2013/10/10

146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1

අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්‍රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .
පිංතූරය ගත්තේ www.boston.com පිටුවෙන් 


පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ ...., අද මේ කතාවට මූලික හේතුව , ෆේස්බුක් එක පුරා , ඒ වගේම විවිධ මාධ්‍ය ඔස්සේ , “පිළිකා සුව කරන බව කියන“ , විවිධාකාර “මැජික්කරුවන් “, “දොස්තර “ නම් භාවිතර කරන්නන් ,  අන්ධ භක්තියන් මුලා කරන “පුජකයන්“  පිළිබඳ අසන්නට , දකින්නට ලැබීම නිසා .මේ සියල්ල දකිමින් , අසමින් , තවත් අත , කට පියාගෙන ඉන්න එක , යම් අයෙක්ට , විශේෂයෙන්ම , “පිළිකා රෝගයකින් පෙළෙන රෝගියෙක්“ , සමහර විට , රෝගියාගේ ඥාතීන් වගේ කෙනෙකුට  අසාධාරණයක් නේද කියල හිතෙන නිසාමයි මේ අළුත් ලිපිය ලියැවෙන්නේ. 

 වෘත්තීය ජීවිතයේ , වැඩිම සතුටකින් රාජකාරි කළ ඒකකය වන කරාපිටිය රෝහලේ , පිළිකා (වෛද්‍ය/ශල්‍ය/ළමා) ඒකකයේ සේවය කළ වසර හතකට ආසන්න කාළය තුල , සිද්ධාන්තමය වශයෙන්ම වගේම , ප්‍රතිකාර කටයුතු වලදි ප්‍රායෝගිකව ලද අත්දැකීම් , මේ පිළිබඳ විශේෂඥයන් වෙතින් ලබා ගත් දැනුම වගේම ,රෝගයෙන් අසරණ වෙලා උන්නු , රෝගීන් සහ , ඔවුන්ගේ ඥාතීන් එක්ක ළඟන් කටයුතු කරත්දි ලැබුණු , මිළ කළ නොහැකි අත්දැකීම් යන සියල්ල ඔස්සේ තමයි ලිපිය කැටි කරන්නට උත්සාහ කරන්නේ , 
දැනට හිතේ තියෙන සැලසුමේ විදියට මේ මාතෘකාව , කොටස් කිහිපයක් ඔස්සේ ලියන්නට වේවි , සමහර විට මෙගා නාටකයක් වගේ වේවිද දන්නේ නැහැ ...


  • මුලින්ම පිළිකාවක් කියන්නේ මොකක්ද , ඒවායේ පොදු ලක්ෂණ මොනවද කියල කතා කරන්නයි හිතාගෙන ඉන්නේ , 

  • ඊළඟට , එහෙම පොදු නොවන , ඒත් දැන ගන්න ඕන සැක කළ හැකි ලක්ෂණ ගැන කතාවක් 
  • එයින් පස්සේ , රෝගියාට  පිළිකාවක් තිබෙනවා කියල කියන්න පුළුවන් කාටද , එහෙම කියන්න සාධක කරගත යුතු තීරණාත්මක කාරණා මොනවද කියන එක , 
  • තව තියෙනවා , ඒ තමයි පිළිකාවට බටහිර වෛද්‍ය ක්‍රමය අනුව අද තිබෙන ප්‍රතිකාර , සහ තාක්ෂණයන් , ඒවායේ සංකීර්ණ බව සහ සාර්ථක , අසාර්ථක බව   ,ඒ වගේම ඒ ප්‍රතිකාර ලබා ගැනීමට හරියට යායුතු කවර වෛද්‍යවරුන් ළඟටද ? .....( උදාහරණයක් ,ඕනම බටහිර වෛද්‍යවරයෙක්ම ශල්‍යකර්ම කරන්න පුළුවන් වුනත් ,  ශල්‍යකර්මයක් මඟින් සුව කළ හැකි පිළිකාවක් ඇත්නම් , වඩාත් සුදුසු එහි ශල්‍යය  , පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් මඟින් කරව ගන්න එක  ..ඔහුයි ඒ වෙනුවෙන් විශේෂඥ පුහුණුවක් ලබා තිබෙන්නේ  ) 
  • ඊළඟ නාටකය , පිළිකාවක් සුව කිරීම , පාළනය කිරීම කියන වචන සහ ඒ තත්ත්වයන් අගැයුම් කරන හැටි ..
  • එළිවෙන යාමෙට හොඳ හොඳ සෙල්ලම් කියල ...අන්තිම කොටස් වලදි තමයි අමාරුම වැඩේ ...ඒ කියන්නේ “අද ජනමාධ්‍ය මඟින්“ , ෆේස්බුක් වැනි මාධ්‍ය මඟින් , “පිළිකා සුවකරනවා “ යැයි කියා ගන්නා මැජික්කරුවන් කරමින් තිබෙන රැවටිලි  සහ ඒවායේ වෛද්‍යවිද්‍යාත්මක සිංසිද්ධි , සහ මේ වංචාවන්ට හසුවීමේ පලවිපාක ....මේකෙදි කතන්දර කීපයක් කියන්නත් හිතාගෙන ඉන්නවා ( කියන්න නම් ඇත්ත කතන්දර බෝමයි , ඒත් ඉන් කිහිපයක් විතරක් ලියන්නයි ඉන්නේ ) . 
සමහර විට මෙතැනදි කෙනෙක්ගේ හිත් රිදෙන්න පුළුවන් වුනත් , අද ලෝකයේ පිළිගත් , ඔප්පු කළ සාධක අනුව ඇත්ත කතාව කියන්න වෙනවා .
  • අවසන් කරන්න හිතාගෙන ඉන්නේ , පිළිකාවට ප්‍රතිකාර කළ හැකි  බව කියන , වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රම කිහිපයක් සහ ඒවායේ සාර්ථක අසාර්ථකතාවයන් ගැන සංෂීප්තයක් එක්ක , මෙතැනදි නම් ටිකක් විස්තර හොයා බලන්න වෙනවා , මොකද අපේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාත්මක පරිසරයක තිබෙන නිසා , අනෙක් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලට ගැරහීමක් නොකර , අසාධාරණයක් නොකර කතා කරන්න නම් (  නැත්නම් අඩුම අසාධාරණයක් වෙන්න) අදාල ක්ෂේත්‍රෙය් පර්යේෂණ , දත්ත , තොරතුරු හොයල බලන්න වෙනවා . 
අපි උත්සාහ කරමු , ....(වාසනාවට වගේ මේ සති අන්තය දිගු සති අන්තයක් Long weekend ) , අපට පුළුවන් වේවි මේ කතාව ගෙනියන්න මේ ලිපි කිහිපය ඔස්සේ , ....ඒ ඔබේ අදහස් , යෝජනා , චෝදනා වගේම , මේ මාතෘකාවන්ට අදාල දත්ත , තොරතුරු, සිදුවීම් , සාධක සහිත ඇත්ත කතා වගේ දේවල් “සොඳුරු සුව අසපුවත් එක්ක “ බෙදා හදා ගන්න එක්වුනොත් ...


එහෙම නම් , මේ ආරම්භය ...

මුලින්ම අපි පටන් ගනිමු , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳළම ..

පිළිකාවක් කියන්නේ.......

පිළිකාවක් කියන්නේ , යම් සෛලයක පාළක ඒකකයේ (න්‍යෂ්ටියේ )  , හෝ ඊට අනුබද්ධ ව්‍යුහයක (ජාන) සිදුවන , අනපේකෂිත වෙනසක් නිසා , අදාල සෛලය , එහි නිසි පාළනයෙන් තොරව , අසාමාන්‍ය ලෙස , අක්‍රමවත්ව ,  , විකෘති  සෛල අධිකව බිහිකිරීමක් 


හැම ගැටයක්ම පිළිකාවක්ද ? 

මේක බොහෝ විට , ගෙඩියක් , තුවාලයක් ලෙසින් දකින්නට පුළුවන් වුනත් ,  හැම පිළිකාවක්ම ගෙඩියක් විදියට  දකින්නට නොලැබෙන්න පුළුවන් , ඔබ දන්නව , ලේ පිළිකාව නැත්නම් ලියුකේමියාව , අන්න ඒ වගේ අවස්ථාවක්. ඔය අතරෙම කියන්න ඕන , “හැම ගෙඩියක්ම , හැම ගැටයක්ම  පිළිකාවක් යැයි කියන්නට බැහැ , හේතුව අපේ ඇඟේ හැදෙන ගැටිති බොහොමයක් “පිළිකාමය නොවන “ නැත්නම් “අහිංසක“ ගැට Benign tumours  , සමහර විට ඔය අතේ පයේ ගැට වගේ හැදෙනව අපේ හමයට තෙල් තට්ටුවේ සිදුවන වෙනස්කම් ( Lipoma ) නිසා . ඒත් , අපි බෙහොමයක්, “බඩේ ගෙඩියක් , මොළයේ ගෙඩියක් කීව ගමන් හිතන්නේ “ ......“අපොයි පිළීකාවක් ! කියල ..නැහැ , මේ තියෙන්නේ ඒ විදියට පිළිකාවක් වීමේ හැකියාව ගැන අදහසක් ගන්න පුළුවන් සටහනක් , බලන්න , 
  Figure 1


හොඳ “හොඳ“ ගැට තිබේද ? 

එතකොට මේ “පිළිකාමය නොවන අහිංසක“ අය නිසා මොකද වෙන්නෙ , එයාලට මොකද කරන්නට පුළුවන් ? .. අහිංසක කීවට මෙයාල නිසාත් කරදර වෙනවා , උදාහරණයක් , මේ ගැට වලින් එන තෙරපීම නිසා , ස්නායුවක් , ලේ නහරයක් අවහිර වෙන්න , එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරන්න , බාහිර පෙනුම වෙනස් කරන්න , මොළයේ නම් , තාවකාළිකව පැත්තක් හිරි වට්ටන්න , පණ නැති කරන්න  වුනත් පුළුවන් , හැබැයි ........ මෙයා අහිංසක නිසාම , පහසුවෙන් ගලවල (ශල්‍යකර්මයකින්)  , නැත්නම් අකුළල (විකිරණ ප්‍රතිකාරයෙන්)  අයින් කරල දාන්න පුළුවන්.  තව විදියකින් කීවොත් , මේ ගෙඩි , ගැට වලින් ඇති වන ආබාධය ,අපහසුතාවය , සම්පුර්ණයෙන් සුව කරන්නට, එසේ නැතහොත් අවදානම සීමා කරන්නට  පුළුවන්. දැන් ඔය ගැහැණු දරුවන් , කාන්තාවන් හුඟක් දැනුවත් නිසා , “ගැට වැඩියිනේ “ , හැබැයි මේ පියයුරු ගැට වැඩි ප්‍රමාණයක්ම , සාමාන්‍ය අහිංසක ගැටිති , සමහර විට , අනෙකුත් සාධක ගණනාවක් සළකා බලල , මේ අහිංසක ගැටිති , ශල්‍යකර්මයකින් “ගලවල“ ඉවත් කරල දාන්න වෛද්‍යවරයා තීරණය කරන්න  පුළුවන් , එතැනින් ඒ ගැටේ ඉවරයි , 

හැබැයි ඔය ගැට කතාවෙදි මෙන්න මේ සුත්තරේ මතක තියා ගන්න එක වටිනවා ...
මොකක්ද ඒ ...

“හැම ගැටයක්ම පිළිකාවක් නොවුවත්  , පිළිකා විය හැකි ගැට තිබිය හැක“ 

ඒ කියන්නේ , ගැට , ගෙඩි කීව ගමන්ම “පිළිකා“ වචනේ දාගන්නේ නැතිව , එය පිළිකාමය හෝ පිළිකාමය විය හැකි තත්ත්වයේ එකක්ද ? නැත්නම් එය නිකම් අහිංසකයෙක්ද කියල දැන ගන්න , 

ඒ ගැටත් , මේ ගැටත් හැර තවත් ගැට තිබේද ? 
තිබේ , තිබේ ......ඒ කීවේ , පිළිකාවක මේ ගැට ලක්ෂණය තිබෙන්නත් නොතිබෙන්නත් පුළුවන් කියල අපි කීවනේ , මේ විදියට පිළිකාවක මතුවිය හැකි ලක්ෂණ , රෝගියාගේ වයස , පිළිකාවේ වර්ගය , තත්ත්වය , එහි පැතිරීම , වගේ සාධක ගණනාවක් නිසා ලොකු පරාසයක් පුරා විහිද යන්න පුළුවන් . ඒත් ඕනම පිළිකාවකදි බහුලක දකින්න පුළුවන් “පොදු ලක්ෂණ“ කිහිපයක් හඳුනගන්න පුළුවන් .

ඔය අතරින් මුලින්ම තියන්න පුළුවන් දේ තමයි අසාමාන්‍ය බර අඩුවීම , ඒ කීවේ , බර අඩු කර ගැනීම සඳහා යම් උපක්‍රම , ආහාර හෝ ව්‍යායාම චිකිත්සාවක් නොකළත් , මාස තුනක් වගේ ඇතුලත , දැනෙන තරමේ බර අඩු වීමක් , සමහර විට ඇහැට පෙනෙන තරමේ කෙට්ටු වීමක් , තමන්ගේ බර ගැන පොඩි හරි අවබෝධයක් තිබෙනව නම් , මෙහෙම කියන්න පුළුවන් දේහ බරින් 10%ක් විතර අඩුවෙනම නම් ....මේක ටිකක් හොයල බලන්න ඕන තත්ත්වයක් , මොකද පිළිකාවක් පවතිත්දි , එම පිළිකා පද්ධතියේ ( පිළිකා සෛල ගොනුව , සහ ඊට සම්බන්ධ පැතිරීම්) අධීක්‍රියාකාරිත්වය , ඒ සඳහා ශක්තිය වැය වීම  වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන බිඳ වැටීම වගේම  , පිළිකා සෛල තුලින් නිපදවන සමහර රසායනිකයන් ( සයිටොකයිනීස් වැනි) මඟින් මේ කෙට්ටුවීම ඇති කරවන බවට පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. 

එයාට මෙයා උදව් කරනවානේ මෙයා ... 

ඔය පිළිකා සෛල මඟින් නිකුත් කරන රසායනික මඟින් දේහ බර අඩු කරවනවා කීවම , බොහොම උනන්දු වෙන පිරිසකුත් ඇති (බර වැඩිවෙලා අඩු කරගන්න දඟලන අය ...)  , හැබැයි ඔය හිතන වැඩේ හරියන්නේ නැහැ , මොකද මේ රසායනික නිසා , දේහයේ තවත් තැන්වලට ආපදා ඇති කරනවා , විශේෂයෙන්ම , මොළයේ සෛල වලට බලපාමින් අවපීඩනය වැනි ගැටළු පවා ඇති කරවන්නට මේ රසායනික වලට පුළුවන් . 

ඒ වගේම , සයිටොකයිනීස් වගේ , පිළිකා සෛල මඟින් හදන රසායනික , බර අඩු කරවන්න විතරක් නොවෙයි , තවත් දේකට හේතු වෙනවා , ඒ තමයි “කෑම අරුචිය“ ....හේතුවක් නැතිව ( ඒ කීවේ , බබා හම්බවෙන්න ඉන්න මුල් මාස වල සමහර කෑම වලට අරුචියක් එන එක ගැන කළබල වෙන්න එපා , ඒ වගේම සමහර බෙහෙත් බොත්දිත් කෑම අරුචිය එන්න පුළුවන් , ඒව ගැන නොවෙයි මේ කියන්නේ ) කෑම අරුචිය එනවා නම් , ඒ එක්කම අප්පිරියාවක් දැනෙනවා නම් , මේ තත්ත්වය ටික කළක් තිස්සේම තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන එක වටිනවා , මොකද මේ මුලින් කී රසායනිකය නිසාද කියන එක . 

එයාට නොගහ මෙයාට ගහන එයා  

අනෙක් පොදු ලක්ෂණ ගැන කතාවට පනින්න ඉස්සර වෙලා , මෙයා ගැනම ඒ කීවේ මේ සයිටොකයීනීස් (Cytokines)ල ගැනම කතා කරන්න හිතුන තව ටිකක් , මොකද දන්නවද ? ... සමහර බෙහෙත් , එහෙම නැත්නම් බෙහෙත් කියල කියන සංයෝග වල තිබෙන රසායනිකයන්ට පුළුවන් මේ සයිටොකයිනීස් කියන , ඇඟ කෙට්ටු කරවන , කෑම පිරිය නැති කරවන , පිළිකාසෛල විසින් හදන , රසායනිකයට පහර දෙන්න . ( ඔය සමහර “ගුලි“ වල තිබෙන ගංජා නමින් ගමේදි අපි හඳුන්වන “රසායනිකය Canabinoids“ අන්න ඒ වගේ එකක් , ) ඉතින් මේ “බෙහෙත දුන්නම“ මෙච්චර දවසක් ලෙඩා වෙලා හිටපු “පිළිකා ලෙඩා “ ..මෙන්න දැන් පණ ඇවිත් , ...හොඳට කෑම කනවා , කෙට්ටු වෙලා ගිය ඇඟ දැන් ආයෙත් පිරීගෙන එනවා , බර වැඩිවෙලා , ටිකක් ඇඟ පණ ගහල එනවා ..........ඔය ටික දැක්කම දැන් කියනවා , 
“දැන් ලෙඩාගේ පිළිකාව හොඳයි .....මේ ඇස්පනාපිටම දැක්කනේ මගේ බෙහෙතේ වැඩ ....ආයේ ඉතින් මොනාද ..මම තමයි ලෝකෙ ඉන්න , පිලිකා හොඳ කරන එකම කෙනා ......“

හැබැයි හොඳට මතක තියා ගන්න ඕන දෙයක් , ඔය ගුළියේ තිබුණු , බෙහෙතට පුළුවන් එකම දෙයයි , ඒ පිළිකා සෛල වලින් එළියට දාන , “කුණු ටික“ පුච්චන්න විතරයි , ඇත්ත , මේ කුණූ ටික පිච්චුවම , “ගඳ“ අඩුවෙනවා , ඒ කීවේ කෑම කන්න පුළුවන් වෙනවා , බර වැඩිවෙනවා ........ ඒත් “කුණූ හදන ෆැක්ටරිය, පිළිකාව“ තවම වැඩ ....වෙනද වගේ එළියට නොදැනුනත් , ඇතුලේ එයාගේ වැට කොටස කරගෙන යනවා , හේතුව ඒ පිළිකා සෛල වලට පහර දෙන්නට මේ එළීයෙන් දීපු “බෙහෙතට“ බැරි නිසා .

උණ , මද උණ , සැඟ උණ 

පිළිකාවක පොදු ලක්ෂණ කතා කරත්දි ඊළඟට හඳුනගන්න පුළුවන් තත්ත්වයක් තමයි උණ . දැන් මෙතන උණ කීවට , බොහෝ විට මේක දවස පුරාම තියෙන “මද උණ“ ගතියක් වෙන්න පුළුවන් , නැත්නම් දැනෙන “තද උණක්“ වෙන්නත් පුළුවන් , සමහර අවස්ථාවන , බොහොම දරුණූවට දැනෙන සහලෝල ගන්න උණක් වෙන්නත් පුළුවන් , කොයි විදියට උනත් , පිළිකා සෛල වලින් නිකුත් කරන විවිධ රසායනික “අපද්‍රව්‍ය“ වල බලපෑම , රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වල වීමත් එක්ක , විවිධ විෂබීජ “වැඩ කාරයන් වෙලා “ ආසාදනයන් ඇති කිරීම , එහෙම නැත්නම් “පිළිකා ගෙඩිය“ නිසා අවහිර වීමක් වෙලා , එතැන ඇතිවන ප්‍රදාහයක් නිසා , ඔය වගේ හේතු ගණනාවක් නිසා මේ “උණ“ ඇති වෙන්නට පුළුවන් . ඔය උණ හෙම්බිරිස්සාවත් එක්ක එන උණට වඩා වැඩි කාළයක් මේ උණ ගතිය තිබෙන්න පුළුවන් , හැබැයි අර ගැට සූත්තරේ මෙතනටත් අදාලයි ...ඒ නිසා පොඩි උණක් ආ ගමන් , ලෝකේ පෙරළගෙන කළබල වෙන්න එපා ....

හිතට ගන්න ඕන රිදවිල්ලක්  

අපි දැන් දන්නවනේ  , පිළිකාව “ගෙඩියක් “ විදියට මතුවෙන්න පුළුවන් කියලා , ඔය ගෙඩිය නිසා මොකද වෙන්නේ , ඊට වටේ තිබෙන අවයව , පටක තෙරපෙන්න පටන් ගන්නවා , සාමාන්‍යෙයන් නොවිය යුතු , ඒත් මේ පිළිකාව නිසා සිදුවන මේ තෙරපිල්ල, ඒ ආසන්නයේ ඉන්න ස්නායු විසින් හඳුන ගෙන කියනවා , “ඉන්න බෑ හරි කැක්කුමයි“ .... විශේෂයෙන්ම , ඔය පණිවිඩ  ගෙනියන ස්නායුවක්ම තෙරපුනොත් , තවත් කරදර ගොඩයි , ඒ විතරද , මේ පිළිකා ගෙඩිය , ලොකු වෙත්දි , අවට පටක තුලට “හාරගෙන මුල් බහිනව“ , එතැනදිත් ස්නායු , අවට පටක වලට තුවාල , කරදර වෙනවා ,අන්න ඒ වෙලාවත් “කැක්කුම“එන්න පුළුවන් . පිළිකා ගෙඩි විතරක් නෙවි , අපේ අස්ථී වල හැදෙන එක්තරා පිළීකාවකදි Multiple Myeloma , සිදු වෙන්නේ , අපේ ඇට කටු දිරන එක , එතකොටත් කැක්කුම එන්න පුළුවන් , විශේෂයෙන්ම , තුනටියෙ හරියේ කොඳු ඇට දිරුවට අපේ ඇඟේ බර දරාගන්න බැරිව , ඒ දිරපු ඇට ඇකිළිලා , එයත් එක්ක ඉන්න ස්නායු තෙරපෙත්දි , මේ කැක්කුම , කොන්දේ කැක්කුමක් විදියට එන්න පුළුවන් .   ලොකු කතාව , පොඩි කළොත් මෙන්න මෙහෙම , ....හඳුන ගන්න හේතුවක් නැතිව , ටික කළක් තිස්සේ , වේදනාව පවතිනවා නම් , විශේෂයෙන්ම එක කොටසක , පැත්තක ,  .... ගනනකට නොගෙන ඉන්න එපා , මේක ගැන හේතුවක් දැන ගන්න එක වටිනවා . 


වේදනාව  ගැන කතා කරලා අද ලිපියට අවසන් තිත තියන්නයි කල්පනාව , එක හේතුවක් දැන් වෙලාව ..රෑ දෙකයි ...වේදනාවක් නැතත් , දැන් නම් නිදිමතයි ...අනෙක් කාරනේ තව ලිවුවොත් මේක “සෙල් ලිපියක්“වෙලා පොළොව යටට ගියා වගේ තියේවි , මොකද බ්ලොග් එකට ඇවිත් බැලුවම “මාගලක් වගේ පෝස්ට් එකක්“ කියවන්න හිතෙන එකක්යැ නේද ? ...අනෙක ඉතින් මේ පෝස්ට් වල “රසකාරකත්“ නැති එකේ ..... 

එහෙම නම් , මෙයටම සම්බන්ධ ඊළඟ ලිපියෙන් හමුවන තුරු ආයු බෝ වේවා .....සුව සතුට පිරි දිනයක් ..