2014/08/06

මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් !

 පෙර ලිපිය ලියා මාසයකට ආසන්න කාළයක් ගත වුනත් , තවත් ලිපියක් එක් කරන්නට අවසථාවන් ලැබුණත් , සුදානම් වුනත් එය මොහොතෙන් මොහොත කල් යවන්නට හිත පෙළඹවන්නට තරම් , මානසික පීඩාවක් ඇති කරවන්නට සමත් වූ , සිංහල බ්ලොග් පාඨකයෙකුගේ “සත්කාර්යය“ පිළිබඳවයි අද දවසේ කතාව.



පිංතූරය www.blacknbougie.com
කෙනෙකුට හරසුන් දෙයක් ලෙස හැඟෙන්නටත් පුළුවන් , නමුත් අවශ්‍ය තැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතු යැයි හැඟෙන නිසා මම සටහන ලියමි. සටහන  තුලින් කිසිවෙකුගේ සිත් රිදවීමක් අපේකෂා නොකරන අතර , අදාල “සත්කාර්යය“ කරන පාඨකයා මෙය කියවන නිසා ඔහුට හෝ ඇයට වටහා ගත හැකි තරමින් සරළව ලියන්නට උත්සාහ කරමි.

සත්කාර්යය කුමක්ද ?  පසුගිය දින කිහිපය පුරා දිනපතාම , සොඳුරු සුව අසපුව සහ ඊට සබැඳි බ්ලොග් පිටු වෙත ,  එකම අර්ථයක් ඇති ප්‍රකාශයක් යොමු වීම .

මොකක්ද මේ  අසාමන්‍ය ප්‍රකාශය ?

“Anonymous has left a new comment on your post

“දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ.වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්.ඒ වගෙම මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?“

බැලූ බැල්මට කිසිම වැදගත්කමක් නැති ප්‍රකාශයක් ලෙස පෙනුනත් , එය තුල සැඟවුනු යම් අරුතක් ඇති බව කියැවෙන නිසාවෙනි අද දවසේ ලිපිය මේ ගැන කතා කරන්නට අරමුණු කළේ.

දන්නවනේ , සොඳුරු සුව අසපුවේ ලිපි කෙටි කතා නොවන බව , එ් ආකරයෙන්ම , අදත් මුල ඉඳළම කතාව පටන් ගන්නයි දැන් මේ හදන්නේ .

මොනවද මේ බ්ලොග් ? 
අන්තර්ජාලය තුල සටහන් කෙරෙන , සටහන් පොතක් , දිනපොතක් හෙවත් Web log එකක් , බ්ලොග් එකක් බවයි සරළ හැඳින්වීම . එය වෙනකෙකුට කියවිය , ශ්‍රවණය  කළ නොහැකි අතිශ්‍ය පෞද්ගලික ලෙස පවත්වා ගෙන යන්නේ නම් ඇත්තටම එය දිනපොතක් , දිනපතා , නැත්නම් වරින් වර සටහන් එකතු වන විද්‍යුත් දිනපොතක් . නමුත්  , එය තවත් පාඨකයන්ට , ශ්‍රාවකයන්ට බෙදා ගත හැකි පරිදි විවෘතව පවතින්නේ නම් එය “දිනපොතක්“ කියන සංකල්පයට වඩා ඉදිරියට ගමන් කරනවා.  අද වන විට අන්තරාජාලය පුරා බිලියන ගණනක බ්ලොග් නිර්මාණය වී පවතිනවා .

කවුද මේව ලියන්නේ ? 
පෙර පාසල් වයසේ දරුවන්ගේ ඉඳළ ලෝකයේ ඉහළම මට්ටම් විද්‍යාඥයින් දක්වා සියලු මට්ටම් වල රසිකයින් මේ බ්ලොග් පරිසරය තුල බ්ලොග් ලියමින් සිටිනවා. හුදෙක් විනෝදය පමණක් නොවේ , වෙළඳ අරමුණු ඇති , විිවිධ දේශපාලනික මතවාද , කළාව , විද්‍යාව ගැන වගේම , විවිධ සමාජ පර්යේෂකයින් පවා මේ බ්ලොග් පිටු පවත්වාගෙන යනවා. මම මෙතැනදි කතා කරන්නේ සිංහල බ්ලොග් ගැන පමණක් නොවෙයි. ලොව පුරා සියළු භාෂා වලින් පවතින බ්ලොග් සටහන් පිළීබඳවයි.

ඇයි බ්ලොග් ලියන්නේ ? 
විවිධ අරමුණූ ඇතිව , අයෙක් තමන්ගේ පාළුව කාන්සිය මකා ගන්නට ලියනව වෙන්නත් පුළුවන් . තවත් අයෙක් , තවත් ප්‍රජාවකට පීඩාව්ක ඇති කිරීමේ අරමුණෙන් ලියන්නත් , වෙන අයෙක් තම නිර්මාණශිලීත්වය නිදහසේ ලොවට යොමු කරන්නටත් මේ මාධ්‍යය යොදා ගන්නවා ඇති. ඔය වගේ විවිධ අරමුණ , අපේක්ෂා මත ලොව පුරාම මේ බ්ලොග් බිලියන ගණනත් සක්‍රියව පවතිනවා අද වන විට.

එතකොට සොඳුරු සුව අසපුව කියන්නෙ ?
ඔව් , සොඳුරු සුව අසපුව කියන්නේ තවත් සිංහල බ්ලොග් පිටුවක් , සිංහල යුනිකේත හඳුන්වා දුන් ශ්‍රී ලාංකික තරුණ තාක්ෂණවේදීන්ට ස්තුති වන්නට , සිංහලෙන් අකුරු කෙරෙන තවත් බ්ලොග් පිටුවක්. මූලිකව සෞඛ්‍ය සහ ඒ සම්බන්ධ මාතෘකා ගැනත් , ඉන් අමතරව ලොවට සුන්දර වූ විවිධ මාතෘකා ගැන කතා කරන්නටත් නිදහසේ ලියන්නට  blogger ගෙන නොමිලේ ලැබෙන අන්තර්ජාල ඉඩහසර යෙදා ගත් සිංහල බ්ලොග් සටහනක් ,( අද වාර්ෂිකව මුදල් ගෙවමින් පවත්වාගෙන ගියත් ) . ඇත්තෙන්ම මෙහි මුල්ම අරමුණ වුනේ , මගෙන් දුරස්වන “මගේම සිසු දරුවන් පිරිසකට“ දුර ඈත රටක ඉඳගෙන හරි , තව දුරටත් යමක් කියා දීම වුනත් , පසුව ඒ අරමුණ ඊට වඩා ටිකක් පුළුල් කරන්නට හේතු වුනේ මා ප්‍රිය මිතුරු මිතුරිය ඔබගේ දිරි ගැන්වීම් නිසාමයි. මේ ගැන “මා ගැන “ පිටුවේ http://www.nursinglk.com/p/blog-page_19.html සටහන්ව ඇති නිසා නැවත ලියන්නට අවශ්‍යතාවයක් නොවන බව දනිමි.

එතකොට , මේ පිටුවට ලියන්නෙ “දොස්තර “ කෙනෙක්ද ?
නැහැ , මේ පිටුව තුල අඩංගු සියළුම ලිපි ලියැවුනේ , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල මාණ්ඩලික හෙද නිලධාරියෙක් ලෙස ලියාපදිංචිය , වෘත්තීමය නෛතික බැඳීමක් ඇති හෙද නිලධාරිවරයෙක්. මේ පිළිබඳව බොහොම විවෘතව “මා ගැන “ පිටුව තුල මෙන්ම , විවිධ ලිපිතුලද මා වරින් වර සටහන් තබා ඇති බව මතකයේ ඇත.

වෛද්‍යවරයෙක්ට  හැර වෙන අයට අයිතියක් තියෙනවද “ලෙඩ රෝග“ ගැන ලියන්න.?
බ්ලොග් කියන්නෙ බොහොම විවෘත මාධ්‍යයක් , ඕනම කෙනෙක්ට ඕනම මාතෘකාවක් ගැන ලියන්න පුළුවන්. ඒත් යම් විෂයානුබද්ධ මාතෘකාවක් ගැන ලියැවෙනවා නම් , ඊට අදාල විෂයානුබද්ධ සහ ප්‍රායෝගික දැනුම ඇති අයෙක් එය ලියනවා නම් එහි සාර්ථක බව සහ පරිණත බව වැඩියි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා සම්බන්ධ මාතෘකාවක් ගැන කතා කරත්දි මේ තත්ත්වය හුඟක් වැදගත්. නමුත් එයින් කියැවෙන්නේ නැහැ , “සෞඛ්‍ය ගැන “ ලිපි/ බ්ලොග් ලිවිය හැක්කේ /යුත්තේ වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක්ම පමණක් බව. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඕනෑම වෘත්තිකයෙකුට ( නියමිත සිද්ධාන්ත / ප්‍රාෙයා්ගික පුහුණූව සම්පුර්ණ කළ සහ විෂයානුබද්ධ අත්දැකීම් ඇති) සෞඛ්‍ය ගැන ලෙඩ රෝග ගැන කතා කරන්න , ප්‍රජාව දැනුවත් කරන්නට ආචාරධර්මානුකූල වගේම නෛතික අයිතියකුත් , ඊට වඩා වගකීමකුත් තිබෙනවා. උදහරණයක් විදියට ඖෂධවේදීයෙක් , යම් ඖෂධයක් ශරීරය පුරා ක්‍රියාත්මක වන ආකාරය, රෝග තතත්වය සුව කරගන්නට උපකාර කරන විදිය වගේම , සිදුකරන අහිත කර ප්‍රතිපල ගැනත් ප්‍රජාව දැනුවත් කළ යුතු වෙනවා. වෘත්තීය චිකිත්සකවරයාට පුළුවන් , අදාල වූ රෝග තත්ත්ව , පවතින ප්‍රතිකාර සහ ඊට අදාල කරුණූ ගැන දැනුවත් කරන්නට. (බ්ලොග් පැත්තෙන් උදාහරණ ලෙස කිහිපයක්  http://thesportsphysio.wordpress.com/ , http://atyourcervix.blogspot.ca/)

අවාසනාවකට අපේ රට තුල “සියල්ල බදාගත්“ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුනත් , සෞඛ්‍ය අතින් ඉහළ මට්ටමේ ඇති රට වල “සෞඛ්‍ය සේවාව “  කියන්නේ “බදාගත් සේවයක්“ නොවෙයි , එය වෘත්තීන් කිහිපයක් අතරේ බෙදා ගත් සේවාවක්, ඒ සියල්ල නිසි ලෙස එක්වී team work එකක් විදියටයි රෝගියාට ප්‍රතිලාභ ලබා දෙන්නේ. අන්න ඒ කණ්ඩායම් සංකල්පය තුල මේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීමේ කර්තව්‍ය අදාල සියළු වෘත්තිකයන්ට පැවරෙන වගකීමක්. 

සොඳුරු සුව අසපුව ලියන මම , රජයේ හෙද විදුහලක , වසර තුනක කාළයක් සිද්ධාන්තමය සහ ප්‍රාෙයා්ගික විෂයයන් තිහකට වඩා අධ්‍යයන කර , අදාල පරික්ෂණ සමත්ව , ඊට පසුව ලංකාවේ පවතින ක්‍රමවේදය මත “ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල“ ලියාපදිංචිය ලබන්නේ . ඊට අමතරව , වසර දොළහකට වඩා වැඩි සේවා කාළය තුල  , දේශීය වගේම විදේශීය වශයෙනුත් ලබා ඇති පුහුණු ඔස්සේ ලැබුණූ දැනුම සහ පන්නරය මත , සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. කැනඩා දේශය තුලදී මා ලද පාඨමාලාවන් නිසා  , නවතම සෞඛ්‍ය දැනුම එකරැස් කරගන්නට ලැබීම වාසනාවක් ලෙස දකින්නට කැමැත්තෙමි. සොඳුරු සුව අසපුව තුල ලියවෙන ලිපි තුල , සාම්ප්‍රදායික දැනුම මෙන්ම , ඒ නවතම සෞඛ්‍ය දැනුමද මුසු කරලන්නට මම හැම විටම උත්සාහ කළෙමි.

දිගු ලිපියක් ලියන්නට පෙරවදන් දුන් “ප්‍රකාශනයට“ පිළිතුරු ලියන්නට පෙර එකක් කිව යුතුය . එනම් “සෞඛ්‍යය , ලෙඩ , බෙහෙත් “ යන මාතෘකා , එක් බමුණු කුළයකට පමණක් අයිති වන ලෙස බ්‍රහ්මයා මවා දුන් දේ නොවේ , එය සියල්ලට අදාල මාතෘකා වන අතරේ ඒ ගැන දැනුවත් කිරීමේ මූලික වගකීම රටක සෞඛ්‍ය වෘත්තීක කණ්ඩායමට භාරවේ . හෙද නිලධාරිවරයෙක් ලෙස මගේ වෘත්තිය දිශාවෙන් ඇති වගකීම , ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ Internatioanl Nurses Council අර්ථදැක්වීම ඔස්සේ ගෙනහැර පාන්නට කැමැත්තෙමි.

DEFINITION OF NURSING
Nursing encompasses autonomous and collaborative care of individuals of all ages, families, groups and communities, sick or well and in all settings. Nursing includes the promotion of health (සෞඛ්‍ය ප්‍රවර්ධනය) , prevention of illness (රෝග වලක්වා ගැනීම), and the care of ill(රෝග සත්කාරය), disabled and dying people. Advocacy (උපදෙස් ලබා දීම) , promotion of a safe environment(ආරකෂිත පරිසරයක් ලබා දීම) , research (පර්යේෂණ) , participation in shaping health policy (සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමට දායකවීම) and in patient and health systems management (සෞඛ්‍ය පද්ධති කළමණාකරණය , and education (සෞඛ්‍ය අධ්‍යාපනය ) are also key nursing roles.
(http://www.icn.ch/about-icn/icn-definition-of-nursing/)

දැන් අදාල නිර්ණාමික ප්‍රකාශය වෙත කරුණූ දක්වන්නට කැමැත්තෙමි.
  • දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?
රෝග විනිශ්චය යනු , සංකීර්ණ පියවර රැසක ප්‍රතිපලයකි, පුද්ගලයෙක්ගේ සායනික /කායික හෝ මානසිකව පවතින අසාමාන්‍යතාවන් , සහ ප්‍රමාණයන් පිළිබඳ තක්සේරු කොට යම් තීරණයක් ලබා දීම ලෙස ඉතා මතු පිටින් එය හඳුන්වා දිය හැකි අතර සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක මේ කාරණා සම්පුර්ණ කර “රෝග විනිශ්චයන්“ ලබා දී නැත . මා කර ඇත්තේ යම් රෝග තත්ත්වයක් පිළිබඳව විස්තරාත්මක සහ සාමාන්‍ය ප්‍රජාවට දැනගත යුතු සහ තේරුම් ගත හැකි මට්ටමේ පැහැදිලි කිරීම් පමණි.
  • හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ
එසේය , හෙද නිලධාරියා කරන්නේ හෙදකම සැපයීමයි , නමුත් හෙදකම සැපයීම යනු හුදෙක් බෙහෙත් පෙත්තක් කටට දැමීම හෝ තුවාලයකට බෙහෙත් දැමීමක් පමණක් නොවන , ඊට වඩා සංකීර්ණ ක්‍රියාදාමයකි. අවාසනාවකට අපේ රටේ ඇති හෙද හිගය සහ තවත් හේතු නිසා ඒ සංකීර්ණ හෙද ක්‍රියාදාමය (Nursing Process) සාමාන්‍ය ප්‍රජාවට හඳුනාගැනීමට අවස්ථාවක් නැති වීම මෙන්ම ඒ පිළිබඳව ප්‍රජාව තුලට අවබෝධයක් ඇති කරවන්නට පෙළඹවීමක් හෙද වෘත්තිකයන් තුලද පෙනෙන්නට නොවීම “බදාගත් සෞඛ්‍ය සේවයක්“ බිහිවීමට හේතු ලෙස මම දකිමි. ඉහත දක්වා ඇති සියළු කාර්යයන් හෙදිය සතු වගකීම් වන නිසා නැවත ඒ ගැන ලියන්නට උත්සාහ නොකරමි.

  • වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?
වෛද්‍ය විද්‍යාව යනු දිනපතා දියුණූ වන , පර්යේෂණ කෙරෙන විෂය ක්ෂේත්‍රයකි. ඒ නිසා යම් රෝග තත්ත්වයක් පිළිබඳව අද ලියන දේ හෙට වන විට වෙනස්වී තිබෙන්නට පුළුවන්. ඒ නිසාම ලෙඩ රෝග ගැන ප්‍රජාව දැනුවත් කිරීමේදි , අදාල අළුත් දැනුම ලබා දිම වඩා ඵලදායී වේ. ඒ නිසාම නොව , ඕනෑම රෝග තත්ත්වයක් ගැන සටහනක් , පොතක් ලිවීමේදි සියල්ලන් ආශ්‍රිත ග්‍රන්ථ ඇසුරු කිරීම ,නව පර්යේෂණ පිළිබඳව පුදුමයක් නොවේ , , එසේ නොමැතිව සාස්තර කියන්නා සේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීම , වගකීමක් ඇති සෞඛ්‍ය වෘත්තිකයෙක් කරන්නේ නැත. 

මේ සටහන ලිවීමේදී මාද පර්යේෂණ ග්‍රන්ථ ඇසුරු කරමි (එ් පොත්පත් , වෙබ් අඩවි පිළිබඳව “මා ගැන පිටුවේ සඳහන් කර ඇත) , අදාල රෝග තත්ත්වය පිළිබඳ , ඊට අදාල ඖෂධ වල නවතම පර්යේෂණ වල අළුත්ම තොරතුරු විමසා බලමි . ( විශේෂයෙන්ම සායනික පර්යේෂණ ක්ෂේත්‍රය තුල වෘත්තියේ යෙදෙන මගේ බිරිඳගෙන් ඊට ලැබෙන සහය මා නිබඳ අගය කරමි) . සොඳුරු සුව අසපුව තුලට ලිපියක් එන්නේ මේ සියල්ලම එක්වූ පසුවයි , එසේ නොමැතිව හෙද විදුහල තුල විශේෂඥ වෛද්‍යවරයා කියා දුන් කරුණූ , නැත්නම් හෙද ආචාර්යවරයා ලබා දුන් සටහන් පමණක් මේ සඳහා පාදක කරගන්න්ට තරම් නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම මගේ ආකෘතියයි. ඒ නිසා නවතම විෂය කරුණු , ප්‍රාෙයා්ගික සේවය තුල ලබා ගත් දැනුම සියල්ල මුසු කිරීමෙන් ලියැවෙන ලිපියකි සොඳුරු සුව අසපුවට එකවන්නේ.

  • මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?
සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක , මේ සියළු කරුණු හිස්මුදුනින් පිළීගත යුතුයැයි සඳහන් කොට නොමැත්තෙමැයි . මා දැනගත් කරුණූ , අකුරු ගොඩක් කොට ලිපියකට එක් කළත් එය විවෘතය. එහි නිවැරදිභාවය සොයා ගන්නට ක්‍රම කෙතරම් ඇත්ද ? ලියැවි ඇති රෝග තත්ත්වය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබෙ පවුලේ වෛද්‍යවරයා හමු වූ විටෙක එය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව ඇත. ඊට අමතරව පුස්තකාළය වෙතින් ලබා ගත් වෛද්‍යාත්මක කරුණූ අඩංගු පොතක් කියවන්න ඉඩක් වෙන් කරගන්නට පුළුවනි. එසේත් නැති නම් ලෙඩරෝග ගැන ජාත්‍යත්තරව පිළිගත් වෙබ් අඩවි ගණනාවක් ඇත . එවන් ලොව පිළිගත් වෙබ් පිටුවක් ඔස්සේ පැන නැගි ගැටළුව විසඳා ගන්නට අද ඔබට අවස්ථාව පවතී.
  • මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්
  • මේ ප්‍රකාශය පිළිබඳව මම තීරණය කරන්නට උත්සාහ නොකරමි . ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙමි . සොඳුරු සුව අසපුව ඔස්සේ වසර තුනකට වඩා වැඩි කාළයක් ඔබ සමඟ කළ කතා බහ නිසරු යැයි ඔබට හැඟේ නම් පවසන්න , නිසරු වෙනම් , තවත් කාළය කා දමමින් දරු පැටවුන් සමඟ සතුටින් ගත කළ යුතු කාළය අන්තර්ජාලය ඉදිරියේ සිංහල අකුරු අමුණන්නට තවත් උත්සාහ කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. 
    එසේ නිමා කළත් මම සතුටින් මේ සටහන නිමා කරමි , ඒ සතුටට හේතුව නම් , සිරි ලංකාවේ කම්කරුවාගේ සිට මිිලියනපතියා දක්වා එක්වී , නිදහස් අධ්‍යාපනය ලෙස මට ලබා දුන් වටිනාකම , උපන්  දේශය තුල මගේ වෘත්තිය කරන කාළ සීමාවේ දී හැකි පමණ සාධාරණව කරමින් ප්‍රතිලාභ ලබා දෙන්නට උත්සාහ කළෙමි , ඒ පිළිබඳව මම සතුටු වෙමි. වෘත්තිය අරගල කෙතරම් තිබුණත් , එදා මට මගේ ඒකකය , රෝගීන් වෘත්තීය අරගල වෙනුවනේ බිල්ලට ගන්නට සිත නොනැමිණි , එය සතුට හැඟිමකි. සනීපාරක්ෂක කම්කරුවාගේ සිට , විශේෂඥ වෛද්‍යවරයා දක්වා සියළු කණෟඩායම් සමඟ වෘත්තීය බැඳිමෙන් , මිත්‍රත්වයෙන් , රජයේ නීති රීති වලට අදාල කාළ සීමාව තුල සේවය කරන්නට හැකිවීමම සතුටක් ලෙස විඳිමි.
    ලෙඩ රෝග වලට , ජීවිත වලට හොඳ “මිලක්“  නියම කරන අද දවසේ , උපන් රටින් එපිට සිට උපන් රටේ බසින් ලෙඩරෝග ගැන කතා කරන්නට කළ උත්සාහය පිළිබඳ මෙතෙක් ආ දුර පිළිබඳ සතුටු වෙමි . ඒ වෙනුවෙන් මා සමඟ එකවූ , දිරිමත් කළ ඔබ සැමගේ මිත්‍රත්වය පිළිබඳ සතුටු වෙමි.
අවසානය , ඊරිෂ්‍යාව පොදු මිනිස් ලක්ෂණයකි, එය පාළනය කර ගන්නට තරම් උසස් හැකියාවක් නැති , නිර්නාමිකයෙකු ලෙස මේ ප්‍රකාශය යොමු කළ මිතුරා හෝ මිතුරිය වෙත යමක් පවසමි. මේ වැඩේ වැරැද්දක් ඇත්නම් , මට අයිති දෙයක් නොවේ නම් , මේ පිළිබඳව නිර්ණාමික ඔබට පෙර අදහස් දක්වන්නේ , සොඳුරු සුව අසපුව සටහන සමඟ නිරන්තරයෙන් එක්වන හිතමිතුරු , වෛද්‍ය නිළධාරින්ය වෛද්‍ය සිසුන්ය . නමුත් මේ වසර තුන පුරාවට මා දිරි ගැන්වීමක් මිස , බාධාවක් කරන්නට ඔවුන් නම් පෙළඹූනේ නැත. 

එමෙන්ම, මෙය වැරැද්දක් නම් ඒ  පිළිබඳව පැමිණිලි කරන්නට නීත්‍යානූකූල ආයතන රට තුල පවතී ශ්‍රී ලංකා හෙද සභාව , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ ආයතනයි . ඔබට මෙන් මට සැඟවෙන්නට අවශ්‍යතාවක් නැත. මගේ තොරතුරු සියල්ල විවෘතව “මා ගැන “ පිටුවේ සටහන් තබා ඇත. ඔබ  , ඔබට හැකි දේ කරන්න ,මා මගේ හැකියාවේ තරමට යමක් කළෙමි , නමුත් සොඳුරු සුව අසපුව බ්ලොග් සටහනනේ කිිසිඳු තැනෙක ලෙඩ රෝග විකුණාගෙන කෑමේ  හෝ වෙනත් වාණිජ පරමාර්ථ නොතිබිණු අතර එවන් ආයතන / පුද්ගලයන් වෙත පහර ගසන්නටද උත්සාහ නොකළෙමි. මෙය හුදෙක් නිරාමිස සතුටක් වෙනුවෙන් ලියැවුනු තවත් එක් සටහනක් පමණි.

සොඳුරු සුව අසපුව කියවන , කියවු බුද්ධිමත් පාඨක ඔබ වෙත නැවත ඔහුගේ / ඇයගේ ප්‍රකාශය යොමු කරමි , “ මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් “  මේ පිළිබඳව ඔබේ අදහස සටහන් කරන්නට ඔබට යෝජනා කරමි , මෙතෙක් කිසිදා කොමෙන්ට් කරන්නට ඉල්ලීම් නොකළත් , අද ඒ සඳහා ඔබට ආරාධනා කරමි . 

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !