2012/03/28

90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා

බයිසිකලෙත් අමුනං යන අපේ බස්..
“තාත්තේ බස් එකක් තියෙනවා හතරයි තිස්පහට...., ...දැන් හතරයි විසි පහයි  ...යන්න පුළුවන් ........මාත් එන්නද රිස්වි අංකල්ගේ ගෙදර යන්න ...මට  අක්කිත් එක්ක කතා කරල එන්නත් පුළුවන් නේ ...“ ගෙදර ඇවිත් කෑම කන අතරේ , ලොක්කි Google map එක බලාගෙන bus route හොයනවා , මොකද තව ටිකකින් මම යන්න ඕන අපේ මිත්‍රයෙක්ගේ ගෙදර , ඔවුන් අද රෑට කිලෝ මීටර් හාරදාහක් විතර දුර ගෙවාගෙන වෙනත් පළාතකට යන්න යනවා පදිංචියට , Alberta කියන කැනඩාවේ ඉහළ , සීතල ප්‍රෙද්ශයට . ඉතින් අපේ මිත්‍රයෝ ටික ඔක්කොම තව ටිකකින් ඒ Apartment එකට එන්න කතා කර ගත්තා , ටිකක් උදව් කරන්න , මොකද  රටේ එක පළාතක ඉඳළ තවත් පළාතකට move වෙනවා කියන්නේ යුද්දයක් තමයි . මේ වෙලාව වෙනද වගේ විවෙක් පාඩුවේ කතා බහ කරන්න තරම් හොද වෙලාවක් නොවෙන නිසා ලොකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නම වෙනවා...“ අද බැහැ දූ , දැන් එතන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ , මායි , ඩොනවන් අංකලුයි , අපි කට්ටියම බඩු ටික අස්කරල දීලා ඉක්මණට එනවා , එයාල හෙට උදේ පාන්දරින්ම යන්න ඕනනේ ...“


මේං අපේ ටිකට් එක ..

හරියටම හතරයි තිස් තිස්තුනයි , කෑම ටික හනි හනිකට බඩට දාගෙන පැනගත්ත ගෙයින් එළියට , මොකද බස් එක අල්ල ගත්තෙ නැත්නම් තව පැය බාගයක් ඉන්න වෙනවා , මේ පළාතේ public transport නම් ලංකාවේ තරම් “හොඳ නැත්ද මන්ද“ ...මොකද ලංකාවේදි නම් ඉතින් විනාඩි පහෙන් පහට රේස් යන්න බස් තියෙනවනේ . අනෙක ඉතින් අත දැම්මම ඕන තැනක නවත්ත ගන්නත් පුළුවන් ...මෙතැන නම් ඒවා බැහැ , වෙලාවට Bus stop එකේ නොහිටියොත් බස් එක ගියා , ආයෙ මගදි අතවැනුවොත් , ඩ්‍රැයිවර් මහත්තයත් අත වනාගෙනම යන්න යනවා , ආයෙ මග නැවතිල්ලක් නැහැ.  හරියට වෙලාවට බස් එක ආව , මාත් මගේ ළඟ තිබුණු ටිකට් එක , රියදුරු මහත්තයගේ ටිකට් යන්තරේට ඇතුළු කළා ...මගේ pass එක ලැබුන (මේ බස් වල කොන්දොස්තර මහත්තයෙක් නැති නිසා හරිම ලේසියි , ඉතිරි සල්ලි ප්‍රශ්නත් නෑ) ..දැන් ඉතින් හොඳ සැපට වාඩි වෙලා , යන්නයි තියෙන්නේ ,

බස් එක ඇතුලෙ ඉතින් බල බල යන්න දේවල් නම් බෝමයි ...කෝකටත් කියල අළුතින් එක් කරල තියෙන notice ටික දිහා නිකමට බැලුව. එකතැනක Weight loss clinic එකක් ගැන ..තව තැනක ගමන් ගන්නා අයගේ අයිතිවාසිකම් , වගකීම් සහ ආරක්ෂාව ගැන , තව තැනක ...ඔය වගේ Notice ගණනාවක් ..ඔය අතරේ මගේ ඇහැ ගියා ටිකක් වෙනස් එකකට ..එහි කියැවුනේ දරුවන් පස් දෙනෙක් ගෙන එක් අයෙක් යම් මානසික ගැටළුවකින් පීඩා විඳන බවත් , තමන්ගේ දරුවා එවැනි ලක්ෂණ පෙන්වනවා නම් යායුතු සායනයක් ගැනත් ..ඔය ටික කියවගෙන යනකොට දන්නෙම නැතිව බහින්න ඕන තැනටත් ඇවිත් .

වැඩේ හිතුවට වඩා ටිකක් බැරෑරුම් උනා ...මොකද ඒ ගෙදර පොඩිඩෝ තුන් දෙනෙක් , ඒ අයත් පරිස්සම් කරගෙන , බඩු ටික අස්කරල දෙන එක ලේසි උනේ නැහැ , කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා රෑ අට විතර වෙනකොට වැඩේ ඉවර කරල දුන්නා , අපි කාටත් හිතට දුකයි ,මොකද බොහොම හිත හොඳ මනුස්සයෙක් මේ අපෙන් ඈත්වෙලා යන්න හදන්නේ , එයාලගේ චාරිත්‍රෙ හැටියට සුබ පතල , අපි කට්ටිය ආයෙත් ගෙවල බලා ආව ...දැන් ඉතින් නාල කියල , රෑ කෑමත් ගත්තට පස්සේ “ලියන්න දෙයක්“ තියෙනවා ... මේක ලියන්න තවත් හේතුකාරකයකුත් මතකෙට ආවා, ඒ අපේ “එක මල්ලි කෙනෙක්“ පහුගිය දවසක එක්තරා ඖෂධයක් ගැන Gtalk මගින් අහපු ප්‍රශ්නාවලියක් , තමන්ගේ මිත්‍රෙයක් ගන්න බෙහෙතක් ගැන ඇති වුනු කුතුහලය සංසිඳවා ගන්නට හොඳ ප්‍රශ්නාවලියක් මේ මල්ලි මගෙන් ඇහැව්වා , අන්න ඒ බෙහෙතත් මේ ලියන්න හදන ලිපියට සම්බන්ධයි , ඉතින් මේ ඔක්කොම එකතු කරල අද ලියන්න හදන්නේ ........................ඉඟ සුඟ නටනා , කුස ගිණි නිවනා .චංචලා ගැන ...දැන් බලයි මොකද මේ ගෑනු ළමෝ ගැන ලියන්නේ කියලා ..නැහැ ..ලතින් භාෂාවෙන් චංචල කියන එකට Nervosa කියලයි කියන්නේ ....බඩගින්න නැතිවීම ..නැත්නම් කෑම රැචිය නැතිවීමට කියන්නේ Anaroxia කියල ..එහෙනම් අපේ කතාවේ විද්‍යාත්මක නාමයි Aneroxia nervosa .....මේකට සුද්ධ සිංහල නමක් දන්නේ නම් නැහැ , දන්නා කෙනෙක් ඉන්නවා නම් එය එකතු කළොත් හැමෝටම වටිනවා ...

කෑම එපා කෑම එපා .......
දැන් කතාව මේකයි ...මේක කියවන පිරිමි දරුවෝ කී දෙනෙක් හිතාගෙන ඇත්ද “මම කෙට්ටුයි අනේ , මහත් වෙන්නේ නැහැනේ ...කොච්චර කෑවත් මෙච්චරයි ...“ ඕක කියන කොට අනෙත් යාළුවෝ හොඳ හොඳ හේතු කියනවනේ ..? ...ඒ සමහර හේතු වලට නම් පදනමක් නැතත් යොවුන් වියේ තරුණ දරුවන්ට එන ප්‍රශ්නයක් තමයි ඔය , ඉතින් ඇඟ හදාගන්න කියලා එක එක දේ කරන්න හිත දෙනවා , මේ තත්ත්වය දන්නා නිසාම සමහර වෙළඳ ප්‍රචාරණයන් මේ ප්‍රශ්නය ගැන කතා කරනවා ...මෙන්න මේ පිටි බිව්වොත් ලස්සන වෙනවා , මහත් වෙනවා ...මස් පිඬු පිම්බෙනවා ...ඔය වගේ කතා , වෙළඳ දැන්වීම් එමටයි ..දැන් දැන් මේකට බෙහෙත් යැයි කියා ගන්නා “පෙති ජාතිත්“ විකිණෙන බව දැනගන්නට තියෙනවා ...හැබැයි මේ බොහොමයක් “මහත්වෙන බෙහෙත්“ යැයි කියා ගන්නා හොර ‍බෙහෙත් ගත්තොත් ටික දවසක් මහත් වෙලා වගේ “ඉදිමිලා“ ඉන්න පුළුවන් වේවි ...ඒත් ඒකේ පල විපාක හරිම හානි කරයි ...දියවැඩියාව , ඇස් අන්ධවීම වගේ දරුණු ආපදා ඇති කරන්නට පුළුවන් මේ “හොර බෙහෙත“ නිසා ...අනේ අහුවෙන්න එපා  ...ඔබේ මිතුරාට අහුවෙන්න දෙන්නත් එපා ...ඔබේ වයසට හරියන “ඇඟ නැත“යි හිතෙනවානම් , ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න  ඔහු පෝෂණය , ව්‍යායාම , මුසු කරල “හොඳ බෙහෙතක් “ දේවි ....හැකියාවක්  තිබේනම් පළාතේ , නැත්නම් රෝහලේ “පෝෂණවේදියා“ හමුවන්න ...ඒකත් හොඳ මාර්ගයක් වේවි ඔබේ ප්‍රශ්නයට ...

රෑ (නෑ) කෑම 
ඔය එක පැත්තක් .......මේ අතරේ අපේ ගෑණු දරුවෝ “තමන් මහත වැඩියි“ කියාගෙන අඬන වැළපෙන අවස්ථා එමටයි ...ගෙදර ඉන්නකොට හැම තිස්සෙම කණමේ ගැන හරියට හිතනවා ..බය වෙන්න එපා තවම අපි කියන ලෙඩේ නෙවි ..හැබැයි මේ තත්ත්වය දුර දිග ගිහින් තමන්ගේ බර වැඩිවේ කියන බයෙන් කෑම ප්‍රතික්ෂේප කරමින් , සාමාන්‍ය නිරෝගී දේහ බර වත් පවත්වා නොගන්නා තත්ත්වයට ආවම , අසාමාන්‍ය ලෙසින් කෙට්ටු වෙලා , ඇඟේ සාමාන්‍ය ස්වරුපය පවා වෙනස් වෙන තරමට දරුණු වුනානම් එය අපි මේ කතා කරන තත්ත්වයටම පැමිණි ඇත්දැයි සැක කරන්නට පුළුවන් ...එහෙමනම් අද අපේ කතාවේ වැඩි බර කාන්තා පාර්ශවයට ...හේතුව මේ Anorexia nervosa කියන තත්ත්වය වැඩියෙන්ම ඇතිවන්නේ කාන්තාවන්ට නිසා.

මේක ඇත්තටම Emotional eating disorder එකක් නැත්නම් චිත්තවේගීයව , මානසිකවම ඇතිවන ආහාර ගැනීමේ අසාමාන්‍යතාවයක් විදියටයි පොතපතේ විස්තර වෙන්නේ ..ඇත්තටම මේක තමන් තරබාරුවෙලා , විකෘති දේහයක් ඇතිවෙලා , රෑප සොබාව නැතිවෙලා යාවි කියන “අහේතුක බය“ , තදින්ම මනසට කාවැදීම නිසා ඇති වන තත්ත්වයක් ...මේ අය මේ බය නිසා හැම තිස්සේම ඉන්නේ දුකෙන් , හරිම නොසන්සුන් , කෑම ගැන නම් කතා කරන්න එපා ...Body shape එකමයි හිතේ ...යාළුවෝ , ගෙදර අය කොච්චර කිව්වත් “ඔයා හොඳටම කෙට්ටුවෙලා“ කියලා ..මේ කෙල්ලට ඒත් මදි ...එයා සතුටු වෙන්නේ “තවත් කෙට්ටු වුනාම“ ..ඔන්න ඔය විදියට කන්නේ බොන්නේ නැතිව ඉඳළ එහෙම නැත්නම් කාපු දේවල් (කාටත් හොරා ) වමනේ දාමින් එළියට දාල ඇඟට ආහාරයක් නොගෙන “සන්තෝසෙට කෙට්ටු වෙන එක“ තමයි මේ ලෙඩේ ..ප්‍රශ්නේ වෙන්නේ මෙයාගේ මේ “සන්තෝසෙට කෙට්ටු වීම“ සීමාවක් නැති තරමටම ගිහින් .....සන්තෝසේ ....ජිවිත හානියක් තරමටම පෙරළෙන්න පුළුවන් නිසා ...දොස්තර මහත්තය ගාවට ගියත් “මට ලෙඩක් නැහැ ඩෝකටර් ...මං ඉතින් ඩයට් කරන නිසා කන්නේ ටිකයි“ ...ඔන්න උත්තරේ ...කොයිතරම් උපදෙස් දුන්නත් වැඩක් නැහැ මොකද මෙයාට තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතනවාට වඩා කෙට්ටු වීමේ ප්‍රීතිය වටිනවා දැන් ඉතින් එක්කො කෑම ප්‍රතික්ෂේප කරමින් Restrict type Anorexia nervosa හදා ගන්නවා , නැත්නම් බල කරන නිසා පොඩ්ඩක් කාළ ...ඊළඟට හොරෙන්ම “බාත්රූම් එකට ගිහින්“ උගුරට ඇඟිල්ල දාල වමනේ කරල ..අර කාපු ටික එළියට දාගන්න පෙළඹෙන Purging type Anorexia nervosa තත්ත්වයට පත්වෙනවා ඇයත් නොදැනම...

දැන් ඉතින් මේක කියවන වයස විස්සේ විසි පහේ දූලා ...මේක ගෙදර අයට නොපෙනෙන්න හංගගෙන කියවන්න ඕන නැහැ ..ඔය වයසට තමන්ගේ රෑප සොබාව ගැන හිතන එක , ඒ වෙනුවෙන් කටයුතු කරන එක සාමාන්‍යයි , අපි මේ කතා කරන්නේ නිරෝගී තත්ත්වයටත් වඩා තමන්ගේ බර “අසාමාන්‍ය විදියට බර අඩු කරගන්න යන , එහෙම හිතෙන , එහෙම වෙනකොට සන්තෝෂ වෙන ලෙඩක් ගැන ..

ඇට මතු කරවන ඇට බෝල තුන
මේකට හරියටම හේතුව මේකයි කියල නොකිව්වත් , සමාජයීය වශයෙන් ඇතිවන පිඩනයන් සහ බලපෑම් බොහෝ දුරට හේතු වන බව කියැවෙනවා , මෙතැනදි මාධ්‍යය , තමන්ගේ මිතුරු සමාජය , පෙම්වතා වැනි අයගෙන් දැනුවත්ව හෝ නොදැන්වත්ම වන බලපෑම් ඉහළයි . ඒ වගේම ජානමය බලපැම් මත සහ හෝමෝනමය හෝ වෙනත් රෝග තත්ත්ව වල (විශේෂයෙන්ම මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත) බලපෑම නිසාත් මේ වගේ තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන් , ඒ වගේම සමහර විට වෙනත් මානසික රෝගී හෝ ගැටළුකාරී තත්ත්ව නිසාත් මේ අනතුරට පත්වෙන්නට පුළුවන් .

කතාව දිග වැඩිද මන්ද ...? අපි දැන් එමුකෝ රෝග ලක්ෂණ වලට ....ටිකක් පරිස්සමින් කියවන්න , ඔයාට මේ ලක්ෂණ නැතිව ඇති ඒත් ඔබේ මිතුරියට මේ ලක්ෂණ වගේ ඇත්නම් ටිකක් උදව් වෙන එකහොඳයි ...
ඉඟ සුඟ ගත හැක ....?????
ප්‍රධානම ලක්ෂණේ වයසට , උසට හරියන දේහ පෙනුමට වඩා හුඟාක් කෙට්ටුයි , අපි සාමාන්‍යෙයන් දන්නවනේ මේ වයසට , මේ උසට මේ වගේ බරක් , ඇඟක් තියෙන්න ඕන කියලා (මේක හරියටම මැන ගන්න නම් BMI අගය ගැන අවබෝධයක් ඕන ..මේ ගැන අපි මුල් කාළෙම ලිපියක කතා කළා .....ඒක නැතත් සාමාන්‍ය අවබෝධයක් අපිට තියෙනවනේ)  ....මේ තත්ත්වයට පත්වුනු කෙනා ඒ තියෙන්න ඕන දේහ ප්‍රමාණය , බර ට වඩා 15%-20%ක් විතර නැත්නම් ඊටත් වඩා බර අඩුයි . අනික් ලස්සනම ලක්ෂණේ ..මේ වෙනස අපි දැක්කට අපි කළබල උනාට එයාට කිසිම ගණනක් නැහැ ..එයාට ඕන තවත් කෙට්ටුවෙන්න , කෑම රැචියක් අඩුයි , තෙල් කෑම පිටි සීනි තියෙන කෑම වර්ග කන්න අසාමාන්‍ය “බයක්“ ...කාපු ගමන්ම bath room එකට දුවන්නයි කැමැත්ත ඇගේ ආර්ථව ක්‍රියාවත් පිළිවෙලකට නැහැ අක්‍රමවත් , හැම තිස්සෙම “නොරිස්සන සුළු mood එකකින් ඉන්නේ , නැත්නම් කණ්නාඩිය ඉස්සරහ ..සමහර විට අසාමාන්‍ය විදියට ව්‍යායාම කරනව වෙන්නත් ඇති .හම දිහා බැළුවොත් මැළවුනු වියැළුනු ස්වභාවයක් තිබෙන්නේ , දත් කැක්කුම , අත පයේ කැක්කුම කියන්නත් පුළුවන් හැම තිස්සේම වගේ ...මේක උග්‍ර අතට පත්වුනාම කල්පනාවත් වෙනස් වෙනව ...කෙළින් ඉන්නම බැරි තත්ත්වයට එන්නත් තවත් දුර ගියොත් මරණයට පත් වෙන්නටත් පුළුවන් .මොකද මේක මුළු ඇඟටම බලපානවා , ඒ නිසා ඒ හැම තැනම ලෙඩ ඇතවෙන්න පුළුවන් . දැන් ඉතින් ඔය ඔක්කොම රෝග ලක්ෂණ ලියන්න ගියොත් ....??
 ඒ නිසා මේක රෝග ලක්ෂණ ගණනාවක මිශ්‍රණයක් වෙමින් “සින්ඩ්‍රෝම්“ තත්ත්වයක් විදියටත් අද වෛද්‍ය ක්ෂේත්‍රය තුල හදුන්වා දෙනවා.



හැඩ බලන්න ...
තමන්ට මෙහෙම හිතනවානම් , තමන්ගේ යාළුව මේ තත්ත්වයට පත්වෙමින් යනවා වගේ දැනෙනවා නම් හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙසක් ගන්න එක . රෝග තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමෙන් පස්සේ , වෙනත් රෝග තත්ත්ව ගැනත් සොයාබලල , රෝගය මෙය නම් , මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදි වෛද්‍යවරයා පියවර තුනක් යටතේ ප්‍රතිකාර කරන්නට පෙළඹෙනවා. ඒ පවතින අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගැනීමට ඖෂධීය ප්‍රතිකාර , ඒ යටතේ විවිධ විටමින් වර්ග , ඛණිජ ලවන අඩංගු ඖෂධ ඒ වගේම මානසික නොසන්සුන් තත්ත්වය පාළානය කරන්නට ප්‍රති අවපීඩක (Anti depressant) , Mood stabilizer (මේක කියවනවා නම් අර ඖෂධය ගැන ප්‍රශ්නේ අහපු මල්ලී ...මෙන්න මෙතැනදි තමයි ඔබ අහපු xxxxxxpine ඖෂධය භාවිත කෙරෙන්නේ)  වගේ ඖෂධ ලබා දෙනවා . දෙවැන්න පෝෂණය තත්ත්වයෙන් ඉක්මණින් ඉහළ නංවන්නට අවශ්‍ය කරන ආහාර වර්ග ,  පෝෂණ පාන වර්ග නියම කරාවි , ඒ පිළිබඳ උපදේශනයකුත් ලබා දේවි .ඔබේ පෝෂණවේදියා සමඟින් එක්වෙලා පවතින අනතුරෙන් මිදෙන්නට අවශ්‍ය පෝෂණ සැළසුමක් Nutritional plan හදල දෙන්නත් පුළුවන් . ඒ වගේම පවුලේ සම ආසන්නතම හිතවතුන්ටත් දැනුවත් කෙරෙන උපදෙස් ටිකක් දේවි .

ප්‍රතිකාර සමඟින් ළබැදියන්ගේ ආදරය සෙනෙහසත් , නිවැරදි සාත්තුවත් ලැබුනොත් ඇය ඉක්මණින් තවත් සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත්වේවි ..හැබැයි මතක තියා ගන්න , ආයෙත් ඇයට ඇඟේ බර ගැන , ඇඟේ හැඩ ගැන වැරදි අදහසත් ඇති නොවෙන තත්ත්වයක් ලබා දෙන්නට . නැත්නම් ආයෙත් “සන්තෝසෙට කෙට්ටු වෙන්න පටන් ගන්න පුළුවන්“ ......

දැන් උදේ දෙකට කිට්ටුයි ..මගේ මිත්‍රය තව ටිකකින් අළුත් පළාතකට යන්නට පිට වේවි ...වෙහෙසකර ගමනක ආරම්භය ...මට නම් වෙහෙසකර දවසක නිමාව ...එහෙම නම් අපි යන්නම් නිදා ගන්න ..හැමෝටම සුවබර දිනයක් වේවා ...