2018/02/04

217) තරු ඇස් මිලින කළ තිත

“කොහොමද අයියා මැච් එක? මට නම් මුකුත්ම අහන්න වුනේ නැහැ , අද ක්ලිනික් එකේ පනහක් විතර හිටිය“
උදේ ඉඳන් මාව ආරක්ෂා කළ මුව වැස්ම ගලවල දාල අත් සෝදන අතරෙ මගේ වෘත්තීය මිතුරත් එක්ක පොඩි කතා බහකට එකතු වුනා. “නියමයි මල්ලී , සනා දෙනවා නියමෙට , තව ඕවර්ස් තුනයි“ කතාව  අතරේම මගේ මිත්‍රය තවත් පිළිකානාශක ඖෂධ වර්ගයක් සේලයින් වලට එකතු කරනවා , වාට්ටුවේ ඉන්න රෝගියෙක් වෙනුවෙන්. “කාටද අයිය ඔය කීමෝ එක මේ බත් කන වෙලාවේ“ මේ වෙලාව සාමාන්‍යෙයන් පිළිකානාශක ඖෂධ ආරම්භ නොකරන වෙලාවක් නිසාම මගේ හිතට ආ පැනය යොමු කළා.
“ආ මේක මල්ලි ,අර තරු බබාට , සර් අදම පටන් ගන්න කියල, පොඩ්ඩගේ රිපෝර්ට්ස් හොඳයිළු , මේ ඩෝස් එක දීල හවස ගෙදර යවතෑකි කිව්ව , ලොකු දෙයක් නේද මල්ලී “ මැච් එක පැත්තක දාල හිත පතුලෙන්ම ආ සතුටින් මගේ සහෝදර හෙද නිළධාරිවරයා කීව.
දවස ගෙවුනා,
මැච් එකත් ලංකාව දිනුවා. (මේ ළඟදි වෙච්ච දෙයක් නෙවි මේ කතාව, දෙදහස් තුනවගේ කාළෙක සිදුවීමක් මේ)

පසුදා සවස සේවා වාරයට මා ඒකකයට ඇතුළු වුනා. ඒකකයේ ලොකු කළබලයක් .
“තරු බබාට කීමෝ හයිඩෝස් එකක් ගිහිල්ලලු , ටොක්සික් වෙලා, ලොකු සරුත් ඇවිත් “ වාට්ටුවට පය තිබූ සැනින් මා වෙත දුව ගෙන ආ මිතුර සාත්තු සේවිකාවක් කියවගෙන් ගියා.
මෙහෙම  ඇරඹුන හදිසි තත්ත්වය පැය 24ක් පුරා පැවතුනා, අදාල ඖෂධයට එරෙහිව දිය හැකි “එකම“ ප්‍රතිඖෂධය ලබා දුන්නා , සියළු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඒත්...... ඒ සියල්ලට එරෙහිව යමින් මරුවා මෙ පුංචි කොළු පැටියගේ ජීවිතය උදුරාගත්තා පැය විසි දෙකකට පස්සේ.
කීමෝතෙරපි ලබා දෙන අවස්ථාවක්
තරු වගෙ ඇස් තිබුණූ අප හමෝගෙම ආදරේ උදුර ගත්තු  හුරතල් කොළු පැටිය මිය ගියා, අපේ කාර්ය මණ්ඩලය කිසිවක් අදහාගත නොහැකි දින කිහිපයක් ගත කළා. පරික්ෂණ ඇරඹුනා , අධීකරණ කටයුතු ඇරඹුණා, අවසානයෙ මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව හඳුනාගත්තා. හේතුව “තිතක්“ ...

xxxxxxx 2.0 mg IV infusion  over 4 hours (මෙහි තේරුම අදාල ඖෂධය මිලිග්‍රෑම් දෙකක් සේලයින් ද්‍රාවණය ඔස්සේ පැය හතරක් තුල දේහ ගත කරන්න කියන උපදෙස)

වෛද්‍යවරයා දරුවාගේ සායනික සටහනේ සටහන් කළ යුතුව තිබුණා .  ඒ දරුවාගේ දේහ බරට සහ සමේ වර්ගඵලයට අදාල වූ ඖෂධ මාත්‍රාව. නමුත් කාබන් පෑනෙන් කළ ඒ සටහනේ ඇත්තටම ලියැවෙන්නෙ
xxxxxxx 2 0 mg IV infusion  over 4 hours ලෙසින්. මෙය අදාල ඖෂධය සැකසුම් කරන නිලධාරියා වෙත යොමු වුනාම ඔහුට එය xxxxxxx 20 mg IV infusion  over 4 hours ලෙසයි දකින්නට ලැබෙන්නෙ. ප්‍රතිපලය  දරුවාගේ දේහයට දරාගත හැකි ප්‍රමාණය වගේ දස ගුණයක ඖෂධ දේහ ගත වීම. මෙහි වරද කාගෙදැයි උසාවිය තීරණය කළත්, වෛද්‍ය-හෙද කාර්ය මණ්ඩලයට දරාගත නොහැකි තරම් පිළිකාරෝගීන් සංඛ්‍යාවක් ඒ දිනවල අප ඒකකයට ආ බව පමණක් සඳහන් කරන්නම්.

කෙසේ වෙතත්, මේ සිදුවීමෙන් අවුරුදු පහලොවකට විතර පස්සේ අද , 2018 මම මගේ රෝගීන් පිළිබඳ මාසික වාර්තා සටහන් තබන්නට ඔවුන්ගේ තොරතුරු අඩංගු ලිපි ගොනු එහා මෙහා කරත්දි ඇස ගැටණු උපදෙස් පත්‍රිකාවක් තමයි මා මෙසේ අතීතයට අරගෙන ගියේ.
අපේ සෞඛ්‍ය සේවාව එම පත්‍රිකාව නම් කරල තියෙන්නෙ "Write it out so there is no doubt! " කියලා. ඒ කීව්වේ “ලියන්න හරියට , නොනැඟේ සැකයක්“ වගේ කියන්න පුළුවන්.

එහි සඳහන් වන්නේ වෛද්‍ය සටහන් වල බහුලව භාවිත වන කෙටි වචන සහ ඒවා ඔස්සෙ මතුවිය හැකි ගැටළු සහගත තත්ත්වයනුත් , එම ගැටළු ඇති නොවීම සඳහා ලිවිය යුතු ආකාරයත්.
මම දැන් කතා කරන්න යන්නේ අන්න ඒ කරුණූ කිහිපයක් ගැන.

කෙටි යෙදුම: U
අපේක්ෂිත අර්ථය: unit
ගැටළු සහගත හඳුනාගැනීම්: සමහර අවස්ථා වල 0 හෝ 4 ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: unit

කෙටි යෙදුම: IU
අපේක්ෂිත අර්ථය:international unit
ගැටළු සහගත හඳුනාගැනීම්:  IV (ශිරාගත කිරීමක්) හෝ 10ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: unit

කෙටි යෙදුම: ඖෂධ වල නම් කෙටියෙන් MgSO4 , MS
අපේක්ෂිත අර්ථය: ඖෂධයේ නම
ගැටළු සහගත හඳුනාගැනීම්: සමහර අවස්ථා වල  වෙනත් ඖෂධ ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: සම්පූර්ණ ඖෂධීය නාමය

කෙටි යෙදුම: QD
අපේක්ෂිත අර්ථය: දිනපතා
ගැටළු සහගත හඳුනාගැනීම්: QID හෙවත් දිනකට හතර වතාවක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: daily

කෙටි යෙදුම: QOD
අපේක්ෂිත අර්ථය: දිනක් හැර දිනක්
ගැටළු සහගත හඳුනාගැනීම්: QID හෙවත් දිනකට හතර වතාවක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: every other day

කෙටි යෙදුම: OD
අපේක්ෂිත අර්ථය: දිනකට වරක්
ගැටළු සහගත හඳුනාගැනීම්: OD  හෙවත් දකුණු ඇස ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: daily or once a day

කෙටි යෙදුම: OS,OD,OU
අපේක්ෂිත අර්ථය: වම් ඇස,දකුණු ඇස, දෙඇසටම
ගැටළු සහගත හඳුනාගැනීම්: මේ එකිනෙක වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: left eye , right eye , both eyes

කෙටි යෙදුම: D/C
අපේක්ෂිත අර්ථය: රෝහලින් මුදා හැරීම
ගැටළු සහගත හඳුනාගැනීම්: ඖෂධය නවතන්න හෙවත් discontinue ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: discharge

කෙටි යෙදුම: cc
අපේක්ෂිත අර්ථය: ඝණ සෙන්ටිමීටර්
ගැටළු සහගත හඳුනාගැනීම්: units  ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: mL හෝ millilitre ලෙස

කෙටි යෙදුම: μg
අපේක්ෂිත අර්ථය: මයිකෝග්‍රෑම්
ගැටළු සහගත හඳුනාගැනීම්: මිලිග්‍රෑම් ලෙස හෙවත් mg ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: mcg ලෙස හෝ microgram ලෙස

කෙටි සංකේත: < හෝ >
අපේක්ෂිත අර්ථය: විශාල හෝ කුඩාතර බව
ගැටළු සහගත හඳුනාගැනීම්: අංක 7 ලෙස හෝ L අකුර ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: greater(more) than(lower) / less than

අංක යෙදුම: (Trailing zero)  2.0 mg වැනි ආකාරය
අපේක්ෂිත අර්ථය:  මිලිග්‍රෑම් දෙකක්
ගැටළු සහගත හඳුනාගැනීම්: දශම තිත හඳුනා නොගැනීම / නොදැකීම නිසා 20mg වරදවා වටහා ගැනීමේ ඉඩ
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: 2mg ලෙස ( පසුපසට දශම තිත නොමැතිව)

අංක යෙදුම: (leading zero)  .2 mg වැනි ආකාරය
අපේක්ෂිත අර්ථය:  මිලිග්‍රෑම් දශම  දෙකක්
ගැටළු සහගත හඳුනාගැනීම්: දශම තිත හඳුනා නොගැනීම / නොදැකීම
නිවැරදිව භාවිත කළ යුතු ආකාරය: 0.2mg ලෙස (  දශම තිතට පෙර බිංදුව සහිතව)

මේක කියවගෙන ගිය ඔබට ටිකක් කම්මැලි හිතෙන්න ඇති. ඒත් අපෙ සෞඛ්‍ය සේවයේ ඉන්න කෙනෙක්ට නම් යමක් මතක් වෙන්නත් ඇති. කෙසේ හෝ තිතක් නිසා මරණයක් විය හැකි බව තේරුම් අරගත්තා නම් එයම ඇති. ඒ අවදානමට සූදානම් වන නොවන එක ඔබේ වගකීමක්.
මෙන්න ඒ ලිස්ට් එක


අදට ඇති , ආයෙත් හමුවෙමු. මෙන්න මේ කතාවත් අහගෙනම.