ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකු තුළ සිදුවන වෙනස්වීම් අතරින් පවුලේ අය, ආසන්නතම මිතුරන් මුලින්ම හඳුනාගන්නා ප්‍රධාන ලක්ෂණයක් වන්නේ "කථනය වෙනස්වීම"යි. මෙම ලිපිය තුළින් කථනය වෙනස්වීම සඳහා හේතුවිය හැකි සාධක සහ ඒ සඳහා ප්‍රායෝගිකව භාවිත කළ හැකි සාත්තු උපක්‍රම සාකච්ඡා කෙරේ.
කතාබහ වෙනස්වීමේ ප්‍රධාන අවස්ථා සහ ප්‍රායෝගික උපක්‍රම
1. වචන අමතක වීම (Anomia / Anomic Aphasia)
වෙනදා සාමාන්‍ය විදියට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි අදහස් ප්‍රකාශ කළ පුද්ගලයා, දැන් එම අදහසම ප්‍රකාශ කරන්නට ලොකු උත්සාහයක් දරයි. ගැලපෙන වචනය මතක් කරගත නොහැකි නිසා ඒ හිස්තැන් වෙනත් වචන හෝ ඉඟි වලින් පිරවීමට උත්සාහ කරයි. උදාහරණයක් ලෙස: "මගේ හැරමිටිය ගෙනත් දෙන්න" කියනවා වෙනුවට "අර මං ඇවිදින්න ගන්නේ... මෙන්න මෙහෙම තියන්නේ... අන්න ඒක ගෙනත් දෙන්නකෝ"* ආදී වශයෙන් කීම.- කළ හැකි දේ:
- මුල් අදියරේදී සුදුසුකම්ලත් භාෂණ චිකිත්සාවකට (Speech Therapy) යොමුවීම.
- පුද්ගලයාට කලබල නොකර හෝ පීඩනයට පත් නොකර, වචනය මතක් කරගැනීමට අවශ්‍ය කාලය සහ ඉවසීම ලබා දීම.
- වචනය මතක් කරගැනීමට උපකාරී වන ඉඟි (cues) ලබා දීම හෝ අදහස වටහාගෙන සන්සුන්ව අදාළ වචනය තහවුරු කරගැනීම.
2. එකම දේ නැවත නැවත කීම සහ විමසීම (Repetitive Questioning)
පිළිතුරු ලැබුණද සුළු කාල පරාසයක් තුළ එකම ප්රශ්නය නැවත නැවත ඇසීම, හෝ එකම වචනය හේතුවක් නොමැතිව පුනරුච්චාරණය කිරීම. උදාහරණයක් ලෙස:* "අද දවල්ට අපි කන්නේ මොනවාද?" යැයි පිළිතුරු ලබාදුන් පසුත් සුළු මොහොතකින් නැවත නැවත විමසීම.- කළ හැකි දේ:
- කෝපයට හෝ නොඉවසිලිමත්භාවයට පත් නොවී (ඔබේ කෝපය ඔවුන් තුළ තවත් බිය හා ව්‍යාකූලතාව ඇති කරයි), වරක් හෝ දෙවරක් සන්සුන්ව පිළිතුරු දී වෙනතකට යොමු කිරීම (Redirection) — උදාහරණයක් ලෙස බෝංචි කැඩීම, එළවළු තේරීම වැනි අවදානමක් නැති සරල ගෙදරදොර කාර්යයකට සම්බන්ධ කරගැනීම.
- සැඟවුණු අවශ්‍යතා සෙවීම: නැවත නැවත එකම දේ ඇසීම පිටුපස කුසගින්න, වේදනාව, මුත්‍රා/මළපහ කිරීමේ අපහසුතාව වැනි වෙනත් කායික අවශ්‍යතාවක් තිබේදැයි විමසිලිමත් වීම.
3. භාවිත කළ හැකි වචන ප්‍රමාණය අඩුවීම
මොළයේ සෛල හානිවීම් හෝ ඖෂධවල බලපෑම නිසා වචන මාලාව සීමා වීම සහ එකම වචන කට්ටලයක් පමණක් නැවත නැවත භාවිත කිරීම.- කළ හැකි දේ:
- සරල, කෙටි වාක්‍ය භාවිතයෙන් අදහස් හුවමාරු කරගැනීම.
- අදාළ පුද්ගලයාගේ ඇස් මට්ටමේ සිට (Eye Level) සන්නිවේදනය කිරීම.
- අභිනයන්, මුහුණේ ඉරියව් සහ අත් සංඥා (Non-verbal cues) එකතු කරගැනීම.
- කැමති සංගීතයකට, ගුවන්විදුලි වැඩසටහනකට සවන් දීමට අවස්ථාව දීම.
4. අදහස ගැලපීමේ අපහසුතාව (Word Salad / Disjointed Speech)
වාක්‍යයක් අතරමඟ නවත්වා දැමීම, වාක්‍ය දෙකක් අතර කිසිදු සම්බන්ධයක් නොවීම, කිසිදු හේතුවක් නැතිව නොගැලපෙන මාතෘකා වලට පැනීම හෝ තේරුමක් නැති වචන ගොන්නක් එකතු කිරීම.- කළ හැකි දේ:
- ප්‍රකාශ කරන්නට උත්සාහ කරන අදහස ඔබට වැටහේ නම්, එය සරලව හා කෙටියෙන් නැවත පවසමින් තහවුරු කරගැනීම.
- ඉවසිලිවන්තව කාලය ලබා දීම.
5. කතා කිරීමේ හැකියාව සහ උනන්දුව අඩුවීම
චිත්තවේගීය වෙනස්වීම්, වෙහෙසකර බව සහ තමන් කතා කරන දේ අන් අයට නොවැටහෙන බව දැනීම නිසා කතාබහෙන් ඈත්වීම. කතා කරන එක් වාක්‍යයක් හෝ වෙනුවෙන් ඔවුන් විශාල ශක්තියක් වැය කරන බව සහකම්පනයෙන් තේරුම් ගැනීම වැදගත්ය.6. හඬ සහ කතා කරන වේගයේ නොගැලපීම
හදිසියේ වේගයෙන් හෝ ආවේගශීලීව කතා කිරීම, ක්ෂණිකව හඬේ උස් පහත් වීම් සිදුවීම. මෙහිදී හඬේ සැරට වඩා ඔවුන් කියන්නට උත්සාහ කරන අදහස තේරුම් ගැනීමට උත්සාහ කරන්න.7. ඇහෙන දේ ඒ අයුරින්ම නැවත කීම (Echolalia)
අන් අය පවසන වචනයක් කිසිදු වෙනසක් නැතිව නැවත නැවතත් පුනරුච්චාරණය කිරීම.8. සම්පූර්ණයෙන්ම කතාව නැවැත්වීම
ඩිමෙන්ෂියාවේ පසු අවධිවලදී සම්පූර්ණයෙන්ම කතාබහ නවත්වා නිහඬ විය හැක. මෙහිදී පින්තූර කාඩ්පත් (Communication Cards), අභිනයන් සහ අවශ්‍යතා පෙන්වන මෙවලම් භාවිතයෙන් සන්නිවේදනය පවත්වා ගත හැක.භාෂණ වෙනස්කම් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක
- Cognitive Decline: මොළයේ සෛල හා පටක වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම.
- Memory Impairment: මතකයේ තොරතුරු රඳවා ගැනීමේ හා අවශ්‍ය මොහොතේ මතු කරගැනීමේ අපහසුතා.
- Aphasia: අදහස් ප්‍රකාශ කිරීමට අදාළ ස්නායු මධ්‍යස්ථාන දුර්වල වීම.
- Executive Function Impairment: සංකීර්ණ සැලසුම් කිරීම, තීරණ ගැනීම සහ අදහස් පෙළගැස්වීමේ හැකියාව බිඳවැටීම.
- Emotional Factors & Depression: පීඩාව, කාංසාව, මානසික අවපීඩනය සහ පවුලේ අයගේ අකමැත්තෙන් හෝ කෝපයෙන් සිදුවන ප්‍රතිචාර නිසා කතාබහෙන් ඉවත්වීම.
- Anxiety: තමන්ට සිදුවන වෙනස්කම් තේරුම් ගැනීම නිසා ඇතිවන මානසික පීඩනය.
- Social Isolation: සමාජ ඇසුර අඩුවීම නිසා කතාබහට ඇති අවස්ථා සීමාවීම.
- Medication Side Effects: භාවිත කරන ඖෂධවල බලපෑම නිසා ඇතිවන නිදිමත හා කථන අපහසුතා.
- Physical Changes: දිව, තොල් සහ මුහුණේ මාංශපේශී පාලනය දුර්වල වීම.
(මෙය සායනික පරීක්ෂණයක් වෙනුවට ප්‍රායෝගික සාත්තු සත්කාර අත්දැකීම් ඇසුරෙන් සැකසූ මඟපෙන්වීමකි. ඔබේ ආදරණීයයාගේ කථන වෙනස්කම් වලදී ඉවසීම, ආදරය සහ සහකම්පනය පිරුණු ප්‍රවේශයක් අනුගමනය කරන්න.)