2026/07/04

වනන්තරේ සංචාරේ - තුන්වන කොටස

කැනඩාවෙදි ෆොරස්ට් හයික් එකක් යත්දි සූදානම් වෙන්න ඕන විදිය සහ ඒ ආශ්‍රිත කරුණූ ටිකක් එකතු වන මේ ලිපියේ තුන්වන කොටස අද. (මෙහි මුල් කොටස් දෙක Archive පිටුව තුල තිබෙනවා.)

හයිකිං බෑග් එක‍ේ තියෙන්න ඕන දේවල් වලින් ඊළඟ වැදගත් දේ වෙන්නේ පොඩි first aid kit එකක්. මේ වැඩේටම හරියන විදියට කම්පැක්ට් විදියට සූදානම් කරල තියෙන wilderness first aid kit එකක් කැනේඩියන් ටයර් වගේ තැනකින් ගන්න පුළුවන්. ඒ කිට් එකේ තියෙන දේවල් වලට අමතරව, තමන් දිනපතා බෙහෙත් ගන්නවා නම් ඒ ගන්නා බෙහෙත් දවස් දෙකකටවත්, තමන්ට හරි කණ්ඩායමේ කාට හරි දැඩි අසාත්මිකතා ඇතිවෙනවා නම් , විශේෂයෙන්ම මීමැස්සන් දෂ්ඨණය වගේ තත්ත්වයකදි ඇනෆිලැක්සිස් එකක් , එනම් හුස්ම ගන්න අමාරුවන තරමේ අසාත්මිකතා ඇතිවනවා නම් අනිවාර්යයයෙන්ම එපිපෙන් එකක් හෝ දෙකක් සහ tweezers එකක් තියෙන්නම ඕන. Tweezers එක ඕන වෙන්නේ සමහර වෙලාවට ටික්ස්ල ඇමිණුනොත් ඉක්මණින් ගලවල අයින් කරන්න, මොකද tick කෙනෙක් විදල ඇඟට සම්බන්ධ වෙලා ඉන්න කාළය වැඩිවීම වගේම, ටික්ව වැරදි විදියට ගැලවීමත් කරදර සමහර විය ජීවිතයට අවදානමක් වන තත්ත්වයකට පවා හේතුවක් වෙන්න පුළුවන්.

ලයිටර් එකක්, ගිණිකූරු ටිකක් හෝ ෆයර් ස්ටාටර් එකක් (ferrocerium rod) බෑග් එකේ තියෙන්නම ඕන වගේම, මේවා පොඩි සිප් ලොක් බෑග් එකක දාල වතුර නොයන විදියට තියා ගන්න. තියෙනව නම්, ඩ්‍රයර් එකෙන් එකතු කරගත්ත ලින්ට් ටිකක් එහෙමත් මේකටම දාල තියා ගත්තානං ෆයර් එක ගහත්දි ලොකු උදව්වක් ඒක.

ඩක්ට් ටේප් කියන්නේ, ඕන දෙයක් රෙපෙයාර් කරන්න පුළුවන් දෙයක් නිසා, පොඩි ටක්ට් ටේප් ‍රෝලක් එක්ක, ෆෝල්ඩිං ටූල් කිට් එකකුත් දාල තියා ගන්න. මේක සමහර විට ටෙන්ට් එකේ අළුත්වැඩියාවකට, සමහර විට සපත්තුවක ‍පොඩි අළුත්වැඩියා වගේ දේවල් වලට වැදගත් වෙනවා.

ඊළඟට කෑම සහ බීම. මෙතැනදි වැදගත්ම දේ කෑම කියන්නේ, අර ගෙදර ඉත්දි බඩ පිම්බෙන්න කනවා වගේ බඩ පුරෝගන්න අරමුණෙන් කෑම ගෙනියන්න එපා. (මේක අපේ සංස්කෘතියේ හුඟක් අය කරන වැරැද්දක්) ගෙනියන්න, සූදානම් කළ හෝ ඉක්මණින් සූදානම් කරගත හැකි ඇඟට වැඩි ශක්තියක් අඩු කාළයකදි දෙන ආහාර වර්ග කීපයක්. ‍එනජි බාර්, ග්‍රැනෝලා බාර්, නට් මික්ස්, පැකට් කළ කුකීස් වගේ දේ එක්ක, සුවඳ එළිය නොයන ලෙස සිප් ලොක් බෑග් වල දාල හොඳින් සීල් කළ සැන්ඩ්විච් කිහිපයක් පහසුයි වගේම, විය හැකි අවදානම් අඩු කරනවා. බත්ගෙඩි බැඳන් ගිහින් වලස්සුත් කැන්දගෙන, වෙලාවත් ගත කරලා බඩ පැලෙන්න කාළ, කඳු නඟින්න බහින්න අමාරුයි වගේම, ක්‍රෑම්ප්ස් වගේ තවත් අපහසුතාත් එන්න පුළුවන්. එය අපහසුතාවයක් වගේම සමහර විටක අවදානමකුත් ගේන්න ඉඩ තියෙනවා.

ඊළඟට බීම ගැන. මේ තවත් වැදගත්ම අවශ්‍යතාවයක්. සාමාන්‍ය හයික් එකකදි ගෙනියන්න ඕන වතුර ප්‍රමාණ ගැන හයික් නීතිය තමයි ලීටර බාගයක් වතුර පැයක හයික් එකකට. මේ සාමාන්‍ය මට්ටමේ තත්ත්වයකදි, හැබැයි උණූසුම වැඩි, හුඟක් නැග්ම වැඩි කඳුකර පරිසරයකදී, මේ ප්‍රමාණය තව වැඩි කරන්න වෙනවා. මෙතැනදි වැදගත් කරුණූ කීපයක් මෙතැනටම එකතු කරන්න ඕන. හයික් එකක් යන්න සූදානම් වෙත්දි, හයික් එකට ඇතුළු වෙන්න ඉස්සර වෙලා, ලීටරයක විතර වතුර ප්‍රමාණයක් පානය කරල ඉන්න එක වැදගත්. ඒ කියන්නේ, හයික් එක යන දවසේ හයික් එක පටන් ගන්න පැය දෙක තුනකට ඉස්සර වෙලා ඉඳලා, වෙනදට වඩා වතුර ටිකක් වැඩිපුර බොන්න, ඒ වගේම හයික් එක පටන් ගන්න පැයකට ඉස්සර වෙලා නැවතත්, වතුර ‍වීදුරුවක් විතර බොන්න. හයික් එක යත්දි, විනාඩි පහලොවකට විස්සකට විතර සැරයක්, වතුර උගුර දෙක තුනක් බොන්න. මහන්සි වෙනකම්ම ඇවිදලා, ඇවිදලා මුළු වතුර බෝතලේම එකපාරට උගුරට හලාගන්න එපා. එය අපහසුතා ගණනකට හේතුවක්.

අනෙක් වැදගත්ම සහ අවස්ථාවක ජීවිතය රැක දෙන්න උදව් වෙන දෙයක් තමයි මයිලර් බ්ලැන්කිය, තුනී ෆ‍ොයිල් වලින් හදපු මේ බ්ලැන්කට් එක හරිම පුංචියට අකුළලා , බෑග් එකේ පැක් කරගන්න පුළුවන් වුනාට, වනන්තරේ මැද ඇති වන්නට පුළුවන් අවදානම් අවස්ථාවකදි ජීවිතය රැක ගන්නට අවශ්‍ය දේහ උණූසුම රැක ගන්නට මෙය හුඟක් උදව් වෙනවා. ඩොලර් දහයකට විතර ගන්න පුළුවන් මයිලර් බ්ලැන්කට් එකක් ඕනම පළපුරුදු හයිකර් කෙනෙක්, විශේෂයෙන්ම දින කිහිපයක හෝ බැක්කන්ට්‍රි හයිකර් කෙනෙක් ගාවනම් නැති වෙන්නෙම නෑ.

දැන් හයිකිං බෑග් එක ගැන කතා කළ ඇති කියල හිතෙනවා. ඊළඟ සතියෙදි කතා කරමු මේ වනාන්තරේ ඇතුලේ කරන හයික් එක තුලදි විය හැකි අවදානම් තත්ත්ව සහ ඒවායින් ආරක්ෂා වෙන විදිය. මේ කරුණූ බෙදා ගන්නේ, අපේ පුද්ගලික අත්දැකීම් වගේම Wildlife ambassador කෙනෙක් විදියට අප ලබන යාවත්කාළීන දැනුවත් කිරීම් වල උදව්වක් එක්කම.

එහෙම නම් ලබන සතියේ නැවත හමුවෙමු.