![]() |
| මීදුම් වළාවන් ගලාලා ...... |
![]() |
| අක්කල , නංගිලා ......හිරු රැස ,උණුසුම |
“ඔව් තාත්තේ ..ඒ වුනාම මේ බලන්න ..මේ දිග ඇරියම පෙති දෙකයි තියෙන්නේ ....ඒ වුනාට මේ වේලිච්ච කොළේ පෙති තුනක් තියෙනවනේ ......“.....පොඩ්ඩිට ඉතින් පොඩි දෙයක් ඇති ලොකු කතාවකට .....
ක්‍රීස් .........වේගෙන් ආපු අක්කණ්ඩි බයිසිකලේ බ්‍රේක් කළා ...වැලි පාරත් එක්ක ලිස්සල ඇවිත් අපි ගාවම නැවතුනා ...“හොඳයි ..තව පොඩ්ඩෙන් ..!...“ අම්මගෙන් වැඩි විස්තර අහගන්නේ නැතිව ලොකුත් හිමින් සීරුවේ අපේ කතාව අස්සට ආව ...
“ඇත්තමයි ..මෙයාටත් ඉතිං අහුවෙන්නේ ඕවමනේ ....“
“නෑ අක්කී ..මේ බලන්නකෝ ..මේකෙ පෙති දෙකයි ..එයා ලොකු වෙලා නාකි වුනාම පෙති තුනයි ...එහෙම වෙන්නේ කොහොමද ? ...“ පොඩ්ඩි මොකක්දෝ කුතුහළයක් එක්ක අක්කගෙන් අහන්නේ ..
“හාර්ට් එකේ වගේ නේද තාත්තේ....වැල්ව් දෙකක් එක් පැත්තේ අනෙක් පැත්තේ තුනක් ..නේද ?“ ලොකු ටිකක් ලොකු කතාවක් පටන් ගත්ත ...
“ඒ වුනාට වැල්ව් දෙක තුනක් වෙන්නේ නෑනේ වයසට යත්දි ...නේද තාත්තේ ..? ...“
මේ අතරේ මනෝජ තව කොළ දෙක තුනක් කඩාගෙන ඇවිත් ..
| කොළ ප්‍රශ්න ... |
ප්‍රශ්නේ විසඳුනා ...දෙන්න එක්ක ආයෙත් තරඟෙට ගියා ...අපි දෙන්න ආයෙත් ටික වෙලාවකට තනිවුනා ...මගේ හිතට තව කතාවකට මුලක් පෑදුනා ...“ඒ වුනාට වැල්ව් දෙක , තුනක් වෙන්නේ නෑනේ වයසට යත්දි ...නේද තාත්තේ ..? “ ඔන්න ඔය ප්‍රශ්නේ එක්ක මට හිතුන ලියන්නට , ....වයසට යත්දි දෙක , තුන විමක් නෙවෙයි ..ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් .. ඒකිව්වේ අඩු වයසෙදි හඳුන ගන්න , පෙති තුන ..පෙති දෙකක් වීමක් ගැන .....
මොන අණ්ඩර දෙමළයක්ද මේ ......කියවන ඔබ මාත් එක්ක දැන් ටිකක් අමනාපෙන් ඇති ...මේ වට වන්දනා නැතිව කතාව කිවනම් ඉවරයිනේ ..නේද ...ඒත් මොනවා කරන්නද ? සමහර බෙහෙත් දෙන්නට ඕන sugar coated කරලනේ ...ඒකයි මේ වට වන්දනාව ...
මොකක්ද මේ පෙති කතාව ....
ඒ ගැන කියන්න නම් මුලින්ම අපේ පන්තියට එන්නට ඕන ..( මේ එක්කම කියන්නට ඕන පහුගිය කාළේ පුරාවට ටිකක් රාජකාරි බහුල වුන නිසා අපේ ..“සොඳුරු සුව සිප් හල“ ට අළුත් ලිපියක් එක් කරන්නට බැරි වුනා ..මේ සතියෙ ඉදලා අළුත් වෙනසක් එක්ක එයත් අළුත් වේවි)
අද පන්තියේ අපිට කතා කරන්න වෙන්නේ හෘදය ගැනපහේ පන්තියේ ඉඳළම අපි දන්නවනේ හෘදයේ කොටස් , එහි ක්‍රියාකාරීත්වය ගැන සරළ කරුණූ ටිකක් ..මම දැන් ඔය දන්න දේවල්ම ආයේ ආයේ මොකට කියනවද ..හැබැයි අද මාතෘකාවේ හැටියට අපිට කතා කරන්න වෙනවා ..වම් කෝෂීකාවේ (left ventricle) ඉඳළ පිරිසිදු රුධීරිය ඇඟ පුරා ගෙන යන්නට උදව්වෙන සංස්ථානික ධමනිය (Aorta) සහ එහි ආරම්භක ස්ථානය ගැන ..මේ මහා ධමනිය තමයි අපේ දේහයේ හැම තැනටම වගේ ඔක්සිජන් වැඩි , පිරිසිදු රුධිරය අරගෙන යන්නේ , ඒ නිසා එය ජීවිතය පවත්වා ගන්නට හරිම වැදගත් ධමනියක් ..හැබැයි කොච්චර වැදගත් වුනත් control එකක් තියෙන්න එපායැ ..නැත්නම් ඉතින් වැදගත්කං වතුරේනේ ...ඒ නිසා මේ සංස්ථානික ධමනියේ ආරම්භයේත් පොඩි පාළක කපාටයක් තියෙනවා ....ඒ කිව්වේ වැල්ව් එකක් ..ඒක ඇරුනම තමයි මේ හෘදයෙන් දේහය පුරා යන්නේ ..ඒ වැල්ව් එක වැහුනම ආයෙත් ලේ ටික ධමනිය දිගේ පිටිපස්සට ඇවිත් වම් කෝෂිකාව ඇතුලට නොවැටෙන විදියට තමයි මේ කපාටය වැඩ කරන්නේ . මේ දළ රූප සටහනේ කපාටය පියන් දෙකක් වගේ ඇඳළ තිබුණට ඇත්තටම Aorta එක ආරම්භයේ තියෙන්නේ පියන් තුනක් තිබෙන කපාටයක් ...ඒ පියන් තුනම හරියටම ක්‍රියාත්මක වීම තමයි නිරෝගී තත්ත්වය ...ඒත් එක්තරා අසාමන්‍යතාවයකදි මේ පියන් තුනෙන් දෙකක් එකට හාවෙලා ..තනි එකක් වගේ පිහිටනවා ..එතකොට හරියට වැඩ කරන්නේ පියන් දෙකක් තියෙන කපාටයක් වගේ ..
අපි මේ කතා කරන තත්ත්වය ආරම්භ වන්නේ උපතටත් පෙර ..කළල අවධියේදිමයි ..ඉතින් මේ දරුවා උපදින අවස්ථවේ තියෙන්නේ මේ කියන පෙති දෙකේ Aortic valve එකක් ..මේ අක්‍රමවත් බව නිසා සමර විට සංස්ථානික මහා ධමනියට හෘදයේ ඉඳළ ලේ ඇතුළු වෙන එක හොද නොවෙන්න පුළුවන්(Aortic stenosis) ...ඒ වගේම සමහර විට කපාට හරියට වැහෙන්නේ නැති නිසා , ධමනියට ඇතුළු වුනු ලේ ආපස්සට (regurgitation) ඇවිත් තවත් හෘදයට කරදර ඇති කරන්නත් පුළුවන් ..කෙටියෙන්ම කිව්වොත් හෘදයේ ක්‍රියාකාරීතවය වෙනස් වනවා.
වැදගත්ම දේ ......... ... මේක පරම්පරාවෙන් එන්නට සහ තවත් හේතු නිසා කළල අවස්ථාවෙම ඇතිවන තත්ත්වයක් නිසා වලක්වා ගන්නට අමාරුයි ..ඒත් හොඳ සැළකිල්ලෙන් පරික්ෂණ සහ නිරික්ෂණ කළොත් මේ තත්ත්වය මුලින්ම හඳුනාගන්නට පුළුවන් . මේ තතත්වය දරුවා කුඩා කාළයේදිම හඳුනගත්තොත් .....වෙන්නට තිබෙන අනතුරු සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන්... ඒ නිසා දැන් ඉතිං කළබල නොවි මේ රෝග ලක්ෂණ ටික කියව ගන්නකෝ ....හැබැයි ඔන්න එක ලක්ෂණයක් දෙකක් දැක්ක ගමන් කළබල වෙන්නත් එපා ...සැකයක් තිබේනම් ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් දරුවා පරික්ෂා කරවා ගන්න ..බොහෝවිට ඔහුගේ වෙද නලාවට මේ වෙනස හඳුනාගන්නට පුළුවන් වේවි ...කෝකටත් අපි දැන් විය හැකි ලක්ෂණ බලමුකෝ ..විශේෂයෙන්ම තව දෙයක් කියන්නට තිබෙනවා ..හුඟක් වෙලාවට මේ තත්ත්වය නොසැලකිල්ල නිසා මග හැරිලා යන්නට ඉඩ තිබෙනවා ..එහෙම වුනොත් එය හඳුනාගන්න අවස්ථාව වෙන විට තවත් කරදරයක් මතුවෙලා වෙන්නත් පුළුවන් .. මම මෙතැනදි නොසැලකිල්ල කියල කිව්වේ දරුවා පිළිබඳ , වෙනස්කම් පිළිබඳව තැකිමක් නොකරන දෙමාපියන් සහ සමහර සෞඛ්‍ය කණ්ඩායම් කියල කියන්නත් ඕන ..මොකද මේ තතත්වය හරියට හදුනගන්න අදාල පරික්ෂාවන් ඉතා සියුම්ව කරන්නට ඕන , විශේෂයෙන්ම හෘදයේ කෙරෙන Echocardiogram පරික්ෂාව ඉතාමත් සියුම්ව කළොත් මේ තත්ත්වය හදුනාගන්නට පහසුවුවත් ....අපේ රටේ ඉහළම රෝහල් වලදිත් මේ තත්ත්වය හදුනා නොගෙන (හඳුනාගන්නට උත්සාහ නොගෙන) පසුකාළිනව උග්‍ර අවස්ථාවට ආ විට ඒ හඳුනාගත් අවස්ථාත් අප දැක තිබෙනවා .)
මේ තත්ත්වය සහිත දරුවා හරිම ඉක්මණින් වෙහෙසට පත්වෙනවා ..සමහර විට ටික වෙලාවක් හඬන විටත් තදින් වෙහෙසට පත්වෙනවා . ඒ එක්කම ඇඟ සුදුමැළි වීම , හුස්ම ගන්නට අමාරුවීම වගේ ලක්ෂණ එන්නත් පුළුවන් . ටිකක් ලොකු දරුවෙක් නම් පපුවේ කැක්කුමකුත් මේ එක්ක කියන්න පුළුවන් . එහෙම නැත්නම් “පපුව ගැහෙනවා එළියට දැනෙනවා වගේ “ කියල කියන්නත් පුළුවන් ...නොසළකා ඉන්න එපා ..මේ වැදගත් ලක්ෂණයක් වෙන්නට පුළුවන් . මේ එක්කම දිගින් දිගටම දරුවගේ බර අඩු වීම , කකුළෙ වලළු කර හරිය ඉදිමිලා වගේ ඒ එක්කම දරුවගේ ක්‍රියාකාරකම් අඩුවීම වගේම ආහාර රුචිය අඩුවීමත් වෙන්නට පුළුවන් ලක්ෂණ ..ඔන්න දැන් ඉතිං පොඩි එකා දවසත් දෙකක් කැම අප්පිරිය කළාම හාර්ට් ලෙඩක් කියල “ලෙඩ දාන්න එපා“ .... මේ තත්ත්වයේ සැළකළ යුතු මුල්ම ලක්ෂණය “අල්ල ගන්නේ “ ඔබේ පවුලේ වෛද්‍යවරයා ..ඔහු දරුවාගේ හෘද් ශබ්ද අහනවිට ...සාමාන්‍ය රිද්මයට අමතරව තවත් කෙදිරිළි හඬක් හෘදයෙන් ඇසෙන්නට ඉඩ තිබෙනවා , එය murmur කියලයි නම් කරන්නේ ..ඒ හදුනාගැනිම වුනොත් කෝකටත් කියලා දරුවා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරාවි ...
| කෘතිම කපාටක් දාන්නත් පුළුවන් |
ප්‍රථිකාර කළ යුතු මට්ටමේ නම් හෘදයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන ඖෂධ , රුධීර පීඩනය පාලනයට ඖෂධ වගේ ඖෂධීය ප්‍රතිකාර කරාවි ..ඒත් මෙයින් යම් තරමක හෝ සහනයක් ලබන්නට නම් ශල්‍ය ප්‍රතිකාර අවශ්‍යමයි ..ඒ කිව්වේ අපි කතා කළ කපාට පටු වෙලා නම් ( වියපත් විමත් එක්ක වෙන්නට පුළුවන්) එය පළල් කිරිමක් ...නැත්නම් කපාට අක්‍රියනම් කෘතිම හෘද් කපාට යෙදීමක් වගේ කරන්නට වේවි .
හොඳට මතකා තියා ගන්න ..දරුවට මේ වගේ තත්ත්වයක් ඇත්නම් , ව්‍යායාම සීමා කල යුතු බවට විශේෂ වෛද්‍ය උපදේශයක් නොවේ නම් , දරුවට සීමා තහංචි දමන්නට එපා ...දරුවා හිතින් ලෙඩෙක් කරන්නත් එපා ...දරුවාගේ සාමාන්‍ය ළමා කාළය ගත කරන්නට දෙන්න , සෙල්ලම් කරන්න , නටන්න , සිංදු කියන්න ඉඩ දෙන්න .. හැබැයි දෙමාපියන් විදියට ඔබේ අවධානය වැඩිපුර යොදන්නට කැප වෙන්න ...තව දෙයක් දරුවා ලොකු වුනාම තමන්ගේ තත්ත්වය ගැන අවබෝධයක් දෙන්න ..මොකද ඔහු නැත්නම් ඇය විවාහවෙත්දි විශේෂ උපදෙස් තමන්ගේ වෛද්‍යවරයාගෙන් ලබා ගන්න එක වඩාත් සුදුසු නිසා ..මොකද නැත්නම් මේ තත්ත්වය තවත් පරම්පරාවක පැටියෙක්ට යන්නට පුළුවන් ...
එහෙම නම් අද කතාවත් මෙතෙකින් අවසානයි ....දැන් නම් වෙලාව උදේ පාන්දර තුනහමාරයි ...එහෙමනම් අපි යන්නම් ..මොකද හෙට උදේ නැගිට කට්ටිය එක්ක ලැහැස්ති වෙන්න ඕන “බස් රේඩියෝ එකේ නිශාන්තය අහන්න“ ...එසේ නම් ඔබ සැමට සුවදායි දිවියක් පතනවා .....
****පසුව එක් කළෙමි.


