"මං දන්නේ නෑ, ඔබ මොන ආගමේ හෝ කුමන ඇදහීමක සිටින්නෙක්ද කියලා, ඒත් මිත්‍රයා, මේ ජීවිතේ නිමාවේ අප අපේක්ෂා කරන ස්වර්ගයට යන්නට නම් මේ පත්‍රිකාව කියවන්න, තේරුම් ගන්න. ඒ ඔස්සේ අපේ ආගමික මධ්‍යස්ථානයට එන්න. ඔබට යහපතක්ම වේවි"
පහුගිය දිනෙක, මගේ රැකියාවේ අවශ්‍යතාවයක් වෙනුවෙන්, එක්තරා ප්‍රජා ආයතනයකට ගිය වෙලාවේ, අහම්බෙන් මා අසලට ආ පුද්ගලයෙක් මා අත තැබූ පත්‍රිකාවක් සහ ඔහු ලබා දුන් දේශනයත් එක්ක, මං වැඩිය කතා කරන්න අකමැතිම, ආගම් සහ ඇදහීම් කියන මාතෘකාව ඔස්සේ වෙනත් කරුණක් ගැන කතා කරන්නට හිතුණා. ඒ ඔස්සේ මේ ලිපිය ලියන්නට පෙළඹීමක් ඇති කළේ, ඒ මිත්‍රයා කළ ප්‍රකාශයක්.
"ඔය මොන ආගම් තිබුණත්, මෙය තමයි මෝක්ෂයට/ස්වර්ගයට/නිවනට (ඕන වචනයක් දාගන්න) යන්න තියෙන මග පෙන්වන -එකම සත්‍යය- මේක. මං කැමතියි ඔබත්, අපට එකතු වෙනවා නම්."
ඔහු එය කිව්වේ, හුඟක් සංවේදී සහ භක්තිමත් බවකින්.
ඒ හමුවීමෙන් පසු ඇති වූ සිතුවිලි
ආගමක් හෝ ඇදහීමක් ලෙස ලේබලගත වීමකින් නිදහස්වී ඉන්න මට, ඒ හමුවීම, මිනිස් චර්යාව ගැන විමසීමක් කළ හැකි තවත් එක් හමුවිමක් මිස හැර ඊට වඩා කිසිදු වටිනාකමක් තිබුණේ නැහැ. නමුත්, ඒ හමුවීම ඔස්සේ හිතට ආ කරුණූ කීපයක් දිගු සති අන්තයක ලැබුණූ විවේකයේ අකුරු කර තබන්නට හිතුවා, කවුරුන් හෝ කියවා යමක් හිතන්නට ගනීවි කියන අදහසින්.
"හොඳම" සහ "එකම" ගැන අපි කියන කතා
"අපේ පුතා ඔය වගේ වැඩ කරන්නේ නෑ, දාහෙන් හොයා ගන්න බැරි හොඳම දරුවෙක් ඒ."
"උඹලයි අප්පච්චි වගේ කැපවෙන තාත්ත කෙනෙක් මේ ලෝකේ වෙන හොයාගන්න නෑ"
"ඔය එක එක රටවලට ගියාට, මේක තමයි ලෝකේ හොඳම රට"
"මේ දේශනා තමයි එකම සහ නිවැරදිම දහම"
මෙන්න මේ වගේ කතාබහ ඔබට වගේම මටත් ඕන තරම් ඇහිල ඇති. දැන් අර මුල් කතාවයි, මේ කතාවනුයි අතරේ සම්බන්ධයක් තියෙනවාද කියල ඔබ මගෙන් අහන්න පුළුවන්. ඔව්, අන්න ඒ සම්බන්ධය ගැන තමයි අද ලිපිය.
"හොඳම" කියන විට සිදුවන සැසඳීම
අපි මේ වගේ "හොඳම", එහෙම නැත්නම් "හොඳම එක", "ලෝකෙටම එකයි" වගේම "එකම ඇත්ත" වගේ ඕන තරම් අහල වගේම සමහර විට කියලත් ඇති. මේ හැම වචනයක් පිටුපසම අපූරු මනෝ විද්‍යාත්මක චර්යාවන්, සිතුවිලි රටාවන් සැඟවිලා තිබෙනවා. සමහර විට දැනුවත්ව, බොහෝ විට නොදැනුවත්වම.
ඔය ඉහළ ලියාගෙන ගිය "කතා" තුල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ, "හොඳම" සහ "එකම" කියල වර්ග කරගත්තොත් ඔය "හොඳම" කියන වචනේ එක්ක එන ප්‍රකාශයන් තුල, එය ප්‍රකාශ කරන්නා, අදාල දෙය පිළිබඳව සැසඳීමක් සහිත අදහසක් කියන්නේ. උදාහරණයක්, "මෙයා තමයි හොඳම ළමයා" කියත්දි, අනෙක් ළමයි ගැනත් පොඩි සැසඳීමක් කරනවා.
"ඔයාට මනෝ විද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්න හොඳම පොත මේක" කියල කියත්දි, ඒකෙනා, මනෝ විද්‍යාව ගැන ඉගෙන ගැනීම පටන් ගන්නට වැදගත් විය හැකි අනෙක් පොත් ගැන සැසඳීමක් සහිතව තමයි අදහස ප්‍රකාශ කරන්නේ. එයා දන්නවා, විශ්වාස කරනවා තවත් පොත් තියෙනවා, ඒවයෙත් යමක් ගන්නට තිබුණත් මේක තමයි "හොඳම" පොත කියලා. මේ අවස්ථාව comparative claim එකක්, එහෙම නැත්නම් සංසන්දනාත්මක ප්‍රකාශයක් විදියටයි නම් කරන්නේ.
"එකම" කියන විට සිදුවන වෙනස
දැන් මේ හිතීමේ ක්‍රමයේ ඊළඟ අවස්ථාව තමයි "එකම" අවස්ථාව. ඒ කියන්නේ කෙනෙක් කියනවා නම්, "මනෝ විද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්න තියෙන එකම පොත මේක" කියලා, අන්න ඒ ප්‍රකාශ කිරීම තුල, ඒ හිතුවිලි හැසිරීම තුල, තවත් පොත් ඇත්දැයි විමසීමට පෙළඹෙන්නේ නැහැ, හෝ මෙවන් වෙනත් පොතක් නැතැයි කියන තීරණයේ ඉන්නවා.
"එකම සත්‍යය" සහ Need for Cognitive Closure
දැන්, අර මිත්‍රයා කීව, "මේක තමයි එකම සත්‍යය" කියත්දි දැනුවත්ව හෝ නොදැනුවත්ව, අනෙක් "සත්‍යයන්" නොපිළිගැනීමට, හෝ අනෙක්වා "සත්‍යයන්" ලෙස පිළිගැනීමට අකමැති වෙනවා. සමහර අවස්ථාවකදි, "සත්‍යයන්" ලෙස ඇති අනෙක් අදහස් අහන්නට, විමසීම තුල ආවේගකාරී වෙන්නට පවා පුළුවන්. මේ absolute claim හිතන්නට, ප්‍රකාශ කරන්නට උත්සාහ කරන පුද්ගලයා වෙනත් "විය හැකියාවන් ගැන" හිතන්නට පෙළඹෙන්නේ නැහැ, එහෙම නැත්නම් ඒ විදියට "වෙනත් විය හැකියාවක් ඇත්ද" කියල හිතන්න අකමැත්තක් දක්වමින්, තමන් විශ්වාස කරන "එකම ඇත්ත", තනි උත්තරයක් විදියට පිළිගන්නයි කැමැත්ත. මේ තත්ත්වය මනෝ විද්‍යාවෙදි "need for cognitive closure" සංකල්පය ලෙස හඳුන්වා දෙනවා.
අවිනිශ්චිතතාවය සහ Existential Anxiety
මීට හොඳම උදාහරණයක් විදියට, ජීවත් වෙත්දි මොනවා වේද කියල හිතනවාට වඩා, මරණින් පස්සේ කුමක් වේදෝ කියන "අවිනිශ්චිත" ගැටළුව තුල පීඩාවට, කාංසාවට (Existential anxiety) පත්වන පුද්ගලයා ආයේ වෙන "විය හැකියාවන්" ගැන හිතන්නේ නැතිව තමන් පිළිගන්නා "එකම සත්‍යයේ" රැඳී ඉන්නවා. විශේෂයෙන්ම, තම පිළිගැනීම, ඇදහීම, විශ්වාසය, හෝ ආගම "එකම සත්‍යය" ලෙස පිළිගනිමින්, එය තම ජීවිතයේ වැදගත්ම කොටසක් වෙත්දි (Identity fusion), සමාන පිළිගැනීමක ඉන්න කණ්ඩායමක කොටසක් වුනාම, තමන්ගේ "එකම සත්‍යය", ඇත්තටම "සත්‍යදැයි" හිතන්නටවත් බිය වෙනවා, එහෙම නැත්නම් තම පිළිගැනීම ගැන තර්ක කරන්නට අකමැති වෙනවා.
Confirmation Bias සහ Motivated Reasoning
දැන් "එකම සත්‍යය" ලෙස පිළිගන්නා අය මේ විදියට හැසිරෙත්දි, අර මුලින් කී "හොඳම" දෙය ලෙස තම පිළිගැනීම තියා ගන්න අය, අනෙක් අදහස් අතරේ, තමන්ගේ විශ්වාසය නිවැරදි බව තහවුරු කිරීමට උදව්වන කරුණූ සොයමින්, ඊට විරුද්ධ අදහස් ඉවත් කරමින් Confirmation bias මත රැදී ඉන්න කැමති වෙනවා. ඒ අතරේම, තමන් "හොඳම" දෙය ලෙස පිළිගන්නා දෙය (ඇදහීම, ආගම, හෝ වෙනත්) නිවැරදිය කියන අදහස ඔස්සේ තමන්ගේ පිළිගැනීම නිවැරදිය කියල තහවුරු කරගන්නට ඕන දේවල් එකතු කරගන්නවා (Motivated reasoning).
Idealization: "හොඳම" දෙය ආරක්ෂා කිරීම
මෙන්න මේ හිතුවිලි රටා දෙක තුලම ගැටළුකාරී විය හැකි අවස්ථාවකුත් හඳුනගන්නට පුළුවන්. ඒ කියන්නේ, මේ විදියට "හොඳම" හෝ "එකම" විදියට ඉහළින් පිළිගන්න දෙය, පිළිගන්න කෙනා තුල යම් අඩුපාඩු හෝ වැරදි හඳුනාගත්තත් ඒවා බාර නොගෙන, පිළිනොගෙන තම පිළිගැනීම හෝ පිළිගැනීමට ලක්වන්නා රැක ගන්නට ටිකක් සැර, දරුණු චර්යාවකට වුනත් එන්න බැරි නෑ. මේ විදියට "තමන්ගේ පිළිගැනීම" හොඳම එක බවට පරිස්සම් කරගන්නට දරන මානසික පෙළඹවීම සහ ඒ ඔස්සේම යම් අඩුපාඩුවක් දැක්කත් නොදැක්කාසේ ඒවා පිළිනොගනිමින්, ඇත්ත තත්වයටත් වඩා "ඉතා හොඳ" වගේ පිළිගැනීමක සිටීම Idealization ලෙසයි හඳුන්වන්නේ.
Halo Effect: එක් හොඳකින් සම්පූර්ණ හොඳක් දැකීම
මේ Idealization වලට වඩා "අවදානම් විය හැකි" තවත් ක්‍රමයක් ඔස්සේ තම පිළිගැනිම, තමන් "හොඳ යැයි" පිළීගන්නා දේ පරිස්සම් කරගන්නට දරන අනෙක් මානසික පෙළඹවීම halo effect කියලයි මනෝ විද්‍යාත්මක පරිසරය තුලදී හඳුන්වන්නේ.
මෙතැනදි වන්නේ, යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක "එක හොඳක්" ඔස්සේ, ඒ සම්පුර්ණ පුද්ගලයා හෝ ඒ සම්පුර්ණ දේම "හොඳම" ලෙස පිළිගන්නට අපේ මනස කරන පෙළඹවීමයි (මෙය හෝ එහි සම්පුර්ණ අනෙක් පැත්ත, ඒ කිව්වේ, එක වරදක් නිසා එම පුද්ගලයා සම්පුර්ණයෙන්ම නරක ලෙස හෝ එම දෙය සම්පුර්ණයෙන්ම නරක දෙයක් ලෙස පිළිගැනීම reverse/negative halo effect එහෙම නැත්නම් horn effect ලෙසත් හඳුන්වනවා). මේ තුල විය හැකි අවදානම වෙන්නේ, "එකම හොඳකින්" ඒ සම්පුර්ණ පුද්ගලයා හෝ දෙය දෙස "හොඳම" පිළිගැනීම සහිත කන්නාඩියෙක් බලන්නට යාම තුල, තිබෙන හෝ තිබිය හැකි නරක පවා නොපෙනෙන, නොපිළිගන්නා තත්ත්වයකට පත්වීමයි.
අන්දන Halo Effect
රැස්වීමක ඉතා චතුර ලෙස කතා කරන කථිකයෙක් දෙස බලා සිටින කෙනෙක්, ඒ පුද්ගලයා ඉතා උගත්, පරිණත, බුද්ධිමත් තීරණ ගත හැකි අයෙක් ලෙස ඉතා ඉහළ පිළිගැනීමක් සහිත "රැවටීමකට" ලක්වෙන්ටත් බැරි නෑ මේ Halo effect එක නිසා.
"හොඳම" සහ "එකම" කියන විට නැවත සිතමු
ඒ නිසා "හොඳම", "එකම" කියත්දි, හිතත්දි හුඟක් පරිස්සම් වෙන්නට ඕන බව විතරක් මතක් කරමින්, ඒ ඔස්සේම, "හොඳම" හෝ "එකම" ලේබලය ඔස්සේ ඔබ පිළිගන්නා දෙය, පුද්ගලයා, සිදුවීම "ඇත්තටම එසේ විය හැකිදැයි" නැවත විමසා බැලීමක් කරන්නට, සසඳා කරුණූ ගලපා ගැනීමක් කරන්නටත් ඒ ඔස්සේම ආරාධනා කරමින්, අද ලිපිය නිමා කරනවා.