2012/03/24

89) ඇස් දෙක උස්සන , හම රැළි වට්ටන උඩු කිරණේ..

දැන් නම් උදේ පාන්දර කිචිබිචිය , මෙතුවක් හැංඟිලා , නැත්නම් ලයිට් කණු උඩ කූඩුවලට වෙලා , ගුලි වෙලා හිටි  කුරුළු පවුල් දැන් නම් හිතු මනාපේ පියාඹනවා ..හරිම සන්තෝසෙන් වගේ ..හැම තැනම කුරුළු සාජ්ජ , රැස්වීම් ..උදේට පොඩ්ඩො දෙන්නත් එක්ක ඉස්කොළෙට යන ටිකට ප්‍රශ්න කෝටියයි ..ඒ සද්දේ කාගෙද ? අර පියාඹන්නේ කුරුළු අම්මද , තාත්තද ? ...ඇයි මේ කරුල්ලෝ දෙන්නා එකට එක වගේ කියන්නේ ? ., ඇත්තමට හරිම ලස්සනයි ...තැනක කුරුළු රංචු ඇඟ පුම්බගෙන අව්ව තපිනවා , තව තැනක පොඩි සටනක් ..තව තැනක් කුරුළු රැනක් ලස්සන හැඩයක් මවමින් පියඹනවා ...ඔය ඔක්කොම අතරේ අපි පාසලට ලං වුනා ...


ඉස්කෝළෙ යන වෙලාවටත් අව්ව ...
පහුගිය දවස් වල ඇඟ වහගෙන ඇඳුම් ගණනාවක් ඇඳන් හිටි පුංචි පැටවු , දැන් නම් ලස්සන , ලස්සන ඇදුම් පොඩිත් එක්ක , තවත් කුරුළු රෑනක් වගේ , ඇත්තටම කුරුළු පැටවුම තමයි , කට්ටියක් entrance එක ගාව පේළි හැදිලා , තව චණ්ඩියෝ කට්ටියක් බිම වාඩි වෙලා “අව්ව තපිනවා “ ....දැන් නම් ඉන්න පුළුවන් ..තව ටික වෙලාවක් ගියාම ,තපිනවා තියා ඇවිදින්නවත් බැරි තරම් රස්නෙ ...ඇත්තටම රස්නේමද කියන්න තේරෙන්නේ නැහැ , temperature එක නම් සෙල්සියස් දහ නමයයි , ඒ වුනාට අව්වේ සැර හරිම අමාරුයි , පිච්චෙනවා වගේ ...මේ රටේ නම් හැම කෙනෙක්ම UV filter සහිත Sunglasses පාවිච්චි කරනවාමයි . ඊට අමතරව මේ දවස් වල  Broad spectrum UV barrier cream වර්ග ආලේපන භාවිත ගැන මාධ්‍ය මගින් දැනුවත් කරනවා. මොකද මේ හැම කෙනෙක්ම වගේ හිරු එළියෙන් විය හැකි අනතුරු ගැන යම් තරමක හරි අවබෝධයක් තියෙනවා.  ඇයි මෙච්චර පරිස්සම් වෙන්නේ ? ...

ඔබ දන්නවද මේ හිරු එළියේ තියෙන Ultra violet rays  (පාරජම්බුල කිරණ) වලට අධීකව නිරාවරණය වීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් , ඒ වගේම ඇස් වල සුද Cataract ඇතිවීමේ අවදනමක් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට “ළමා සහ යෞව්වන අවදියේදි අධිකව හිරු එළියට නිරාවරණය වීම , වියපත් විමත් එක්ක සමේ පිළිකා ඇති කිරීමේ අවදානම වැඩි කරනවා “ (Excessive sun exposure in children and adolescents is likely to contribute to skin cancer in later life. - fact sheet # 305) , ඒ වගේම ලෝකයේ සිදුවන ඇසේ සුද මතු විම් වලින් , ඒ කියන්නේ කැටරැක්ට් කියන තත්ත්වයෙන් 5%ක් සෘජුවම Ultra violet (U.V.)කිරණ (හිරු රැස් සමඟ එන සහ තවත්) වල බලපෑම මගින් බව කියැවෙනවා. දැන් ඉතින් මේක කියෙව්වා කියල ඉර එළිය නොවදින්න ඉන්න කියල කියනව නොවෙයි , මොකද හිරු එළිය , මේ U.V. කිරණ යම් ප්‍රමාණයකින් ලැබීම අපේ නිරෝගී සෞඛ්‍යයකට අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම විටමින් ඩී සම තුල නිපදවීමෙදි මේ කිරණ ලොකු කාර්යයක් කරනවා. මේ නරක එන්නේ “අධීකව U.V.කිරණ වලට නිරාවරණය වීම මඟින්“ ...විශේෂයෙන්ම U.V.index එක , ඒ කියන්නේ U.V. කිරණ ප්‍රබලතාව වගේ මැනිමක් , ...එය 3 හෝ ඊට ඉහළ හැම අවස්ථාවකදිම අනිවාර්යයෙන්ම Sun protection නැතිනම් හිරු එළියේ ඇති එම U.V.කිරණ වලින් ආරක්ෂා වීමට ක්‍රියාමාර්ග ගත යුතු බව දැනුවත් කරනවා .

කළුවරයි වගේ නේ ..?
දැන් ඉතින් ගෙයින් එළියට බහින්නේ නැතිව ඉන්න එපා . මොකද හැම U.V. කිරණයක්ම නරකයි කියන්න බැහැ , විශේෂයෙන්ම U.V.-B  මගින් තමයි අව්වෙ ඉන්නකොට හම රතු වෙලා , තද පාට කරන්නේ , අනෙක අව්වට පිච්චීම ඇති වෙන්නේ , ඒ වගේම කාළයක් නිරාවරණය වුනාම මුලින් කී කරදර ඇති කරන්නෙත් මෙයාම තමයි, වැදගත්ම දේ හම රැළි වට්ටල “වයසක“ පෙනුමක් ලබා දෙන්නත් B කැමතියි .  හොඳත් කියන්න එපායැ ..මෙයාම තමයි අපේ සමේ විටමින් ඩී නොමිලේ හදල දෙන්නෙත් ..., දැන් C,B ගැන කතා කළා නම් A කියල අහවිනේ , ඔව්  U.V.-A වලින් කරන්නේ හම තද පාට වෙන එකයි පිච්චෙන එකයි තමයි ඒ වුනාට ඇහැට නම් නරකයි , මොකද එයා තමයි ඇසේ සුද ඇති කරන්න ලොකුම උදව්ව දෙන්නේ  . වෙන ලොකු කරදරයක් කරන්නේ නැහැ. 

දැන් ඉතින් ඉංග්‍රිසි හෝඩියේ අකුරු ඔක්කොම  වගේ ලිව්වත් මේ සේරම අපි ගාවට එන්නේ නැහැ. මොකද හිරු එළියේ තිබෙන UV කිරණ වලින් වැඩි ප්‍රමාණයක් වායු ගෝලයේ ඉහළ ස්ථරයක තියෙන ඕසෝන් ස්ථරය විසින් උරාගන්නවා (විශේෂයෙන්ම මේ UV කිරණ අතරින් හුඟක්ම අහිතකර වර්ගය වන UV-C කිරණ , මේ ස්ථරයට හොඳින්ම උරා ගන්නවා)  ,  ඒත් දැන් දැන් මේ ඕසෝන් ස්ථරයේ ඝණකම අඩුවීමත් එක්ක , පොළොව මතුපිටට එන UV කිරණ ප්‍රමාණය වැඩි බව සොයාගෙන තිබෙනවා . එයිනුත් සමකය ආශ්‍රිත රටවලට , වෙනත් රටවලට සාපේක්ෂව වැඩි කිරණ ප්‍රමාණයක් ලැබෙනවා. 

U.V Index අපි ඉන්න තැන බලන්න..
දැන් ඉතින්  අපි බලමුකෝ ,අනතුර සහ පරිස්සම් වෙන්නේ කොහොමද කියල ...? වැදගත්ම දේ තමයි තමන් ඉන්නේ මොනවගේ අනතුරුදායක කළාපයකද කියල හඳුනගන්න එක , ඒ එක්කම එදිදෙනා කටයුතු එක්ක මොනතරම් UV කිරණ ප්‍රමාණයකට ගොදුරු වෙනවා ඇත්ද කියල පොඩි අවබෝධයක් තිබෙන එකත් හොඳයි. ඒ ප්‍රමාණය මැන බලන්නට උපකරණ තිබුණත් ඕව මිලට ගන්න ඕන නැහැ .අපිට සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන් අපේ අනතුරේ ප්‍රමාණය ගැන. ඒ අනුව  ඒ අනතුරේ ප්‍රමාණය මත ගන්න ඕන ආරක්ෂක උපක්‍රම අනුගමනය කළා නම් ඒච්චරයි .කොහොම වුනත් දවල් 10 සහ හවස 4 අතරේ “තද හිරු එළියට“ නිරාවරණය වන ප්‍රමාණය සීමා කරගන්න එකත් , විශේෂයෙන්ම ඒ කාළ සීමාවට ඇඟ ආවරණය වන විදියට ඇඳුම් පැළඳුම් භාවිත කිරීමත් , හොඳ UV protection එකක් සහිත Sunscreen ක්‍රීම් එකක් භාවිත කිරීමත් ඇගට හොඳයි . Sunscreen එක ගන තියත්දි UV.A සහ UV-B දෙකෙන්ම ආරක්ෂාවක් දෙන Broad spectrum / Wide spectrum සන් ස්ක්‍රීන් ක්‍රීම් එකක ගන්නවා නම් හොඳයි , ඒ ගනිත්දි බලන්න එහි S.P.F.අගය Sun Protection Factor කීයද කියල , එය ඉහළ අගයක් (40 හෝ ඊට වැඩි ) සහිත ක්‍රීම් එකක් තෝරා ගන්නවා නම් තමා හොඳ . 

අපි නම් දෙකේ ...ඔයාල කීයේ පන්තියේද ? 
දැන් අපි බලමු අපේ level එක කොහොමද ? ඔබ ඉන්නේ UV index එකේ 0-2 එළියේ පහළියේ සාමාන්‍ය කටයුතු වල යෙදුනාට කමක් නැහැ, අනතුරුදායක බව අඩුයි.  හැබැයි අර මුලින්කී 10-4 කාළ සීමාව තුල “තද අව්වේ පිච්චෙන“ එක සීමා කරගන්න ඕන. එහෙම කරන්නට අමාරු නම් හිස් වැසුමක් , ඇඟ ආවරණය වන ඇඳුමක් ඇඳගෙන ඉන්න එක ශරීරෙට හොඳයි. ඒ වගේම තද අව්වේ ඉන්නවනම් හොඳ Sun Glass එකක් පාවිච්චි කරන එකත් හොඳයි . විශේෂයෙන් U.V protection සහිත. 

Index එකේ 3-5 අතරේ නම් ,  මේ මට්ටමේ දී නම් ඇඳුම් , හිස් වැසුම් මගින් ඇඟ ආවරණය කර ගන්න එක වැදගත් . Sun glasses අවශ්‍යමයි ...මෙ මට්ටමේදි තද අවුවේ ඉන්නවා නම් විතරක් Sunscreen එකක් ඕනමයි .

මෙයි ඉහළ හැට මට්ටමකදිම මුලින් කී සියළු ආවරණ එක්ක , තත්ත්වයට සුදුසු Sunscreen එකක් පාවිච්චි කරන්නම ඕන. විශේෂයෙන්ම මේ අගය 11ට ඉහළ අගයක නම් පුළුවන් තරම් තද අව්ව මගහරින්න . 

දැන් අහයි ඔය කිව්වට අපි මෙච්චර අව්වේ යනවා , මොකද උනේ කියලා ..ඔව් ...මේක අනතුරක් විතරයිනේ , අනතුරක් කී පමණින්ම හැමෝටම ඒක වෙන්නේ නැහැනේ . මොකද වැරදි විදියට පාරේ යන එක අනතුරක් කීවට , එහෙම යන හැමෝම අනතුරු වලට ලක්වෙන්නේ නැහැනේ . හැබැයි ඒ අයට අනතුරක් වෙන්නට ඉඩ වැඩියි . අනෙක් දැන් දැන් UV කිරණ , පොළොවට එන ප්‍රමාණය වැඩිවීමත් , පරිසරයේ අනතුරුදායක සාධක වැඩිවීමත් එක්ක , මෙයත් එකතු වුනාම , අනතුර වැඩියි . ඒ නිසා කෝකටත් පරිස්සම් වෙන එක හොඳයිනේ .

ඔන්න ආයෙත් කියනවා , මේ විදියට තදින් UV කිරණ වලට ලක්වීම , මගින් සමේ පිළිකා වගේම ඇසේ සුදු ඇති වීමටත් හේතු වෙනවා , පරිස්සම් වෙන්න . අපි මේ ලෙඩ ගැනත් ඊළඟ දවසේ කතා කරමු ..

අසෙනිය කුසුම 2012  කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සහ සාහිත්‍ය ඒකකය සංවිධානය කළ “අසෙනිය කුසුම 12“ තරඟයේදි මෙම බ්ලොග් අඩවිය හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය බවට තේරී පත් වී තිබුණා .  ඒ පිළිබඳව සතුට ප්‍රකශ කරන අතරේම , මේ වෙනුවෙන් කැපවූ , වෙහෙසුනු සැමට ස්තුතියි පුද කරනවා , විශේෂයෙන්ම මෙවැන්නක් ආරම්භ කරමින් සිංහල බ්ලොග්කරුවන් සහ සිංහල බ්ලොග් පරිශ්‍රය ශක්තිමත් කිරිමට  ගන්නා උත්සාහය ගැන. ඒ වගේම අනෙක් සියළු ජයග්‍රාහකයන්ටත් , පොදුවේ සියළුම සිංහල බ්ලොග් මිතුරන්ටත්  , දිරි ගැන්වූ ඔබ සැමටත් ස්තුතිවන්ත වෙනවා .