2013/07/15

138)  විද්දලා , රිද්දලා , පන දෙනා රූ රටා

මේ දවස් වල පුදුම රස්නයක් තියෙන්නේ , ඒ නිසාම ඉතින් වෙනද වගේ ඇඳුම් දෙක තුනක් ඇඳගෙන , කබා දාගෙන යන්න ඕන නැති නිසා , කවුරුත් බොහාම සැහැල්ලු ,ඇඳුමකින් තමා සැරසිලා ඉන්නේ මේ දවස් ටිකේ. මේ අතරේ සමහර තරුණ කොලු ගැටව් , කෙලි පැටික්කියෝ නම් සැහැල්ලු බව උපරිමේට ගිහින්.  මේ නිසාම පහුගිය කාළේ හංගගෙන හිටපු ලස්සන දේවල් දැන් එළීයට දාගෙන යනවා , දැන් මේ කීව දේ ගැන කළබල වෙන්න එපා , මම කීවේ පහුගිය කාළෙ එළියට දා ගන්න බැරිව වහගෙන හිටපු ලස්සන ලස්සන ටැටූ ...දැන් තමයි බලන්න ඕන .


 මට මේක කියන්න හිතට ආවේ අද එන ගමන් දැකපු , “නව රසයම දැනෙන ටැටු  “ නිසා , අවුරුදු දහඅටක විතර කොටු පැටියෙක් , මුළු ඇඟේම “කංසා පැලේ කොළ‘‘ රටාව , ඈතට දැක්කම මේක නියම වේලිච්ච කංස පැලයක් , තව කෙල්ලෙක්ගෙ පිටේ , සිගිරි බිතු සිතුවමක් , තව මහත්තයෙක්ගේ කකුලේ පහල ඉඳන් උඩට එතිලා ෂෝර්ට් එක අස්සට බඩ ගාන සර්පයෙක් . , ඒ අස්සේ තට්ටේ ඉඳන් බෙල්ල දිගේ වැක්කෙරෙන බියර් වීදුරුවක් .....තව තව ...හැඩ රටා ..... 

ගෙදර එනගමන් මේ ටික දැක්කම මට මතක් වුනේ  ,අපේ ගමේ හිටපු “බොම්බ සමරේ අයිය“ (  ඒ නම හැදුනු හැටි නම් මම දන්නේ නැහැ )  ... ඒ කාළේ ගමේ චණ්ඩියෙක් විදියට හැමෝටම අයිය කෙනෙක් වෙලා උන්නු  හිත හොඳ ඒ මනුස්සය ගේ පපුව පුරා ඇඳළ තිබුණූ කොටි රූපය තාම මතකයි , හැමදාම උදේ පාන්දර සරම විතරක් ඇඳගෙන , ඔරු පොළට යන මේ මනුස්සයගේ තිබුණු “පච්චේ“ කළු පාට විතරක් වුනත් අද , වෛවර්ණ , ඒ විතරක් නොවෙයි ලුමිනස් වර්ණ එකතු වෙමින් “අලංකාර කළාවක්“ බවට පත්වෙමින් තිබෙනවා . 

මේ වගේ බටහිර රටවල විතරක් නොවෙයි දැන් ලංකාවෙත් ඉතා ජනප්‍රිය , කළාවක් , ව්‍යාපාරයක් බවට පත්වෙමින් යන මේ “ටැටු ගැන “ සොඳුරු සුව අසපුවෙන් කතා කළොත් හොඳයි කියල හිතුන නිසා මේ සටහන එකතු කරන්නේ .

අපි මුලින්ම බලමු මොකක්ද ඇත්තටම ටැටූ එකකදි කෙරෙන ක්‍රියාවල කියලා . ඒ ගැනත් කතා කරන්න නම් අපට පොඩියට හරි ජීව විද්‍යාව පාඩමක් කරන්නම වෙනවා . ඒ තමයි අපේ සමේ ව්‍යුහය ගැන .

 මිනිස් සම විස්තර කිරීමේ පහසුවට ප්‍රධාන ස්ථර තුනකට බෙදා ගන්න පුළුවන් , මුලින්ම එළීයෙන්ම තිබෙන අපිචර්මය හෙවත් Epidermis  මේක හැදිල තියෙන්නෙ ලූණු පොතු වගේ පැතලි සෛල රාශියක් එකමත එක තැන්පත් වෙලා , හරියට තනි ගඩොලේ බිත්තියක් වගේ , ඒ බිත්තියේ එළීයට වන්න තිබෙන ගඩොල් (සෛල ) හොඳටම වියලිලා මිය ගිය සෛල , ඒව බොහොම පහසුවෙන් ගැලවිලා අපේ ඇඟෙන් ඉවත් වෙනවා , ඔය හොඳට කසන කොට එහෙම ගැලවිලා යන්නෙ අන්න ඒ සෛල , කැසුවෙ නැතත් හැම තිස්සෙම මේ එළියෙම තිබෙන මිය ගිය සෛල යම් ප්‍රමාණයක් අපේ ඇඟෙන් හැලෙනවා (හැව අරිනවා ) , ඒ වෙනුවට අළුත් සෛල , මේ ස්ථරයේම ගැඹුරින් තිබෙන සෛල වලින් හැදෙමින් , ගැලවිලා යාම නිසා ඇතිවෙන හිදැස පුරවනවා , ඔය අපිචර්මයේ පතුලේම තිබෙන සෛල කාණ්ඩයක් වන මෙලනොසයිට් නිසා තමයි අපේ සමට මේ පාට ( කළු පාට) ඇවිත් තිබෙන්නේ . ඔය විදියට තමා අපේ ඇඟ සමේ ආරක්ෂාව පවත්වා ගන්නේ . 

මේ ස්ථරයට යටින තමා ඩර්මිස් නැත්නම් චර්මය කියන කොටස තිබෙන්නෙ . එහි තමා සමට අවශ්‍ය ලේ නහර  , ස්නායු සංවේදක දහදිය නිපදවන ග්‍රන්ථි , සමේ තෙල් ගතිය ඇති කරවන ග්‍රන්ථී ඔය වගේ දේවල් තිබෙන්නේ , අපි කතා කළ අපිචර්මයට වඩා ටිකක් ශක්තිමත් , හේතුව මේ ප්‍රෙද්ශය පුරා පිරිලා තිබෙන්ව කොලැජන් කියන ශක්තිමත් ප්‍රෝටීන කෙඳි . 

ඊට යටින තමා අපේ තෙල් තට්ටුව තිබෙන්නේ , දේහ උශ්නත්වය පාලනය කරගන්න වගේම කම්පනය උරාගන්නත් මේ තෙල් තට්ටුව වැදගත් . 

හරි ...මේ කතා කළේ සම ගැන පොඩි විස්තරයක් ....දැන් මේ ටැටූ වලදි මොකක්ද කෙරෙන්නේ . මෙතැනදි කෙරෙන්නේ ඉදිකටු සහිත උපකරණයකින් සමේ Dermis එක දක්වා සිදුරක් හදල , ඒ සිදුර ඇතුලට පහසුවෙන් දිය නොවන , රසායනික වශයෙන් විශාල අණු විදියට තිබෙන තීන්ත බිංදුවක් , ඇතුළු කරන එක , ඒක බිංදුවක් නොවෙයි , අඳින්න හදන රූපෙට අදාලව මේ විදියට සමේ ගැඹූරට තින්ත බින්දු තැන්පත් කරන එක තමා මෙහිදි සිදුවෙන්නෙ . යම් සම්මත වේගයකින් ක්‍රියාත්මක වන නිසා , මේ විදියට සම සිදුරු කිරීම සහ තින්ත බිංදු තැන්පත් කිරීම , රටාවකට , වේගයෙන් සිදුවෙනවා .දැන් එන ප්‍රශ්න කිපයක් තිබෙනවා , අපි ඒ ටික කතා කරල ඉමු වැඩේ ගැඹූරට යන්න ඉස්සර වෙලා , එක , ඉතින් මේ විදිල්ල විදින කොට රිදෙනවද ? ...ඔව් සමේ සිදුරු විදින නිසා ටැටූ එක නිර්මාණය කරන කාළ සීමාව තුල වේදනාවක් ඇතිවෙනවා , නමුත් අපි එක එක්කෙනාගේ වේදනාව දරා ගැනීමේ හැකියාව නිසා කෙනෙක් කියන්න පුළුවන් “අපෝ ඔය කියන තරම් කැක්කුමක් නැහැ“ කියල , තවකෙනෙක් කියන්න පුළුවන් .......කියල වැඩක් නෑ ......එකක් ගහල නොගියනම් මම නම් මේක කරගන්නේ නෑ කියල “ .....

ටැටූ උපකරණ කට්ටලය
ඊළඟ ප්‍රශ්නේ මේක ඇත්තටම තුවාල කිරීමක් නේ , ? ඉතින් මේක ඇඟට හොඳ නැතිව ඇතිනේද ? ....ඔව් මේ ක්‍රියාවලිය තුල සම හෙවත් අපේ ලොකුම ආරක්ෂක බල ඇණිය බිඳීමක් කරනවා . ඒ නිසා තමයි ටැටූ විදීම කෙරෙත්දි ඒ උපකරණ ජීවාණුහරණය හෙවත් වැඩිපීඩනය යටතේ හුමාලය මඟින් තම්බා විසබීජ සම්පුර්ණයෙන්ම විනාශ කර , විෂබීජ රහිත තත්ත්වයක පැවතිය යුත්තේ (අපි මේ ගැන තව ටිකකින් කතා කරමු) , ඒ විදියට විෂබීජ රහිත තත්ත්වයකින් මේ සිදුරු විදීම කළොත් , අළුත් සෛල වලින් සමේ බිඳම ආවරණය වෙලා , මේකත් තවත් සුළු තුවාලයක් විදියට ටික දවසකින් වේලිලා යනවා. හැබැයි අදාල ටැටුව ලබා ගන්නා පුද්ගලයා පාළනය නොකළ දියවැඩියාවෙන් හෝ වෙනත් ප්‍රතිශත්කිය අඩුවන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් මේ සුව වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙන්න හරි වැඩේ ටිකක් දුර දිග යන්න හරි පුළුවන් . 

තව ප්‍රශ්නයක් මේ හුඟක් ටැටූ මැකෙන්නෙ නැත්තේ කොහොමද කියන එක ....මෙහෙමයි මම දන්න විදියට නම් ටැටූ වර්ග ගණනාවක් තිබෙනවා , temporary tatto ටික කළකින් මැකිළ යනව , තවත් ස්ටිකර් ක්‍රමයේ ටැටූ පොඩි දරුවන් වෙනුවෙන් දකින්න තිබෙනවා , ඒව නම් දවසකින් දෙකකින් ඉබේම මැකෙනවා , ඒත් Permenant tattoo කියන වර්ගය සෑහෙන කාළයක ලොකු වෙනසක් නොවී තියා ගන්න පුළුවන් . ඒ කීවේ අර මුලින් කතා කළ විදියට Dermis පටකය තුලි තීන්ත විදල කරන ටැටූව සෑහෙන කාළයක් පවතිනවා , කොහොමද ඒ ? ඔය සම ඇතුලට ඇතුළු කරන බොහොමයක් තීන්ත සාමාන්‍යෙයන් දියවෙලා ලේ නහර තුලට උරා නොගන්න රසායනික මිශ්‍රණයක් , ඒ නිසාම අවට ඉන්න සුදු රුධීරාණු මේ පාට පාට ආගන්තුකයෝ ටික වට කරල පහර දෙන්න , ගිලල දාල විනාශ කරන්න හිතාගෙන සටහන් පටන් ගන්නව , ටැටූව ගහල දවසක් දෙකක් යත්දි . ඒත් හිතපු තරම් මේ තීන්ත ගිලල විනාශ කරල දාන්න බැරි බව වගේම එයාලගෙන් ක්ෂණිකව ලොකු කරදරයක් නැති වගේ පේන නිසා , තීන්ත බිංදු තියෙන හරියට  ටිකක් රිද්දල , සැර දාල (ප්‍රදාහයක් inflammation) ටික දවසකින් යන්න යනවා , ඊට පස්සේ මේ තීන්ත බිංදු චර්මයේ  පතුලේ තැන්පත් වෙලා රැඳිලා තිබෙනවා . අපිචර්මය වගේ , ඊට ඇතුලින් තිබෙන චර්මය  කොටස කළබල පටක ස්ථරයක් නොවෙයි , එහෙම කීවේ අපිචර්මය නම් හරිම වේගයෙන් සෛල බෙදෙමින් , එළියෙ සෛල ගලවල දාමින් අළුත් වෙනවා . ඒත් චර්මය ඒ විදියට කළබල නැති නිසා ඒ ස්ථරය සෑහෙන කාළයක් සෙමෙන් සෙමින් වර්ධනය වෙමින් පවතිනවා , ඒ නිසාම අර තීන්ත බිංදුත්  චර්මයත් එක්ක හිමිට රැඳිලා තිබෙනවා , ඔන්න ඔය නිසා තමයි පර්මනන්ට් ටැටූ එකක් අවුරුද දහයක් විතර වුනත් ලොකු වෙනසක් නැතිව තිබෙන්නේ , ඒත් අපිට නොදැනුනාට හිමින් හිමින් ඒකෙත් පාට , වර්ණ වල තීව්‍ර බව වගේ දෙවල් අඩු වෙන්න පුළුවන්.

තවත් ප්‍රශ්නයක් ! ..ඔව් අහන්න ඉස්සර වෙලා මම විස්තර කරන්නම් , ඒ ටැටූව ඉවත් කරන්න පුළුවන්ද කියන එක ... තාවකාළිකව සහ කෙටි කාළිනව යොදන ටැටූ නම් ඉවත් කරන්නට පහසුක්‍රම තිබෙනව කියැවුනත් , ස්ථාවර ටැටූ ඉවත් කිරීම ටිකක් අපහසු ඒ වගේම කාළයක් යන කටයුත්තක් , මේ පැත්තේ නම් ඒ වෙනුවෙන්ම ලේසර් ප්‍රතිකාර කරන ක්ලිනික් කිහිපයක් දකින්න තිබෙනවා . නමුත් වැඩේට ලොකු කාළයක් වගේම වියදමකුත් යනවා. 

දැන් මේක කියවන ඔබ බලනවා ඇති වෙනද ලෙඩ දාල සොඳරු සුව අසපුව අද ලෙඩක් නොදා හැඩක් දාන්නේ මොකද කියලා ...නෑ නෑ .....වෙනද වගේම අදත් ලෙඩක් දාන්නයි දැන් හදන්නේ මොකද මේක ඉතින් ලෙඩ දාන බ්ලොග් එකනේ නේද ? .... ( ඒ නිසාම නේනනම් සොඳුරු සුව අසපුව ඒ තරම්ම ජන+අප්‍රිය නැත්තේ)  කොහොම වෙතත් අපි දැන් කතා කරන්න හදන්නේ මේ ටැටූ අපේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි ආකාරය , මොකද දැන් ලංකාව පුරාමත් මේක රැල්ලක් වගේ වෙනවා නේ , ඒත් ඒ රැල්ලේ හොඳනරක දැනගෙන කරන අය ඉන්නවා නම් ඒ ටික දෙනෙක් වෙන්න ඕන . එහෙම නම් මුලින්ම තිබෙන කටකතාවක්ම විස්තර කරමු , “ ටැටූ ගැහුවම කැන්සර් හැදෙනවලු“ ...පහුගිය දවසක මම වැඩිදුර පුහුණුවක් ලබන ආයතනයට  ආව , අළුත් ටැටුවක් ගහගත්තු කොල්ලෙකුට , ටිකක් පණ්ඩිත කෙල්ලෙක් කියනවා මම අහගෙන . කොල්ලනම් කිසි ගාණකට ගත්තේ නැහැ , මොකද තවමත් කිසිම පිළිගත් වෛද්‍යපර්යේෂණ ආයතනයකින් තහවුරු කරගෙන නැහැ ටැටූ නිසා පිළිකා ඇති වන වගක් , ඒත් ඔවුන් යම් අවදානමක් නිකුත් කරනවා මොකද දැන් මේ ටැටූ ලාභ ලබන ලොකු ව්‍යාපාරයක් වීමත්  එක්ක දේහ ගත කරන තීන්ත වල තත්ත්වය දුර්වල වීමක් , අළුත් රසායනික වර්ග මිශ්‍රකිරීම් වීම් වැනි මේ මත ඉදිරියේ යම් වියහැකි අවදානම් තිබෙනව බව .  ( හේතුව සමහර රට වල වාහන වලට ආලේප කරන ඊයම් සංයුතිය වැඩි තීන්ත වර්ග පවා භාවිත කර තිබුණා ) . කෙසේ වෙතත් මේ ටැටූව නිර්මාණය කිරීම , සමේ ගැටිති , ඉන්නන් වැනි දෑ ඇති තැන්වල නොකළ යුතු බව වෛද්‍ය මතය , මක්නිසාද සමහර අවස්ථාවල “සැඟවී පවතින“ පුර්ව චර්ම පිළිකා මේ ටැටූ මඟින් වැසී යාමෙන් හඳුනාගැනීම ප්‍රමාද වන්න පුළුවන් නිසා . එහෙම වුනොත් චර්ම පිළිකාවේ හේතු කාරකය ටැටූව නොවුනත් , එයා ඊට උපකාර කර කෙනෙක් වෙනවා .  මේ කිසිම අවස්ථාවක ටැටූ නිසා පිළීකා ඇති වී තිබෙන බව හෝ පිළිකා වර්ධනය වන බවක් තවම ඔප්පු කොට නැහැ . 

පිළිකා කතාවක් නැතත් ,  ටැටූවක් සකසා ගන්නට අවශ්‍ය යැයි හිතන කෙනෙක් තීරණය කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා . අදාල කෙනා කාන්තාවක් නම් , ගර්භණී තත්ත්වයේ ඉන්නා කාන්තාවක් නම් පොඩ්ඩක් ඉවසන්න , දරුව ලැබුණට පස්සේ ටැටූව ගහගන්න පුළුවන් නම් වඩා හොඳයි , ඒ වගේම දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක්ට ටැටුව ගහගන්නම ඕන නම් ( වලකිනවා නම් හොඳයි) මුලින්ම හොඳන් දියවැඩියාව පාළනය කරගන්නට ඕන , එහෙම නොවුනොත් ටැටූ එක දෙක තුනක්ම හැදෙන්න පුළුවන් . තවත් ඔබ යම් ආහාර , ඖෂධ වලට අසාත්මිකතාවයක් දක්වන කෙනෙක් නම් හුඟක් පරිස්සම් වෙන්න ඕන . විශේෂයෙන්ම ටැටූව ඔස්සේ සමට ඇතුළු කරන තීන්ත වර්ගය ඔබට අසාත්මික නොවන එකක් බව තහවුරු කරගෙන මිසක ටැටුව ගහගන්න  එපා .මොකද ඒක ජීවිතේ එක්ක කරන සෙල්ලමක් වෙන්න ඉඩ තිබෙනවා.

දැන් ටැටූව කරගන්න කෙනා සහ තැන තීරණය කරත්දි මෙන්න මේ කරුණූ ගැන දැන ගෙන ඉන්න එක වටිනවා , මුලින්ම අදාල නිර්මාණ ශීල්පියා අදාල කළාව පිළිබඳ අත්දැකීම් ඇති කෙනෙක්ද කියන එක , මොකද මේ විදිල්ලේ වැඩේ වැරදුනොත් කරදර ගොඩක් නේ , දක්ෂ ටැටූ ශිල්පීන්ට නම් අදාල ටැටූවේ පොඩි වරදක් වුනත් නොදැනෙන්න ඒක වෙනස්කරලා නිර්මාණය පවත්වා ගන්නට පුළුවන් . (මේ ගැන පහුගිය දවසක ලංකාවේ පරණම ටැටූ ශිල්පියෙක් කතා කරලා තිබුණා ) 
ඊළඟට වැදගත්ම දේ, අදාල ස්ථානය , ආයතනය පවිත්‍රතාව අතින් ඉහළ මට්ටමේ , පවතීද කියන එක , ඒ වගේම විෂබීජ මර්ධනය , ආසාදාන පාලනය ගැන ප්‍රමාණවත් දැනුමක් , ක්‍රියාත්මක වීමක් සහිත තැනක් සහ කෙනෙක්ද කියන එක. මොකද මේක කරන කෙනා සහ තැන විෂබීජ වලින් පිරිච්ච තැනක් නම් ටැටූව ආසාදනයට පත්වීමට ඉඩ වැඩියි . 

උපකරණ වල විෂබීජ නැසීමට මේ වගේ උපකරණයකින් තමා
අධී පීඩනය යටතේ හුමාලයෙන් තම්බා ගන්නේ 
ඊළඟට මේක කරත්දි , ටැටු විදීමට ගන්නා තුඩු ඔබ වෙනුවෙන්ම අළුතෙන්ම යොදා ගන්නවාද (ඩිස්පෝසබල් කටුද ) , නැත්නම් නැවත නැවත භාවිත කරන කටු යොදා ගන්නවාද කියන එක දැන ගන්න . මොකද නිසි වන්ධ්‍යකරණයක් ( අධී පීඩනය යටතේ අධි උශ්නත්වයට ලක් කර විෂබීජ විනාශ කිරීම) නොකළ කටු නැවත නැවත භාවිත කළොත් හෙපටයිටිස් , සමාජ රෝග වගේම ඒඩ්ස් වැනි රෝග වුනත් බෝවන්නට එය හේතුවක් වේවි. කටු විතරක් නොවෙයි කිහිප දෙනෙක් අතරේ එකම තීන්ත කුප්පිය බෙදා හදා ගැනිමත් අනතුරකට හේතවක් . 

ඒ වගේමයි  අදාල නිර්මාණ ශීල්පියාගේ අත සේදීම , ග්ලවුස් පැළඳීම , අදාල උපකරණ ඇති මේසය මතු පිට සර්ජිකල් ස්පිරිට් වැනි රසායනිකයක් මඟින් මේ කටයුත්තට පෙර නිසි ලෙස පිරිසිදු කිරීම වැනි සරළ යැයි සිතන ආසාදනා පාලන කටයුතු පවා මේ කාර්යයේදි හරිම වැදගත් . එමෙන්ම ටැටූප ඇඳීමට පෙර අදාල සම අයඩින් , සර්ජිකල් ස්පිරිට් හෝ එබඳු විෂබීජනාශකයක් මඟින් පිරිසුදු කිරීම ඉතිරියේ විය හැකි අනතුරු වලක්වනවා . ඒ විතරක් නොවෙයි , ටැටූව සකසන කාළ සීමාව අනවශ්‍ය ලෙස දිගු වීමත් ඔබේ ටැටූව , පැසවු තුවාලයක් බවට පත් කරන්නට හේතු වෙන්න පුළුවන් .මේ විදියට සෑහෙන දිග කතාවක් කියන්න වෙනවා , කෙටියෙන් කීවොත් , මේ ටැටූ ශිල්පියා කරන්නේ “රෝහලක ශල්‍ය වෛද්‍යවරයෙක් කරන ඔපරේෂන්“ එකකට සෑහෙන දුරට සමාන දෙයක් කියන හිතුවට වරදක් නැහැ , ඒ කියන්නෙ මොහු කරන්නෙත් අපේ ආරක්ෂාවට තියෙන හම කපල , බිඳල යමක් කරන එකනේ , ශල්‍ය වෛද්‍යවරයත් කරන්නෙ ලෙඩගේ සම කපල ඇතුලට ගිහින් අදාල ප්‍රතිකාරය කරන එක . මම මෙහෙම කීවේ , ටැටුව කෙරෙන පරිසරය , කෙනා මොනවගේ පිරිසිදු , සෞඛ්‍ය ආකරක්ෂක ක්‍රම . ආසාදන පාලන ක්‍රම පිළීබඳව දැනුවත්ව ඒවා ක්‍රියාත්මක කළ යුතු ද කියන එක කෙටියෙන් කියන්න . මොකද එසේ නොවනතාක් මේ තුල නොදකින අනතුරක් තිබෙන්න පුළුවන් නිසා .

මේ ටැටූව ගැහැවුවට පස්සෙත් , ඒ මත අළවන සැරහුම් (dressing) ඉතාම පිරිසිදු (Sterile) ඒවා වන්නට ඕන , තුවාලය මත ආලේප කරන ප්‍රතිජීවක වර්ග හෝ විටමින් ඒ ඩී අඩංගු ක්‍රීම් වර්ගය නම් ටැටූවේ ප්‍රමාණය , වර්ගය වගේම අදාල නිර්මාණ ශිල්පියාගේ අත්දැකීම් මත වෙනස් වෙන්නට පුළුවන් , එතැනදි නම් ඔහුගේ නිසි උපදෙස් ලබා ගන්න එක වටිනවා . 


කෙසේ වෙතත් අද ටැටූ අපේ රටේ තවත් එක් නිර්මාණ ශිල්පයක් ලෙස දියුණූ වෙමින් ආවත් ඊට අදාල නිසි නීති රිති , ප්‍රතිපත්ති ගැන අදාල නිසි බලධාරින් කතා කරනවාද , උපදෙස් දෙනවා ද කියන එක ගැන මම දන්නේ නැහැ . ඒත් මේ රටවල නම් මේ හැම තැනකටම යම් නීති රීති , උපදෙස් පද්ධතියක් තිබෙනවා . මෙන්න මේ ලිංකුවට ගියොත් ඒ විදියට නිකුත් කර තිබෙන උපදෙස් අඩංගු පොතක් කියවන්නට පුළුවන් වේවි , ඔබ ටැටූ ගැන යම් කැමැත්තක් තිබෙනවා නම් , ටැටූවක් කරගන්නට අදහසක් තිබෙනවා නම් ඒ ටිකත් කියවන්න , මොකද දැනුවත් වීම අනතුරක් වලක්වා ගන්නා නිසා .


කෙහොම වුනත් මේ ටැටූ නිසා තුවාල පැසවීම , ආසාදනය වීම , කැළල් ඇතිවීම , අසාත්මිකතා ඇති වීම වැනි අවදානම් වගේම , එක්ස්රේ , MRI වගේ පරිකෂණ වලදිත් යම් බලපෑමක් වෙන්න පුළුවන් . මොකද මේ ටැටූ එක පිහිටන සීමාවේ පටක වල සංයුතිය වෙනස් නිසා , ඒ වෙනස අදාල පරික්ෂණ වලදි ගැටළු සහිත තැනක් විදියට හඳුනගන්න පුළුවන් . ඒ නිසා ටැටූවක් සහිත ඔබ අදාල පරික්ෂණ වලට යොමු වීමේදි ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාව , ආදල තාක්ෂණ ශීල්පියාව දැනුවත් කරන්න , එවිට ඔවුන් ඒ පිළිබඳව නිසි අගයුම කරාවි . දැන් මම කීවේ නැහැ ටැටූ ගැහැව්වොත් එක්ස්රේ ගන්න බැහැ කියල එහෙම . 

ටැටූ එක්තරා මෝස්තරයක් විතරක් වුනාට දැන් දැන් මේක තවත් වැදගත් අරමුණූ වලටත් භාවිත කරනවා . හොඳම උදාහරණයක් තමයි මේ රටවලදි සමහර රෝගීන්ට පළඳවන medical bracelets  ( ඒ කියන්නෙ , අදාල පුද්ලයා දියවැඩියාවෙන් , අපස්මාර වැනි තත්ත්වයකින්  පෙළෙනවා නම් , විශේෂයෙන්ම ඔහු හෝ ඇය වියපත් නම් ඔවුන්ගේ අතේ පලඳවනවා අදාල රෝග තත්ත්වය පිළිබඳ විස්තරයක් අඩංගු පළදනාවක්) , වෙනුවට මේ ටැටූ යොදා ගන්න අවස්ථා දකින්නට තිබෙනවා , විශේෂයෙන්ම ඇලසයිමර් , ඩිමෙන්ෂියා (මේ ලෙඩ දෙක ගැන දන්නේ නැත්නම් මේ ලිංක් ඔස්සේ ගිහින් ඒ ගැනත් කියවල දැන ගන්න  http://www.nursinglk.com/2012/08/112.html  සහ http://www.nursinglk.com/2012/08/112.html  ) වැනි කල්පනාව අඩුව යා හැකි තත්ත්ව වල ඉන්න වැඩිහිටියන්ගේ අතේ පොඩි විස්තරයක් ටැටූවක් විදියට යොදල තිබෙනව දකින්න ලැබිලා තිබෙනවා. එය සෞඛ්‍ය ආයතන වලින් කරන දෙයක් නොවෙයි , පුද්ගලිකව පවුලේ අය විසින් ගන්නා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් . මීට අමතරව ශල්‍ය කර්ම වලදි ඉතිරිවන කැළල් වසා ගෙන ඒ ප්‍රදේශයේ ඇති  වූ වෙනස වසා ගන්නටත් ටැටූව යොදා ගන්නවා . 

දියවැඩියාව තිබෙන බවට 
දැන් පේනවනේ නිකම්ම “පච්චය“ කියල පටන් ගත්තට දැන් කොයි තරම් දුර ගිහින්ද කියන . කෙසේ වෙතත් මේ ලිපියෙන් මම කිසිම අවස්ථාවක “ටැටූව“ සුදුසු , දෙයක් හෝ නුසුදුසු දෙයක් කියන අන්ත දෙකට යන්න උත්සාහ කළේ නැහැ  ,කළේ මේ පිළිබඳව ඔබ දැන ගත වුතු කරුණූ කාරණා ටිකක් ඔබත් එක්ක කතා කළා විතරයි , කරන නොකරන එක ඔබේ තීරණේ , හැබැයි කර ගන්න  එකක් හොඳට හිතල මතක කර ගත්තොත් තමා වටින්නෙ .

නැවත පණ ගන්වන්නට එපා කියන අය
ඔන්න මේ තරුණ දැරිවියන්ට කියන්නම ඕන දෙයක් , ඔය තරුණ විසේට පෙම් පළහිලව්වක් හදා ගත්තු ගමන් , “මගේ ජීවිතේ ඔයා පනේ“ කියල කොලුවගේ නම එහෙම පර්මනන්ට් ටැටූවක් විදියට ඇඟේ කොටා ගන්න එපා , මොකද වැරදිලාවත් ...එයා යන්න ගියොත් වෙන මහත්තයෙක්ව බඳින්න වුනොත්, කොටා ගත්ත කෙටිල්ල මකා ගන්න ලේසි නෑ ...මේක කෙල්ලන්ට විතරක් නෙවි කොල්ලන්ටත් එසේමයි ... :)


එසේ නම් ආයෙත් දවසක ලෙඩක් දාන්න හරි , ඒ ගැන කතා කරන්න හරි එන්නම් , සුව සතුට පිරි අනාගතයක් ඔබට පතමි .