2016/03/05

වචන දහසකට වඩා වටිනාකමක් ඇති තත්පර 43ක්


චවන දහසකින් , දේශන සිය ගණනකින්, සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා දහස්  ගණනකින්  “දැනෙන්නට“ ලබා දිය නොහැකි “යමක්“ දැනෙන්නට ලබා දුන් මේ තත්ත්පර 43 සොඳුරු සුව අසපුව තුලට  එක් කරන්නෙ , යම් සුන්දර දසුනක් ලෙසම පමණි. කිසිදු දේශපාලනික මතවාද පිළිබඳව මට අගයක් නැතත්, කොන් වෙමින් තිබු “සුන්දර ළමාවියක“ , එලෙස කොන්කළ යුතු දැයි නැවත විමසා , සිතන්නට මේ තත්ත්පර 43ම ප්‍රමාණවත්යැයි සිතමි , මනසක් , මිනිසත්බවක් පමණක්ම ඇත්නම්. 

නොදැනුවත්කමේ අඳුරින් වැසුනු , තවත් අහිංසකයන් පිරිසක් , තම දරුවන් රැක ගන්නටයැ කියමින් , වරදක් නොකළ , වරදක් නැති මේ අහිංසක දරුවා පෙළන්නට තවත් උත්සාහ නොකරනු ඇතැයි අපේකෂා කළත් , මිනිසත්බව ලත් , අවස්ථාවාදීන්ගේ සිත් කෙසේ හැසිරෙත්දැයි කාට කිව හැකිවේද ? 

මේ දරුවා වෙත සහ එම මව වෙත මිනිසුන් ලෙස ලොවට මුසුවිය හැකි , ආර්ථික , මානසික  උපදේශනමය සහ සමාජීය උපකාරයන් නිසි සංවිධානය වූ ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරි දිනෙක ඇරඹෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ, එවන් අවස්ථාවක් වෙනුවන් කළහැකි උපකාරයක් කරන්නට සිත් දරාගෙනයි.

මගේ දරුවන් සමඟ සිටිනා , අනෙක් දරුවන් කිනම් රෝග වලින් පෙළේදැයි මම නොදනිමි , ඒඩ්ස් , හෙපටයිටිස් බී හෝ ඊටත් වඩා දරුණු අවස්ථාවක් වුව ද මිතුරා , මිතුරාමය. එය පැතිරෙන ආකාරය , එයින් ආරක්ෂා විය යුතු ආකාරයන් පිළිබඳ දැනුවත් කරන්නට නිබඳ උත්සාහ කරමි ,එමඟින් “මිතුර දම පළුදු නොකර“ , තම සෞඛ්‍ය තත්ත්වයත් රැක ගෙන ළමාවිය සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලබා දීම , මා සතුටයි.

පසුගිය දින කිහිපය පුරා ,මේ දරුවා මුහුණ දෙන , මේ මව මුහුණ දෙන “දැරිය හැකි යැයි හිතාගන්නටත්“ නොහැකි වේදනාවන් පිළිබඳ පුවත් , ලිපි වලින් හිත පුරවා සිටි අවස්ථාවක ,  අමාත්‍ය රංජන රාමනායක මහතා මේ සඳහා මැදිහත්වූ ආකාරය පිළිබඳ වීඩියෝවේ , මා සිත් රැඳුනු තත්ත්පර හතලිස් තුන සොඳුරු සුව අසපුවට එක්කළේ කිසිදු දේශපාලන මතයක් නිසා නොව එය මට සංවේදීව දැනුනු නිසාවෙන් පමණි. ( වීඩියෝව ලබා ගත්තේ අන්තර්ජාලය ඔස්සේ , ස්තුතියි අදාල කැමරා ශිල්පියාටත් අදාල කණ්ඩායමටත්) 

ස්තුතියි ඔබට , වෙනදා මෙන් තවත් ලිපියකින් ඉක්මණින්ම හමුවෙමු.