2023/01/27

ඩිමෙන්ෂියා සුව කරන්න පුළුවන් ද?

SL Dementia ඩිමෙන්ෂියා සුව අසපු ගෲප් එක පටන්ගත් අවස්ථා වේ සිට, ඩිමෙන්ෂියා ගැන ලංකාවේ විවිධ ගැටළු යොමු වෙනවා. ඒ අතරේ වැඩි ප්රමාණයක්ම තියෙන්නේ "ඩිමෙන්ෂියාව හොඳ කරන" වෙදුන් යැයි කියා ගන්නා අය, තවත් විවිධාකාර ක්රම ඔස්සේ ඩිමෙන්ෂියාව සුව වු බව කියන පණිවිඩත් ලැබෙමින් තිබෙනවා. එම තොරතුරු එවූවන් අතරේ, පාසල් වයසේ දරුවන්ගේ සිට, ලංකාවේ ප්රධාන යැයි කියන මාධ්ය ආයතනයක ප්රධානියෙක් දක්වා පරාසයක පිරිස සිටිනවා.

ලැබෙන පෞද්ගලික පණිවිඩ වලට පුද්ගලිකව පිළිතුරු දීම කිසිදු ගෲප් එකකට අදාලව නොකරන නිසා, කියවීමට පමණක් යොදා ගැනීමයි සිදුවෙන්නේ. (අවශ්යතාවය ඉතාමත් ඉහළ තැනකදි පිළිතුරු දෙනවා හැර) නමුත්, මේ උනන්දුව ඔස්සේ , ලංකාව තුල ඩිමෙන්ෂියාව ගැන යම් කතාබහක් සිදුවන බව සහ අවධානයක් තිබෙන බවට "සතුටක්" ලැබුණත්, තත්ත්වය ගැන ඇති දැනුම ගැන නම් "සතුටු වෙන්න" පුළුවන් තැනක නැතිදෝ කියල හිතෙනවා.

ඒ නිසා, මේ ලිපිය "ඩිමෙන්ෂියා සුව කරන්න පුළුවන් ද?" නමින් පළ කරන්නේ, ලැබුණූ පුද්ගලික පණිවිඩ ගණනාවකට පොදුවේ පිළිතුරක් ලබා දෙන්නටත්, පොදුවේ දැනුවත් කිරීමක් කරන්නටත්.

මොකක්ද ඩිමෙන්ෂියා කියන්නේ?

ඔබ අප දැනටමත් දන්නවා ඒ තනි රෝගයක් නොව, විවිධ ලක්ෂණ ගණනාවක එකතුවක් කියලා. ඒ සඳහා හේතුව මොළයේ සෛල වලට සිදුවන යම් බලපෑමක් බවත් අප දන්නවා. මෙතැනදි බලපෑම කියන්නේ, මොළයේ අදාල සෛල හෝ සෛල එකතුව යම් හේතුවක් නිසා මිය යාම, අක්රිය වීම හෝ එම සෛල එක්ක අනෙක් සෛල වලට කතාබහ කරන්නට තිබූ හැකියාව බිඳ වැටීම කියන තැන්නේ.

එතැනදි, මේ ස්නායු සෛල වල විශේෂත්වය තමයි, මිය ගියා නම් නැවත පණ ගන්නට හරි, එහෙම නැත්නම් මිය ගිය සෛල වලින් එන හිස් තැන පුරවන්නට හරි නැවත සෛල පැටවු ගහන්නේ නැතිකම. හෘද පේෂියේ විශේෂිත සෛල, අග්න්යාශයේ තිබෙන විශේෂිත සෛල වගේම මොළයේ මේ නියුරෝනත් , මළොත් මලාම තමයි. අතක , කකුලක වෙන තුවාලයකදි අතේ , කකුලේ සෛල මැරුණත් , අළුත් සෛල පැටවු ඇවිත් අර මැරුණූ තැන පිරෙව්වත් මොළයේ සෛල වලට ඒ හැකියාව නැහැ. (නියුරෝජෙනසිස් ලෙස හඳුන්වන ක්රියාවලිය ඔස්සේ ඉතා සුළු සෛල වැඩීමක් හදුනාගත්තත්, එම හැකියාව, සමේ සෛල අතක තුවාලයක් සුව කරා මෙන්, මොළයේ සිදුවන හානියක් සම්පුර්ණයෙන්ම ආවරණය කරන්නට තරම් ඉහළ මට්ටමක නැහැ.)

ඒ නිසා, ඩිමෙන්ෂියා තත්ත්වයට හේතුවුනේ මොළයේ සෛල මියායමක් නම්, එම සෛල වලින් සිදුවෙමින් තිබුණු කාර්යය ඒ ආකාරයෙන්ම නැවත කරන්නට ඇති ඉඩ ඉතාමත් අඩුයි. නියුරෝප්ලස්ටිසිටි කියන ක්රියාවලිය ඔස්සේ වටේ ගිහින් යම් සීමාවක උදව්වක් ගන්නට පුළුවන් වුනත්, පොදුවේ , අදාල මොළයේ කොටස වගකියන මතකය, හඳුනාගැනීම , චර්යාවන් , තීරණ ගැනීම් හැකියාවන් බවට සිදුවුනු බලපෑම අනෙක් පැත්තට ගන්න බැහැ.

ඩිමෙන්ෂියා ලක්ෂණ සහ ඩිමෙන්ෂියා තත්ත්වය

ඩිමෙන්ෂියා ගැන කතා කරත්දි අප, නිවැරදිව භාවිත නොවන වචන කිහිපයක් නිසා පටලැවිල්ලක් වෙනබවක් හඳුනගන්නට පුළුවන්. පෙර කීවා වගේම "ඩිමෙන්ෂියා ලක්ෂණ" කියන්නේ, අමතක වීම, චර්යාව වෙනස්වීම, තීරණ ගැනීමේ හැකියාව, පෞරුෂය වෙනස්වීම වගේ , ලක්ෂණ ගණනාවක එකතුවක්. දැන් මේ එක් ලක්ෂණයක් දෙකක් හඳුනාගැනීම තුල අදාල පුද්ගලයා "ඩිමෙන්ෂියා තත්ත්වය" සමඟ ජීවත්වනවා යැයි තීරණය කරන්නේ නැහැ සුදුසුකම් ලත් සෞඛ්යය වෘත්තිකයෙක් නම්.

උදාහරණයක්, එක්තරා පියෙක් දැන් සති කිහිපයක සිට අමතක වීම, නින්ද නොයාම, චර්යාව වෙනස්වීම වගේ ලක්ෂණ පෙන්වනවා. දැන් මේක දැක්ක ගමන් "අපේ අප්පොච්චිට ඩිමෙන්ෂියා" කියල කළබල වෙන එක සාධාරණ නැහැ. මේ ගැන දැන් සොයා බලන්නට ඕන. එතැනදි, අදාල ශාරීරික පරික්ෂාවන් ,මතක පරික්ෂාවන්, චර්යාමය පරික්ෂාවන් , රුධිර රසායනික සහ මොළයේ ස්කෑන් වගේ පරික්ෂණ තුලදී, තවත් ලක්ෂණ වගේම මොළයේ පටක වලට සිදුවූ හානිය හඳුනාගෙන, එම තත්ත්වය "ඩිමෙන්ෂියා" ලෙස හඳුනාගෙන, එහි වර්ගය නම් කිරීමක් කළොත් අන්න ඒ තමයි "ඩිමෙන්ෂියා තත්ත්වය" . ඒ කියන්නේ මෙතැනදි අපට සුව කිරීමකට වඩා බලාපොරොත්තු වෙන්නේ තත්ත්වය පාලනය කිරීම සහ පවතින, විය හැකි ගැටළු, ලක්ෂණ වල අපහසුතා සීමා කරමින් අදාල පුද්ගලයාට හැකිතරම් "සාමාන්ය ජීවිතයක්" ගත කිරීමට අවස්ථාව ලබා දීම.

දැන්, "අපේ අප්පොච්චිට ඩිමෙන්ෂියා" කියල කළබල වෙලා පෙර කී ලෙස වැඩිදුර පරික්ෂණ සිදු කර, "ඩිමෙන්ෂීයා තත්ත්වය / වර්ගය" හඳුනානොගෙන , ඩිමෙන්ෂියා හොඳ කරන දිවැසිවරයෙක් වගේ මාධ්යයෙන් , සමාජ මාධ්යයෙන් ප්රසිද්ධ වූ අයෙක් ගාවට මෙම පියාව ගෙන ගියාම, මොනව හරි "ප්රතිකාර " කියන දෙයක් කරාම, ටික දවසක් ගියාම "මෙන්න තාත්ත ආයෙත් හොඳ වෙලා" කියල, ඩිමෙන්ෂියා හොඳ කරන්න පුළුවන් කියන මතයට ආවොත් ලොකු වැරැද්දක්.

හේතුව මේකයි. දැන් මේ අප්පොච්චිට තිබුණු අමතක වීම වැඩිවීම, නින්ද නොයාම, චර්යාව වෙනස්වීම වගේ ලක්ෂණ ඇති වන්නේ ඩිමෙන්ෂියා තත්ත්වයකදි පමණක් නොවෙයි. තවත් හේතු ගණනාවක් තියෙනවා, සරළවම , මානසිකව ඇතිවන පීඩාවන්, දැනට ලබා දෙන ඖෂධයක බලපෑම, නිවසේ සිදුවූ වෙනසක සිට තවත් කායික ගැටළු රැසක් නිසාත් , මේ "ඩිමෙන්ෂියා වගේ ලක්ෂණ" මතු වෙන්න පුළුවන්.

Reversible Dementias — නිවැරදි කළ හැකි තත්ත්වයන් 10ක්

මෙම තත්ත්වයන් සහ ඩිමෙන්ෂියා තත්ත්වයන් අතර වෙනස තමයි, දැන් මේ කියන්න හදන ගැටළු බොහොමයක් නිසි ප්රතිකාර මගින් සුව කරන්නට පුළුවන්, එතැනදි මතුව තිබූ "ඩිමෙන්ෂියා ලක්ෂණ" අඩුවෙන හෝ නැතිව යනවා. නමුත් , "ඩිමෙන්ෂියා තත්ත්වයක්" නම්, එය සුව කරමින්, අදාල පුද්ගලයා පෙර තිබූ තත්ත්වයටම ගන්නට හැකියාවක් තවමත් හොයා ගෙන නැහැ.

1) Normal Pressure Hydrocephalus (NPH)

මොළය තුල නිපදවෙන, සංසර්ණය වන තරළය cerebrospinal fluid සාමාන්ය ලෙස සංසර්ණය නොවීම නිසා, එමගින් ඇති කරන පීඩනය හේතුවෙන් මොළයේ සෛල , මොළයේ කුටීර අධිත තෙරපීමකට ලක්වීම. මේ නිසා මොළයේ සෛල වලට අවශ්ය රැධිර සැපයුම බිඳ වැටීම, පීඩනය වැනි හේතු නිසා එම සෛල මියයාමක් හෝ ක්රියාකාරීත්වය දුර්වල විමක් වෙන්නට පුළුවන්.

මෙම තත්ත්වයේදී, ඩිමෙන්ෂියා තත්ත්වයක සමහර ලක්ෂණ , උදාහරණයක් අමතක වීම, දවසේ වැඩ කටයුතු වලට තිබුණු කැමැත්ත නැතිවීම, තීරණ ගැනීමේ හැකියාව නැතිවීම, ඇවිදිම අපහසුවීම, මුත්රා පාලනය නොහැකිවීම වගේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.

නමුත්, මුල් අවස්ථාමේ මෙම තත්ත්වය නිවැරදිව හඳුනාගත්තා නම්, ඊට අවශ්ය ඖෂධීය සහ විශේෂයෙන්ම ශල්ය ප්රතිකාර ආරම්භ කළා නම්, තත්ත්වය තව දුරටත් උග්රවීම පාලනය කිරීම මෙන්ම, පවතින ලක්ෂණ අඩු කරමින් හෝ සම්පුර්ණයෙන්ම නැති කරමින් නැවත සාමාන්ය තත්තවයට පත් වෙන්නට පුළුවන්.

2) Delirium

මේ නම් , ඩිමෙන්ෂියා ලක්ෂණ බොහොමයක් මතුවන තවත් රෝග තත්ත්වයක්. තමන් සහ වටපිටාව ගැන නොහැදිනීම, කල්පනාව වෙනස්වීම, අමතක වීම, විවිධ දේ පෙනෙන්නට (hallucinations) පටන් ගැනීම, ඔය විදියට අපි ඩිමෙන්ෂියා තත්ත්වයකදී කියන සියළු ලක්ෂණ මතු වෙන්නට පුළුවන් මෙම අවස්ථාවෙදීත්.

මුත්රා ආසාදනයක්, තද උණ , තද වේදනාවන් වල සිට, රුධිරයේ අවශ්ය සංඝටක වල අඩුවීම, ගන්නා ඖධ්ය වල ප්රතික්රියා හෝ බලපෑම ,කාළීනව සිදුවූ පෝෂණ ඌණතාවයක්, මත්පැන් හෝ මත්ද්රව්ය වල බලපෑමක් වගේ හේතු ගණනාවක් නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

අදාල තත්ත්වය සහ ඩිමෙන්ෂියා තත්ත්වය අතර හඳුනාගත හැකි "වෙනස" නම්, Delirium තත්ත්වය කෙටි කාළ සීමාවක් තුල මතුවීම සහ ඩිමෙන්ෂියා තත්ත්වය ක්රමාණූකූලව සාපේක්ෂණ දිගු කාළයක් තිස්සේ මතුවීමයි.

3) Vitamin B12 Deficiency

කාලීනව සිදුවූ විටමින් බී ඌණතාවය නිසාත් ඩිමෙන්ෂියා ලක්ෂණ මතු වන්නට පුළුවන්. අසාමාන්ය විඩාව, දවසේ කටයුතු වලට තිබුණූ කැමැත්ත අඩුවීම, උනන්දුව අඩුවීම, කල්පනාව අඩුවීම, තීරණ ගැනීම , පිළිවෙල කිරීම වැනි කටයුතු වලදී සිදුවන බිඳ වැටීම්, පෙර දැන සිටි දේවල් හඳුනා නොගැනීම වගේ ඩිමෙන්ෂියා තත්ත්වය තුලදී දැකිය හැකි රෝග ලක්ෂණ මෙම විටමින් බී 12 ඌණතාවයේදීත් දැක ගන්නට පුළුවන්. නමුත්, නිසි පෙර අවස්ථාවෙදී හඳුනාගෙන, අදාල විටමින් ඌණතාවයට අදාල ප්රතිකාර සිදු කළා නම්, පෙර කී ලක්ෂණ නැවත සාමාන්ය තත්ත්වයට ක්රමයෙන් හරවා ගන්නට පුළුවන්කම තිබෙනවා.

4) Hypothyroidism

සමස්ථ ජෛව ක්රියාවලියටම බලපැමක් ඇති කරන තයිරොයිඩ් ග්රන්ථියේ ක්රියාකාරීත්වය දුර්වල වීම නිසා නිශ්පාදනය විය යුතු තයිරෝයිඩ් හෝමෝන ප්රමාණය , රැධිරයට එක්නොවීම නිසා ඇතිවන හය්පොතයිරොයිඩිස්ම් තත්ත්වයේදි, විශේෂයෙන්ම, එම තත්ත්වය කළක් ප්රතිකාර නොලබන අවස්ථාවේදී, ඩිමෙන්ෂියා ලක්ෂණ මතු වන්නට පුළුවන්. අලස බව, විෂාදයේ ලක්ෂණ, කල්පනාව අඩුවීම, බුද්ධිමය හැකියාවන්-තීරණ ගැනීමේ හැකියාවන් අඩුවීම, අමතක වීම් වගේ මතුවන ලක්ෂණ, නිසි ප්රතිකාර ලබා දීම මගින් සුව කරන්නට පුළුවන්.

5) Medication-Induced Dementia

සමහර මූලික මට්ටමේ වේදනානාශක, අසාත්මිකතාවයන් සඳහා දෙන ඖෂධ වල සිට, මානසික රෝග/තත්ත්ව සඳහා දෙන ඖෂධ, අපස්මාරය සඳහා ලබා දෙන ඖෂධ වැනි, වෙනත් තත්ත්වයක් සඳහා ගන්නා ඖෂධ වල බලපෑම නිසා , මෙම ඩිමෙන්ෂියා ලක්ෂණ මතුවීම සිදුවන්නට පුළුවන්.

අදාල බලපෑම සිදු කරන ඖෂධ හෝ එම ඖෂධ සැලසුම වෙනස්කිරීම තුල මෙම "ඩිමෙන්ෂියා ලක්ෂණ මතුවීම" පාලනය හෝ සීමා කරගන්නට පුළුවන්කම තිබෙනවා.

6) Depression

විෂාදය තත්ත්වය තුලදීත් බුද්ධිමය හැකියාවන්, තීරණය ගැනීමේ හැකියාවන් වගේම මතකය වෙතද දැඩි බලපෑමක් කරමින් "ඩිමෙන්ෂියාවේ" ලක්ෂණ මතු කරන්නට පුළුවන්. නමුත්, නිසි ප්රතිකාර, සහ චිකිත්සීය ක්රම ඔස්සේ එම ලක්ෂණ නැවත සාමාන්ය හෝ ආසන්න මට්ටමට ගෙන එමින් නිවැරදි කිරීමක් කරන්නට හැකියාවක් තිබෙනවා.

7) Head Injury

හිසට සිදුවන අනතුරු වලට පසුවත්, අමතක වීම, තීරණ ගැනීමේ හැකියාවේ වෙනස්වීම් වැනි ඩිමෙන්ෂියා තත්ත්වයේදීද පෙන්වන ලක්ෂණ කිහිපයක් , තත්ත්වය අනුව මතු වන්නට පුළුවන්. කෙසේ වෙතත්, එම අනතුරට අදාල ප්රතිකාර සහ චිකිත්සීය ක්රම නිසි ලෙස අනුගමනය කිරීම මගින්, මෙම තාවකාලික ලක්ෂණ නිවැරදි කරගන්නට පුළුවන්.

8) Alcohol-Related

වැඩි කාළයක්, අධික මත්පැන් භාවිතය නිසා මොළයට , අක්මාවට සිදුවන හානිය ඔස්සේ මතුවන තත්ත්වයකදී, කල්පනාව අඩුවීම, අමතකවීම, අවට පරිසරය ගැන ඇති හැදිනීම අඩුවීම වැනි ඩිමෙන්ෂියා වලදි මතුවන ලක්ෂණ ගණනාවක් හඳුනාගන්නට පුළුවන් වේවි. නමුත්, මුල් අවධියේදීම මෙම වෙනස්වීම් හඳුනාගත හොත්, මත්පැන් භාවිතය සීමා කිරීම සහ අදාල ඇබ්බැහිවීමට නිසි ප්රතිකාරත්, මත්පැන් වල බලපෑම නිසා සිදුවී ඇති "නිවැරදි කළ හැකි" ජෛව රසායනික වෙනස්කම් නිවැරදි කිරීමත් මගින් මෙම ලක්ෂණ නැවත හරවන්නට හැකි වේ.

9) Infections

මොළයේ උණ, උපදංශය( syphilis) වැනි තත්ත්ව වලදීත් අදාල ආසාදනය පවතින අවස්ථාවේ , ඩිමෙන්ෂියා වැනි ලක්ෂණ මතු වන්නට පුළුවන්. අදාල ආසාදනයට නිවැරදි ලෙස ප්රතිකාර කිරීමෙන් සුව කරගැනීමට හෝ මතුවූ ලක්ෂණ අඩු කරගැනීමට හැකියාවක් ලැබෙනවා.

10) Metabolic Disorders

අක්මාව, වකුගඩු වැනි ජීවය පවත්වා ගැනීමට වැදගත්ම අවයව වල සිදුවන දුර්වලතා, හානිවීම් නිසා රැධිරයේ විවිධ රසායනික වෙනස්වීම මතත්, ඩිමෙන්ෂියා වැනි ලක්ෂණ ඇති වන්නට පුළුවන්. අදාල ජෛව රසායනික වෙනස්වීම වලට හේතුවන Metabolic disorders සඳහා ප්රතිකාර කිරීම මගින් මෙම ලක්ෂණ නිවැරදි කරගන්නට හැකියාව තිබෙනවා.

සත්ය ඩිමෙන්ෂියා තත්ත්ව සහ නිගමනය

ඇල්සයිමර් තත්ත්වය, වැස්ක්යුලර් ඩිමෙන්ෂියා තත්ත්වය, ෆ්රන්ටොටෙම්පොරල් ඩිමෙන්ෂීයාව, මික්ස්ඩ් ඩිමෙන්ෂියාව වැනි , පෙර අප හඳුන්වා දී ඇති "ඩිමෙන්ෂියා තත්ත්ව / Dementia types" වලදී , මොළයේ සෛල වලට "නැවත හැරවිය නොහැකි හානියක්" සිදුවී ඇති නිසා, කළ හැකි දේ තත්ත්වය උග්රවීම සීමා කිරීම සහ පවතින අපහසුකාරී ලක්ෂණ සීමා කරමින් හැකිතරම් සාමාන්ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම මිස "සුව කිරීමක්" නොවේ.

එම නිසා, ඩිමෙන්ෂියා සමාන ලක්ෂණ සහ ඩිමෙන්ෂියා තත්ත්වයන් වෙන්කර හඳුනාගැනීම වැදගත් වගේම, ඩිමෙන්ෂීයා තත්ත්වයට පත් නොවීමට හෝ පමා කිරීමට "ගත හැකි උපක්රම" පිළිබඳව දැනුවත්වීමත් තමයි වැදගත්ම වන්නේ.