2026/10/01

උපදේශනයේ කප් සයිස් එක

“අනේ අයියා, ඊට පස්සේ එයා මහ කරදරයක් වුණානේ. මට කවුන්සලින් කරනවාට වඩා සිද්ධ වුණේ එයාගේ විකාර කතා අහගෙන ඉන්න. අන්තිමට මගේ ඇඳුම් ගැන, කප් සයිස් ගැනයි, තව තවත් වැඩකට නැති දේවල් අහන්න පටන් ගත්තා.“

තමන් විඳි මානසික පිඩාවකට උපකාරයක් වෙනුවෙන් “මනෝ උපදේශණය” ගන්නට උත්සාහ කළ ඇයට වුනු අකරතැබ්බය මා සමඟ බෙදා ගත්තේ, මෙවන් අවස්ථා ගැන අපේ අනෙක් මිතුරන්ද දැනුවත් කරන්නැයි ඉල්ලීමක් කරමින්.

අපේ ෆේස්බුක් ගෲප් තුල දැනටත් රැඳී ඉන්න, මේ වෙත්දී විදේශ රටක ජීවත්වන, අපේම මිතුරියන් දෙදෙනෙක්ගේ අත්දැකීම් ඔස්සේ, මේ කරන කරුණූ පැහැදිලි කිරීමේ අරමුණ, මනෝ උපදේශණ ක්ෂේත්රය ගැන අනවශ්ය බියක් ඇති කිරීම නම් නොවේ. ඒ වෙනුවට, තමන්ගේ සෞඛ්යය අවශ්යතා වෙනුවෙන් කරන තෝරා ගැනීම් වලදී විය යුතු දැනුවත් වීම් ගැන යම් උනන්දුවක් ඇති කිරීම විතරමයි මේ ලිපියේ අරමුණ වන්නේ. ඒ නිසා, ඔබට අවශ්ය නම්, කැමති නම් පමණක් කියවන්න.

පළමු සිදුවීම: උපදේශනය වෙනුවට වීසා ඉල්ලීම

මේ කතාබහ සිදුවන්නේ, ලංකාවෙන් පිට අධ්යාපන කටයුත්තක් වෙනුවෙන් රැඳී ඉන්න, අපේ ගෲප් එකකට සාමාජිකාවකගෙන්. ඒ මීට වසරකට විතර පෙර.

කතාවේ මැද හරිය මෙන්න මෙහෙම සිදුවෙන්නේ,

“ඊට පස්සේ අය්යා, මිනිහ මාර කරදයක් වුනානේ, මගේ ප්රශ්නේට උපදෙසක් දෙනවා වෙනුවට මෙන්න එයා අහන්න පටන් ගන්නව , එයාව මෙහෙට ගන්න පුළුවන්ද? රිෆියුජි ආවොත් උදව් කරන්න පුළුවන්ද? පර්මිට් එකක් අරන් දෙන්න පුළුවන්ද? , ප්රශ්න කෝටියයි. මුල් සෙෂන් දෙකෙන් පස්සේ, මට කතා කරන්නවත් ලැබුණේ නැති තරම්.”

“කොහොමද මේ කියන කවුන්සලර්ව තෝරාගත්තේ” මං ඇහැව්වා.

“එයා ඔය මීඩියා වල එහෙම උපදෙස් දෙනවලු , මගේ යාළුවෙක් තමයි නම්බර් එක දුන්නේ. සූම් වලින් කරන නිසා, මගේ හිතේ ප්රශ්නේ සිංහලෙන්ම කතා කරන්න ඕන නිසා තමයි තෝර ගත්තේ” ඇය කීවා.

කතාව තව ටිකක් එහාට යත්දි, ඇයට අවශ්ය උදව්ව වෙනුවෙන් “ සුදුසුකම් සහිත මනෝ උපදේශකවරයෙක්” තෝරා ගන්න පියවර කියල දීලා, ඒ කතා බහ එදා නිමා කළේ, රට ආපු හුඟක් අයට එන ප්රශ්නාවලියක් ඇයටත් යොමු වෙලා තිබුණ නිසා.

දෙවන සිදුවීම: වෘත්තීය සීමා මායිම් උල්ලංඝනය වීම

මේ පහුගිය සතියේ ලැබුණූ පණිවිඩයක් ඔස්සේ වුනු කතා බහේ කොටස…

ඇයත්, ලංකාවේ සිට විදේශ රටකට ඇවිත්, අධ්යාපනය නිමා කරලා, එම රටේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් තම සැමියා සමඟ ජීවත්වන අපේම කෙනෙක්. අභියෝගකාරී අධ්යාපන කඩඉමක් වෙනුවෙන් ලොකු කාළයක් ගත කරත්දී ඇති වූ මානසික පීඩාවන් සහ , සැමියා සහ බිරිඳ අතර වුනු විරසකයක් නිසා ලොකු හිත් රිදීමක් නිසාවෙන්, ජීවිතය දරා ගන්නට අපහසු තරමේ විඩාවක සිටි ඇය, “පවුල” තව දුරටත් පවත්වා ගන්නට , ජීවත්වන්නට අවශ්ය බව විශ්වාස කරමින් ඒ වෙනුවෙන් මනෝ උපදේශණ සේවාවක උදව්ව ලබා ගන්නට උත්සාහ කරනවා.

ඒ වෙනුවෙන් කළ සීමිත සොයා බැලීමකට සහ , සමාජ මාධ්ය තුල පළ වූ දේ ඔස්සේ ඇය ඇති කරගත් විශ්වාසය මත, ලංකාවේ “පවුල් උපදේශණය” දෙනවා යැයි කියන , මනෝ උපදේශකවරයෙකු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවීම් කරන්න පටන් ගන්නේ, අදාල පහසුකම , ඉන්න රටේදී ගන්නවාට වඩා අඩු වියදමකින් කරගන්නට පුළුවන් වීම සහ රැකියාවෙන් පසු විවේක කාළය තුල අදාල හමුවීම් කරගන්නට පුළුවන් වීම නිසා.

“හස්බන්ඩ් ශිෆ්ට් එක ඉවර කරල ගෙදර එන්නේ, දොළහට නිසා, මං මේ සෙෂන් ටික දාගත්තා හැම බදාදම රෑ දහයට. මොකද එදාට මගේ ශිෆ්ට් එක වේලාසන ඉවර වෙනවා. මට ටිකක් විවේකෙන් ඉඳලා මේ කතාබහ කරන්න ඕන වුන නිසා.”

“කොහොමද ඔබේ ගැටළුව වෙනුවෙන් ලැබුණූ සහයෝගය මේ උපදේශණ සේවාවෙන්” මං ඇහැව්වේ, ඒ ප්රශ්නය තුල ඇයට කියන්නට බොහෝ දේ තිබෙන බව දැනුනු නිසා.

“”අයියට කියන්න, මුල් සෙෂන් හතර පහ නං හරිම ප්රොෆෙෂනල්, මගේ හිතේ බර කියන්න දුන්නා, හැමදාම අන්තිමට මට කරන්න සැලසුමක් දුන්නා. හැබැයි මාස දෙකක් විතර ගියාම තමයි මට එපා වුනේ.”

“එපා වුනා කිව්වේ….?”

“අනේ අය්යා, ඊට පස්සේ එයා මහ කරදරයක් වුනානේ, මට කවුන්සලින් කරනවාට වඩා මට වුනා එයාගේ විකාර කතා අහගෙන ඉන්න. අන්තිමට මගේ ඇඳුම් ගැන, කප් සයිස් ගැන එක්ක තව තව විකාර කතා අහන්න පටන් ගත්තා, එයත් ගෙදර ඉඳන් දැන් වැඩ කරන්නේ කියලා වෙලාව ප්ර්රශ්නයක් නෑ කතා කරන්න කියලා වෙන වෙන ඒවා කියවන්න පටන් ගත්තා” ඇය කියාගෙන ගියා.

කතාව තව ටිකක් දුරට ගියා. ඇය කියූ ලෙස, තම ගැටළුව වෙනුවෙන් “මනෝ උපදේශණය” ලබා ගැනීම එතැනින් නවත්වන්නට තීරණය කරන්නේ, තවත් වේදනාවක් වගේම මානසික කම්පණයක්ද එකතු කරගෙන.

ඇයගේ තත්ත්වය වෙනුවෙන් සුදුසුකම් සහිත වෘත්තීය මනෝ උපදේශණ සේවාවක් , ඇය ඉන්නා රට තුලින්ම සොයා ගන්නට මග පෙන්වා දුන්නත්, මුහුණදුන් සිදුවීම නිසා ඇය තවමත් ඉන්නේ තැති ගැන්මකින්, වගේම මෙවන් සේවාවන් ගැන යම් අවිශ්වාසයකින්. නමුත්, ඉදිරි දිනයකදී, උදව් ලබා ගන්නට Psychologist කෙනෙක් තෝරා ගත් බවත්, එසේ තෝරා ගන්නට හේතු වූ කරුණුත් පසුව එවා තිබුණූ නිසා, ඇය යම් උදව්වක් ලබා ගනිවි යන අපේක්ෂාවෙන්, ඒ කතාබහ නිමා කර, මේ පැහැදිලි කිරීම එකතු කරන්නට හිතුවා.

(මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් තිබෙනවා. සමහර ප්රතිකාර ක්රමවලදී සමහර අතිශ්යය පෞද්ගලික කරුණු සාකච්ඡා කිරීම අවශ්ය විය හැකි නමුත් එවැනි ප්රශ්න ඇසීමේදී ඒවාට ප්රතිකාරමය අදාළත්වයක් තිබිය යුතු අතර,එය වෘත්තීය සීමාව තුල පවත්වා ගනිමින්, සේවාලාභියාගේ ගෞරවය, කැමැත්ත, පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු වෙනවා)

මනෝ උපදේශනය යනු කුමක්ද?

මනෝ උපදේශණය, මනෝ චිකිත්සාව කියල කියන්නේ, මානසික සෞඛ්යය ගැටළුවකදී ප්රතිකාරාත්මක හෝ චිකිත්සීය ලෙස යොදා ගන්නට පුළුවන්, ලෝකය පුරාම පිළිගන්නා, ඖෂධීය නොවන සාර්ථක ප්රතිකාර ක්රමයක්. කායික ලෙඩකට බෙහෙත් මෙන්, මානසික පීඩාවකදි, වගේම සමහර මානසික රෝගයකදී, මෙම ප්රතිකාර ක්රමය ඔස්සේ සුවයක්, සහනයක් ලබා ගන්නට පුළුවන්. එය හුදෙක් කෙනෙකුට උපදෙස් ලබා දීමක් හෝ හිත හදන කතාබහක් පමණක් නොවේ. සේවාලාභියාගේ අවශ්යතාවය සහ තත්ත්වය අනුව සුදුසු ක්රමවේදයක් තෝරාගෙන, වෘත්තීය දැනුම සහ ආචාරධර්ම මත පදනම්ව සේවාව ලබා දීම එහි වැදගත් කොටසක්.

ඒ නිසා, මෙම සේවාව ලබා දෙන සෞඛ්යය වෘත්තිකයා, අනෙක් පිළිගත් සෞඛ්යය වෘත්තිකයන් මෙන්ම, මනස ගැන, චිත්තවේග ගැන, කායික සහ මානසික සෞඛ්යය ගැන ගැඹුරු දැනුමක් සහ වෘත්තීය අත්දැකීමක් ඇති අයෙක් විය යුතු වෙනවා. ඒ සඳහා ලෝකය පිළිගන්නා විශ්ව විද්යාල , අධ්යාපන ආයතන තුල Ph.D., Psy.D., or Ed.D. මට්ටම දක්වා යාහැකි කාළය වගේම ලොකු කැපවීමක් විය යුතු අධ්යාපන පාඨමාලා තිබෙනවා. එලෙස, සුදුසු අධ්යාපනය ලැබූ, ඉන් පසුව පුහුණූ සෞඛ්යය වෘත්තිකයෙක්ගේ අධීක්ෂණය යටතේ තවත් අත්දැකීම් ලැබූ “වෘත්තීය” මනෝ උපදේශකයෙක්, මනෝවිද්යාඥයෙක්, චිකිත්සකවරයෙක් ළඟ, සේවාලාභියාට තම හිත විවෘත කර, මග පෙන්වීමක් ලබා ගනිමින් “සුවයක්” ලබා ගන්නට හැකියාව තිබෙනවා.

ශ්රී ලංකාවේ නියාමනය

කායිකව රෝගී වූ අයෙක් මෙන්ම, මානසිකව පීඩාවට ලක්වූ අයෙක්ද යම් අවදානමක සිටින පුද්ගලයෙක් නිසා, එවන් අය වෙනුවෙන් වෘත්තීමය සේවාවන් ලබා දෙන්නන් , සෞඛ්යය වෘත්තිකයන් ගේ සුදුසුකම් සොයා බලන්නට, අධීක්ෂණය කරන්නට, ඔවුන් පවත්වා ගත යුතු ආචාර ධර්ම සහ සීමාවන් පනවන්නට සහ ඒවා නීතිගත ලෙස පවත්වා ගන්නට, බලපත්ර නිකුත් කරන්නට, සේවාවන් පිළිබඳව ලැබෙන පැමිණිලි විමසා බලන්නට රාජ්යමය ආයතන, සංවිධාන ඕනෑම රටක් තුල තිබෙනවා. මෙවන් ව්යවස්ථාපිත ආයතන තිබීමේ වටිනාකම වෙන්නේ, ඒ තුල ලියාපදිංචිවන, බලපත්ර ලබා ගන්නා වෘත්තිකයා යම් නීතිමය වගකීමක් යටතේ සේවාව ලබා දීමට බැඳීමයි.

මනෝ උපදේශණය ක්ෂේත්රය තුල මෙවන් රාජ්ය ව්යවස්ථාපිත වගකීමක් සහිතව,එම මනෝ උපදේශණය ලබා දෙන සෞඛ්යය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමට තිබෙන්නේ, ශ්රී ලංකා වෛද්ය සභාවයි (Sri Lanka Medical Council (SLMC) ). නමුත්, එම ක්ෂේත්රය තුල මෙහි ලියාපදිංචිය ලබා ගැනීමට හැකියාව තවමත් ඇත්තේ, සායනික මනෝ විද්යාඥයෙක් (Clinical Psychologists)ට පමණයි. ඒ හැර මනෝ උපදේශකයන්, මනෝ චිකිත්සකවරුන් ලෙස හදුන්වා ගන්නා වෘත්තියන් සඳහා මෙහි ලියාපදිංචිය ලබා ගැනීමට හැකියාවක් නැහැ.

ඔවුන් වෙනුවෙන් රාජ්ය ව්යවස්ථාපිත වගකීමක් නොමැති, ස්වාධීන, ලියාපදිංචි කිරීමේ ආයතනයක් ලෙස Sri Lanka Association of Professional Counsellors and Psychotherapists (SLAPC) ක්රියාත්මක වනවා.

වෘත්තීය මට්ටම අනුව මේ යම් ආයතනයක් සමඟ ලියාපදිංචි වෙලා ඉන්න සෞඛ්යය වෘත්තිකයෙක්, එසේ නොවන අයෙක්ට වඩා වැඩි වෘත්තීමය බැඳිමක් පවත්වා ගත යුතු වෙනවා. මක්නිසාද, යම් ආචාරධර්ම බිඳීමක්, වැරදි දෙයක් කළ බවට හදුනාගෙන, අදාල ආයතනයට දැනුම් දුන්නොත් , ආයතනයේ නීති රීති අනුව විමර්ශණයකට ලක්වෙන්නට සහ සමහර විට බලපත්රය, ලියාපදිංචිය අහිමිවන්නට පුළුවන් නිසා. (මේකෙන් කියන්නේ නෑ, ලියාපදිංචි වුන පමණින්ම සියල්ල සාර්ථකයි කියලා, නමුත් අවදානම අඩුයි සහ විශ්වාසනීය බව සහ සැලසුම්ගත ප්රතිකාරයක් ගැන වැඩි පිළිගැනීමක් තියා ගන්නට පුළුවන්)

සමාජ මාධ්ය ජනප්රියත්වය වෘත්තීය සුදුසුකමක් නොවේ

අද සමාජ මාධ්ය තුළ මානසික සෞඛ්යය, සබඳතා සහ ජීවිතයේ ගැටලු ගැන උපදෙස් ලබා දෙන බොහෝ දෙනෙක් සිටිනවා. විශේෂයෙන්ම ෆේස්බුක් ඔස්සේ මුදල් ඉපැයීමට පහසුකම් ලැබීමත් සමඟ, මේ පිරිස් වඩාත් සක්රියවූ බවක් පේනවා. ඔවුන්ගේ වීඩියෝ, ලිපි සහ කතාබහ බොහෝ දෙනෙකුට ප්රයෝජනවත් විය හැකි නමුත් සමාජ මාධ්ය තුළ ජනප්රිය වීම, හොඳින් කතා කිරීම හෝ ජීවිත අත්දැකීම් තිබීම පමණක් වෘත්තීය මනෝ උපදේශනයක් ලබා දීමට අවශ්ය සුදුසුකම් සනාථ කරන්නේ නැහැ. මක්නිසාද, මනෝ උපදේශණය, හෝ මනෝ විශ්ලේෂණය කියන්නේ හුදෙක් මොනවා හෝ කියවීම නොවේ. සැලසුමක් ඇතිව, සේවාලාභියාගේ මානසික තත්ත්වය, චිත්තවේග හඳුනාගැනීම් ඔස්සේ, ඒ ජීවිතය තුල ඇති පීඩාව සහ මූලයන් හදුනාගෙන ඊට ප්රතිකාරය ලබා දීමයි. ඒ නිසා සමාජ මාධ්යවල පෙනෙන ජනප්රියත්වය මත “පමණක්” උපදේශණ වෘත්තිකයෙකු තෝරා ගැනීම අවදානම් විය හැකියි.

අනෙක් අවස්ථාව, යම් ආගමික පූජකයෙක් වූ පමණින්ම, දේශන දුන් පමණින්ම, හොඳ මනෝ උපදේශකයෙක් බවට පත් වන්නේ නැහැ. ආගමික අදහස්, සංකල්ප ඔස්සේ යම් මානසික සුවයක් ලබන්නට හැකි වුනත්, එය හැම විටම සාර්ථක මනෝ ප්රතිකාරයක් නොවන්නට පුළුවන් වගේම, සමහර මානසික සෞඛ්යය ගැටළු වඩාත් උග්ර කිරීමට පවා හේතු වන්නත් පුළුවන්.

ඒ නිසා, මේ වගේ මතුපිට පෙනෙන සාධක වලට වඩා, මේ ලිපියේ තවත් පහලින් කතා කරන, සොයා බැලීම් කර, වඩාත් ගැලපෙන මනෝ උපදේශණ වෘත්තිකයෙක් තෝරා ගැනීමයි වඩාත් සාර්ථක උත්සාහයක් වන්නේ.

විදේශගත ශ්රී ලාංකිකයන්ට වැදගත් කරුණු

කැනඩාව, ඕස්ට්රේලියාව, එක්සත් රාජධානිය වැනි රටවල ජීවත් වන ශ්රී ලාංකිකයන්ට තම මානසික සෞඛ්යය වෙනුවෙන් මනෝ උපදේශණ සහයක් ලබා ගැනීමේදී, මවු බසින් අදහස් , හිතේ බර නිදහස් කරගන්නට ඇති හැකියාව,අය කිරීම් ගාස්තු ගෙවිය යුතු අඩු මුදල සහ තමන්ට ගැළපෙන වේලාවක් සොයා ගැනීම වැනි කරුණු නිසා ඇතැම් අය ශ්රී ලංකාවේ සිටින උපදේශකයන් සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට තීරණය කරනවා. ඇත්ත, එය සාධාරණ තත්ත්වයක්. නමුත් එතැනදීත්, රැල්ලට යනවාට වඩා, විමසීමක් කර තෝරා ගැනීම හරිම වැදගත්.

ඒ වගේම, මේ විදියට තෝරා ගැනීමට පෙර ඔබ ජීවත් වන රට තුළ වෘත්තීය ලියාපදිංචිය සහ නියාමනය ඇති සේවා සපයන්නන්ගෙන් උපදේශනය ලබා ගැනීමට ඇති හැකියාව ගැනත් සොයා බලන්න. ඇතැම් අවස්ථාවල සෞඛ්ය රක්ෂණය හෝ සේවා ස්ථානයේ ප්රතිලාභ (Employee Benefits) හරහා සුදුසුකම් ලත් වෘත්තිකයන්ගෙන් සේවාව ලබා ගැනීමට පහසුකම් තිබෙන්නට පුළුවන්.

සුදුසු වෘත්තිකයෙකු තෝරා ගන්නේ කෙසේද?

ඔය තරම් සංකීර්ණ නං මනෝ උපදේශණය, කොහොමද ගැලපෙන සෞඛ්යය වෘත්තිකයෙක් අපි හොයා ගන්නේ කියල දැන් කෙනෙක් අහන්න පුළුවන්. අන්න එතැනට උත්තරයක් විදියට මෙහෙම කියන්නම්.

ලංකාවේ බොහෝ රජයේ රෝහල් වල මානසික සෞඛ්යය ඒකක/සායන සහ ප්රජා සෞඛ්යය වැඩසටහන් සමඟ සම්බන්ධව, මනෝ උපදේශණ සේවා නොමිලේම ලබා දීම කරන අතර, සමහර පෞද්ගලික රෝහල් වලත් මෙම පහසුකම ගාස්තුවක් ගෙවා ලබා ගන්නට පුළුවන්. එතැනදී, බාහිර රෝගී අංශයේ වෛද්යවරයා හෝ සායනයේ වෛද්යවරයා ඔස්සේ තමන්ගේ ගැටළුවට ගැලපෙන උපදේශණය වෙත යොමුවන්නට අවස්ථාව තිබෙනවා.

ඊට අමතරව, 1926 ජාතික මානසික සෞඛ්යය උපකාරක අංකය ඔස්සේත්, සුමිත්රයෝ වැනි රාජ්ය නොවන සැලසුම්ගත සංවිධාන ඔස්සේත් මානසික සෞඛ්යමය උපකාර, සහ අවශ්යතාවය අනුව උපදේශණ සේවා ලබා ගන්නට පුළුවන්.

මේ සියල්ල හැර, පෞද්ගලිකව මනෝ උපදේශණ සේවාවක් ලබා ගන්නට උත්සාහ කරනවා නම්, මුල්ම තෝරා ගැනීම විදියට, SLMC හි ලියාපදිංචි Clinical Psychologists ගේ උදව් ලබා ගැනීම වඩාත් සුදුසු වේවි. ඒ , මෙම වෘත්තිකයන් සාමාන්ය මනෝ උපදේශණයට අමතරව සංකීර්ණ මානසික විශ්ලේෂණය, මානසික සෞඛ්යය ගැටළු, රෝග විනිශ්චය කිරීම වගේ සංකීර්ණ පියවරයන්ට යන්නට පුළුවන්.

Psychotherapist කෙනෙක්ට, හදුනාගත් මානසික ගැටළු හෝ රෝග තත්ත්වය වෙනුවෙන් යොදා ගත හැකි චිකිත්සීය උපක්රම, ප්රතිකාර ලබා දීමට හැකියාව ඇති අතර, Counselor කෙනෙක්ට, මූලික මට්ටමේ මානසික පීඩාවන්, ජීවන අභියෝග වගේ තැන්වලදි චිකිත්සාමය කතාබහ , අදහස් හුවමාරු කරගැනීමේ ඔස්සේ යම් සහනයක් ලබා දෙන්නට මග හදුනාගන්නට උදව් කරන්නට පුළුවන්.

හැබැයි මේ වෘත්තිකයන් කිසිම අයෙකුට, සේවාලාභියාට ඖෂධ නියම කිරීමක් කරන්නට බැහැ. එය කළ හැක්කේ, Psychiatrists එනම්, මනෝ වෛද්යවරයෙක් හෝ සමහර රටවල නම් Nurse Practitioner කෙනෙක්ට පමණයි.

උපදේශන සේවාවක් ලබා ගැනීමට පෙර පරීක්ෂා කළ යුතු කරුණු

මනෝ උපදේශකයෙකු, මනෝ විද්යාඥයෙකු හෝ මනෝ චිකිත්සකවරයෙකු තෝරා ගැනීමට පෙර පහත කරුණු සලකා බලන්න.

  • වෘත්තීය ලියාපදිංචිය: අදාළ රටේ නීති සහ වෘත්තීය අවශ්යතා අනුව ලියාපදිංචි වී තිබේදැයි පරීක්ෂා කරන්න. ශ්රී ලංකාවේදී අදාළ නම් SLMC ලියාපදිංචිය හෝ පිළිගත් වෘත්තීය සංගමයක සාමාජිකත්වය පිළිබඳ තොරතුරු විමසන්න.
  • අධ්යාපන සුදුසුකම්: මනෝ විද්යාව, උපදේශනය හෝ මනෝ චිකිත්සාව සම්බන්ධ පිළිගත් අධ්යාපන ආයතනයකින් ලබා ගත් උපාධි, පශ්චාත් උපාධි සහ අනෙකුත් සුදුසුකම් පිළිබඳව සොයා බලන්න. (මනෝ විද්යාව, උපදේශණය මනෝ චිකිත්සාව මූලික වූ උපාධියක්, පශ්චාත් උපාධීයක්වත් තිබේදැයි හොයා බලන්න. අද දවස වෙත්දි හතු වගේ පිපෙන මාස තුන හතරේ ඩිප්ලෝමා හෝ ඔන්ලයින් කෝස් එකක් කළ පමණින්, තවත් අයෙකුගේ මානසික සෞඛ්යයට ප්රතිකාරයක් කළ හැකි සෞඛ්යය වෘත්තිකයෙක් බිහිවේ යැයි හිතන්නට අමාරුයි. මේ සඳහා ගැඹුරු විෂය දැනුම වගේම අධීක්ෂණය යටතේ සායනික පුහුණුවක් ලබා තිබීම අවශ්යම සාධකයක්.)
  • අධීක්ෂණය යටතේ පුහුණුව: අදාළ ක්ෂේත්රයේ සායනික පුහුණුවක් ලබා තිබේද, පළපුරුදු වෘත්තිකයෙකුගේ අධීක්ෂණය යටතේ සේවා අත්දැකීම් ලබා තිබේද යන්න විමසන්න.
  • අදාළ අත්දැකීම්: ඔබ මුහුණ දෙන ගැටලුවට අදාළව වෘත්තීය හෝ සායනික අත්දැකීම් තිබේදැයි සොයා බලන්න.
  • වෘත්තීය ආචාරධර්ම සහ සීමා මායිම්: ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, ඔබේ කැමැත්තට ගරු කිරීම, සුදුසු සන්නිවේදනය සහ වෘත්තීය සීමා පවත්වා ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්න.
  • රහස්යභාවය සහ දත්ත ආරක්ෂාව: ඔබ ලබා දෙන තොරතුරු රහසිගතව තබා ගන්නේ කෙසේද, අන්තර්ජාලය හරහා සේවා ලබා දෙන්නේ නම් භාවිත කරන මාධ්යය කෙතරම් ආරක්ෂිතද යන්න විමසන්න.
  • ප්රතිකාර සැලැස්ම: ඔබේ ගැටලුවට ගැළපෙන සේවා ක්රමවේදය, සැසිවල අරමුණු, ගාස්තු සහ ප්රගතිය ඇගයීම සිදු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගන්න.
  • පැමිණිලි සහ සහය ලබා ගැනීමේ ක්රම: සේවාව පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත්, පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි ස්ථානයක් හෝ වෘත්තීය අධීක්ෂණ ක්රමයක් තිබේදැයි සොයා බලන්න.

ඔබේ සීමාවන්ට ගරු කිරීම වෘත්තීය සේවාවේ කොටසක්

මනෝ උපදේශනයක් ලබා ගැනීමේදී සේවාලාභියාට තමන්ගේ හැඟීම්, අත්දැකීම් සහ ගැටලු පිළිබඳව කතා කිරීමට ආරක්ෂිත පරිසරයක් තිබීම අවශ්යතාවයක්. යම් අවස්ථාවක ඔබට අපහසුතාවයක් ඇති කරන ප්රශ්නයක් ඇසුවහොත්, එය ඔබට පිළිතුරු දීමට අපහසු බව ප්රකාශ කිරීමට ඔබට අයිතියක් තිබෙනවා වගේම, අදාල ප්රශ්නය ඔබේ ප්රතිකාරයට අදාළ වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමටත් ඔබට හැකියි.

මේ තත්ත්වයන්ගෙන් ඉවතට ගොස්, අදාල කතාබහ තුල ඔබට යම් අනාරක්ෂිත බවක් දැනෙනවා නම්, සේවාව නවත්වන්නට හෝ වෙනත් වෘත්තිකයෙකුගේ සහය ලබා ගැනීමට ඔබට පුළුවන් වගේම, අවශ්ය නම් අදාළ වෘත්තීය ආයතනයට, නියාමන ආයතනයට පැමිණිලි කරන්නටත් හැකියාවක් තිබෙන බව දැනුවත්ව සිටීම තව ආරක්ෂාවට වැදගත්.

අවසානයේ...

මානසික සෞඛ්යය වෙනුවෙන් සහය ලබා ගැනීම දුර්වලකමක් නම් නොවෙයි. එය තමන්ගේ ජීවිතය සහ සෞඛ්යය ගැන වගකීමෙන් ගන්නා තීරණයක්. නමුත් ඒ සහය ලබා ගැනීමේදී එම සෞඛ්යමය සේවාව, වෘත්තීය ලබා දෙන පුද්ගලයාගේ සුදුසුකම්, අත්දැකීම්, වෘත්තීය සීමා සහ සේවා ක්රමවේද ගැන දැනුවත් වීම සහ විමසීමක් කර තිබීමත්, ඒ තරමටම වැදගත්.

ඔබේ මානසික සෞඛ්යය වෙනුවෙන් සහය ලබා ගැනීමේදී ඔබේ ගෞරවය, ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන සේවාවක් තෝරා ගැනීමට ඔබට අයිතියක් තිබෙනවා.

මෙම ලිපිය දැනුවත් කිරීමේ අරමුණින් සකස් කර ඇති අතර, පුද්ගලික වෛද්ය හෝ නීතිමය උපදෙසක් ලෙස සැලකිය යුතු නොවේ. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දැඩි මානසික පීඩාවක හෝ හදිසි අවදානමක සිටී නම්, සුදුසුකම් ලත් මානසික සෞඛ්ය වෘත්තිකයෙකුගෙන් හෝ හදිසි සහය සේවාවකින් උපකාර ලබා ගන්න.