("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ මානුෂීය සහකම්පනය ගොඩනැගීමටයි.)
අද අඟහරුවාදා, අපේ සේවා පරිසරය තුළ වඩාත්ම කාර්යබහුල මෙන්ම වර්ණවත් දවසකි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වෙන්වන්නේ ඩිමෙන්ෂියාවේ මධ්‍යම හෝ උග්‍ර මට්ටමේ (Moderate to Severe Dementia) සේවාලාභීන් වෙනුවෙනි.
උදෑසන නවය වන විට තම ආදරණීය බිරිඳ හෝ සැමියා අපගේ සායනික සත්කාර වැඩසටහනට භාර දී, සාත්තු සත්කාරක සහකරුවන් අප සමඟ කෙටි කතාබහක යෙදී දවසේ වැඩකටයුතු සඳහා පිටත්ව යති.
මේ, එලෙස තම බිරිඳ භාරදීමට පැමිණි විලියම් (William - සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය උදෙසා නම් මනඃකල්පිත කර ඇත) මහතා මා සමඟ බෙදාගත් සිනහව සහ කඳුළු පිරි සංවේදී කතාවයි.
උණුසුම් දිනයක අමුතු පාතරසය
දිගු රැවුල අතගාමින් සිනහමුසු මුහුණින් විලියම් මහතා කතාව ආරම්භ කළේය:
*"මයික්, මට ඔයාට කියන්න වෙනස්ම කතාවක් තියෙනවා. ගිය අඟහරුවාදා හරිම රස්නේ දවසක්නේ. මිදුලේ තණකොළ හොඳටම වැවිලා තිබුණු නිසා මට හිතුණා උදෙන්ම තණකොළ ටික කපලා සුද්ද කරන්න.
වෙනදාට මමමයි උදේ කෑම හදන්නේ. ඒත් එදා මට හිතුණා එයාට කියලා බලන්න. මම කිව්වා 'මම මිදුල අස් කරලා එනකම් ඔයාට පුළුවන්ද මට උදේට කෑම හදලා තියන්න?' කියලා. එයා දන්නවා මම ආසම බිත්තර ඔම්ලට්, බේකන්, ටෝස්ට් එක්ක පළතුරු කන්න කියලා."*
පැය දෙකක් තණකොළ කපා දහඩිය පෙරාගෙන කුස්සියට පැමිණි විලියම් මහතා පුදුමයට පත් විය.
*"මයික්, මම හිතුවේ නෑ එයාට ඒ තරම් දෙයක් තනියම කරන්න පුළුවන් වෙයි කියලා! එයා බිත්තර ඔම්ලට් හදලා, බේකන් බැදලා, ටෝස්ට් හදලා, පළතුරු කපලා කෑම මේසය හරිම ලස්සනට සරසලා තිබුණා!
ඒ වෙලාවේ මට දැනුණු සතුටට ඇස්වලට කඳුළු ආවා. මගේ බිරිඳ මට ආයෙත් ලැබුණා කියලා මම දෙවියන්ට ස්තුති කළා! අවුරුදු හතරකට පස්සේ අපි එදා ආදරයෙන් පිරුණු රසම රස උදේ කෑම වේලක් එකට වාඩිවෙලා ගත්තා."*
සවස උදාවූ දෙවන පාතරසය!
උදේ ආහාරය ගෙන විලියම් නෝනා කාමරයේ විවේක ගන්නා අතරේ, විලියම් මහතා නැවතත් මිදුලට ගොස් ඉතිරි වැඩ නිම කර සවස නිවසට ගොඩවැදුණේ රාත්‍රී කෑමට යමක් සූදානම් කරගැනීමටයි.
නමුත් කුස්සියට ඇතුළු වූ විගස ඔහු දුටු දෙයින් ගල් ගැසී ගියේය!
*"මයික්, ගෙට ගොඩවුණු ගමන් මම දැක්කේ කෑම මේසය උඩ ආයෙත් කෑම ලෑස්ති කරලා! මම නිකමට බැලුවා මොනවද හදලා තියෙන්නේ කියලා...
එතකොට මට දුකයි හිනාවයි දෙකම එකට ආවා. එයා අර උදේ හදපු කෑම වේලම — බිත්තර ඔම්ලට්, බේකන්, ටෝස්ට්, පළතුරු ඒ විදියටම ආයෙත් හදලා මේසෙට තියලා බලාගෙන ඉන්නවා!
මම ඇහුවා 'ඇයි රත්තරං ආයෙත් මේ කෑම හැදුවේ?' කියලා. එයා හරිම ආදරෙන් කියනවා 'ඔයා උදේ කිව්වනේ මගේ මහත්තයා ආසම කෑම වේල හදන්න කියලා, ඉතින් මම ඔයා එනකම් ආසාවෙන් හැදුවා' කියලා!
එයාට කිසිම මතකයක් නෑ උදේටත් අපි මේ කෑම වේලම කාලා සතුටු වුණා කියලා. ඉතින් අපි එදා උදේටත් බිත්තරයි බේකනුයි කෑවා, රෑටත් ඒවම කාලා සතුටින් හිටියා!"*
විලියම් මහතා කඳුළු පිසදමමින් සිනාසුණේය.
සායනික විවරණය: Dementia Repetition (ඩිමෙන්ෂියා පුනරාවර්තනය)
මෙම සිදුවීම පිටුපස ඇති ස්නායු මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය විමසා බලමු:
- කෙටි කාලීන මතකය (Short-term Memory) සහ චිත්තවේගීය මතකය (Emotional Memory):
- Dementia Repetition vs. OCD Repetition (අනිවාර්ය පුනරාවර්තනය):
- Dementia Repetition: මෙය සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව (Unintentional) සිදුවන්නකි. අමතක වීම, කාලය පිළිබඳ සංජානනය ගිලිහීම හෝ අභ්‍යන්තර කාංසාව නිසා එකම ප්‍රශ්නය නැවත ඇසීම හෝ එකම ක්‍රියාව නැවත කිරීම මෙහිදී සිදුවේ.
- OCD Repetition: මෙය පුද්ගලයා දැනුවත්ව (Intentional/Aware) සිදුකරන්නකි. තමන් මීට පෙර අත් සේදූ බව හෝ දොර අගුළු දැමූ බව මතක තිබුණද, සිතේ පවතින දරාගත නොහැකි කාංසාව සහ බිය සමනය කරගැනීමට නැවත නැවතත් එම ක්‍රියාව සිදු කරයි.
- සාත්තු සත්කාරක කළමනාකරණය (Caregiver Management):
- මෙවැනි අවස්ථාවක රෝගියා සමඟ තර්ක කිරීමෙන් හෝ "ඔයා උදෙත් ඕකම හැදුවනේ!" යැයි මතක් කර ලජ්ජාවට පත්කිරීමෙන් වැළකිය යුතුය.
- FiNReDiCo (Validation & Redirection): ඔවුන්ගේ ආදරණීය උත්සාහය අගය කරමින්, සෙනෙහසින් යුතුව පිළිගෙන, පසුව සෙමින් අවධානය වෙනතකට යොමු කිරීම (Redirection) කළ යුතුය.
සමාප්තිය
ඩිමෙන්ෂියාව යනු මතකය අහිමි කරවන රෝගයක් වුවද, ආදරය, සෙනෙහස සහ අනෙකා සතුටු කිරීමේ මානුෂීය හදවතේ බැඳීම රෝගයේ උග්‍රම අවධියේදී පවා අහිමි නොවන බව විලියම් නෝනාගේ ආදරණීය "පාතරසය" අපට කියා දෙයි.