“තාත්තේ අපි ඩයිව් කරමුද බලන්න , ...චූටි ඔයා ඔය ලයින් එකෙන් එහාට යන්න , තාත්තියි මායි ඩයිව් කරන්න හදන්නේ ....! “ ....ලොකුගේ හදිස්සියක් “කෙල්සෝ විලේ“ පතුල බලන්නට , පොඩ්ඩිව යාළුවො කට්ටියත් එක්ක වැල්ලෙන් ඉන්නවල , ආයෙත් ආව ලොකුත් එක්ක කිමිදිලා වැව් පතුල බලන්න ....“හරි ..එකායි දෙකායි ...තුනායි ...“
වෙනද පුරුද්දටම මාත් පැනල ටිකක් කිමිදුනා ...මොන ! “ ...
“අපෝ තාත්තේ , මුකුත් පේන්නේ නැහැනේ ...කළුවරයි , මඩ වෙලා වගේ නේද ? ....“
![]() |
ඔව් අද ලොකු සෙනඟක් නාන , විනෝද වෙන මේ කෙල්සෝ වෙරළ තීරය( මේ වැවක් වුනත් , නම් කරන්නේ නම් Kelso beach කියන නමින්) ගිණිගහන අව්වෙන් පිච්චුනත් , වතුර ඇතුලෙ නම් ...මහා කළුවරක් විතරයි ...යාන්තමට බොඳ වෙච්ච රූපයක් වගේ ලොකුව නම් පේනවා , වෙන කිසි දෙයක් , මෙච්චර කට්ට අව්වක් තිබුලා වැවේ පතුල වත් නොපෙනෙන තරමේ අඳුරු පැහැයක් වතුරෙ තිබුණෙ , උඩට ඇවිත් හුස්මක් ගත්ත මට මතක් වුනේ ගාල්ලෙදි හික්කඩුවෙදි මුහුදෙ නාපු හැටි , නිල් කැටේට වතුර තියෙන ඒ හරියේ කිමිදුනා කියල වෙනසකට තියෙන්නේ හුස්ම ගන්න වෙනසයි , පීනන වෙනසයි විතරයි , මොකද පතුලට කිමිදුනා කියල දකින්න තියෙන දර්ශණ වල අලංකාරය නම් කියලා නිම කරන්න බැහැ , ලස්සන මාළු , කොරල් , ඒ විතරද එක එක වර්ගයේ පාසි වර්ග මුහුදු පතුට ගෙනාවේ පුදුම අලංකාරයක් , ඒත් ඒ “වාසනාව“ නම් මෙහෙදි ලැබෙන එකක් නැහැ වගේ , මොකද දැන් ඉන්න හරියේ ඉඳලා මුහුදකට යන්න කිලෝමීටර් දාහක් විතර යන්න වෙනවා , ඒ කීවේ මුහදේ නාන්න නම් පැය එකොළහක් විතර හයිවේ එකේ යන්න වෙනවා , දැනට හීනයක් වෙච්ච “මුහුදු වතුර“ හිතේ තියාගෙන , එද දවසම හිල්ටන් ඇල්ල පැත්තෙයි හෝල්ටන් කැලෙයි ඇවිදල ගෙදර ආව ,
,
මේ වගේ දේවල් එක්කම , පොඩ්ඩන්ගේ නිවාඩුවත් එක්ක මේ දවස් ටික වෙනදාට වඩා කාර්ය බහුල වුනා , ඒ නිසාම සොඳුරු සුව අසපුව හැමෝටම විවෘත කරල තිබුණත් අළුතින් යමක් එක් කරන්නට වෙලාවක් ලැබුණෙ නැති තරම් , ඒත් ලද සුළු මොහොත අළුත් ලිපියකට යොදා ගන්නට අදනම් ඉඩක් ලැබුණා , අද ලිපියට මුල් පද සොයාදුන්නේ අර කිමිදිල්ලෙන් , ඒ කිව්වේ , අපිට වතුර ඇතුලෙදි යාන්තමට බොඳ වෙලා වගේ පෙනුනේ වතුරෙ තිබුණු කැළඹුණ ගතිය නිසානේ , ඒත් සාමාන්‍ය ගොඩබිමේදිත් එහෙම වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා , ඒ කිව්වේ , කොච්චර හොඳට එළිය තිබුණත් , බොඳු වුනු , අපැහැදිලිව ලොව දකින පිරිසක් , තේරුණෙ නැත්ද මන්දා , මේ කියන්නේ එක්තරා ලෙඩක් ගැන , ඒ ලෙඩේදි පෙනීම දුර්වල වෙනවා , .....මොකක් ගැනද මේ කියන්නේ ....! “
ඔව් ඔබ හිතුව හරි , ඇසේ සුද ගැන තමයි අද අපේ කතාව ,
අපි දන්නවනේ ඇහැ වැඩ කරන්නේ කැමරාවක් වගේ , ඒ කිව්වේ කැමරාවේ aperture වගේ ක්‍රියාත්මක වන ඇහේ Pupil එක ඇතුලෙන් ගමන් කරන ආලෝක කිරණ , ඊට ඇතුලින් තියෙන Lens එකෙන් ගිහින් ඒ කිරණ හැරලා ආපු දේ රූපයක් , , ප්‍රතිබිම්භයක් වගේ Retinaව කියන තිරය මත වැටෙනවා , දැන් මොකද වෙන්නේ , රෙටිනාවේ තියෙන ස්නායු සෛල තන්ගේ ඇඟට වැටුනු “රූපේ“ ගැන පණිවිඩයක් මොළයට යවනවා , දැන් මොළය ඒ ඒ කිරණ වල වර්ණ , කම්පනය ආදිය හඳුනගෙන , ඒ එක්කම පරණ මතකයන් එහෙමත් අවුස්සල කියනවා “මේ දැක්කේ ......“ මොකක්ද කියන එක ..ඔය විදියට තමයි අපිට යමක් පේන්නේ..ඒ කියන්නේ අපිට යමක් පේන්න නම් , ඒ පේන දේ ඉඳළ ඇහට ආලෝක කිරණ එන්න ඕන , ඊට පස්සේ ඒ කිරණ ඇහැ මැදින් ගිහින් කාචය මඟින් හැඩ ගැහිලා පිළිබිඹුවක් image විදියට රෙටිනාවට වැටෙන්න ඕන ,එයින් පස්සේ ඒ image එක ගැන පණිවිඩයක් මොළයට යන්නට ඕන , අන්තිමට මොළය මේ එන පණිවිඩය විග්‍රහ කරල තමයි දැක්කේ මොකක්ද කියල අපිට “පෙන්වන්නේ“ ....ලොකු කතාවක් , ඒත් එක දෙයක් කියන්න පුළුවන් සාරාංශයක් විදියට , අපිට යමක් පැහැදිලිව පේන්න නම් පියවර කිහිපයක pathway එකක් තියෙන්නේ , ඉන් එකක හරි වෙනසක් ගැටළුවක් ආවොත් “පෙනීම“ කියන සම්පුර්ණ ක්‍රියාවම දුර්වල වෙනවා .
| උඩ ඉන්නේ සාමාන්‍ය ලෙන්ස් එකක් යටින් ඉන්නේ කැටරැක්ට් නිසා අඳුරු වුනු එකක් මේකේ කොටසක් කපල තියෙන්නේ ඇතුලේ තතත්වෙත් තේරුම් ගන්න |
අපි මේ කතා කරන කැටරැක්ට වලදිත් වෙන්නේ , ඇහැ ඇතුලෙ තියෙන කාචයේ “විනිවිද යාමේ හැකියාව“ අඩුවෙන එක . තව විදියකින් කිව්වොත් , මේ ලෙඩේදි ඇහේ කාචේ ඇතුළෙ වළාකුළු වගේ , නැත්නම් දුමක් වගේ පිරෙනවා , ඒකට හේතුවනම් කාචයේ ඇතුලේ තියෙන ප්‍රෝටීන වල වෙනසක් . කොහොම හරි කාචය ඇතුලෙ දුමක් වගේ පිරුණම අර අපි කීව ආලෝක කිරණ වලට , කාචය හරහා නිදහසේ යන්න බැහැ , ඉතින් ප්‍රතිපලේ තමයි රෙටිනාව මතට අපැහැදිලි පිංතූරයක් ලැබීම ...දැන් මොකද වෙන්නේ , “හරියට පේන්නේ නැහැ , බොඳවෙලා වගේ ....“ ඔන්න දැන් ඉතින් ඇහේ සුද කියන තතත්වෙට ඇවිත් .
| බොඳ වීම |
දැන් ඉතින් මේ ජාතක කතාව නෙවිනේ ලෙඩා කියන්නේ , ඇත්තටම කැටරැක්ට් ඇතිවුනු කෙනෙක් කොහොමද මුලින්ම දැන් ගන්නේ තමන්ට ඇහේ සුද මතුවෙනව කියන එක , මුලින්ම කියන හොඳ සාක්ෂියක් තමයි බොඳ වෙලා පේනව කියන එක , ඒක සමහර විට ඔක්කොම බොඳ වෙලා වගේ නැත්නම් කළුවර වෙලා වගේ කියන්නත් පුළුවන් , නැත්නම් පත්තරේ සමහර තැන් බොඳ වෙලා කියවන්න බැහැ කියල කියන්නත් පුළුවන් , මේක ඇහැ ඇතුලේ සුද මතුවීම පටන් ගත් තැනත් එක්ක වෙනස් වෙන්න පුළුවන් , සාමාන්‍යෙයන් වයස්ගත විමත් එක්ක ඇති වන ඇහේ සුදේදි නම් ඔක්කොම බොඳ වෙලා වගේ කියන එක තමයි පොදු ,
| මෙහෙම පේන්නත් පුළුවන් |
ඒත් දියවැඩියාව කාළයක් තිස්සේ තිබිම නිසා ( විශේෂයෙන්ම පාළනයක් නැතිව ) ඇති වන ඇසේ සුදේ දි නම් මේ බොඳ විම ටිකෙන් ටික තමයි හඳුනගන්න පුළුවන් , මේ අය කියන්න පුළුවන් ඇහේ මොකක් හරි පැටලැවිලා වගේ කියල , මොකද ඒ අවස්ථාවේ සුද ඇතිවීම කාචයේ වෙනත් පැත්තක ඉඳල වෙන්න පුළුවන් , මේ අයට රාත්‍රියට එහෙම නැත්නම් සවස් කාළයට අඳුරු වීමත් එක්ක පේන්නෙම නැති තරම් , නැත්නම් යාන්තමට එළියක් විතරක් පේන්න පුළුවන් . වැඩේ කියන්නේ මෙච්චර දෙයක් වුනත් පොඩ්ඩක්වත් ඇහැ රිදෙන්නේ නැහැ , ඒනිසාම “ගනන් නොගෙන ඉන්නත් හිතෙනවා .“
ඒ එක්කම කියන්න ඕන , මේ සුද එන්න වයසට යන්නම ඕන නැහැ , ඇහැට වුනු අනතුරක් , තුවාලයක් නිසාත් ඇහේ සුද මතුවෙන්න පුළුවන් , ඒ විතරක් නොවෙයි , අපි මීට පෙර “නයන නිවන තිත් කොමාව“ ලිපියෙදි කතා කළා වගේ Glaucoma නිසාත් ඇසේ සුද ඇති කරවනවා , තවත් දෙයක් ඇසට අහිතකර විකිරණ වැදුනත් ඒකත් හේතුවක් , දැඩි හිරු රැසේ තියෙන අහිතකර UV කිරණ පවා මීට හේතු වෙන්න පුළුවන් , ඒ නිසා “ඇස් දෙක උස්සන උඩු කිරණේ) ලිපියෙදි කතා කළා වගේ ඒ අවස්ථාවලදි ඇහේ ආරක්ෂාව ගැනත් හිතන එක හොඳයි .
ඒ විතරක් නොවෙයි සමහර විට අළුත උපදින දරුවගේ ඇහේත් සුද මතුවෙලා congenital cataract තියෙන්න පුළුවන් ,
| සුදු බබාටත් ඇහේ සුද |
දැන් ඉතින් රෝග ලක්ෂණේ දැන ගත්තනේ , මේ ලක්ෂණ තිබේනවා නම් වැඩිය පරක්කු නොකර අක්ෂී වෛද්‍යවරයෙක් හමුවෙලා ඇස් පරික්ෂා කරගන්න එක තමයි හොඳම , මොකද සමහර කැටරැක්ට් වර්ග වලදි මාසයක් වගේ සුළු කාළයද සම්පුර්ණ පෙනීමම නැති වෙලා යන්න පුළුවන් , එය ලොකු අනතුරක් . ඒ නිසා මේ අවස්ථාවේ ප්‍රමාද නොවීම වැදගත් . එතැනදි ඔබේ අක්ෂි වෛද්‍යවරයා , ටිකක් ඈතින් තියපු අකුරු තියෙන පෝස්ටරයක් Snellen chart පේන්වල ඒකේ තියෙන අකුරු , නැත්නම් ඉලක්කම් කියවන්න කියාවි , ඒ කිසිවක් පේන්නේ නැත්නම් , ඔහු තමන්ගේ අත ඔබේ ඇස් ඉදිරියෙන් එහා මෙහා චලනය කරලා ඒ ගැන ඔබට පේනවද කියන එක තහවුරු කරගන්නවා ,
| ඇහැ කියවන චාර්ට් එක |
ඊට පස්සේ ඇසට බෙහෙත් බින්දු කිහිපයක් දාල ටික වෙලාවක් ඉන්න කියල , යම් උපකරනයක් මඟින් ඇසේ ඇතුලේ තත්ත්වය ගැන පරික්ෂා කරනව , බය වෙන්න එපා මේක ලොකු වේදනාවක් එන පරික්ෂනයක් නෙවි , ඒත් ඇහේ දෙයක් නිසා තත්තපර කිහිපයක පොඩි අපහසුතාවයක් වේවි , නමුත් ඒ අවසානයේ ඔබේ ඇහේ සුද මතුවෙලාද , ශල්‍යකරමයක් කරන්න ඕනද කියන තොරතුරු වෛද්‍යවරයා ඔබට පවසනවා . දැන් තීරණය කරන්න පුළුවන් ඇසේ ශල්‍යකර්මය කරගෙන නැවත පෙනීම ගන්නවාද , නැත්නම් ඔය විදියටම ගිහින් නොපෙනීයාම දක්වාම ඔන්න ඔහේ ඉන්නවාද කියන එක.
හැබැයි මේ නරක්වුනු කාචය මෙලෙසින් ඉවත් කිරීම හැරෙන්නට , එය දිය කරන්නට යැයි කියා ඇසට විවිධ දියර වර්ග දමන්නට ගිහින් ඇස් කුණු කරගත්තු රෝගීන් අපිට හමුවෙලා තිබෙනවා , ඒ බොහෝ අවස්ථාවල නැවත පෙනීම ගන්නට බැරි තැනටම වැඩ කෙරිලා , ඒක අවාසනාවක් , මොකද ශල්‍යකර්මයකින් හොඳින්ම නිවැරදි කරගන්නට මඟ තිබෙත්දි එවැනි දේ කරගන්නේ අවාසනාවටම තමයි .
| ආයෙත් හිනා වෙන්න |
කොහොමද මේ කරදරෙන් වලකින්නේ කියල ඇහැවුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි , වයස් ගත වීමත් එක්ක එන සුදට නම් කරන්න වෙන දෙයක් නැහැ , එයට මුල් අවස්ථාවෙම හඳුන ගෙන ප්‍රතිකාර ගන්න ඕන , හැබැයි දියවැඩියාව , ග්ලුකෝමාව වැනි රෝග නිසි ලෙසින් පාලනය කරගැනීම මඟින් මේ අනතුර අඩු කරගන්නට පුළුවන් , තව දෙයක් , ඔය උරන සිගරට් එකේ දුම , ඔබට කතාවක් කියනවා , ඒ තමයි මේ බොන සිගරට් එක නිසා දවසක මේ දුම වගේ ඇහේ සුදක් ඇති කරවන බව . ඒ කිව්වේ දුම්පානය මඟින් ඇසේ සුද අවදානම ඉහළ නංවනවා කියල අද සොයාගෙන තිබෙනවා. එතැනදි අක්‍රිය දුම්පානයත් අදාලයි. ඒ වගේම කොළ එළවලු , අළුත් පළතුරු වැනි antioxidant අඩංගු ආහාර , කෑම වේලට එක්කර ගැනීම මඟින් මේ ඇසේ සුද අවදානම අඩු කරගන්නට පුළුවන් බව පර්යේෂකයින් පවසනවා .
එහෙම නම් අසට මේ කතාව මෙතැනින් නිම කරනවා , ආයෙත් ඉඩ ලද විගස තවත් ලෙඩක් දාන්නට බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
සුව සතුට පිරි දිනයක් වේවා ඔබට ..
