මට මේක කියන්න හිතට ආවේ අද එන ගමන් දැකපු , “නව රසයම දැනෙන ටැටු “ නිසා , අවුරුදු දහඅටක විතර කොටු පැටියෙක් , මුළු ඇඟේම “කංසා පැලේ කොළ‘‘ රටාව , ඈතට දැක්කම මේක නියම වේලිච්ච කංස පැලයක් , තව කෙල්ලෙක්ගෙ පිටේ , සිගිරි බිතු සිතුවමක් , තව මහත්තයෙක්ගේ කකුලේ පහල ඉඳන් උඩට එතිලා ෂෝර්ට් එක අස්සට බඩ ගාන සර්පයෙක් . , ඒ අස්සේ තට්ටේ ඉඳන් බෙල්ල දිගේ වැක්කෙරෙන බියර් වීදුරුවක් .....තව තව ...හැඩ රටා .....
ගෙදර එනගමන් මේ ටික දැක්කම මට මතක් වුනේ ,අපේ ගමේ හිටපු “බොම්බ සමරේ අයිය“ ( ඒ නම හැදුනු හැටි නම් මම දන්නේ නැහැ ) ... ඒ කාළේ ගමේ චණ්ඩියෙක් විදියට හැමෝටම අයිය කෙනෙක් වෙලා උන්නු හිත හොඳ ඒ මනුස්සය ගේ පපුව පුරා ඇඳළ තිබුණූ කොටි රූපය තාම මතකයි , හැමදාම උදේ පාන්දර සරම විතරක් ඇඳගෙන , ඔරු පොළට යන මේ මනුස්සයගේ තිබුණු “පච්චේ“ කළු පාට විතරක් වුනත් අද , වෛවර්ණ , ඒ විතරක් නොවෙයි ලුමිනස් වර්ණ එකතු වෙමින් “අලංකාර කළාවක්“ බවට පත්වෙමින් තිබෙනවා .
මේ වගේ බටහිර රටවල විතරක් නොවෙයි දැන් ලංකාවෙත් ඉතා ජනප්‍රිය , කළාවක් , ව්‍යාපාරයක් බවට පත්වෙමින් යන මේ “ටැටු ගැන “ සොඳුරු සුව අසපුවෙන් කතා කළොත් හොඳයි කියල හිතුන නිසා මේ සටහන එකතු කරන්නේ .
අපි මුලින්ම බලමු මොකක්ද ඇත්තටම ටැටූ එකකදි කෙරෙන ක්‍රියාවල කියලා . ඒ ගැනත් කතා කරන්න නම් අපට පොඩියට හරි ජීව විද්‍යාව පාඩමක් කරන්නම වෙනවා . ඒ තමයි අපේ සමේ ව්‍යුහය ගැන .
මිනිස් සම විස්තර කිරීමේ පහසුවට ප්‍රධාන ස්ථර තුනකට බෙදා ගන්න පුළුවන් , මුලින්ම එළීයෙන්ම තිබෙන අපිචර්මය හෙවත් Epidermis මේක හැදිල තියෙන්නෙ ලූණු පොතු වගේ පැතලි සෛල රාශියක් එකමත එක තැන්පත් වෙලා , හරියට තනි ගඩොලේ බිත්තියක් වගේ , ඒ බිත්තියේ එළීයට වන්න තිබෙන ගඩොල් (සෛල ) හොඳටම වියලිලා මිය ගිය සෛල , ඒව බොහොම පහසුවෙන් ගැලවිලා අපේ ඇඟෙන් ඉවත් වෙනවා , ඔය හොඳට කසන කොට එහෙම ගැලවිලා යන්නෙ අන්න ඒ සෛල , කැසුවෙ නැතත් හැම තිස්සෙම මේ එළියෙම තිබෙන මිය ගිය සෛල යම් ප්‍රමාණයක් අපේ ඇඟෙන් හැලෙනවා (හැව අරිනවා ) , ඒ වෙනුවට අළුත් සෛල , මේ ස්ථරයේම ගැඹුරින් තිබෙන සෛල වලින් හැදෙමින් , ගැලවිලා යාම නිසා ඇතිවෙන හිදැස පුරවනවා , ඔය අපිචර්මයේ පතුලේම තිබෙන සෛල කාණ්ඩයක් වන මෙලනොසයිට් නිසා තමයි අපේ සමට මේ පාට ( කළු පාට) ඇවිත් තිබෙන්නේ . ඔය විදියට තමා අපේ ඇඟ සමේ ආරක්ෂාව පවත්වා ගන්නේ .
මේ ස්ථරයට යටින තමා ඩර්මිස් නැත්නම් චර්මය කියන කොටස තිබෙන්නෙ . එහි තමා සමට අවශ්‍ය ලේ නහර , ස්නායු සංවේදක දහදිය නිපදවන ග්‍රන්ථි , සමේ තෙල් ගතිය ඇති කරවන ග්‍රන්ථී ඔය වගේ දේවල් තිබෙන්නේ , අපි කතා කළ අපිචර්මයට වඩා ටිකක් ශක්තිමත් , හේතුව මේ ප්‍රෙද්ශය පුරා පිරිලා තිබෙන්ව කොලැජන් කියන ශක්තිමත් ප්‍රෝටීන කෙඳි .
ඊට යටින තමා අපේ තෙල් තට්ටුව තිබෙන්නේ , දේහ උශ්නත්වය පාලනය කරගන්න වගේම කම්පනය උරාගන්නත් මේ තෙල් තට්ටුව වැදගත් .
හරි ...මේ කතා කළේ සම ගැන පොඩි විස්තරයක් ....දැන් මේ ටැටූ වලදි මොකක්ද කෙරෙන්නේ . මෙතැනදි කෙරෙන්නේ ඉදිකටු සහිත උපකරණයකින් සමේ Dermis එක දක්වා සිදුරක් හදල , ඒ සිදුර ඇතුලට පහසුවෙන් දිය නොවන , රසායනික වශයෙන් විශාල අණු විදියට තිබෙන තීන්ත බිංදුවක් , ඇතුළු කරන එක , ඒක බිංදුවක් නොවෙයි , අඳින්න හදන රූපෙට අදාලව මේ විදියට සමේ ගැඹූරට තින්ත බින්දු තැන්පත් කරන එක තමා මෙහිදි සිදුවෙන්නෙ . යම් සම්මත වේගයකින් ක්‍රියාත්මක වන නිසා , මේ විදියට සම සිදුරු කිරීම සහ තින්ත බිංදු තැන්පත් කිරීම , රටාවකට , වේගයෙන් සිදුවෙනවා .දැන් එන ප්‍රශ්න කිපයක් තිබෙනවා , අපි ඒ ටික කතා කරල ඉමු වැඩේ ගැඹූරට යන්න ඉස්සර වෙලා , එක , ඉතින් මේ විදිල්ල විදින කොට රිදෙනවද ? ...ඔව් සමේ සිදුරු විදින නිසා ටැටූ එක නිර්මාණය කරන කාළ සීමාව තුල වේදනාවක් ඇතිවෙනවා , නමුත් අපි එක එක්කෙනාගේ වේදනාව දරා ගැනීමේ හැකියාව නිසා කෙනෙක් කියන්න පුළුවන් “අපෝ ඔය කියන තරම් කැක්කුමක් නැහැ“ කියල , තවකෙනෙක් කියන්න පුළුවන් .......කියල වැඩක් නෑ ......එකක් ගහල නොගියනම් මම නම් මේක කරගන්නේ නෑ කියල “ .....
| ටැටූ උපකරණ කට්ටලය |
තව ප්‍රශ්නයක් මේ හුඟක් ටැටූ මැකෙන්නෙ නැත්තේ කොහොමද කියන එක ....මෙහෙමයි මම දන්න විදියට නම් ටැටූ වර්ග ගණනාවක් තිබෙනවා , temporary tatto ටික කළකින් මැකිළ යනව , තවත් ස්ටිකර් ක්‍රමයේ ටැටූ පොඩි දරුවන් වෙනුවෙන් දකින්න තිබෙනවා , ඒව නම් දවසකින් දෙකකින් ඉබේම මැකෙනවා , ඒත් Permenant tattoo කියන වර්ගය සෑහෙන කාළයක ලොකු වෙනසක් නොවී තියා ගන්න පුළුවන් . ඒ කීවේ අර මුලින් කතා කළ විදියට Dermis පටකය තුලි තීන්ත විදල කරන ටැටූව සෑහෙන කාළයක් පවතිනවා , කොහොමද ඒ ? ඔය සම ඇතුලට ඇතුළු කරන බොහොමයක් තීන්ත සාමාන්‍යෙයන් දියවෙලා ලේ නහර තුලට උරා නොගන්න රසායනික මිශ්‍රණයක් , ඒ නිසාම අවට ඉන්න සුදු රුධීරාණු මේ පාට පාට ආගන්තුකයෝ ටික වට කරල පහර දෙන්න , ගිලල දාල විනාශ කරන්න හිතාගෙන සටහන් පටන් ගන්නව , ටැටූව ගහල දවසක් දෙකක් යත්දි . ඒත් හිතපු තරම් මේ තීන්ත ගිලල විනාශ කරල දාන්න බැරි බව වගේම එයාලගෙන් ක්ෂණිකව ලොකු කරදරයක් නැති වගේ පේන නිසා , තීන්ත බිංදු තියෙන හරියට ටිකක් රිද්දල , සැර දාල (ප්‍රදාහයක් inflammation) ටික දවසකින් යන්න යනවා , ඊට පස්සේ මේ තීන්ත බිංදු චර්මයේ පතුලේ තැන්පත් වෙලා රැඳිලා තිබෙනවා . අපිචර්මය වගේ , ඊට ඇතුලින් තිබෙන චර්මය කොටස කළබල පටක ස්ථරයක් නොවෙයි , එහෙම කීවේ අපිචර්මය නම් හරිම වේගයෙන් සෛල බෙදෙමින් , එළියෙ සෛල ගලවල දාමින් අළුත් වෙනවා . ඒත් චර්මය ඒ විදියට කළබල නැති නිසා ඒ ස්ථරය සෑහෙන කාළයක් සෙමෙන් සෙමින් වර්ධනය වෙමින් පවතිනවා , ඒ නිසාම අර තීන්ත බිංදුත් චර්මයත් එක්ක හිමිට රැඳිලා තිබෙනවා , ඔන්න ඔය නිසා තමයි පර්මනන්ට් ටැටූ එකක් අවුරුද දහයක් විතර වුනත් ලොකු වෙනසක් නැතිව තිබෙන්නේ , ඒත් අපිට නොදැනුනාට හිමින් හිමින් ඒකෙත් පාට , වර්ණ වල තීව්‍ර බව වගේ දෙවල් අඩු වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්නයක් ! ..ඔව් අහන්න ඉස්සර වෙලා මම විස්තර කරන්නම් , ඒ ටැටූව ඉවත් කරන්න පුළුවන්ද කියන එක ... තාවකාළිකව සහ කෙටි කාළිනව යොදන ටැටූ නම් ඉවත් කරන්නට පහසුක්‍රම තිබෙනව කියැවුනත් , ස්ථාවර ටැටූ ඉවත් කිරීම ටිකක් අපහසු ඒ වගේම කාළයක් යන කටයුත්තක් , මේ පැත්තේ නම් ඒ වෙනුවෙන්ම ලේසර් ප්‍රතිකාර කරන ක්ලිනික් කිහිපයක් දකින්න තිබෙනවා . නමුත් වැඩේට ලොකු කාළයක් වගේම වියදමකුත් යනවා.
දැන් ටැටූව කරගන්න කෙනා සහ තැන තීරණය කරත්දි මෙන්න මේ කරුණූ ගැන දැන ගෙන ඉන්න එක වටිනවා , මුලින්ම අදාල නිර්මාණ ශීල්පියා අදාල කළාව පිළිබඳ අත්දැකීම් ඇති කෙනෙක්ද කියන එක , මොකද මේ විදිල්ලේ වැඩේ වැරදුනොත් කරදර ගොඩක් නේ , දක්ෂ ටැටූ ශිල්පීන්ට නම් අදාල ටැටූවේ පොඩි වරදක් වුනත් නොදැනෙන්න ඒක වෙනස්කරලා නිර්මාණය පවත්වා ගන්නට පුළුවන් . (මේ ගැන පහුගිය දවසක ලංකාවේ පරණම ටැටූ ශිල්පියෙක් කතා කරලා තිබුණා )
ඊළඟට වැදගත්ම දේ, අදාල ස්ථානය , ආයතනය පවිත්‍රතාව අතින් ඉහළ මට්ටමේ , පවතීද කියන එක , ඒ වගේම විෂබීජ මර්ධනය , ආසාදාන පාලනය ගැන ප්‍රමාණවත් දැනුමක් , ක්‍රියාත්මක වීමක් සහිත තැනක් සහ කෙනෙක්ද කියන එක. මොකද මේක කරන කෙනා සහ තැන විෂබීජ වලින් පිරිච්ච තැනක් නම් ටැටූව ආසාදනයට පත්වීමට ඉඩ වැඩියි .
| උපකරණ වල විෂබීජ නැසීමට මේ වගේ උපකරණයකින් තමා අධී පීඩනය යටතේ හුමාලයෙන් තම්බා ගන්නේ |
ඊළඟට මේක කරත්දි , ටැටු විදීමට ගන්නා තුඩු ඔබ වෙනුවෙන්ම අළුතෙන්ම යොදා ගන්නවාද (ඩිස්පෝසබල් කටුද ) , නැත්නම් නැවත නැවත භාවිත කරන කටු යොදා ගන්නවාද කියන එක දැන ගන්න . මොකද නිසි වන්ධ්‍යකරණයක් ( අධී පීඩනය යටතේ අධි උශ්නත්වයට ලක් කර විෂබීජ විනාශ කිරීම) නොකළ කටු නැවත නැවත භාවිත කළොත් හෙපටයිටිස් , සමාජ රෝග වගේම ඒඩ්ස් වැනි රෝග වුනත් බෝවන්නට එය හේතුවක් වේවි. කටු විතරක් නොවෙයි කිහිප දෙනෙක් අතරේ එකම තීන්ත කුප්පිය බෙදා හදා ගැනිමත් අනතුරකට හේතවක් .
ඒ වගේමයි අදාල නිර්මාණ ශීල්පියාගේ අත සේදීම , ග්ලවුස් පැළඳීම , අදාල උපකරණ ඇති මේසය මතු පිට සර්ජිකල් ස්පිරිට් වැනි රසායනිකයක් මඟින් මේ කටයුත්තට පෙර නිසි ලෙස පිරිසිදු කිරීම වැනි සරළ යැයි සිතන ආසාදනා පාලන කටයුතු පවා මේ කාර්යයේදි හරිම වැදගත් . එමෙන්ම ටැටූප ඇඳීමට පෙර අදාල සම අයඩින් , සර්ජිකල් ස්පිරිට් හෝ එබඳු විෂබීජනාශකයක් මඟින් පිරිසුදු කිරීම ඉතිරියේ විය හැකි අනතුරු වලක්වනවා . ඒ විතරක් නොවෙයි , ටැටූව සකසන කාළ සීමාව අනවශ්‍ය ලෙස දිගු වීමත් ඔබේ ටැටූව , පැසවු තුවාලයක් බවට පත් කරන්නට හේතු වෙන්න පුළුවන් .මේ විදියට සෑහෙන දිග කතාවක් කියන්න වෙනවා , කෙටියෙන් කීවොත් , මේ ටැටූ ශිල්පියා කරන්නේ “රෝහලක ශල්‍ය වෛද්‍යවරයෙක් කරන ඔපරේෂන්“ එකකට සෑහෙන දුරට සමාන දෙයක් කියන හිතුවට වරදක් නැහැ , ඒ කියන්නෙ මොහු කරන්නෙත් අපේ ආරක්ෂාවට තියෙන හම කපල , බිඳල යමක් කරන එකනේ , ශල්‍ය වෛද්‍යවරයත් කරන්නෙ ලෙඩගේ සම කපල ඇතුලට ගිහින් අදාල ප්‍රතිකාරය කරන එක . මම මෙහෙම කීවේ , ටැටුව කෙරෙන පරිසරය , කෙනා මොනවගේ පිරිසිදු , සෞඛ්‍ය ආකරක්ෂක ක්‍රම . ආසාදන පාලන ක්‍රම පිළීබඳව දැනුවත්ව ඒවා ක්‍රියාත්මක කළ යුතු ද කියන එක කෙටියෙන් කියන්න . මොකද එසේ නොවනතාක් මේ තුල නොදකින අනතුරක් තිබෙන්න පුළුවන් නිසා .
මේ ටැටූව ගැහැවුවට පස්සෙත් , ඒ මත අළවන සැරහුම් (dressing) ඉතාම පිරිසිදු (Sterile) ඒවා වන්නට ඕන , තුවාලය මත ආලේප කරන ප්‍රතිජීවක වර්ග හෝ විටමින් ඒ ඩී අඩංගු ක්‍රීම් වර්ගය නම් ටැටූවේ ප්‍රමාණය , වර්ගය වගේම අදාල නිර්මාණ ශිල්පියාගේ අත්දැකීම් මත වෙනස් වෙන්නට පුළුවන් , එතැනදි නම් ඔහුගේ නිසි උපදෙස් ලබා ගන්න එක වටිනවා .
කෙසේ වෙතත් අද ටැටූ අපේ රටේ තවත් එක් නිර්මාණ ශිල්පයක් ලෙස දියුණූ වෙමින් ආවත් ඊට අදාල නිසි නීති රිති , ප්‍රතිපත්ති ගැන අදාල නිසි බලධාරින් කතා කරනවාද , උපදෙස් දෙනවා ද කියන එක ගැන මම දන්නේ නැහැ . ඒත් මේ රටවල නම් මේ හැම තැනකටම යම් නීති රීති , උපදෙස් පද්ධතියක් තිබෙනවා . මෙන්න මේ ලිංකුවට ගියොත් ඒ විදියට නිකුත් කර තිබෙන උපදෙස් අඩංගු පොතක් කියවන්නට පුළුවන් වේවි , ඔබ ටැටූ ගැන යම් කැමැත්තක් තිබෙනවා නම් , ටැටූවක් කරගන්නට අදහසක් තිබෙනවා නම් ඒ ටිකත් කියවන්න , මොකද දැනුවත් වීම අනතුරක් වලක්වා ගන්නා නිසා .
කෙහොම වුනත් මේ ටැටූ නිසා තුවාල පැසවීම , ආසාදනය වීම , කැළල් ඇතිවීම , අසාත්මිකතා ඇති වීම වැනි අවදානම් වගේම , එක්ස්රේ , MRI වගේ පරිකෂණ වලදිත් යම් බලපෑමක් වෙන්න පුළුවන් . මොකද මේ ටැටූ එක පිහිටන සීමාවේ පටක වල සංයුතිය වෙනස් නිසා , ඒ වෙනස අදාල පරික්ෂණ වලදි ගැටළු සහිත තැනක් විදියට හඳුනගන්න පුළුවන් . ඒ නිසා ටැටූවක් සහිත ඔබ අදාල පරික්ෂණ වලට යොමු වීමේදි ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාව , ආදල තාක්ෂණ ශීල්පියාව දැනුවත් කරන්න , එවිට ඔවුන් ඒ පිළිබඳව නිසි අගයුම කරාවි . දැන් මම කීවේ නැහැ ටැටූ ගැහැව්වොත් එක්ස්රේ ගන්න බැහැ කියල එහෙම .
ටැටූ එක්තරා මෝස්තරයක් විතරක් වුනාට දැන් දැන් මේක තවත් වැදගත් අරමුණූ වලටත් භාවිත කරනවා . හොඳම උදාහරණයක් තමයි මේ රටවලදි සමහර රෝගීන්ට පළඳවන medical bracelets ( ඒ කියන්නෙ , අදාල පුද්ලයා දියවැඩියාවෙන් , අපස්මාර වැනි තත්ත්වයකින් පෙළෙනවා නම් , විශේෂයෙන්ම ඔහු හෝ ඇය වියපත් නම් ඔවුන්ගේ අතේ පලඳවනවා අදාල රෝග තත්ත්වය පිළිබඳ විස්තරයක් අඩංගු පළදනාවක්) , වෙනුවට මේ ටැටූ යොදා ගන්න අවස්ථා දකින්නට තිබෙනවා , විශේෂයෙන්ම ඇලසයිමර් , ඩිමෙන්ෂියා (මේ ලෙඩ දෙක ගැන දන්නේ නැත්නම් මේ ලිංක් ඔස්සේ ගිහින් ඒ ගැනත් කියවල දැන ගන්න http://www.nursinglk.com/2012/08/112.html සහ http://www.nursinglk.com/2012/08/112.html ) වැනි කල්පනාව අඩුව යා හැකි තත්ත්ව වල ඉන්න වැඩිහිටියන්ගේ අතේ පොඩි විස්තරයක් ටැටූවක් විදියට යොදල තිබෙනව දකින්න ලැබිලා තිබෙනවා. එය සෞඛ්‍ය ආයතන වලින් කරන දෙයක් නොවෙයි , පුද්ගලිකව පවුලේ අය විසින් ගන්නා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් . මීට අමතරව ශල්‍ය කර්ම වලදි ඉතිරිවන කැළල් වසා ගෙන ඒ ප්‍රදේශයේ ඇති වූ වෙනස වසා ගන්නටත් ටැටූව යොදා ගන්නවා .
| දියවැඩියාව තිබෙන බවට |
දැන් පේනවනේ නිකම්ම “පච්චය“ කියල පටන් ගත්තට දැන් කොයි තරම් දුර ගිහින්ද කියන . කෙසේ වෙතත් මේ ලිපියෙන් මම කිසිම අවස්ථාවක “ටැටූව“ සුදුසු , දෙයක් හෝ නුසුදුසු දෙයක් කියන අන්ත දෙකට යන්න උත්සාහ කළේ නැහැ ,කළේ මේ පිළිබඳව ඔබ දැන ගත වුතු කරුණූ කාරණා ටිකක් ඔබත් එක්ක කතා කළා විතරයි , කරන නොකරන එක ඔබේ තීරණේ , හැබැයි කර ගන්න එකක් හොඳට හිතල මතක කර ගත්තොත් තමා වටින්නෙ .
| නැවත පණ ගන්වන්නට එපා කියන අය |
ඔන්න මේ තරුණ දැරිවියන්ට කියන්නම ඕන දෙයක් , ඔය තරුණ විසේට පෙම් පළහිලව්වක් හදා ගත්තු ගමන් , “මගේ ජීවිතේ ඔයා පනේ“ කියල කොලුවගේ නම එහෙම පර්මනන්ට් ටැටූවක් විදියට ඇඟේ කොටා ගන්න එපා , මොකද වැරදිලාවත් ...එයා යන්න ගියොත් වෙන මහත්තයෙක්ව බඳින්න වුනොත්, කොටා ගත්ත කෙටිල්ල මකා ගන්න ලේසි නෑ ...මේක කෙල්ලන්ට විතරක් නෙවි කොල්ලන්ටත් එසේමයි ... :)
එසේ නම් ආයෙත් දවසක ලෙඩක් දාන්න හරි , ඒ ගැන කතා කරන්න හරි එන්නම් , සුව සතුට පිරි අනාගතයක් ඔබට පතමි .