"අර වෙදමාත්තයා මගේ අප්පොචිචිගේ ඩිමෙන්ෂියාව හොඳ කළා" කියල කියන අවස්ථා වලදි ඇත්තටම සිදුවෙන්නේ මේ කතා කරන්න හදන, Pseudo Dementia තත්ත්වයක සුව කිරීමක්. ඒ සුව කරල තියෙන්නේ "ඇත්තම ඩිමෙන්ෂියාව" නොවෙයි. ඩිමෙන්ෂියාව වගේ ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්ත්වයක්. මෙම අවස්ථාව තවත් රෝග ගණනාවක් එක්ක මතු වෙන්නට පුළුවන් වුනත් විශාදය (Depression) සමඟ මතුවන අවස්ථා අපට බහුලව දකින්නට ලැබිලා තිබෙනවා.
කෙටි කාලීන මතකය නැතිව යාම (ඒ සමඟම දිගු කාලීන මතකයත් අඩුවීම මෙතැනදි ඇති වෙනසක්), තීරණ ගැනීමට නොහැකි වීම, දවසේ වැඩකටයුතු කරගන්නට බැරිවීම, කතා කරන්නට වචන නැති වීම වගේ, ඩිමෙන්ෂියාවේ දැකිය හැකි පොදු ලක්ෂණ සියල්ලක්ම වගේ මෙතැනදීත් ඇති වෙනවා.
ටික කලක් මේ තත්ත්වයත් එක්ක ජීවත්වන එම පුද්ගලයා, කෑම බීම සඳහා ඇති කැමැත්ත අඩුවීම, පිරිසිදු කිරීම් වලට අකමැතිවීම, බිඳ වැටුනු පෞරුෂත්වය, ඉන්නා තැන, කළ යුතුදේ ගැන අදහසක් නොමැති නිසා අනතුරු වගේම වෙනත් ගැටළු වලට පත්වීම... යනාදී වශයෙන් "නියම ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්" ලෙසටම හඳුනාගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මේ ලක්ෂණ ඇති වීමට හේතුවන ඇත්තම තත්ත්වය ඩිමෙන්ෂියාව නොව, විශාදය (Depression) වීමට වැඩි ඉඩක් තිබෙනවා.
මේ ආකාරයට කාලයක් ගත වෙත්දී, අදාල මූලික රෝග තත්ත්වය වන විශාදය (Depression) තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබුණොත්, මෙම ව්‍යාජ ඩිමෙන්ෂියා තත්ත්වය, ඩිප්රෙෂන් සහ පසුව ඇතිවිය හැකි නියම ඩිමෙන්ෂියා තත්ත්වයත් සියල්ල එකතු වූ, ප්‍රතිකාර කිරීම මෙන්ම හඳුනාගැනීමට අපහසු තත්ත්වයන්ට පත්වෙන්නට පුළුවන්.
එම නිසා, ඔබේ මව, පියා ඥාතියා "ඩිමෙන්ෂියාවේ ලක්ෂණ" පෙන්වන්නට ගත්තොත්, කලබල වී "ඩිමෙන්ෂියාව හොඳ කරන දිවැසිවරු" හොයාගෙන යන්න ඉස්සර වෙලා, ඩිමෙන්ෂියාව පිළිබඳ විශේෂිත පුහුණුවක්, දැනුමක් වගේම අත්දැකීමක් ඇති ලියාපදිංචි සහ පිළිගත් වෛද්‍යවරයෙක් ඔස්සේ අදාල පුද්ගලයාගේ "ඇත්තම තත්ත්වය" තහවුරු කරගැනීමත්, ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්.
ඩිමෙන්ෂියාව සහ Pseudo Dementia අතර වෙනස්කම්
අපි දැන් බලමු මෙම අවස්ථා දෙක අතර සමාන, අසමානකම් කිහිපයක්. ඒ ඔස්සේ මෙම වෙන්කර හඳුනාගැනීම කොයිතරම් වැදගත්දැයි ඔබටම වැටහේවි:
1. සුව කිරීම (Reversibility)
- ඩිමෙන්ෂියාව (True Dementia): මොළයේ පටක මියයාම් ඇති කරන, එම පටක විනාශ වීම මත ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයන් සුව කළ නොහැක. කළ හැක්කේ මතුවන ගැටළු, අපහසුතා සීමා කරගැනීම සහ සමහර අවස්ථා වලදී මොළයට හානිවන වේගය අඩු කරගනිමින්, ඩිමෙන්ෂියාව සංකීර්ණ වීම යම් පාලනයක් කරගැනීමට උත්සාහ කිරීම පමණි.
- Pseudo Dementia: Pseudo Dementia ඇති කළ හේතුවට (උදා - මානසික අවපීඩනය, විශාදය) නිසි ප්‍රතිකාර, චිකිත්සාවන් ලබා දුනහොත් මතුවී ඇති "ඩිමෙන්ෂියා ලක්ෂණ" සම්පුර්ණයෙන්ම ඉවත්ව යනවා. සුව වෙනවා කියන්න පුළුවන්. නමුත් මේ "ඩිමෙන්ෂියාව සුව වීමක්" නොව, ඩිමෙන්ෂියා ලක්ෂණ ඇති කළ වෙනත් තත්ත්වයක් සුව වීමක් බව දැන් ඔබට වැටහේවි.
2. හේතුව (Underlying Cause)
- ඩිමෙන්ෂියාව: ඩිමෙන්ෂියා තත්ත්වය සඳහා හේතුව මොළයේ පටක වලට සිදුවන නැවත හැරවිය නොහැකි හානියක් (සෛල මිය යාමක්) වේ.
- Pseudo Dementia: ප්‍රතිකාර ඔස්සේ හැරවිය හැකි මානසික/කායික රෝගයක් හෝ කිහිපයක් හේතු වේ.
3. ආරම්භය (Onset)
- Pseudo Dementia: බොහෝ අවස්ථා වලදී ඉක්මන් ආරම්භයක් දක්වන (මානසික අවපීඩනය හෝ අධික මානසික ආතතික තත්ත්වයන් වැඩිවීමත් සමඟ කෙටි කාල සීමාවක් තුල වැඩිවීමක්) අතර,
- ඩිමෙන්ෂියාව: තරමක් සෙමින් සිදුවන ක්රමානුකූල ලෙස වැඩිවන ලක්ෂණ පෙන්වීමක් කරයි (මෙය ඩිමෙන්ෂියා වර්ගය අනුව වෙනස් වන්නට පුළුවන්).
වැදගත්ම දේ: නිවැරදි දැනුවත්වීම
තවත් මේ ගැන කතා කරන්නට, ප්‍රතිකාර පරිසරය තුල ලැබූ අත්දැකීම් මෙන්ම අළුත් පර්යේෂණ පිළිබඳ ලැබෙන දැනුවත් කිරීම් ඔස්සේ බොහෝ දේ ඇතත්, මේ තරමටවත් දැනුවත් වෙන්නට පුළුවන් නම් එයම ජයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා, වැදගත්ම දේ "නිවැරදි දැනුවත්වීමයි".
ඒ සඳහා මෙම තත්ත්වය ගැන දැනුමැති සුදුසුකම් සහිත සෞඛ්‍ය වෘත්තිකයන් ලබා දෙන "යාවත්කාලීන වූ දැනුම" ලබා ගන්න. (මෙය බටහිර, ආයුර්වේද හෝ සිංහල යැයි කියන වෙදකම වුවද ගැටළුවක් නැත. වැදගත් වන්නේ "නිවැරදි" සහ විද්‍යාත්මක ලෙස සනාථ කර ලබා ගත් දැනුම ඔස්සේ කටයුතු කිරීමයි. ඒ හැර "සාම්ප්‍රදායික හෝ පරම්පරාවෙන් එන" ලෙස කී පමණින්, සියළු රෝග සුව කළ හැකි අදිසි බලවන්තයන්ගේ වංචාවලට හසුනොවන්න.)
කෙසේ වෙතත්, Dementia ලෙස වෛද්‍ය නිර්දේශයක් (Medical diagnosis) ලැබුණත් Pseudo Dementia ලෙස වෛද්‍ය නිර්දේශයක් ලැබෙන්නේ නැහැ. මක්නිසාද එතැනදී ඊට හේතුවන මානසික රෝගී තත්ත්වයටයි රෝග නිර්ණය ලැබෙන්නේ.
පාදක වන මානසික රෝගී තත්ත්වය අනුව, විවිධ චිකිත්සා ක්‍රම, උපදේශනයන් සහ ඖෂධීය ප්‍රතිකාර ඔස්සේ ප්‍රතිකාර කිරීමෙන්, මතුවූ Pseudo Dementia තත්ත්වය "සුවවී" සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් බව නම් සායනික පරිසරය තුල ලැබෙන අත්දැකීම් මත කියන්නට පුළුවන්.