2016/02/29

198) මැකුවොත් හිරේ දමන “අපේ මිනිස්සු“

අද වෙන කිසිවක් නොකියා කතා දෙකක්ම කියන්න හිතුන .

පළමු කතාව : 
මැකුවොත් ......
ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳව පාඩමක් කියල දෙන ගුරුතුමා , පාඩම අතරේ වැදගත් වචන කළුලෑල්ලේ ලියනවා , “අවදානම , ආරක්ෂාව , ලිංගික , “ ....ඔය වගේ පාඩම කරන ගමන් පොඩි වචන ලියැවෙනවා . පාඩමේ අන්තිමට කළේ ඒඩ්ස් ගැන . ඔය ටික කරත්දි ඒඩ්ස් වල ප්‍රධාන වචන කිහිපයක් මෙන්න මෙහෙම ලියවුනා “ඒඩ්ස් මාරාන්තිකයි“  . පාඩම ඉවර වුනා . ටීචර් පන්තියෙන් යන්න ගියා . පන්ති නායිකාව ඉක්මණට ඇවිත් කළුලෑල්ල මැකුවා. ඊළඟ පීරියඩ් එකට ටීචර් කෙනෙක් නැති නිසා පන්ති නායිකාව ගියා ඔෆිස් කාමරේට ලොකු සර් හම්බවෙන්න . ඒ අතරේ පන්තියේ උන්නු කොල්ලො ටික ආයෙත් බෝඩ් එකේ ලියලා “ඒඩ්ස් මාරාන්තිකයි“ කියන කොටස . මොනිටර් නෝනා ආව , දැක්ක බෝඩ් එකේ ලියපු දේ . ගත්ත හුණූ කොට්ටේ මකාගෙන ගියා තරහින්ම . ඒක මකල ගිහින් වාඩි වෙන්න වුනේ නැහැ , මෙන්න තව කොල්ලෙක් ආයෙත් “ඒඩ්ස් මාරාන්තිකයී“ ලොකුවටම ලියල . මොනිටර් කෙල්ලට තරහ ගියා , ගස්ස ගෙන ඇවිත් ආයෙත් මකල කොල්ලො රෑනට ටිකක් ඔරවලත් ගියා. ගියා කිව්වට යන්න වුනේ නැ, මේ කෙල්ලගෙ “මැකිල්ල“ටයි එරවිල්ලටයි එක්ක , වෙන කොල්ලෙක් ඇවිත් ආයෙත් මෙන්න මෙහෙම ලියල , “ඒඩ්ස් මාරාන්තිකයි , මැකුවොත් හිරේ “ . අන්තිම කෑල්ල ටිකක් තද පාටෙන්ම ලිව්වලු . 


මේ පාර නම් ගිනි පිට වෙන්න “තද“ වෙච්චි මොනිටර් කෙල්ල පුටුවත් පෙරලගෙන නැගිටින්න හැදුව විතරයි , මෙන්න රීලීෆ් ටීචර් කෙනෙක් පන්තියට එනව. කරුණ පහේ ගුරුමහත්මයා , කට කොණින් පොඩි හිනාවක් දාල කිව්වලු , “අන්න දැන්නම් හරියටම හරි “ කියල , ඒක අහපු කොල්ලො ටික උඩ පැන පැන හිනා වෙත්දි කෙල්ලො ටික මීයට පිම්බ ගානට හිටියලු.   ඒ කතාව එච්චරයි , තෙරුනේ නැති අය අර කොළුව ලියපු ටික වචන පෙරලියක් කරල බලන්න මොකක්දෝ කතාවක් හැංගිලා තියෙනවා. 

මේ වෙන කතාවක් , එක්දහස් නවසිය අසූ ගණන් වල “පුංචි පවුල රත්තරං“ කතාවත් එක්ක පවුල් සැලසුම් ගැන ප්‍රජාව දැනුවත් කරන්න වැඩසටහන් තිබුණා. මේ එක්තරා වැඩසටහනක සෞඛ්‍ය
උපදේශක  මහත්තයා , “කොන්ඩම්“ භාවිතය ගැන කියල දෙනවා . කොන්ඩම් පැකට් එකක් අරගෙන ඒකේ “ගුණ අගුණ“ කියන වලු . මේක අහගෙන ඉන්න කාන්තාවේ ලැජ්ජාවේ ඇඹරෙත්දි , කුතුහලයෙන් පිරිච්ච ටිකක් මැදි වයසේ සැමියෙක් , 
“දැන් මහත්තයා ඕක ඔය විදියට කොහොමද පාවිච්චි කොරන්නේ“ කියල අහනවා. මොකද පිංතූර ඇඳළ තිබුණට ඔක්කොම අඳින්නත් බැහැනේ අනෙක් ඒව දැක්කෙත් නැතිව ඇති. උපදේශක  මහත්තයා කොන්ඩම් පැකට් එක කඩල කොන්ඩමය අරගෙන , ඒක දාගන්න හැටි කියල දෙනවා. ඒ කියන කිසි දෙයක් මේ මැදි වියේ සැමියට තේරෙන්නේ නැහැ. 
“මහත්තයා , ඔය කියන ඒව අපට තේරෙන්නේ නෑ , ඕක කොරන හැටි පෙන්නුවනං “ , සෞඛ්‍ය
උපදේශක මහත්තයගේ ඇස් උඩ ගියා. 
කොහු මිට
“හරි මම පෙන්වන්නං , ළමයා මට ඔය කැඩිච්ච කොහු මිට  අරගෙන එන්න “ දොස්තර මහත්තයා , තැනට සුදුසු නුවණ යොදවල දැන් කරන්න හදන්නේ කොන්ඩමය දාන හැටි කියල දෙන්න . කතාව අහගෙන ඉන්න තරුණයෙක් බිත්තිය අයිනට හේත්තු කරල තිබුණ කොහු නැති කොහු මිට ගෙනත් දුන්න. දැන් කොන්ඩමය අරෙගෙන , කෙළවරින් අල්ලල , කොහු මිටට ඇතුළු කරල දාන හැටි  ඊට පස්සෙ එකතු වෙන්න ඕන විදිය කියල දුන්න. කවුරුත් දැන් ඇස් අයාගෙන මේ අළුත් දේ ගැන බලාගෙන ඉන්නව. නෝනලත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කතාව අහගෙන . එදා වැඩසටහන ඉවර වුනා , මාස කිහිපයක් ගියා. ආයෙත් දවසක ඒ සෞඛ්‍ය උපදේශක කණ්ඩායම ආයෙත්  ඒ ප්‍රෙද්ශයේ වැඩසටහනක් කරන්න සුදානම් වුනා . ග්‍රාම සේවක මහත්තයලගේ ගෙදර එකතු වෙලා කාළ බීල , දේශනේ කරන්න යන තැනට යන්න ගියා . මෙන්න අද කවුරුත් පිරිමි අය නැහැ ඇවිත්  ,ඔක්කොම නෝනල විතරයි , ඒ විතරක් නෙවි , නෝනල ඔක්කොම “කොුහ මිටි “ අරගෙන . 
“මොකද මේ කොහු මිටි අරගෙන “ උපදේශක කෙනෙක් , ටිකක් තරහින් වගේ උන්නු කාන්තාවකට කිට්ටු වෙලා ඇහුවා . 
“හුහ් මොකද ! , ඇයි දන්නෙ නැත්ද එදා ඔහෙල අර මොකක්ද කෑල්ල කොහුමිටේ දානව බලන්න ඉඳළ අපේ මිනිහත් ඒකම කොරා , කොස්ස කැඩුවට  මදෑ ,අර ඔහෙල දීපු කෑල්ල දාල ඒකෙන් ඇනල , ඇනල  මට දැන් කෙළින් යන්නත් බෑ , මේ ඔක්කොම ගෑනුටික ඉන්නේ අද ඔහෙලට හොඳ පාඩමක් කියල  දෙන්න“ . අහපු හැටියට නම් එදා වැඩසටහන කෙරිලා නෑ , උපදේශක මහත්තුරු ඒ පයින්ම කොළඹ ඇවිත්. 
ඒ කතාවත් ඉවරයි . වෙච්ච දේ තේරුණානම් මේ කතා දෙකම කියන්න හේතු වුනු  “කතා මූලය“ දැන් කියන්නම් .

ඒ BBC සේවයේ පෙන්වපු  , ලංකාව පිළීබඳ ප්‍රවෘත්තියක්. සාමාන්‍යෙයන් දැන් ලංකාව ගැන යමක් දුටුවම වැඩි පුර ඇහැ යන නිසා වැඩ කරන අතරෙම ඒ ප්‍රවෘත්තිය (http://www.bbc.co.uk/news/world-asia-35684441)  අසා සිටිය . එහි කියැවුනේ , HIV ආසාදිත යැයි සැක කරමින් , අවුරුදු හයක දරුවක්ට පාසලක් නොලැබීම සහ අවසානයේ ලැබුණු පාසලට ගියත් පැය කිහිපයකදි මේ දරුවා පමණක් තනි කර අනෙක් දරුවන් සියල්ල පාසලෙන් රැගෙන ගිය  දෙමාපියන් පාසල වසා දමන තැනට කටයුතු කළ බවත්ය . ඒමෙන්ම එම ප්‍රෙද්ශය “අවදානම් කළාපයක්“ ලෙස හුවා දක්වමින් කර තිබු දැන්වීම පවා එම ප්‍රවෘත්තය තුල පෙන්වත්දි මට දැනුනේ , කණගාටුව මුසු ලැජ්ජාවකි. 

අපේ රටේ දක්ෂකම් , උගත්කම් , සාක්ෂරතාව ,නොමිලේ හැමදේම ලැබිම පිළීබඳ මේ රටවලදී උජාරුවට කතා කරත් , මෙවන් අවාසනාවන්ත දේ තවමත් අපේ රටතුල සිදුවන බව ජාත්‍යන්තර පුවත් ඔස්සෙ දකිත්දි ඇතිවන්නෙ ලැජ්ජාවකි. අදාල සිදුවීමට මැදි වූ දරුවා සහ මව පිළිබඳ ඇති වන්නෙ අප්‍රමාණ දුකකි . ඔවුන් මානසිකව කෙතරම් විඳවනවා ඇත්ද ? මේ දරුවා මේ විඳවන , මානසික විඳවීම , සමාජය කෙරේ “වෛරයක්“ බවට පත් නොවේ යැයි කිව හැක්කේ කාටද ? 

HIV ආසාදනයකට පසුව , AIDS ඇති විය හැකි බවත් , එසේ ඇතිවන රෝග තත්ත්වය කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවන්නේ , 
  1. ආසාදිතයෙක් සමඟ සිදුවන අනාරක්ෂීත ලිංගික එක්වීම් , 
  2. ආසාදිතයෙක් සමඟ අනාරක්ෂිත ලෙස නික්ෂේපන කටු හුවමාරු කර ගැනීම (ජීවානුහරණය නොකරමින්) , 
  3. ආසාදිත ලේ , රැධීර පාරවිලයනයක් ඔස්සෙ දේහ ගත වීම 
  4. ආසාදිත මවක බිහි කරන දරුවෙක්ට සහ එම මව්කිරි ඔස්සේ
ලෙසින් දල අදහසක් දැන අවුරුදු දහයකට විතර පෙර සිට අපේ සමාජය දැනුවත් කරල තිබුණ . රෝහලේ තිබෙන පෝස්ටර් මඟින් , පත්තර වල රේඩියෝ එකේ වැඩසටහන් ඔස්සෙ , පාසල් වල දැනුවත් කිරීම් ඔස්සේ මේ කරුණූ කියල දීල තිබුණ . ඒ එක්කම , 
  • අසලින් වාඩි වී සිටිම නිසා ,
  • අතින් ඇල්ලීම නිසා , 
  • මදුරුවන් ඔස්සේ 
  • කෝප්ප පිඟන් ඔස්සේ 
බෝ නොවන වගත් බොහෝ දෙනා දැනුවත්.  නමුත් අවාසනාවට මේ කියන ප්‍රෙද්ශයෙ ජනතාවට මේ කිසිදු දැනුමක් ලැබිල නැති හැඩයි. නැත්නම් ඒ දැනුමට වඩා , ඕපදූප ඔස්සේ එන දැනුම ජයට ලැබී තිබෙනවා වෙන්න පුළුවන්. ( අපෙ රටේ මේ තත්ත්වය හුඟක් බහුලයි නෙව , ඔය මුහුණු පොත ගත්තත් , බොරු බෙහෙත් , හොර දොස්තරවරු , මායාකාරයෝ පිළිබඳ පෝස්ට් සිය ගණනින් හුවමාරු වෙත්දි , නිවැරදි සෞඛ්‍ය තොරතුරු , ආකර්ෂණ ක්‍රම ගැන තිබෙන පෝස්ට් එකක් හුවමාරු වෙන්න කළාතුරකින් තමා) 

කෙසේ වෙතත් මේ දරුවා පාසලේ හිටිය කියල ( දරුවාට HIV  තත්ත්වයක් නැති බව තහවුරු කරල තිබෙත්දිත්) වෙනත් කිසිවෙක්ට කරදරයක්  නොවන වග තේරුම් කරල දෙන්න තරම් “සාමාන්‍ය දැනීමක්“ ඇති වගකිව යුත්තෙක් මේ ගැටළුව ආරම්භයේදි නොසිටීම ගැන ඇත්තේ  පුදුමයක් . මේ දරුවා ගැන මෙච්චර කළබල වන උදවිය , තමන් එක්ක එකට බස් එකේ තෙරපි තෙරපි යන අනෙක් කෙනා කිනම් රෝග තත්ත්වයකින් පෙළෙනවාදැයි සිතනවාදැයි සැකයි. එලෙස බස් එකෙන් බැස ගෙදර ආ පසු කළ යුතු පළමු දේ සබන් යොදා අත් සෝදා ගැනීම බව දන්නවා දැයි සැකයි . මක් නිසාද , ඔය තෙරපෙන බස් එකක් තුල , “බෝවිය හැකි“ රෝග සිය ගණනක් ඇති , ඔය  අල්ලගෙන යන “පොල්ලෙ “ ඕන තරම් විෂබීජ , හොටු , ක්ෂය රෝග , උදරාබාධ ඇති කරන බැක්ටීරියා ඇති . කළ යුත්තේ ඒ අවදානම් වලින් ආරක්ෂාවීම විනා , මෙ අහිංසක දරුවෙක්ගේ අනාගතව , පෞරුෂය විනාශ කරමින් , ඔහුට “සමාජ වෛරයක්“ ඇති කිරීම නොවේ. 

අනෙක් වැදගත්ම කාරණේ අපි මෙහෙම හිතමු , කෙනෙක්ට අද HIV කියන වෛරසය දේහ ගත වුනා කියල . නමුත් තව අවුරුදු දහයක් යනකම් , මෙයාට AIDS කියන රෝග ලක්ෂණ නොපෙන්වන්න පුළුවන් . ඒ කියන්නෙ මේ අවුරුදු දහය ඇතුළේ මේ පුද්ගලයා තුල HIV කියන වයිරසය තිබුණත් , කිසිම ලෙඩක් නැහැ . එයා දන්නෙත් නැහැ ඇඟ ඇතුළේ HIV වයිරසය තිබෙන බව . හැබැයි මේ අවුරුදු දහය පුරාවටම , අනාරක්ෂීතව ලිංගිකව එක්වෙන අනෙක් කෙනාට HIV වයිරසය දායාද කරන්න අදාල පුද්ගලයාට පුළුවන්. ඒ නිසා HIV කියල දන්න කෙනාට වඩා “හඳුනා නොගත් “ කෙනා අවදානම්. 

මේ ලංකාවේ සේවය කළ අවසන් රෝහල් ඒකකය 
මට කතාවක් මතක් වුනා , 2009  අගභාගයේ විතර , ඒ දවස් වල පැතුරුණු “කුරුළු උණ“ තත්ත්වයක් එක්ක , කරාපිටිය රෝහලේ සුවිශේෂී ඒකකයක් අළුතින්ම විවෘත කරන්නට යෙදුනා. ජාත්‍ය්න්තර ප්‍රමිතීන් වලට සෑහෙන ලංවෙන්න හදපු මේ අළුත්ම ඒකකය “ ඒකළන ප්‍රතිකාර ඒකකය“ විවෘත කරන්න ලං වුනත් ලොකු ගැටළුවක් , එහි සේවය කරන්නට නිලධාරින් සහ සේවයකයන් අකමැති වීම. එදා ආසාදන පාලන ඒකකයේ හෙද නිලධාරින් එක්කම , එම එ්කකයේ සේවයට කැමැත්ත පළ කළ මට මේ “අකමැතිවීම“ ගැටළුවක් . “අපෝ ඕකට එන්න බැහැ , කුරුළු උණයි , පැපොල කාරයොයි , පිස්සු බලු ලෙඩ්ඩුත් දානවලු , කවුරුද දන්නදේ ඒඩ්ස්ලත් දාවි “ එම එකකයට එන්නැයි මා හිතවත් කිහිප දෙනෙක්ගෙන්ම කළ ඉල්ලීම් වලට මට ලැබුණු ප්‍රතිචාරය එයයි. නමුත් මා හට කිව හැකිව තිබෙුණේ මෙපමණයි “ ඔව් , ඔය කියල හැමෝම මෙතනට දාවි , නමුත් අපි එතකොට දන්නව ඒ කෙනාට තියෙන ලෙඩේ , ඒකට ආරක්ෂක උපකරණ , ක්‍රියාමාර්ග ගන්න අපට පුළුවන් , නමුත් ඔබේ ඒකකයට එන හදිසියේ ඇතුළු වන රෝගීන් අතරේ කී දෙනෙක් හඳුනගන්නෙ නැතිව මේ තත්ත්ව වල ඉන්න පුළුවන්ද ?“මේ  පෙළඹවීම් ඔස්සෙ කෙසේ හෝ අපට ඒකකට විවෘත කරගන්නටත් , එතැන් සිට , කුරුළු උණ , ක්ෂණරෝගය , බහුඖෂධ ප්‍රතිරෝධීතාව , ජලභීතිකා රෝගය , ඒඩ්ස් වැනිම හෙපටයිටිස් බී , වගේම ඒඩ්ස් තත්ත්වයේ රෝගීන් සමඟද ඉතා සුහදව සේවය සලසන්නට අපට හැකි වුනා .විදෙස් ගත වන්නට දින කිහිපයක් දක්වාම මා එහි සේවය කළේ , අවරුදු දෙකකට පසුව ඒකකය මාරුවීමට ඇති අවස්ථාව පවා නොසලකාහරිමින්. ඒ එම ඒකකය ඒ තරම්ම ආරක්ෂිත නිසා. 

කෙසේ වෙතත් , සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වීම හුඟක් වැදගත් , ඔය හොර වෙදුනු , මායාකාරයන් පිළිබඳව වගේම ඒඩ්ස් ඇති කරන වයිරසය මුසු කළ කෙසෙල් ගෙඩි ගැන “පච “ පතුරන මුහුණූපොත් , එම පිටු පාළකයන් , “නිවැරදි දැනුමක්“ බෙදා දෙන්නට කටයුතු කරනවා නම් කොයිතරම් අගනේද ? එහෙම කිව්වෙ  , අද ප්‍රධාන ජනමාධ්‍ය වලට වඩා මුහුණූපොත , සහ ගොසිප් පිටු ලොකු “ප්‍රචාරණයක්“ කරන නිසා. 


කෙසේ වෙතත් අවසානයේ HIV ආසාදනය පැතිරෙන ක්‍රම පිළිබඳ නැවත සම්පුර්ණ මතක් කිරීමක් කරන්නට කැමැතියි . මොනවද ඒ අවස්ථා ,
  • ඉතාම වැඩි අවදානම් සහ පැතිරීමේ ඉඩ ඉතා වැඩි අවස්ථා
    • HIV ආසාදිතයෙක් සමඟ ආරක්ෂීත කොන්ඩමයක් නිසි ලෙස නොපැලඳ ගුද-ලිංගික සබඳතා පැවැත්වීම ( මෙහිදි පටක ඉරීයාම් වැඩි නිසා අවදානම ඉහළින්ම පවතිනවා)
    • ආසාදිතයෙක් සමඟ ආරක්ෂීත කොන්ඩමයක් නිසි ලෙස නොපැලඳ යෝනි-ලිංගික සබඳතාවක් පැවැත්වීම 
    • ආසාදිතයෙක් සමඟ නික්ෂේපන කටු  , සිරින්ජර , කැපුම් තල හුවමාරු කර , සම සිදුරු කිරීම සඳහා භාවිත කිරීම 
  • ඉතා අවදානම් අවස්ථා
    • ආසාදිත මවකගෙන් ගැබ තුල සිටින දරුවාට , දරුවා බිහිවන අවස්ථාවේ හෝ දරුවාට මව් කිරි ලබා දීමේදී ( විශේෂයෙන්ම මම HIVසඳහා ප්‍රතිකාර නොලබයි නම් අවදානම් තවත් වැඩියි) 
    • HIV ආසාදිතයෙක්ට භාවිත කළ නික්ෂේපන කටුවක් , තලයක් ඇමිණීම මඟින් ( රෝහල් වල සේවය කරන අපට පවතින පොදු අවදානමක් මේ ) 
  • කළාතුරකින් අවදානම් විය හැකි අවස්ථා 
    • ආසාදිත අයෙක් සමඟ මුඛ-ලිංගික ඒකවීමක් කිරීමේදි , අදාල සබඳතාවයේ යෙදෙන්නාගේ මුඛය තුල තුවාල , සිරීම් බිඳීම් නැත්නම් සහ අනේක පාර්ශවයේ ලිංගික ප්‍රෙද්ශවල තුවාල , පටක ඉරීම් හේා වෙනත් ආසාදන නැත්නම් , ගුද-ලිංගික සහ යෝනි-ලිංගික ඒකවීම් වලට වඩා අවදානම අඩුබවයි පර්යේෂකයන් පවසන්නෙ , අඩු යනු “අවදානමක් නැත‘“ යන්න නොවන වග හොඳින්ම මතක තබා ගත යුතුම වෙනවා.  නමුත් ආසාදිතයා , අනේක පුද්ගලයාගේ මුඛය තුලට ශුක්‍රාණූ විසර්ජනය කළ හොත් එය අවදානම වැඩි කරන බව හඳුනාගෙන ඇත) 
    • රැධීර පාරවිලයනය සහ පටක බද්ධ කිරීම් මඟින් . අද දවසේ පවතින HIV වයිරසය හඳුනාගැනීමේ පරික්ෂණ වල ඇති කාර්යක්ෂමතාවය නිසා මේ අවදානම අද දවසේ සෑහෙන අඩු නමුත්  , යම් අවදානමක් තිබෙනවා . විශේෂයෙන් අද HIV දේහ ගත වන අයෙක් , තවත් ඉදිරි මාස තුන ඇතුලත අදාල හඳුනාගැනීමේ පරික්ෂණ කළත් HIV තිබෙන බව හඳුනා නොගන්නට අවස්ථාවක් තිබෙනවා . හේතුව පරික්ෂණය මඟින් සනාථ වීමට අවශ්‍ය HIV ප්‍රතිදේහ ප්‍රමාණය හැදෙන්නට දින 9- මාස තුනත් අතර කාළයක් යන්නට පුළුවන් නිසා. 
    • ආසාදිත අයෙක් විසින් හපා  , නැත්නම් කටින් කඩා දෙන , කෑමක් සපා කෑමට ගනිත්දි . ( කුඩා දරුවන් බලාගන්නා , සේවිකාව HIV ආසාදිත නම්  , ඇය පේර ගෙඩියක් කටින් කඩා කෑළි දරුවට කවනව කියල හිතමු , එතැනදි අර සේවිකාවගේ කටින් පේර ගෙඩිය කඩත්දි , ඇයගේ කටේ තිබෙන සියුම් සම තුවාල වෙලා ආසාදිත රැධීර බිඳිති මේ පේර කෑල්ලේ ගෑවෙන්න පුළුවන් . දැන් අසාදිත ලේ ඇති පේර කෑල්ල දරුව හපත්දි , දරුවගේ කට ඇතුලේ සම තුවාල වුනොත් කෙටි කාළ සීමාවක් තුල අර HIV වයිරසය දරුවාට යන්න පුළුවන් කියල හඳුනාගෙන තිබෙනවා.
    • ආසාදිත අයෙක් විසින් වෙනත් අයෙක්ව සපා කෑමක් සිදුවුනු විටෙක , විශේෂයෙන්ම දෙවැනි පුද්ගලයාගේ සම තුවාල වන ලෙසින් සපා කෑම වුනා නම්  , මෙයත් අවදානමක්.
    • HIV ආසාදිත ලේ , වෙනත් අයෙක්ගේ බිඳිනු සම , තුවාලයක් හෝ තුනී ශ්ළේශ්මල තට්ටුව  මත ගැටීමෙන් 
    • අසාදිත - සහ අනේක පුද්ගලයාගේ කටේ තුවාල ඇත්නම් , එවන් දෙනෙනෙක් ගැඹූරු හාදුවක් දෙන අවස්ථාවේදී තුවාල ඔස්සෙ එන ලේ මඟින් වයිරසය හුවමාරු වීම විය හැකියි. ( එසේ තුවාල නැත්නම් , සාමාන්‍ය මෘදු සිප ගැනීමකින් HIV හුවමාරු වීමක් සිදුවන්නෙ නැහැ) 
වැදගත්ම දේ ,
ළඟින් වාඩි වුනා කියලා , අතින් ඇල්ලුවට , කෝප්ප පිරිසි වලින් , වැසිකිළියෙන් හෝ කෙළ බිඳිති නැත්නම් මදුරුවන් ඔස්සෙ මේ වයිරසය කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට යන්නෙ නැහැ. ඒ වගේම ආසාදිතයෙක් සමඟ දේහ  තරල හුවමාරු නොවන ලෙස කෙරෙන ලිංගික උත්තේජක ස්පර්ෂ කිරීම් වලින් වත් වයිරසය අනේක නෙකාට යන්නෙ නැහැ.  කෙටියෙන්ම කීවොත් ආසාදිත කෙනෙක්ගේ දේහ තරල , රැධීරය , ලිංගික ස්‍රාවයන් (කෙළ අයත් වන්නේ නැහැ) , අනෙක් කෙනාගේ ශ්ලේශ්මලය ( ඇස , කට , යෝනි මාර්ගය වගේ කොටෙස් වල මතුපිටින්ම තිබෙන තුනී තෙත් ස්ථරය ) හෝ කැඩුනු සම  , නැත්නම් තුවාලයක් ඔස්සේ ඇතුළු වුනොත් පමණයි රෝගය බෝවීමේ යම් අවදානමක් ඇතිවන්නේ. 

කතා දෙකකින් පටන් ගත්ත කතාව ටිකක් දුර ගියා වගේ , කමක් නැහැ . කිව යුතු බොහෝ දේ ලියැවුනා කියල හිතනවා. නැතොත් . හැමදාමත් එන සීමිත නමුත් දැනුමක් ලබා ගැනීමේ කැමැත්තක් ඇති , සහ සිංහල බ්ලොග් අවකාශය තුල මෙවන් බ්ලොග් පිටුත් පැවතිය යුතුය සිතන සුන්දර මිනිසුන් කිහිපදෙනෙක් මේ ලිපිය කියවාවි , නොලිය වුනු යමක් ඇත්නම් ඔවුන් විමසාවි . 

නැවතත් ලිපියකින් හමුවන තුරු සමුගනිමි , ඔබට සුව සතුට පිරි දිනයක් පතමින් ! 

(මේ ලිපිය පුරාවට HIV වයිරසය කියල ලිවුවට , නියම විදියට ලිව්වොත් HI වයිරසය , මොකද එහි සම්පුර්ණ නම  , Human Immunodeficiency Virus  කියන එක නිසා . AIDS කියල කියන්නේ තනි කර ලෙඩක් නෙවි , විවිධ ලක්ෂණ සමූහයක් , ඒ නිසා තමයි Acquired Immune Deficiency Syndrome කියල කියන්නේ. )