක් ඉන්න මෙන්න මේ කරුණු වැදගත් වේවි.
🚨 කූගර්ගේ පැත්තට හැරෙන්න, දෑත් ඉහළට දෙපසට වනමින් “මං ලොකුයි සැරයි” කියල පෙන්වන්න. හයියෙන් ස්ථාවර හඬකින් (නොවෙව්ලා) කතා කරන්න. (කූගර් හොඳ චර්යා විශේෂඥයෙක්, එයාට පුළුවන් එයාගේ ගොදුර බය වෙලාද නැත්නම් බොරු චන්ඩියෙක්ද කියල හඳුනගන්න)
🚨 බෙයා ස්ප්‍රේ එක අතට අරගෙන ඉදිරියට සූදානමින් තබාගෙන පරිස්සමින්, හෙමින් පිටුපසට ගමන් කරන්න, කිසි වෙලාවක කූගර්ට නොපෙනී යන්න දෙන්න එපා, මොකද ඊළඟ තත්පරේ එයා කණ ගාවින් පැත්තෙන් ඇවිත් හාදුවක් දෙන්න බැරි නෑ.
🚨 අතට අහුවෙන ගල්, බොරලු වගේ දේවල් වලින් පහර දීමක් කරලා බලන්න කුරුමාණම් අල්ලමින් එන මේ කූගර් තමන්ට දක්වන්න හදන ආදරෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා. (හුඟක් වෙලාවට එයාල මෙහෙම වෙත්දි පොඩි සද්දයක් දාල, පොළෙවේ වැලි ටිකක් අපටත් ගහල දාල යන්න පුළුවන්, හැබැයි එයාගේ අරමුණට ඔබව , එයාගේ ආහාර වේල කරගන්න නම් ඉතින් එහෙම යන්න කැමතිම වෙන එකක් නෑ.
🚨 කූගර් තමා වෙත ගොදුරු කරගැනීමේ අරමුණීන් පැන එනවා නම්, (අරමුණ හොයා හොයා ඉන්න බෑනේ, “පැන එනවා නම්”) දැන් බෙයා ස්ප්‍රේ එකින් වැඩ ගන්න වෙලාව. හැබැයි බෙයා ස්ප්‍රෙ එකේ සැර වදින දුර සාමාන්‍යයෙන් අඩු විසි පහක් විතර. ඒ කියන්නේ, ඔබ ඉන්න තැන ඉඳන් එක පේලියට බිම වැටිල ඉන්න මිනිස්සු හතර දෙනෙක් පස් දෙනෙක්ගේ දුර වගේ. අන්න ඒ දුර වෙත්දි , කූගර්ගේ හොම්බ හරියට සහ ඒ අවට වැහෙන විදියට බෙයා ස්ප්‍රේ ෂොට්ස් , දෙක තුනක් දෙන්න, හුඟක් දුරට සැර කූගර්ට දරා ගන්න බෑ. (“හපොයි මේ කෑම එක හරිම ස්පයිසි” කියල යන්නත් බැරි නෑ, කැනේඩියන් කූගර්ස්ලනේ) . හැබැයි මට හොඳට ස්පයිසස් හුරුයි කියලා තවත් ඉස්සරහට එනවා නම් නැවත ෂොට්ස් විදියට, ඒ කියන්නේ එක දිගට ට්‍රිගර් එක ප්‍රෙස් කරගෙන ඉන්නේ නැතිව වරින්වර ස්ප්‍රේ එක විදින්න. කෑගහන්න, උදව් ඉල්ලන්න.
🔴 මේ සේරම හරි ගියේ නැත්නම් …..
අදට ඇති කියල හිතෙනවා. මේ ලියන මට තවම කූගර් කෙනෙක් එක්ක සෙල්ලම් දාන්න වුනේ නම් නෑ. හැබැයි Wildlife ambassador කෙනෙක් විදියට පුහුණු වෙත්දි සහ ඊට පස්සේ සම්බන්ධ වුනු දැනුවත්වීම්, යාවත්කාළින වීම් වලිදි කූගර් එක්ක සෙල්ලම් දැම්ම වගේම දැනෙන විදියට පුහුණුව ලැබුණා. මේ අකුරු කළේ ඒ දැනුම ඔස්සේ.
ඊළඟ ලිපියෙන් අපි කතා කරමු, හයික් එකකදි හමුවෙන්න පුළුවන්, ඉතාමත් කුඩා ඒත් ජීවිතේට ලොකු අවදානමක් ගේන්න පුළුවන් තවත් චූටි මිත්‍රයෙක් ගැන. දැන් මේ ටික කියවගෙන යන්දි හයික් එකක් යන්න ඕන කියලා හිත හිත හිටපු අය ඒ ගමන සදහටම නවත්වයිද මන්දා. ඒත් මගේ අරමුණ නම් මේ දැනුවත් වීම් එක්ක, දැනුවත් හයිකර් කෙනෙක් විදියට සොබා දහමේ සුව විඳින්නට ඔබ පෙළඹවීමයි.
නැවත හමුවෙමු.