අනේ...මට ජීවිතය දෙන්නකෝ .....
|
මම වෙනද වගේම මුලින්ම කළේ කාමරයෙන් කාමරයට ගිහින් අපේ රෝගීන් එක්ක ටිකක් කතා කරන එක . මුලින්ම A room එක පුංචි කොළු පැටියෙක් අවුරුදු දෙකහමාරයි , කකුළෙ තුවාලයකට M.R.S.A. ගිහින් (මේ අති භයානක තත්ත්වය ගැන දැන ගන්න මෙතැනනින් ) පැටිය උදේ පාන්දරම නැගිටල නාන්න ලේස්තිය .“හලෝ චන්ඩි පැටියා ...දොයිය ගත්තනේ හොඳට .....“ පුංචි එකා හිනාවෙලා මා දිහා අහිංසක , සුන්දර හිනාවක් දැම්ම ..
ඊළඟට B , වයසක අම්ම කෙනෙක් වැටිල කකුළ බිඳිලා ..අවාසනාව කියන්නේ ඒ වයසක මනුස්සයටත් අර M.R.S.A පහරක් දීලා ...“මහත්තයා දැන් නම් අපිට හොඳට නින්ද යනවා ..රෑට පිරිත් දාල තියෙනවානේ ....“ කාමරේට එබෙන කොටම අම්ම කියනවා ...අපි පහුගිය දවසක සියළුම කාමර වලට බොහොම දුප්පත් විදියට ශබ්ද විකාශන පද්ධතියක් හයි කළා (අර ගල් ගුහාවේ යක්ෂයා ගැන ලියූ දවසේ මේ බලන්නකෝ) .අපේම නිර්මාණයක් රුපියල් දෙදාහකින් විතර ඔක්කොම වැඩ ටික කරගත්තා ...අපේම වැඩක්නේ ...හිතට හරිම සතුටුයි එයින් කෙනෙක් සතුට ලබනවා අහන එකත්.
ඊළඟට C කාමරේ . කාමරේට දොර ඇරියත් ඒ රෝගියා නිකමටවත් බැළුවෙ නැහැ . ඇඳේ වැතිරිලා , තවම........ පොඩි වෙනසක් දැනුනා මට. ‘රසික , මොකද තාම ඇඳේ ...නින්ද ගියේ නැත්ද , ? ....“ නිකමට වගේ ඇහැව්ව ..
“ ආ නිශාන්ත මහත්තයා ....අනේ මන්ද මට දැන් එපා වෙලා තියෙන්නේ මහත්තයා .මේ අදට දවස් පනස් එකක්, මම මේ ඇඳේ , තාමත් මේ තුවාලේ හොඳක් නැහැ , ගෙදර අයටත් කරගන්න අමාරුයි වගේ , ඇයි මහත්තයෝ ගමනටම රුපියල් තුන් සීයක් එපායැ ...“ රසික ගේ හිත හොඳටම දුකෙන් වගේ ,
“ඇත්ත තමයි රසික , ඒත් ඔයාගේ මේ තුවාලේ ඉන්න විෂබීජේ මරා ගන්න හරිම අමාරුයිනේ , ඔයා දන්නවනේ ලෙඩේ අමාරුකම ගැන ..“ ,
| මේ...කඳුළු බිංදුව මගේ නොවෙයි (ද?) |
අවුරුදු තිස්තුනක තරුණයෙක් මේ විඳියට හඩන්නට හේතුවක් තියෙන්නම ඕනනේ ...“ ...රිය අනතුරකට ලක් වෙලා පාදයේ අස්ථි බිඳිමකට ලක් වුණු ඔහු අපේ ඒකකයට එන්නේ වෙනත් විශේෂිත ඒකකයකින් , මෙම ඒකකයට එවන්න හේතු වුනේ එම තුවාලය තුල M.R.S.A කියන භයානක විෂබීජය තිබීම ..අදට දවස් පහස් එකක් . අපේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය , එම වගකීම දරන අනෙක් වෛද්‍ය නිලධාරින් , ඒකකයේ සියළුම හෙද නිලධාරින් විතරක් නොවෙයි , අපේ කණිෂ්ඨ සේවක මහත්ම මහත්මීන් පවා මේ දවස් පනස් එක පුරාවට මේ විෂබීජය විනාශ කරල රසිකව බේරා දෙන්න නොගත් උත්සාහයක් නැහැ. ඒත් තවමත් යම් තරමක ගැටළුවක් ඉතිරිව තියෙනවා .ඉතින් මේ තරුණ , ස්වාමි පුරුෂයාට , පියාට තම පවුලෙන් වෙන්වෙලා ගෙවන මේ ජීවිතය හරිම වේදනාකාරී බවක් තිබෙන්නේ , ප්‍රධානතම දේ මෙහෙම කෙනෙක් රෝහල් ගත වුනාම මුළු පවුලේම ආර්ථිකය , සමාජයම බැඳීම් බිඳ වැටෙනවා . ඊටත් වඩා මොහුට වෙලා තියෙන්නේ ලෝකයේ දරුණුම කෙනෙක් එක්ක Super bug සටනක් . මේ තත්ත්වයත් එක්ක මොහු යම් තරමක මානසික අවපීඩන තත්ත්වයක Depression ඉන්න බව අපට දැන් වැටහෙනවා . අනෙක් කාමරයේ අද කවුරුවත් නැහැ , ඇවිත් වාඩි වුනා අපේ නිරීක්ෂණ කාමරයේ Observation point . මොකද ටිකට් ටික බලලා අද දවසේ වැඩ අඳුනගන්න ඕනනේ ,
කෙසේ වෙතත් අද මට ලියන්නට හිතුන මාතෘකාව Depression , එයට එක් හේතුවක් තමයි අද අපේ සමාජයේ බොහෝ අය මේ තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් හඳුනාගන්නට පුළුවන් විමත් .දන්නවද මේ ළඟදි කළ පර්යේෂණයකින් හදුනාගෙන තිබෙනවා වායු දුෂණය මානසික අවපීඩනයට හේතුවක් බවත් , ඒ නිසාද මන්ද අද අපේ සමාජයේ හරිම බහුල දෙයක් වෙලා මෙයි .
| හිතේ දුකට..තේ වතුරත් ඇල් වෙනවා .. |
අපේ ජීවිතයේ ශක්තිය ටිකෙන් ටික උරා බොන මේ මානසික රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවාදැයි බලමු දැන් , මුලින්ම කියන්න ඕන සමහර ලක්ෂණ කියවත්දි අපොයි මටත් Depression කියල කළබල වෙන්න නම් එපා . මොකද අපේ ජීවිතයේ සමහර අවස්ථා වල විඳින්නට වෙන වේදනාකාරී අත්දැකීම් , දුක්ඛ දෝමනස්සයන් එක්ක යම් තරමක මානසික අවපීඩන තත්ත්වයකට අපි පත් වෙනවා . ඒත් ඒ තත්ත්වය දින කිහිපයකින් සතියකින් විතර අපෙන් ඉවත් වෙලා නැවත යථාතත්ත්වයට එන්නට අපි බොහෝ අයෙකුට පුළුවන්.හැබැයි ඒ දුකින් ඉවත් වන්නට සති කිහිපයකින් හෝ මාසයකින් විතරවත් මේ දුක් මුසු හැඟිම් අපේ හිතෙන් ඉවත් කරන්න බැරිනම් , හිතේ ඇළුනු දුකක් හැම තිස්සෙම රැඳෙනවානම් , ජීවිතයේ සාමාන්‍ය කටයුතු වෙනස් කෙරෙන තරමට එය බලවත් වනවා නම් , පොඩ්ඩක් හිතන්න වෙනවා ඒ තත්ත්වය තමයි අපි සායනික මානසික අවපීඩනය Cinical depression කියල කියන්නේ ,
| මට දැන්නම් එපා ා ා ා ා වෙලා ...... |
අනෙක ඒ තත්ත්වයේදි හිතෙන්නේම හැම දෙයක්ම වැඩක් නැහැ , බැහැ , ඔන්න ඔය වගේ බැරිකම්ම තමයි , අනාගතය හෙට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් , ආසාවක් ඇත්තේම නැහැ ,
| මගේ...............වැරැද්ද ........... |
වෙනද වගේ ක්‍රියාකාරීව වැඩ කටයුතු කරන්නේ නැහැ , හැමතිස්සේම ඇඟ පත රිදෙන , ඇඟ පණ නැති කම් කියමින් දුක් බර අළසයෙක් බවට පත් වෙනවා .
| දුක් කුණාටුවට අහුවුනාදෝ ... |
මේ කම්මැලි චරිත ලක්ෂණයත් එක්කම කෙනෙක් කෑම බීම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් , රෑට හරියට නින්ද යන්නේ නැතිව උදේ පාන්දරම ඇහැ ඇරෙන මේ අය සමහර විට දවල් දවස පුරාම නිදා ගන්න තමයි කැමති ,ඔන්න දැන් තමයි අපි කාගෙත් පොදු වගේ ලක්ෂණය කියනනේ ඒතමයි මෙයාලට ඔළුවෙ කැක්කම් , බඩේ අමාරු ..නානා විධ ලෙඩ කියනවා ,වැඩේ කියන්නේ මොන බෙහෙතකටවත් හොඳ වෙන්නේ නැහැනේ , හැමදාමත් ඒ ලෙඩේ ගැන කියනවා .
| මේ අනතුර ඉක්මණින් හඳුනා ගන්න |
| වැස්සක් වගේ කඳුලු හෙලන්නට.. (එපා) |
Dysthymia මේ තත්ත්වයේදි මුලින් කී තරම්ම රෝග ලක්ෂණ උග්‍ර නොවුනත් සෑහෙන කාළයක් මේ සමහර විට අවුරුදු ගණනක් මේ දුක්මුසු , සෘණාත්මක , වැරදිකාර යයි හැඟෙන චරිතයේ ඔහු ජීවත් වෙනවා , මොවුන් අපිත් එක්ක සමාජයේ වැඩකටයුතු කරමින් ජීවත් වෙනවා , හැබැයි හිනාවක් නැහැ , කඳුළු තමයි එයාගේ මූලිකම රසය .
තව වර්ගයක් තියෙනවා Bipolar depression කියලා , එතැනදි මෙයා කාළෙකට මෙහෙම අඬ අඬා Mood ගහගෙන ඉන්නවා , ටික කළෙකට පස්සේ මෙන්න සතුටේ ඉපිළෙනවා , උඩ පනිනවා , වැඩි වැඩියෙන කතා කරනවා හරිම සක්‍රියයි (Mania) , ඔන්න ටික කාළෙකට පස්සේ ආයෙත් අඩනවා , නිදා ගන්නවා , මැරෙන්න හදනවා ආයෙත් අවපීඩනේ .මේක මේ විදියට පැති මාරු වෙමින් විරින් වර අඩු වැඩි වෙමින් ජීවිතේ ගත කරනවා ,
අනෙක් වර්ගය Seasonal depression මේකත් හරියට අර මෝසම් වැහි වගේ තමයි , හරියටම අවුරුද්දදේ එක කාළෙකට ලෙඩේ හැදෙනවා , ආයෙත් කාළෙකට පස්සේ අඩු වෙනවා . ඔන්න ඔය වගේ වර්ග ගණනාවක් මේ දුකේ තියෙනවා .)
දැන් ආයෙත් මෙහෙම කියන්නම් , මේ එක ලක්ෂණයක් දෙකක් ටික දවසකට තිබුණා කියලා කළබල වෙලා දුවන්න එපා , හැබැයි තමන්ටම හැගෙනවනම් මේ කණගාටුව මුසු හැඟීම අසාමාන්‍යයි, විඳින කාළ සීමාවත් හුඟක් වැඩියි , ජීවිතේ කටයුතු වලට බාධාවක්, එහෙම නැත්නම් පාලනය කරන්න බැරි විදියේ දුකක් හිතට එනවා වගේ , වඩාත් හොඳ දේ තමයි නිසි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන එක ,
| ඔබේ අත දෙන්න ..මගේ හිත නැගිටවන්නට |
| මට කවුරුවත් නැහැ ආදරේ .... |
ඊට අමතරව මේ රෝගීන්ගේ මොලේ ඇතුලේ තියෙන ස්නායු සම්ප්‍රේශක Neurotransmitter වල යම් යම් අක්‍රමික තත්ත්ව පවතින බවත් පර්යේෂකයින් සොයාගත්තා , ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා , මේ බොහොමයක් මානසික රෝග වලට හේතු ගණනාවක් බලපාන්න පුළුවන් , ඒ ඔක්කොම එකතු කරලා කියනවා Bio-psycho-social model of causation (ජීව-මානසික-සමාජීය හේතුකාරකයන් ) නමින්.
ඒ වගේම ඔබේ පෞරුෂයත් මේ තත්ත්වයට රැකුල් දෙන්නක් විය හැකිය , ඔබ හැම තිස්සේම තවකෙනෙක් මත තදින්ම යැපෙන , එල්ඹගෙන ඉන්න පුද්ගලයෙක් නම් , ඒවගේම හැමැදේම වැරදියට දකින සර්ව අශුභවාදී චරිතයක් නම් , හැමදේම බැරි බැරි යැයි හැගෙන ඉක්මණින් කළකිරෙන පුද්ගලයෙක් නම් ටිකක් පරිස්සමින් දැනුවත්ව කටයුතු කරන්න , ඒ වගේම ඔබට හුඟාක් දුක හිතෙනවනම් , ඔබ ගැන කිසිම සැලකිල්ලක් හිතෙන්නේ නැත්නම් තවත් පරිස්සම් වෙන්න , ඒවගේම අපි එකට Set එකේ ඉඳලා යළුවෝ මාව කොන්කරනවා වගේ දැනෙනවනම් , ඒ ගැන දුකෙන් නම් , ඔයාට තිබුණු පිළිගැනීම , ලොකු කම නැති වුනා වගේ දැනෙනවානම් මේ පෞරුෂ ලක්ෂණ වෙනස් කරගන්න පුළුවන්ද බලන්න . මොකද නැත්නම් අනතුරක් විය හැකියි .
| මගේ සතුට....කෝ..... |
ඒ වගේම ආර්තවාභාවය menopause ආශ්‍රිත කාළ සීමාවෙදිත් , පිළිකා හෘදයාබාධ වගේ අවස්ථාවලදීත් මෙම තත්ත්වය මතුවෙන්න පුළුවන් , ඒවගේම අතිශ්‍යය වේදනාකාරී සහ දිගු කාළීනව ප්‍රතිකාර ගන්නට වෙන අවස්ථාවලදීත් , ඒ වගේම දැඩි සත්කාර ඒකක වගේ ඒකක වල කාළයක් ප්‍රතිකාර ගන්න රෝගීන්ටත් මේ depression තත්ත්වය තාවකාළිකව හරි ඇති වන බව හඳුනාගන්න පුළුවන් .
සමහර ඖෂධ දිගු කාළයක් ගන්ත්දිත් මේ තත්ත්වය මතු වෙනවා , හොද උදාහරණය තමයි අපස්මාර ත්ත්වයට ගන්නා ඖෂධ වර්ග කිහිපයකට මේ බලපෑම ඇති කරන්නට පුළුවන් , ඒ විතරක් නොවෙයි Prednisolon , උපත් පාලන පෙති වර්ග , වගේම අධිරුධිර පීඩනයට ගන්නා ඖෂධ , නිදි පෙති නිසාත් මේ තත්ත්වය මතුවෙන්න පුළුවන් , ඔන්න දැන් ඉතින් බෙහෙත් ඔක්කොම විසි කරළා ඇඳට දුවන්න එපා , ඒ සඳහා තමයි වෛද්‍යවරු ඉන්නේ , ඔය වගේ ඖෂධ ගනිත්දි ඔබට අපි මුලින් කීවා වගේ වෙනසක් දැනෙනවානම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට දන්වන්න , එවිට ඔහු ඒ සඳහා වෙනත් ඖෂධයක් ලබාදීම , තාවකාළිකව අඩු කිරීමක් හෝ වෙනත් සහනකාරක ඖෂධයක් ලබා දීමක් සිදු කරාවි . හිතුමනාපෙට තමන්මට ඕන විදියට බෙහෙත් කරන්න යන්න එපා , ඒ සඳහා විශේෂ පුහුණුවක් සහිත සෞඛ්‍ය කණ්ඩායමක් ඔබ වෙනුවෙන්ම ඉන්නා බව මතකයේ ලබා ගන්න .
| මට දුකයි මගේ අම්මේ ..... |
දැන් මොකද කරන්නට ඕන , ඔබට , ඔබේ හිතවතාට මේ වගේ ගැටළුකාරී හෝ සැක සහිත ලක්ෂණ තිබේ නම් ඉක්මණින් ඔබේ පවුලේ වෛද්‍යවරයාට හෝ මානසික රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත වෛදළුවරයෙක්ට පෙන්වන්න , ඔහු එවිට සාකච්ඡා කරමින් , චර්යාවන් අධ්‍යයනය කරමින් සමහර විට රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරමින් රෝග විනිශ්චයකට ඒවි , හොඳට මතක තියා ගන්න මේ රෝග වලදී පවුලේ අයගෙන් , ළඟම හිතුවතුන්ගෙන් ලැබෙන සත්‍ය තොරතුරු වලත් ලොකු වැදගත්තමක් වෛද්‍යවරයාට ලැබෙනවා රෝග නිර්ණයේදි , ඒනිසා ඔබත් කතා කරන්න .
ඉන් පසසේ ඔහු ඔබේ රෝගියාට උපදේශනය Counselling , වගේම විවිධ චර්යාත්මක ප්‍රතිකාරත් behavioral therapy නියම කරාවි . ප්‍රති අවපීඩක Anti depressive medicines ඖෂධත් ලබා දෙන්නට අවස්ථාවක් තියෙනවා , සමහර විට විද්‍යුත් කම්පන ප්‍රතිකාරය E.C.T කියන ප්‍රතිකාර ක්‍රමයටත් යොමු කරන්නට පුළුවන් , මේ ප්‍රතිකාර ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා , ඒ සෑම ප්‍රතිකාරයක්ම කෙරෙන්නේ විශේෂ පුහුණු සේඛ්‍ය කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් , අධීක්ෂණයෙන් . ඊට අමතරව ඔබටත් දැන්වත් කිරීමක් කරාවි නිවසේදි රැක බලා ගන්නේ කොහොමද කියලා (මේ ගැන මගේ ලිපියකට මෙතැනින් යන්න පුළුවන්) , හොඳින් මතක තියා ගන්න ඔබේ රෝගියාට එකවරක් ප්‍රතිකාර කළ පමණින්ම සුව වෙන්නට තිබෙන අවස්ථාව අඩුයි , ඔබේ උදව්ව ඕනෑ , වෛද්‍ය උපදෙස් මත වරින් වර ඔහුගේ තත්ත්වය අගැයුම් කරන්නට සායනයට එක්ක යන්න වේවි , අනේ කරදයක් කියල අතැරල දාන්න එපා , ඒ වටින ජීවිතයක් , ඔබේ ආදරේ බැඳිම වෙනදාට වඩා දැන් ඕන නේ .
| පෙතී ...ඇතී ....කියන්න නම් එපා .... |
රෝගියාට පාචිච්චි කිරීම සඳහා විවිධ ඖෂධ කාණ්ඩවල බෙහෙත් වර්ග තිබෙනවා , රෝග තත්ත්වයේ ස්වභාවය , වයස වගේ තවත් කරුණු ගණනාවක් ගැන සලකා බලලා , වෛදවරයා යම් ඖෂධ කිහිපයක් නියම කරාවි , හොඳට මතක තියාගන්න මේ බොහොමයක් ඖෂධ වලට නිදිබර ගතියක් , හිසේ තරමක බර ගතියක් කථා කරත්දි දිව බරයි වගේ දැනීමක් ඇති වෙන්න පුළුවන් තොළකට වේළිලා වගේ දැනේවි , මළපහ පිටකිරීමේදි මලබද්ධය constipation වගේ ඇති වන්නටත් පුළුවන් , ඒකට හේතුව ඖෂධය මොළයේ යම් බලපෑමක් කරනවා කියන එකයි , ඒ ගැන කළබල වෙන්න එපා ,වැඩිපුර වතුර , දියර වර්ග බොන්න (අර සැර මෝඩ බීම නොවෙයි ) , හැබැයි මේ බෙහෙත් කාළයක් තිස්සේ ගන්නකොට ඇඟ සුදුමැළි වෙනවා වගේ දැනෙනවා නම් , වෙනදට වඩා මහන්සි බවක් පෙනෙනවානම් ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න , සමහර ඖෂධ වලට පුළුවන් ලේ නිශ්පාදනය තාවකාළිකව අඩු කරන්නත් , ඒක වෙන්න පුළුවන් අර වගේ ලක්ෂණ ඇති කරන්නේ , ඒ වගේම ඖෂධ ගනිත්දි වෛද්‍යවරයාගෙන් අහන්න ඕනම දෙයක් තියෙනවා , ඒතමයි අපත්‍ය ආහාර මොනවාද කියල , සෙම වැඩි වෙන නිසා නොවෙයි , චීස් , චොකලට් , සමහර මස් වර්ග වගේම මධ්‍යසාර භාවිතයත් අනතුරුදායක වෙන්න පුළුවන් ,
බෙහෙත් ගැන අනෙක් වැදගත්ම දේ , මේ බෙහෙත් දවසක් දෙකක් ගත්තා කියලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ , සමහර විට ඕවගේ දැනෙන්න පුළුවන් , එත් වෛද්‍ය උපදෙස් වලට අනුව නියමිත කාළයම බොහෝ විට සති හයක් විතර අඛණ්ඩව නිසි අයුරින් ගන්නට වේවි , ඒ වගේම බොහෝ අවස්ථාවල එය තව දුරටත් ඉදිරියට නියම කරන්නට ඉඩ තියෙනවා (ඔබේ වෛද්‍යවරයා විසින් ) හොඳින් මතක තියා ගන්න නිසි වෛද්‍ය උපදෙස් මතම ඖෂධ ලබා දෙන්නට , වරින් වර ඖෂධ ප්‍රමාණයන් , මාත්‍රාවන් වෙනස් කරන්නට ඉඩ තිබෙන නිසා “පරණ චිට් එකට“ හැමදාම බෙහෙත් අරන් බොන්න හෝ දෙන්න එපා . විශේෂයෙන්ම කිවයුත්තක් තියෙනවා , depression පාලනය හෝ සුව නොකර ගත්තොත් අනාගතයේදී හෘදයාබාධ , දියවැඩියාව වගේ තවත් අතුරු රෝග තත්ත්ව ඇති වෙලා වැඩේ තවත් කරදර වෙන්නටත් පුළුවන් .
ලිපිය දිග වැඩිවුනාද මන්ද , අපොයි මේ කෝච්චියට අහුවුනා වගේ කියල දැන් ඔබට හිතේවි . ඒ එක්කම මතක තියා ගන්න , මේ රෝගීන්ට නිසි රැකවරණය ,ආදරය සහ ප්‍රතිකාරය නොලැබුණොත් කෝච්චියට පනින්ත් පුළුවන් , එතකන් ඉන්න එපා ආදරෙන් රැක බලා ගන්න මිනිස්කමට ආදරය කරමින්.
| සතුට ...එළිය ... |
මේ තත්ත්වයආශ්‍රිතව ඇතිවිය හැකි අවාසනාවන්ත තත්ත්වයක් ගැන තවත් ලස්සන කතා කිහිපයක් “දුකා“ගේ බ්ලොග් සටහනින් ඔබට කියවන්නට පුළුවන් , (මෙතැනින් ඇතුළුවන්න) , ඒ වගේම “අනිත් කොණ “ සටහනට ගිහින් තවත් දේ දැන ගන්න. මෙන්න දැං දැක්කා Gold fish ගේ මාළු ටැංකියෙත් මේ ගැන “කතාවක් “ තිබුණා
******* මේ ලිපිය ලියන්නට ගත්තතේ ඊයේ හවස , ඒත් ටිකක් කලබලකාරී වුන නිසා , ඒනිසාම මෙය සම්පුර්ණයෙන් සකසන්නට පෙර මගේ අතින් වරින් වර වැරදිමකින් publish වුනා , ආයෙත් ඒ post එක delete කරන්නට වුනා . ඒ නිසා සමහර විට ඔබ අපහසුතාවයකට පත්වුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා , එය මගේ අතපසුවීමක් ...හේතුව තමයි මම සේවය කළ වෘත්තීය පුහුණු ආයතනයේ මගේ සිසු සිසුවියන් , අපිට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරල තිබුණා , ඒක දැනගත්ත වෙලාවේ සිටම හිතේ පිරිළ තිබුණ ආදරණිය සතුටට ටිකක් අවිවේකී වුනා වගේ දැනුනා .
රසම රස කෑම වේලක් , පුංචි පැටික්කියන්ගේ අතින් උයපු රතු හාලේ බතකට , රසට රස පොල් සම්බල් , වම්බටු මෝජු , ඇඹරැල්ලා වැංජන , අළුත්ම අළුත් පළා මැල්ලුමක් (ඒ පැටවු ගොඩාක් එළවළු පළ වර්ග වවනවා ) , පරිප්පු , මාළු මිශ්‍ර කරපු මාළු මිරිස් වැංජනයක් ...සතුටට කියා ගෙන ගියාට දැන් මට ආයෙත් බඩගිනනක් එනවා , මොකද දැන් වෙලාව උදේ නමයහමාරයි , මේ වැඩේ අවසානයක් කරලම පාතරසය වළදන්න ඕන , මේ අතරේ අපේ දිනිති අක්ක , මිතිලි නංගිට කෑම කවනව , හරි ආසාවෙන් ඒ කතා අහගෙන තමයි මේ වැඩේ දැන් අවසන් කරන්නේ .