“එතකොට මේ පත්තරේ තියෙන හෑල්ල මොකක්ද ?“ ...
“ඔව් ...පත්තරේ තිබුණ කතාව ඇත්ත , මිනිහ ගෝලයොත් එක්ක ඇවිත් ගෝසාව දාල ගියා , එච්චරයි , උඹ බය වෙන්න එපා මචං ...උඹ ආයෙ ලංකාවට එනකං මේ මිත්තරය පන පිටින් ඉන්නවා , සමහර විට මේ පිත්තල බොත්තං නැතිවේවි ...ඒක නෙවි , උඹ කවද්ද ලංකාවට එන්නේ , .....“
මේ මොන සෞඛ්‍ය ලිපියක්ද ? .....ඔව් මේක “ලෙඩ ලිපියක්“ නොවේ තමයි හැබැයි මගේ හොඳම මිතුරෙක් එක්ක වුනු කතා බහක් , මිත්‍රය රාජකාරි කරන්නේ , ලංකාවේ නීතිය සහ සාමය රකින ආයතනයක ...පහුගිය දවසක මගේ මිත්‍රයගේ රාජකාරි කාර්යාලයට එක්තරා “ලොක්කෙක්“ කඩා වැදිල අද අට සන්නියක් නැටු බව පත්තරේ තිබුණ ..ඒ ගැන දැන ගන්න , විශේෂයෙන්ම මගේ මිත්‍රයට මොකද වුනේ කියල දැන ගන්න කළ කතාවෙන් කොටසක් තමයි මේ ලියැවුනේ ...ඇයි කොටසක් විතරක්! මොකද මේ කොටසේ තියෙනවා මට ඕන කරන කතාව ....අපි හැමෝම “කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න හදන්නේ“ ....ඒත් දන්නවද අපේ කොන්නේ ස්වභාවිකවම පොඩි වක්‍රකාර පිහිටීම් කිහිපයක් තිබෙනවා ...ඒ නැමුම් නිසා තමයි අපි මෙහෙම පහසුවෙන් ඇවිදින්නේ , උඩ පනින්නේ ..වැරදිලාවත් කොන්ද ..මේ කියනවා වගේ හරි කෙළින් තිබුණනම් ...කකුල් දෙකට spring දාගෙන තමයි ඇවිදින්න වෙන්නේ ...
| කොඳු ඇට . |
අපි පොඩියක් බලමුද අපේ කොන්ද හැදිල තියෙන්නේ කොහොමද කියලා ...මෙතැනදි අපිට වැදගත්ම කොටස වෙන්නේ කොදු ඇට පද්ධතිය ....නැත්නම් කශේරුව (Vertebral column) කියලා අපි හදුන්වන කොටස ...
මේක කොඳු දණ්ඩක් විදියට දැක්කට , හඳුනගත්තට පුංචි , ඇට කෑලි Vertebra 33ක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ . අපි සිංහලෙන් කශේරුකා කියල නම් කරන්නේ මේ පොඩි කොටස් , ඒ කශේරුකා බොහොම සීරුවට එකින් එක මත පිහිටල , .....ඇත්තටම ගලක් උඩ ගලක් වගේ නෙවි , එක කශේරුක මත කාටිලේජ කියල මෘදු පටකයෙන් හැදුනු කොට්ටයක් තියල , අන්න ඒ කොට්ටෙ උඩ අනෙක් කශේරුකාව තියලා ...ඔන්න ඔය විදියට කශේරුකා සමබන්ධ වෙලා තමයි මේ කොඳු නාරටිය හැදෙන්නේ ...
මේ “දණ්ඩ වැදගත්“ අපිට කොන්ද කෙළින් කරගන්න විතරක් නොවෙයි , මොළයේ ඉඳළ ඇඟේ හැම තැනටම පණිවිඩ ගෙනියන ..ඒ වගේම අපේ අවයව , ග්‍රන්ථි , ඉන්ද්‍රයයන් පාලනය කරන ස්නායු මිටිය ගමන් කරන්නෙත් මේ “කශේරුකාව“ මැද තියෙන බටේ දිගේ , වැරදිලාවත් මේ දණ්ඩ කැඩුනොත් , ඒ එක්කම අර මැදින් යන “Spinal code“ කියන ස්නායු මිටිය කැඩුනොත් ........මොකද වෙන්නේ ...කැඩුන තැනින් පහල කිසිම හැඟිම් දැනීමක් නැතිව පාලනය කරගන්න බැරිව යනවා ...
හරි...මගේ කතාව මේ ගැන නෙවි ...අපි කිව්වනේ මේ කොදු ඇට පද්ධතියේ ඇට කෑළි 33ක් තියෙනවා කියලා ..ඔය 33 දෙනා එකතුවෙලා මේ කොඳු දණ්ඩ හදන්නේ ඉදිරයට සහ පසුපසට පොඩි නැමුම් කිහිපයක් තිබෙන විදියට , ඒ අපිට බර , කම්පනය දරා ගන්න පුළුවන් වෙන්න ....ඒත් බෙල්ලේ ඉඳළ පහලට බලා ගෙන ආවොත් අපිට පේන්නේ හොඳ කෙළින් ඉරක් වගේ පිහිටි කොන්දක් ,
කොහොම කොහොම හරි ඇද ගෙන ඇවිත් දාගත්ත නේද track එකට ...දැන් අපි කතා කරන්න යන්නේ .......ස්කොලියෝසිස් ගැනයි ...එහෙමනං ඉතිත් කොන්ද කෙළින් තියාගෙන වාඩි වෙලා කතාවෙ ඉතිරි ටිකටත් යමුනේ ද...? ..
| ඇද වුනු ඇඟ |
දැන් අපිට පොඩි අදහසක් ආවනේ ලෙඩේ මොකක්ද කියලා ...එහෙම නම් අපි බලමු මේ ඇදවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියලා ....මේ තත්ත්වය පහසුවෙන්ම හඳුනගන්න පුළුවන් Xray එකකින් වුනාට අපිට ටිකක් හොඳින් බැළුවොත් බාහිරින් හඳුනගන්නත් පුළුවන් ..මේ අය කෙළින් හිට ගත්තම ටිකක් “පැත්තකට ඇළ වෙච්ච“ බවක් පේනවා (ඉස්කොළෙදි නම් “ෂොක් ඇබ්සොබර්“ බැහැල කියල විහිළුවට ලක්වෙනවත් එක්ක ) , දැන් අපි හිටගත්තම අපේ උර හිස් දෙක එක සමාන පිහිටීමක තියෙන්න ඕනනේ ...මේ අයගේ එකු උර හිසක් අනෙකට වඩා පහලින් තියෙන්නේ , ඒ නිසා පැත්තට ඇළ වෙච්ච , ඇඹරිච්ච පෙනුමක් තමයි තියෙන්නේ , සමහර විට ඉණ හරිය බැළුවත් පැත්තක උකුල ටිකක් ඉස්සිලා වගේ ..හොඳට කෙළින් හිට ගන්න කියල මෙයාගෙ පිටි පස්සට ගිහින් කොන්ද දිහා බැලුවොත් පැත්තට ගිය ඇදය ලේසියෙන්ම හඳුන ගන්න පුළුවන් ..
දැන් ඉතින් මේකට හේතුව අහන්න එපා ...මොකද උත්තරේ ලේසියි ..“දන්නේ නැත, ....“ ඒ කිව්වේ ස්කෝලියෝසිස් වලින් 85% -90%ක් විතර ඇති වෙන්නේ උපතින්ම ...පරම්පරාවෙන් යාමට යම් ඉඩක් තිබෙන්න පුළුවන් වුනත් එය සියයට සියයක්ම වෙන්නේ නැහැ ..කොහොම වුනත් වැදගත්ම දේ තමයි මේ තත්ත්වය ගැන සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙසක් ගන්න එක , මොකද Scoliosis නිසා කොන්දේ කැක්කුම විතරක් නෙවි , මිතුරන් අතරෙදි සිදුවන දේ නිසා සහ තමන්ගේ හැඩය ගැන හිතල මානසික වශයෙන් වගේම ශ්වසන අපහසුතාව වැනි දරුණූ අවස්ථාවටත් පත්වෙන්න පුළුවන් ..
| නිල ඇඳුම ...??? නැහැ Scoliosis Brace |
එහෙම නම් මොකක්ද කරන්න ඕන ...මේ තත්ත්වය ඔබේ පවුලේ වෛද්‍යවරයා විසින් හඳුනාගන්නට ලොකු ඉඩක් තිබෙනවා ...මොකද වෙන ලෙඩකට බෙහෙත් ගන්න ගියත් , ඔබේ ගමන් විලාශය , ඉරියව්ව අනුව “සැකයක්“ ඇති කරගන්න පුළුවන් ..ඊට පස්සේ වැඩි දුර තහවුරු කරගන්නට Xray පිටපත් ගන්නට කියාවි , ඉන් මෙම තත්ත්වය පැහැදිලිව හදුනගන්නට පුළුවන් , තව දුරටත් තීරණයක් ගත යුතු තැනක නම් ඔබව විකලාංග අස්ථී විශේෂඥ වෛද්‍යවරයෙක්ට Orthopedic specialist යොමු කරාවි , ඔහු එක්ස් රේ පිටපතින් , ඔබේ ඇදයේ , ආනතිය , අංශක ගණන එහෙම බලලා යම් තීරණයකට ඒවි , බොහෝ දුරට උත්තර තුනක් දේවි , ඒ තමයි C.B.S ...ඒ කිව්වේ ඇදය ලොකු ප්‍රමාණයක නැත්නම් යම් වේදනා නාශකයක් දීලා , වරින් වර මේ පිළිබඳව පරික්ෂා කරගන්නට Check up උපදෙස් දේවි ...නමුත් කොන්දේ ඇදය හුඟක් වැඩි නම් මුලින්ම Brace කියන පළදනාවක් නියම කරාවි , එය හොඳට කොන්දට තද වන විදියට පැළඳගෙන ඉන්න වේවි , සමහර විට කාළයක් මේ Brace එක පැළඳ ගෙන ඉන්න වෙන්නත් පුළුවන් ..හැබැයි මේ Brace දැමිල්ල සාර්ථක වෙන්නේ කුඩා කාළයේදි ..ඒ කියන්නේ කොඳු ඇට පෙළ වැඩිහිටියෙක්ගේ තරමට ශක්තිමත්ව හැදෙන්න ඉස්සර මේ ප්‍රතිකාරය කළොත් තමා වඩා සාර්ථක ..මෙයින් ප්‍රථිපලයක් නැත්නම් ..තත්ත්වය තවත් උග්‍ර වෙනවා නම් කරන්න තියෙන ඊළඟ අවස්ථාව තමයි Surgery ..ඒ ශල්‍යර්මයේදි ඇද වුනු කශේරුකා වල යම් වෙනස් කිරීම් , එහෙම නැත්නම් අස්ථි අතර යා කිරීම් කරල ..එහෙමත් නැත්නම් කොඳු ඇට පෙළ ආසන්නයෙන් යන විදියට ලෝහමය දණ්ඩක් සම්බන්ධ කරලා ඇදය යම් තරමකින් පාලනය කරන්නට පුළුවන් ...
දැන් ඉතින් “අපිට ඕව නැහැ“ කියල ඉන්නේ නැතිව පොඩ්ඩක් හොයල බලන්න ඔය කෙළින් කියල හිතන්න ඉන්න ඒව ඇද වෙලා එහෙම තියේද කියලා ....
| තව තියෙනවා ... |
මගේ මිත්‍රය නම් “කොන්ද කෙළින් තියාගෙන“ ඉන්න එක ගැන සතුටුයි ....සහ ආඩම්බරයි ....ඒ ඉතින් අපේ සාමාන්‍ය කතා බහේ හැටියටනේ ...කොහොම වුනත් මේ ලිපිය මේ විදියට අවසන් කරත්දි මගේ ස්තුතිය පුදන්නට ඕන තවත් මල්ලි කෙනෙක් (මල්ලි කිව්වට පුතෙක්ද කොහෙද වෙන්නේ ) ඉන්නව , මොකද එයාටත් මේ ලෙඩේ නිසා ළඟඳි Operation එකක් කරන්න තියෙන බවක් පහුගිය දවසක කීව ...මේ හැම දේම එකතු කරල තමයි අද “ඇද වුනු කොන්ද “ ගැන ලීවේ ....මේ එක්කම කියන්නට ඕන , “සොඳුරු සුව අසපුවේ “ තවත් මිතුරන් කිහිප දෙනෙක් තවත් මාතෘකා කිහිපයක් ගැන ලියන්නට යෝජනා යොමු කරල තිබුණා ...ඔව් , ඒ හැම දෙයක් ගැනම ඉදිරියෙදි ලියනවා ...මොනවා කරන්නද ...මේක ලියන්නත් වෙලාවක් කළාවක් ඕනනේ ....
ආ ...ඒ එක්කම කියන්න දෙයක් තිබෙනවා ...අපේ සිංහල බ්ලොග් පරිශ්‍රෙයේ ඉන්න තවත් හිත හොඳ මිත්‍රයෙක් මේ දින වල රෝගීව , දැඩි සත්කාරගතව ප්‍රතිකාර ලබන බව දැන ගන්නට ලැබුණා ..ඒ අපේ ඕනයා මල්ලි ...ඉතින් මමත් මේ කියවන ඔබ සැමත් ඔහුට නිරෝගී සුව සහ ඉක්මණ් සුවය පතනවා ....
මෙන්න තවත් ආරංචියක් ....ඔබට මතකද “මධුෂාණී දුව“ ...ඔව් අර තයිරොයිඩ් පිළිකාවකින් පෙළුනු දියණිය , ඔබ සැමගේ උපකාර මඟින් කළට වෙලාවට ප්‍රතිකාර කරගන්නට පුළුවන් වූ ඇය දැන් පිළිකා තත්ත්වයෙන් සම්පුර්ණයෙන්ම මිදිලා , නිරෝගීව තම පුහුණු කටයුතු කරගෙන යන බව දැන ගන්නට ලැබුණා ...පහුගිය දවසක අවුරුදු සුබ පැතුමක් පතන්නට ඇය මා ඇමතූ වෙලාවේ තමයි මේ කරුණු දැන ගන්නට ලැබුණේ , ඇය ඉදිරි දිනකදි එම පුහුණු පාසලේ facebook පිටුව තුලින් ඔබ අමතාවි යැයි මම බලාපොරොත්තු වෙනවා ...ඉතින් මේ සතුට ඔබ සැමට පිනක් බව කියන්නේ කුමකටද ? නේද ? ....