2012/04/28

95) පොත්තේ රතෙන් කියන සාත්තර ..

දැන් ඉතින් මෙහේ අයත් ඇඳුම් මෝස්තර වෙනස් කරන්න පටන් අරගෙන  , මොකද දැන් ඉතින් ටිකක් රස්නෙයිනේ  , මෙච්චර දවසක් ඇඟපුරාම ඔතාගෙන , ඇඟ වහගෙන හිටි අය , දැන් දැන් ටික ටික ඇරලා ...අර ඇඳුම් ටික ටික අඩු වෙනවා වගේ ..මෙච්චර දවසක් සුදුද කළුද කියල හඳුනගන්න බැරිව හිටි අයගේ “පොත්ත“ පේන්නේ දැන් තමයි ...

අපි කළුයි කිව්වට දැන් නේ පේනනේ අපිට වැඩිය කළු අය ඉන්නව කියල , ඒ විතරක්ද , සුදු , රතු , රෝස , එක එක පාට පොතු .....රතු ලූණු පොතු , සුදු ලූණු පොතු වගේ අයත් ඉන්නවා ...ඔය පාට පාට පොතු අස්සේ , දිලිසෙන , ලුමිනස් පාට “නිය පොතු“ දාගත් අයත් මේ ඉන්නේ . දැන අහන්න එපා , මේ වයසට ගිහිල්ලත් “පොතු බල බල ඉන්නවද “ කියලා ..ඔය ඉතින් පේන දේවල්නේ , දැක්ක කියල ඇහැ වහන්න පුළුවනෑ ...මටත් ඉතින් ඔය වගේ දේවල් දැක්කම හිතට හිනාවක් එනවා , මොකද මේ පොතු .. .ඒ කිව්වේ හමේ , නැත්නම් නියපොත්තේ පාට හරිම වැදගත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන ගන්න , ඒත් මේ අසාමාන්‍ය පාට උලා ගත්තවුන්ගේ පොතු බලල නම් මොනව කියන්නද ? 

කමක් නැහැ ..අනුන්ගේ පොත්ත ගැන බලල හරි යමක් ලියන්න ඕන කියල හිතුන , මොකද මෙතන මට වටින දෙයක් තිබෙනවා ..ඒ තමයි නියපොතු වල හැඩය , පාට වෙනස්කම් අනුව යම් රෝග තත්ත්ව ගැන “සාත්තරයක්“ කියන්න පුළුවන් වීම ......ඕ......න්න එහෙම් පටන් ගත්ත අළුත් ජොබ් එක්ක .......“අත බලා “ ගත කියවනු ලැබේ ......

එහෙම් එමුකො බලන්න සාත්තර අහන්න ...

අපි දැන් මේ සාත්තරේ කියන්නේ “අඳුනක් “ බලලනේ ... ඒකියන්නේ මුලින්ම බලා ගන්න ඕන “හොඳ නියපොත්තක“  ඒ කිව්වේ සෞඛ්‍ය සම්පන්න නියපොත්තක වත ගොත ...එතකොට තමයි ලෙඩ පොත්ත හඳුගන්න පුළුවන් වෙන්නේ ..

මෙන්න “ලස්සනම“ නිය පොත්ත
මේ තියෙන්නේ Anatomically නිරෝගී කියන්න පුළුවන් නියපොත්තක් ...දැන් ඔයාගේ නියපොත්තත් මේ එක්ක සසඳල බලන්නකෝ , ඔය ඉතින් දැන්ම බය වෙන්න එපා ...පොඩි වෙනසක් ඇති මොකද මේ ඇඳපු පින්තූරයක්නේ ...

ඊළඟට තියෙන්නේ , නියපොත්තක හරස් කොටස් , හොඳට බලාගන්න ... විශේෂයෙන්ම නියපොත්තයි සමයි අතරේ තියෙන කෝණය ගැනත් බලන්න... මොකද අපිට ඉදිරියේදි මේ කෝණ වල වෙනස් වීම් ගැන කතා කරන්න වෙනවා ..

දැන් ඉතින් සාත්තර කියෝනව කීවම , ඕන් ඉතින් මාව කොළොප්පමට ගන්න තියාගන්නෙපා ....මාත්තයල නෝනමාත්තයල දන්නවද මේ ෂාත්තරේට අවුරුදු දෙදාස් පන්සීයකට වැඩි ඉතිහාසයක් තියෙනවා ....

ඇත්ත ...මොකද මේ නියපොතු වල ඇතිවන වෙනස් කම්  සහ ඊට සම්බන්ධ රෝග ගැන හිපොක්‍රටීස් තමයි මුලින්ම පැහැදිලි විග්‍රහයක් කරල තියෙන්නේ ...එහෙනං ඉතින් අපි දැන් ඉගෙන ගන්න හදන්නේ ආන්න ඒ වගේ , පැරණි , විද්‍යාත්මක පදනමක් ඇති කරුණක් ..ඒ නිසා ඕන් ඉතින් මේව කොළොප්පමට තියාගන්ටෙපා ..

දිග වැඩිද මන්දා ? නැහැ නැහැ නිය පොත්ත නෙවියි මගේ කතාව ..ඒ නිසා අපි දැන් වැඩේ පටන් ගනිමු ...

schamroth1
දියමන්තිය පේනවාද ?
මුලින්ම අත්දෙකේ දබරැඟිළි දෙකේ පළමු පුරුක(නියපොත්තත් එක්ක තියෙන පුරුක)  එකට හැප්පෙන්න තියාගන්නකෝ ..දැන් බලන්න ඇඟිළි පුරුක පටන් ගන්න තැනින් දෙන්න එකට හැප්පෙනවා ...ඊළඟට නියපොත්තේ කෙළවරිනුත් එකට ගෑවෙනවද කියලා ....ඔන්න පේනවද ඔය නියපොතු දෙක අතරේ පොඩි හිදැසක් ....“දියමන්තියක් හැඩැති හිදසක්“ ..

එහෙම පේනන තියෙනවා නම් පළවෙනි සාත්තරේ “ඔයාට හොඳයි වගේ“ .. ඒ කිව්වේ Schamroth's sign කියන මේ පරික්ෂණය කළාම , අපි කීව වගේ දියමන්ති හිදැස (Schamroth's window) නැත්නම් ටිකක් පරිස්සමින් ආයෙත් බලන්න ...ඊළඟට බලන්න , නියපොත්තත් ඒ පටන් ගන්න තැන සමත් එක්ක තියෙන බෑවුම හුඟක් වැඩිද කියලා ...

පිටින් බැළුවම නියපොත්ත ඉස්සරහින් තදින් පහතට බෑවුම් වෙලා වගේ ...එහෙම පේන්න තියෙනව නම් ටිකක් විමසිළිමත් වෙන එක හොඳය , සාත්තරේට පේන විදියට ඔබට Nail clubbing කියන තත්ත්වය තියෙනව වගේ ...

මේ විදියට nail clubbing එන්න පුළුවන් හේතු ගණනාවක් තිබෙනවා , එයින් වැදගත්ම ටික කිව්වොත් , ඔබේ පෙනහළු සහ හෘදය ආශ්‍රිතව යම් රෝගයක් තිබෙනවා වෙන්නට පුළුවන් ..සමහර විට ඒ බව තවමත් ඔබට හඳුගන්නට ලැබිල නැතිව ඇති , කෙසේ වෙතත් , මේ විදියට ක්ලබින් නේල් තියෙන්න පුළුවන් හෘදයේ ව්‍යුහයේ ඇති වෙනස් කම් , නැත්නම්  හෘද් පේෂි වල , නැත්නම් ප්‍රධාන ලේ නාල වල යම් විකෘතිතා ඇති වුනාම (Aortic aneurysm) සමහර විට කාළයක් හෘදය තුල පවතින ආසාදනයක් නිසා වෙන්නනත් පුළුවන්. ඒ වගේම පෙනහළු වල සැරව ගෙඩි වගේ තරමක් දරුණූ තත්ත්ව පැවතීම නිසාත් මේ විදියට නියපොතු Clubbing වෙන්න පුළුවන් .ඔන්න දැන් බය කරන්න හදන්නේ ..දන්නවද පෙනහළු ආශ්‍රිත පිළිකා වලදිත් මේ විදියට නියපොතු වල “දියමන්තිය“ දකින්න බැරි වෙන්න පුළුවන් ...ඒ වගේම අක්මාවේ හෝ බඩවැල් වල කාළින රෝග තත්ත්ව නිසාත් තයිරෝයිඩ් ග්‍රන්ථියේ ලෙඩ නිසාත් මේ විදියට nail clubbing එන්න පුළුවන් ....

 ඕය ඉතින් දැන් නියපොත්ත අල්ලගෙන කුලප්පුවෙලා වගේ දඟලන්න එපා .. මම දැන් කිව්වේ නැහැනේ , nail clubbing එකක් තිබූ පමනින් කැන්සර් එකක් තියෙනවා කියල ...අඩුම තරමේ කැස්සක්වත් නැති කෙනෙකුට වුනත් මේ විදියට නියපොතු වෙනස තියෙන්න පුළුවන් ..ඒත් මේ කියපු රෝග තත්ත්ව ඇති අයට nail clubbing  එන්න තියෙන අවස්ථාව වැඩි නිසා එහෙම වෙනසක් දැක්කොත් ටිකක් විමසිලිමත් වෙන එක සහ ඔබේ වෛද්‍යවරයා හමුවෙලා , අනෙක් රෝග ලක්ෂණ , තත්ත්ව ගැනක් කතා කරල පොඩි උපදෙසක් ගන්න එක හොඳයි ..

 ඕන දැන් ඉතින් මාතියා ඔය පොකැට් එක හොල්ලලා ...කාෂීයක් දෙකක් මෙතෙන්ට විෂික් කර නං තව ෂාත්තරයක් තමා කියනවා ...

අප්පේ මෙන්න කාෂි වැක්කෙරෙනවා ... එහෙනං මාතියා ආයෙ කාෂි ගැන කතා නැතිව සාත්තරේම කියනවා ... ඕං ආගන්න ආ ..


හැන්ද මතකද ? .....ආයෙ අහනවා .. ඔව් මතක නැති අයටත් පහුගිය දවසේ “සයිබර් සිහින බක් මහ උළෙලෙදි “ දෙහි ගෙඩිය හැන්ද උඩ තියාගෙන දු....වපු ....අයට මතක ඇතිනේ .. ඔන්න සමහර විට ඔබේ නියපොතු ඒ හැන්ද වගේ , උඩට නැමුනු හැඩයක් ඇත්නම් .....!!!!!! බය වෙන්න එපා ඉතිරි ටික කියවන්න ... කළන්තේ දාපු කෙනෙක් ඉන්නව නම් , ඔය හැන්දවගේ නියපොත්තට වතුර ටිකක් අරන් ඉහින්න ....හරියාවි ... කියන්න ගිය දේත් අමතක වුනාද මන්ද ,
නිය පොතු ( හැඳි ??) 
ඔය වගේ හැදි නියපොතු තියෙන අය අත හෝදල , ඇඟිළි දිග හැරල හිටියම නියපොත්තේ තියෙන වතුර සාමාන්‍ය විදියට පහලට බේරිලා යන්නේ නැහැ , මොකද නියපොත්ත හැන්ද වගේ නිසා වතුර බිංදු එහි රැදිලා තියෙනවා .නියපොත්තේ ඉදිරිපස කෙළවර ඉස්සිලා , මැදින් පහලට ගිහින් , මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Kolionychia කියලා .. ඔන්න අපි ලේසියට හැදි හැඩැති නිය කියල කියමුකෝ ..


ඔහොම නිය විකෘතිතාවත් එන්න පුළුවන් හේතු මොනවද කියල බලමු දැන් ..

Kolionychia
මේක නම්  ලේ වල යකඩ හිඟ වීම නිසා ඇති වන නිරක්තික Anemic තත්ත්වයත් එක්ක එන්න පුළුවන් දෙයක් , ඒ වගේම ඇඟේ ප්‍රෝටින හිඟ කමක් නිසාත් වෙන්න පුළුවන් .ඔන්න දැන් ඔය මස් මාංස අනුභව නොකරන අයට මෙහෙම තිබුනොත් ඒ ඕන කරන පෝෂණ සංඝටකවෛද්‍ය උපදෙස් මත , බාහිරින් ලබා ගන්න එක තමයි හොඳ . ඒ වගේම දියවැඩියාව තියෙන අයටත් මේ වෙනස වෙන්න පුළුවන් , ඔබ පෙට්‍රෝලියම් , නැත්නම් ඒ ආශ්‍රිත තීන්ත වැනි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා නම් , නැත්නම් එබඳු රසායනික ද්‍රව්‍ය එක්ක වැඩි පුර ගැටෙන විදියේ රැකියාවක් කරනවා නම් ඒකත් මීට හේතු වෙන්න පුළුවන් ..ඔය දැන් ආයෙත් බය කරන තැන , මතක තියා ගන්න , ඔබේ වකුගඩු ආශ්‍රිතව ගැටළු නිසාත් මේ හැඳි හැඩැති නියපොතු ඇති වෙන්න පූළුවන් ..
හරස් කානු සහිත නිය පොතු 

දැන් මේ වෙනස දැක්කොත් මොකද කරන්නේ ?.....ඔව් කළබල නොවී , නිවාඩු දවසක ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙතට ගිහින් නිකමට වගේ මේ වෙනස්කම ගැන කතා කරල බලන්න ...එච්චරයි ..

දැන් බලමුකෝ ඔය නියපොතු උඩ හරහට(Transverse lines) ගිය කාණු වගේ පිහිටීම් තියේද කියලා ...මෙහෙම තිබුණොත් මේ කෙනාට හෘදයාබාධයක් ,නැත්නම් ඇඟේ කැල්සියම් , සින්ක් වගේ පෝෂක වල හිඟ කමක් තිබෙනවා වෙන්න පුළුවන් . ඒ වගේම මේ ඉරි ගණන , පරතරය අනුව ලෙඩේ උග්‍රව තිබුණෙ මාස කීයකට පෙරද කියන එකත් කියන්න පුළුවන් . ඒ වගේම මේ කාණූ හුඟක් ගැඹූරට වගේ තියෙනවා නම් මොකක් වුනත් තියෙන ලෙඩේ ටිකක් දරුනු තත්වෙට තිබිලා තියෙන බව හඳුනගන්න පුළුවන් ..


දිග් කාණුව 
දැන් අපි කතා කළේ නියපොත්තේ මැදින් හරහට ගිය කාණූවක කතාවනේ  , මේ කාණූව නියපොත්ත දිගේ දිග් අතට ගිහින් තිබුණොත් කතාව වෙනස් , ඒක අනතුරක් නිසා සිදුවූවක් නොවේ නම් , ඒ කෙනාගෙ ධමනි ආශ්‍රිත යම් රෝග තත්ත්වයක් ඇත්දැයි හොයන එක හොඳයි , ඒ වගේම මේ කෙනාගේ පෝෂණ තත්ත්වයත් නිවැරදි කරන්නට වේවි , මොකද පෝෂණ අඩුකම නිසාත් මෙය වෙන්නට පුළුවන් .දොස්තර මහත්තය නම් මේකට කියන්නේ medial nail dystrophy කියල , මොකක් උනාම අපිට මොකෝ ..හැබැයි දොස්තර මහත්තය දෙන උපසෙට වැඩ නොකළොත් ලෙඩක් වෙන්න පුළුවන් බව මතක තියාගන්න එක හොදා ...



ඊළඟට අපි සමහර අයගේ නියපොතු නිකං කඩදාසි කෑලි වගේ තුනී වෙලා නිකංම කැඩෙන අවස්ථාවක් තියෙනවනේ , ඇඳුමක් ඇඳගන්නවත් , නිදාගන්න රෙද්ද පෙරව ගන්නවත් බැහැ පැටළුනු ගමන් නියපොතු කැඩිලා යනවා , මෙහෙම වෙන්නේ ප්‍රධාන වශයෙන් අස්ථි වල දුර්වලතා ඇති කරන රෝග තත්ත්ව එක්ක , පරිස්සම් වෙන්න , තව ටික දවසකින් පරිස්සම් නූනොත් ඔය නියපොතු වගේම ඇට කටුත් නිකං කැඩෙන්න පුළුවන් , ඒ එක්කම තයිරෝයිඩ් ග්‍රන්ථීයේ ආබාධත් මීට හේතු වෙන්න පුළුවන් .


දැන් වෙසක් ළඟයිනේ ... මාතියල නෝනෙලා ෂව් කොළ එහෙම ගෙන් ඇතිනේ ..? ...ආන් එහෙම ෂව් කොළ ෂවරං අලවල වගේ නියපොතු ඇත්තං මේං අහගන්නනෙකයි ඇත්තේ ....

ඔව් , නියපොත්ත දිගේ පහලට සුදු පාට ඉරි වගේ හැදිල තියේ නම් මේ විටමින් බී ඌනතාවය පවතින බව ඔබට කියන්නම හදන ලක්ෂණය වෙන්න පුළුවන් , නැත්නම් ඔබට දියවැඩියාව තියෙන බව “ඇඟිල්ලෙන් ඇනල“ කියන්න හදන අවස්ථාව වෙන්නත් පුළුවන් . ඒ වගේම ඔබේ ඇපල් ගෙඩියේ ..ඒ කිව්වේ තයිරෝඩ් ග්‍රන්ථීයේ ලෙඩ නිසාත් මේ “සවරං “ මතු  වෙන්න පුළුවන් ..


ඔන්න දැන් මේ ටික බලපු අපේ මිත්‍ර යෝ මට ඇඟිල්ල දික් කරනවා ඇති , මොකද සමහරුන්ගේ නියපොතු අස්සෙන් සුදුපාට පුල්ලි තියෙනවා ,නැත්නම් පාටත් වෙනස් වෙලා , ටික ටික වැඩි වෙන ගතියකුත් පේනවා ,  මොකක්ද මේ කියලා ...බය වෙන්න එපා හුඟක් මේ වෙනස්කම් වලට හේතුව නිය පොතු අතරේ වැඩෙන දිලීර වර්ග නිසා ඇතිවන “දිලීර ආසාදන“ ...ඒවනම් බොහොම පහසුවෙන් ඔබේ වෛද්‍යවරයා හඳුනගෙන ප්‍රතිකාර කරාවි , නමුත් නියපොත්තෙන් කියන මේ වෙනස් කම් ගණන් නොගෙන ඉන්න එකනම් හොඳයි කියන්න පුළුවනෑ නේද ?...
Onychomycosis
දිලීර ආසාදනයක් 
දැන් ඉතින් මාතියා , ෂාත්තර කියන වෙලාව ඉවරයි , දැන් ඉතින් තම තමන්ගේ අත් , ඇඟිළි අහකට අරගත්තොත් හොඳා ..නියපොත්තේ ලෙඩ නම් තව කොච්චරක් කියලද ඈ .. ඉතින් ඔක්කොම කියාන්න වෙලාවයැ මේ .. අනෙක මේ ඔක්කොම මම කීවොත් , මෙතන නෝනල මාතියලා ෂාත්තරේ අහගෙනම නිදා ගනීවි , ගිණි විජ්ජුම්බරයයිනේ ඒම උනොත් .. ආයේ පෂ්ෂෙ දවෂක ඕන නං කියාන්නං , අපි ගියා ඒනං ...

නියපොත්තේන් සාත්තර කියපු කෙනත් ගිය එකේ මේ ලිපිය ඔබටම බලන්න කියල මමත් යන්නම් එහෙනම් , ඔබට සුව සතුට පිරි දිනයක් ...