4. "සුව" නැති නින්ද Non-restorative sleep
"සුව" නැති නින්ද කියන්නේ මොකක්ද?
ෆයිබ්රොමයැල්ජියාවේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ "සුව" නැති නින්ද. තවත් විදියකින් කෙටියෙන් කිව්වොත් නිදාගත්තත්, එහි ලැබිය යුතු "සුවදායීබව" නොලැබීම. දැන් මේකෙන් කියන්නේ, ෆයිබ්රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙකුට නිදාගන්න බැහැ කියන එකනම් නොවෙයි. මේ අයට දවස පුරාම වුනත් නිදාගන්න පුළුවන්. නමුත්, කොයිතරම් වෙලාවක් නිදාගත්තත්, අවදි වෙත්දි නිදා නොගත්තා වැනි හැඟීමක් හෝ නින්දේ ලැබිය යුතු සැහැල්ලුව නොලැබීමයි ප්රධාන ලක්ෂණය වන්නේ.
අද ලිපිය තුල කෙටියෙන් කතා කරන්නේ අන්න ඒ, "සුව නැති නින්ද" ගැනයි. එහි හදුනාගත හැකි ප්රධාන ලක්ෂණ කිහිපයක් මේ,
1) ප්රමාණවත් නින්දක් ලැබුණත් ප්රබෝධමත් බවක් නොලැබීම
- ප්රමාණවත් පැය ගණනක් "නිදාගත්තත්" , නින්දෙන් අවදිවන විය ලැබිය යුතු ප්රබෝධමත් බව නැතිවීම
2) නින්දෙන් වැඩි වාර ගණනක් අවදිවීම
- නිදාගන්නා කාළය තුල වැඩි වාර ගණනක් නින්දෙන් අවදිවීම සිදුවිම
3) ගැඹුරු නින්දට වඩා නිදි-අවදි තත්ත්වයක සිටීම
- නින්ද තුල ලැබිය යුතු "ගැඹූරු නින්ද"ට වඩා, නිදි-අවදි ස්වභාවියේ තත්ත්වයක වැඩි වෙලාවක් ගත වීම
4) නින්දට ඇතුළු වීමට වැඩි කාලයක් ගත වීම
- ඇඳට ගියත්, නින්දට ඇතුළු වීමට වැඩි වෙලාවක් ගත වීම
5) අවදි වූ පසුත් දවස පුරා වෙහෙස දැනීම
- කොයිතරම් වෙලාවක් "නිදාගත්තද" , අවදි වූ පසු දවසපුරා වෙහෙසකර බවක් දැනීම
6) Restless legs නිසා නින්දට බාධා වීම
- නින්දේදී සිදුවන Restless legs (පාළනයකින් තොරව , වරින්වර පාදය ගැස්සීමට ලක්වීම ) නිසා නින්දට පත්වීම මෙන්ම, නින්දේ රැදී සිටීමට අපහසුවීම
මෙම ලක්ෂණ නොසලකා හරින්න එපා
මේ ලියාගෙන ගියේ, ෆයිබ්රො තත්ත්වයේදී ඇතිවන සුව නැති නින්දේ ලක්ෂණ කිහිපයක්. මේ වගේ නිදි ලක්ෂණ එක්ක, කාළීනව පවත්නා වේදනාව වැනි ලක්ෂණ කෙනෙක්ට ඇත්නම් එම තත්ත්වය විවිධ හේතු හිතමින් නොසලකා නොහැර , සුදුසුකම්ලත් වෛද්යවරයෙක්ගේ උපදෙස් සහ ප්රතිකාර ලබා ගැනීම හරිම වැදගත්. මේ ලක්ෂණ තිබූ පමණින්ම එය Fibromyalgia යැයි ස්ථීරව තහවුරු නොකළ හැකි වුවත්, මෙම තත්ත්වය ගැනද දැනුවත්ව ප්රතිකාර වෙත යොමු වීම ඔබට වාසියක් සහ සුවයක් එක් කරාවි.
තවත් ලිපියකින් නැවත හමුවෙමු.