2011/07/19

35)හොඳම වැඩේට හොඳම වයස - Perfect age

පොඩ්ඩො දෙන්නා ඉස්කොලෙට දාල , බිරින්දෑත් රෝහලට ඇරලවල ගෙදර ආවා , වෙනද වගේම කුරුළු රංචු අපේ කුරුළු තැටියට ඇවිත් , ඒ අතරේ විශේෂය කෙනෙක් . ටිකක් තද දුඹුරු පාට පොල්කිචි බබෙක් , අම්මයි තාත්තයි මැදට වෙලා හුරතල් වෙනවා , තනියම බත් ඇට කන ගමන් අම්මටයි තාත්තටයි පොඩ්ඩක් වද කරනව වගේ , නැ ඒක වදයක් වගේ පේනනේ නැහැ , 
අම්මයි තාත්තයි පුතයි , දුවයි ...(නෑ නෑ කෑම කවයි )
මෙන්න ඒපාර ඒ දෙන්නම පැටියට ඉත් ඇට කවනව .පුදුම ආදරයක් , තවත් ලිපියක් ලියන්නට හිතාගෙන හිටියත් මේ සුන්දර දසුන ඇසෙන් ඈත් කරන්නට මට හිත දුන්නෙම නැහැ , දරු සෙනෙහේ මොන තරම් සුන්දරද ? අද මිනිසුන් යැයි කියා ගන්න අපි අතරේ සමහරුන් තමන්ගේ කුසේ ඉන්න පැටියා මරණ , එහෙම නැතිනම් ඉපදුනු ගමන් කසල වලට තල්ලු කරන කාළෙක මේ පොල්කිචි අම්මයි,තාත්තයි මොන තරම් “මන-උස්ස“ ද කියල මට හිතුන.  



“අම්මා සඳකි , මම ඒ ලොව හිරුය රිදී ......ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි ....“ ටී.එම්.ජයරත්නයන් ගේ සංවේදී ආදරණීය හඬ , සුන්දර රිද්මයක මුසු වෙලා මගේ දෙසවන රැඳුනේ මේ අතරමයි .ලියා නිම කරන්නට  බැරි , කියා නිම කරන්නට නොහැකි මේ දරු සෙනෙහේ ගැන සිතමින් සිටි මගේ හිතට ඒ ගීය ගෙනාවේ පුදුම සතුටක් ...මේ කතා අතරේ මට අද ලියන්නට හිතුනා මේ දරු පැටවු ගැන .ඒත් ඇත්තටම දරුපැටවු ගැනම නොවෙයි . දරුවෙක් ලබන්න හොඳම වයස ගැන .

රසම යුග දිවියක් ...(දියකර ගන්න එපා) 
මොකද මම දන්න කිහිප දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුඟක් කල්පහු කළා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life එක enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා . අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත්  , සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා  , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල මට නම් සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තමි පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස ..

බඩ පිරිලා ......
ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය සෛල දෙකෙන් (ශුකාණු Sperm සහ Ovum ඩිම්බ)  එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට sperm ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත mature වෙලා නැහැ , ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , (මතකද බබාලා ඉන්න බබාලා ගැන කතාව), මේ සියළු තත්තව වලින් යම් පරිනත  බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා . ඒ නිසා වෙනත් සාධක මඟ හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා 

විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන් ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ , නැත්නම් වෙන්නේ මවත් ,දරුවාත් අනතුරේ වැටීමක් , අනෙක “මවක්“ යන ගෞරවනීය තනතුර ලබන්නට තරම් ඇයට යහපත් මානසික තත්ත්වයක් , දැනුමක් අවශ්‍යයි  එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක් , අනෙක මේ “අළුත් මවට“ , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි , හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ , අපිට මේ වගේ දසුන් හුරුයි , සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම් ,

අපි දෙන්නටම ...බොමුද ?
ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක් ,ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත් , මත , සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි , නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම , කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම . ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි , ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ  , ඔන්න බය වෙන්න එපා , මම කීවේ නැහැ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල , කමක් නැහැ , ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ , ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න , දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙනවා , 

අපි පරක්කු නොකරමුද ?.....
විශේෂයෙන් වයස අවුරුදු 30න් පස්සේ ඒ හැකියාව වේගයෙන් අඩුවෙනවා , ඒ නිසා ඔබේ වයස තිස් ගණනක් නම් , බිරිදක් නම් ගේ හදල ඉවර වෙනකම් තව අවුරුදු ගානක් බලන් ඉන්න එපා , ඔබේ husband එක්ක ටිකක් කතා කරන්න සැලසුම් කරගන්න , තවත් විය පත් වෙනකම් ඉන්න එපා , පැටියෙක් හදා ගන්න,  ඊට පස්සේ පුළුවන් විදියට ගේ වැඩ ඉවර කරගන්න , මොකද ගේ වැඩනම් ටික ටික හරි ඉවර කරන්න පුළුවන් , පැටියෙක් උපද්දවා ගන්න එක එහෙම කරන්න බැහැනේ , ඒ වගේම වෙන දෙයක් පරණ වෙනවා , කල් පහුවෙනවා වගේ නොවෙයි , කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ සෛල නිපදවෙන්නේ , ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , ඒ වගේම එම සෛල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් , (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි) , එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන සෛලයක් වන ඩිම්බ සෛල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ සෛල වල හැකියාව අඩුවෙන්න හරි , එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ සෛලයක් නිපදවෙන්නත් පුළුවන් , එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය , කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන් ,

ඇයි අම්මේ පරක්කු කළේ ...
2009 දි C.D.C.(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා . හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ U.K.වල . කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන් , අද එහි ප්‍රධානතම හේතු සාධකය  වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ(Ron Jaekle, MD, a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine, in Ohio.)  අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි , ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන් , වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි  වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව possibility වැඩි විමක් .

අපේ අම්මට ඩයබිටික්නේ ..ඒකයි ...
මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය , මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත Endometriosis වැනි රෝග තත්ත්ව   වලටත්  ලක් වෙලාවෙන්න පුළුවන් ,ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි , ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා , ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .

පවුලේ සතුට වැඩි කරන පැටවු .....
කොහොම හරි අද පොඩි article එකක් කරනවා කියල හිතාගෙන වැඩේ පටන් ගත්තත් , අදත් ටිකක් දිග ලිපියක් තමයි සැකසුනේ , අවසන් වශයෙන් කියන්න තියන්නේ මේකයි , ඔබේ විවාහය , සහ ප්‍රථම දරු උපත පිළිබඳ තීරණය අවුරුදු තිස් ගනනක් වෙනකම් ප්‍රමාද කරන්න එපා ,පුළුවන් නම් විසි පහ , විසි හය වගේ සීමාවකදි තමන්ගෙම දරු පැටියෙක්ගේ සුන්දර උණුසුම ඔය උණුසුමට මුසු කරන්න  උත්සාහ ගන්න , life එක enjoy කරන්න , (ඒත් දරු පැටියෙක් හිටියා කියල මිනිසුන් ලෙසින් enjoy කරන්න බැරි කමක් මම නම් දකින්නේ නැහැ , ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ සම්පූර්ණ වුනේ උපරිම සතුට ලබන්නේ මගේ පැටවුන්ගේ උණුහුම් ආදරයෙන් කිව්වොත් මගේ බිරිඳ මාත් එක්ක අමනාප  නොවෙන බව මම දන්නවා . )

තව පරක්කු වෙන්න  එපා
මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

ජීවිතයක් වෙනුවෙන් පිහිනිමේ තරඟය ...දිනන්නේ .?
මේ ලිපියේ හුඟක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක , කාන්තා සාමාජිකාවන්ට , අපේ මිතුරන් මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ නේ , ඔබේ වයසත් හුඟක් වැඩි වෙනකම් ඉන්න එපා , මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් , (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) , වයසට ගිය sperm වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා , ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරඟයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පිනල ගිහින් තමයි ඩිම්බ සෛලයත් එක්ක එකතු වෙලා , පැටියෙක් හදන්න පටන් ගන්නේ , ඉතින් පීනන්න බැරි උනොත්  ? එයා එනකම් බලා ඉදල දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ සෛලයට වෙන්නේ , ප්‍රතිපලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.

මේ ඉන්නේ මගේ  ලෝකේ සුන්දර කළ පැටවු දෙන්නා
දැන් නම් අපේ කුරුළු තැටියේ කවුරුවත් නැහැ , එයාලගේ චර්යාව හරිම සුන්දරයි , උදෙන්ම ඇවිත් කාළ , නාල , හොඳට අව්ව තැපල , දැන් ගිහින් ඉස්සරහ ගෙදර තියෙන රඹුටන් ගහේ අතු අස්සට වෙලා නිදි වගේ ඉන්නවා , අර අපේ කතාවේ කුරුළු පැටිය නම් පේන්න නැහැ , සමහර විට අපේ පැටවුන්ට වගේම එක තැනක ඉන්න බැරුව ඇති නේද ?

එහෙම නම් අදට සමු ගන්නවා , විශේෂයෙන්ම කියන්නට ඕනෑ දෙයක් තියෙනවා , මේ සියළු ලිපි මම සූදානම් කළත් එහි පළමු ගෞරවය ඔබට පුද කරන්නට ඕනමයි , මක් නිසාද ඔබේ සරු , දිරි ගැන්වීම් නොවෙන්නට තවත් ලිපියක් ලිවිය යුතුය කියන පෙළඹවීම නොවෙන්නටත් ඉඩ තිබුණා , මේ දවස් වල තියෙන කළබලකාරී හදිසි වැඩ කටයුතුත් එක්ක , ඒත්  හෙටත් මම තවත් ලිපියක් ඔබ වෙනුවෙන්ම ලියනවා ...