| අද මොකද නැත්තේ ................????? |
අපේ සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ඊයේ දවසේ මේ පැත්තට ආවත් අළුත් සටහනක් තිබුණෙ නැහැ නේද ? සමහර විට ටිකක් අමනාපෙන් ආයෙත් හැරිල යන්නත් ඇති , සමාවෙන්න ඕන , මොකද ඊයේ සහ අද දවස වෙනදට වඩා කාර්ය බහුල දවසක් වුනා . ඉතින් අද උදේ පාන්දරම කොළඹ ගියා , දැන් දැන් ටිකකට ඉස්සර වෙලා තමයි ගෙට ගොඩවුනේ , හරිම අමාරුයි ඇඟට , දන්නවනේ ඉතිං පොඩි යුද්දයක් වගේ තමයි පැටවු දෙන්නයි බිරින්දෑයි එක්ක පැය දොළහක් විතර එහෙ මෙහේ ඇවිදින එකත් , ඊටත් වඩා අද යන්න හොඳ බස් එකක් හම්බ වුනේ නැහැ , සෙනග වැඩියිනේ , ඉතිං මාත් ජම්පිං ෂීට් එකේ වාඩි වෙලා “පිං පිං ජම්පිං “ කිය කියා කොහොම හරි ගියා කියමුකෝ ,
පිටකොටුවෙන් බහින කොට කොන්ද නැහැ වගේ , හරිම වේදනවයි , මොකද මට අර ජම්පිං ෂීට් එකේ ඉන්න වුනේ හිටගෙන හිටපු තව තුන් හතර දෙනෙක්ගෙත් බර අරගෙන නේ , ඉතින් හරිම සනීපයි , සුඛෝපභොගී බස්නේ , මොනව කරන්නද ?
පිටකොටුවෙන් බහින කොට කොන්ද නැහැ වගේ , හරිම වේදනවයි , මොකද මට අර ජම්පිං ෂීට් එකේ ඉන්න වුනේ හිටගෙන හිටපු තව තුන් හතර දෙනෙක්ගෙත් බර අරගෙන නේ , ඉතින් හරිම සනීපයි , සුඛෝපභොගී බස්නේ , මොනව කරන්නද ?
| පච්ච පැත්තේ කැක්කුම.................. |
කොහොම හරි කොන්දේ වේදනාවත් එක්ක වැඩ ටිකත් ඔක්කොම කරගෙන ගෙදර ආව , ඇවිත් නාල කියල තේ එකක් හෙම බීලා සොඳුරු සුව අසපුවට ඇතුළු වුනාමයි දැක්කේ නිකං පාළුවෙලා ගිහින් වගේ අළුත් ලිපියක් නැතිව , එහෙම නම් අද අපි කතා කරමු මගේ අමාරුව ගැන , ඒ කියන්නේ කොන්දෙ කැක්කුම ගැන backache ගැන , ඔන්න මාතෘකාව දැක්ක ගමන් “අපෝ ඕක ද? “ කියල හිතන අයත් ඉන්න නිසා , පොඩි ඇමක් දාන්නම් “ඔය කොන්දෙ කැක්කුම හැදෙන්න පුළුවන් හරිම අනතුරු දායක පිළිකාවකදීත් , දන්නවද? “ ඔන්න , ඔන්න ඒපාර .....ඉන්න , මම කීව නේ ඒ ඇමක් කියලා , හැබැයි ඒක ඇත්ත , ඒත් අපි ඒ ගැන කතා කරන්නේ ටිකක් එහාට ගිහින් , ඒ නිසා ඔයාට සිද්ද වෙනවා මගේ කතාව මුල ඉඳලම අහගෙන ඉන්න , කැමතියිද ?.................
මේ backaches ගැන කතා කරන්න ඉස්සර වෙලා අපි , ඒ ප්‍රදේශය ගැන වට පිටාව ගැන ටිකක් කතා කරල ඉමුනේද ? මොකද ඒ ගැන ටිකක් හරි දැන ගත්තම අපිට ලෙඩේට හේතුව තේරුම් ගන්න පුළුවන් , ඒ විදියට හරියට දැනුවත් වුනොත් තමයි අපි හරියට පරිස්සම් වෙන්නේ , (ඒකනේ හැමදාමත් යකා නටවන්නේ නේද?)
| කොන්ද හැදෙන හැටි .... |
![]() |
| මෙන්න අන්තර් කශේරුක මඩල කොට්ටය |
ඔන්න දැන් කොන්දට එනවා ,...අපේ ඔළුවේ පතුලේ ඉඳල තමයි මේ කොන්ද හදන කශේරුව (vertebral column) පටන් ගන්නේ , එතැන ඉඳළ එකිනෙක හොඳින් සම්බන්ධ වුනු පුංචි අස්ථිකා (අපි ඒවට කියන්නේ vertebra එහෙම නැත්නම් කශේරුකා කියලා ) එක , එක සම්බන්ධ වෙනවා , හැබැයි මේ ඇට දෙකක් අතරේ හොඳ පුළුන් කොට්ටයකුත් තියෙනවා , මොකද ඇට කියන්නේ ඇත්තටම හුණූගල් වගේනේ , ඉතින් අපේ ඇඟ ඇතුලේ හුණු ගල් හැප්පෙන්න පටන් ගත්තාත් කොහොමද ? ඒත් එහෙම හැප්පෙන්න නොදී තියාගන්න තමයි අර කොට්ට(කාටිලේජ වලින් තැනුනු) තියෙන්නේ , ඒවට කියන්නේ inter vertebral disk කියල , සිංහලෙන් කියන්න පුළුවන් ‘‘අන්තර් කශේරුක මඬළ‘‘ කියලත් , කොහොම හරි මේ විදියට මේ ඇට 24 එකට එක හොඳින් සම්බන්ධ වෙනවා , (මතක තියාගන්න , කොච්චර සම්බන්ධ උනත් එකට හැප්පෙන්න යන්නේ නැහැ ,) ඔය අතරේ අපේ ඇඟේ පණිවිඩ ගෙනියන අර ටෙලිෆොන් වයර් වගේ “ස්නායු “ ඔය කොඳු ඇට අස්සෙන් බොහොම පරිස්සමෙන් රිංගලා ඇඟේ වෙනත් අවයව , ඉන්ද්‍රය වලට යනවා , එයාල තමයි මොළය සහ ඒ අවයව අතර පණිවිඩ ගෙනියන්නේ , ඒකට හොඳ රහස් උමඟකුත් තියෙනවා අර කොඳු ඇට ඇතුලේ , කශේරුවේ ඇතුලේ තියෙන සිදුර තුලින් තමයි අපේ මොළයේ වල්ගය වගේ තියෙන සුෂුම්නාව(spinal cord) ගමන් කරන්නෙත් , ඒ සුෂුම්නාවයි අර පණිවිඩ ගෙනියන ස්නායුයි එකිනෙක සම්බන්ධ වෙලයි තියෙන්නේ , ඔන්න ඔය කශේරුව උදව් කරගෙනයි ඒඅවට තියෙන පේෂි රැඳෙන්නෙත් ,
හපොයි , ජීව විද්‍යාව පාඩමක් කරා වගේ නේද ? ඔළුව කකියනවාද ? කොන්ද කකියනවද මේ ටික අහගෙන ඉඳළා? ....
| කොන්ද .......කකියනවා..... |
දැන් අපි බලමු මේ කොන්දේ කැක්කුම එන්න පුළුවන් අවස්ථා මොනවද කියලා ? හැබැයි මේකත් කියන්නම ඕන , සමහර වෙලාවට කොන්දේ කැක්කුමයි කිව්වට ඇත්තටම කොන්දෙ නොවෙන්න පුළුවන් කැක්කුමේ මූලය තියෙන්නේ , හොඳම උදාහරනය කාන්තාවන්නේ ආර්තවයත් එක්ක ඇති වන “කොන්දෙ කැක්කුම “ එතැනදි ඇත්තටම වෙන්නේ ගර්ෂාෂය ඇතුලේ යම් වෙනස්කමක් , ඒත් ඒක දැනෙන්නේ තද කොන්දෙ කැක්කුමක් විදියට ,විශේෂයෙන්ම ගර්භනීත්වයේදි (pregnancy) ගොඩාක් හේතු නිසා කොන්දේ කැක්කුම එන්න පුළුවන් , ඒ වගේම ගර්භාෂයේ හෝ ඩිම්බ කෝෂ වල (Uterus or Ovaries) ඇති වන ගැටළුත් බොහෝ වෙලාවට පෙන්නන්නේ කොන්දේ කැක්කුමක් , ඒවගේම මුත්‍රාශය ආශ්‍රත රෝග , මුත්‍රා ගල් පැවතීම වගේමත් ඇපෙන්ඩිසියිටිස් appendicitis වගේ රෝග තත්තව වලත් පෙන්වන දේ මේකම වෙන්න පුළුවන් ,
ඊට ටිකක් වෙනස් සාධක බැළුවොත් කොඳු ඇට , vertebra වල තියෙන ශක්තිමත් බව අඩු වෙලා හැකිලීමක් වගේ වුනොත් ඇඟේ බර දරන කොන්දට ඒක ලොකු වේදනාවක් . ඒ කියන්නේ යම් හේතුවක් නිසා කොඳු ඇට වල විශේෂයෙන්ම තුනටිය හරියේ කොඳු ඇට වල ශක්තිමත් බව අඩු වුනොත් එතනදිත් ස්නායු කොන්දෙ කැක්කුමක් එනවා , ඔබට මතක ඇති අපේ ඔස්ටියෝපොරෝසිස් ගැන කතාව , එතැනදි අපි කිව්වමේ ගැන , (මෙතැනින් එතැනට පනින්න පුළුවන් , )
| කොන්දේ කකුළුවෙක් (පිළිකාවක් ) වෙන්නත් පුළුවන් ......... |
ඒ වගේම Multiple myeloma කියන පිළිකා තත්ත්වයේදිත් මේ විදියට කොඳු ඇටවල තද ගතිය නැතිකරනවා , දුර්වල කරනවා , එක්තරා විදියකින් osteoporosis වලදා වගේම , එතකොටත් තුනටිය ප්‍රදේශයේ තද කැක්කුමක් එනවා , ( හැබැයි දැන් ඉතින් පොඩ්ඩක් කොන්ද කකියන්න ගත්ත ගමන් , හපොයි මට පිළිකාවක් කියල බය වෙන්න එපා , නමුත් දැන ගෙන ඉන්න , හැබැයි සැකයක් තියේනම් ඒ කිව්වේ මෙන්න මේ වගේ සාධක වයස 65ට වැඩිනම් , පවුලේ කෙනෙකුට පිළිකා ආශ්‍රිත තත්ත්වයක් තිබුණා නම් , විකිරණ හෝ පෙටෝලියම් ආශ්‍රිත රැකියාවක නියුතුව සිටියානම් , ළඟදි වරින් වර හේතුවක් නැතුව වගේ උණ ගැණුනනම් , බලාගෙන ඉත්දි වගේ කෙට්ටු වෙලා නම් , මේ කොන්දේ කැක්කුම මාස ගණනක් තියාගෙන ඉන්නේ නැතිව දොස්තර මහත්තයට පෙන්න ගන්න , එතකොට බොහොම සරළ මුත්‍රා පරීක්ෂණයක් (urine for B.J Protein) සහ රුධිර පරීක්ෂණයක් serum electrophoresis කරල , ඔබට නිවැරදි තත්ත්වය පහදා දේවි , හැබැයි මතක තියා ගන්න වයස් ගත වීමත් එක්ක බොහො දෙනෙකුට අස්ථි ඝණත්වය අඩුවීම , අර කාටිලේජ දුර්වල වීම වගේ හේතු එක්ක සාමාන්‍ය කොන්දෙ කැක්කුමක් හැදෙනවා) .
| එළියට පැනපු කොට්ටයක් ? |
දැන් අනෙක් සාධකය , ඒතමයි කශේරුව එක්ක යන ස්නායු , අපි අර කිව්ව ටෙලිෆෝන් වයර් , අන්න ඒව තද වෙලා ඒවයේ ගමනට බාධා වුනාම ඇති වන කොන්දේ කැක්කුම , දන්නවනේ මේ දවස් වල වැස්සත් එක්ක හැමදාමත් ටෙලිෆෝන් වයර් උඩට පොල් අතු , ගස් වැටිලා , ඉතින් ගෙදර කට්ටියට කොල් එකක් ගන්න බැරිව දඟලනවා , ( හොඳ වෙලාවට අපේ ඔක්කොම ජංගම ඒවනේ ) අන්න ඒවගේ තමයි අර ස්නායු මතටත් මොනව හරි කඩා වැටිල , තද වුනොත් හරියට දැනේනේ තද වේදනාවක් , ඉතින් ඔය විදියට කඩා වටෙන්න ගස් තියෙනවායැ අපේ ඇඟ ඇතුලේ නේද , එත් මේ කශේරුක ස්නායු spinal nerve මතට කඩා වැටෙන කෙනෙක් තමයි අර අන්තර් කශේරුක මඬල් , අපේ වැරදි ඉරියව් , බර එසවීමේ වැරදි ක්‍රම , සහ වැරදි ව්‍යායාම (මේ ගැන ඉදිරි ලිපියකදි විස්තරාත්මකව කතා කරන්න හිතාගෙන ඉන්නේ ) හේතුවෙන් තමයි මෙ විදියට Inter vertebral disk herniation තෙරපීමක් වෙන්නේ ,
මේකේ භයානක කම මේකයි , ඔය විදියට disk එකෙන් තෙරපෙන ස්නායුව තව දුරටත් තෙරපිලා ඇතිවෙන්නේ කැක්කුම විතරක් නොවෙයි , හිරි වැටීමක් හෝ අදාල අවයවය වැඩ නොකර යන්නත් ඉඩ තියෙනවා , ඒ විදියට වැඩ කරන්නේ නැතිව ගියොත් මොකද වෙන්නේ ? මෙච්චරයි වෙන්නේ අර ස්නායුවෙන් පණිවිඩ අරගෙන පාලනය වෙච්ච මුත්‍රාශය හරි මුත්‍රා මාර්ගයේ කොටස් හරි නිවැරදිව වැඩ කරන්නේ නැතිව යනවා , එතකොට තමයි පාළනයකින් තොරව මුත්‍රා පිටවීමක් වෙන්නේ urine incontinence , හැබැයි මෙහෙම හිතමු , හෘදයට හරි පෙනහළු වලට හරි පණිවිඩ ගෙනියන ස්නායුවක් මේ හේතුව නිසා අඩපණ වුනා කියලා , මොකද වෙන්නේ , මැරෙන්නයි වෙන්නේ , ඔය විදියටම disk herniation නිසා කකුල් පණ නැතිව යන්නත් ඉඩක් තියෙනවා , ඔය කොන්දේ කැක්කුමත් එක්කම කකුල හිරවෙනව වගේ වේදනාවක් එන්නේ sciatica කියන තත්ත්වයේදි , එතැනදි වෙන්නේ කකුලට යන ස්නායුව අර කිව් විදියට හිර වෙන එක , ඒ නිසා ඔය බර උස්සන කොට , වගේම අපේ ඉරියව් නිවැරදිව තියාගන්න උත්සාහ ගන්න ,
ඊට අමතරව ආතරයිටිස් තත්ත්වය වගේම උපතේ සිටම කශේරැවේ පවතින යම් යම් ආබාධ හැඩයේ වෙනස්කම් නිසාත් මේ කොන්දේ කැක්කුම ඇති වෙන්න පුළුවන් , ඒවගේම පොඩි තැලීමක් , පේෂි ඉරීමක් වගේ දේකිනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් , ඒවගේම අස්ථිවල ඇතිවන Osteomylitis කියන තරමක් කරදරකාරී ආසාදනය නිසාත් මේ වගේ කැක්කුමක් එන්න පුළුවන් , කොහොම වුනත් මේ කැක්කුම තදින්ම තියෙන්නේ දින කිහිපයක් විතරයි , හැබැයි මාස තුනකට වැඩිය මේ කැක්කුම තිබුණොත් අපි ඒකට කියනවා chronic backache එකක් කියලා ,
දැන් නම් මේක ටයිප් කරලා තිබුණු කොන්දේ කැක්කුම තව ටිකක් වැඩියි වගේ , කමක් නෑ පොඩි රෙස්ට් එකක් අරගෙන ඇවිත් ඉතිරි ටික ලියන්නම් ,
![]() |
| rest එකක් ගන්න ... |
දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ ? මොකක්ද , “අපිට මේ තියෙන කොන්දෙ කැක්කුං වල හිටියට ඔය කියන විදියට හැමදාම hospital එකේනෙ ඉන්න වෙන්නේ “ කියලා , මෙහෙමයි , ඔය කොන්දේ , තුනටියේ කැක්කුමක් හැඳුන ගමන්ම දුවන්න එපා (කොහොමත් දුවන්න නම් එපා) ඉස්පිරිතාලෙට,
වෙන ගැටළුවක් ඒ කිව්වේ හිරි වැටීමක් ,කකුළෙ පණ නැතිවීමක් , කටු අනිනවා වගේ සංවේදනයක් , එහෙම නැත්නම් තෙරෙන්නෙ නැතිවම මුත්‍රා පිටවෙන්න වගේ වුනොත් නම් වැඩිය කළබල නැතිව පරිස්සමින් ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙන්න , හැබැයි රිය අනතුරකට ලක් වෙලා හරි උඩකින් වැටිල හරි කොන්දේ කැක්කුමක් , හිරි වැටීමක් වගේ තියෙනවනම් කිසි වෙලාවක ඇවිද ගෙන යන්න , කළබල කරන්න එපා , මොකද මේ වෙලාවේ කොඳු ඇට බිඳිල තිබුණොත් ලොකු අනතුරකට සමහර විට කළබල වීම නිසා මරණයට වුනත් පත්වෙන්න පුළුවන් , ඒ වෙලාවට උදව්වට ඉන්න අය කරන්න ඕන , ලෑල්ලක් හරි ශක්තිමත් තහඩුවක් හරි මතට මේ රෝගියා පරිස්සමින් “කිහිපදෙනෙක් එකතු වෙලා කොටයක් වගේ මුළු ඇඟම එක පාරට හරවල අරගෙන “ (මෙතනින් බලා ගන්න ඒ කොටයක් වගේ හරවන හැටි ) වැඩිය කළබල කරන්නෙ වට්ටන්නේ නැතිව රෝහලකට ගේන ඒකයි ,
| හරියට නිදා ගන්න .. |
හැබැයි අපිට හුඟක් වෙලාවට ඇති වන්නේ මේ වගේම අනතුරුදායක තත්ත්ව නොවෙයි , ඔය සාමාන්‍ය කොන්දේ කැක්කුමට කරන්න තියෙන්නේ ටිකක් විවේක ගන්න එකයි , වඩාත් හොඳයි ඇඳක හාන්සි වෙලා පැය දෙක තුනක් ඉන්න පුළුවන්නම් ,ඒ ඇඳේ මේට්ටේ හුඟාක්ම මෘදුනම් , නැත්නම් ගිලා බැහැල වගේ නම් ඒ ඇඳේ නිදාගන්නවට වඩා හොඳයි ටිකක් ඝණ ඇතිරිල්ලක් හරි රෙදි ටිකක් හරි බිමට දාල බිම නිදා ගන්න එක , ඒවෙලාවට කකුළෙ දණහිසට යටින් පුංචි කොට්ටයක් තියාගන්න , ටිකක් වේනාව අඩු වෙනවා , Paracetamol වැනි සරළ වේදනානාශකයක් වයසට අනුකූලව ගන්න(ඒ ගැන කතාව දන්නවනේ ) , ඒවගේම වේදනානාශක බාම් ටිකක් මෘදුව ආලේප කරා කමක් නැහැ , හැබැයි කොන්ද උඩ නැගගෙන කොන්දට උරන්නම කියල බාම් දාල තලන්න එපා , අමාරුව තවත් වැඩි වෙයි ,
මේ පරීක්ෂණ වලින් රෝගය හඳුනාගත්තට පස්සේ ඔබට වේදනානාශක වර්ග ගණනාවක් ලබා දේවි , විවිධ මට්ටම් වල වේදනානාශක , එයින් සමහර ඖෂධ නිසා ඔබට Gastritis තත්ත්වය ඇති වන්නට හෝ උග්‍රවන්නට පුළුවන් , ඒ නිසා මේ ගැනත් ඔබේ වෛද්‍යවරයාට දන්වන්න , ඒවගේම සමහර ප්‍රබල වේදනානාශක (Opioid ගණයේ) නිසා ඔබේ මළ පහ රටාව වෙනස් වෙලා මළබද්ධය constipation වගේ ඇති වන්න පුළුවන් , ඒ නිසා බොන්න , වැඩි පුර වතුර බොන්න , හොඳට එළවල එක්ක බතුත් කන්න , ටිකක් විවේක ගන්න ,
මේ ඖෂධ ප්‍රතිකාර වලට අමතරව සමහරවිට ඔබට භෞත චිකිත්සක ප්‍රතිකාර Physiotherapy සඳහාත් පසුව යොමු කරන්නට පුළුවන් , එහිදි යම් ව්‍යායාම , කිරණ මඟින් උණූසුම් තැවීම් සිදු කිරීම වගේ දේවල් විශේෂ පුහුණු කණ්ඩායමක් විසින් සිදු කරාවි , සමහර විට කොන්දට සහය දෙන විශේෂිත පලදනාවක් පැළඳගෙනම ඉන්න වෙන්නත් පුළුවන් , තත්ත්වය වඩාත් උග්‍ර නම් ශල්‍යකර්ම සඳහාත් යොමු කරන්නට ඉඩ තියෙනවා ,
| බඩේ බර ....කොන්දේ කැක්කුම |
පේනවනේද කොන්දෙ කැක්කුම කියන්නේ නිකං පොඩි කැක්කුමක් විතරක් නෙවෙයි කියලා , හොදම දේ තමයි මේ ගැටළුව ඇති කරන සාධක වලින් (වැරදි විදියට බර එසවීම , වැරදි විදියට ව්‍යායාම කිරීම , දේහ බර වැඩිවීම ) වගේ සාධක වලින් මිදෙන එක , ඒත් ඉතින් වයසට ගියාම ඇතිවන කැක්කුම වගේම කාන්තාවක් නම් මාසිකව ඇති වන කොන්දෙ කැක්කුමත් වගේ තත්ත්ව වලින් සම්පුර්ණයෙන්ම මිදෙන්න අමාරුවේවි , එතකොට බෙහෙත් ටිකක් ගන්න , ඒත් මට ආපු ජම්පිං ෂීට් කොන්දෙ කැක්කුමට නම් .....?????????????
දැන් උදේ එකයි , හොඳ වැස්සකුත් වැටෙනවා , සැපට නිදා ගන්න ඕන ...සැප ..?....කොන්දෙ කැක්කුම ...!!! ... නිදා ගත්තම අඩුවේවි නේද ?

