
මුහුණූ පොතට එන හැමදවසකම වගේ, එහි මැසෙන්ජරය තුල කාගෙන් හෝ පණිවිඩක්.
“කැනඩාවට එන්න ලේසි ක්‍රම මොනවද ?“
“අයියා, මම ---- එකේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා , එන්න චාන්ස් එකක් තියේද“
“මම ටීචිං ඩිග්‍රිය කම්ප්ලීට කරනවා , මෙහෙ ඒජන්සියකින් කිව්වා ටොරොන්ටෝ වල වේකන්සි තියෙනව කියලා“
“ඔයා නර්ස් කෙනෙක් නේද? මේ අපටත් කැනඩාවට එන්න චාන්ස් එකක් අරන්දෙන්කෝ“
“මේ ෆේස්බුක් එකේ තිබුණූ දැන්වීමකට මගේ විස්තර යැව්වා , එයාල කියනවා රැපියල් පන්දාහන් බඳින්න කියල ඇප්ලිකේෂන් එක ඇසෙස් කරන්න, ඊට පස්සෙ ලක්ෂ හතක් ඕනලු , මේක ඇත්තක්ද “
“මේ කැනඩාවට නර්ස්ලා ගන්නවලු , පොච්චක් විස්තර එවනවද?“
“මේ අයියා, මම මෙහෙ සෙමිනා එකකට ගියා , එයාල කියනව මාස දෙකෙන් වීසා අරගෙන දෙනව කියල , එයලා ෂුවර්ද ?“
මේ වගේ නනාප්‍රකාර ප්‍රශ්න..
මේ වගේ ප්‍රශ්න කැනඩාවේ එන්න අනෙක් මිතුරු මිතුරියන්ටත් ලැබෙනව ඇති, නමුත් මා ලියූ “කැනඩාවට එන්නට මග“ (http://sincanada.blogspot.ca) බ්ලොග් සටහන කියවූ සෑහෙන පිරිසක් මා වෙත මේ පැන එවන බව දැනගන්නට ලැබෙනවා. අවස්ථාව ලැබෙන පරිදි කැනඩා ගමනේ ඇත්ත තත්ත්වය ඔවුන්ට පැහැදිලි කළ දුන්නත් ඒ “ඇත්ත“ සමහරෙකුට “තිත්ත“ වන්නට පුළුවන්. නමුත් ඔබෙන් රුපියල් ලක්ෂ ගණනක් “කඩා ගන්නට“ මාන බලන ඉමිග්‍රේෂන් ඒජන්සිකාරයන්ගේ “සීනි බෝල“ කතා වලට රැවටී පසුව වේදනාවට පත්වනවාට වඩා , මෙහි නිවැරදි තත්ත්වය දැන , ඒ ඔස්සේ කටයුතු කළොත් “කැනඩා ගමන හීනයක්“ වෙන එකක් නැහැ. ඒ නිසා මෙන්න මේවගේ “සීනි බෝල කතා“ තිබෙන දැන්වීම් , දේශන , කෙටි පණිවිඩ ලැබුනොත් ටිකක් පරිස්සම් වීම වටී.
· Guaranteed work permits!
· Free scholarships!
· High-paying jobs in Canada with minimal or no experience needed!
· Free air tickets and accommodation!
· Guaranteed employment!
· SPECIAL programs!
· Earn $4,000 a month as a hotel cleaner!
මෙන්න මේ කාරණා ටිකත් හිතට අරගෙනම ඊළඟ පියවරට ගියොත් ගමන තවත් සාර්ථක වේවි.
1. කැනඩාවට මොනයම් ආකාරයක වීසා ඉල්ලුම් කිරීමකටවත් , immigration consultant කෙනෙක් , immigration representative කෙනෙක් එහෙම නැත්නම් ඒජන්සි එකක් අවශ්‍ය නැහැ. මේ කියන කිසිම කෙනෙක්ට Canada රජයේ සංක්‍රමණ කටයුතු වලට බලපෑමක් කිරීමට කිසිම හැකියාවක් නැහැ , එය සම්පුර්ණ ස්වාධීනව කෙරෙන දෙයක්. ඔබේ ඉල්ලුම්පත්‍රය ආවේ ඒජන්සියක් හරහාද නැත්නම් සෘජුවම ඔබ විසින්ද කියන කාරනේ වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් ඔබේ ඉල්ලුම්පතේ තිබෙන සුදුසුකම් හා ඒවාට ලැබෙන වටිනාකම් පමණයි. ඒ නිසා ඔය කිසිම කෙනෙක්ට කියන්න බැහැ “අනිවාර්යයෙන්ම වීසා ලබා දෙනව“ කියලා. එය ඔබේ සුදුසුකම් සහ කැනඩා සංක්‍රමණ නිලධාරින් අතයි පවතින්නේ.
2. ව්‍යාජ ලිපි ලේඛණ, ව්‍යාජ රැකියා පැවරුම් ආදිය ඉදිරිපත් කර , ඔබේ ඉල්ලුම්පත යොමු කරන්නේ නම්, එය බොහෝ විට කැනඩාවට “කිසිදු දවසක“ ඇතුළු වීමට ඇති මග අහුරා ගැනීමක් වෙන්න පුළුවන්.
3. කැනඩා සංක්‍රමණය සඳහා ඉල්ලුම්පත් යොමු කළ පසු එහි සැකසුම් ගාස්තුවක් Processing fee එකක් අයකෙරෙන අතර එය වීසා වර්ගය , ඉල්ලුම්කරන්නගේ සංඛ්‍යාව වැනි කරුණූ අනුව වෙනස් වුවත් , ඒ එක් එක් අවස්ථාව සඳහා සම්මත වූ ඩොලර් වටිනාකමක් ඇත. එය www.cic.gc.ca (කැනඩා සංක්‍රමණයට අදාල නීත්‍යානුකූල සහ යාවත්කාළින තොරතුරු ලබා ගත හැකි රාජ්‍ය වෙබ් අඩවිය මෙයයි. මීටම සමාන ව්‍යාජ වෙබ් අඩවි ඇති නිසා විමසිලිමත්ම මෙම ලිපිනයට යන්න.) වෙබ් අඩවිය තුල පෙන්වා ඇත. කැනඩා ඩොලරය සහ රුපියල අතර අනුපාතය අනුව මෙහි රුපියල් වටිනාකම් විචලනය වුවත් , අදාල ගෙවීම කළ යුත්තේ කිසිදු ඒජන්සියකට , පුද්ගලික ගිණුමකට නොව කැනඩා රජයේ ගිණුමක් වෙතයි. ඒ ගෙවිය යුතු මුදල , ගෙවිය යුතු ආකාරය සියළු උපදෙස් ඉහත කී වෙබ් අඩවියේ ඉතා සරළව , පියවරෙන් පියවර පෙන්වාදී ඇත.
මේ කෙටිසටහන අවසන කිව යුත්තේ මෙයයි , ඔබේ , ඔබේ දරුවාගේ අනාගතයේ යහපත උදෙසා ලෝකයේ ඉහළම ජීවන තත්ත්ව දර්ශක ඇති රටක් ලෙස කැනඩාව තෝරා ගන්නේ නම් එය හුදෙක් “හිනයක්ම“ නොකරගන්න, දැනුවත් වෙන්න , වෙන කෙනෙක්ගේ දැනුමින් නොව ඔබේ දැනුමින්ම නිසි පියවර අනුගමනය කර කැනඩාවට එන්න. මෙහි ඇති
· නිදහස ( දේශපාලනික ආගමික වහලුන් නැති , වාර්ගික කුළල් කාගැනීම් නැති) ,
· සුන්දරත්වය (වෙනස් දේශගුණ කළාප , භූ විෂමතා , බහුසංස්කෘතිත්වයේ) ,
· ස්ථාවරත්වය ( ඊළඟ ඡන්දෙදි කවුරුන් ආවත් , ආයතනයේ ලොක්කා කවුරු වුනත් නිසි අධ්‍යාපනය සහ රැකියාව ඇති නම් අනාගතය පිළිබඳව ඇති විශ්වාසනීයබව , විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතය පිළිබඳව)
· දියුණුවේ රස ( ලෝකයම පිළිගන්නා දියුණු අධ්‍යාපනයක් / සෞඛ්‍ය සේවාවක් ඔබට , දරුවාට ලබා ගන්නට)
විඳින්නට එක්වන්න.
ඉන්දියාවේ , පිලිපීනයේ තරම් සංක්‍රමණයට උපකාර වන ( දියුණු රටකට සංක්‍රමණයට උපකාරවන) අධ්‍යාපන ක්‍රමයක් සහ සහයෝගයක් අපේ රටේ නැතත් , ඔබේ උනන්දුව , දක්ෂතාව සහ යම් තරමක වාසනාවද කැනඩාවට එන්නට පාර කියාවි.
( මේ සටහන ලීවේ මාවෙත පණිවිඩ එවන මිතුරු මිතුරියන්ට මතුව ඇති ගැටළු කිහිපයකට පොදුවේ පිළිතුරු දීම සඳහා වුවත් , යමෙකුට මින් වැදගත් දෙයක් ගත හැකි යැයි හැඟේ නම් බෙදා ගත්තාට කිසිදු “අහිතක්“ නැත්තේමැයි.)