("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.)
පළමු හමුවීම: දවස සිකුරාදා
සිදුවීම: සේවාලාභියෙකු සමඟ පළමු හමුවීම (Intake & Assessment)
"මට ඒ සිදුවීම හොඳට මතකයි... අපි හිම කන්ද පහළට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුණා. අන්තිමට මට මතක මාව අන්ධ වුණා වගේ හැඟීමක්... ඊට පස්සේ වුණු දේ ගැන හරි මතකයක් නෑ."
මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ තරුණ කොළු ගැටයා කියාගෙන යයි.
"හ්ම්... ඒ තමයි එයා ස්කී-ඩූ (Ski-doo / Snowmobile) ගිය අවසාන දවස. මාස හතරක් රෝහලේ හිටියා. ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේරගන්න..." ඔහු සමඟ පැමිණි අම්මා කතාව මැදට එකතු වූවාය.
"මගේ පෙම්වතියත් එයින් තුවාල වුණාලු. ඒත් දැන් එයා සුවෙන්... ඒක මට සතුටක්. ඒත් මට එයාව තව කොයිතරම් කාලයක් මතක තියේද, හඳුනාගන්න පුළුවන් වේවිද කියන බය තමයි මට තියෙන්නේ..." ඔහුගේ ඇසේ කඳුළක සේයාවක් මතු විය.
"දැනටමත් මාව වෙන කවුරු හරි කියලා හඳුනාගන්න අවස්ථා බොහෝමයි. මෙයාගේ වෛද්‍ය කණ්ඩායම නම් කියන්නේ, අමතක වීම ශීඝ්‍ර වන වේගය අනුව, හුඟ කාලයක් මතකය රඳවා ගන්න අපහසු වේවි කියලා..." අත තිබුණු ටිෂූ එකෙන් ඇස් අග පිසදාන ගමන් අම්මා පැවසුවාය.
"ජීවිතේ කියන්නේ ඒ මතක..."
හමුවීම සාර්ථකව නිමාවට පත් විය. සේවා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ බැවින් ඔහු අපගේ වැඩසටහන තුළට ඇතුළත් කරගන්නා ලදී.
"ඔයා අපත් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?" සේවාලාභියාගේ අවශ්‍යතාවය, කැමැත්ත සහ අවබෝධය පිළිබඳ කරන විමසීම වෙනුවෙන් අවසන් ප්‍රශ්නය මා ඇසුවෙමි.
"මගේ සෞඛ්‍ය කණ්ඩායම තමයි මේ වැඩසටහනට මාව යොමු කළේ. මම දන්නේ නෑ එයාලගේ අරමුණු මොනවාද කියලා... මට නම්, මගේ මතකයේ තියෙන මේ සුන්දර මතකයන් ටික තව ටික කාලයක්වත් රඳවා ගන්න පුළුවන් නම්... වැඩියෙන්ම මට මගේ පවුලේ අය, මගේ ආදරවන්තිය, ඇගේ සිනහව, ඒ උණුසුම මතකයේ තව කාලයක් තියාගන්න පුළුවන් නම් ඒ ඇති..."
ඔහු මොහොතක් නතර විය.
"මං දන්නවා මගේ ජීවිත ගමන හුඟක් දුර නෑ කියලා... ඒත් මට ජීවිතේ කියන්නේ ඒ මතක... ඒ ටික පරිස්සම් කරගන්න මට උදව් දෙන්න..."
එතෙක් හිත තද කරගෙන සිටි මේ තරුණ දරුවාගේ කම්මුල් දිගේ කඳුළු වැලක් ගලා හැලුණි.
"ඔව් පුතා... එන්න අපිත් එක්ක මේ ක්‍රියාකාරකම් වල යෙදෙමු. අපි උපරිමයෙන් උත්සාහ කරමු ඒ සුන්දර මතකයන් තවත් කාලයක් රඳවා ගන්නට..." මගේ අත තදින් අල්ලා සිටි ඔහුගේ හැඟීමට ඉඩ දෙමින් මම කෙටි පිළිතුරක් දුන්නෙමි.
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."
මේ සියල්ල ඉදිරියේ සිත් ශක්තිමත් කරගෙන සිටි අම්මාත්, දරුවාත් හමුවීම නිමවා ආයතනයෙන් නික්ම යද්දී මාද ඔවුන් සමඟ එළියට පැමිණියෙමි. අම්මාගේ අත අල්ලාගෙන, තරමක අසමබර පා තැබීමකින් යන මේ උස මහත තරුණ දරුවාගේ චර්යාව දෙස මම බලා සිටියෙමි.
"මට ලබන සතියෙම එන්න පුළුවන්නේද?" මා පසුපසින් එන බව දුටු ඔහු නැවතී විමසුවේය.
"ඔව් පුතා..." මට කියැවිණි. "ඔයාට තවත් හරියටම දවස් පහකින් අපිත් එක්ක එකතු වෙන්න එන්න පුළුවන්." හිතේ බරටම වෘත්තීය සීමාවන් තරමක් බිඳී ගිය බව මට වැටහුණේ මොහොතකට පසුවය.
අම්මාගේ අතින් මිදුණු ඔහු ක්ෂණිකව මා වෙතට පැමිණියේය.
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."
තදින් මා වැළඳගත් මේ තරුණ දරුවා මගෙන් කළ ඒ බරසාර ඉල්ලීම මුළු හදවතම හිරිවට්ටවාලීය.
හිමේ සීතල වගේම හිරුගේ උණුසුමත් මොහොතකට විඳි මා, නැවතත් වැඩසටහන් පරිශ්‍රය තුළට පැමිණියේ මගේ දරුවන්ගේ වයසේ සිටි මේ තරුණ දරුවා කී වැකි දෙක හදවත තුළ දෝංකාර දෙද්දීය:
"ජීවිතේ කියන්නේ ඒ මතක..."
"මට, මාව පරිස්සම් කරලා දෙන්න..."