“දඩාස් ....“ ..
“මොකද අම්මා ....“ කාමරේ හිටි සුමිත් ඇඳේ ඉඳගෙනම කෑගැහුව ...
“නෑ ...මේ කේතලේ වැටුන පුතේ ..... මං ඒක අස්කරල දාන්නං ...“
“මං අම්මට කියල තියෙනව නේ ඔය උදේ පාන්දර නැගිටගෙන දුක් විඳින්න එපා කියල . මං යන්න ඉස්සර තේ ටිකක් හදාගෙන බොන්න බැරියැ . ....මොකද අම්මේ තාම අතේ අමාරුව තියෙනව වගේද ...?“ කුස්සියට ආපු සුමිත් අම්මගෙන් ඇහුව ..
“ඔව් පුතේ ...උදේට නං අත දිග ඇර ගන්නම බැහැ වගේ ...ඇල්ලුවත් දැනෙන්නෙත් නැහැ ....අනේ මන්ද මෙහෙම ගිහින් මාත් එකතැන් වේවිද කියල ....“
“එදා ඩොක්ටර් කීවනේ අම්මට හරියට බෙහෙත් ටික ගත්තොත් එහෙම කරදරයක් වෙන එකක් නැහැ කියල ...ඒ නිසා ඒව ගැන හිතන්නේ නැතිව හරියට බෙහෙත් ටික ගන්න ..අනෙක දැන් ටිකක් විවේකෙන් ඉන්න ඕන කාළෙනේ .....දැන් ඔය වැඩ ටික නංගිට ටිකක් බාර දෙන්න ...අම්ම පොඩ්ඩක් විවේකෙන් ඉන්න ...“
“ඒ කෙල්ල තාම පොඩි එකී නේ පුතේ ...!“ ....
ඉස්කෝලේ නෝන හැමදාම මුහුණ දෙන මේ සිද්ධියේ එක දවසක් විතරයි මේ ...ඒ වගේම , මේ රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයෙන් පෙළෙන එක් අයෙක් විතරයි , ඒත් මේ වෙනකොට ලෝකේ සමස්ථ ජනගණයෙන් 1-2%ක් පමණ මේ තත්ත්වයෙන් විඳවනවා. එයිනුත් වැඩිම පිරිම කාන්තාවන් , ඇත්තම කීවොත් මේ රුමටොයිඩ් ආතරයිටිස් හැදුනු අයගෙන් භාගෙකට වඩා කාන්තාවන් (තුන් ගුණයක් විතර) , දැන් ඔබ කියාවි මේක ඉතින් වයසට ගියාම හැදෙන ලෙඩක්නේ කියල ..නැහැ , ඕනම වයසකදි මේ අවදානම තිබුණත් අවුරුදු 25-60 වගේ කාළෙදි මතු වීමේ අවදානම හුඟක් වැඩියි , කතාවේ ඉස්සරහට යන්න ඉස්සර වෙලා වැදගත්ම දේ කියන්නම් , මෙය නිකම්ම නිකම අතේ පයේ රැදාවක් කියල නොසලකා හරින්න එපා , මොකද ඔබ නොදැනුවත්වම මේ රෝගයට පුළුවන් , ඔබේ හදවත හපා කන්නට , ඔබේ වකුගඩු දියකරන්නට , ඔබව , ඔබටත් නොදැනම මරණය වෙත ඇඳගෙන යන්නට හැකියාවක් ඇති Rhumatoid arthritis ගැන මීට වඩා යමක් දැනගන්න එක වටී යැයි හිතෙනවා නම් මේ කතාවත් එක්ක රැඳිල ඉන්න , නැත්නම් ඉතින් මෙයින් මිදිල යන්න ....
අදත් ලෙඩේ ගැන වනන්න ඉස්සර වෙලා , තැනේ වනන්න එපායැ ...දැන් අපි හදන්නේ මේ තැන ගැන හඳුනගන්න ... අපි මීට කාලෙකට ඉස්සර කතා කළානේ මේ වෛද්‍ය විද්‍යාත්මක පද බෙදෙන හැටි ...මෙතනදි ආත්‍රයිටිස් හැදෙන්නේ “ආත්‍ර“ + “අයිටිස්“ කියන කොටස් දෙකෙන් , “ආත්‍ර “ කියන්නේ “හන්දි“ කියන වචනේ ..එතකොට ‘ අයිටිස් ‘ කියන්නේ “ප්‍රදාහය“ , ඒ කිව්වේ ඉදිමිලා , රතුවෙලා , වේදනාවක් ඇති වෙන එක ....එහෙම නම් මේ ආත්‍රයිටිස් කියන්නේ හන්දිවල ප්‍රදාහය කියන දේ ....ආතරයිටිස් වර්ග නම් සීයකට වැඩිය තියෙනවා ..ඒ එකකට එකක් වෙනස් වුනත් හැම අවස්ථා වෙම හන්දි වේදනාව පොදුයි ....හැබැයි අපි අද කතා කරන්න හදන රුමැටොයිඩ් ආතරයිටිස් අනෙක් හැමෝටම වඩා විශේෂයි කියන්න පුළුවන් හේතු ගණනාවක් තිබෙනවා , ඒ අතරේ මෙය හිමින් සැරේ වැඩි වන , කාළයක් තිස්සේ පවතින ලෙඩක් වීමත් , මේ වේදනාවට හේතුව ඇඟ ඇතුලෙම සිදුවන වැරදි වැටහීමක් වීමත් , වගේම මේ ලෙඩේදි සන්ධි විතරකින් නොනැවතී හදවත , වකුගඩු වගේ ඉන්ද්‍රියයන් පවා මරා දමන්නට තරම් ප්‍රබල ලෙඩක් වීමත් ඊට හේතු කියන්න පුළුවන් ...
කතාව වැඩි වුනා වගේ ..අපි දැන් පිංතූරයක් බලමු ..
මේ සන්ධියේ තියෙන අස්ථී කෙළින්ම එකට ගැටෙන්නේ නැහැ කියල අපි කීවනේ ..එහෙම වෙන්නේ , අස්ථිය කෙළවරේ පොඩි කැප් එකක් දාල තියෙන නිසා , බොහාම සුමට , ශක්තිමත් Cartilage කියන ව්‍යුහයෙන් හැදුනු මේ කැප් එක නිසා තමයි ඇට කටු දෙකේ ඔළු ගෙඩි නොහැප්පී තියෙන්නේ . ඒ වගේම ඇට කටු දෙකේ ඔළු ගෙඩි දෙක අතරේ පොඩි හිදැසක් හදල ඒක “එන්ජින් ඔයිල් “ වගේ උකූ ලිස්සන සුළු දියරයකින් පුරවල තියෙන්නේ ඇයි කියල අහන්න ඕන නැහැනේ ...ඒ හොඳින් ලිස්සල යන්න , මේ හන්දිය නිදහසේ හරවන්න , නමන්න මේ “තෙල්“ තිබෙන්නම ඕන , ඒ තෙල Synovial fluid කියල නම් කරන්නේ ඒව හදන්නේ Synovial membrane කියන පටලයෙන් නිසා . දැන් ඔය තෙල් පුරවපු සන්ධිව වටෙන් හොඳට වැහෙන්න joint capsule එකක් දාල තියෙන්නේ ...ඊට එළීයෙන් තමා අපි ශක්තිය දෙන , අපි ඇවිදිද්දි අත පය ඇවිද්දවන පේෂි තිබෙන්නේ .... පේෂී ගැන අපි මෙතැනදි ඒතරම් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ . ඒත් මේ මුලින් කතා කළ කොටස් වලින් එකක හරි වෙනසක් ලෙඩවිමක් වුනොත් ඔය හන්දිය රිදෙන්න පටන් ගන්නවා , අන්න ඒ අවස්ථාව තමා ආතරයිටිස් කියල අපි කියන්නේ.
මේ අතරින් අපි මේ කතා කරන රුමැටොයිඩි ආතරයිටිස් වලදි වෙන්නේ අපේ ඇඟේ ඉන්න , අපිව ලෙඩ රෝග වගේ හතුරන්ගෙන් බේර ගන්න පද්ධතිය , ඒ කිව්වේ අපේ ඇඟ ඇතුලේ ඉන්න ආරක්ෂක හමුදාව මේ හන්දියේ ඉන්න Synovial membrane එක ත්‍රස්තවාදි කඳවුරක් කියල වැරදියට හඳුනගන්නවා . දැන් මොකද වෙන්නේ , ප්‍රතිශක්ති කරන හමුදාම තමන්ගේ රාජකාරිය විදියට , මේ synovial membrane එකට පහර දෙනවා . ( මේ වරදවා වටහා ගැනීමට හේතු ගණනාවක් තිබෙනවා , එයින් ප්‍රධාන හේතුව ඊට සම්බන්ධ ජානයක් කියලයි දැනට පර්යේෂකයින් හඳුගෙන තිබෙන්නේ . ) , දැන් මෙතන පොඩි යුද්දයක් වගේ තමයි . අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉන්න හමුදාවයි , synovial පටකයයි සටන ..මේ සටන නිසා මෙතන ඉදිමෙන්න , පටන් ගන්නවා , කැඩෙන පටක කෑලි එක්කම අර තෙල් වගේ දියරයත් වැඩිපුර වැගිරෙන්න පටන්ගන්නවා . මේ සිද්දිය දිගින් දිගටම වෙත්දි මේ හන්දිය ඉදිමෙන්න පටන් ගන්නවා ., සමහර විට ගැටයක් වගේ එළියට මතුවෙන්න තරම් පුළුවන් (rheumatoid nodules) ...වේදනාව දෙන්න පටන් ගන්නවා ...
මේ සටන ටිකෙන් ටික දරුණූ වෙලා , ඊළඟට අපි මුලින් කියාපු “ කාටිලේජ තොප්පිය“ වගේම අස්ථීයත් කඩා දමමින් දියකරන්නට තරම් ලොකු යුද්ධයක් බවට පත්වෙනවා ... ඒ කියන්නේ දැන් නරකම අවස්ථාව ...දැන් මේ සන්ධීයෙන් හරියට වැඩක් කරගන්නට බැහැ .. ඒවිතරක් නොවෙයි ...යුද්දෙට අහුවෙලා අස්ථියත් කැඩිල බිඳිල ගිහින් නිසා මෙච්චර කල් හොඳට දිගට තිබුට ඇට දැන් ඇද වෙලා , නැවිලා ..මෙන්න මේ රූපේ වගේ හැඩේ වෙනම් වෙන්නත් පටන් ගන්නවා ..
මේ නම් ඉතින් ලෙඩේ ටිකක් දුර ගිහින් , අපි දැන් බලමු මේ රෝගය මුලින් හදුනගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියල ...එහෙම වුනොත් යුද්දේ ඇවිලෙන්න ඉස්සර වෙලා නිවාගන්න හරි බැරියැ නේද ? ...
මේ අතරින් අතේ එහෙම නැත්නම් ඇඟිලි වල ඇතිවන හේතුවක් කියා ගන්න බැරි “පොඩි වේදනාව“ මුල්ම ලක්ෂඞයක් විදියට ගන්න පුළුවන් , තවමත් හන්දිය ඉදිමිලා වගේ නොපෙනේනනත් පුළුවන් , නමුත් ඊළඟට ඇඟිළි පුරුක් , එහෙම නැත්නම් අනෙක් සන්ධියක් ටිකක් ඉදිමිණු බවක් හඳුනගන්නට පුළුවන් වේවි ...ඔන්න තව විශේෂයක් තිබෙනවා . සාමාන්‍යෙයන් මේ ඉදිමීම් ඇඟේ දෙපැත්තෙම ,ඒ කිව්වේ දකුණු අතේ ඇඟිලි පුරුක් ඉදිමිලා නම් , ඒ දවස් වලම වම් අතෙත් ඇඟිළි පුරුක් ඉදිමෙන්න පටන් ගන්නවා . ඇඟිළි පුරුක් ගැන කියත්දිත් , පහල හන්දි වලට වඩා අතේ ඉහළ තිබෙන පුරුක් , සන්ධි , වැලමිට වගේ තැන් වැඩි අවදානම් ..
මේ ඔක්කොම ලක්ෂණ නොඑන්න පුළුවන් , ඒත් මුලින් කියපු ලක්ෂණ එකක් දෙකක් දැක්ක ගමන් පවුලේ වෛද්‍යවරයා හමුවට ගිහින් ප්‍රතිකාර පටන් ගන්න එක හරිම වැදගත් ..සාමාන්‍ය පරික්ෂාවකින් , වෛද්‍යවරයාට පොඩි අදහසක් ඇති කරගන්න පුළුවන් රෝග තත්ත්වය ගැන , ඒත් එය තහවුරු කරන්නට තවත් රැධීර පරික්ෂණ කිහිපයක් එක්කම එක්ස්රේ පිංතූර කිහිපයකුත් ගන්නට වේවි . මෙයින් රෝග තත්ත්වය කුමක්දැයි තීරණය කරන වෛද්‍යවරයා ප්‍රතිකාර පටන් ගන්නවා . වැදගත්ම දේ ...මේක අපේ ඇඟේම සිදුවන වැරදි වටහා ගැනීමක් (Autoimmune disease) එකක් නිසා සම්පුර්ණයෙන්ම සුව කරනවා කියල කියන එකක් නැහැ . ඒත් ඔබට දිගු කාළයක් බෙහෙත් ගන්න වේවි . , විශේෂයෙන්ම වේදනානාශක . ඒ රෝගය පාලනය කරගෙන විය හැකි අවදානම් වලක්වා ගන්නට .බෙහෙත් ගැන කියත්දි වැදගත් දෙයක් කියන්න ඕන ..ඒ තමයි මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර විදියට දෙන සමහර ඖෂධ පිළිකා සඳහාත් ප්‍රතිකාර විදියට යොදා ගන්නවා ....හැබැයි ඒකේ තේරුම රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ පිළිකාවක් කියන එකනම් නොවෙයි ..නමුත් බෙහෙත් ගනිත්දි දොස්තර මහත්තයගෙන් හරියට අහගන්න ඕන , කන බොන හැටි , පරිස්සම් වෙන හැටි ...මේක ඇඟ ඇතුලේ යුද්දයක් නිසා දෙන බෙහෙතුත් ඒකට හරියන්න එපායැ නේද ....දැන් මේ නැවතත් කියන්නේ , දෙන බෙහෙත ගැන හරියට දැන ගෙන නිවැරදි විදියට ගත්තොත් වැඩි කරදර නැතිව ලෙඩේ පාළනය කරගන්න පුළුවන් .
ඖෂධ ප්‍රතිකාර පමණක් මදිනම් දැන් ශල්‍යකර්මත් කරන්නට පුළුවන් ..ඒත් එමඟින් කෙරෙන්නේත් ලෙඩේ නරක පල විපාක අඩුකරල දෙන එක තමයි ....මේ බෙහෙත් වලට අමතරව ඔබේ වෛද්‍යවරයා ඔබට භෞතචිකිත්සීය ප්‍රතිකාර වලටත් යොමු කරාවි , අපි කියන්නේ ඉස්පිරිතාලේ එක්සයිස් කාමරේ ..අන්න ඒකට ගිහින් ව්‍යායාම , තැවීම් වගේ ප්‍රතිකාර කරගන්නත් වේවි .. මේ ප්‍රතිකාර වගේම හොඳ පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීමත් , ඒ කිවේ මේ දවස් වල කන්න හිතෙන්නේ නැහි වුනාට , තේරුම් අරගෙන හොඳට කන්න බොන්න ඕන ...ඒ එක්කම ලෙඩ වෙච්ච සන්දියට පොඩි rest එකක් දෙන එකත් වැදගත් ..
මේ කරුණූ කාරනා හරියට නොකර ගත්තොත් වෙන්න පුළුවන් දේවල් මොනවද ...අත පයට වෙන දේවල් කීවනේ ...ඊට අමතරව කොඳු ඇට බිඳිලා එක්තැන් වෙන්න , හෘදයේ තුවාල හැදිල බොහොම අවාසනාවන්ත තත්ත්ව වලට මුහුණ දෙන්න , පෙනහළු තුවාල වෙලා අර කාසේ ලෙඩ්ඩු වගේ ( ඒ කිවේ ප්‍රතිකාර නොගන්න ක්ෂය රෝගීන් වගේ ) .....ඒ විතරක් නොවෙයි සමහර විට අතපය කපල ඉවත් කරන්නත් වෙන්න පුළුවන් ......පොඩ්ඩක් ඉන්න කළබල නැතිව . මේ හුඟක් දේවල් වෙන්නේ බෙහෙත් හරියට නොගෙන හිටියොත් .. .ඒනිසා සොඳුරු සුව අසපුවේ සහෘද ඔබ මේ පණිවිඩය ඔබේ ඥාතියට , මිතුරට හරියට ලබා දුන්නොත් මම හිතන්නේ නැහැ ලෙඩේට බෙහෙත් නොගෙන ඉඳීවි කියලා ...