2013/07/11

137) ආදරය , රාගය සහ පෙති

ආදරය සුන්දර වරදක් ද ? 
පහුගිය දවස් පුරාම පත්තර වල කතාබහට ලක්වුනු මාතෘකාවක් වුනේ පාසල් යන වයසේ තරුණ දරුවන් බොහොමයක් උපත්පාලන පෙති ගන්නා බව හඳුනාගැනීමක්. එක්තරා ප්‍රදේශයක ෆාමසි ආශ්‍රිතව කළා යැයි කියන මේ සමීක්ෂණයේ ප්‍රතිපල වී තිබුණේ උපත්පාලන ගන්නා බොහොමයක් පාසල් යන වයසේ දැරිවියන් බව . මේ ලිපි වල විස්තර වී තිබුණේ මේ සංඛ්‍යාත්මක අගයන් විතර නොවෙයි . ඒ තුල , මේ පාසල් වයසේ දැරිවියන් දෝෂ දර්ශනයට ලක්කිරීමක් වෙලා තිබුණා වගේ මට දැනුන. ඒ විතරක් නොවෙයි මේ කාරණාවම දේශපාලකයන් තුලත් “රස හලන“ මාතෘකාවක් වෙමින් පවතින බව මේ දිනවල පුවත් පත් කියවත්දි වැටහීයන කරුණක්. 


මේ අනුව යමින් උපත්පාලන පෙති පාසල් යන වයසේ දැරිවියන්ට ලබා නොදිය යුතුය, ඒ දරුවන් වැරදි කරුවන්ය වගේ නානාවිධ මතවාද පළවුනා සමහර පුවත්පතක , ස්ත්‍රී දුෂණයන් කළ දේශපාලකයන් “මහත්වරුන්“ ලෙස තබා ගනිමින් මේ දරුවන් “මිනීමරුවන් වැනි වැරදිකරුවන් සේ හඟවමින්“ සමහර මාධ්‍යයන් ලිපි පලකර තිබුණා , ඒ වගේම තවමත් පළවෙමින් පවතිනබව මේ කියවන ඔබ , මට වඩා දනී යැයි සිතමි . මේ ඔස්සේ යමින් අද මගේ ලිපිය යොමු කරන්නට උත්සාහ කරන්නේ මේ “ පාසල් යන වයසේ දරුවන් උපත්පාලන පෙති භාවිත කිරීම“ , වරදක්ද ? , අපරාධයක්ද , ඔවුන් අපරාධකරුවන්ද කියන කාරණේ වගේම ඊට හේතු සාධක වුනු කරුණූ ගැනත් ටිකක් කතා කරන්න.

අත ගන්නට පෙර ...
මේ කතාවට ඇතුළු වෙන්න ඉස්සර වෙලා මුලින්ම කියන්න ඕන මොනවද මේ උපත්පාලන පෙති කියන්නේ කියන එක...ඕකත් කියන්නත් දෙයක්ද කියල කීවත් ඕනම දේක පිළිවෙලක් තියෙන්න එපායැ.  O.C.P. එහෙම නැත්නම් උපත්පාලන පෙත්ත කියල කියන්නේ , කාන්තාවකගේ දේහයේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පවතින හෝමෝනය ක්‍රියාකාරිත්වයේ තාවකාළිකව වෙනස්කමක් කරමින් , පිළිසිඳ ගැනීමක් ඇතිවීමට අදාල සෛල දෙකෙන් , ස්ත්‍රි සෛලය වන ඩිම්බ සෛලය නිකුත්වීම අවහිර කරමින් ශුක්‍රාණූවක් එක්ක එක්වීමට ඇති අවස්ථාව නැති කරන කෘතිමව සැකසූ හෝමෝන අඩංගු පෙති විශේෂයක්.  මේ එක්කම තවත් කාණ්ඩයක්  Emergency Comtraceptive Pills E.C.P ලෙස  හඳුන්වනවා , ඒ සාමාන්‍ය දිනපතා ගන්න O.C.P.වලට වඩා ප්‍රබල , හදිසි අවස්ථවකදි , ඒ කීවේ අනාරක්ෂිත ලිංගික එක්වීමක් වුනු විගස පමණක් ගත යුතු පෙති දෙකක පද්ධතියක්.  මේ සියල්ලම පොදුවේ උපත්පාලන පෙති කියලය හදුන්වන්නේ .

මේ සියල්ල ගැන මීට පෙර ලියා තිබෙන නිසා ආයෙත් එකම දේ ලියන්න යන්නේ නැහැ , නමුත් ඔබට අවශ්‍ය නම් ඒ ලිපි වෙත යන්නට මේ ලිංක් ඒ සඳහා යොදාගන්නට පුළුවන් .

116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)




දැන් ප්‍රශ්නේ මේ පෙති ගැනීම “සමාජ විරෝධි“ තත්ත්වයක්ද කියන එක....මුලින්ම හිතන්න ඕන කාරනේ මේ O.C.P. හරි E.C.P. හරි ගන්න මේ දරුවන් පෙළඹෙන්නට හේතුව කුමක්ද කියන එක . මේ සිදුවීම් වලින් 95%කට වඩා හේතුව අනාරක්ෂිත ලිංගික එක්වීම් වෙන්නට ඉඩ වැඩියි . ( දැන් එතකොට ඉතිරි 5% ? ..ඔව් සාමාන්‍ය උපත්පාලන පෙති තවත් තත්ත්ව වලට දෙනවා , විශේෂයෙන්ම ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය , ඩිම්බකෝෂ ආශ්‍රිත ගැටළු වලදි ඇයගේ ආර්ථව චක්‍රයේ සිදුවන අක්‍රමවත් තත්ත්වයන් සහ අපහසුතාවයන් පාලනයෙදි මාසික උපත්පාලන පෙති (E.C.P. නොවෙයි) වෛද්‍යවරයා විසින් ලබා දෙනවා. එය වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ඖෂධයක් ලෙසටයි එවිට පත්වන්නේ. ඒ නිසා ෆාමසියකින් O.C.P. පැකට්ටුවක් ගත් පමණින් , එය අනාරක්ෂිත ලිංගික එක්වීමක පෙර නිමිත්තක්මැයි කියන්නට බැහැ .


එහෙම නම් දැන් අපි කතා කරන්නට හදන්නේ , මේ කියන විදියට පාසල් වයසේ දරුවන් අනාරක්ෂීත ලිංගික එක්වීම් වලට යොමු වීමේ ප්‍රවණතාවය ගැන. මොකද මේ “අළුත් සොයා ගැනීම්“ වල ඇතුළු පැත්ත තමයි එය. ඇත්තෙන්ම අද පාසල් යන වයසේ තරුණ දරුවන් , දැරිවියන් ලිංගික එක්වීම් වලට යොමුවීමේ ප්‍රවණතාවය , පෙළඹවීඹ වෙනදාට වඩා වැඩි බව නම් හොඳටම දැනෙන තත්ත්වයක් . සංඛ්‍යා ලේඛනමය වශයෙන් කෙසේ වෙතත් , ප්‍රායෝගිකව ලද අත්දැකීම් අනුව එය සත්‍යයක් , මක් නිසාද , මා වසර ගණනාවක් පුරා (1992-2011 දක්වා) , තරුණ දරුවන් විශාල පිරිසක් සමඟ ඉතා ළඟින් ඇසුරු ‍අයෙක් ලෙස පසුගිය දශකයටත් අඩු කාළ සීමාවක් තුල මෙම තත්ත්වයේ දැනෙන වර්ධනයක් වූ බවට   හොඳින් දැනේ .විශේෂයෙන්ම මේ තත්ත්වයට පත්වන වයස් සීමාව පවා ක්‍රමයෙන් පහත වැටෙන බව හඳුනාගත හැකියි .  නමුත් එම තත්ත්වයට මේ දරුවන් පමණක් වරදකරුවන් නොවෙයි , ඔවුන් ඒ තත්ත්වයට පෙළඹවුයේ කවුරුන්දැයි අපම ටිකක් හිතන්න ඕන. දැන් කළ යුත්තේ ඒ සොයා බැලීම බවය මගේ අදහස , එසේ නොකොට උපත්පාලන පෙති ගන්න එපා , හෝ කාමර වලට යන්න එපා යැයි  මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පමණින්ම මේ “වසංගතය“ නිමා කළ හැකි යැයි මම නොසිතමි .

දැන් අපි තරමක් දුරට සොයා බලමු , මෙසේ මෙම දරුවන් පාසල් යන වයසේදිම හෝ “නුසුදුසු“ වයසකදී ලිංගික එක්වීම් වලට හේතුවන සාධක මොනවාදැයි . මේ කරුණූ දැක්වීමේදී ඉහත දැක්වූ කාළ සීමාව තුල මා දුටු , මා හට එම දරුවන් විසින්ම ප්‍රකාශ කළ අදහස් මූලික කර ගැනීමට අදහස් කරන්නේ මෙය සංකීර්ණ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ලෙස තොරතුරු ලබා දීමට තරම් මා දැනුවත් නොමැති බැවිනි .

“අනේ සර් , මං ඇත්තම කියන්නම් , මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමයි “ ටික කළක් තිස්සේ අධ්‍යාපන කටයුතු වලින් ඈත්වී යන බවක් පෙන්නුම් කළ එක්තරා දියණියක් සමඟ සිදුවෙමින් යන වෙනසට හේතුව සොයාගන්නට , පුද්ගලිකව කතා බහක් ඇරඹූ අවස්ථාවේ කාටවත් නොකී ලොකු කතාවකට මුල පිරුවේ එලෙසින් ..
“සර් , මට හැම සති අන්තෙම  එයා එක්ක හොටෙල් එකේ ඉන්න වෙනව , කොච්චර කීවත් වැඩක් නැහැ සර්, එහෙම නැතොත් එයා මං ගැන ගමේ කතාවක් පතුරවනල මාව දාල යනව  කියන නිසා මට බයයි ,ඒ  නිසා හැම සෙනසුරාදාම එයා මට කරදර කරනව සර්.........“ 

මේ කතාව තවත් ඉදිරියට මෙහි සටහන් කරන්නට මම කැමති නැත්තේ එහෙම වුනොත් ‘‘සොඳුරු සුව අසපුවත්“ කුණු රසය වගුරවන තැනක් බවට පත්වෙන නිසා . ඒත් මේ කරුණ හඳුනගන්නට මේ දෙබසම ප්‍රමාණවත් , ඒ තමයි මේ අනාරක්ෂිත ලිංගික එක්වීම් වලට ප්‍රධාන හේතු සාධකයක් “ බලපෑම“ . 

ප්‍රධාන වශයෙන්ම තම පෙම්වතාගෙන් , පෙම්වතා යැයි විශ්වාස කරන්නාගෙන් ඇති කෙරෙන විවිධ බලපෑම් ( විටෙක එය තර්ජණාත්මක එකක් වන්නටත් , විටෙක එය එහු ඇටවූ උගුලක අසුවු ඇයට කෙරෙන ඉල්ලීමක් නිසා වන්නටත් පුළුවන්) ප්‍රධාන තැනක් ගනී . ඒ බලපෑම් සඳහා ඉහත ආකාරයේ වාචික තර්ජන මෙන්ම ,මුදල්   ලබා දීම, නවීන උපකරණ ලබා දීම ,  පෙර සූදානම්ව ලබා ගත් ඇයගේ නිරුවත් දර්ශණ ඇමක් ලෙස යොදා ගන්නා අවස්ථා අද වැඩි වෙමින් තිබෙන බව පසුගිය දිනවල පුවත්පත් වල පල වූ ලිපි මඟින් දැන ගන්නට පුළුවන් . මීට අමතරව අද වයස 12-16 වැනි වයස් සීමාවේ පාසල් දැරිවියන් අතර පවතින බව “පෙම්වතෙක්  නැතිවීම අඩුවක් , ලජ්ජාවට කාරණයක් “ ය යන ආකල්පයද (මේ පිළිබඳව  පර්යේෂණයක් කළ බව පසුගිය දිනෙක පුවත්පත් වල පළ විය ) මීට උල්පන්දම් දෙන හේතුවක් බව කිව යුතුමයි .එබදු හේතු මත “පෙම්වතා“ රඳවා ගන්නට ඇය ඕනම කැප කිරීමක් කරන්නට පෙළඹීම විය හැක. මීට අමතරව , අද ලංකාවේ බිහිවෙමින් පවතින  බටහිරට අනුගත සමහර උප සංස්කෘති තුල මෙවන් ලිංගික එක්වීම් අත්‍යවශ්‍ය කොටසක් පමණි , සමහර විට මෙය “මිතුරු පිරිසක්“ ලෙස සමාජය තුලට පෙන්වුවත් , එසේ නොපෙන්වන සැඟවුනු චර්යාවන් මෙම උපසංසකෘති තුල ඇත, Party එකක් , Night out එකක් , බියර් එකක් ලෙස ඇරඹෙන මේ චර්යාවන් අනාරක්ෂිත ලිංගික එක්වීම් වලින් නොනැවති ඉන් එහා ගිය සමාජය පිළීනොගන්නා චර්යාවන් දක්වාද යන තත්ත්වයක් ඇති බව පිළිගන්නේ කීයෙන් කීදෙනාද ? මෙවන් පරිසරයකදී . අනාරක්ෂීත ලිංගික එක්වීම්  සඳහා තම සම කණ්ඩායමන් එන  (Peer group presure) පෙළඹවීම් ප්‍රධාන තැනක් ගනී .“මොනාද බං උඹ තාම ඒකීව කොහෙට හරි රෑම් එකකට  ඇද්දේ නැත්ද ? “  ප්‍රශ්නය අසන කොළු පැටවු මෙන්ම “ ඔයාට එයා  ෂුවර්නේ අනේ , ඉතින් තාමත් කොහේට හරි ගියේ නැත්ද , අපි යන රූම් එකට නම් පොලිසියෙන් එන්නේ නැහැ “ කියු  කෙළි පැටවුන්ද මට දකින්නට , අසන්නට ලැබී ඇති නිසාම නොව “ මෙහෙම දේවල් අපේ රටේ නැහැ“ යි සිතා හිත හදාගන්නට හැදුවත් සැඟවී ඇති ඇත්ත එය බව අද මේ එළි දැක්වෙන වාර්තා , ලිපි අනුව වැටහී යන කරුණක්. 

මේ බලපෑම් වලට අමතරව තවත් සාධක ගණනාවක් අද මාතෘකාවන කරුණට හේතු සාධක වුනත් ඉන් කිහිපයක් කෙටියෙන් විමසන්නට උත්සාහ කරමි. 

“කුතුහලය“ මේ ඊළඟ ප්‍රධාන සාධකය ලෙස හදුන්වා දෙන්නට මා කැමැත්තෙමි. මක් නිසාද යත් , වයස අවුරුදු 12-15 අවධිය තුල මෙම දරුවන්ගේ ජීව පද්ධතිවල “මහා පරිමාණ“ වෙනස්කම් රැසක් සිදුවන කාළයකි. විශේෂයෙන්ම තම සිරුරේ ලිංගික අවයව ආශ්‍රිතව සිදුවන වෙනස මෙන්ම , මානසිකව ඒ පිළිබඳව ඇති වන කුතුහලයද සාමාන්‍ය ජීව විද්‍යාත්මක තත්ත්වයකි. මෙම කුතුහලය නිවැරදි ලෙසින් වටහා නොදුන් තැන සිදුවන්නේ දරුවා විසින් අත්දැකීම් ලබමින් මේ කුතුහලය විසඳා ගැනීමයි . දැන් ඔබ විමසාවි මේ කුතුහලය සත්ව වර්ගයාගේ ආරම්භයේ පටන්ම තිබුණා නේ කියා , ඔව් , විශේෂයෙන්ම ද්විතික ලිංගික ලක්ෂණ ඇති වීමත් සමඟ මානව කයේ සහ මනසේ ඇති වන වෙනස් වීම් එදා සිටම තිබුණා , නමුත් පිළිගත් . සංවිධානික , සමාජය තුල ඒ කුතුහලය යම් වයස් සීමාවක් දක්වා “යම් තරමකට හෝ හිරකර තබන්නට“ එදා පැවති සමාජිය , ආගමික සහ දෙමාපිය පෙළඹවීම් සාධක වූ බවට සාක්ෂී අවශ්‍ය නොවේ යැයි සිතමි.තමුත් එම බැදීම් ලිහිල්ව ගිය කළ , ඇත්තෙන්ම අප විසින්ම ලිහිල් කළ විට “ගින්දරයි පුළුනුයි “ ඇවිල වීම කළේ කවුදැයි අප මේ සමාජයෙන්ම ඇසිය යුතුවේ .

දැන් අපි ටිකක් කතා කරමු “මේ ලිහිල් කිරීම“ කළේ කවුරුන්දැයි , මීට දශක තුනකට පෙර පවුලක පැවති බැඳියාව , සහ අද තත්ත්වය සංසන්දනය කිරීමට ඔබට හැකිනම් වරද කාගෙදැයි තරමක් දැනේවි . එදා දරුවන් වෙත තිබූ දෙමාපිය රැකවරණය සහ ආදරය  අද දරුවන්ට ලැබේදැයි අවිශ්වාසය , පවතින ආර්ථික තරඟය නිසා දෙමාපියන් සහ දරුවන් අතර දුරස්ථ බවක් ඇති වෙමින් යන බව ඔබේ වට පිටාවේ සිදුවන දෑ නිරික්ෂණය කළ හොත් ඔබටම වැටහේවි . මේ මව් දරු සබඳතා දුර්වල වීම , සමාජ විරෝධී හැසීරීම් ගණනාවකට හේතුවන අතර , අද මේ  කියන පාසල්වයසේ දරුවන් අනාරක්ෂීත ලිංගික එක්වීම් වැනි දේටම එය හේතුවන බව වැටහීයන කරුණකි . ජීවිතයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන “ආදරය“ ගෙදරින් නොලැබෙන කළ , පාසල් වයසේ මේ දරුවා ඒ “ආදරය“ වෙනකෙකු වෙතින් පැතීම අසාධාරණ දැයි සිතන්නට කාළයයි . දම් වැලක පුරුක් ලෙස මේ “ආදරය පැතීම“ , ලිංගික එක්වීමක් ලෙස ක්‍රියාත්මක වන්නට නොදැනුවත් කම , මෙන්ම මේ කියන පෙළඹවීම්ද හේතුව බව ඔබට වැටහේවි.

දැන් වැඩිහිටියන් හුඟ දෙනෙක් කියන දෙයක් , “අපේ කාළෙ ඔහොම නැහැ , දැන් තමයි මේ ඔක්කොම “ ....ඔය කතාවේ ඇත්තකුත් , නැත්තකුත් දෙකම තිබෙන බවයි මගේ හැඟීම. මොකද ඒ කාළෙත් තරුණ වයසේ හිටි අය අතරේ විවාහයෙන් තොර , ලිංගික ඒකවීම් වෙලා ඇති , අද තරම්ම නැති වුනත් , එදත් මේ ලිංගිකව එක්වීමේ සිදුවීම් තිබුණා. ඒ රහසේ , ඒත් අද  , සියළු පහසුකම් සපයා ඇති නිසා , එදාට වඩා බැඳීම් ලිහිල්ව ගොස් ඇති නිසා මේ දේවල් වලට ඉඩ කඩ බොහෝමයි

“ලිහිල් කිරීමේ “අනෙක් සාධකය ලෙස අද නගරය පුරා පැතිර ඇති “කාමර ජාලය“ හඳුනාගත යුතුව ඇත. ගාල්ල , මාතර , තංගල්ල ,කතරගම පමණක් නොව බදුල්ල නුවර එළිය වැනි නගර වලදී මා දුටු සත්‍ය නම් සතියේ දින වල කෙසේ වෙතත් , ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් යන පාසල් වයසේ දරුවන් බසයෙන් බැස , ඊළඟට නැග ගන්නා ත්‍රීවීලරය බොහෝ විට නවතින්නේ “කාමර පහසුකම්“ බෝර්ඩ් එක සහිත ලොකු ගේට්ටු ඇති හෝටල් යැයි කියා ගන්නා ගුබ්බෑයම් තුලටයි . දිනකට අය කිරීමක සිට පැය කිහිපයක් දක්වා පමණක් කෙරෙන සුළු අයකිරීමක් සහිතවද (Short time service)  “පහසුකම් සපයන මේ කාමර “ අද නගරයේ පමණක් නොව ගම්මාන තුලද බිහිවෙමින් යන බව , 2011 දී ලංකාවේ පිටවන්නට පෙරම දැනුනු තත්ත්වයකි . විශේෂයෙන්ම රජයේ නිවාඩු දින වලදී මේ කාමර පමණක් නොව පිළිගත් හෝටල් වෙතද කඩිමුඩියේ රිංගන පාසල් වයසේ දැරිවියන් ඔබද දැක ඇතැයි සිතමි. මේ සඳහාම සේවය කරන්නට කැපවුනු හෝටල් කාමර ජාලයක් මෙන්ම  , ඔවුන්ගෙන් සන්තෝසම් ලබන ත්‍රි රෝද රථ ජාලයකුත් පවතින් බව නගරයේ සෝදිසියෙන් සිටින ඔබට වටහා ගන්නට පුළුවන් වේවි . මම මේ කියන තත්ත්වය ඉහත කී ප්‍රෙද්ශ තුල මගේ විමසුමට හසුවී ඇතත් අනෙක් පෙදෙස් වල එසේ නොවේ යැයි සිතන්නට නොහැකි තරම්ය. 

මේ ප්‍රවණතාවන්ට තවත් හේතු සාධකයක් ලෙස “සාරධර්ම නැති සමහර මාධ්‍ය ආයතන“ හඳුනාගත හැක . අද පුවත් පතක මුල් පිටු කිහිපය කියවන ඔබ මේ පිළිබඳව යම් අදහසක් ගත හැකියේ යැයි මම විශ්වාස කරමි . තවත් ලෙසකින් අදාල මාධ්‍ය විකුණවා ගැනීමට ස්ත්‍රි දුෂණය , ලිංගික ප්‍රශ්න වැනි දේ භාවිත කරන අවසථා වැඩි වෙමින් පවතින බව දැනේ . විද්‍යුත් මාධ්‍ය තුල පෙන්වන , සමහර ටෙලි නාටක දරුවාගේ මනස තුලට රිංගවන්නේ “ඒ විදියට මාත් ඉන්න ඕන , ඒක තමයි අද හැමෝම පිළිගන්නේ“ වැනි අදහසක් . මේ රිංගවීමට ලොකු පිටුවහලක් ටෙලි නාටකයට ඇබ්බැහි වී සිටින මව , පියා සහ පවුලේ අය විසින්ම ඇයට දෙන බව තේරුම් ගත යුතු තත්ත්වයක් . මේ මාධ්‍යයන්ට අමතරව ජංගම දුරකථන සහ අන්තර්ජාලය ඔස්සේද මේ දැරිවියන් “ඇය නොදන්නා අනතුරකට“ යොමු කරවමින් තිබෙනවා. විශේෂයෙන්ම එදා හොර රහසේ කොළු පැටවුන් පමණක් නැරඹූ අසභ්‍ය විඩියෝවන් අද ජංගම දුරකථන ඔස්සේ පාසල් දැරිවියන් වැඩි වශයෙන් නරඹන බව කවුරුත් වැඩිය කතා නොකරන සත්‍යයක් , මේ වෙනුවෙන්ම සමහර කාන්තා පාසල් තුල “Video share club“ තිබෙන බව ඔබ දනීදැයි මම නොදනිමි. මේ දර්ශන තුල පෙන්වා දෙන “අසාමාන්‍ය“ තත්ත්වයන් පිළිබඳ හැඟීම , ඒ වයසේ කුතුහලය සහ පෙර කතා කළ “ලිහිල් කිරීම්“ හමුවේ අනතුරකට මඟ පාදන බව තේරුම් ගත හැකි සත්‍යයක්.

නීතියම ප්‍රමාණවත්ද ? 
මේ සියළු සාධක එක්ව ගත් කළ පවතින තත්ත්වයට පිළිතුර , “පාසල් දරුවන් අතට උපත්පාලන පෙති  ළඟා වීම නීත්‍යානුකූලව තහනම් කිරීම“ යැයි සිතන අයෙක් වේනම් එය නිසි පිළිතුර දැයි විමසන්නට කාළයයි . 
උපත් පාලන පෙති ඔවුන්ට මිලදි ගැනීමට ඇති හැකියාව වැලැක්වූ පමණින් මේ සියල්ල උඩුගං බලා පීනාවි යැයි සිතීම උගහටය . එසේ වුව හොත් තත්ත්වය තවත් නරක අතට පත්වෙමින් , මීටත් වඩා අනාරක්ෂිත තත්ත්වයන් ඇති වීම විණා යහපතක් වීමට ඇති ඉඩ අඩුය. කළ යුතුව ඇත්තේ සමාජයෙන් , ආගමික පරිසරයෙන් , පවුල් පරිසරයෙන් ඒ දැරිවියට සිදුවූ අඩුපාඩු හඳුනාගනිමින් , ඒ හැකි තරම් වලක්වා ගනිමින් , නිසි ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම යැයි මම සිතමි . පාසල පමණක් නොව යෞවන සමාජ, සමිති , මෙන්ම මාධ්‍යයද නිසි නිවැරදි ප්‍රජනක දැනුමින් මේ දරුවන් පෝෂීත කිරීම අද දවසේ කාර්යය වනු ඇත, එසේ නොකොට මේ දැරිවියන් , දරුවන් සමාජ විරෝධීන් ලෙස පෙන්වා දීමෙන් , පෙති ගැනීම තහනම් කිරීමෙන් හෝ ආදර සහ රාගය අතර වෙනස විස්තර කර දීමෙන්ම පමණක් පවතින තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබා ගැනීම අපහසුවේ යනු මගේ අදහසයි .

මේ ලිපිය තුල මා කතා කළ කරුණූ පිළිබඳ ඔබේ අදහස් මෙන්ම , මේ තත්ත්වය පිළිබඳ ඔබේ විවෘත අදහස් දැන ගැනීමට මා කැමැත්තෙන් සිටින්නේ , ඒ සියලු දේ එක්වු කළ සුළු පිරිසක් හෝ මේ පිළිබඳව කතා කිරීමට පෙළඹවීමක වන හෙයිනි. එම යහපත් පෙළඹවීම් එක්වූ විටෙක “යහපත් ප්‍රතිපලයක්“ ලැබේ යනු මගේ විශ්වාසයි.

එසේනම අදට සමුගනිමි , නැවත හමුවෙමු සතුටු සිතකින් !