| වැස්සට පස්සේ .... |
අජිත් කියන්නේ අපේ පවුලේ වගේම හරිම හිතවත් මහත්මයෙක් , ඔහු ස්වයං රැකියාවක් විදියට කරන්නේ කුළී ගමන් සඳහා ත්‍රිරෝද රථ පහසුකම් ලබා දීම , “ත්‍රීවීල්කාරය“ කියන පොදු ව්‍යවහාරික පදයෙන් බැහැරව ගිහින් හිතේ සැකයක් නැතිව “ත්‍රීවිල් මහත්තයෙක් “ කියල කතා කරන්න පුළුවන් චරිතයක් ඔහු .
හරිටම හයයි විසි පහවෙන කොට අජිත් අපේ ගේ ගාව , පොඩි දෙන්නත් හරිම කැමැත්තෙන් යන්න සූදානම , (මොකද වැස්සනේ , එදාට වෙනදට වැඩිය කැමැත්තෙන් පාසල් යනවා , දන්නවනේ හේතුව ) “කොහොම අජිත් ?..දවසම වහීවි වගේ නේද ? “ මම පොඩ්ඩො දෙන්නා ත්‍රීවීල් එක්ට ඇතුළු කරන ගමන් ඇහැවුවා , “ ඒකනේ නිශාන්ත මහත්තය , උදේ ඉඳළම ,..අද අනිත් ළමයි දෙන්නා යන්නේ නැහැළු , උදේම කොල් කළා , දෙන්නටම බඩේ ආමරුවක්ළු , දන්නැත්ද ඉතින් කොල්ලොනේ ? ....ඒකනෙවි නිශාන්ත මහත්තයත් යමු ඉස්කොලෙ ගාවට , වෙන කවරුත් නැහැනේ “ අජිත් ගෙන හොඳ යෝජනාවක් ආව .
| මට හෙම්බිලිත්තාව ..... |
‘‘ඔව් තාත්තේ , දාගත්තා , “ ලොකූගේ උත්තරේ එන්නත් ඉස්සර “ නෑ මමයි දැම්මේ , මෙයාට අමතක වුනා , ඔන්න මමයි දැම්මේ “ පොඩ්ඩි දවසේ විනෝදබර ගින්න පටන් ගත්තා , “හරි හරි දෙන්නම ලේන්සු දාගත්තනේ , එච්චරයි , නැත්නම් ඉතින් හොටු බේර බේර තමයි ඉන්න වෙන්නේ “ අපේ පැටවු දෙන්නටත් හෙම්බරිස්සාව වගේ .
ඒ යන අතරේ මතක් වුනේ “නාහේ හෙම්බිරිස්සාවේ“ අනෙක් මිත්‍රයා “බඩේ හෙම්බිරිස්සාව“ ගැන ලියන්න ඕන කියල , මම මෙතැන බඩේ හෙම්බිරිස්සාව කිව්වට (ජාත්‍යන්තරවත් Stomach flu කියලත් කියනවා ) ඇත්තටම අපි මේකට කියන්නේ “බඩේ අමාරුව “ එහෙම නැත්නම් “බඩේ රුදාව “ කියල , විද්‍යාත්මකව නම් Gastroenteritis (ඔන්න තව අයිටිස් එකක් , මතකද අයිටිස් ගැන පාඩම)
| මං , පස් වෙනියා |
gastroenteritis හිදී සිදුවන්නේ වයිරස් , බැක්ටීරියා හෝ වෙනත් සාධකයක් නිසා ආහාර ජීර්ණ මාර්ගයේ ඇතුළු බිත්තියේ ඇතිවන ප්‍රදාහයක් , තුවාලවීමක් , ඉදිමීමක් වගේ තත්ත්වයක් . ප්‍රධාන වශයෙන්ම වෛරස මේ සඳහා දායක වන නිසා ඒ ගැන වැඩි වශයෙන් ලිව්වත් , ඊ.කෝලයි වගේ බැක්ටීරියා , ඇමීබාවන් වගේම බඩේ ඉන්න පණු විශේෂත් මේ තත්ත්වයට දායක වෙනවා .
කවුරු මොනව කළත් මෙහිදී සිදු වන්නේ ආහාර ජීරණ මාර්ගයේ , විශෙෂයෙන්ම බඩවැල් වල (intestine ) ඇතුලෙම , ඒක කිව්වේ ඒ බටේ කුහරය ආසන්නයේම තියෙන ස්ථරයට(Bowel mucosa) අර මුලින් කී කාණ්ඩයක් විසින් පහර දීම , එතකොට මොකද වෙන්නේ , අපේ ආහාර දිරවිම සහ උරා ගැනීම කියන වැදගත්ම කාර්යයන් කරන Bowel mucosa එකත් සට්‍රයික් කරනවා , වැඩ නවත්වනවා , එතකොට තමයි බඩේ තියෙන කෑම දිරවන්නේ නැතිව , වතුර ඇඟට උරා ගන්නේ නැතිව , ඔක්කොම ටික නිකං ටැප් එකක් ඇරිය වගේ එළියට යන්නේ , බඩ එළිය යන්නේ , ටිකක් වැදගත් විදියට කිව්වොත් Loose motion වෙන්නේ ,
| බඩවැලේ ලෙඩේ |
අපි දැන් බලමු මේ තත්ත්වයේ මුලික රෝග ලක්ෂණ මොනවාද කියලා , පිළිවෙලකට කිව්වොත් බඩේ රිදුමක් , රිදුමක් කිව්වට බොහෝ වෙලාවට එන්නේ බඩ අඹරනවා වගේ තද කැක්කුමක් (abdominal cramps ) ඒ එක්කම තද හිසේ කැක්කුමක් එන්නත් පුළුවන් , (ඔබට මතක නම් කඩෙන් කාළ බඩේ අමාරුවක් හැදුන දවස , ඔය ඔළුවේ කැක්කුමයි , බඩ මැද එන කැක්කුමයි ඉවසන්න බැරි තරම් , ඒක බැක්ටීරියා මගින් ඇති කරන gastroenteritis එකක වශේෂ ලක්ෂණයක් , මට තාම මතකයි මීට අවුරුදු හයකට ඉස්සරවෙලා කටාර් රටේ සේවය කරන කාළෙදි මගේ සගය ගෙනාව මස් වගයක් කාළ අපේ set එකේ ඔක්කොම බඩවල් අල්ලගෙන දඟලපු හැටි) , ඒ එක්කම, ඉතින් කියන්න ඕන නැහැනේ දියරමය ලෙස මළපහ පිටවීමත් සිදු වෙනවා (Diarrhea) හුඟක් වෙලාවට මේ මළපහ දියමය ගතියක් විතරයි පෙන්වන්නේ , නොදිරවපු ආහාර කැබලි තියෙන්නත් පුළුවන් , හැබැයි මේ මළපහ එක්ක ලේ මිශ්‍රවූ බවක් (රතු හෝ කළු පැහැයට) හෝ සෙවල ගතියක් තිබේනම් මේක බැක්ටීරියාවකින් ඇති කළ ටිකක් අවදානම් තත්ත්වයක් වෙන්නත් පුළුවන් , තත්ත්වය මේකනම් වෙනත් අවස්ථාවලට වඩා ටිකක් වැඩි අවදානයෙන් ඉන්න , මේ එක්කම වමනය සහ ඔක්කාරය වගේ එන්නත් පුළුවන් , සමහර විට ෆැරන්හයිට් අංශක 101ක විතර උණක් ඇති වෙන්නත් පුළුවන් ,
| කැඩිය යුතු දම් වැල |
| අපි දෙන්නා එක්වීලා ........කෑම කාලා ලෙඩ වීලා ... |
| ලස්සන ........බඩේ වයිරස් |
ඉතින් මේ බඩේ අමාරුව ඔය තරම් සීරියස් ද? මෙහෙමයි , මේ වයිරස් මගින් බෝවන බඩේ අමරුව ඒ තරම් දරුණු ප්‍රතිපල දෙන්නේ නැහැ කියන්න පුළුවන් , හැබැයි පොඩි දරුවන්ට සහ වියපත් අයටත් ආහාර පාන ගැනීමේ අපහසුතා තිබෙන අයටත් මේ සුළු බඩේ අමාරුව මාරාන්තික වෙන්නත් පුළුවන් , අනෙක් අයටත් ඒ අවදානම නැතිව නොවෙයි , ඒ තමන්ගේ සජලන තත්ත්වය හොඳින් තබා නොගත්තොත් , ඔය බර වචනෙන් කිව්වේ ඇගේ තියෙන්න ඕන වතුර ප්‍රමාණය අඩුවුනොත් තමයි ඒ අනතුර ඇති වෙන්නේ , බඩේ අමාරුව හරි වමනය හැදුනම හරි පිටවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයකවත් දියර වර්ග පානය කරනවා නම් ඒ තරම් බය වෙන්න එපා , හොඳින් මතක තියා ගන්න ඔබ ගර්භණී මවක් නම් මේ තත්ත්වයේදී ප්‍රමාණවත් තරම් දියර ප්‍රමාණයක් නොගත්තොත් ඔබට වැඩිය අනතුර බඩේ ඉන්න බබාට ,සමහර විට ඒ දරුවගේ වකුගඩු අප්‍රාණික වන්නට Renal failure වන්නටත් ඉඩ තියෙනවා , මේ විදයට බඩ යත්දි පුංචිම දරුවන්ටත් නිසි ලෙස O.R.S.Oral Rehydratio Solution හෙවත් ජීවනී ලබා නොදුන්නොත් ,දරුවට අපස්මාරය වගේ ගැස්මක් ඇතිවෙලා යම් අනතුරක් වෙන්නත් සමහර විට මරණයට පත් වන්නටත් පුළුවන් , ඒ නිසා වයසට අනුව “ජීවනී “ ද්‍රාවණය ලබා දීම හරිම වැදගත් , (දැන් විවිධ රස ජීවණී තියෙන නිසා අමාරුවක් නැතිව පැටියට පොවාගන්න පුළුවන් )
| ඇති තරම් බොන්න ..... |
මේක සුළු දෙයක් කිව්වට මේ තත්ත්ව එක්කම ඔබේ තොල කට වේලිලා ගිහින් නම් , අඬන්න කඳුළු එන්නේ නැත්නම් ඔන්න අනතුරක් අත ළඟ , පැටියෙක්ගේ නම් ඇස් යටට ගිලිලා වගේ වෙන්නත් පුළුවන් , තව ටිකක් වෙලා දියර ජාති අවශය පමණට නොගෙන හිටියොත් මුත්‍රා නිශ්පාදයත් නවතීවි , ඒ කියන්නේ දැන් මගේ වකුගඩු වලටත් වැඩේ වී ගෙනයි එන්නේ , එක්මණට ජීවනී ටිකක් බොන්න , නැත්නම් ඔබේ වකුගඩු අප්‍රාණික වෙලා මහ කරදරයකට පත් වෙන්න පුළුවන් , හැබැයි ඒ ලක්ෂණ එක්ක ඔළුවේ බර ගතියක් ,කරකැවිල්ලක් , ඇවිද ගන්න අමාරු බවක් දැනෙනවනම් ගෙදර අයට කියන්න ඉක්මණට දොස්තර මහත්තය ගාවට එක්ක යන්න කියලා , මේ ඔබේ රැධිර පීඩනය අඩාල වන බවේ පෙර ලකුණු ,
ඔය විදියේ තත්ත්වයකට රෝහලට යන කොට Stool full report එකක් (මළ පරීක්ෂාවක්) කරගෙන ගියොත් වැඩේ පහසුයි , ඒ එක්කම ඔබේ රෝග නිර්ණ කාඩ්පත් හෝ වෙනත් ප්‍රතිකාර සටහන් තිබේ නම් ඒවත් අරගෙගන යන්න , මොකද බඩේ අමාරුව කියන්නේ වෙනත් රෝගයක් පූර්ව ලක්ෂණයක් වන අවස්ථාත් තියෙනවා ,
මේ හැම අවස්ථාවෙම රෝහල් ගත කරන්න ඕන නැහැ ,ජීවනී ද්‍රාවණය කියන ඉටු දෙයියා ඉන්න කම් , ඒ එක්කම වෙනත් දියර වර්ගත් (මධ්‍යසාර නොවන) දෙන්න , ලිස්ට් එකක් වගේ කියන්න ඕන නැහැනේ , මධ්‍යසාර වර්ග , පළතුරු යුෂ, කිරි ආහාර , එළකිරි වගේ දේවළුත් කෝපි , අධික සීනි සානද්‍රණයක් සහිත පළතුරු යුෂ වර්ග , අධිකව තුනපහ මිශ්‍රකළ ආහාර පාන ලබා නොදීම වැදගත් , මක් නිසාද ඒවා මගින් පාචනය තත්ත්වය තවත් උග්‍ර කරන්නට පුළුවන් , (හැබැයි මව් කිරි බොන වයසේ දරුවෙක්ට නම් “මව් කිරි දීම“ අනිවාර්යයි , -මව් කිරි වල තිබෙන සිනි වර්ගයකට අසාත්මික වෙලා ඇති වන lactose Intolerance නම් විශේෂ අවස්ථාව හැර)
| ටික දවසකට ඔයා එපා ...... |
පරිස්සම් වෙන්න බඩේ අමාරුව නිකං අතාරින්න එපා , වැඩේ වැරදුනොත් මොළේ උණ meningitis , පපුවේ මරණිය ආසාදන වගේ තත්ත්ව වලට යන්නත් පුළුවන් , ......ඔන්න අන්තිමට යකා නැටෙව්ව නේද ?
“මහේෂ් තේ එක බොන්න , දැන් නිවිලත් ඇති ...“ අදත් වෙනද වගේම තේ එක අමතක වුනානේ ..හරි දැන් මගේ සජලන තත්ත්වය වෙනුවෙන් හොඳට නිවුනු තේ එකක් බොන්නයි ලැහැස්තිය , ඔයාලත් හොඳට බොන්න (අර සැර ඒවා නෙවී)