("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුලින් මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගනිමින් දැනුවත් කිරීමයි මගේ අරමුණයි.)
මතක විදියට ඒ 2022 සැප්තැම්බරයේ දවසක්. මේ ප්‍රදේශවල තිබුණු කොවිඩ් තත්ත්වය නිසාවෙන් කණ්ඩායම් චිකිත්සාවන් (Group Sessions) ලබා දෙන අපේ සායන සියල්ල, Virtual Sessions බවට පත් කර තිබුණු කාලය.
වෙලාව හවස දෙක, ඒ කියන්නේ මගේ ඊළඟ සේවාදායකයා වන (අපි කියමු ඩොනල්ඩ් කියල) ඩොන්ව, අන්තර්ජාලය ඔස්සේ හමුවිය යුතු වෙලාව.
ඩොන් කියන්නේ, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ (RAF) සේවය කර, අද වෙත්දි කැනඩාවේ පුරවැසියෙක් ලෙස ජීවත්වන අවුරුදු අසූඅටක් වන කොයිවෙලාවෙත් මුහුණේ හිනාවක් රඳවා ගත් අපූරු සුන්දර මනුස්සයෙක්. ඔහු ජීවත් වුනේ තම වියපත් බිරින්දෑ එක්කම වෙනම කුඩා නිවසක. දැනට වසර හතරක් පමණ තිස්සේ ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන ඩොන්, වරින්වර මතු කරන "හමුදා චර්යාවන්" නිසා සහ දෙමාපියන්ට අවශ්‍ය නිදහස ලබා දීම සඳහා ඔවුන්ගේම නිවසේ රැඳුනත්, අවශ්‍ය රැකවරණය, ආහාරපාන ලබා දීම ඇතුළු වගකීම් කළේ, අසල්වැසි නිවසේ සිටි ඩොන්ගේ පුතා සහ ලේලිය විසින්.
යොමු කළ ඊමේලය ඔස්සේ, Zoom ඇප් එකෙන් ඩොන් මගේ පරිගණක තිරයේ පෙනී හිටියා. මගේ වගකීම වන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසීමක්, අගැයීමක් කරමින් , ඔහුට සතුටක් ලැබෙන , දුර්වල වන බුද්ධිමය හැකියාව යම් තරමකට හෝ පවත්වා ගැනීමට උපකාර වන Therapeutic Recreational activities කිහිපයක් වෙත සම්බන්ධ කරගන්නට. ඒ අතරේම, ඩොන්ගේ බිරිඳගේ කායික වගේම මානසික පීඩා මට්ටම (Caregiver Burnout) තත්ත්වය ගැනත් හඳුනාගෙන වාර්තා කිරීම මගේ රාජකාරියේ කොටසක්.
හමුවීම සහ සැකය
අපි කතාව පටන් ගත්තා හැමදාම වගේ ලබා දෙන සුබ පැතුමකින්. හැබැයි වෙනදා වගේ , ඩොන් නොවෙයි උත්තර දුන්නේ.
"මේ රත්තරං, මේ ඉන්නේ ඔයාගේ යාළුවා , එයා අහනවා ඔයාට කොහොමද කියලා" ඩොන්ගේ හාමිනේ ටිකක් හයියෙන් කියනවා මට ඇහුණා.
මුල් තත්පර කිහිපය තුලම ඩොන්ගේ මුහුණුවරෙහි යම් වෙනසක් හඳුනාගත්තත් අපි කතාව ඉදිරියට ගෙන ගියා.
"කොහොමද ඩොන්? අද නම් හරිම ලස්සන දවසක් නේද?"
ඇප් එකේ සෙටින්ග්ස් නිසා, බොඳ වෙමින් මතුවන ඩොන්ගේ බිරිඳ, කටපුරා හිනාවෙනවා දැනුනත් ඩොන් වෙනදට වඩා ටිකක් වැඩි වෙලාවක් අරගෙන උත්තරයක් දෙන්න පටන් ගත්තා. වෙනදා හිනාවකින් පිරිලා ඉන්න ඩොන් ඉන්නේ තරමක අපහසුතාවයෙන් වගේ. ඇස්, සම විතරක් නොවේ ඔහු වාඩිවෙලා ඉන්න ඉරියව්ව පවා තරමක් වෙනස්.
"හ්ම්... අද ටිකක් රස්නෙයි කියලනම් දැනෙනවා මට... අපි දෙන්නා පෑන්කේක් කෑවා, ඔයා අද මෙහේ එනවද අපි බලන්න"
ආරම්භයේ දුටු "සැකය" තහවුරු වන මුහුණේ වෙනස්වීම් විතරක් නොවේ , උච්චාරණයේ සහ කෙළ ගිලීමේ වෙනසකුත් හොඳින්ම දැන් පැහැදිලියි. මගේ සැකය තවත් වැඩි වුණා.
"ආ ඔව් ඩොන්, මම එනවා, හැබැයි අද නොවේ ලබන සතියේ. අපට ලොකු ෆෝර්ම් එකක් පුරවන්න තියෙනවා" වෙනස්කම් සටහන් කරගන්නා අතරේම මම උත්තර දුන්නා.
"ෆෝම්.. ෆෝම්... මම රෝයල් එයාර්ෆෝස් එකේ වැඩ කරන කාලෙට වඩා ෆෝම් වලට අත්සන් කරන්නැති මේ ටිකට. රත්තරං, අපි ලබන සතියේ කොහේවත් යන්නෑ නේද?" ඩොන්, තමන්ගේ හාමිනේ පැත්තට හැරිලා විමසුවා.
උත්තර දෙන්න, තරමක් ඉදිරියට ආ නිසා, පැහැදිලිව පරිගණක තිරය තුලින් මතුවූ ඩොන්ගේ හාමිනේ කතාවක් පටන් ගත්තා:
"මයික්, මෙයා දවස් දෙක තුනක ඉඳන් හරි වෙනස් අනේ. හැමතිස්සෙම මහන්සියි, කන්නෙත් නෑ, කතාවත් වෙනස්. අනෙක් දේ, බාත්රූම් ගියාම වෙනදට වඩා ගඳයිද මන්දා. මං පුතාට කිව්වා එයා කිව්වෙ නං පෙරේදා කාපු ෆිෂ්කේක් වලට කියලා, අනේ මන්දා උදේට කතා කළාම වෙනදට වඩා තරහත් යනවා"
තවත් කතාව දිගට ගියා. මගේ සැකය තහවුරු වන කරුණු කිහිපයක් ලැබුණා. ඒ සියල්ල සටහන් කරගනිමින්, දෙදෙනාම කලබල නොකර තවත් විනාඩි කිහිපයක් ඔවුන් සමඟ ගත කළේ දැනෙන අවදානම ගැන මගේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ හදිසි සේවා කණ්ඩායම (Rapid Response Home Care Team) සම්බන්ධීකරණය කරමින්.
"පැට්, මට පොඩි සැකයක් තියෙනවා ඩොන්ට UTI එකක්ද කියලා, ඒ එක්කම TIA හෝ Stroke එකකුත් එකතු වෙලාද කියන සැකයත් තියෙන නිසා දැන් ඔයාලගේ හෝම්කෙයා ටීම් එකට දැනුම් දෙනවා. තවත් විනාඩි තිහක් ඇතුලත ඔවුන් ඒවි ඔබේ නිවසට. පුළුවන් නම් ඩොන්ව සූදානම් කරගන්න රෝහලට එන්න."
ජීවිතය බේරාගත් හඳුනාගැනීම
පසුදා උදෑසන Touchdown රැස්වීමේදී අපේ සෞඛ්‍ය කණ්ඩායමේ කළමනාකාරවරිය විශේෂ ස්තුතියක් කරමින් පැවසුවේ:
"මහේෂ්, ඊයේ ඩොන්ගේ වෙනස හඳුනාගෙන යොමු කළේ නැත්නම් ඔහු අද ලොකු ජීවිත අවදානමක වෙන්න ඉඩ තිබුණා" කියාය.
රාත්‍රියේ කළ පරීක්ෂණ ඔස්සේ හෙළිවූයේ ඩොන් පහුගිය දින කිහිපය තුල UTI තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවත්, ඊට අමතරව TIA කිහිපයක් ඇතිවෙමින්, ඊට වඩා දරුණු Stroke එකක් වෙත යාමේ දැඩි අවදානමක් තිබුණු බවත්ය. කෙසේ වෙතත්, ඉක්මන් මැදිහත්වීම නිසා ඩොන් ප්‍රතිකාර ලබා සුවය ලැබීය.
මූලික වෛද්‍ය සංකල්ප තුනක්
- UTI (Urinary Tract Infection): මුත්‍රා මාර්ගික ආසාදන. ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන අයෙක් බහුලව මුහුණදිය හැකි , වෙනත් අයට වඩා දැඩි අවදානමකට පත්විය හැකි තත්ත්වයකි.
- TIA (Transient Ischemic Attack): මොළයේ යම් කොටසකට සිදුවන රුධිර සම්පාදනය තාවකාලිකව අඩාල වීම නිසා ඇතිවන තත්ත්වයකි ("කුඩා ආඝාතය" / Mini Stroke). මෙය නිසි ප්‍රතිකාර මඟින් යථා තත්ත්වයට පත් කරගත හැක.
- Stroke / CVA (Cerebrovascular Accident): මොළයේ රුධිර සැපයුම බිඳවැටීම නිසා ස්නායු සෛල වලට සිදුවන දීර්ඝකාලීන හානියයි.
ඩිමෙන්ෂියාව සහ UTI අතර සම්බන්ධය
මොළයේ සෛල හානිවීම් නිසා තීරණ ගැනීමේ හැකියාව, බහිස්ස්‍රාවය පාලනය, අවශ්‍යතාව දැනීම දුර්වල වීම මෙන්ම, දිගු කාලයක් එක්තැන්ව සිටීම සහ පවිත්‍රතාව බිඳවැටීම නිසා මුත්‍රා ආසාදන ඇතිවීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය.
සාමාන්‍ය පුද්ගලයෙකුට මුත්‍රා දැවිල්ල හෝ වේදනාව ලෙස දැනෙන දේ, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයෙකු තුළ මතුවන්නේ වෙනස්ම ආකාරයේ චර්යාත්මක වෙනස්කම් (Behavioral Symptoms) ලෙසිනි:
- චර්යාත්මක ක්ෂණික වෙනස්කම්: වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස කෝපවීම, හැඬීම, නොසන්සුන්තාව (Agitation), වැඩිපුර නිදාගැනීම හෝ අසාමාන්‍ය ලෙස ඇඳුම් ගැලවීම.
- පාලනය ගිලිහීම සහ හුදෙකලා වීම: ඇඳුම්/ඇඳ රෙදි තෙමාගැනීම් වැඩිවීම, කාමරයෙන් එළියට නොපැමිණීම, කතාබහ අඩුවීම.
- ආහාර අරුචිය: බඩ පුරවා දැමීම හෝ අපහසුතාව වචනයෙන් කියාගත නොහැකිව කෑම ප්‍රතික්ෂේප කිරීම හෝ කෑම කවන්නට යෑමේදී ආවේගශීලී වීම.
- Delirium (උග්‍ර ව්‍යාකූලතාව): UTI තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සිහිකල්පනාව ක්ෂණිකව වෙනස්වන Delirium තත්ත්වයට පත්විය හැක.
- රුධිර කැටි ගැසීම් සහ Stroke අවදානම: බැක්ටීරියා ධුලක, විජලනය සහ වියපත් වීම එකතුව රුධිර කැටි ගැසීම් (Clots) ඇතිවී මොළයේ හෝ හෘදයේ සිරවීමෙන් TIA සහ Stroke ඇතිවීමේ දැඩි අවදානමක් පවතී.
සාත්තු සත්කාරයේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
- චර්යාත්මක වෙනස්කම් නිරීක්ෂණය: පුද්ගලයාගේ මූඩ් එක, කතාබහ සහ ඉරියව්වල සිදුවන ක්ෂණික වෙනස්කම් ගැන විමසිලිමත් වන්න.
- මුත්‍රා රටාව: මුත්‍රා කරන වාර ගණන, පරිමාව, වර්ණය සහ ගන්ධයේ වෙනසක් ඇත්දැයි බලන්න.
- පවිත්‍රතාව හා ජලය පානය: පුද්ගලික පවිත්‍රතාවය රැකදීමට උපකාර වීම සහ ප්‍රමාණවත් තරම් දියර වර්ග ලබා දීම.
- වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම: සුළු හෝ සැකයක් මතු වූ වහාම ප්‍රමාද නොවී වෛද්‍ය පරීක්ෂාවක් (Urine Full Report / Culture) වෙත යොමු කරන්න.
ඉතා සරල ප්‍රතිජීවක (Antibiotics) ප්‍රතිකාරයකින් සුවකළ හැකි සුළු ආසාදනයක්, හඳුනානොගැනීම නිසා ජීවිත අවදානමක් ගෙන දෙන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ නොදෙන්න.