2023/05/19

මතක අමතක කරන බෙරි බෙරි වෙරි මත

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.)

මාර්තු මාසයේ ආරම්භ වන නව මූල්‍ය වර්ෂය සඳහා ආයතනයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සේවාලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාලාවක් අපට පැවැත්වීමට සිදුවිය. මෙහිදී අදාළ පුද්ගලයා කුමන ඩිමෙන්ෂියා මට්ටමේද, කුමන චර්යාවන් දක්වනවාද, සහ අපගේ චිකිත්සීය වැඩසටහනෙන් ප්‍රතිඵල ලබාගත හැකිදැයි සොයා බැලේ.

එදින සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ දකුණු ඇමරිකානු සම්භවයක් සහිත, හොඳ උස මහත, 47 හැවිරිදි "ලොකු මහත්තයා" (ගරුත්වය උදෙසා නම වෙනස් කර ඇත) සහ ඔහුගේ සහකාරිය වූ කුඩා කේඩෑරි සිරුරක් හිමි සුදු ජාතික කාන්තාවයි.

"අපි පොඩ්ඩක් පමා වුණා... හිතාගන්න පුළුවන්නේ මේ ලොකු මහත්තයාව නැගිට්ටවලා ලෑස්ති කරගන්න තියෙන අමාරුව! ඊයේ බෙහෙත් අලුත් කළා, ඒකට මෙයාට ටිකක් සැරට නින්ද ගියා." ඇය කටපුරා හිනාවෙමින් කීවාය.

සංගීතයට ආදරය කළ ගිටාර් වාදකයා

ලොකු මහත්තයා වයස අවුරුදු 47ක් වන, Korsakoff Psychosis තත්ත්වය සමඟ ජීවත්වන කැනේඩියානු ජාතිකයෙකි. අතීතයේ දක්ෂ ගිටාර් වාදකයෙකු සහ ගායකයෙකු වූ ඔහු, කලක් තනිකඩව සියලු සැප සම්පත් විඳිමින් අධික ලෙස මත්පැන් පානයට යොමුවී තිබුණි.

සාකච්ඡාව අතරතුර ඔහු බොහෝ නිශ්ශබ්දව, ලැජ්ජාවෙන් බිම බලාගෙන සිටි අතර, වරින් වර නොගැළපෙන වචන කිහිපයක් පැවසීය.

"මං ගිටාර්කාරයනේ!" ලොකු මහත්තයා හදිසියේම කතාව මැදට පැන්නේය.
"මම කියෙව්වා ඔබ හොඳ ගායකයෙක් කියලා... ගිටාර් ගහන්නත් පුළුවන්ද?" මා ඇසුවෙමි.

ඔහු පිළිතුරු නොදුන් නමුත් ගිටාරය අල්ලන ආකාරය අභිනයෙන් පෙන්වීය. මා සංගීත කාමරයෙන් ගිටාරයක් ගෙනැවිත් ඔහු අත තැබුවෙමි. දක්ෂ සංගීතඥයෙකුගේ ඉරියව්වෙන් ගිටාරය අතට ගත් ඔහු තත් එකින් එක පිරිමදින්නට විය. නමුත් මොහොතකින් ඔහුගේ ඇඟිලි පමණක් නොව මුළු අතම පාලනයකින් තොරව වෙව්ලන්නට වූයේ ගිටාරය රඳවා ගැනීමටත් නොහැකි වන තරමටය.



මොකක්ද මේ Wernicke-Korsakoff Syndrome (Alcohol-Related Dementia)?

බොහෝ දෙනෙකුට ගැටළුවක් මතු විය හැක: "ඔබලා උදව් කරන්නේ ඩිමෙන්ෂියාව සහිත අයට නම්, Wernicke-Korsakoff Syndrome ඇති අයට උදව් කරන්නේ ඇයි?" කියාය.

Wernicke-Korsakoff Syndrome හෝ Korsakoff Psychosis තත්ත්වයේදී මතුවන ලක්ෂණ බොහොමයක් ඩිමෙන්ෂියාවේ ලක්ෂණවලට සමාන වේ. එම නිසා මෙය සායනිකව Alcohol-Related Dementia කාණ්ඩය යටතේ සලකා ඩිමෙන්ෂියා ප්‍රතිකාර සහ චිකිත්සාවන් ලබාදේ.



විටමින් B1 (Thiamine), බෙරි බෙරි සහ මොළයේ හානිය

පාසල් කාලයේ විද්‍යාව පාඩමේදී අප ඉගෙනගත් කරුණක් මතක් කරමු:

  • විටමින් A – ඇස් පෙනීම
  • විටමින් B1 (Thiamine) – බෙරි බෙරි (Beriberi) රෝගය
  • විටමින් C – ස්කර්වි

විටමින් B1 (Thiamine) යනු මොළයේ සහ ස්නායු සෛලවල ශක්ති පරිවෘත්තියට අත්‍යවශ්‍යම විටමිනයකි.

  1. මත්පැන් බලපෑම: දීර්ඝකාලීන අධික මත්පැන් පානය නිසා ආහාර මාර්ගයේ බිත්ති ප්‍රදාහයට ලක්වී (Inflammation), ආහාරවල ඇති තයමින් විටමිනය ශරීරයට අවශෝෂණය වීම අඩපණ වේ.
  2. Wernicke’s Encephalopathy (WE): මොළයට තයමින් නොලැබී යාමෙන් මොළයේ සෛල ඉදිමී ක්‍රියාකාරීත්වය බිඳවැටේ. ක්ෂණික අසිහිය, සමබරතාවය සහ ඇවිදීම බිඳවැටීම, ඇස්වල චලනයන් විකෘති වීම මෙහි ලක්ෂණයි. නිසි වේලාවට හදිසි ප්‍රතිකාර නොලැබුණහොත් මෙය මාරාන්තික විය හැක.
  3. Korsakoff Psychosis: ඉහත තත්ත්වය නිසි කලට ප්‍රතිකාර නොලබා පැවතීමෙන් මොළයේ සෛල ක්ෂයවී ස්ථිර හානියක් හටගනී.
  • Confabulation (මතක හිඩැස් පිරවීම): අලුත් මතකයන් රඳවා ගැනීමට සහ පරණ මතකයන් නිවැරදිව මතුකර ගැනීමට නොහැකි වූ විට, නොදැනුවත්වම නොගැළපෙන කතා එකතු කර "ඇත්ත මෙන්" ප්‍රකාශ කිරීම.
  • මාංශපේශී වෙව්ලීම සහ සමබරතාව නැතිවීම (Ataxia).
  • නොසන්සුන්තාව, උදාසීන බව, හෝ නොපෙනෙන දේ පෙනීම (Hallucinations).

කළ හැකි ප්‍රතිකාර සහ රැකවරණය

  • ක්ෂණික තයමින් ලබාදීම: රුධිරයට එන්නත් හෝ සේලයින් මාර්ගයෙන් ඉහළ මාත්‍රාවලින් Thiamine ලබාදී ඉදිරි මොළයේ හානිය නැවැත්වීම.
  • මත්පැන් නතර කිරීම (Abstinence): මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම ඈත්වීම අත්‍යවශ්‍ය වේ.
  • සංජානන සහ චර්යාත්මක චිකිත්සාව: මොළයට නැවත සම්පූර්ණ සුවය ලබාගත නොහැකි වුවද, පවතින සීමාවන් තුළ උපරිම ස්වාධීනත්වයක් සහ ජීවන තෘප්තියක් ලබාදීමට චිකිත්සාවන් උපකාරී වේ.

අපේ නව සේවාලාභී "ලොකු මහත්තයාට" නැවත පෙර සිටි දක්ෂ සංගීතඥයා වීමට නොහැකි වුවද, අපේ කණ්ඩායම් චිකිත්සාව හරහා ඔහුට යළිත් සංගීතය අසමින්, සතුටින් සිනහවෙමින් ජීවිතය ගෙවීමට සහාය වීම අපේ අරමුණයි.