2016/03/28

ස්තුතියි ඔබ සැමට !

සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ දැන් නම් සිරි ලංකාවේ අපට ඒ තරම්ම අළුත් දෙයක් නොවෙයි. මීට අවුරුදු පහකට විතර ඉස්සර “සොඳුරු සුව  අසපුව“ ආරම්භ කළ කාළේ , එය “ටිකක්“ අළුත් දෙයක් වුනා. ඇත්තම  කිව්වොත් , මේ බ්ලොග් පිටුව ආරම්භ කරන්නට පවා සිත් දුන්නේ, තවත් සිංහල බ්ලොග් සටහනක් , අහම්බෙන් කියවීමෙන් ලද සතුට සහ උනන්දුව නිසා. ඒ අහම්බෙන් මුලින්ම කියවන්න ලැබුණු සිංහල බ්ලොග්  සටහන වුනේ “හැක්ක්‍රිශ් “ නමින් ලියවුනු  සටහන , අද ඒ බ්ලොග් අඩවිය ටිකක් වෙනස් වෙලා. එතැනින් සිට ආ ,“සිංහල බ්ලොග් සටහනක්“ ලිවීමේ  අවශ්‍යතාවට උල්පන්දම් දෙමින්ම , මා සේවය කළ පුහුණු ආයතනයෙන් සමුගන්නා කාළයත් ඇවිත් තිබුණා. මේ සිදුවීම් දෙක නිසාවෙන් , Nursing School යන නමින් මේ පිටුව ආරම්භ වෙන්නේ දෙදහස් එකොළහේ මැයි මාසේ. 


මුල්ම අරමුණ වුනේ හෙදකම ආශ්‍රිත නව දැනුම , බෙදා දීම වුනත් එය ක්‍රමයෙන් ඊට වඩා ටිකක් එහාට ගිය මාතෘකා අතරට යත්දි , බ්ලොගයේ නමත් “සොඳුරු සුව අසපුව“ ලෙසින් වෙනස් කරන්නට හිතුනා. ඒ වෙනස් වීම අද දක්වා “සෞඛ්‍යයට “ අදාල ලිපි දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ අන්තර්ජාලයේ සිංහල බසින් රැඳවුනා. ඒතරම් විනෝදාත්මක , දේශපාලනමය රස  , නවකතා හෝ යෞව්වනයන් පෙළඹෙන ලිපි මාතෘකා නොතිබුණත් ( අපේ සිංහල බ්ලොග් පරිශ්‍රය තුල එවන් රසවත් බ්ලොග් සෑහෙන ප්‍රමානයක් තිබෙන බව සතුටින් කියන්නට ඕන. ඒවන් “විවිධ රස “ නිසාමයි මෙවන් “ස්වේච්ඡා මාධ්‍යයක්“ දිගින් දිගටපවතින්නේ)  සෑහෙන පිරිසක් මේ ලිපි වලට ආ ගිය බව දකින්නට පුළුවන්. බොහෝ වෙලාවට “මාගල් වගේ “ ලිපි නිසා ඇවිත් නොකියවා හැරී ගිය සෑහෙන පිරිසකුත් ඇති. 


කෙසේ වෙතත් ආ මග , අවස්ථා දෙකකදි යම් සම්මානයන්ට හිමිකම් කියන්නට “සොඳුරු සුව අසපුවට“ හැකි වුනා. පළමු වැන්න දෙදහස් දොළහේ මාර්තු මාසයේ “රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සහ සාහිත්‍ය ඒකකය සංවිධානය කළ , “අසෙනිය කුසුම 2012“ දී  හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය බවට පත්වුනා.ඉන් කළකට පසුව පසුගිය දා “නෙළුම්යාය“ විසින් සංවිධානය කළ “නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙදි “විද්‍යාව සහ තාක්ෂණික අංශයෙන් දෙවන තැන“ දිනා තිබුණා. එම වැඩසටහනේ තොරතුරු මෙතැනින් බලන්නට පුළුවන් .   මෙවන් දිරි ගැන්වීම සතුටක් , ඒ වගේම දිරියක් තවත් ඉදිරියට ලියන්නට. 


මෙවන් කටයුත්තක් සංවිධානය කළ , ඒ සඳහා වෙහෙසුනු සැමට මගේ ස්තුතියි . ඒ හුදෙක් “සොඳුරු සුව අසපුවට“ ස්ථානයක් ලැබුණු නිසා නොව , ලොව  කොහේවත් නැති , සිරි ලංකාවම පමණක්ම  පදනම කරගත් “සිංහල බ්ලොග් මාධ්‍යෙය් “ උන්නතිය වෙනුවෙන් සහ මේ පිළිබඳ නොදත් මිනිසුන් අතරට “සිංහල බ්ලොග්“ යන මාධ්‍යය හඳුන්වා දෙන්නට දරන උත්සාහය වෙනුවෙන්. අවාසනාවකට මෙන් මේ සත්කාර්යය  වෙනුවෙන් වෙහෙසුනු , දරදිය ඇද්ද බොහෝ දෙනෙක් මා  පුද්ගලිකව නොහඳුනන නිසා , පුද්ගලිකව ස්තුතියි පළ කිරීමට නොහැකිවීම පිළිබඳ සමාවන්න. ඇත්තෙනම් මෙපමණ කළක් බ්ලොග් ලිව්වත් , ඒ ඔස්සේ පුද්ගලිකව හඳුනගෙන ඇත්තේ අතැඟිළ වලටත් වඩා අඩු පිරිසක් වුවත් , සොඳුරු සුව අසපුව මෙතෙක් පැමිණියේ මෙන්ම , ඉදිරියට එන්නෙද ඔබ සැමගේ සහෘද  සහයෝගයන් නිසාවෙනි. විශේෂයෙන්ම බොහෝ බ්ලෝග් රචකයන් මෙන්ම මාද මේ ලිපි ලිවීමෙන් ලබන්නේ “හිතේ සතුටක්“ පමණක් වන නිසා , ආර්ථිකය මතම රැඳෙන මෙවන් සමාජයක , “හිතේ සතුට අගයන“ ඔබවන් මිතුරු පිරිසක් සිටීමම සතුටකි.එසේ නම් අද ලිපිය හුදෙක් , හිත පිරි සතුටින් කරනා “ස්තුතියක්“පමණි. “ලෙඩගැන “ලිපියකින් නැවන හමුවන තුරු සමුගන්නම් .ඔබ  සැමගේ ජීවිත  සුවෙන් සතුටින් පිරේවා! ඒ මගේ පැතුමයි.